Home Blog Page 253

“මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”

0

ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

“පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හැරිය නොහැකියි. ඒ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. ඒ පාරට බැසීම නම් කළේ අරගලය කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින් ජේ.ආර්. ජයවර්ධන ආවේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මහින්ද රාජපක්ෂගේ සිට මේ ආණ්ඩුව දක්වා ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තිමයි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් විසින් සිදුකළ වරද ධර්මිෂ්ඨ පාලනයක් මේ රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීමද? ව්‍යවස්ථාව බිඳ ත්‍රස්ත ක්‍රියාවක් කර, ඒ නිසාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිට දැන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ නිසාද? 1979 ඇති කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ ධර්මිෂ්ඨ සමාජය බිහිකිරීමට විරුද්ධව ක්‍රියාකරන අය මැඩපැවැත්වීමටද? වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි එවැනි ක්‍රියාවක් කර තිබෙනවා නම්, මේ රටේ බහුතර ජනතාවක් විසින්ද එය සිදුකර තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හඬ නැගීම මර්දනය කිරීමට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය යන්නට පැහැදිලි නිර්වචනයක් නැහැ. අහිංසක මිනිසුන්ව කොටු කිරීමට එය යොදා ගන්නවා.

රනිල් වික්‍රමසිංහට කේ.පී. එදා

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි සන්නද්ධ නායක කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගත්තාද? කේ.පී. සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂයේ සිට ලොකු විවේචන තිබුණා. ඒ කේ.පී.ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තාද? නමුත් අරගල කාල වකවානුවේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ ගල් කැටයක් හරි අතින් අරන් ඉන්නවා කවුරු හරි දැක්කාද? අපිට ලැබෙන්න තිබෙන දේවල් ආණ්ඩුවේ උදවිය හොරකම් කරල, සූරා කාලා තිබීම ගැන අපිට ප්‍රශ්න කරන්න බැරිද? ආරක්ෂක ඇමතිවරයාගේ අත්සන අනුව දින 90ක රැඳවුම් නියෝග යටතේ සිටි මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. රනිල් රාජපක්ෂ ඒ රැඳවුම් නියෝග දීර්ඝ නොකර දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. දැන් නීතිපතිතුමා යටතේ මේ දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් දින 90ක් රඳවාගෙන සිටියාට ඒ කාලය පුරාම දින 03කදී පැය පහක් පමණක් ප්‍රශ්න කර තිබුණා. ඒ අවස්ථා තුනේදීම වසන්ත මුදලිගේ ප්‍රශ්න කර ඇත්තේ තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද කියලයි. ඒ ප්‍රශ්නයට උත්තර නැහැ.

නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට, රටේ ජනතාවට මිස ආණ්ඩුවලට නොවෙයි

ඒ මුළු කාලයේම පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙන්නේ නිට්ටඹුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම, අරලියගහ මන්දිරයට ඇතුළු වීම, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම යන කාරණා ගැනයි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්තනගල්ල උසාවියේ මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩුවක් තිබෙනවා. අනෙක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන ඉන්නේ මොකටද? අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම්, නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ? නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා. දින 90ක් තිස්සේ පොලිස් විමර්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.

පාස්කු ප්‍රහාරය අතට අරගෙන ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිත් මුලින්ම කළේ හිස්බුල්ලා නීතිඥ මහත්මයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමයි. සහරාන් සම්බන්ධයෙන් මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ හිස්බුල්ලා මහත්මයා වගඋත්තරකරුවෙකු කර සිටිනවාද? නැහැ. එහෙම නම්, ඒ කාලෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බොරුවක් කළ බව පැහැදිලියි. දවස් 90කට වැඩිය රඳවාගෙන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති සහ නීතිපති වගකියන්න ඕනෑ. සහරාන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතිහාසය මෙහෙම නම්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කිරීමේ අවකාශය නීතිපතිතුමාට තිබෙනවා. තමන්ගේ නීතිමය භාවිතය ඒ සම්බන්ධයෙන් ඉෂ්ට කරන ලෙස නීතිපතිතුමාට අපි අවධාරණය කරනවා.”

සබැඳි පුවත්

චාමිකට අත්හිටවූ තරග තහනමක්..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් වූ ගිවිසුමට අදාළ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීමේ සිදුවීමක් මත පදනම්ව ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව අත්හිටවූ ක්‍රිකට් තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී නිමා වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තුළදී චාමික එලෙස ගිවිසුමේ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීමේ චෝදනාව චාමික කරුණාරත්න විසින් පිළිගෙන ඇත.

ඒ අනුව, අදාළ චෝදනාව විභාග කිරීම වෙනුවෙන් පත් කර තිබූ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් සිදුකර තිබූ විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව ඉහත තීරණය ගෙන තිබූ බව සඳහන් වේ.

ඔහුගේ ක්‍රිකට් දිවියට බලපෑම් එල්ල නොවන දඬුවමක් පනවන ලෙසත් අදාළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇත.

කෙසේවෙතත් මෙහිදී චාමික විසින් සිදුකරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වූ වරදෙහි බරපතළකම සම්බන්ධයෙන් සැළකිලිමත් වෙමින් ඉදිරියේදී එවන් කටයුතු සිදු කිරීමෙන් වැළකෙන ලෙස චාමික කරුණාරත්න වෙත දැඩි ලෙස අවවාද සිදු කර තිබේ.

ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව චාමිකට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවීමටත්, එයට අමතරව අමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් කටයුතු කර ඇති බ වද සඳහන් ය.

පොල්ගහවෙල පොලිසියට මහේස්ත්‍රාත්ගෙන් අවවාද : කොටසක් සනසන්න නඩු දාන්න එපා !

0

විවිධ පාර්ශ්ව සැනසීමට නඩු නොදමන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්ත ජී. ප්‍රනාන්දු ඊයේ (22) පොල්ගහවෙල පොලිසියට දැඩි ලෙස අවධාරණය කළේය.

ආන්දෝලනයට තුඩු දුන් ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද ‘අර්ධ’ කෙටිකතාවේ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බව පවසමින්, එම පිටපත නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එවැනි ඉල්ලීමක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමන් වෙත ලැබී නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ පොලිසියට අවවාද කළේය.

අදාළ කෙටිකතාවේ අත්පිටපත මෙතෙක් පැවතුණේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ ය. ලේඛකයාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු මේ වන විට නිදහස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශක්තික සත්කුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවක් ද විභාග වේ. එම නිසා ඔහුගේ ඉල්ලීම පරිදි මෙම අත්පිටපත ලේඛකයා වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.
ශක්තික සත්කුමාර වෙනුවෙන් ඊයේ දින අධිකරණයේ පෙනීසිටියේ නීතිඥ බුද්ධදේව ගුණරත්න ය.

පැමිණිල්ල කාගේද ?

කෙටිකතාවක් ලියා, පළකිරීම හේතු කොටගෙන දින 130ක් ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කෙටිකතාවක් ලියා පළකිරීමට අදාළ ව ගොනුකර තිබූ ශක්තිකට එරෙහි චෝදනාවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට තරම් කරුණු නොමැති බවත්, එම නිසා ශක්තික සත්කුමාර වෙනුවෙන් අධිචෝදනා ගොනු නොකරන බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි.

‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා, එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබීම හේතුවෙන් 2019 අප්‍රේල් 01දා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලද්දේ පොල්ගහවෙල පොලීසියෙනි. එම කෙටිකතාව මගින් බෞද්ධාගම හෑල්ලුවට ලක්කර ඇති බව සඳහන් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානයක භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පොල්ගහවෙල හා පොතුහැර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොල්ගහවෙල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ බව අධිකරණයට දැනුම් දෙන ලදි.

ඇප නැති චෝදනා

මේ කෙටිකතාව මගින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ පනතේ (3) (1) වගන්තිය යටතේ, වෙනස් කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (බී) වගන්තිය යටතේ ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේෂසහගතව කටයුතු කිරීම යන චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මීට අදාළ නඩුව ගොනුකරන ලදි.

මේ පනත යටතේ නඩුව පවරා ඇති නිසා මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි වීමෙන් මාස 04කට අධික කාලයක් ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. ඉන්පසු ශක්තික වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණයේ ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසු 2019 අගෝස්තු 05දා ඔහුට ඇප ලැබිණි.
ඇප ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදී මෙම නඩුව කැඳවිණි. ඒ සෑම අවස්ථාවකදීම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ ශක්තික සත්කුමාරට එරෙහිව මේ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවයි. ඇප ලබාදීමේ මහාධිකරණ ක්‍රියාවලියේදී ද නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක් කල් ඉල්ලීම් සිදුකරන ලදි.

තමන්ට සිදු වූ මේ අසාධාරණයෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බව දක්වමින් ශක්තික සත්කුමාර විසින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශක්තික කවුද ?

කාගේ වුවද ප්‍රකාශනයේ නිදහස අත්තනෝමතික ලෙස අහිමි කිරීමට එරෙහි විය යුතුය. ඔහු කවුද, ඔහුගේ තරාතිරම කුමක්ද යන්න අදාළ නැත. කෙසේ වෙතත් ශක්තික යනු 2010 සහ 2014 වර්ෂවල විශිෂ්ඨතම කෙටිකතාකරුවාට හිමි සම්මාන දිනාගත්තෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. නවකතාකරුවෙකි. සාහිත්‍ය විචාර ග්‍රන්ථ සහ බුදු දහම ඇතුළු වෙනත් විෂයයන් පිළිබඳ ග්‍රන්ථ 30 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කළ ලේඛකයෙකි.
කූඩු, වැලි, මිනී කපන්නාගේ හෘදය සාක්ෂිය, පතොක් කටු, සිව්වන පරපුර ආදී කෙටි කතා සංග්‍රහද, වෙඩි වැදුණු පන්හිඳ, අඳුර, අහස අහිමි සඳක්, පියාපතක් බිම හෙළමි ආදී කාව්‍ය සංග්‍රහද, මතක ගම්දොර නම් නවකතාවද, දිවි මඟට පහන් වැටක්, සදහම් මකරන්ද, අමා දම් ආදී බෞද්ධ ග්‍රන්ථද, මළ ගිය ඇත්තෝ- නවකතා විමර්ශන, වීදි ලාම්පු , සිංහල කෙටි කතාවේ කම්මැල්ලවීර ලකුණ, බද්දේගම නවකතා විමර්ශන, නූතන කෙටි කතා විමර්ශන ආදී විචාර ග්‍රන්ථ රැසක් සහ ආරියරත්න විතාන සමඟ ‘නාට්‍ය තුනක්’ නම් නාට්‍ය පිටපත ද ඔහු ලියා තිබේ.

මේ අතර 2019 අගෝස්තු 01 දා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මගින් ශක්තිකව හෘද සාක්ෂියේ සිරකරුවකු ලෙස නම් කරනු ලැබීය. (Prisoner of Conscience) මීට පෙර එසේ නම් කරන ලද්දකු වූයේ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ය. ඒ 2009 වසරේදී ය. වාර්ගිකත්වය, ලිංගික දිශානතිය, ආගමික, දේශපාලන විශ්වාස වෙනුවෙන් පෙනී සිටිම නිසා සිරගත කරන ලද්දන් මේ නමින් නම් කෙරේ. එය ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ තරම සම්බන්ධයෙන් වන නිර්ණායකයකි.

උදේ ඇප දුන් සිරිධම්ම හිමි හවස රිමාන්ඩ් කරයි !

0

අද (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදුන් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඒ, පසුගිය ජුනි 10දා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවකදී පොදු දේපොළවලට හානිකිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. මේ චෝදනාවට අදාළ ව පොලිසිය මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිරිධම්ම හිමිට ඇප නියම කරන ලද්දේ අදාළ නඩුව සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම සහ විදෙස් ගමන් තහනම් කිරීම යන ඇප කොන්දේසි මතයි.

සිරිධම්ම හිමිට ඇප : මාධ්‍යයට අදහස් දැක්වීම වලක්වන්නැයි නීතිපති ඉල්ලයි !

0

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප ලබාදීමේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලද්දේ විමර්ශනවලට බාධාවන අයුරින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් උන්වහන්සේ වලක්වන ලෙසයි.

අධිකරණයේ මතය

මෙහිදී අධිකරණය පාර්ශ්වයෙන් අවධාරණය කර ඇත්තේ අදහස් පළකිරීමේ නිදහස සීමා කළ නොහැකි බවයි. කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත විසින් මාධ්‍යයට අදහස් දැක්වීම පිළිබඳ සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පනවා ඇත.
ඊට අදාළ ව මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් නොකළ බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් ෆසීර් thetime.lk වෙත සඳහන් කළේය.

ඇප දීමට විරුද්ධ නෑ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් දින 89ක් රඳවා ගැනිණි. පසුගිය 17දා වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා දිගටම පවත්වාගෙන යන බව එදින ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද (23) අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් විරුද්ධ නොවන බවයි.

නීතිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි?

මාධ්‍යයට අදහස් පළකිරීම සම්බන්ධයෙන් වූ නීතිපති දෙපාර්තමේන්තු ඉල්ලීම පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස සීමාකරන ලෙස එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අනුමත කළ නොහැකි බවයි.

සිරිධම්ම හිමි කඩුවෙලට ?

මේ අතර අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු සිරිධම්ම හිමියන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ උන් වහන්සේට පවරා ඇති වෙනත් නඩුවක් සඳහා ය.

ඇදහිල්ල සහ ක්‍රිකට්

0

ලංකාවෙ ක්‍රිකට් ගොඩනැගිලා තියෙන්නෙ තනිකරම මිථ්‍යාව මතද කියලා ප්‍රශ්නයක් මතුවෙන වීඩියෝවක් සංසරණය වෙනවා. ඒ යෙහාලි සංගක්කාරගෙ. එයා කියන විදියට සංගක්කාර සේරම සෙල්ලම් දාලා තියෙන්නෙ දෙවියන් වහන්සේගේ හයියෙන්. භානුක රාජපක්ෂගේ ඉඳලා ක්‍රීඩකයෝ කීප දෙනෙකුගේම නම් බෝර්න් අගේන්. ආගමික වැඩසටහනත් එක්ක කියවෙනවා. දැන් බලනකොට යෙහාලි ප්‍රේ කරලා තමයි සංගා 2014 ටීටුවෙන්ටි එකේ ලකුණු 50ක් ගහලා අපිට කප් එක අරන් දීල තියෙන්නෙ. ඒක එහෙමනම් වෙලා තියෙන්නෙ ඔය කුසලානය භාර ගන්නවද? ප්‍රතික්ෂේප කරනවද? ඇත්තටම දක්ෂතා පෙන්වලා ගන්න කුසලානයක් මිසක් ඔය වගේ දෙයියො යෙහාලිට දුන්නු එකක් අපිට මොකටද?.

කවුද ඔය ජෙරොම් ප්‍රනාන්දු කියන්නේ. මිනිහා ක්‍රිකටර් කෙනෙක් වෙලා ඉඳලා ආගමික නායකයෙක් වෙනවා. ඊට පස්සේ සේරම ක්‍රීඩකයො මිනිහගෙ ආගමික නිකායට සම්බන්ධ කර ගන්න හදනවා. සම්බන්ධ වෙන්න අකමැති එවුන් ටීම් එකෙන් පන්නන්න හදනවා. ඒකට ක්‍රිකට් නිලධාරීන්, කළමනාකාරවරුන් සේරම අල්ලලා තියන්න ඕනෙ. මොකක්ද මේ ලංකාවෙ සිද්ධ වෙන්නෙ.

ඊට පස්සෙ ක්‍රීඩකයොත් කියන්න ගන්නවා තමන්ට පනහක්, සීයක් ගහන්න පුළුවන් වුණේ දෙවියන් වහන්සේ නිසා කියලා. එතකොට උන්ගෙ ක්‍රිකට් දැනුමයි, තාක්ෂණයයි, දෑතෙ දෙපයෙ හයියයි සේරම දෙවියොද ?යෙහාලිගෙ අම්මගෙ බඩට යෙහාලිව දීලා තියෙන්නෙ දෙවියො. එතකොට මෙතන යෙහාලිගෙ තාත්තට රෝල් එකක් ඇත්තෙම නැද්ද. එයාගෙ තාත්තයි අපේ ක්‍රිකටුයි එක වගේ කියන්නද යෙහාලි හදන්නෙ.

දහඩිය මහන්සියෙන් ලංකාවෙ ක්‍රිකට් ගොඩනගපු අතීත පරපුරට කළ හැකි මීටත් වඩා ලොකු නින්දාවක් තියනවද?. යම් කෙනෙකුට ආගමික විශ්වාසයක් තියෙන්න පුළුවන්. ඒත් සියල්ල ආගමට පවරා දෙන්න කියලා අපි දන්න බුදුන්, යේසුස් හෝ නබිනායකතුමා කොතනකවත් කියලා නෑ. ඒ අය කියන්නේ තමන් මත විශ්වාසය තියන්න. ඒ කියන්නේ දැනුම හා ශක්තිය මත.

ඒ ආගම්වල නාමයෙන් හොර හැත්තක් බිහිවෙලා මොනවද මේ කරන්නෙ. හැමෝම උන්ට රැවටෙන්න ඕනෙද?.සංගක්කාරගෙ බිරිඳ ගැන කවුරුත් හිතන් හිටියෙ නවීන අදහස් ඇති කාන්තාවක් කියලයි. දැන් බලනකොට අපි නූතනයි කියලා හිතාගෙන ඉන්න අය තමයි නියම වහල්ලු.

හැබැයි ඉතිං සංගක්කාර ගත්තොත් ඇදහිල්ල විතරක් නෙවෙයි ගැහිල්ලත් හරියට කළා. අද ක්‍රීඩකයො ඇදහිල්ල විතරයි ගැහිල්ල නෑ.

සෙස් බද්ද ගැන කතාවක්

ආණ්ඩුවේ ඇමතිවරු කියන දේවල් පරස්පරයි. පාසැල් අභ්‍යාස පොත්, පැන්සල්, අඩිරූල්, කවකටු පෙට්ටි, සී.ආර් පොත්, චිත්‍ර පොත් යනාදිය අධික ලෙස මිල ඉහළ ගිහින්. සෙස් බද්ද වැඩිකිරීම හැම දේකම මිල ඉහළ යාමට බලපානවා. මුදල් රාජ්‍ය ඇමැති කියනවා සෙස් බද්ද පාසල් පොත් ඇතුළු ඉහත කී ද්‍රව්‍ය වලට අදාල නැහැ කියලා.
එහෙමනම් කොහොමද මේවා අධික ලෙස මිල ඉහල යන්නේ.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියනවා සෙස් බද්ද අභ්‍යාස පොත් සහ පංති කාමර මෙවලම් වලට අදාළව ඉවත් කරන්න තමන් පේපර්ස් ඉදිරිපත් කරලා තියනවා කියලා.එතකොට මුදල් රාජ්‍ය ඇමැති කියන්නේ බොරුද?.

මෙම මිල ඉහළ යෑම නිසා ලබන වසරේ පාසල් දරුවන් 30% ක් පාසැල් හැර යන තත්ත්වයක් උදාවී තිඛෙන බව සමාජ විශ්ලේෂකයන් කියනවා. ඒකට අභ්‍යාස පොත් ප්‍රශ්නෙ විතරක් නෙවෙයි, පුරවැසියන්ගේ දෛනික ආහාර ප්‍රශ්නයත් බලපානවා. දෙමාපියන්ගෙන් 35% කට තම දරුවා පාසල් යවන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. පිටු 200 සී.ආර් පොතක් රුපියල් 540යි. පිටු 80 චිත්‍ර පොතක් රු. 400යි. පාසැල් බෑග් එකක් රුපියල් 3500යි. සපත්තු කුට්ටමක් රු.4000 යි. වේලක් කන්න බැරුව ඉන්න මිනිස්සු ළමයෙක් ඉස්කෝල යවන්නේ කොහොමද? ඒත් ඇමැතිවරුන්ට රජ මගුල්. උන්ට මේ ප්‍රශ්න මොකුත් නැහැ. බීලා වැඩි වුණාම අහසටත් වෙඩි තියලයි යන්නේ. මන්ත්‍රීධුරයෙන් ගන්න පුලුවන් උපරිම වින්දනයත් ලබනවා. ජනතාව නිරා දුක් විඳිනවා.

ජනාධිපති කාර්යාලයේ කිරි තේ නෑ

ජනාධිපති කාර්යාලයේ වියදම් අඩුකර ගන්න කිරි තේ නවත්තලා. ප්ලේන් ටී විතරයි. කිරි ඕනෙ අයට කිරි බොන්න පුළුවන් සල්ලි ගෙවලා. මේවා විශිෂ්ට වැඩ කියලා රනිල්ගේ අනුගාමිකයෝ හිතනවා ඇති. ඒත් රටේ ධනය මංකොල්ල කාපු එවුන් දැක දැක නොදැක්ක ගානට ඉන්න රනිල් කිරි තේ එක නැවැත්තුවට වැඩක් නෑ. බැංකුවට රුපියල් බිලියන ගණන් පොලු තියපු එවුන් රනිල් ළඟ දැවටි දැවටී ඉන්නවා. ඉස්සෙල්ලා ඒ ණය අයකර ගන්නකෝ. එතකොට ජනාධිපති කාර්යාලයේ වැඩ කරන අයට කිරි තේ දෙන්න පුළුවන්. මහ බැංකුව බින්ඳ යාලුවගෙන් මුදල් අය කරගන්නකෝ. එතකොට ජනාධිපති කාර්යාලයේ වැඩ කරන අයට දවල් බත දෙන්නත් පුළුවන්. රාජපක්ෂලා වැඩේ දුන්න ඩොලර් ටික ගේන්න විදිහක් බලන්නකෝ. අඩුම තරමින් මේ සීනි බදු වංචාවෙන් වෙච්ච පාඩුව පියවගන්න වත් බලන්නකෝ එතකොට ජනාධිපති කාර්යාලෙ කාටත් transport ඇතුළු තවත් පහසුකම් දෙන්න පුළුවන්. මොකද වාහන නැහැ කියලා ඔයා ළඟ වැඩ කරන අය අඬ අඬා ඉන්නේ.

ආවා ආවා

බැසිල් රාජපක්ෂ ලංකාවට ආපු ගමන් සනත් නිශාන්ත කිව්වේ ගමට ගිහින් ඡන්ද ගන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි කියලයි. ඒ කියන්නේ බැසිල් එක්ක ගමේ යන්න හිතාගෙන වෙන්න ඇති.

සජබ පා.ම. මුජිබර් රහුමාන් කියලා තිබුණේ බැසිල් පිළිගන්න airport යන්න ඕනේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියලයි. ඇත්තටම ඇතුලේ ඉන්න ඕන අය එළියෙ ඉඳලා එළියෙ ඉන්න ඕනේ අය ඇතුලෙ ඉන්න එක ගැන රනිල් මොකද කියන්නේ. මොකුත්ම කියන්නේ නැද්ද. රනිල්ට අද ජාම බේරගන්න බැසිල් ඕනෙ.රනිල් අභියෝගය භාරගත්තා තමයි. ඒත් දැන් හුඟක් දේවල් සිද්ධවෙන්නේ විගඩම්කාරී විදිහට.

එළවපු රාජපක්ෂලා ආයෙ රටේ තීරණාත්මක බලයක් පතුරුවන්න ලෑස්ති වෙන කොට මොකද හිතෙන්නේ.
අද වෙනකොට ජනතාවගේ අපේක්ෂා ඇතුල් පැත්තට පත්තුවෙන සුරුට්ටු වගේ වෙලා. ජනතාවගේ කටවල් පිච්චෙන්න ඔන්න මෙන්න.

විමලනාත් වීරරත්නගේ ‘පුංචි පුංචි සටහන්

අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?

0

මුහුණු පොතේ මහේෂ් හපුගොඩ ලස්සන ලිපියක් ලියලා තිබ්බා “යක්ෂයාගෙ ක්‍රිකට් ගහමු ” කියලා. ඒකට හොඳ යි කියන්නෙ නැතුව ලස්සන යි කිව්වෙ ඒ ලිපියෙ තව මොනව හරි තියෙන්න ඕන තුනපහ ටිකක් අඩු යි කියලා හිතෙන නිසා. මහේෂ් ඒක හිතල ම කරපු ගතියකුත් ඒකෙ තිබ්බ නිසා මං හිතුවා පොඩ්ඩක් මට පුළුවන් විදියට මං හිතන අඩු ම කුඩු ම ටික ඒකට එක් කරන්න.

මහේෂ්ගෙ ලිපියෙ මං ආස ම කොටස තමයි අරවින්ද පැවතීම වෙනුවෙන් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි ප්‍රහාරක බව නිසා ම රැඳිලා හිටිය (පැවතිලා හිටිය) ක්‍රීඩකයෙක් කියන එක. මං හිතන්නෙ එතන තියෙනවා මහේෂ්, සංගා හා අරවින්ද අතර අඳින බෙදුම් රේඛාව අඳුන ගන්න අවශ්‍ය කරන සංඥාව. මහේෂ් කරන සමස්ත සන්සන්දනයෙ තියෙනවා සංගා කියන්නෙ අර කියපු අරවින්දගෙ අනික් පැත්ත කියල කරන ඇඟවීම.

ඒ වුණාට මං කියන්නෙ මහේෂ් ටිකක් අරවින්දට ආත්මීය වෙනව වැඩි යි කියන එක. අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න ලිපිය ලිව්වෙ නැති බව මහේෂ් කියනව තමයි. හැබැයි මං කැමතියි මෙහෙම කියන්න;

“අරවින්ද ටිකක් කලින් ඉපදුණ නිසා යක්ෂයෙක් විදියට ඉතුරු වුණා “

77 හඳුන්වා දෙන නව ලිබරල් ධනවාදයට ක්‍රිකට් අහුවෙන්න පටන් ගන්න කාලෙ වෙනකොට අරවින්දලා පීක් ම ලෙවල් එකට ඇවිල්ලා. මෙතන අරවින්දලා කියලා කිව්වෙ අරවින්දගෙ සමකාලීනයන් බොහෝ දෙනෙකු ඇතුළෙ පොඩි අරවින්ද කෙනෙක් (යක්ෂයෙක්) හිටිය නිසා. සනත්ගෙ පවා…ප්‍රාග්ධනයට ක්‍රිකට්වල රස දැනෙන්න පටන් ගන්න කාලෙ ම මේ යක්ෂ පැටව්නුත් විකිණෙන්න ගත්තා. කීල්ස් සොසේජස් කනවා, කොකා කෝලා බොනවා. කාර් පෙරේතයා වගේ කතා හැදෙනවා. මං මෙහෙම කියන්නෙ අරවින්ද සංගා වගේ මැනේජර්ලා තියා ගත්තෙ නෑ කියලා මහේෂ් කියල තියෙන නිසා. ඒ කියන්නෙ ඇත්තට ම වුණේ තමන්ට ම කියලා මැනේජර් කෙනෙක් ක්‍රීඩකයෙකුට තියා ගන්න පුළුවන් මට්ටමට ඒ වෙලාවෙ ක්‍රිකට් ධනවාදයට අහුවෙලා තිබ්බෙ නෑ කියන එක. අහුවෙච්ච මට්ටමෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික ප්‍රාග්ධනය යි මේ ක්‍රීඩකයො යි දෙගොල්ල ම අන්‍යෝන්‍ය විදියට ගත්ත. මේ චෝදනාවෙන් බේරෙන්න පුළුවන් වෙන්නෙ අර්ජුන වගේ ක්‍රීඩකයෙකුට විතර යි. මං කියන්නෙ අර්ජුනත් උපාසකයා කියලා නෙවෙයි.

අරවින්දලා තාම අපි ළඟ ක්‍රීඩකයො විදියට විතරක් පැවතිලා ඉන්න එක ධනවාදයට අදාළව කාලය පිළිබඳ කාරණයක් මිස අරවින්දලාගේ ම ස්වාභිමතය අනුව වෙච්ච දෙයක් නෙවෙයි කියල යි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ කුණු වෙන්න කලින් අරවින්දලාගේ පැවතීම අවසන් වුණා.

ඊට පස්සෙ ක්‍රීඩාවට ආව ගොඩක් ක්‍රීඩකයො අපි අතර රැඳිලා ඉන්නෙ එක අනන්‍යතාවයකින් නෙවෙයි. ඒ ගොල්ලො ක්‍රීඩකයො වෙන අතරේ ම ව්‍යාපාරිකයො, වෙළඳ නියෝජිතයො, වෙළඳප්‍රවර්ධකයො, ආයෝජකයො, දේශපාලකයො, පරිපාලකයො, දේශකයො, සමාජ සේවකයො වගේ අනන්‍යතා ගණනක් නඩත්තු කළා. ඒ ගොල්ලන්ට ක්‍රීඩාවේ අරමුණ ක්‍රීඩාව ම නෙවෙයි කියලා ප්‍රාග්ධනය කියලා දුන්නා. ප්‍රාග්ධනය කියලා දුන්න අරමුණ සම්පූර්ණ කර ගත්ත ම ඒ ගොල්ලන්ට ක්‍රීඩාව වැදගත් නැති වෙලා ම ගියා. සහන් රන්වලගෙ කණ්ඩායම ගායනා කරන අර “ලොකු වුණා ම වෙන්නෙ කවුද ? ” සින්දුවෙ ඉන්නෙ මෙන්න මේ අරවින්දලාට පස්සෙ ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයන්ගෙ පොඩි කාලෙ චරිත ටික.

මහානාම එයාගෙ කතාව ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා Retired hurt (වේදනාත්මක සමුගැනීම) කියල. මං නං කියන්නෙ මහානාමලා කලින් සමු ගන්න සිද්ධ වෙච්ච එක ගැන ඒ ගොල්ලො කණගාටු වෙන්න ඕන නෑ. තාම අපිට අරවින්දලා යක්ෂයො වගේ පේන්නෙ ඒ නිසා; කලින් ගිය නිසා.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කරුණා අම්මාන් : අපරාධ රාජ්‍යයේ තවත් කතාවක් !

0

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූයේ 2005 වසරේදී ය. ඊට අවුරුදු දෙකකට පසු 2007 නොවැම්බර් 02දා හෝ ඊට ආසන්න දිනයකදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවරදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වී තිබේ. ඒ, එරට මෙට්‍රොපොලිටන් පොලිසිය හා ආගමන – විගමන නීති පිළිබඳ අංශය එක්ව කළ මෙහෙයුමකින් පසුව ය.

ව්‍යාජ පාස්පෝට්

ව්‍යාජ ආගමන විගමන බලපත්‍රයක් – පාස්පෝට් එකක් භාවිත කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට ඇතුළු වූ දිනය පැහැදිලි නැත. එසේ කවර දිනයක හෝ ඔහු බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන යන නමින් සැකසූ පාස්පෝට් එකකින් ය. විමර්ශන වාර්තා අනුව ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු ඒ නමින් පෙනී සිට ඇත.

කෝකිල දුෂ්මන්ත

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන කෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් දරා නැත. එසේ තිබියදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තා අදාළ තනතුර දරන බවක් සහතික කර තිබූ බව ට්‍රයල් ඉන්ටර්නැෂනල් නම් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමෙන් කටයුතු කරන සංවිධානයකි. එවකට ලංකාවේ ආණ්ඩුව මෙම ව්‍යාජ පාස්පෝට් සැකසීම සඳහා කරුණා අම්මාන්ට සහාය දී ඇතැයි විමර්ශන අංශ උපුටා දක්වමින් මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කරුණා අම්මාන් අතුරුදන්

අතුරුගිරිය ප්‍රදේශයේ අට දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමකින් පසු කරුණා අම්මාන් එක්වරම අතුරුදන් වන්නේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ය. මෙම සිදුවීම වූ නිවසේ තිබූ සුදු පාට මෝටර් රථයක් එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගිය පොලිස් නිලධාරියකුට අයත් බව ද තහවුරු වී තිබිණි. එම නිලධාරියා දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ නිලධාරියෙකු ලෙස ප්‍රකට අයෙකි. මේ කාලයේ ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් කරුණා අම්මාන්ට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවත්, ඔහු ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පළාගිය බවත් පැවසිණි.

කරුණා අම්මාන් ඒල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වී රජයේ ආරක්ෂක අංශ සමග කටයුතු කරන්නට වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දැරූ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ ය. ඉන්පසු ඔහුගේ සමීපතමයා වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග ගැටුමක් ඇති වූ අතර, කරුණා අම්මාන්ට එල්ටීටීඊයෙන් මෙන්ම පිල්ලෙයාන් පාර්ශ්වයෙන් ද ජීවිත තර්ජන එල්ල වී ඇත. කෙසේ හෝ අතුරුගිරියේ සිද්ධියෙන් පසුව කරුණා අම්මාන් අතුරුදන් ය.

ගෝඨාභය රාජපක්ෂ

2007 නොවැම්බර් මාසයේදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ ද ඒල්ටීටීඊ සංවිධානය විසින් ඔහු සම්බන්ධයෙන් ලබාදුන් ඔත්තුවක් අනුව බව කියවිණි. කෙසේ හෝ මෙසේ අත්අඩංගුවට ගත් කරුණා අම්මාන් බටහිර ලන්ඩනයේ අයිස්ල්වර්ත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2008 ජනවාරි 25 දින මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළකරන බීබීසී සිංහල වෙබ් අඩවිය පවසන්නේ කරුණා අම්මාන්ට අදාළ ව්‍යාජ ගමන් බලපත්‍රය එවකට මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වූ බවයි. බ්‍රිතාන්‍යය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇත්තේ කරුණා අම්මාන්ට එරටට පැමිණීමට අවශ්‍ය සියලු ලියකියවිලි සකස් කර දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් බවට ඔහු තමන්ට පැවසූ බවකි.
පැමිණිල්ල නියෝජනය කළ එම නිලධාරීන්, කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ කාලයේ සිට ම ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා සමග සම්බන්ධකම් පැවැත්වූ බව, කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අධිකරණය ඉදිරියේ කියවමින් පැවසීයැයි බීබීසී වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ලංකා ආණ්ඩුව මගින් සකස් කර දුන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කරමින් කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවත්, එම ගමන් බලපත්‍රය ඔහුට ලැබී ඇත්තේ ගුවන්යානය තුළදී බවත් අදාළ ප්‍රකාශය කියවමින් පැමිණිල්ල අධිකරණයට පවසා ඇත. සැකකරු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු නොවූවද, ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් ඔහුව ආරක්ෂා කරන බව එම නිලධාරීන් අධිකරණයට පැවසූ බව බීබීසී ය සිය පුවතේ සඳහන් කර ඇත.

විදේශ ඇමැති මැදිහත් වෙයි

කෙසේ වෙතත් එවකට මෙරට විදේශ ඇමැති ධුරය දැරූ රෝහිත බෝගොල්ලාගම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඔහුට කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබානොදුන් බවත් පවසා ඇතැයි ද බීබීසීය බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු උපුටා දක්වමින් සඳහන් කර ඇත. මෙහිදී කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් පිලිප්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ මෙම ව්‍යාජ පාස්පෝට් ප්‍රශ්නය අවසන්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ අයැදුම් කිරීමට කරුණා අම්මාන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කරුණා – ගෝඨා හමුව

2008 ජනවාරි 27දා කරුණා අම්මාන්ගේ පාස්පෝට් ප්‍රශ්නය සම්බන්ධයෙන් අනාවරණය කරන සන්ඩේ ලීඩර් පුවත්පත පවසන්නේ ඔහු එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මුණගැසී තමන්ට බ්‍රිතාන්‍යයට යෑමට පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. බ්‍රිතාන්‍යයේ ජීවත් වන තම බිරිඳ සහ දරුවන් බැලීමට එහි යෑමේ අවශ්‍යතාව කරුණා අම්මාන් විසින් ගෝඨාභය රාජපක්ෂට පැහැදිලි කිරීමෙන් පසු, ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රාජපක්ෂ එකඟ වී ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි.
සන්ඩේ ලීඩර් යනු 2009 ජනවාරි 08දා අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට අයත්ව තිබූ සතිඅන්ත පුවත්පත ය.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 2007 අගෝස්තු 30දා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව අංක D 1944260 යටතේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තෙකුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, ඔහුගේ තනතුර ලෙස සඳහන් වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ය. එහි කරුණා අම්මාන්ගේ ඡායාරූපය තිබූ බව ද එහි සඳහන් ය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 505 අංක දරන ගුවන්යානයෙන් 2007 සැප්තැම්බර් 18දා පෙරවරු 2.15ට කරුණා අම්මාන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කළ බවයි. ඔහුට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ගුවන්යානය තුළදී ලබා දී ඇත්තේ ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගමේ ඉහළ ම නිලධාරියෙකු බව ද එහි සඳහන් ය.

ආපසු ලංකාවට

කෙසේ වෙතත් මේ සිදුවීමේදී තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍යයට පවසා තිබුණේ කරුණා අම්මාන්ට ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තමන් සහයෝගය ලබාදුන් බවට කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවයි. තමන්ගෙන් කිසිදු විමසීමක් නොකොට, බ්‍රිතාන්‍ය අධිකරණයට එවැනි කරුණක් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව ද එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබිණි.
වරදට අදාළ දඬුවම් විඳීමෙන් පසු කරුණා අම්මාන් මෙරටට පිටුවහල් කරන ලදි. අන්තර්ජාතික ආගමන විගමන නීතියට අනුව වීසා හෝ ගමන් බලපත්‍ර වරදක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නැවත පිටුවහල් කෙරෙන්නේ ඔහු පැමිණි රටටම ය. ඒ අනුව අතුරුගිරියේ සිදුවීමෙන් පසු අතුරුදන්ව – සැඟවුණු ජීවිතයක් ගත කළ කරුණා අම්මාන් ලංකාවට එවීමෙන් තහවුරු වන්නේ ඔහු ලංකාවෙන් කෙලින්ම බ්‍රිතාන්‍යයට ගොස් ඇති බවයි.

කරුණා පාර්ලිමේන්තුවට

ලංකාවට පැමිණීමෙන් පසු කරුණා අම්මාන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ය. ඒ පත්වීම දුන් මහින්ද රාජපක්ෂ ය, නැවතත් ඔහුට ජාතික ලැයිස්තුවට දෙවරක්ම ආරාධනා කළ බවක් කියන්නේ. ඉන්පසු ඔහු දෙමළ මහජන නිදහස් පක්ෂය පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අරඹන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්ෂ දරන විට, එහි උප සභාපති ධුරයකට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පත්කෙරිණි. එසේම ඇමැති ධුරයක් ද ඔහුට ප්‍රදානය කෙරිණි.

කරුණා අම්මාන්ගේ ප්‍රතිචාරය !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසුවේ එය වැරදි කතාවක් බවයි. ඊට වඩා ඒ පිළිබඳ ව කිසිදු අදහසක් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

ළමා ලාදුරු රෝගීන් ඉහළට

0

මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව “2021 සහ 2022 වසරේ මේ දක්වා ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25%ක් පමණ වන බවද එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේය.

ලාදුරු රෝගයේ මුලික ලක්ෂණයක් වන සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලපයක් හෝ ඒ ලපවල දැනීමේ අඩුවක් වුවහොත් සමේ රෝග සායනයට ගොස් පරීක්ෂා කරවා ගන්නා ලෙසද ඔහු පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පසුගිය කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීම අවම මට්ටමක පැවති බවයි.

ආර්ජන්ටිනාවේ පරාජයට සෞදියට නිවාඩු

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) ජයග්‍රහණය කිරීමත් සමග එහි සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23) නිවාඩු ලබා දීමට සල්මාන් රජු කටයුතු කර තිබේ.

ඊයේ පැවැති තරගයෙන් ගෝල 2ට 1ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය කළේය.

තරගයේ 10 වන මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වුවද එම ගෝල සියල්ල ඕෆ් සයිඩ් වීම හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ උත්සාහාය අපතේ ගියේය.

කෙසේ වෙතත් තරගයේ 48 වන මිනිත්තුවේදී නැවතත් තරගය උණුසුම් කරමින් සෞදි අරාබිය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Saleh Alshehri සමත්විය.

අනතුරුව ක්‍රියාත්මක වූ Salem Aldawsari තරගයේ 53 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගයේ වාසිය සෞදි අරාබි කණ්ඩායමට හිමිවිය.

සුදුසුකම් ලැබීමේ තරග 36කින් අපරාජිතව දකුණු අමෙරිකානු ශූරයන් ලෙස තරගවලියට පැමිණියේය.

වසර 1990 දී ත් ආජන්ටිනාව කැමරූන් රාජ්‍යය ට එරෙහි මුල්ම තරඟයෙන් පරාජය ට පත්වූවද ඔවුන් අවසන් තරඟය දක්වා පැමිණීමට සමත්විය. කෙසේවෙතත් අවසන් තරගය බටහිර ජර්මනිය අතර පැවැති අතර එය 1- 0 ජය ගැනීමට බටහිර ජර්මනිය සමත්විය.