පොල්ගහවෙල පොලිසියට මහේස්ත්‍රාත්ගෙන් අවවාද : කොටසක් සනසන්න නඩු දාන්න එපා !

Share post:

විවිධ පාර්ශ්ව සැනසීමට නඩු නොදමන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්ත ජී. ප්‍රනාන්දු ඊයේ (22) පොල්ගහවෙල පොලිසියට දැඩි ලෙස අවධාරණය කළේය.

ආන්දෝලනයට තුඩු දුන් ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද ‘අර්ධ’ කෙටිකතාවේ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බව පවසමින්, එම පිටපත නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එවැනි ඉල්ලීමක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමන් වෙත ලැබී නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ පොලිසියට අවවාද කළේය.

අදාළ කෙටිකතාවේ අත්පිටපත මෙතෙක් පැවතුණේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ ය. ලේඛකයාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු මේ වන විට නිදහස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශක්තික සත්කුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවක් ද විභාග වේ. එම නිසා ඔහුගේ ඉල්ලීම පරිදි මෙම අත්පිටපත ලේඛකයා වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.
ශක්තික සත්කුමාර වෙනුවෙන් ඊයේ දින අධිකරණයේ පෙනීසිටියේ නීතිඥ බුද්ධදේව ගුණරත්න ය.

පැමිණිල්ල කාගේද ?

කෙටිකතාවක් ලියා, පළකිරීම හේතු කොටගෙන දින 130ක් ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කෙටිකතාවක් ලියා පළකිරීමට අදාළ ව ගොනුකර තිබූ ශක්තිකට එරෙහි චෝදනාවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට තරම් කරුණු නොමැති බවත්, එම නිසා ශක්තික සත්කුමාර වෙනුවෙන් අධිචෝදනා ගොනු නොකරන බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි.

‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා, එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබීම හේතුවෙන් 2019 අප්‍රේල් 01දා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලද්දේ පොල්ගහවෙල පොලීසියෙනි. එම කෙටිකතාව මගින් බෞද්ධාගම හෑල්ලුවට ලක්කර ඇති බව සඳහන් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානයක භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පොල්ගහවෙල හා පොතුහැර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොල්ගහවෙල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ බව අධිකරණයට දැනුම් දෙන ලදි.

ඇප නැති චෝදනා

මේ කෙටිකතාව මගින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ පනතේ (3) (1) වගන්තිය යටතේ, වෙනස් කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (බී) වගන්තිය යටතේ ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේෂසහගතව කටයුතු කිරීම යන චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මීට අදාළ නඩුව ගොනුකරන ලදි.

මේ පනත යටතේ නඩුව පවරා ඇති නිසා මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි වීමෙන් මාස 04කට අධික කාලයක් ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. ඉන්පසු ශක්තික වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණයේ ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසු 2019 අගෝස්තු 05දා ඔහුට ඇප ලැබිණි.
ඇප ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදී මෙම නඩුව කැඳවිණි. ඒ සෑම අවස්ථාවකදීම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ ශක්තික සත්කුමාරට එරෙහිව මේ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවයි. ඇප ලබාදීමේ මහාධිකරණ ක්‍රියාවලියේදී ද නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක් කල් ඉල්ලීම් සිදුකරන ලදි.

තමන්ට සිදු වූ මේ අසාධාරණයෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බව දක්වමින් ශක්තික සත්කුමාර විසින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශක්තික කවුද ?

කාගේ වුවද ප්‍රකාශනයේ නිදහස අත්තනෝමතික ලෙස අහිමි කිරීමට එරෙහි විය යුතුය. ඔහු කවුද, ඔහුගේ තරාතිරම කුමක්ද යන්න අදාළ නැත. කෙසේ වෙතත් ශක්තික යනු 2010 සහ 2014 වර්ෂවල විශිෂ්ඨතම කෙටිකතාකරුවාට හිමි සම්මාන දිනාගත්තෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. නවකතාකරුවෙකි. සාහිත්‍ය විචාර ග්‍රන්ථ සහ බුදු දහම ඇතුළු වෙනත් විෂයයන් පිළිබඳ ග්‍රන්ථ 30 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කළ ලේඛකයෙකි.
කූඩු, වැලි, මිනී කපන්නාගේ හෘදය සාක්ෂිය, පතොක් කටු, සිව්වන පරපුර ආදී කෙටි කතා සංග්‍රහද, වෙඩි වැදුණු පන්හිඳ, අඳුර, අහස අහිමි සඳක්, පියාපතක් බිම හෙළමි ආදී කාව්‍ය සංග්‍රහද, මතක ගම්දොර නම් නවකතාවද, දිවි මඟට පහන් වැටක්, සදහම් මකරන්ද, අමා දම් ආදී බෞද්ධ ග්‍රන්ථද, මළ ගිය ඇත්තෝ- නවකතා විමර්ශන, වීදි ලාම්පු , සිංහල කෙටි කතාවේ කම්මැල්ලවීර ලකුණ, බද්දේගම නවකතා විමර්ශන, නූතන කෙටි කතා විමර්ශන ආදී විචාර ග්‍රන්ථ රැසක් සහ ආරියරත්න විතාන සමඟ ‘නාට්‍ය තුනක්’ නම් නාට්‍ය පිටපත ද ඔහු ලියා තිබේ.

මේ අතර 2019 අගෝස්තු 01 දා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මගින් ශක්තිකව හෘද සාක්ෂියේ සිරකරුවකු ලෙස නම් කරනු ලැබීය. (Prisoner of Conscience) මීට පෙර එසේ නම් කරන ලද්දකු වූයේ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ය. ඒ 2009 වසරේදී ය. වාර්ගිකත්වය, ලිංගික දිශානතිය, ආගමික, දේශපාලන විශ්වාස වෙනුවෙන් පෙනී සිටිම නිසා සිරගත කරන ලද්දන් මේ නමින් නම් කෙරේ. එය ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ තරම සම්බන්ධයෙන් වන නිර්ණායකයකි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...