( ධූමලාවණ්‍යාගාරයේ දේශපාලනික දෘෂ්ටිය )
මානව ජීවිතයේ අනිවාර්යය හා අත්‍යවශ්‍ය අංගය වන දේශපාලනය යළි මිදිය නොහැකි ලෙස මනුෂ්‍යයා හා බද්ධ වී පවතින්නකි. උපතේ සිට මරණය දක්වා අනේක විධ වූ දිවි ගමන තුළ මුහුණදීමට සිදුවන්නා වූ සියල්ල හා බැඳී පවතිනුයේ දේශපාලනය යන්න අතිශයෝක්තියක් නොවේ. “දේශපාලනයෙන් තොරව සිටිය හැක්කේ දෙවියන්ට හා තිරිසනුන්ට පමණකි“ යන ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්ගේ මතය වඩ වඩාත් තහවුරු කරනුයේ ආගම, ජාතිය, සංස්කෘතිය ආදිය වුව දේශපාලනය හේතුවෙන් බිහි වූ දෑ වන හෙයිනි. සාහිත්‍යයට වුව දේශපාලයෙන් මිදිය නොහැක්කේ එබැවිනි. නවකතාව, කෙටිකතාව මතු නොව කවිය හා ගීතය වටා ද එකී දේශපාලනික පවුර අතිශය ශක්තිමත්ව බැඳී පවතින්නකි. “ඔවුහු ගී ගයමින් වේදනාව උගනිතියි“ ශෙලී ප්‍රකට කළ ද එම වේදනාව වුව පැන නගිනුයේ දේශපාලනය හේතුවෙන් වීම විස්මයජනක නොවෙ ද ?
එදිරිවීර සරච්චන්ද්‍රයන් කවිය “කවිය යනු කවියා විසින් නොයෙක් වචන ගෙන නොයෙක් අරුත් ගෙන විවිධ ලෙස ඒවා මිශ්‍ර කොට පෙර නොවූ විරූ ව්‍යංගාර්ථ, ශබ්ද ධ්වනි ඇතිකොට අපූරු රසයක් නිර්මාණය කිරීම“ යැයි පිළිබඳ සිය අදහස් දක්වන්නා වූ අතර නොයෙක් වචන හා අරුත් ගෙන විවිධ ලෙස ඒවා මිශ්‍ර කොට පෙර නොවූ විරූ රසයක් හෙවත් අපූර්වත්වයක් ජනනය කිරීම වර්තමාන ලාංකීය කවියා එලෙසින් ම සිදුකරන්නේ ද යන කුකුස පාඨකයා ජනනය වීම සාධාරණය. අපූර්වත්වය හා කවියේ ගුණාත්මක බව පසෙක තවා සංවේදීතාවයෙන් හා අසභ්‍ය මෙන්ම ග්‍රාම්‍ය වදනින් කවියෙහි ජීව ගුණයට හානි පමුණවන්නා වූ වර්තමාන බහුතර කවි කිවිඳියන් පිරිස් අතරේ සමකාලීන හෙවත් නූතන කවියේ ඉසියුම් සීමාවන් ස්පර්ෂ කිරීමෙහි ලා සමත්කම් දැක්වූ ඇල්කොහොල් නොමැති සඳ නම් සිය කුළුඳුල් කාව්‍ය කෘතියෙන් කාව්‍යමය සන්දර්භය වෙත අත්පොත් තැබුවා වූ ද සිය දෙවන කාව්‍යමය ව්‍යායාමය වූ මීළඟ මීවිත නම් අනුපමේය කාව්‍ය කෘතියෙන් පාඨක ප්‍රජාව වෙත නව කාව්‍යමය ප්‍රහර්ශයක් උපදවීමෙහි සමර්ථ වූ ද රුවන් බන්දුජීව නම් නූතනවාදී කවියා, සිය තෙවන කාව්‍යාත්මක ආලෝලනය ලෙස ධූමලාවණ්‍යාගාරය නම් වූ අතිශය ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය අප වෙත තිළිණ කොට ඇත.
සිය කවිය තුළ වර්ධනාත්මක ලක්ෂණ වඩ වඩාත් ප්‍රකට කරමින් පළ කරන ලද්දා වූ ධූමලාවණ්‍යාගාරය නම් කාව්‍ය සංග්‍රහය හරහා සිය සමාජය තුළ මුල්බැසගත් දේශපාලනය මෙන්ම තම පෞද්ගලික දේශපාලන දෘෂ්ටිය ද පාඨකයා වෙත හෙලීමට බන්දුජීව කවියා සමත්ව ඇත. දේශපාලනික වශයෙන් අධිපති ද්වි පක්ෂ ක්‍රමයකට හුරුවී සිටින ලාංකීය ජනයාගේ දේශපාලනික හෘද සාක්ෂිය ඔහු සිය කවිය තුළට නගා ඇති ආකාරය අතිශය මනස්කාන්ත ය.
මහා ගත්කරුවකු විසින්
දෙකඩකර පෑන් තුඩකින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස හා ජිනපාල
එකී පෑන් තුඩින්
ගමක් පෙරළන අතර
එහි තෙරපුමට යටකර
තුන්ඈඳුතු බවින් බැහැර
වසංගත කැකෑරෙන
විවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක් ය ජිනදාස
එකී පෑන් තුඩින්
ජූනියර් ගිනිවැල්ලේවරයෙකුට නතුකර
අතවැසිබව නම වෙත ඈඳුතුකර
දූවක අභිරහස් අතර
යෞවන ශ්‍රමය වගුරුවන්නට සිදුවන
සංවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක් ය ජිනපාල
දෙකඩකර පෑන් තුඩකින්
විධාන දී – ඉතා සූක්ෂම බසකින්
උනුන් හමුනොවන විලසින්
මහා ගත්කරුවෙකු විසින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස හා ජිනපාල”
( දෙමගක යවන ලද අය | 19 පිට )
ලීලා නවකතාවෙන් උපන් වික්‍රමසිංහයානු නවකතා මාවත හා ගැහැනියක් නම් කෙටිකතා සංග්‍රහයෙන් උපන් වික්‍රමසිංහයානු කෙටිකතා මාවත සිහල සාහිත කලා පෝෂණයෙහි ලා කෙතරම් සේවයක් ඉටුකරේදැයි යන්න මාර්ටින් වික්‍රමසිංහයන් හෙළයේ මහා ගත්කරු ලෙස හඳුන්වාගැනීම හරහා වටහා ගත හැකිවේ. එසේ මහා ගත්කරුවකු විසින් තම පෑන් තුඩ උපයෝගී කොට දෙකඩකර දෙමගක එනම් කෘති ද්විත්වයක වෙනස් මංමාවත් ඔස්සේ ගමනෙහි යෙදවීම නම් අතිශය සරල සිදුවීම විචිත්‍රවත් වූ වින්දනාත්මක බස් වහරක මනලෝලීත්වය සමඟින් සම්මිශ්‍ර කොට සිය ප්‍රකාශනය හෙවත් කවිය අරඹන්නා වූ රුවන් බන්දුජීව කවියා ගම්පෙරළියේ ජිනදාස නම් වූ චරිතය හා මඩොල් දූවේ ජිනපාල නම් වූ චරිතයන් තම කවිය වෙතට සබඳා ඇති ආකාරය අතිශය සියුම් හා සුන්දර මගක් වෙත පාඨකයා වෙත විවර කර දෙයි. “නන්දා, මම මෙහෙම නිකම් ගෙදර හිටියා ම කොහොම ද ? පොඩි වෙළදාමක්වත් කරන්න සිංහලේ යන්නයි මම හිතාගෙන ඉන්නේ“ යනුවෙන් ගම්පරළියෙහි වෙළදාම් පිණිස බිබිලට සංක්‍රමණය වන ජිනදාස නම් වූ චරිතය තවදුරටත් විග්‍රහ කරමින් කවියා සිය දෘෂ්ටිය එක් අන්තයක් කරා රඳවාගනියි. පළමු කාව්‍ය ඛණ්ඩයේ ද සඳහන් වූ එකී පෑන් තුඩ යනුවෙන් කවියා සංකේත කරනුයේ අන් කිසිවක් නොව ධනවාදී සමාජ ආර්ථික රටාව යැයි අපට මෙහිදී දැකගැන්මට හැකි අතර ධනවාදය විසින් උඩුයටිකුරු කරන ලද ගමක ජීවත් වූ ජිනදාස එම ධනවාදී විවිධත්වය දරාගත නොහී උණ තියෙන පළාතකැයි ප්‍රකට බිබිල නම් ප්‍රදේශය වෙත සිය ජීවිතය යොමුකරවාගන්නා අයුරු කෘතියෙහි සඳහන් ආකාරය අප වෙත සමීප කරවමින් විවෘත බිමක් වෙත එනම් මායිමකින් තොර භූමියක් වෙත වික්‍රමසිංහයන් විසින් යොමුකර ඇති බව කවියා තම කව හරහා අප වෙත ගෙන එන්නා වූ අතර එකී පෑන්තුඩ හෙවත් ධනවාදය විසින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙහි ප්‍රධාන චරිතයකැයි කිව හැකි ජිනපාල හෙවත් ජින්නා උපාලි ගිනිවැල්ලේගේ අතවැසියෙකු කොට හා මඩොල් දූව නවකතාවෙහි “මට වඩා අවුරුදු තුනකින් පමණ වැඩිමහලු වැඩකාර කොලුවා, තාත්තාට දුර නෑකමින් නැන්දා වන දුප්පත් ගැහැනියකගේ පුතෙකි.“ ලෙස දුප්පත් ගැහැනියකගේ පුතෙකු කොට ධනවාදී සමාජ ආර්ථික රටාවේ ප්‍රබල වින්දිතයෙකුව සිය යෞවන ශ්‍රමය අතවැසිකමට නතු කිරීමට සිදුවන මඩොල් දූව නම් වූ සංවෘත භූමියේ අභිරහස් අතර සිරගත වීමේ ශෝකාලාපය ද බන්දුජීවයන් තම කව හරහා අප වෙත සමීප කිරීමට ද සමත්කම් දක්වයි. සිය කවෙහි අවසන් පදපෙළ හරහා කිසිදා කිසිලෙසක හමුනොවන අයුරින් ධනවාදය විසින් මුලිනුපුටා දැමූ ජීවිත, විධාන දී දෙපසකට වෙන්කරීමෙන් පාඨකයා මංමුලා කළ වික්‍රමසිංහයන් තම කෘතීන් ද්විත්වය හරහා ධනවාදයේ අපුලබව ඉතාමත් සියුම්ව දක්වා ඇති ආකාරය කවියා තම කවිය වෙත ගෙනැවිත් ඇති අයුරු අතිශය සෞම්‍ය වේ. ලිබරල්වාදී ලෝකය තුළ පුද්ගල නිදහස ප්‍රාර්ථනා කළ ද ඒ හා බැඳුණු ධනවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රබල වින්දිතයන් වී නිදහස පිළිබඳ අංශුමාත්‍රික හෝ දැනීමක් නොමැති මිනිසුන් බිහිවීම හුවා දැක්වීම හරහා අතිශය උපහාසාත්මක ධ්වනාර්ථයක් කවියා අප වෙත එලෙසින් සමීප කරවයි.
“කවියෙකුගේ කෘතියකින්, ලොව මෙතෙක් නම් කළ නොහැකි දේ නම් කිරීම, තර්කයක මූලාරම්භය සනිටුහන් කිරීම, ලෝකය හැඩගස්වා ගැනීම හා නින්දට යාම නතර කළ හැකි බව“ ලොව ප්‍රකට නවකතාකරුවෙකු වන සල්මන් රුෂ්ඩි පැවසුව ද “කවිය යනු නිරායාසයෙන් ගලා යන්නා වූ ප්‍රබල හැඟුම් සමුදායක්“ ය යන විලියම් වර්ඩ්ස්වර්ත්ගේ නිර්වචනය මනාව කවිය හා සසැඳේයැයි මට හැඟේ. දේශපාලනය වුව හැඟිම් ලෙස මිනිසා හා බද්ධ වීම හේතුකොටගෙන අතිශය සංකීර්ණ වූ ලොවකට අඩිතාලම වර්තමානය වන විට බිහිව ඇති බව නොහරසකි.
නදියක් දුටු තැන නවතා
ලලිත ලතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන්, ඇමතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංගා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා
( කනගරායන් ආරු | 22 පිට )
වර්තමාන ලාංකීය කවියට උතුරුකරයේ ගැටලුව හා ඔවුන්ගේ ඉල්ලීම් අතිශය සාර්ථක වෙළඳ උපක්‍රමයකි. උතුර පිළිබඳ කවකින් අතිශය රැඩිකල්වාදී බවක් කවිය වෙත ආරෝපිත වේයැයි සිතන සාතිශය බහුතරයක් වූ නූතන කවීන් සිය “ත්‍රීවීල් වැකි“ වැනි කවියැයි හඳුන්වාගන්නා කවි නොවන කවි තුළට උතුර, යුද්ධය, පීඩාඩ හා මානුෂිකත්වය පිළිබඳ අනාදිමත් කාරලක සිට පවතින ගැටුම ආදිය මුසුකරයි. එසේ උතුර පිළිබඳ ලියැවෙන ටොන් ගණනේ කවි දැකගත හැකි ලාංකීය කවිය තුළ උතුරෙහි සැබෑ අරගලය පිළිබඳ කවක් සොයාගත හැකිදැයි යන ගැටලුව නිතැතින් ම මතුව එයි. එවන් වූ කාලවකවානුවක හිඳ ඊළාම් යුද්ධය, දකුණ හා සැසඳීමේ දී උතුරට කෙරෙහි වන කුඩම්මාගේ සැලකිල්ල, සම්පත් බෙදීයාමේ විෂමතාවය, ආදිය මෙන්ම දකුණේ ක්‍රියාකලාපය උතුරට බලපෑ ආකාරය හා ඒ සියල් දෑ පිළිබඳ උතුරේ දෘෂ්ටිය යන සියලු කාරණා පිළිබඳ එක ම එක කවියකින් කියා නිම කිරීමේ ගෞරවය රුවන් බන්දුජීව කවියාට හිමිවේ. දේශපාලකයන් විසින් ජාතිවාදය පුද්ගල මනස්හි රෝපණය කර දකුණ වෙත හැරවීමට උත්සාහ ගන්නා සාතිශය මනුෂ්‍ය කණ්ඩායම අතරේ ඒ සියලු වළක්වාලීම් නොතකා කනගරායන් ආරු සේ උතුර වෙත ගලා යායුතු බව ප්‍රකට කරන්නා වූ කවියා මිණි කැට ලෙසින් වටිනා දේ ධ්වනිත කරන්නා වූ අතර එවැනි දේ දකුණෙහි සඟවාලමින් උතුර තවදුරටත් පෙළීම සිදුකරන්නා වූ දේශපාලඥයන් සිටින්නා වූ ලංකාව වැනි රටක තියෙන දෙයක් ලබාදෙන අටියෙන් උතුරට ගලායන කනගරායන් ආරු සේ මිනිසුන් පෙළගැසිය යුතු බවත් උතුර වෙතට ද සම්පත් බෙදී යායුතු බවත් විෂද කරවයි. මෙසේ ලාංකීය දේශපාලනය තුළ මැතිවරණ සමයේ දී මතුවෙමින් හා නැවත යටයමින් පවතින්නා වූ ජාතිවාදය හා උතුර පිළිබඳ වන කතිකාව පරයා බන්දුජීවගේ කවිතාව අතිශය සාර්ථක ලෙස විවේචනාත්මක අයුරින් ඒ පිළිබඳ දෘෂ්ටිය හෙලන්නා වූ ආකාරය අපූර්ව වේ.
ප්‍රතිභාපූර්ණ කවීත්වයක් විදහා දක්වන බන්දුජීව කවියා අතිශය රූපකාර්ථවත් භාෂාවක් තම කවිය සඳහා උපයෝගී කරගනිමින් දේශපාලනික හාස්‍යමය ජවනිකා තමාට අවැසි අයුරින් කවියෙහි අන්තර්ගත කිරීමෙහි ලා සමත්කම් දක්වා ඇත. අලිඛිත සංඥා තැන තැන ඔබවමින් තම කවිය පුරා සංකේතාත්මක භාෂාවක් භාවිතා කිරීමෙහි බන්දුජීවයන් දක්වන දක්ෂතාව, සංවේදීකමට මුල් තැන දෙමින්, ‘බිස්නස් කවි’ කියවන්නා වූ පාඨකයා හට නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකිදැයි සැකයක් පවතී.
ගොඩබිම වෙසෙන මල් සතු
ප්‍රශ්න දියට ම විසිකර
ජාතික පුෂ්ප ධුරය
දිගින් දිගට ම දරයි මහනෙල
( මල් පිළිබඳ | 59 පිට )
ලාංකීය දේශපාලනය හා සමාජය කුලවත්තයා හා ධනවතා අතට මිස දුගියා හා සාමාන්‍ය ජනයා අතට කිසිදිනෙක, කිසිලෙසකින් හෝ පත්නොවන්නකි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1936 රාජ්‍ය මණ්ත්‍රණ සභාව සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයකින් යුක්ත වීම ආදී වූ කාරණයන් හා ගොඩනැගුණු ලාංකීය දේශපාලයේ දී සුදුස්සාට සුදුසු තැන නොව සමාජය තුළ සිය බලය අතිශය පීඩිත අයුරින් ගෙනයන්නාට හිමිවන බව නොරහසකි. දක්ෂයන් සිටිය දී පාසැල ආසන්නයේ නිවෙස් ඇති අය ශිෂ්‍ය නායකයක් කිරීම වැනි අතිශය කුඩා සිදුවීමකින් ආරම්භ වන එවැනි දෑ අවසානයේ දී දේශපාලනයේ හා සමාජයේ එවැනි ම වූ ආකාරයෙන් සිදුවීම, කිසිවෙකුට වළක්වාගත නොහැකි වේ. එක ම වෙනස සුදුස්සාගේ ස්ථානය අහිමි කිරීමෙන් පාසල තුළ දී එම කුඩා වපසරිය පමණක් කඩා වැටීමත්, දේශපාලනය තුළ දී සමස්ත සමාජය බිඳවැටීමත් ය. මෙකී දෑ පිළිබඳ සිය කාව්‍යමය දෘෂ්ටිය හෙලන්නා වූ බන්දුජීව කවියා ගොඩබිම වෙසෙන රාශියක් වූ පුෂ්පයක් කොතෙකුත් පැවතිය ද දියෙහි පිපෙන්නා වූ මහනෙලට ජාතික පුෂ්ප ධුරය ලබාදීම ප්‍රශ්නයට නගමින් “දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු“ යන බ්‍රෙෂ්ට්ගේ නීතිය කඩවන අවස්ථා වඩාත් කාව්‍යාත්මකව අප වෙත සමීප කරවාලයි. නායකයා විය යුත්තේ අප වෙත පැමිණ අප වටහාගත හැක්කා මිස අපට ළඟා වීමට හෝ නොහැකි මාන්නාධික පුද්ගලයන් නොවන බව කවියා ව්‍යංගාත්මකව අප වෙත ගෙන එනු ලබයි.
සමස්තයක් වශයෙන් ගත් කළ ධුමලාවණ්‍යාගාරය කාව්‍ය සංග්‍රහය “මිනිසා උපතින් ම දේශපාලන සත්ත්වයෙකු වන බව“ අප වෙත ඒත්තු ගැන්වීමෙහි සමර්ථ වන අති සාර්ථක නිර්මාණ කාර්යයන් රැසකින් යුක්ත වන්නා වූ බව ද අතිශය අපූර්ව වස්තු විෂයන් වඩාත් දේශපාලනික අයුරින් විග්‍රහ කිරීමෙහි ලා අවධානය යොමු කොට ඇති බව ද කිව යුතු ය. භාෂා භාවිතය හා ශිල්ප ක්‍රම පිළිබඳ වඩාත් පුළුල්ව සාකච්ඡා කළ හැකි මට්ටමේ කාව්‍ය සංග්‍රහයක් සේ හැඳිනගත හැකි ධුමලාවණ්‍යාගාරය යුගයේ දේශපාලනික කවියා ලෙස රුවන් බන්දුජීව අභිෂේක ගැන්වීමට සමත්කම් දක්වන බව අත්‍යන්තයෙන් ම පැහැදිලි ය.
ජිමුත් ඉඳුසර රත්නායක
23.11.06