වරප්‍රසාදවලට මුවාවී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හිරකිරීමේ උත්සාහයක් ? : නීතිය සහ විරෝධයට හේතුව මෙන්න !

Share post:

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වහාම පරාජය කළ යුතු බව ජනමාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අවධාරණය කරති.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සිදු විය. මෙම අවස්ථාවලදී අනුගමනය කළ ක්‍රියාවලිය වූයේ කමිටුවක් හරහා ම එය විමර්ශනය කිරීමයි.

මීට අදාළ නවතම සිදුවීම වන්නේ සියත රූපවාහිනියේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට එරෙහිව වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමේ උත්සාහයයි. ඔහු විසින් ඉදිරිපත් කරන සියත – ටෙලිවැකිය නම් වැඩසටහන මගින් මෙම නීතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ චෝදනාව පිළිබඳ පාර්ලිමේන්තුව මගින් විමර්ශනයක් සිදු නොකොට, නීතිපතිවරයා මගින් එය සිදුකිරීමටත්, ඒ අනුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් ආණ්ඩුව පාර්ශ්වයෙන් තීරණය කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එසේ කටයුතු කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට ඇති බවයි.

එහෙත් පසුගිය කාලය පුරා සිදු නොකළ ආකාරයට, මේ අවස්ථාවේ කටයුතු කිරීමට උත්සාහ කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බවත්, මෙමගින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා කටයුතු කරනු ඇතැයි සැක කළ හැකි බවත් ය.

හෙට (20) මීට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (19) උදෑසන වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා වෙමින් පැවතිණි.

ව්‍යවස්ථාවේ සීමා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළුව අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය. එහෙත් එහි 15(2) අනුව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

‘14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්‍කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික සහ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස හෝ වරදකට පෙලඹීම හා සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව ය.’

එනම් භාෂණයේ නිදහසට ඇති අයිතියට ඇති එක් සීමාවකි, පාර්ලිමේන්තු වරප්‍රසාද. පාර්ලිමේන්තු වරප්‍රසාද ලෙස හඳුන්වන්නේ පාර්ලිමේන්තුව ආයතනයක් වශයෙන් ද, එහි සාමාජිකයන් පෞද්ගලික මට්ටමින් ද භුක්ති විඳින පාර්ලිමේන්තුවට වෙන් වූ අයිතීන් ය.

මූලික අයිතියක් !

අමරතුංග එදිරිව සිරිමල් හා අනෙක් අය නඩු තීන්දුවේ සඳහන් වන්නේ පුද්ගලයන්ට වාචිකව හෝ වාචික නොවන ආකාරයට සටන් පාඨ කියමින්, බැනර්, පුවරු ප්‍රදර්ශනය කරමින් ආදී ඕනෑම ක්‍රමයක් භාවිත කරමින් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි. විශ්වලිංගම් එදිරිව ලියනගේ නඩු තීන්දුවේ දැක්වුණේ  තොරතුරු ලබාගැනීමේ අයිතිය ද අදහස් පළකිරීමේ නිදහස යන්නට ඇතුළත් වන පරිදි අර්ථ නිරූපණය කළ හැකි බවයි.

පාර්ලිමේන්තුව ?

‘ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්’ නම් සිය ග්‍රන්ථයේ දී විනිශ්චයකාර ශර්වානන්ද සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව සතු බලතල හෝ එහි සාමාජිකයන් සතු බලතල නිර්ණය කිරීමට හෝ පාලනය කිරීමට පාර්ලිමේන්තුවට නීතිමය බලයක් ඇත. පාරේලිමේන්තු වරප්‍රසාද පිළිබඳ නීතිය පාලනය වන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තුවේ බලය හා වරප්‍රසාද පිළිබඳ පනත මඟිනි. මෙම පනත 1978 අංක 05 දරන පනත හා 1980 අංක 11 දරන පනත මගින් මෙන්ම 1984 අංක 25 දරන පනත මගින් ද සංශෝධනය කරන ලදි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට අනුව දඬුවම් ලැබිය හැකි වැරදි

1. පාර්ලිමේන්තු විවාදයක් හෝ පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක ක්‍රියාදාමයක් හිතාමතා අසත්‍ය හෝ වැරදි සහගත ලෙස ප්‍රසිද්ධියට පත් කිරීම.

2. පාර්ලිමේන්තු සාමාජිකයකු විසින් පාර්ලිමේන්තුවේදී හෝ එහි කමිටුවකදී කරනු ලබන කතාවක් හිතාමතා වැරදි ලෙස දැක්වීම.

3. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් හෝ පාර්ලිමේන්තුවේ ස්වභාවය අපහාසයට ලක්වන ප්‍රකාශයක් කිරීම.

4. පාර්ලිමේන්තුවේ නියෝජිතයකු වන යම් පුද්ගලයකුගේ හැසිරීම පිළිබඳව අපහාසාත්මක ප්‍රසිද්ධ කිරීම.

5. රජය විසින් ‍හෝ පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක අවසරය යටතේ මුද්‍රණය කිරීමට අදහස් කරන ලද එහෙත් මෙතෙක් මුද්‍රණය කර නැති යම් පනතක කොපියක් හෝ වාර්තාවක් හෝ ලියවිල්ලක් හෝ ලුහුඬු සටහන් ‍හෝ අනෙකුත් සටහන් හෝ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියක් පිළිබඳව මුද්‍රණය කිරීමක් ද එවැනි ලේඛනයක කොපියක් යැයි පෙනෙන්නා වූ ලේඛනයක් මුද්‍රණය කිරීම.

6. පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් විසින් ප්‍රසිද්ධ කිරීම තහනම් කොට ඇති පාර්ලිමේන්තුවේ හෝ එහි කමිටුවක විවාදයක් හෝ ක්‍රියාදාමයක් හිතාමතාම වාර්තා කිරීම.

විවේචනය කිරීමේ අයිතිය !

පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධව අධිකරණය ලබා දී ඇති නඩු තීන්දු කිහිපයක් සලකා බැලීම ද මෙහිදී වැදගත් වේ. නීතිඥ එස්.එම්. ජයසූරිය ලියන ලද ප්‍රසිද්ධ ලිපියක සඳහන් වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් නීතිපති එදිරිව නඩේසන් නඩුවේ තීරණය ඉතා වැදගත් වන බවයි. ඊට හේතුව පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් විවේචනය කිරීමට යම්තාක් දුරකට රටේ පුරවැසියන්ට අයිතියක් ඇති බවටත්, එම විවේචනය කිරීමේ පරිමාණය පිළිබඳවත් අදහසක් මෙම නඩු තීන්දුවේ අන්තර්ගත වීම ය.

එම ලිපියේ මෙසේ දැක්වේ. ‘එවකට පැවති ජාතික රාජ්‍ය සභාව, එහි ස්වරූපය හා එහි ක්‍රියාපටිපාටිය අපහාසාත්මක ලෙස හුවාදක්වමින් Observer පත්‍රයේ පළ කර තිබූ ඡායාරූපයක් හා විස්තරයක් නිසා Observer පත්‍රයේ කතුවරුන් දෙදෙනකුට ජාතික රාජ්‍ය සභාව (1972 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය හඳුන්වන ලද්දේ ජාතික රාජ්‍ය සභාව ලෙස ය.) දඬුවම් කළ අතර, එය විවේචනය කරමින් නඩේසන් මහතා Sun පත්‍රයේ පළකරන ලද ලිපියක් නිසා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව මෙම නඩුවේදී ඉදිරිපත් කළ චෝදනාවයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් විවේචනය කිරීමට පුරවැසියන්ට යම් නිදහසක් ඇති බවත් එහෙත් එම නිදහස සීමාසහිත නිදහසක් බවත් ය. මෙහිදී වගඋත්තරකරු එම සීමාව අතික්‍රමණය කර නැතැයි යන්න තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

නීතිපති එදිරිව සිරිවර්ධන නඩුවේ දී එවකට උඩුදුම්බර ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා කාල් මාක්ස් හා ඔහුගේ ‘දාස් කැපිටාල්’ නම් කෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය ‘ඇත්ත’ පත්‍රයේ කතුවර බී. ඒ. සිරිවර්ධන සිය පත්‍රයේ කතුවැකිය මඟින් නිර්දය ලෙස (Strongly Worded) විවේචනය කළේය. ඔහු තම කතුවැකිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොනුන්, බූරුවන් හා බුද්ධි හීනයන් ලෙස හඳුන්වන ලදි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එම කතුවැකිය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්, එයින් පාර්ලිමේන්තුවට අපහාසයක් සිදු වී ඇති බවත් ය.

thetime.lk මතය කුමක්ද ?

මාධ්‍යවේදීන් විසින් අපහාසාත්මක ආකාරයෙන් හෝ පවතින නීති අහේතුක ලෙස උල්ලංඝනය වන ආකාරයෙන් තම වෘත්තීය කටයුතුවල යෙදෙන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය. එහෙත් මෙහිදී 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත විශේෂ කොට යොදාගැනීමේ උත්සාහයක් අපට නිරීක්ෂණය වේ. ප්‍රයෝගික භාවිතයේදී තොරතුරු සැඟවීමටත්, විශේෂ අවස්ථා භුක්ති විඳීමටත් සකස් කරගෙන ඇති නීතියක් ලෙසට චෝදනා එල්ල වී ඇති මෙම පනත යොදාගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමටත්, මාධ්‍යවේදීන් මර්දනය කිරීමටත් කටයුතු කරන්නේ නම්, ඊට අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු.

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...