ව්‍යවස්ථාදායක සභාව අඟහරුවාදා – මැතිවරණ කොමිසම බදාදා : රැස්වීම් විතරද?

Share post:

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් ලබන අඟහරුවාදා (21) සහ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන බදාදා (22) පැවැත්වීමට නියමිත ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභාවේදී නව පොලිස්පති ධුරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය. එහෙත් ඊට පෙර සඳුදා (20) කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වේ. එහිදී විශේෂ අනුමැතියක් මත වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, ව්‍යවස්ථාදායක සභාවට ඊළඟ පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨත්වය මත පත්කිරීමට අවශ්‍යතාවක් මතුවන්නේ නැත.

කෙසේ වෙතත් එසේ එක් නිලධාරියෙකුට විශේෂ කොට සැලකීමක් සිදුවුවහොත්, එය අනුමත කළ නොහැකි තත්ත්වයකි. වර්තමාන පොලිස්පති යනු ද ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීම සඳහා ආණ්ඩුවේ අවශ්‍යතාව මත නීතිවිරෝධී ලෙස ඇඳිරි නීතිය පැනවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ද චෝදනාවට ලක්ව ඇති නිලධාරියෙකි.

බරපතළ චෝදනා ලත් චූදිතයෙකු වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. ඔහුට එරෙහිව චෝදනා ලැයිස්තුවක් තිබේ.  

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බදාදා (22) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී එහි සභාපති නිමල් පුංචිහේවාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය. මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද සහභාගී වන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ අප්‍රේල් 25දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවයි. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් ලැබී නැති බවයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසමෙන් යොමු කළ ලිපියට ද මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත.

මේ අතර ලබන ජනවාරි මාසය වන විට ප්‍රධාන මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුවේ සමීපතමයන්ට දැනුම් දී ඇතැයි ද ප්‍රවෘත්ති වෙබ්අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...