කලකට පසු අමුතු විදියේ මාතෘකාවකින් පටන්ගත්තේ අමුතු විදියේ කවි සමුච්චයක් කියවීමෙන් ලද ප්‍රබෝධය හෙවත් විස්මය ඇති වය. ගෑනු හිටියෙම හිනාවේගෙන යනුවෙන් ඒ කවි පොත නම් කර තිබේ. ගැහැනු යයි නොලියා ගැහැනියක විසින් ම ගෑනු යයි ලිවීම ම වෙසෙස් ලිවීමකි.
ස්ත්‍රිය පිරිමි දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කිරීම ස්ත්‍රීන්ගේද ස්වභාවයක් වීම ලාංකික අපට හුරු යථාර්ථයකි. ස්ත්‍රීවාදීන්ගේ නොයෙකුත් වැඩමුළු ද පොළොවේ පැළ නොවන අහස් වෙඩිලි බව ඔවුන් නිහඬ වෘතයක් අනුගමනය කරන බරපතළ මාතෘකාවලින් පෙනේ. මේ කවි ටික ඒ කවුරුත් කියවිය යුතු පන්නයේ ජවයකින් යුක්ත ය.
වත්සලාගේ බොඩිය කවිය උපුටමි.
තිස් හය
ඇන්දුවේ නැතිවුණාට
ගළවපු ගොඩක් අය දන්නවා
සයිස් එක
වත්සලාගේ බොඩිය ගෙදර ගෙනත් ලු…!
සුදු පාට ඔසරිය
උතුරු සළුවකුත් දාල හරහට
ඈ…බං ගොඩක් ගෑනු
මැරුණට පස්සේ උපාසකම්මලා වෙනව ද?
නෑ …බං ඒකි බුදු වෙලා හිටියේ
ගිහි ගේ ඇතුළෙම
හිතාපං දන් දෙන්න පුලුවන් ද
ලෝබ නැතුව
මුළු ඇඟම
පණ පිටින්
වෙන එකෙකුට
කැමති විදියට
භුක්ති විඳින්න
ඇඟ ලේ ධාතු
කම්පිත වෙද්දි
අරගල කර කර
හිතත් එක්ක
ඒකි හිතත් හිස් කරගත්ත ගෑනියක්
ආසාව..තණ්හාව
විතරක් නෙවි
බය..ලජ්ජාව පවා
නැති කර ගත්ත
වත්සලා හිටියෙ බුදුවෙලා බං
මේ නර අපායෙම
මොකද වෙන්නේ ඒකිගෙ බොඩිය ඇන්දුවම
උතුරු සළු ඔසරි විතරක් නෙවි
අංශකඩ ..චීවර…
මේ කවිය කවර විචාර න්‍යාය අනුව බැලුවත් බරපතළ කියවීමක් ඉල්ලන නිර්මාණයකි.මිනිස් දුවකගේ මුළු ජීවන වෘත්තාන්තයම පද කිහිපයකින් කැටිකර ව්‍යවච්ඡේදනය කිරීමකි.එය පුද්ගල හරස්කඩක් නොව සමාජ හරස්කඩකි.
වත්සලාගේ මළ සිරුර කවියෙහි නිමිත්තයි. ඇය ජීවත්වීමට කළේ කුමක්දැයි පැහැදිලිය. කවියෙහි ප්‍රබල ම අවස්ථාව උපුටමි.
වත්සලා හිටියෙ බුදුවෙලා බං
මේ නර අපායෙම
පිරිමින්ගේද නින්දාවට ලක්වන පිරිමින්ගේම අවශ්‍යතා ඉටු කරන වත්සලා බුදු වී සිටියේ යැයි කිවිඳිය කියයි.අපාය නම් මේ මිහිපිට නරලොවයි.පුරුෂයන් සැනසීමට හිතත් සමග අරගල කරමින් හිතත් හිස්කරගෙන සිටි ඇය ආසාව තණ්හාව පමණක් නොව බය ලැජ්ජාවද නැතිකර ගෙන සිටියේ යැයි කියයි.
මෑතකදී වැලිමඩ සද්ධාශීල නම් ඊනියා භික්ෂුවගේ බණකින් කියවුණේ පව්කාර ගෑනුන්ගේ ඉසේ කෙස්වල උකුණන් ගණනට එම ස්ත්‍රීන් පව් කර ඇති බව ය.බුදු බව ලැබීම කෙසේ වෙතත් පුරුෂාත්මයක් ලැබීම ද පව්කාර ස්ත්‍රීන්ට දුෂ්කර බව ඊනියා භික්ෂුහු බණට කියති.මේ කවියෙහි අවසන උතුරු සළු ඔසරි පමණක් නොව අංශකඩ චීවරද මළ සිරුරෙහි එතිය යුතු බව කියැවෙයි.චීවරය එතෙන පැටලෙන සිදුවීම් බහුල සමාජයක කිවිඳියගේ වදන් වහර කස පහරක් වැන්න.
ඊනියා භික්ෂුන්ගේ බෞද්ධ චින්තනය විනිවිද ගිය බමුණු දෘෂ්ටිය නිසා ස්ත්‍රිය පව්කඳක් ලෙස දකියි.ජාතක පොතේ කතා සමුදාය මොන තරම් සුද්ද පවිත්තර කර ඔසවා තැබුවත් ස්ත්‍රිය පව්කඳකි යන දෘෂ්ටිවාදයෙන් එය නිදහස් නොවේ.
එහෙත් මහාපරිනිබ්බාන සූත්‍රය ස්ත්‍රිය පිළිබඳ බුදුන්ගේ දෘෂ්ටිය සුපැහැදිලි කරයි.ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වයටම සම සිත සම මෙත පැතිරවීම බුදුන්ගේ පිළිවෙතයි.
විශාලා මහනුවර අඹ වනයෙහි බුදුන් වැඩ වසද්දී අම්බපාලි වේසාලි නුවර තම මන්දිරයෙහි සිට සුව පහසු අස්රියකින් බුදුන් කරා එළඹ පසුදින තම නිවසට දානයට වඩින මෙන් බුදුන් ප්‍රමුඛ භික්ෂු පිරිවරට ආරාධනා කළාය.උන්වහන්සේ එම ආරාධනාව පිළිගත්හ.පසුදිව බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේලා අම්බපාලිගේ නිවසට වැඩම කර දන් වළඳා ඇගේ සිත් ප්‍රබෝධයට පත් කර දහම් දෙසූහ.
අම්බපාලි තම අරම බුදුන් වහන්සේට පූජා කළාය.
අම්බපාලි එවක ප්‍රකට නගරසෝභිනියක බව කවුරුත් දනිති.බුදුන් සහ බුද්ධ පුත්‍රයන්ගේ චීවරයත් වත්මනෙහි ඇතැම් බුද්ධපුත්‍රයන්ගේ චීවරත් අතර වෙනස රසිකා මුහන්දිරම්ගේ කවිය ඔස්සේ සසඳා බැලීමේ පෙලඹීමක් ඇති කරයි.
සාරිය සහ ස්ත්‍රිය ද රසිකාගේ ඇතැම් කවිවලට නිමිති වෙයි.
මම නොවේ මම ඉන්න
තද කරන් ඔසරි හැට්ට මාල
ඉඟ වටින් හවඩි කැරකෙන බෝල
කටු ගසන් සාරියේ හැමතැනින් නොවැටෙන්න
මේ බලන් මල්මද බිසව් පන්තියේ කැරකෙන
පොඩි එවුන් දවටන් ඔසරියේ උන් මූණ
යන ගමන් පන්තියේ ඇණ මුරිච්චි ඉඹින
ඇති තරං සෙල්ලං දාන්නේ මං කෝම
බඩවටින් පටියක් ඔසරියේ තටු සිඳින
ගෙඩි බැඳන් කොණ්ඩයක් කටු විටින් විට ඇනෙන
මල් හැඩේ හාරිච්චි උරහිසේ මට රිදෙන
පටි පැනන් දැක්කොතින් පිරිමින්ට වස් වදින
මං තරං සීලවත් ගුරු මවක් වෙන කොහිද?
හිතුණොතින් පන්තියේ මැදින් මට දිව යන්න
අත් කකුල් විසි කරල පොඩිවුන්ට එක්වන්න
මැටි අනං කොළ කපං උන් එක්ක දඟලන්න
හිරකරපු ඔසරියේ මම නොවේ මම ඉන්න..!
ගුරුවරියගේ නිල ඇඳුම සහ සම්මත පිළිවෙත් අනුව පන්ති කාමරයෙහි සිසුන් සහ ගුරුවරිය අතර තබා ඇති පරතරය විශාලය.එහෙත් අධ්‍යාපනයෙහි හරය අල්ලාගත් ප්‍රබුද්ධ ගුරුවරිය අතින් මේ සම්මතය කැඩෙන අවස්ථා ඇත.එවිට ගුරුවරුන්ගේ වෘත්තිය සභාවෙහි රැවුම් ගෙරවුම්වලට ද ලක්විය හැක.තද කරගත් ඔසරි හැට්ට මාල,බඩවටින් පටි,මල් හැඩේ හාරිච්චි,සාරි කටු යන මේ සියල්ල සහිත නිල ඇඳුමේ පීඩාකාරිත්වය ස්ථානීය මව්පියන්ගේ වගකීම ඉටුකිරීමට බාධාවක් නොවේ ද?
කිවිඳිය උත්ප්‍රාසවත් බසකට නගන්නේ මෙකී නිල පිළිවෙලයි.
සාරියි ගෑනුයි කවිය ඇරඹෙන්නේ මෙසේය.
මල් මල් සාරි ඇඳි
නටුවේ විස කටු හැංගූ ගැහැනු
ඉරි ඉරි සාරි ඇඳ
කොටු ගැහුනු ජීවිත වහගත්තු ගැහැනු
ගැහැනුකම සිරගත කර ඇති අයුරු සාරිය උවමට ගෙන කියන මේ කවිය ද ප්‍රබල ය.
නිල ඇඳුමේ සිරකර ඇත්තේ ස්ත්‍රීන් පමණක් නොවේ.මුල් ඇඳුම නමැති ඊනියා මගුල් ඇඳුම ද කිවිඳියට කවි නිමිති සපයයි.
මොකද නිලමේ මෙහෙම ඇඳගෙන කවියෙහි මුල් කොටස දක්වමි.
පට රෙදි ඔතන් බඩ වට
මොට කඩු ඔබන් ඉන වට
මඟුල් දවසෙම යුද්දෙට
මොකද නිලමේ මෙහෙම ඇඳගෙන
කදිම උත්ප්‍රාසයකි.කවියේ අවසන මෙසේය.
අවසන සියලු කෙළි
පිටවන නැකත එළඹුණි
රෙදි උනන විට එළි වුණි
නිලමෙ ගම් කබර සේ දිස්වුණි.
නිල ඇඳුමෙන් මුවා වී සිටියේ ගම්කබරයෙකි යැයි කීම සමාජ සම්මතයන් කරපින්නාගත් මනස් හිරිවට්ටන කස පහරකි.මුලු ඇඳුම හෙවත් නිළමේ ඇඳුම යනු වැඩවසම් ක්‍රමයේ සංකේතයකි.එය කූට වෙළෙන්දන් විසින් තම ලාබ සඳහා සමාජගත කර ඇත.වැඩවසම් චින්තනයෙන් අත්නොමිදුණු සමාජයක මඟුල් ඇඳුමට එය හොඳින් ගැලපේ.එහි බර මනාලයාට දරාගැනීම අසීරුවන පරිදි ම වැඩවසම් චින්තනය ද මේ දූපතට මහා බරකි.
යසෝදරාගෙයි මගෙයි ඇනිවසරිය,අපරාදෙ අම්මෙ අලුත් යට සාය,සාදය හමාරයි,කරල කන්ඩෙම්,පුන් තැඹිලි යනාදී කවි රැසක ම කිවිඳියගේ ප්‍රතිභා ශක්තිය,විවේචනාත්මක රීතිය,උත්ප්‍රාස බහුල වදන් වහර,ස්ත්‍රි සංවේදනශීලිත්වය කැපී පෙනේ.අධ්‍යක්ෂවරු ,සිරකරුවෝද මිනිසුන්ය යනාදී කවිවල කිවිඳිය කාව්‍යමය අත්දැකීම පමණට වඩා සරලීකෘත කළාදෝ යන සංශය පාඨකයකුට ඇති විය හැකිය.
පුන් තැඹිලි කවිය කිවිඳිය සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරෙන් සහ සමකාලීන වහරෙන් ලද පෝෂණය කැටපත් කරයි.එහි වැදගත්කම බසට සීමා නොවේ.
වරෙක අනුරාගයේ ආරම්මණ ඇති කරන වස්තුවක් තවත් විටෙක බිලිඳෙකුට ජීවය දෙන ක්ෂීර ධාතුවෙහි උල්පත වන අයුරුද කාව්‍යොචිත වාග් මාලාවකින් ප්‍රතිනිර්මාණය කරයි.
නුරා පිරි උල් තුඩු
පුරා මී බිඳු පිරු
සරා නෙත් මන බැඳූ
බලා කල් යල්
හෙමින් පීදුණු
තව්තිසා පරදපු
රුවින් අඟනන්
නුවන් පැහැරපු
නෙතින් නෙත ගස්සපු
සිත් කිතිකවා සනසපු
මඳින් මඳ මෝරපු
සරයෙන් සිනිඳු සුව සැදු
යහන් කොට සතපපු
උරා බී මත් ඇතුන් දණ ගැසු
උකුල් තල බර කෙරු
යහන් කොට පුතු සනසපු
කුස් පුරා සිත් පිරු
තුනුසිරි නුවන් කළඹපු
සරයෙන් පුන් තැඹිලි ගෙඩි බඳු
මේ කිවිඳිය ස්ත්‍රී සංවේදන ශීලිත්වය පිළිබඳ විවෘත අදහස් ඇති, එහෙත් එය සැරසිල්ලක් කර නොගත් සංවේදී කිවිඳියක බව නැවත සඳහන් කරමි. ඔබ යෙහෙළිය ඇය ගැහැනිය කෘතිය මොනිකා රුවන් පතිරණ කිවිඳිය අතින් ලියැවෙන්නේ මහගම සේකර කවියා ජීවතුන් අතර සිටි සමයෙහි ඔහුගේ සොඳුරු ප්‍රතිචාරයක්ද සමගය. මොනිකාගේ කවිය සමකාලීන ස්ත්‍රී මනසට ආමන්ත්‍රනය කළ මානයට වඩා වෙනස් මානයක් රසිකා මුහන්දිරම්ගේ කවියෙහි පෙනෙයි.
ඒ නිසා රසිකාගේ කවිය හරවත් කියවීමක් සඳහා රසික පර්ෂද අතට පත් විය යුතු යැයි යෝජනා කරමි.