වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කරුණා අම්මාන් : අපරාධ රාජ්‍යයේ තවත් කතාවක් !

Share post:

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූයේ 2005 වසරේදී ය. ඊට අවුරුදු දෙකකට පසු 2007 නොවැම්බර් 02දා හෝ ඊට ආසන්න දිනයකදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවරදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වී තිබේ. ඒ, එරට මෙට්‍රොපොලිටන් පොලිසිය හා ආගමන – විගමන නීති පිළිබඳ අංශය එක්ව කළ මෙහෙයුමකින් පසුව ය.

ව්‍යාජ පාස්පෝට්

ව්‍යාජ ආගමන විගමන බලපත්‍රයක් – පාස්පෝට් එකක් භාවිත කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට ඇතුළු වූ දිනය පැහැදිලි නැත. එසේ කවර දිනයක හෝ ඔහු බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන යන නමින් සැකසූ පාස්පෝට් එකකින් ය. විමර්ශන වාර්තා අනුව ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු ඒ නමින් පෙනී සිට ඇත.

කෝකිල දුෂ්මන්ත

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන කෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් දරා නැත. එසේ තිබියදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තා අදාළ තනතුර දරන බවක් සහතික කර තිබූ බව ට්‍රයල් ඉන්ටර්නැෂනල් නම් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමෙන් කටයුතු කරන සංවිධානයකි. එවකට ලංකාවේ ආණ්ඩුව මෙම ව්‍යාජ පාස්පෝට් සැකසීම සඳහා කරුණා අම්මාන්ට සහාය දී ඇතැයි විමර්ශන අංශ උපුටා දක්වමින් මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කරුණා අම්මාන් අතුරුදන්

අතුරුගිරිය ප්‍රදේශයේ අට දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමකින් පසු කරුණා අම්මාන් එක්වරම අතුරුදන් වන්නේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ය. මෙම සිදුවීම වූ නිවසේ තිබූ සුදු පාට මෝටර් රථයක් එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගිය පොලිස් නිලධාරියකුට අයත් බව ද තහවුරු වී තිබිණි. එම නිලධාරියා දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ නිලධාරියෙකු ලෙස ප්‍රකට අයෙකි. මේ කාලයේ ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් කරුණා අම්මාන්ට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවත්, ඔහු ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පළාගිය බවත් පැවසිණි.

කරුණා අම්මාන් ඒල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වී රජයේ ආරක්ෂක අංශ සමග කටයුතු කරන්නට වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දැරූ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ ය. ඉන්පසු ඔහුගේ සමීපතමයා වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග ගැටුමක් ඇති වූ අතර, කරුණා අම්මාන්ට එල්ටීටීඊයෙන් මෙන්ම පිල්ලෙයාන් පාර්ශ්වයෙන් ද ජීවිත තර්ජන එල්ල වී ඇත. කෙසේ හෝ අතුරුගිරියේ සිද්ධියෙන් පසුව කරුණා අම්මාන් අතුරුදන් ය.

ගෝඨාභය රාජපක්ෂ

2007 නොවැම්බර් මාසයේදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ ද ඒල්ටීටීඊ සංවිධානය විසින් ඔහු සම්බන්ධයෙන් ලබාදුන් ඔත්තුවක් අනුව බව කියවිණි. කෙසේ හෝ මෙසේ අත්අඩංගුවට ගත් කරුණා අම්මාන් බටහිර ලන්ඩනයේ අයිස්ල්වර්ත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2008 ජනවාරි 25 දින මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළකරන බීබීසී සිංහල වෙබ් අඩවිය පවසන්නේ කරුණා අම්මාන්ට අදාළ ව්‍යාජ ගමන් බලපත්‍රය එවකට මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වූ බවයි. බ්‍රිතාන්‍යය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇත්තේ කරුණා අම්මාන්ට එරටට පැමිණීමට අවශ්‍ය සියලු ලියකියවිලි සකස් කර දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් බවට ඔහු තමන්ට පැවසූ බවකි.
පැමිණිල්ල නියෝජනය කළ එම නිලධාරීන්, කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ කාලයේ සිට ම ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා සමග සම්බන්ධකම් පැවැත්වූ බව, කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අධිකරණය ඉදිරියේ කියවමින් පැවසීයැයි බීබීසී වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ලංකා ආණ්ඩුව මගින් සකස් කර දුන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කරමින් කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවත්, එම ගමන් බලපත්‍රය ඔහුට ලැබී ඇත්තේ ගුවන්යානය තුළදී බවත් අදාළ ප්‍රකාශය කියවමින් පැමිණිල්ල අධිකරණයට පවසා ඇත. සැකකරු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු නොවූවද, ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් ඔහුව ආරක්ෂා කරන බව එම නිලධාරීන් අධිකරණයට පැවසූ බව බීබීසී ය සිය පුවතේ සඳහන් කර ඇත.

විදේශ ඇමැති මැදිහත් වෙයි

කෙසේ වෙතත් එවකට මෙරට විදේශ ඇමැති ධුරය දැරූ රෝහිත බෝගොල්ලාගම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඔහුට කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබානොදුන් බවත් පවසා ඇතැයි ද බීබීසීය බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු උපුටා දක්වමින් සඳහන් කර ඇත. මෙහිදී කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් පිලිප්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ මෙම ව්‍යාජ පාස්පෝට් ප්‍රශ්නය අවසන්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ අයැදුම් කිරීමට කරුණා අම්මාන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කරුණා – ගෝඨා හමුව

2008 ජනවාරි 27දා කරුණා අම්මාන්ගේ පාස්පෝට් ප්‍රශ්නය සම්බන්ධයෙන් අනාවරණය කරන සන්ඩේ ලීඩර් පුවත්පත පවසන්නේ ඔහු එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මුණගැසී තමන්ට බ්‍රිතාන්‍යයට යෑමට පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. බ්‍රිතාන්‍යයේ ජීවත් වන තම බිරිඳ සහ දරුවන් බැලීමට එහි යෑමේ අවශ්‍යතාව කරුණා අම්මාන් විසින් ගෝඨාභය රාජපක්ෂට පැහැදිලි කිරීමෙන් පසු, ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රාජපක්ෂ එකඟ වී ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි.
සන්ඩේ ලීඩර් යනු 2009 ජනවාරි 08දා අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට අයත්ව තිබූ සතිඅන්ත පුවත්පත ය.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 2007 අගෝස්තු 30දා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව අංක D 1944260 යටතේ කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන නමැත්තෙකුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, ඔහුගේ තනතුර ලෙස සඳහන් වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ය. එහි කරුණා අම්මාන්ගේ ඡායාරූපය තිබූ බව ද එහි සඳහන් ය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 505 අංක දරන ගුවන්යානයෙන් 2007 සැප්තැම්බර් 18දා පෙරවරු 2.15ට කරුණා අම්මාන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කළ බවයි. ඔහුට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ගුවන්යානය තුළදී ලබා දී ඇත්තේ ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගමේ ඉහළ ම නිලධාරියෙකු බව ද එහි සඳහන් ය.

ආපසු ලංකාවට

කෙසේ වෙතත් මේ සිදුවීමේදී තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍යයට පවසා තිබුණේ කරුණා අම්මාන්ට ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තමන් සහයෝගය ලබාදුන් බවට කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවයි. තමන්ගෙන් කිසිදු විමසීමක් නොකොට, බ්‍රිතාන්‍ය අධිකරණයට එවැනි කරුණක් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව ද එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබිණි.
වරදට අදාළ දඬුවම් විඳීමෙන් පසු කරුණා අම්මාන් මෙරටට පිටුවහල් කරන ලදි. අන්තර්ජාතික ආගමන විගමන නීතියට අනුව වීසා හෝ ගමන් බලපත්‍ර වරදක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නැවත පිටුවහල් කෙරෙන්නේ ඔහු පැමිණි රටටම ය. ඒ අනුව අතුරුගිරියේ සිදුවීමෙන් පසු අතුරුදන්ව – සැඟවුණු ජීවිතයක් ගත කළ කරුණා අම්මාන් ලංකාවට එවීමෙන් තහවුරු වන්නේ ඔහු ලංකාවෙන් කෙලින්ම බ්‍රිතාන්‍යයට ගොස් ඇති බවයි.

කරුණා පාර්ලිමේන්තුවට

ලංකාවට පැමිණීමෙන් පසු කරුණා අම්මාන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ය. ඒ පත්වීම දුන් මහින්ද රාජපක්ෂ ය, නැවතත් ඔහුට ජාතික ලැයිස්තුවට දෙවරක්ම ආරාධනා කළ බවක් කියන්නේ. ඉන්පසු ඔහු දෙමළ මහජන නිදහස් පක්ෂය පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අරඹන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මහින්ද රාජපක්ෂ දරන විට, එහි උප සභාපති ධුරයකට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පත්කෙරිණි. එසේම ඇමැති ධුරයක් ද ඔහුට ප්‍රදානය කෙරිණි.

කරුණා අම්මාන්ගේ ප්‍රතිචාරය !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසුවේ එය වැරදි කතාවක් බවයි. ඊට වඩා ඒ පිළිබඳ ව කිසිදු අදහසක් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...