අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?

Share post:

මුහුණු පොතේ මහේෂ් හපුගොඩ ලස්සන ලිපියක් ලියලා තිබ්බා “යක්ෂයාගෙ ක්‍රිකට් ගහමු ” කියලා. ඒකට හොඳ යි කියන්නෙ නැතුව ලස්සන යි කිව්වෙ ඒ ලිපියෙ තව මොනව හරි තියෙන්න ඕන තුනපහ ටිකක් අඩු යි කියලා හිතෙන නිසා. මහේෂ් ඒක හිතල ම කරපු ගතියකුත් ඒකෙ තිබ්බ නිසා මං හිතුවා පොඩ්ඩක් මට පුළුවන් විදියට මං හිතන අඩු ම කුඩු ම ටික ඒකට එක් කරන්න.

මහේෂ්ගෙ ලිපියෙ මං ආස ම කොටස තමයි අරවින්ද පැවතීම වෙනුවෙන් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි ප්‍රහාරක බව නිසා ම රැඳිලා හිටිය (පැවතිලා හිටිය) ක්‍රීඩකයෙක් කියන එක. මං හිතන්නෙ එතන තියෙනවා මහේෂ්, සංගා හා අරවින්ද අතර අඳින බෙදුම් රේඛාව අඳුන ගන්න අවශ්‍ය කරන සංඥාව. මහේෂ් කරන සමස්ත සන්සන්දනයෙ තියෙනවා සංගා කියන්නෙ අර කියපු අරවින්දගෙ අනික් පැත්ත කියල කරන ඇඟවීම.

ඒ වුණාට මං කියන්නෙ මහේෂ් ටිකක් අරවින්දට ආත්මීය වෙනව වැඩි යි කියන එක. අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න ලිපිය ලිව්වෙ නැති බව මහේෂ් කියනව තමයි. හැබැයි මං කැමතියි මෙහෙම කියන්න;

“අරවින්ද ටිකක් කලින් ඉපදුණ නිසා යක්ෂයෙක් විදියට ඉතුරු වුණා “

77 හඳුන්වා දෙන නව ලිබරල් ධනවාදයට ක්‍රිකට් අහුවෙන්න පටන් ගන්න කාලෙ වෙනකොට අරවින්දලා පීක් ම ලෙවල් එකට ඇවිල්ලා. මෙතන අරවින්දලා කියලා කිව්වෙ අරවින්දගෙ සමකාලීනයන් බොහෝ දෙනෙකු ඇතුළෙ පොඩි අරවින්ද කෙනෙක් (යක්ෂයෙක්) හිටිය නිසා. සනත්ගෙ පවා…ප්‍රාග්ධනයට ක්‍රිකට්වල රස දැනෙන්න පටන් ගන්න කාලෙ ම මේ යක්ෂ පැටව්නුත් විකිණෙන්න ගත්තා. කීල්ස් සොසේජස් කනවා, කොකා කෝලා බොනවා. කාර් පෙරේතයා වගේ කතා හැදෙනවා. මං මෙහෙම කියන්නෙ අරවින්ද සංගා වගේ මැනේජර්ලා තියා ගත්තෙ නෑ කියලා මහේෂ් කියල තියෙන නිසා. ඒ කියන්නෙ ඇත්තට ම වුණේ තමන්ට ම කියලා මැනේජර් කෙනෙක් ක්‍රීඩකයෙකුට තියා ගන්න පුළුවන් මට්ටමට ඒ වෙලාවෙ ක්‍රිකට් ධනවාදයට අහුවෙලා තිබ්බෙ නෑ කියන එක. අහුවෙච්ච මට්ටමෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික ප්‍රාග්ධනය යි මේ ක්‍රීඩකයො යි දෙගොල්ල ම අන්‍යෝන්‍ය විදියට ගත්ත. මේ චෝදනාවෙන් බේරෙන්න පුළුවන් වෙන්නෙ අර්ජුන වගේ ක්‍රීඩකයෙකුට විතර යි. මං කියන්නෙ අර්ජුනත් උපාසකයා කියලා නෙවෙයි.

අරවින්දලා තාම අපි ළඟ ක්‍රීඩකයො විදියට විතරක් පැවතිලා ඉන්න එක ධනවාදයට අදාළව කාලය පිළිබඳ කාරණයක් මිස අරවින්දලාගේ ම ස්වාභිමතය අනුව වෙච්ච දෙයක් නෙවෙයි කියල යි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ කුණු වෙන්න කලින් අරවින්දලාගේ පැවතීම අවසන් වුණා.

ඊට පස්සෙ ක්‍රීඩාවට ආව ගොඩක් ක්‍රීඩකයො අපි අතර රැඳිලා ඉන්නෙ එක අනන්‍යතාවයකින් නෙවෙයි. ඒ ගොල්ලො ක්‍රීඩකයො වෙන අතරේ ම ව්‍යාපාරිකයො, වෙළඳ නියෝජිතයො, වෙළඳප්‍රවර්ධකයො, ආයෝජකයො, දේශපාලකයො, පරිපාලකයො, දේශකයො, සමාජ සේවකයො වගේ අනන්‍යතා ගණනක් නඩත්තු කළා. ඒ ගොල්ලන්ට ක්‍රීඩාවේ අරමුණ ක්‍රීඩාව ම නෙවෙයි කියලා ප්‍රාග්ධනය කියලා දුන්නා. ප්‍රාග්ධනය කියලා දුන්න අරමුණ සම්පූර්ණ කර ගත්ත ම ඒ ගොල්ලන්ට ක්‍රීඩාව වැදගත් නැති වෙලා ම ගියා. සහන් රන්වලගෙ කණ්ඩායම ගායනා කරන අර “ලොකු වුණා ම වෙන්නෙ කවුද ? ” සින්දුවෙ ඉන්නෙ මෙන්න මේ අරවින්දලාට පස්සෙ ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයන්ගෙ පොඩි කාලෙ චරිත ටික.

මහානාම එයාගෙ කතාව ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා Retired hurt (වේදනාත්මක සමුගැනීම) කියල. මං නං කියන්නෙ මහානාමලා කලින් සමු ගන්න සිද්ධ වෙච්ච එක ගැන ඒ ගොල්ලො කණගාටු වෙන්න ඕන නෑ. තාම අපිට අරවින්දලා යක්ෂයො වගේ පේන්නෙ ඒ නිසා; කලින් ගිය නිසා.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...