සිංහයෙක්ගේ සුරංගනා කතාව …

Share post:

ලෝක කුසලානේ දිනලා දැන් අවුරුදු විසි හතක් වෙනවලු. ඒ මට්ටමෙන් ක්‍රිකට් ජයග්‍රහණයක් ආයෙත් ආවේ නැහැ. මේ විදියට ගියොත් එන්නෙත් නැති වෙයි. ඒකට පොඩි හේතුවක් මම දකිනවා. හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි. පොලිටික්ස් ගැන.

ලෝක කුසලානේ වෙලාවේ සනා බලන්න. අවදානමක් අරන් සෙල්ලම් කලේ. කළු ගත්තත් ලොකු පරිස්සම් කාරයෙක් නෙවෙයි. මේකේ අග්‍රඵලය අරවින්ද. ගහන්නේ යකෙක් වගේ. ගුරා වගේ කෙනෙක්, මාවන් වගේ කෙනෙක්, හෂාන් වගේ කෙනෙක් ඇරෙන්න කොහොමත් 96 ටීම් එක ගොඩක් පරිස්සම්කාරයෝ නෙවෙයි. ප්‍රහාරකයෝ. ආරක්ෂිතව ගහන උන් උනත් බය නැහැ.

ඒ එතරම් පරිස්සම් නැති, බය නැති, අභියෝගාත්මක, හිතුවක්කාර කණ්ඩායම ජයග්‍රහණ ගෙනාවා. ලංකාව කවදාවත් නොසිතුව සිහිනයක් අත්පත් කරලා දුන්න. ලෝකයේ ජයග්‍රහණ දැක්ක හැම කණ්ඩායමක් වගේ රණශුරයෝ (warrior) විදියට ක්‍රීඩා කළා. ආසියාව පැත්තේ කපිල් දේව්, ඉම්රාන් ඛාන්, මියන්ඩාඩ්, වසීම් අක්‍රම්, අරා, අර්ජුණ මේ හැමෝම වගේ බය නැති ක්‍රීඩකයෝ. බය නැති එකටත් වඩා ඔය කිව්ව හැම චරිතයක්ම වගේ නාහෙට අහන්නෙත් නැති උං. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව.
නාහෙට අහන්නේ නැති ඔස්ට්‍රේලියාවට අපි ගැහුවෙත් ඒ තාක්ෂණයම පාවිච්චි කරලා. සිංහයෙක්ගේ සුරංගනා කතාව ආරම්භ වෙන්නේ ඒ විදියට (Lion’s fairy tale).

නමුත් දැන් දේශපාලන දිහා බලන්න. කොච්චර පරිස්සම් ද? කොච්චර පෝස්ට් මොඩන් ද? කොච්චර දේශපාලන නිරවද්‍ය බව රකින්න උත්සාහ කරනව ද? කොච්චර බුර්ෂුවා මැද පංතික වටිනාකම් වලට යටත් ද?
විප්ලව දෙකක් කරපු පක්ෂයක් හැටියට ජ. වි. පෙ. වර්තමාන නායකයා කතාකරන කොට වචන ගැන ගොඩක් පරිස්සම් වෙනවා කියල කියනවා.

එක වචනයක් මිස් උණොත් ඒ හානිය හදන්න ගොඩක් අමාරුයි කියල හිතන නිසා වෙන්න ඇති වචන තෝරලා තෝරලා කතාකරන්නේ.

හැබැයි බලන්න එස්බී. ”දන්නේ නැහැ …දෙන්නේ නැහැ..කියන්නෙත් නැහැ …පුළුවන් දෙයක් කරපන්” කියල ගේම ඉල්ලනවා. එයා මොන තත්වය ඇතුලේ උනත් අර බුර්ෂුවා දේශපාලන නිරවද්‍ය වහන්තරාවට අභියෝග කරනවා. වාසු. ඒත් එහෙමයි. යකා නැග්ග. කියල දැම්ම.

නිකම් බලන්න එයාලට අදාල වෙනත් දේශපාලන කුජීතකම් ඇති. හැබැයි එස්. බී. ල, වාසු ල කුණුහරපයක් කීවා කියල මිනිස්සු එයාල ප්‍රතික්ෂේප කළේ නැහැ. අඳුරු පැවැත්මක්, හිතුවක්කාර පැවැත්මක් තිබ්බ කියල මහින්ද ප්‍රතික්ෂේප උනෙත් නැහැ. මිනිස්සු කැමතියි එහෙම බොරු බුර්ෂුවා සදාචාරයක් නඩත්තු නොකරන දේශපාලනයට. බොරු සංකේත පිළිවෙල අපි රකින්න ඕනි නැහැ.

දේශපාලනයේ නොසිතුව දුරක් යන්න මහින්දට එයාගේ ‘හිතුවක්කාර’ කියන පැවැත්ම බලපෑවා. ඒක අපි ඉගෙන ගතයුතු දෙයක්.

Spotlight චිත්‍රපටියේ The Boston Globe පත්තරේ අයිතිකාරයා අලුත් කතෘගෙන් (මාටි) අහනවා පල්ලිය ගැන නිශේධනාත්මක දෙයක් පළ කරන්න ගිහිල්ල අපේ ක්‍රිස්තියානි පාඨක ප්‍රජාව නැති වෙයිද කියල. මාටි එකවරම කියනවා, ”නැහැ..පාඨකයෝ වඩාත් ඒ ගැන උනන්දු වෙයි” කියල. කිව්වා වගේම මිනිස්සු බොස්ටන් ග්ලෝබ් පත්තරේ නිව්ස් එක විශ්වාස කළා.
බොරුවට බය වෙන්න එපා. දේශපාලන නිරවද්‍ය බව රකින්න එපා. උං ඒවා රකින්නෙත් නැහැ. සටන්කාමී වෙන්න. රැඩිකල් වෙන්න. සමාජවාදය තියා මොන වාදයක්වත් තනුක කරන්න යන්න එපා. තමන් විශ්වාස කරන දේ එක්ක ඉන්න. මිනිස්සු නිකම්ම ඔයාල විශ්වාස කරයි.

මීට වසර විසි හතකට කලින් අපි එයාල විශ්වාස කළා. ලෝක ගෝලයේ පොඩි හැබැයි නිර්භීත රණශුරයෝ ටිකක් ගේම ගහල කුසලානේ අරන් ආව. එතනින් ඉගෙන ගමු.

අපිට නැතිවෙන්න කියල තවත් දේවල් නැහැ. අළු වල ඉඳල පටන් ගම්මු.

මහේෂ් හපුගොඩ

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...