Home Blog Page 196

IPL ක්‍රීඩකයින්ට කොවිඩ් හරස් වෙයි

0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) – 2023 සඳහා සහභාගි වන ක්‍රීඩකයෙකු කොවිඩ් – 19 පරීක්ෂාවෙන් පොසිටිව් බවට තහවුරු වුවහොත් දින 7 ක නිරෝධායනයක සිටිය යුතු බවට බවට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය වසර තුනක කාලයක් අනිවාර්ය වූ ජෛව ආරක්ෂිත බුබුලක ක්‍රීඩකයින් සිටිය යුතු වුවද එය තව දුරටත් අවශ්‍ය නොවන බවට ක්‍රීකට් ආයතන සහ බලධාරීන් තීරණය කර තිබෙන වටපිටාවක මෙම තත්ත්වය ඊට ප්‍රතිවිරුද්ධ බව ESPN වාර්තා කරයි.

කෙසේවෙතත් පසුගිය 2022 වසරේ ක්‍රියාත්මත වුණු පරිදි කොවිඩ් – 19 පොසිටිව් බව තහවුරු වුණු ක්‍රීඩකයින්ට සතියක කාලයක් හුදකලා වී සිටිය යුතුය යන තීරණය තවදුරටත් වලංගු බව IPL බලධාරීන් පවසා ඇත.

මෙම සතියේ සිට බලයලත් ආයතන වෙත බෙදා හැරීමට නියමිත IPL හි වෛද්‍ය මාර්ගෝපදේශ, අනුව ” පොසිටිව් ක්‍රීඩකයින්, දින හතක කාලයක් හුදකලා විය යුතුය. හුදකලා කාලය තුළ පොසිට්ව් පුද්ගලයින්ට කිසිදු තරගයකට හෝ ඕනෑම ආකාරයක ක්‍රියාකාරකමකට සහභාගී වීමට ඉඩ නොලැබේ.

“පස්වන දින සිට ඔවුන්ට RT-PCR වලට භාජනය විය හැක, ඔවුන් පැය 24ක් කිසිදු ඖෂධයක් නොමැතිව රෝග ලක්ෂණ නොමැතිව සිටිය යුතුය. පළමු ප්‍රතිඵලය නෙගටිව් වූ පසු 2 වැනි පරීක්ෂණය පැය 24ක පරතරයකින් සිදු කළ යුතුය. රැපිඩ් පරීක්ෂණ දෙකක් නෙගටිව් වූ පසුව යළි කණ්ඩායමට සහභාගි විය හැකිය.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Tahlia McGrath ඉන්දියාවට එරෙහිව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ T20 අවසන් තරගයේදී Covid-19 පොසිට්ව් බවට තහවුරු වුවද ක්‍රීඩා කළේය.

මැක්ග්‍රාත් කොව්ඩ් පොසිටිව් වී සිටියදී ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවටද පත්විය.

එමෙන්ම පසුගිය වසරේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලිය සඳහාද කොව්ඩ් පොසිටිව් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහභාගී වීමට ICC ය ක්‍රීඩකයින්ට අවසර ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයේදීද මෙම ක්‍රියාවලියම සිදුකරයිද නැද්ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නැත.

වරප්‍රසාදවලට මුවාවී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හිරකිරීමේ උත්සාහයක් ? : නීතිය සහ විරෝධයට හේතුව මෙන්න !

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහාම පරාජය කළ යුතු බව ජනමාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අවධාරණය කරති.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සිදු විය. මෙම අවස්ථාවලදී අනුගමනය කළ ක්‍රියාවලිය වූයේ කමිටුවක් හරහා ම එය විමර්ශනය කිරීමයි.

මීට අදාළ නවතම සිදුවීම වන්නේ සියත රූපවාහිනියේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට එරෙහිව වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමේ උත්සාහයයි. ඔහු විසින් ඉදිරිපත් කරන සියත – ටෙලිවැකිය නම් වැඩසටහන මගින් මෙම නීතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ චෝදනාව පිළිබඳ පාර්ලිමේන්තුව මගින් විමර්ශනයක් සිදු නොකොට, නීතිපතිවරයා මගින් එය සිදුකිරීමටත්, ඒ අනුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් ආණ්ඩුව පාර්ශ්වයෙන් තීරණය කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එසේ කටයුතු කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට ඇති බවයි.

එහෙත් පසුගිය කාලය පුරා සිදු නොකළ ආකාරයට, මේ අවස්ථාවේ කටයුතු කිරීමට උත්සාහ කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බවත්, මෙමගින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා කටයුතු කරනු ඇතැයි සැක කළ හැකි බවත් ය.

හෙට (20) මීට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (19) උදෑසන වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා වෙමින් පැවතිණි.

ව්‍යවස්ථාවේ සීමා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළුව අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය. එහෙත් එහි 15(2) අනුව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

‘14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්‍කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික සහ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස හෝ වරදකට පෙලඹීම හා සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව ය.’

එනම් භාෂණයේ නිදහසට ඇති අයිතියට ඇති එක් සීමාවකි, පාර්ලිමේන්තු වරප්‍රසාද. පාර්ලිමේන්තු වරප්‍රසාද ලෙස හඳුන්වන්නේ පාර්ලිමේන්තුව ආයතනයක් වශයෙන් ද, එහි සාමාජිකයන් පෞද්ගලික මට්ටමින් ද භුක්ති විඳින පාර්ලිමේන්තුවට වෙන් වූ අයිතීන් ය.

මූලික අයිතියක් !

අමරතුංග එදිරිව සිරිමල් හා අනෙක් අය නඩු තීන්දුවේ සඳහන් වන්නේ පුද්ගලයන්ට වාචිකව හෝ වාචික නොවන ආකාරයට සටන් පාඨ කියමින්, බැනර්, පුවරු ප්‍රදර්ශනය කරමින් ආදී ඕනෑම ක්‍රමයක් භාවිත කරමින් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි. විශ්වලිංගම් එදිරිව ලියනගේ නඩු තීන්දුවේ දැක්වුණේ  තොරතුරු ලබාගැනීමේ අයිතිය ද අදහස් පළකිරීමේ නිදහස යන්නට ඇතුළත් වන පරිදි අර්ථ නිරූපණය කළ හැකි බවයි.

පාර්ලිමේන්තුව ?

‘ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්’ නම් සිය ග්‍රන්ථයේ දී විනිශ්චයකාර ශර්වානන්ද සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව සතු බලතල හෝ එහි සාමාජිකයන් සතු බලතල නිර්ණය කිරීමට හෝ පාලනය කිරීමට පාර්ලිමේන්තුවට නීතිමය බලයක් ඇත. පාරේලිමේන්තු වරප්‍රසාද පිළිබඳ නීතිය පාලනය වන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තුවේ බලය හා වරප්‍රසාද පිළිබඳ පනත මඟිනි. මෙම පනත 1978 අංක 05 දරන පනත හා 1980 අංක 11 දරන පනත මගින් මෙන්ම 1984 අංක 25 දරන පනත මගින් ද සංශෝධනය කරන ලදි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට අනුව දඬුවම් ලැබිය හැකි වැරදි

1. පාර්ලිමේන්තු විවාදයක් හෝ පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක ක්‍රියාදාමයක් හිතාමතා අසත්‍ය හෝ වැරදි සහගත ලෙස ප්‍රසිද්ධියට පත් කිරීම.

2. පාර්ලිමේන්තු සාමාජිකයකු විසින් පාර්ලිමේන්තුවේදී හෝ එහි කමිටුවකදී කරනු ලබන කතාවක් හිතාමතා වැරදි ලෙස දැක්වීම.

3. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් හෝ පාර්ලිමේන්තුවේ ස්වභාවය අපහාසයට ලක්වන ප්‍රකාශයක් කිරීම.

4. පාර්ලිමේන්තුවේ නියෝජිතයකු වන යම් පුද්ගලයකුගේ හැසිරීම පිළිබඳව අපහාසාත්මක ප්‍රසිද්ධ කිරීම.

5. රජය විසින් ‍හෝ පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක අවසරය යටතේ මුද්‍රණය කිරීමට අදහස් කරන ලද එහෙත් මෙතෙක් මුද්‍රණය කර නැති යම් පනතක කොපියක් හෝ වාර්තාවක් හෝ ලියවිල්ලක් හෝ ලුහුඬු සටහන් ‍හෝ අනෙකුත් සටහන් හෝ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියක් පිළිබඳව මුද්‍රණය කිරීමක් ද එවැනි ලේඛනයක කොපියක් යැයි පෙනෙන්නා වූ ලේඛනයක් මුද්‍රණය කිරීම.

6. පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් විසින් ප්‍රසිද්ධ කිරීම තහනම් කොට ඇති පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක විවාදයක් හෝ ක්‍රියාදාමයක් හිතාමතාම වාර්තා කිරීම.

විවේචනය කිරීමේ අයිතිය !

පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධව අධිකරණය ලබා දී ඇති නඩු තීන්දු කිහිපයක් සලකා බැලීම ද මෙහිදී වැදගත් වේ. නීතිඥ එස්.එම්. ජයසූරිය ලියන ලද ප්‍රසිද්ධ ලිපියක සඳහන් වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් නීතිපති එදිරිව නඩේසන් නඩුවේ තීරණය ඉතා වැදගත් වන බවයි. ඊට හේතුව පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් විවේචනය කිරීමට යම්තාක් දුරකට රටේ පුරවැසියන්ට අයිතියක් ඇති බවටත්, එම විවේචනය කිරීමේ පරිමාණය පිළිබඳවත් අදහසක් මෙම නඩු තීන්දුවේ අන්තර්ගත වීම ය.

එම ලිපියේ මෙසේ දැක්වේ. ‘එවකට පැවති ජාතික රාජ්‍ය සභාව, එහි ස්වරූපය හා එහි ක්‍රියාපටිපාටිය අපහාසාත්මක ලෙස හුවාදක්වමින් Observer පත්‍රයේ පළ කර තිබූ ඡායාරූපයක් හා විස්තරයක් නිසා Observer පත්‍රයේ කතුවරුන් දෙදෙනකුට ජාතික රාජ්‍ය සභාව (1972 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය හඳුන්වන ලද්දේ ජාතික රාජ්‍ය සභාව ලෙස ය.) දඬුවම් කළ අතර, එය විවේචනය කරමින් නඩේසන් මහතා Sun පත්‍රයේ පළකරන ලද ලිපියක් නිසා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව මෙම නඩුවේදී ඉදිරිපත් කළ චෝදනාවයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් විවේචනය කිරීමට පුරවැසියන්ට යම් නිදහසක් ඇති බවත් එහෙත් එම නිදහස සීමාසහිත නිදහසක් බවත් ය. මෙහිදී වගඋත්තරකරු එම සීමාව අතික්‍රමණය කර නැතැයි යන්න තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

නීතිපති එදිරිව සිරිවර්ධන නඩුවේ දී එවකට උඩුදුම්බර ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා කාල් මාක්ස් හා ඔහුගේ ‘දාස් කැපිටාල්’ නම් කෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය ‘ඇත්ත’ පත්‍රයේ කතුවර බී. ඒ. සිරිවර්ධන සිය පත්‍රයේ කතුවැකිය මඟින් නිර්දය ලෙස (Strongly Worded) විවේචනය කළේය. ඔහු තම කතුවැකිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොනුන්, බූරුවන් හා බුද්ධි හීනයන් ලෙස හඳුන්වන ලදි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එම කතුවැකිය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්, එයින් පාර්ලිමේන්තුවට අපහාසයක් සිදු වී ඇති බවත් ය.

thetime.lk මතය කුමක්ද ?

මාධ්‍යවේදීන් විසින් අපහාසාත්මක ආකාරයෙන් හෝ පවතින නීති අහේතුක ලෙස උල්ලංඝනය වන ආකාරයෙන් තම වෘත්තීය කටයුතුවල යෙදෙන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය. එහෙත් මෙහිදී 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත විශේෂ කොට යොදාගැනීමේ උත්සාහයක් අපට නිරීක්ෂණය වේ. ප්‍රයෝගික භාවිතයේදී තොරතුරු සැඟවීමටත්, විශේෂ අවස්ථා භුක්ති විඳීමටත් සකස් කරගෙන ඇති නීතියක් ලෙසට චෝදනා එල්ල වී ඇති මෙම පනත යොදාගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමටත්, මාධ්‍යවේදීන් මර්දනය කිරීමටත් කටයුතු කරන්නේ නම්, ඊට අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු.

හෙට 20 : IMF එකඟතා කාටහරි අවුල් වුණත් අපිට කරන්න දෙයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති thetime.lk සාකච්ඡාවේදී කියයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුවේ එකඟතාවලට යම් යම් පාර්ශ්ව විරෝධය පළකළත්, නිශ්චිත කාලයක් ගතවනතුරු එම එකඟතා වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැති බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ thetime.lk වෙත පැවසීය.

IMF එකඟතා ජනතාවට ඉදිරිපත් කරන්නෙ කවදද ?

හෙට (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන බවට අපි විශ්වාස කරනවා. ඊටපස්සෙ අපි ඒ එකඟතා ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපිට හංගන්න දෙයක් නෑ. රට වැටිලා තියෙන තැනත් එක්ක අපිට වෙන විසඳුම් නෑ.

දැන් එතකොට ඔක්කොම හරි ද ?

මේක staff level agreement එකක්. අවසාන එකක් නෙමෙයි. ඊළඟට තමයි board level එකට එන්නෙ.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත එන එකඟතාවලට විපක්ෂය පැත්තෙන් විරුද්ධ වුණොත් මොකක්ද කරන්න පුළුවන් …?

දැනට මොකුත් කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි යම් ස්ථාවරයකට ආවට පස්සෙ ඒවා සංශෝධනය කිරීම ගැන හිතන්න පුළුවන්. එතෙක් එහෙම අවධානය යොමුකරන්න ඕනෙ කියලා මම හිතෙන්නෙ නෑ.

ඒ කියන්නෙ ආණ්ඩුව හිතකරයි කියන, පොදුවේ අහිතකර ඒවා තියෙනවා නම්, ඒවා ඉවසගෙන ඉන්න ඕනෙ ද?

නෑ. මේ එකඟතා කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ලෝකයම පිළිගත්තු, මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් පිළිගත් ප්‍රතිපත්ති. එහෙම නැතුව ආණ්ඩුව හංගලා කරන දේවල් හරි, අමුතුවෙන් විරුද්ධ වෙන්න ඕනෙ දේවල් හරි මෙතැන නෑ.

ඒ කියන්නෙ විශ්වාසයක් තියෙනවා, සහතිකෙන්ම මේ තීරණවලින් රට ඉදිරියට යයි කියලා සහ සංශෝධනය කරන්න එකඟතා නෑ කියලා …?

වෙන අපිට විකල්ප තියෙනවද. නෑනෙ. මං දන්න තරමට නම් එහෙම විකල්ප මොකුත් නෑ. මූල්‍ය අරමුදල මේවා අපිට බලහත්කාරයෙන් දෙන්න ආවෙ නෑ. අපිටයි එතැන්ට යන්න සිද්ධ වුණේ. අපිටයි ඒක අත්‍යවශ්‍ය. ඒක හින්දා මේ වෙලාවෙ විශ්වාස කරන්න ඕනෙමයි.

රාජ්‍ය ආයතන රැසක් වසාදැමීමේ තීරණයෙ අලුත් තත්ත්වය කොහොමද?

ඒක ඉස්සරහට යනවා. මේ වෙනකොට ඒ වගේ තැන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා.

මොනවද ඒ…?

අවසාන තීරණවලට එනකම් නම් විදිහට කියන්න බෑ. මූලික අදියරේදී තියෙන්නෙ රාජ්‍ය ව්‍යාපාර. සමහර ඒවා තියෙනවා, සභාපති සහ කීපදෙනෙක් විතරයි ඉන්නෙ. එක ම කාර්යය කරන්න ආයතන කීපයක් තියෙනවා. මේවා වෙනස්වෙන්න ම ඕනෙ දේවල්. ඒත් කිසිම රජයේ සේවකයෙකුට අසාධාරණයක් කරන්න අපි කටයුතු කරන්නෙ නෑ. ඒක පැහැදිලිව කියන්න ඕනෙ.

දින දෙකක් තුළ ඉක්වදෝරය, පේරු සහ ශ්‍රී ලංකාවේ භූ කම්පන

ඉක්වදෝරයේ සහ උතුරු පේරු හි වෙරළබඩ කලාපයේ ආශ්‍රිත රික්ටර් මාපක 6.8 ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මියගොස් අතර 380 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් නිවාස, පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයකටම හානි හානි සිදුව ඇති බවයි.

භූමිකම්පාව ගුවායාස් පළාතේ බලඕ නගරයේ සිට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2) පමණ දුරින් කිලෝමීටර් 66.4 (සැතපුම් 41.3) ගැඹුරින් සිදුව ඇත.

ඉක්වදෝරයේ භූ විද්‍යා ආයතනයට අනුව මූලික භූමිකම්පාවෙන් පසුව ඊළඟ පැයේදී දුර්වල පසු කම්පන දෙකක් ඇතිව ඇති අතර සුනාමියක් තත්වයක් පිලිබඳ අවධානමක් නොමැති බවද බලධාරීහු පවසති.

මේ අතර පේරු බලධාරීන් පැවසුවේ භූමිකම්පාව රටේ උතුරු ප්‍රදේශයට දැනුණද මිනිසුන්ට හෝ ගොඩනැගිලි හානියක් පිළිබඳ වාර්තා නොමැති බවයි.

මේ අතර මෙරට යළි භූ කම්පන දෙකක් සිදුව තිබේ. ඊයේ (18) සවස රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක් කිරින්ද ප්‍රදේශයෙන්ද අද (19) ගෝමරන්කඩවල ප්‍රදේශයට රිච්ටර් මාපක 3ක පමණ භූ කම්පනයක්ද සිදුවී ඇත.

මෙම භූ කම්පා ද්විත්වය ම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙය ජනතාව බිය විය යුතු තත්ත්වයක් නොවන බව යි.

සබැඳි පුවත්

ඇප ලිපිය ලේකම් පිටින් යයි : හපුහින්න ජනාධිපති කාර්යාලයට කැඳවයි – ලේකම් ධුරයට ජනාධිපති කාර්යාලයෙන් කෙනෙක් !

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න ඉවත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (20) සිට ඔහු ව ජනාධිපති ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලෙස ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන රංජිත් අශෝක පත්කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගිය ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමුකර තිබිණි. කැබිනට් මණ්ඩලයේ දැනුම් දීම මත එම ලිපිය නිකුත් කළ බව ඔහුගේ පාර්ශ්වයෙන් සඳහන් කළ ද, අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසුවේ කැබිනට් මණ්ඩලය එවැනි කිසිදු තීරණයක් නොගත් බවයි.

කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡාවකට අනුව, කැබිනට් ලේකම්වරයා විසින් කළ දැනුම්දීමකින් පසු අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇති බවයි.

එම ලිපිය සම්බන්ධයෙන් විමසීමට ඔහු ව මැතිවරණ කොමිසමට ද කැඳවන ලදි. එහිදී අදාළ ලිපිය නිකුත් කිරීම පිළිබඳව ලේකම්වරයා කොමිසමෙන් සමාව ගෙන තිබිණි.

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන ලබාගත් තොරතුරු මගින් තහවුරු වූයේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී මීට අදාළ සාකච්ඡාව ජනවාරි 09දා සිදු කර ඇති බවයි. ජනවාරි 09 දිනැති කැබිනට් මණ්ඩල වාර්තා අංක 34ට අනුව (Cabinet meeting minutes) ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවක තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එහිදී මැතිවරණය සඳහා මූල්‍ය සම්පත් යොදාගැනීම සහ ඊට ඇති හැකියාවන් සහ බාධා පිළිබඳ සාකච්ඡා කර ඇත. ඉන්පසු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඇප මුදල් බාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් හපුහින්නට දැනුම්දීමට ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් ලිපිය ජනාධිපති ලේකම්වරයාට, අගමැති ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යංශයට සහ නීතිපතිවරයාට පිටපත් සහිතව යොමුකර ඇතැයි ද අදාළ තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.

ජනතාවගේ පරිකල්පනය අපරාධ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කරන්න ඕනෙ ! – PIETA අධ්‍යක්ෂ රවිඳු ප්‍රනාන්දු

MEDCOM Short Film Competition – 8th World Conference on Media and Mass Communication කෙටි චිත්‍රපට උළලේ හොඳම සිනමා නිර්මාණය (Top Short Film) ලෙස PIETA හෙවත් ‘අපරාධ රාජ්‍යයක කතාවක්’ තෝරාගැනිණි.

එනම්, MEDCOM Short Film Competitionහි ලෝකයේ විශිෂ්ඨතම චිත්‍රපටය – PIETA ය.

ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය හැකියාව විහිදුවන PIETA අධ්‍යක්ෂ – රවිඳු ප්‍රනාන්දු සමග thetime.lk කළ කතාබහකි, මේ.

PIETA අධ්‍යක්ෂ – රවිඳු ප්‍රනාන්දු

PIETA ඊළඟට කොතැනටද ?

සරල අර්ථයෙන් කිව්වොත්, PIETA කෙටි චිත්‍රපටය ඊළඟට සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට බාරකරනවා. චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ සහ අන්තර්ජාතික කෙටි චිත්‍රපට කිහිපයක් නියෝජනය කළා සහ ජයග්‍රහණය කළා. දැනට හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දෙ අප්‍රේල් 21 වැනිදා මේ චිත්‍රපටය අපේ රටේ පුරවැසියන්ට බාරකරන්න.

ඊට එහා ගිය අර්ථයකින් කිව්වොත්, PIETA හරහා තව-තවත් නිර්මාණ කරන්න සැලසුම් කරමින් ඉන්නවා. තිරපිටපත් කිහිපයක් එක්ක මේ දවස්වල වැඩ කරනවා. කෙටි චිත්‍රපට, වෘතාන්ත චිත්‍රපට සහ වේදිකා නාට්‍යයක් විදිහට තමයි ඒවා සැලසුම් කරමින් ඉන්නෙ.

රවිඳු ප්‍රනාන්දු ඊළඟට කොතැනටද ?

ඉහත කියපු නිර්මාණ එක්ක තමයි මම නිර්මාණකරුවෙක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නෙ. සමහරවිට මේ රටේ තියෙන තත්ත්වය එක්ක ඉදිරි නිර්මාණ එක්ක රවිඳු ප්‍රනාන්දුට කොහෙ- කොහෙ යන්න වෙයිද කියලා තාම හරියට කියන්න බැරි වුණත්, මේ රට වඩා යහපත් තැනක් කරන්න නිවහල් පුරවැසියෙක් විදිහට කරන්න පුළුවන් උපරිම දෙයක් කරනවා. ඒක නිර්මාණ හරහා වගේම මට කරන්න පුළුවන් ඕනෑම දෙයකින් වෙන්න පුළුවන්. 

අපරාධ රාජ්‍යය තුළ පුරවැසියාගේ භූමිකාවත්, නිර්මාණකරුවාගේ භූමිකාවත් හඳුනාගන්නෙ කොහොමද ?

අපරාධ රාජ්‍යයක් වුණු මේ වගේ රටක, දවසෙන් දවස වලපල්ලට යන මේ වගේ රටක නිර්මාණයක් කරනවා කියන එක සෑහෙන විශාල අභියෝගයක්. ඒ අභියෝගය ආර්ථිකය මත රඳාපවතින එකක් විතරක් නෙමෙයි, මානසික නිදහස සහ ජීවන රටාව එක්ක බද්ධවෙලා තියෙන එකක්. හැබැයි බොහෝඅයට මේ වගේ රටක නිර්මාණයක් කරනවා කිව්වම මුලින්ම ඔළුවට එන්නෙ ආර්ථිකය. හැබැයි මට අනුව ආර්ථිකය තියෙන්නෙ ටිකක් පහළ. මට වැදගත් මානසික නිදහස සහ ජීවන රටාව. අපරාධ රාජ්‍යයක පුරවැසියෙක් විදිහට අපිට නිර්මාණයක් කරන්න මානසික නිදහසක් නැහැ. නැත්නම් බොහොම අඩුයි. අනෙක තමයි අපිට අපේ ජීවන රටාව යහපත් සහ අපිට පුරුදු විදිහට පවත්වාගෙන යන්න මේ වෙනකොට ඉඩකඩක් නැතිවෙලා තියෙනවා.

ඉතින් නිර්මාණකරුවෙක් විදිහට කෙසේ වෙතත් පුරවැසියෙක් විදිහටවත් අපිට ජීවත්වෙන්න අපහසු වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො… මේ රටේ දවසෙන් දවස සිද්ධවෙන අපරාධවලට අපිට පුරවැසියෙක් විදිහට කෙලින් හිටගන්න පුළුවන්ද කියලා. බැහැනෙ… එක්කො අපිට ගහයි, නැත්නම් අපේ චරිත අල්ලලා මඩ ගහයි. බැරිම වුණොත් අපිව මරයි… ඉතින් මම හිතනවා නිර්මාණකරුවා කෙසේ වෙතත්, පුරවැසියෙක් විදිහටවත් මේ රටේ කෙලින් හිටහන්න අපිට අපහසුයි.

නමුත් කොහොම හරි මේ අපරාධ රාජ්‍යයට එරෙහිව පුරවැසියෙක් විදිහට, නිර්මාණකාරයෙක් විදිහට සටන් කරන්න ඕනෙ. තම-තමන්ට පුළුවන් විදිහට නිර්මාණාත්මක නිර්මාණ ආයුධවලින් අපරාධකාරී පාලකයාට පහර දෙන්න ඕනෙ සහ ඔබ – මම ඇතුළු සාමාන්‍ය ජනතාවගේ පරිකල්පනය මේ අපරාධ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කරන්න ඕනෙ. මම හිතන්නෙ ඒක තමයි, නිර්මාණකරුවා සහ පුරවැසියාගේ භූමිකාව.

මේ නිර්මාණය : PIETA, ජයග්‍රහණ ලබාගනිමින් ඉදිරියට යනවා. ඒ ගැන සඳහනක් කරමු … ?

දැනට PIETA කෙටි චිත්‍රපටය විදෙස් කෙටි චිත්‍රපට උළෙල 4ක් නියෝජනය කරලා තියෙනවා. ඒ අතරින්  MEDCOM Short Film Competition – 8th World Conference on Media and Mass Communication චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය විදිහට තේරී පත්වුණා. Student World Impact Film Festival එකේ Quarter Finalist වුණා. 2022 වසරේ Agenda 14 Short Film Festival – Sri Lanka හිදී ප්‍රේක්ෂකාගාරයේ සම්මානය PIETA වෙනුවෙන් ලැබුණා. ඒ හැම එකක්ම හුඟක් වටිනවා වගේම භෞතික සම්මාන නොවුණත් මිනිස්සු මේ ෆිල්ම් එක බලලා දෙන අදහස්, හොඳ, නරක, අදහස්, විවේචන හැමදෙයක්ම මට සෑහෙන්න වටිනා ඇගයීම් විදිහට මම දකිනවා. ඒ හැම එකක්ම මට ජයග්‍රහණ.

ව්‍යවස්ථාදායක සභාව අඟහරුවාදා – මැතිවරණ කොමිසම බදාදා : රැස්වීම් විතරද?

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් ලබන අඟහරුවාදා (21) සහ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන බදාදා (22) පැවැත්වීමට නියමිත ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභාවේදී නව පොලිස්පති ධුරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය. එහෙත් ඊට පෙර සඳුදා (20) කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වේ. එහිදී විශේෂ අනුමැතියක් මත වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, ව්‍යවස්ථාදායක සභාවට ඊළඟ පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨත්වය මත පත්කිරීමට අවශ්‍යතාවක් මතුවන්නේ නැත.

කෙසේ වෙතත් එසේ එක් නිලධාරියෙකුට විශේෂ කොට සැලකීමක් සිදුවුවහොත්, එය අනුමත කළ නොහැකි තත්ත්වයකි. වර්තමාන පොලිස්පති යනු ද ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීම සඳහා ආණ්ඩුවේ අවශ්‍යතාව මත නීතිවිරෝධී ලෙස ඇඳිරි නීතිය පැනවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ද චෝදනාවට ලක්ව ඇති නිලධාරියෙකි.

බරපතළ චෝදනා ලත් චූදිතයෙකු වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. ඔහුට එරෙහිව චෝදනා ලැයිස්තුවක් තිබේ.  

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බදාදා (22) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී එහි සභාපති නිමල් පුංචිහේවාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය. මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද සහභාගී වන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ අප්‍රේල් 25දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවයි. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් ලැබී නැති බවයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසමෙන් යොමු කළ ලිපියට ද මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත.

මේ අතර ලබන ජනවාරි මාසය වන විට ප්‍රධාන මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුවේ සමීපතමයන්ට දැනුම් දී ඇතැයි ද ප්‍රවෘත්ති වෙබ්අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

විශිෂ්ට සිනමා රංගනයක් හා එහිලා කරන ලද විශිෂ්ට වේශ නිරූපණයක් !!

0

ඇමෙරිකානු ජාතික තුරණු සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයකු වන Darren Aronofsky විසින් අධ්‍යක්ෂණය කරන ලද අපූරු තේමාවකින් යුතු චිත්‍රපටයකි The Whale ~ 2022 . නාටකීය ෂානරයට අත්වන මෙම අපූරු චිත්‍රපටය පුරු පැය 1 කුත් විනාඩි 57 ක ධාවන කාලයකින් යුත්තය .

ඇමෙරිකාවේ ලේඛක Samuel D. Hunter විසින් රචිත The Whale 2014 නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරල ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වනුයේ විශ්ව විද්‍යාලයක ඉංශ්‍රීසි සාහිත්‍යය උගන්වන ගුරුවරයකු පිළිබඳව ය. අසාමාන්‍ය ලෙස පෘථුල පුද්ගලයකු වන ඔහු කිසිිදු පාලනයකින් තොරව අධික ලෙස මේදය සහිත ආහාර ගනී. එහෙයින්ම ඔහුගේ ජීවිතය ඉතා අවදානම් තත්වයක තිබෙන බව වෛද්‍යවරුන්ගේ නිගමනය වේ. එම සාධකය කේන්ද්‍රගතව දිවෙන මෙම චිත්‍රපටය ප්‍රධාන චරිත සතරකින් සමන්විත වන්නේ ය .

මෙහි ඉතා සුවිශේෂී කාරණාව වන්නේ ප්‍රධාන චරිතය,නිරූපණය කරන හොලිවුඩ් සුපිරි නළු Brendan Fraser තම රංගන චාරිකාව තුළ කරන විශිෂ්ට සිනමා රංගනය හා එම චරිතය සදහා කරන ලද අද්විතීය වේශ නිරූපණය යි. මෙම චිත්‍රපටය සදහා වේශනිරූපණ ශිල්පීන් තිදෙනෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් යොදාගෙන ඇත්තේ ය. ඔවුන් අතර Adrien Morot , Judy Chin හා Anne Marie Bradley ප්‍රධාන වේශනිරූපණ ශිල්පියෝ වූහ. ඔවුන් තිදෙනා විසිනි පුරු පැය හතරකට ආසන්න කාලයක් පුරා Brendan Fraser එම චරිතය සදහා වේෂරූපණය කළ බව කියැවේ.

පසුගියදා එක්තරා රූපවාහිනි නාලිකාවක් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙහි ප්‍රධාන චරිතය රගපාන Brendan Fraser කියා සිටියේ මෙම චරිත නිරූපණය සදහා තමා ඉතා වෙහෙසකර ව්‍යයාත්මක නිරත වූ බවත් බොහෝ දිනයන්හි තමාට පැය කීපයක්ම මෙම වේශනිරූපණයෙන්ම කාලය ගතකරන්න සිදුවූ බවත් ය.

මෙම වේශනිරූපණයෙන් ඉක්බිතිව ඔහුට වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අවම වශයෙන් ආහාර-පාන දුන් බවත් එහිලා ඉතා මද වශයෙන් ජලය පානය කිරීමට සිදුවූ බවත් වැඩිදුරටත් කියැවේ.

කරුණු කාරණා කොයි හැටි වෙතත් ප්‍රධාන චරිතය නිරූපණය කරන Brendan Fraser ගේ හා මෙම චිත්‍රපටයේ ප්‍රධානවේශනිරූපණ ශිල්පීන් තිදෙනාගේ ඉතා වෙහෙසකර ව්‍යයාමය කිසිවිටෙකත් අපතේ නොගොස් ඇති බව පෙනේ. ඊට වෙසෙසින්ම ඉහළම සාධාරණය ඉෂ්ට වී ඇත්තේ ය.

පසුගියදා පවතින ලද Critics Choice Awards හීදී වසරේ හොදම නළුවා වශයෙන් Brendan Fraser ද 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී වසරේ හොදම නළුවා වශයෙන් නැවත වතාවක් Brendan Fraser ද වසරේ විශිෂ්ටතම වේශ නිරූපණය හා කොණ්ඩා සැරසිලි ( Best Makeup and Hairstyling ) වෙනුවෙන් පිදෙන ඔස්කාර් සම්මානය මෙම වේශනිරූපණ ශිල්පීන් තිදෙනා අතරේ බෙදී ගියේය.

නොලියාම බැරි මගේ සටහන

මෑත කාලීනව තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතුරෙන් මම දුටු අති විශිෂ්ටතම රංගන ත්‍රිත්වයක් පිළිබඳව මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි. එම රංගනයන් කොතරම් විශිෂ්ටද කිවහොත් ලොව ඕනෑම තරාතිරමක නළුවකුට හෝ නිළියකට එම රංගනයන් තුළින් උගතහැකි දෑ බොහෝ ය. ඒ තරමටම එම රංගන ත්‍රිත්වය සුවිශේෂී වන්නේ ය

එම අති විශිෂ්ට රංගනයන් ත්‍රිත්වය කුමක්ද ? ඒ අන් කිසිවක් නොව The Whale චිත්‍රපටයේ Brendan Fraser ඉදිරිපත් කරන විශිෂ්ට රංගනය , Evening ~ 2022 චිත්‍රපටයේ Bill Nighy විසින් ඉදිරිපත් කරන රංගනය හා Tar ~ 2022 චිත්‍රපටයේ Cate Blanchett විසින් ඉදිරිපත් කරන රංගනය යි.

2022 වර්ෂයේ දී යුරෝපීයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට සියල්ල අතුරෙන් මෙම සුවිශේෂී රංගන ත්‍රිත්වය වඩාත්ම කැපී පෙනෙන අතර අපේ හදවත්හි සදා නොමියෙන මතකයන් සේ තැම්පත් වන්නේ ය .

යමෙකු තම ජීවිතය තුළ කරන කියන කිනම් හෝ කාර්යයක සාර්ථකත්වය රදා පවතින්නේ ඒ වෙනුවෙන් කරන අධ්‍යනය ,කැපවීම හා අවංකත්වය මතය .මෙම කාරණා ත්‍රිත්වය මෙහිලා කතාබහ කරන සිනමා රංගනය යන කාරණාව සම්බන්ධයෙන් ද අතිශයින්ම වලංගු වන්නේ ය .ඊට මෙම රංගනයන් ත්‍රිත්වය උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය.
මෙරට සිනමාවේ විශිෂ්ට සිනමා රංගවේදීන් සැලකිය යුතු සංඛයාවක් සිනමා රංගනය යනු කුමක්ද යන්න පිළිබඳව විදෙස් චිත්‍රපට නරඹමින් ද ඒ පිළිබඳව රචිත විදෙස් පොතපත කියවමින් ද තම රංගන කෞෂල්‍යය වර්ණවත් කරගත්තෝ වූහ. එහිලා මා දන්නා තරමින් සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා , ටෝනි රණසිංහ, හෙන්රි ජයසේන , ඩග්ලස් රණසිංහ යනාදී නළුවන් ද අයිරාංගනී සේරසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන, ස්වර්ණා මල්ලවආරච්චි , අනෝජා වීරසිංහ යනාදී නිළියන් ද ඉහළින්ම සිටන බව පෙනේ.

එනමුත් වර්තමානයේ මෙරට සිටින නළු නිළියන් බහුතරයක් තම රංගන හෝ ඒ පිළිබඳව අධ්‍යනය පිණිස කැප වෙනවා ද යන්න මට නම් සැක සහිතය.ඔවුනට අවශ්‍ය ජනප්‍රියත්වය හා එහිලා ආරූඪ කරගත් ව්‍යාජ පාණ්ඩිත්‍යයක් පමණි. එහි සමාජ පිළිඹිඹුව නම් බොහෝ නළු නිළියන්ට කිනම් හෝ සම්මුඛ සාකච්ඡාවක් තුළ ශාස්ත්‍රීය වශයෙන් සිනමාව හෝ රංගනය පිළිබඳවත් අඩුම තරමින් මෑතකදී තමන් විසින් නරඹන ලද විශිෂ්ට චිත්‍රපටයක් පිළිබඳවත් කතාබහ කිරීමට නොහැකි වීමයි. එම බොල්ගතිය පිළිඹිබු වන්නේ ඔවුන්ගේ සමාජය හිනස්සන හීනමාන කතා හා දේශපාලන වේදිකාවවල කරන නරි නාටක තුළිනි.

එවන් වූ වපසරියක් තුළ Brendan Fraser විසින් The Whale චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කරන ලද කැපවීම හා රංගන කෞෂල්‍යය අපට වෙසෙසින්ම සිනමා රංගනය යනු කුමක්ද යන්න පිළිබඳව ඉගෙන පාඩම් රාශියක් ඉගෙන ගතහැකි අත්පොතක් ( A Handbook ) වන්නේ ය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

සිංහයෙක්ගේ සුරංගනා කතාව …

ලෝක කුසලානේ දිනලා දැන් අවුරුදු විසි හතක් වෙනවලු. ඒ මට්ටමෙන් ක්‍රිකට් ජයග්‍රහණයක් ආයෙත් ආවේ නැහැ. මේ විදියට ගියොත් එන්නෙත් නැති වෙයි. ඒකට පොඩි හේතුවක් මම දකිනවා. හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි. පොලිටික්ස් ගැන.

ලෝක කුසලානේ වෙලාවේ සනා බලන්න. අවදානමක් අරන් සෙල්ලම් කලේ. කළු ගත්තත් ලොකු පරිස්සම් කාරයෙක් නෙවෙයි. මේකේ අග්‍රඵලය අරවින්ද. ගහන්නේ යකෙක් වගේ. ගුරා වගේ කෙනෙක්, මාවන් වගේ කෙනෙක්, හෂාන් වගේ කෙනෙක් ඇරෙන්න කොහොමත් 96 ටීම් එක ගොඩක් පරිස්සම්කාරයෝ නෙවෙයි. ප්‍රහාරකයෝ. ආරක්ෂිතව ගහන උන් උනත් බය නැහැ.

ඒ එතරම් පරිස්සම් නැති, බය නැති, අභියෝගාත්මක, හිතුවක්කාර කණ්ඩායම ජයග්‍රහණ ගෙනාවා. ලංකාව කවදාවත් නොසිතුව සිහිනයක් අත්පත් කරලා දුන්න. ලෝකයේ ජයග්‍රහණ දැක්ක හැම කණ්ඩායමක් වගේ රණශුරයෝ (warrior) විදියට ක්‍රීඩා කළා. ආසියාව පැත්තේ කපිල් දේව්, ඉම්රාන් ඛාන්, මියන්ඩාඩ්, වසීම් අක්‍රම්, අරා, අර්ජුණ මේ හැමෝම වගේ බය නැති ක්‍රීඩකයෝ. බය නැති එකටත් වඩා ඔය කිව්ව හැම චරිතයක්ම වගේ නාහෙට අහන්නෙත් නැති උං. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව.
නාහෙට අහන්නේ නැති ඔස්ට්‍රේලියාවට අපි ගැහුවෙත් ඒ තාක්ෂණයම පාවිච්චි කරලා. සිංහයෙක්ගේ සුරංගනා කතාව ආරම්භ වෙන්නේ ඒ විදියට (Lion’s fairy tale).

නමුත් දැන් දේශපාලන දිහා බලන්න. කොච්චර පරිස්සම් ද? කොච්චර පෝස්ට් මොඩන් ද? කොච්චර දේශපාලන නිරවද්‍ය බව රකින්න උත්සාහ කරනව ද? කොච්චර බුර්ෂුවා මැද පංතික වටිනාකම් වලට යටත් ද?
විප්ලව දෙකක් කරපු පක්ෂයක් හැටියට ජ. වි. පෙ. වර්තමාන නායකයා කතාකරන කොට වචන ගැන ගොඩක් පරිස්සම් වෙනවා කියල කියනවා.

එක වචනයක් මිස් උණොත් ඒ හානිය හදන්න ගොඩක් අමාරුයි කියල හිතන නිසා වෙන්න ඇති වචන තෝරලා තෝරලා කතාකරන්නේ.

හැබැයි බලන්න එස්බී. ”දන්නේ නැහැ …දෙන්නේ නැහැ..කියන්නෙත් නැහැ …පුළුවන් දෙයක් කරපන්” කියල ගේම ඉල්ලනවා. එයා මොන තත්වය ඇතුලේ උනත් අර බුර්ෂුවා දේශපාලන නිරවද්‍ය වහන්තරාවට අභියෝග කරනවා. වාසු. ඒත් එහෙමයි. යකා නැග්ග. කියල දැම්ම.

නිකම් බලන්න එයාලට අදාල වෙනත් දේශපාලන කුජීතකම් ඇති. හැබැයි එස්. බී. ල, වාසු ල කුණුහරපයක් කීවා කියල මිනිස්සු එයාල ප්‍රතික්ෂේප කළේ නැහැ. අඳුරු පැවැත්මක්, හිතුවක්කාර පැවැත්මක් තිබ්බ කියල මහින්ද ප්‍රතික්ෂේප උනෙත් නැහැ. මිනිස්සු කැමතියි එහෙම බොරු බුර්ෂුවා සදාචාරයක් නඩත්තු නොකරන දේශපාලනයට. බොරු සංකේත පිළිවෙල අපි රකින්න ඕනි නැහැ.

දේශපාලනයේ නොසිතුව දුරක් යන්න මහින්දට එයාගේ ‘හිතුවක්කාර’ කියන පැවැත්ම බලපෑවා. ඒක අපි ඉගෙන ගතයුතු දෙයක්.

Spotlight චිත්‍රපටියේ The Boston Globe පත්තරේ අයිතිකාරයා අලුත් කතෘගෙන් (මාටි) අහනවා පල්ලිය ගැන නිශේධනාත්මක දෙයක් පළ කරන්න ගිහිල්ල අපේ ක්‍රිස්තියානි පාඨක ප්‍රජාව නැති වෙයිද කියල. මාටි එකවරම කියනවා, ”නැහැ..පාඨකයෝ වඩාත් ඒ ගැන උනන්දු වෙයි” කියල. කිව්වා වගේම මිනිස්සු බොස්ටන් ග්ලෝබ් පත්තරේ නිව්ස් එක විශ්වාස කළා.
බොරුවට බය වෙන්න එපා. දේශපාලන නිරවද්‍ය බව රකින්න එපා. උං ඒවා රකින්නෙත් නැහැ. සටන්කාමී වෙන්න. රැඩිකල් වෙන්න. සමාජවාදය තියා මොන වාදයක්වත් තනුක කරන්න යන්න එපා. තමන් විශ්වාස කරන දේ එක්ක ඉන්න. මිනිස්සු නිකම්ම ඔයාල විශ්වාස කරයි.

මීට වසර විසි හතකට කලින් අපි එයාල විශ්වාස කළා. ලෝක ගෝලයේ පොඩි හැබැයි නිර්භීත රණශුරයෝ ටිකක් ගේම ගහල කුසලානේ අරන් ආව. එතනින් ඉගෙන ගමු.

අපිට නැතිවෙන්න කියල තවත් දේවල් නැහැ. අළු වල ඉඳල පටන් ගම්මු.

මහේෂ් හපුගොඩ

2019 අප්‍රේල් 21න් පසුව ආ 2019 ජූලි මාසයේ දවසක් : පාස්කු වින්දිතයන් වෙනුවෙන් අද ටවර් රඟහලට එන්න !

‘2019 වසරේ එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක් පාදක කරගෙනයි මේ නාට්‍යය ගොඩනැගිලා තියෙන්නෙ. ඒ හරහා මේ ගතවෙන ජීවිතයත්, ඉදිරියේදී ගතවෙන්න තියෙන ජීවිතයේ සමහර කාරණාවලට හේතු වුණු අපේ හැසිරීම් සමුදායත් යම් විවරණයකට ලක්කරනවා. සැකය, බිය වැනි කාරණා මිනිස්සුන්ගෙ මනසට ඇතුළු වුණාම ඔවුන් ක්‍රියාකරන ආකාරයත්, ඒ ඔස්සේ සමහර මඟහැරෙන දේවල් පිළිබඳවත් සිතීමකට ප්‍රේක්ෂකයාට ඉඩසලසන්නයි මෙම නිර්මාණයෙන් මම උත්සාහ කරන්නෙ.’

රාජිත දිසානායක මෙහෙම කියන්නෙ ‘2019 ජූලි මාසයේ දවසක්’ වේදිකා නාට්‍යය ගැන.

නිර්මාණකරණයට අවශ්‍ය වස්තුබීජ ඇති තරම් තියෙන මේ වගේ පොළොවක ඔබ නාට්‍යයට මුල්කරගන්නෙ කල්පිතයක්. ඇයි ඒ … ?

ඒ ප්‍රශ්නෙට රාජිතට මෙහෙම උත්තරයක් තියෙනවා.

‘කලාව කියන්නෙ ප්‍රබන්ධයක්. පරිකල්පනය තුළ තමයි ප්‍රබන්ධයක් ගොඩනැගෙන්නෙ. සිදුවූ සිද්ධියකදි වුණත් පරිකල්පනයෙන් එකතු වෙන කොටස් තියෙනවා. කලාකරුවාගේ කාර්යය වෙන්නෙ පරිකල්පනය තුළ ප්‍රබන්ධය ගොඩනැගීමයි. මේ නිර්මාණයෙත් ඒ වගේම සිදු විය හැකිව තිබූ දෙයක් නිර්මාණය කරලා තියෙන්නෙ. නිර්මාණයක් වාර්තාවකින් වෙනස් වෙන්නෙ ඒ අයුරින්.’

ඔහු නිර්මාණය කර ඇත්තේ කුමක්ද ?

ඔහු කියන්නට හදන්නේ කුමක්ද ?

2019 අප්‍රේල් 21න් පසුව එන 2019 ජූලි මාසයේ දවසක් …!

මීට අවුරුදු 27කට පෙර ‘සක්වාදාවල’ අරන් වේදිකාවට පැමිණි රාජිත, ‘හංසයන්ටත් මං ආසයි – 1996’, ‘මට වෙඩි තියන්නැද්ද – 1999’, වීරයා මැරිලා – 2002’, ‘සිහින හොරු අරං – 2005’, ආපහු හැරෙන්න බෑ – 2009’, ‘බකමුණා වීදි බසී’ වගේ වේදිකා නාට්‍ය හරහා වේදිකාවේ නිශ්චිත සලකුණක් සටහන් කළා. ආපහු හැරෙන්න බෑ කියන්නෙ ඔහුගෙ කුඨප්‍රාප්තිය. බකමුණා වීදි බසී තුළ පරණ රාජිත ව හමුවෙන්නෙ ටිකක් අඩුවෙන්.

ඒත් ‘2019 ජූලි මාසයේ දවසක්’ හරහා ඔහු යළිත් පුරුදු ප්‍රහාරාත්මක සහ තාක්ෂණික පිති හරඹයේ යෙදෙනවා.

ස්විට්සර්ලන්ත මනෝ විද්‍යාඥයෙකු වූ කාර්ල් ජුන්ග් (Carl Gustav Jung : 1875-1961) රාජිත දිසානායක වැන්නන්ගේ සමාජ මැදිහත්වීම දකින්නෙ මේ විදිහට.

‘කලාවෙන් අනාවරණය කෙරෙන යතාර්ථය සමාජයේ පවතින්නකි. එහෙත් සමාජය ඒ ගැන නොදනී. එම නොදන්නා දේ ඉක්මවා පෙරට යෑමට සමාජයට යතාර්ථය පිළිබඳ ඥානය අවශ්‍ය වේ. එම ඥානය භාවිතයට මගපෙන්වයි. කලාවේ මාර්ගය වැටීඇත්තේ මේ මාවතේ ය.’

සමාජයෙන් සත්‍යය වසන් කළ – කරන – නියත වශයෙන් ම ඉදිරියේදී අනාවරණය වන ඒ බරපතළ අපරාධය සිදු කළේ 2019 අප්‍රේල් 21 : පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.

බලය වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන ඝාතකයන්ගේ මග වැටී ඇත්තේ කොතැනටද යන්න තේරුම්ගැනීම සඳහා කලාවෙන් ජනතාව ඥානනය කිරීම අත්‍යවශ්‍යයි.

මේ, එවැනි ප්‍රයත්නයක්.

ඒ වගේම,

ඒ අපරාධයේ වින්දිතයන් කිහිපදෙනෙකු ජීවත් කරවන්න – ඔවුන්ට තාවකාලිකව හෝ සිනහවක් දෙන්න…

හැකි නම්,

අද (18) රාජිතගෙ නාට්‍යය බලන්න එන්න.

තැන – මරදාන, ටවර් හෝල් රඟහල

වෙලාව – 3.30 සහ 7.00

එන්න අමාරු නම් ටිකට් එකක් අරගෙන ඒ සිනහවට දායක වන ලෙසත් සංවිධායකවරුන් ඉල්ලා සිටිනවා.

ගිණුම් අංකය –

142020128644

හැටන් නැෂනල් බැංකුව : තලවතුගොඩ ශාඛාව

වැඩි විස්තර : 071 555 1237 (දුරේක්ෂා)