Home Blog Page 197

“පෞද්ගලිකවාදී ආත්මීය කවියක් ලියලා තෘප්තිමත් වෙන්න මට නම් බෑ!” – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

0

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ සංක්‍ෂිප්ත සංවාදයකි.

මංජුල වෙඩිවර්ධන වරක් එක තැනක කියනව ඔහු කවියටත් වඩා කවියෙ හිස එහෙම නැත්නම් මාතෘකාව ගැන හිතන බවත්, පොතක් නාමකරණයට ලක් කිරීම ගැන සෑහෙන්න කල්පනා කරන බවත්. මටත් ඔබේ ග්‍රන්ථ නාමකරණ ඇතුළෙ එහෙම සුවිශේෂීබවක් දැනෙනව. නිකං නම් ටික මතක් කළොත්, සඳක් නැතිවෙන්න ඉඩ ඇත – වැඩියෙන්ම වැරදුණේ කවියන්ට – කොළඹට කියන්නෙ බොරැල්ලට – බුදු වෙන්නවත් අත අරින් නෑ ! අපි එතැනින් කතාව පටන් ගමු. ඔබ ඔබේ කවි නාමකරණ ගැන කොපමණ සැලකිලිමත්ද?

මං පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපි මේ කාලෙ ලියමින් ඉන්න කවියෙ ආකෘතියත් එක්ක බලනකොට කවියක මාතෘකාව තීරණාත්මක යි කියන එක.මොකද, අපි මේ වෙලාවෙ ලියමින් ඉන්නෙ මුක්තක වගේ කාව්‍ය ප්‍රවර්ගයක්.ඒ කියන්නෙ එක කවියකින් අර්ථය සම්පාදනය කරන කවියක් තමයි අපි බහුලව ලියමින් ඉන්නෙ.හැබැයි ඒවා සීගිරියෙ හම්බ වෙන මුක්තකවලටත් වඩා වෙනස් ජාතියක්.

අන්න එතකොට කවියෙ මාතෘකාව තීරණාත්මක යි.කොළඹ යුගයෙ ඉඳන් තමයි මේ තත්ත්වය සෑහෙන්න දකින්න ලැබෙන්නෙ.වෙඩ්ඩා විතරක් නෙවෙයි මේ වෙලාවෙ කවිය බරපතළ ලෙස සලකන බොහෝ දෙනෙක් ඒ ගැන ඉතා ම සවිඤ්ඤාණකව කල්පනා කරන බව පේන්න තියෙනවා.මගේ අලුත් කවි පොතේ කවියක් තියෙනවා ඒකෙ දි මං මාතෘකාව කියවන්න කියන්නෙ කවිය කියවලා ඉවර වෙලා.අද දවසේ කවියා තමන්ගෙ කවියෙන් කියන්න හදන තේමාත්මකය ඉඟි කරන තැන තමයි මාතෘකාව කියන්නෙ.

පොත් නාමකරණය කරද්දි නම් මං මූලික වශයෙන් කල්පනා කරන්නෙ පොතේ සමස්තය ම නො වුණත් ඒ කාලෙ මං කවි ලියන මූඩ් එක සංකේතාත්මක වෙන නමක් යොදන එක ගැන.හැබැයි මගේ පොත්වල නම්වලට සමහර ප්‍රවීණ කවියො නම් එතරම් කැමති නෑ කියලා මාත් එක්ක කියලා තියෙනවා.ඒවගෙ පොඩි අපරිණත රැඩිකල් ගතියක් තියෙනවා කියල යි ඒ අය කියන්නෙ.ඒත් ඉතිං ඒ මගේ විදිය.

‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ ළඟට එන්න කලින් මං කැමතියි කලින් පොත් කීපය ගැන යමක් අහන්න. දැන් ආපහු හැරිල ඒ පොත් දිහා බලද්දි ඔබට මොකද හිතෙන්නෙ?

කාලයක් කවියත් එක්ක පොරබදපු කෙනෙක් විදියට මං පළමු වෙනි පොත කරපු වෙලාවෙ කවිය ගැන කල්පනා කරපු විදිය මේ වෙනකොට සෑහෙන්න වෙනස් වෙලා කියලා මට හිතෙනවා.මුල් යුගයේ මගේ කවිවල තිබුණු අමු ගතිය දැන් නැති වෙලා කියලා ගොඩක් දෙනෙක් මාත් එක්ක කියලා තියෙනවා. විශේෂයෙන් ම ” කොළඹට කියන්නෙ බොරැල්ලට ” ලියන කාලෙ වෙනකොට මම කවිය සම්බන්ධයෙන් හිතන විදිය සෑහෙන්න වෙනස් වෙන්න ගත්තා.ඒ පොත ජනගත වෙන දවසෙත් මං ඒක කිව්වා.

ඒකට බලපාන්නෙ මගේ වටේ හිටිය මිතුරු විචාරකයන්ගෙ මැදිහත් වීම. ” ක යන්න වි යන්න “, බූපති,අමරකීර්ති,මහේෂ් වගේ අය මට ගෙනාපු විවේචන සහ විචාර මං ඉතා ම ආදරයෙන් මගේ ඇතුළට ගත්තා කියලා මම හිතනවා.

හැබැයි සමහරු තාම මගේ අමු කවියට කැමති යි.දැන් නම් ආයෙ උත්සාහ කළත් ඒ කවිය ලියන්න බැරි වෙයි.ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා.

මා ඔබ ප්‍රශ්න කරන මේ මොහොතෙ අප දෙදෙනාම අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයට රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුලු වෙලා. ඊට කලින් කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිදුවුණු සිදුවීම් අපි දැක්ක. මුළු රටම ඛේදවාචකයක්. ණය ගෙවාගන්න බැරුව පවුල් පිටින් සියදිවි නසාගන්නව. අම්මලා ළමයි එක්ක ගඟේ, මුහුදේ පනිනව. මේ සමස්ථ චිත්‍රය ඇතුළෙ ඔබ ඔබේ අලුත් කවි පොත ස්ථානගත කරන්නෙ කොතැනටද, කොහොමද?

මගේ පළමු වෙනි කවි පොතේ නමින් මම ඉඟි කළේ මේ වගේ මොහොතක් ගැන තමයි.” සඳක් නැති වෙන්න ඉඩ ඇත “. මේ උදා වෙලා තියෙන්නෙ එහෙම කාලයක්.ඒ වගේ කාලෙක මනුෂ්‍යයෙකුත් වෙලා කවියෙකුත් වෙලා ඉපදිලා පෞද්ගලිකවාදී ආත්මීය කවියක් ලියලා තෘප්තිමත් වෙන්න මට නම් බෑ.

මං ආත්මය කියලා එකක් විශ්වාස කරන්නෙ නෑ.මං විශ්වාස කරන්නෙ හෘද සාක්ෂිය.ඒ හෘද සාක්ෂිය මේ ලෝකයත් එක්ක මේ මිනිස්සුත් එක්ක සම්බන්ධ කරන්න යි මට ඕන.මේ වෙලාවෙ ජීවත් වීම කියන ක්‍රියාව කරන මිනිස්සු අතරේ ඇවිද යමින් මීට වඩා ආලෝකවත්,සංස්කෘතික ජීවිතයක් ගත කරන්න ඔව්න් ඇතුළෙ ලාලසාවක් දල්වන්න යි මං කවි ලියන්නෙ.අද දවසේ මගේ කවිය ස්ථානගත කරන්න මං කැමති එහෙම.

මේ මොහොතෙ කවියෙ සහ සාහිත්‍යයෙ කාර්යභාරය කුමක් විය යුතුද?

සාහිත්‍ය කලා ව්‍යාපාරයන්ගෙ කාර්යභාරය ගැන ආඥා පනවන්න මම දැන් කැමති නෑ.ඒ වෙනුවට මම දැන් කරන්නෙ මගේ විශ්වාසය වෙනුවෙන් ලියන එක.කවිය මෙසේ විය යුතුය,මෙසේ විය යුතුය ආදී ලෙස දැක්වීම වෙනුවට මං හිතන්නෙ මේ මොහොතේ මගේ වැඩ කොටස ඇත්තට ම කරන එක වැදගත් කියලා.මං හිතන්නෙ මගේ අලුත් කවි පොත මං මේ වෙලාවෙ කවි ලියමින් ඉන්නෙ ඇයි, කියන එක ගැන සාක්ෂි සටහනක් වේවි.ඒක නිසා අපි ඒක මගේ කවි කියවන සහෘදයන්ට තීරණය කරන්න ඉඩ දෙමු.

ඔබේත්, ඔබට පෙරත්, ඔබට පසුත් ලියන කියවන පරම්පරා ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මට කලින් කවි ලියපු පරම්පරාව අද දවසේ සිංහල කවිය මේ තත්ත්වයට ගේන්න දැනුවත් ව හරි නො දැනුවත් ව හරි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියන එක යි මගේ තක්සේරුව.විමලරත්න කුමාරගම,ජී.බී.,සිරි ගුනසිංහ,අමරසේකර,පරාක්‍රම,ආරියවංශ,ලාල් හෑගොඩ,නන්දන වගේ කවීන් සිංහල කවියේ අන්තර්ගතමය හා ස්වරූපමය සංවර්ධනය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස, ලංකාව මේ වෙලාවෙ කවිය තියෙන උසස් තැන විෂයෙහි තීරණාත්මකව බලපාලා තියෙනවා.

ඒ අතින් ජී.බී.,සිරි ගුනසිංහ,අමරසේකර තීරණාත්මක යි.ඒ තුන් දෙනා ම අනාගත සිංහල කවිය ගැන බරපතළ වෙච්ච කවියො.එයාලට තිබ්බා එයාලගෙන් පස්සෙ කවිය ගැන වගකීමක්.70න් පස්සෙ කවියො වැඩ කළේ ඒ ගොල්ල හදල දුන්න භූමියේ මිසක් මහගම සේකරගෙ භූමියෙ නෙවෙයි.සිංහල කවිය රැකුණෙ ඒ නිසා.

මං හිතන්නෙ අපේ පරම්පරාවෙන් සහ අපෙන් පස්සෙ පරම්පරාවෙන් දැන් ඉල්ලා සිටින්නෙ අලුත් ජී.බී.කෙනෙක්;සිරි ගුනසිංහ කෙනෙක්;අමරසේකර කෙනෙක්. එහෙම නැත්නම් මේ තුන් දෙනා ම කළවම් කර ගත්ත කෙනෙක්.

අලුත් පොත සහෘදගත කිරීම සඳහා වැඩක් සංවිධානය වන බව දැනගන්නට ලැබුණා. ඒ වැඩේ ගැන සහ එදාට සිද්ධ වෙන්නෙ මොනවද කියල සඳහනක් කරමින් අපි දැනට අපේ සංවාදය මෙතැනින් ඉවර කරමු?

ඔව්, වැඩේ සිද්ධ වෙන්නෙ මාර්තු 29.සවස 2.00ට.කන්තලේ දි.එදාට සුනිල් විජේසිරිවර්ධන,වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කියන සහෘදයින්ගෙ දේශන දෙකක් තියෙනවා.සහභාගී වෙන ඕන ම කෙනෙකුට මගේ ගානෙ පොඩි ත්‍යාගයක් දෙනවා.ඒ තමයි තමන් කැමති කවර හෝ කවියක් ඒ සභාවෙ දි එයාට කියවන්න ඉඩ දෙන එක.

සංවාදය – කසුන් සමරතුංග

මේ දරුවන්ට යුරෝපා සංචාරයට තලෙයිබාන් බලධාරීන්ගෙන් තවමත් අවසර නෑ

0

සහරා පතුලේ රන් හාරා නුඹ ඔටුනු බඳින්නෙපා
සාගර පතුලේ මුතු හාරා නුඹ පවුරු තනන්නෙපා…
Wake up wake up …the earth sings for you
Wake up wake up …the wind dances for you

නිල් දිය දිලිසෙන දිය ඇලි අහුරා කතරක් මවන්නෙපා
මල් නෙක ගැවසෙන ගහ කොල වනසා හීන දකින්නෙපා
තැන තැන දිවයන මුව පොව්වන් හට උගුල් තනන්නෙපා
අහසේ ඉගිලෙන තාරවන් වෙත හී සර විදිනු එපා..

Wakeup Wakeup… your heart looks for you
Wakeup Wakeup… your heart cries for you

සුදු හම කළු හම .. දෙවියන් නාමෙන් තැන තැන ගැටෙන්නෙපා
ගැලුවොත් රතු ලෙය නුඹගෙත් මාගෙත් වෙනසක් හොයන්නෙපා
මිහිලිය අවුළා අළුකොට දවලා සුරලොව සොයන්නෙපා
අහසට නැගලා නොපෙනී යන්නට මිහිකත දවන්නෙපා

සහරා පතුලේ රන් හාරා නුඹ කිරුළු බඳින්නෙපා
සාගර පතුලේ මුතු හාරා නුඹ කඳුළු තනන්නෙපා…
Wake up Wake up… the earth cries for you
Wake up Wake up… the wind screams for you

රේඩියෝ බෙගම් ( Radio Begum ) කියන්නෙ ඇෆ්ඝනිස්ථාන් කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විකාශය වෙන පුද්ගලික රේඩියෝ නාලිකාවක්.

තලෙයිබාන් පාලනයෙන් කොයිතරම් අවහිර කරදර ලැබුනත් මේ රේඩියෝ නාලිකාව නිර්මාණය කරපු හමීඩා අමාන් ( Hamida Aman) නෙවෙයි පහු බහින්නෙ. අද මිලියන ගණනාවක ඇෆ්ඝන් කාන්තාවන් හා දරුවන් මේ ගුවන් විදුලියට සවන් දෙනව.

හමීඩා කියන්නෙ ජීවිතය බේරගන්න ඇෆ්ඝනිස්තානයෙන් ස්විට්සර්ලන්තයට පලා ආපු පවුලක දැරියක්.
1980 අවුරුද්දෙ සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමත් එක්ක හමීඩා තමන්ගෙ අම්මයි තාත්තයි එක්ක ජීවිතය බේරගන්න යුරෝපයට සංක්‍රමණය වෙන්නෙ සරණාගතයන් විදිහට.

ඉන් පස්සෙ.. ඉරානය… ඇමරිකානුවන්.. සෞදි අරාබිය… පකිස්ථානය.. මේ ඇෆ්ඝන් ජීවිත විනාශ කරද්දි අවසානයට තකතීරු තලෙයිබාන් ගෝත්‍රිකයන් රජවෙනව ඇෆ්ඝන් බිමේ.

අද ස්විට්සර්ලන්තයේ වගේම ප්‍රංශයේත් පිලිගත් මාධ්‍යවේදිනියක් වන හමීඩා එක්ක එකට වැඩකරන්න අවස්ථාව ලැබුනෙ ලොසාන් විශ්ව විද්‍යාලයත් එක්ක කරපු ඇෆ්ඝන් දරුවන් සම්භන්ධ වැඩසටහනකදීයි.

මේ දරුවන් කන්ඩායමට යුරෝපා සංචාරය සඳහා තවමත් අවසර ලැබෙන්නෙ නැහැ තලෙයිබාන් බලධාරීන්ගෙන්.
හමීඩාගෙ උවමණාව තිබුනෙ ඒ දරුවන් ලවා ගීත කීපයක් ගායනා කරවන්නත් ඒ හරහා ලෝකයට පණිවිඩයක් දෙන්නත් යුරෝපයේ විවිධ රටවල වේදිකාවන්ගේ.

එයින් එක ගීතයක් ලියන්න ආරාධනා ලැබුනත් මාස ගානක ඉඳල ඒ ව්‍යාපෘතිය එක තැනම නතර වෙන්නෙ ඒ කුඩා දරුවන් තවමත් කාබුල් නගරයට සීමා වෙල තියෙන නිසයි.
ඉහත තියෙන්නෙ ඉංග්‍රීසි හා උර්දු භාශාවෙන ලියවුනු ගීතයේ සිංහල අනුවාදය.

මේ පද හරහා ඇෆ්ඝන් ඉතිහාසය… උරුමය හෝ දක්ශතාවය ගැන කියවෙන්නෙ නැති බව මගේ ඇෆ්ඝන් මිත්‍රයෙක් කියනව.
“නමුත් ලෝකයට අද අවශ්‍ය පෞඩ ඉතිහාසය ගැන දැනගන්නද.. නැතිනම් ලෝකයට අවදි වෙන්න කියන පණිවිඩයක්ද” මම ඇහුව. ඒකට පිළිතුරු තවම ලැබුනෙ නැහැ.

දාරි හා පශ්තෝ කියන භාශා දෙකට මේ පද පරිවර්තනය කරන්නෙ මගෙ මිත්‍රයෙක් විසින්.
මේ ගීතය පටිගත කරන්න බැරිවීම ගැන කණගාටුයි … ඒ ගැන කළකිරුනද..?
“කොහොමත් නෑ…. අපි කලේ අපෙන් ඉල්ලපු දේ විතරයි…. Time will come… one day some one will use those words and ideas at least. “

Malcolm Sang

වර්ජනයට මුවාවී රාජ්‍ය බැංකු විකිණීමේ කුමන්ත්‍රණයක් ? – ලංකා බැංකු සේවක සංගමය හෙළිකරයි !

රාජ්‍ය ආයතනවල ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර, වෙනත් බැංකුවලට යොමුකිරීමේ උත්සාහයක් පිළිබඳව පසුගියදා වාර්තා වූ අතර, මෙම පුවත සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරිණි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සඳහන් කරන ආකාරයට එම සංගමයේ සාමාජික රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින බැංකුවක් වන මහජන බැංකුවේ පවතින රාජ්‍ය, සංස්ථා සහ පුද්ගලික ගිණුම් ඉන් ඉවත් කර වෙනත් බැංකුවලට ගෙනයෑමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, එයට තම සංගමය දැඩි ලෙස විරෝධය පළකරන බවයි.

වැඩ වර්ජනය නිසා ද ?

පසුගිය මාර්තු 15දා රට පුරා පැවති වැඩවර්ජනය සඳහා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය, පුද්ගලික, දේශීය සහ විදේශීය බැංකු 17ක පමණ සේවක-සේවිකාවන් සම්බන්ධ වී ඇත. එසේ සම්බන්ධ වූ එක් සාමාජික බැංකුවක් ඉලක්ක කරගෙන ආණ්ඩුව මෙවැනි පියවරක් ගැනීමට කටයුතු කරන්නේ නම්, එය බරපතළ තත්වයක් බව ද එම සංගමය සඳහන් කරයි.

අදාළ වර්ජනයට මහජන බැංකුවේ සේවක ප්‍රජාව මෙන්ම තම සංගමය නියෝජනය කරන සේවකයන් සම්බන්ධ වූයේ ආණ්ඩුව විසින් වෘත්තිකයන් මත පනවා ඇති අසාධාරණ බදු සංශෝධනය කරගැනීම සහ රටේ බදු ප්‍රතිපත්තිය නිවැරදි කරගැනීම වෙනුවෙන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් විසඳුමක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාල මට්ටමෙන් ද සාකච්ඡා ඉදිරියට යන බවත් ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

‘අපි අඛණ්ඩව සේවය ලබාදුන්නා’

වැඩවර්ජනය පැවති දිනයේ බැංකු සේවා බිඳවැටීමක් සිදුවූවත්, අනෙකුත් සෑම දිනයකදී ම අඛණ්ඩව සේවා ලබාදීමට සියලුම බැංකු කටයුතු කර තිබේ. එවැනි වටපිටාවක මෙසේ එක් බැංකුවක් ඉලක්ක කරගෙන සිදුකරන්නට යන මෙම ක්‍රියාව ‘වෙනත් කිසියම් පරමාර්ථයක්’ වෙනුවෙන් සිදුකරන බව පෙනීයන්නේ යැයි ද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.

කෙසේ වෙතත් වැඩ වර්ජනය පැවති දිනයේ රාජ්‍ය මාධ්‍ය සහ තවත් පුද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් ම වාර්තා කළේ මහජන බැංකු ශාඛා 352න්, 330ක් ම ක්‍රියාත්මක වූ බවත්, ලංකා බැංකු ශාඛා 265ම අදාළ දිනයේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත් ය.

විකිණීමේ කුමන්ත්‍රණයක් ?

මේ වන විට රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීම සඳහා නැවතත් සැලසුමක් ක්‍රියාත්මකව තිබෙන වටපිටාවක මෙසේ රාජ්‍ය බැංකුවක ගිණුම් වෙනත් බැංකුවකට මාරුකිරීම එහි එක් පියවරක් විය හැකි බව ද බැංකු සේවක සංගමය පවසයි. එසේ ම රාජ්‍ය බැංකුවල තනතුරු ඩැහැගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් කුමන්ත්‍රණය කරමින් පසුවන බව ද එහි සඳහන් ය.

අහුවෙන්න එපා !

බැංකු සේවකයන් වැඩ වර්ජනයට සම්බන්ධ වූයේ හුදෙක්ම තමන්ගේ ගැටළු පමණක් නොව රට ම මේ මොහොතේ මුහුණ දෙන ගැටළුවලට විසඳුම් සෙවීමේ අරමුණින් බවත්, එම නිසා වර්ජනයට මුවාවී සිදුකරන මෙවැනි කුමන්ත්‍රණවලට හසුනොවන ලෙසත් එම සංගමය ගනුදෙනුකරුවන්ගෙන් සහ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නව පාසල් වාරයට ඉහළ වට්ටමකට SPC පොත් : අපිට අවුරුදු 2කට කඩදාසි ප්‍රශ්න නෑ – වැඩ බලන සභාපති

පාසල් සිසුන්ට නව පාසල් වාරයට අවශ්‍ය අභ්‍යාස පොත් සියයට 30කට වැඩි වට්ටම් මුදලකට ලබාදීමට තම ආයතනය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩ බලන සභාපති ඩි.එල්.ඒ. විජේනායක thetime.lk වෙත පැවසීය.

පාදුක්ක, පානළුවේ පිහිටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ එහි නිලධාරීන් සම්බන්ධ කරගෙන කුරියර් සේවා හරහා මෙම අභ්‍යාස පොත් තොග ලබාගත හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය. රට පුරා පිහිටි සංස්ථාවේ බෙදාහැරීම් මධ්‍යස්ථාන 10ක් මගින් ද මෙම පහසුකම ලබාගත හැකි බව පැවසූ ඔහු, සංස්ථාවට බෙදාහැරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම මෙවැනි අවස්ථාවකදී බරපතළ පාඩුවක් බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සතොස ආයතනය හරහා සංස්ථාවේ නිෂ්පාදිත පොත් වට්ටම් සහිතව ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.

මුද්‍රණ කඩදාසි හිඟය සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා පැවසුවේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සංස්ථාවේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කඩදාසි මෙට්‍රික් ටොන් 6,000ක් ලබාගැනීමට හැකි වූ බවයි. එම තොගය වසර 2කට ආසන්න කාලයකට ප්‍රමාණවත් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සතොස අලෙවි සැල් ජාලයෙන් අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ සියලුම සතොස අලෙවි සැල්වල මෙම වට්ටම් සහිත අභ්‍යාස පොත් නොමැති බවයි. පළාත් කිහිපයක ප්‍රධාන නගරවල පිහිටි අලෙවි සැල්වල පමණක්, සීමිත ප්‍රමාණවලින් එම අභ්‍යාස පොත් අලෙවියට ඇති බව නිරීක්ෂණය විය.

රජයේ පාසල්වල නව පාසල් වාරය ලබන 27දා ආරම්භ කිරීමට නියමිත ය.

ආනයන භාණ්ඩ මත පැනවූ බදු, ඉන්ධන මිල ඉහළ යෑම, අමුද්‍රව්‍ය මිල සහ විදුලි බිල සීග්‍රයෙන් ඉහළ යෑම වැනි හේතු මත අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල මෙසේ ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට සිදු වී ඇතැයි ප්‍රමුඛ පෙළේ පාසල් අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ කිහිපදෙනෙක් අප සමග පැවසූහ. මෙම තත්ත්වයන් වෙනස් නොවන්නේ නම් අදාළ භාණ්ඩවල මිල පහළ දැමීමේ හැකියාවක් නැති බවත්, තමන් නියෝජනය කරන සමාගම් පවා සීග්‍රයෙන් නිෂ්පාදන සහ සේවක කප්පාදුව සිදුකරමින් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක පාපන්දු සාමාජිකත්වය ලංකාවට අහිමි කරන්න රටවල් 197ක කැමැත්ත !

රුවන්ඩාවේ කිගාලි හි පැවැති 73 වැනි FIFA සම්මේලනයේදී තවත් වසර හතරක් සඳහා ගෝලීය පාපන්දු පාලක මණ්ඩලය පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රාජ්‍යයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට එම බලධාරීන් කටයුතු කර තිබේ.

FIFA හි සාමාජික රටවල් නියෝජනය කරන පාපන්දු සංගම් 211ක් ඇති අතර මෙවර සම්මේලනය සඳහා සංගම් 208 ක් සහභාගි ඇත.

එමෙන්ම සිම්බාබ්වේ රාජ්‍යයේ සාමාජිකත්වය අත්හිටුවන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකර ඇති අතර, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාවට පක්ෂව සාමාජික සංගම් 197ක් කැමැත්ත හිමිව තිබිණි.

පසුගිය ජනවාරි මාසයේදී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන ලද්දේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා තේරීම සඳහා පැවති නිලවරණයේදී දේශපාලනික අතපෙවීම් මත ඇතිවූ අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ය.

එසේම එකී නිලවරණයේදී අනුගමනය කළ ක්‍රමවේදය පාපන්දු සම්මේලන නිලවරණවලදී අනුගමනය කළ යුතු ‘සූරිච් නියමයන්ට’ අනුකූල නොවන බවද වාර්තා විය.

එසේම 2022 වර්ෂයේදී FIFA විසින් සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවේද එරට පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් සිදුවන බවට එල්ලවූ චෝදනාවන් හේතුවෙන් ය.

නමුත් සිම්බාබ්වේ පාපන්දු සම්මේලනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේපකරනු ලැබීය.

නමුත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් එහි ප්‍රතිපත්ති සහ නීති රාමුවේ කටයුතු කරන බවත්, යම්කිසි සාමාජික රටක පාපන්දු සම්මේලනයකට අනවශ්‍ය දේශපාලන බලපෑම් එල්ලවන ඕනෑම අවස්ථාවක එහි සාමාජිකත්වය අත්හිටුවිමට පසුබට නොවන බවය.

මීළඟ කොංග්‍රස් හමුව පැවැත්වීමට නියමිත වන්නේ 2024 මැයි 17 වනදා වන අතර එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තවමත් තීරණය කර නැත.

මෙවර ගෝලීය පාපන්දු පාලක මණ්ඩලයට සඳහා “ජියානි ඉන්ෆැන්ටිනෝ” FIFA හි සභාපති ලෙස දෙවන වරටත් තේරී පත්විය.

ඒ අනුව ඔහු 2023 සිට 2027 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඔහු සිය සාමාජික සංගම් ප්‍රධානීම් අමතා මෙසේ කීවේය.

“FIFA සභාපති වීම ඇදහිය නොහැකි ගෞරවනීය වරප්‍රසාදයක් වන අතර එය විශාල වගකීමක් ද වේ. ඔබගේ සහයෝගයෙන් මම සැබවින්ම නිහතමානීව බලාපොරොත්තු වෙමි.
මම දිගටම FIFA වෙත සේවය කරන බවටත්, ලොව පුරා පාපන්දු ක්‍රීඩාවට සේවය කරන බවටත්, FIFA සාමාජික සංගම් 211කටම සේවය කරන බවටත් පොරොන්දු වෙමි.

එහිදී ඔහු පාපන්දු ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීමේ FIFA හි කාර්යභාරය අවධාරණය කළ අතර මේ වසර අගදී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන කණ්ඩායම් 32කින් සමන්විත FIFA කාන්තා ලෝක කුසලානය සඳහා වන ත්‍යාග මුදල පිළිබඳවද ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මෙවර ඒ සඳහා ඩොලර් මිලියන 150කට වඩා ලැබෙනු ඇති බවත් එම මුදල 2019 වසරේ අවසන් තරගාවලියට වෙන් කළ මුදල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයක් ගන්නා බවද පවසා ඇත.

සබැඳි පුවත්

පොලිස්පති දේශබන්දු – අසත්‍ය ප්‍රචාරයක් : ව්‍යවස්ථාදායක සභාවත් රැස්වී නෑ : සඳුදාට සේවා දිගුවක් ගැන යෝජනාවක් !

නව පොලිස්පති ධුරයට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කෙරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් thetime.lk වෙත තහවුරු කළේය.

මීළඟ පොලිස්පතිවරයා කවුද යන්න හෝ වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අදහසක් පැවසීය නොහැකි වුවත්, මෙතෙක් කිසිවකු ඒ සඳහා නම් කර නැති බව සඳහන් කළ හැකි යැයි ද ඔහු පැවසීය.

මාධ්‍ය මෙහෙයුම

අද (17) උදෑසන සිට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ධුරයට නම් කර ඇති බවයි. වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න ලබන 26දා විශ්‍රාම යෑමට නියමිත ය.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන කරන්නේ ඔහුට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් 20දා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වනු ඇති බවයි.

ව්‍යවස්ථාදායක සභාව

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වූ විට නව පොලිස්පතිවරයා නම් කොට, පත්කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යැවීමේ වගකීම පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව වෙත ය. එම සභාවේ සාමාජිකයෙකුගෙන් thetime.lk කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ පොලිස්පති ධුරයට අදාළ තීරණයක් ගැනීම සඳහා මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව රැස් නොවූ බවයි. එහි සභාපති, කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ වන විට විදේශගත ව සිටින බව ද වාර්තා වේ.

නීති තර්ක

වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් නීති තර්ක කිහිපයක් ද මතු වී තිබේ. ඊට හේතුව 21 වැනි සංශෝධනයට අනුව රාජ්‍ය සේවකයෙකුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට සේවා දිගුවක් ලබාදිය හැකිද යන්න ය.

පාස්කු ප්‍රහාරය !

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟ ජ්‍යෙෂ්ඨතමයා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කර තිබේ.

ඊළඟට ජ්‍යෙෂ්ඨ ලයිස්තුවේ සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක ය. මෙම නිලධාරීන් දෙදෙනාට ම අදාළ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද නිර්දේශ කර ඇත. ඒ අතරින් දේශබන්දු තෙන්නකෝන් පසුගිය මැයි 09දා සිදු කළ ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ද චූදිතයෙකු වන අතර, ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වී තිබේ.

මේ සියලු නිලධාරීන් සේවය කරන්නේ වර්තමාන පොලිස්පතිවරයා යටතේ ය. එම නිසා අදාළ චෝදනා බහුතරයකගෙන් ඔහුට ද ගැලවිය නොහැක.

පිටින් කෙනෙක් ?

එසේ ම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ මතු වී ඇති බරපතළ අප්‍රසාදය හේතුවෙන් දෙපාර්තමේන්තුවට පිටස්තර පුද්ගලයෙකු මෙම ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී ඇති බවත්, ඒ සඳහා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහගේ නම අදාළ පාර්ශ්ව විසින් යෝජනා කර ඇති බවත් මීට පෙර අප විසින් වාර්තා කෙරිණි.

වජිර අබේවර්ධන ?

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ප්‍රකට වජිර අබේවර්ධන දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව ද වාර්තා වේ.

කොළඹ විරෝධතා මර්දනයට පොලිස් කොට්ඨාස 12කින් කැරලි මර්දන උපකරණ ගෙන්වයි : පළාත් 5ක පොලිස් ප්‍රධානීන්ට URGENT ලිපියක් !

බස්නාහිර පළාතේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම සඳහා රට පුරා බෙදාහැර ඇති කැරලි මර්දන උපකරණ යළිත් කොළඹට ලබාදෙන ලෙස පොලිස් කොට්ඨාස 12කට පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර ඇත.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) සජීව මැදවත්තගේ අත්සනින් මෙම දැනුම් දීම කර ඇත. උතුරු මැද, නැගෙනහිර, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙසේ ලිඛිත ව දැනුම් දී ඇත්තේ අදාළ පළාත්වලට අයත් අනුරාධපුර, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, තංගල්ල, මහනුවර, කන්තලේ, නුවරඑළිය, පුත්තලම සහ ත්‍රීකුණාමලය යන පොලිස් කොට්ඨාසවල ඇති එම උපකරණ වහාම කොළඹට එවන ලෙසයි.

ගෙන්වන්නේ මොනවාද ?

කඳුළු ගෑස් මුහුණු ආවරණ (Gas masks), කැරලි ආවරණ පලිහ (Riot shields), කැරලි ආරක්ෂක හිස් වැසුම් (Riot Helmets), රබර් මුගුරු (Rubber batton) මෙසේ මධ්‍යම අවි ගබඩාව වෙත එවන ලෙස දැනුම් දී තිබේ.

පසුගිය 14 දිනැතිව නිකුත් කර ඇති මෙම දැනුම් දීම ‘හදිසියි (URGENT)’ යන ශීර්ෂය යටතේ යොමුකර තිබේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි වෙත මෙම කැරලි මර්දන උපකරණ බාරදෙන ලෙසත්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු යටතේ ආරක්ෂිතව මෙම උපකරණ එම මූලස්ථානයේ මධ්‍යම අවි ගබඩාව වෙත එවන ලෙසත් අදාළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් ය.  

අවශ්‍යතාව කොපමණද ?

මේ අනුව කඳුළු ගෑස් මුහුණු ආවරණ (Gas masks) 575ක්, කැරලි ආවරණ පලිහ (Riot shields) 525ක්, කැරලි ආරක්ෂක හිස් වැසුම් (Riot Helmets) 505ක්, රබර් මුගුරු (Rubber batton) 1,000ක් පිට පළාත්වලින් කොළඹට ලබාගැනීමට සැලසුම් කර තිබේ.

විරෝධතා වාර්තාව

පොලිස් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පොලිස් කොට්ඨාසවල අවම විරෝධතා ප්‍රමාණයක් පැවතිය හැකි බවට බුද්ධි අංශවලින් ලබාගත් තොරතුරු මත මෙසේ අදාළ පොලිස් කොට්ඨාස වෙත මෙම දැනුම් දීම කර ඇති බවයි.

“කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න” ‘එල්ලංගාව’ – රංජිත් මල්ලියාවඩු

0

උදෑසන කියපු ගමන් අපි ඒ දකින්නෙ සාහිත්‍යමය ඇසකින්. ඒක සුන්දරත්වය මුහු වෙච්ච පරිකල්පිත යාමයක්. කොහේ හිටියත් උදය කියපු ගමන් අපිට අර කුමාරතුංග මුනිදාස ශූරීන් ලියූ ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් කියන කවිය වගේ මතක් වෙන්නෙම කුරුලු කූජන, ළා හිරු රැස්, කෙතට යන ගොවීන්, කිරි කොකුන් වගේ පාසල් ළමුන්, ඔය වගේ විවිධ අලංකාරවත් සංකේත. ඒ ලස්සන උදය අද අපි බොහෝ දෙනකුට නෑ. ඒත් අපි අර අපේ ළමා කාලෙ මොන තරම් හිඟ පාඩු වලින් පිරුණත් ඒක තමයි ලස්සනම කියනව වගේ උදය ගැනත් සෞන්දර්යය මුසු වුන සිත්තමක් මවනව.

රංජිත් මල්ලියාවඩු තමන්ගෙ නවතම කවි එකතුවෙදි අපේ ඒ සුන්දර අරුණෝදය කීතු කරල දානව. ඒ වෙනුවට ඔහු අපිට ගොරහැඩි උදයක් අරගෙන ඇවිත් මේං බලාපල්ලා තොපේ උදැහැන කියල පෙන්නව. ඒ අපි සරමෙන්, රෑ ගවුමෙන් මිදිලා දවසේ යුද්දය අරඹන කටුක උදැහැන. තවත් එහි සුන්දරත්වයක් ඉතුරු වෙලා නෑ. යන්තර පිරිතෙ, චූන් පාන් වෑන් එකේ, දේශපාලකයන් ඇතුළු සකලවිධ කුණකටුවන්ගේ විෂ අරගෙන සාලෙට කඩා පනින මාධ්‍ය වැසිකිලි යන මේ සියල්ලම අපේ උදැහැන කාබාසීනියා කරල ඉවරයි. රංජිත් අපට උදෑසන ගේන්නෙ ඕල්කොට් මාවතේ ඉඳල. ඕල්කොට් නම පවා අපූරු සංකේතයක්. බොදු පුනරුදය, ජාතිකත්වය ආදී නොයෙක් දේවල් ගැන කෙරෙන සිහිපත් කිරීමක් ඒ නම පිටුපස තියෙනව. ඒත් අද ඕල්කොට් බලා ඉන්න තැන ඉඳල ඉදිරියට මෙන්ම පිටුපසටත් ඇත්තෙ ගරා වැටෙන ලෝකයක් විතරයි. රංජිත් මේ සිත්තම් කරන්නෙ ඒ නාගරික උදය.

නිදි ගැට කඩද්දී කාකයො බෝ මළුවේ
බෙඩ් ටී එක ගනියි ඉස්ටේසම කොටුවේ
දත කට මදියි සල්පිල කිරි සුදු සුදුවේ
එළි වෙලා එන්න වේලාවයි අලුවේ

බෝ මළුවෙ නිදි ගැට කඩන කාකයො කියන යෙදුමම විවිධාර්ථ මතු කරනව. රංජිත් කොටුව ආසන්න කලාපය උදාහරණයන් ලෙස අරගෙන අපේ ජීවිතවල අඳුරු අරුණෝදයේ ගොරහැඩි බව සිහිපත් කරනව.

සාරිබාරි සුදු කරපටි පැලැන්දෝ
උජාරුවට ආවත් ලෙස රජින්දෝ
නාට්ටාමිලා නොවෙතැයි කියම්දෝ
පොකැට්ටුවට එබුණොත් උන් දිළින්දෝ

හචි නො කි හමුව නම් කවිය තුළ රංජිත් උත්සාහ කරන්නෙ බොන්සායි කලාව පිවිසුමක් කරගෙන දැවැන්තයන් පවා තනි තනිව කුරුව යන සැටි විමසුමට ලක් කරන්න. බොන්සායි කලාව තුළ යෝධ තුරු ලෙස වැවෙන්න උරුම ඇති තුරු කුරුමිට්ටන් බවට පත් කරනු ලබනව. ඒ ආකාරයටම මිනිසුනුත් කොයි තරම් කුරුමිටි බවට පත් කරනු ලබනවද.

එහෙත් ගලිවර පුඟුලන්
කේවල සිරගෙවල්වල
කුරුමිට්ටන්ද වනු
කිකලෙක අසා නැති

නාරතී යෙහෙළිය මම හිතාදර ලංකා නමින් වන කවිය ගීත සාහිත්යසය ඇතුළු නොයෙක් කලාපයන් තුළ විවිධ අලංකාරයන් හරහා ලොව උතුම් රට වශයෙන් ඔසවා තබනා දූපතක යථාර්තය සිහි කරන නිර්මාණයක්. අපේ වර්තමානය යනුම දෙදහස් පන්සිය වසක විභූතිය පුනරැච්ඡාරනය කරමින් අන්ත දිළිඳුකමේ ගෙවෙන හෝරාවක්. ඒ දිළිඳුකම යනු ආර්ථික පමණක් නෙවෙයි. ආකල්පමය ආදී වශයෙන් විවිධ අංශ වලට දැඩිව බලපාන දිළිඳුකමක්.

කියමුව මතක බණ අපි
සිය සියක් වස් කල් වුව
අරිප්පුව මුතු අගනුවර
මහ සෙනග රැස් බැඳි
තෙමසක් පුරාවට
රැගත් සැණකෙළි සිරි

ඒ දේශය ගැන මතකය අතීතකාමී ආවර්ජනයකි.

පුරාජේරුව- නොස්ටැල්ජිකය
මුතු අතර මුතු සෙවූ
ක්ලියෝපැට්රාගෙ කිරුළද
සැරසූ මුතු මතකය

මේ එවන් මතකයක වර්තමාන අස්වැන්නයි.

ගරා වැටිලාය කීවද
ඩෙරික් මන්දිරය
පෙඩ්රික් නෝත් පරපුර
තවමත් යෙහෙන් පසුවන
ඈවර කරන තුරු
මුතු බෙල්ලන්ගෙ දේශය

මේ කවිය සමග පාඨකයා අපේ ඉතිහාසයෙහිද චාරිකාවක යෙදෙන්නේ නම් ඒ ඉතිහාසය සහ අයි එම් එෆ් ගැලවුම්කරුවා එනතුරු පහන පිරිමදිනා ඇලඩින්ලාගේ නිරුවත දකින්නට ඔහුට ඉඩ ලැබෙනු ඇත.

ධනවාදී වේවා සමාජවාදී වේවා සංවර්ධන ඉලක්ක පසුපස හඹා යාම තුළින් ලෝකයට ඉතුරු වූවේ අසමතුලිත පරිසරයක ගොදුරු බවට පත් ලෝකයක් පමණි. මධ්ය ම ආසියාව හරහා ගලා බැසි අමු දාර්යා නදිය හරස් කර කාන්තාර අස්වද්දන්නට සෝවියට් රජය ගත් තීරණය ඉතුරු කළේ රළ නගන දිය පිරි අරාල් මුහුද වියළි තටාකයක් බවට පත් කරමිනි. එක් අතෙකින් මේ අරාල් මුහුදේ සිඳී යාම මිනිස් වර්ගයාගේ තරගය හමුවේ ඔවුන්ගේ ජීවය සිඳී යාමකට සමානය. රංජිත් මළ මුහුද කරා සිය කවිය දිග හරින්නේ පරිසර විනාශයක තතු හරහා මිනිසාට තම ජීවිතය සහ අරමුණු වගකීම් ගැන සියුම් ලෙස සිහිපත් කරමිනි.

මේ අපේ වර්තමාන දිවිය පත්ව ඇති ඛේදය කවියා දකින ආකාරයයි. පර්චස් දහයක බිම් කට්ටියක අපේ ජීවිතය සිර කරන්නට අප තීරණය කරන මොහොත යනුම අප ජීවිතය අත්හැර පරඬැලක පැවැත්ම තෝරා ගන්නා මොහොතයි.

හරිතාගාර ගේ දොර පර්චස් දහය
මැගසින් බන්ධනාගාරයෙ අතු ඉතිය
විදුලිය ගෑස් අත ළඟ වුව නළ ජලය
නන්දන උයන වූ හැටි නොදනිමි සකිය

සිංහල වෙල්ඩින් වැඩපොළ නමින් එන කවිය උත්ප්රාොසය මෙන්ම උපහාසයද නොඅඩුව කැටි කරගත් කවියකි. එහි කවියා පිළිබඳ විමසුම කලාව සාහිත්යො මෙන්ම මිනිස් ආකල්ප ගැනද සියුම්ව සිතන්නට කරනා පෙළඹවීමකි.

සතර සකැති සුවැති රියක්
දුරබණුවක් හිමි කරගත්
සිටිනවාද එක කවියෙක්
ඇහුවලු දවසක් උතුමෙක්
එ පඬි වදන මගෙ බිරියට
මහ බලගතු මිසයිලයක්

ලෝකය යනු බලවත් සුළුතරයකගේ අභිලාෂයන් වෙනුවෙන් අපමණ මිනිස් ජීවිත උකසට තැබෙනා දං ගෙඩියක් පමණි. අප නිදහස් යයි සිතා උන්නද අපේ ජීවිත තීරණය වනුයේ අප සිහිනෙනුදු නොසිතන සාකච්ඡා මේස වලය. ඒ මේස වල සාකච්ඡා වලදී ගන්නා තීරණ හමුවේ ජාති ආගම් ආදී සෑම බෙදුම් රේඛාවක්ම නොතකා මිහිදන් වනුයේ මිනිසා මය.

නිධන් කෙරුණේ මිහි ගැබ
ගල් අඟුරු තෙල් නිධි ලෙද
පිටවෙන්නේ ලාවා ලෙස
ලොකු කුඩා ගිනි කඳුවල
උපදින්නෙ මීදුම වී
උස් නූස් කඳු හෙල් මැද
එසේ සැතපුණු උන්ගේ
පපු කුහරවල ගින්දර

රංජිත් කවියෙහි බස ගැන වෙසෙසින්ම සැලකිලිමත් වන්නෙකි. ඔහුගේ බස සංයමයෙන් පිරී ඇති අතර සියුම් ලෙස අදහස් පල කිරීමට තරම් ඔහු බස හැසිරවීමේ ලා දක්ෂය. ඒ කවි ආවේගාත්මක නොවේ. ඕලාරිකද නොවේ. ඒ වෙනුවට ඔහු සිය කවිය හරහා බුද්ධිමත් එළඹුමක් යෝජනා කරයි. එසේම ඔහුගේ කවි යනු දුර නුබ ගැබෙහි දිදුලන තරුවක් නොවේ. එය වෙසෙසින්ම අයිති මේ මහ පොලව සහ එහි වසන මිනිසාටමය.

නෙලුම් පොකුණේ සවස ගැවසෙන
චොපර් එකකින් රෑ ගෙදර යන
අයට නොලියන ලද මගේ කවි

මේ රංජිත් සිය කවිය ගැන පවසන ආකාරයයි. ඉදින් ඔබත් කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න.

චූලානන්ද සමරනායක

ආදානි සමාගමට එරෙහිව ඉන්දියාවේ දැඩි විරෝධතා

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරික සමාගමක් වන අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එරට විපක්ෂ දේශපාලන පක්ෂ සාමාජිකයින් විරෝධතාවක්  පවත්වා තිබේ.

ඊයේ (බදාදා 15) කොංග්‍රසය, DMK, AAP සහ ඇතැම්  වාම පක්ෂ ඇතුළු  පක්ෂ කිහිපයක් ආදානි සමාගමට  එරෙහි  මෙම විරෝධතාව සංවිධානය කර ඇත.  

විරෝධතාකරුවන් විසින් සකසන ලද ආදානිට එරෙහි  ඒකාබද්ද පැමිණිල්ල  Enforcement Directorate කාර්යාලයට භාර දීමට ගියද කාර්‍යාල නිලධාරීන් පොලිසිය යොදවා එම තැත වළක්වා තිබේ.  

පසුව ඔවුන් එම කාර්යාලය අසල සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පා ගමනකින් පැමිණි බව එරට  මාධ්‍ය සඳහන් කරයි.

දේශපාලන නායකයන්ගේ එම විරෝධතා  පාගමන නවතාලමින්  විශාල රැස්වීම්, මහජන එකතුවීම්  තහනම් කිරීමේ නියෝග ගෙන තිබුණු අතර දිල්ලි පොලිසිය බාධක සහ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා එම  තහනම් නියෝග ප්‍රකාශයට පත් කළද විපක්ෂය් දේශපාලඥයින් සිය විරෝධතා පාගමන  අඛණ්ඩව ව පාර්මේන්තුව දක්වාම පවත්වා ඇත.  

අදානි සමූහ ව්‍යාපාරය, දූෂණයෙන්  හා වංචාවෙන්  මුදල් උපයන බවත්  භාරතීය ජනතා පක්ෂය සමග සබඳතා පවතින බවටත් විරෝධතාකරුවන්  චෝදනා කරයි.

එමෙන්ම පසුගියදා  මුදල් වංචා සහ කොටස් වෙළඳපොළ නොමඟ යැවීම සම්බන්ධයෙන් හින්ඩන්බර්ග් පර්යේෂණායතනය විසින් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා එල්ල කළේය. 

නඳුන්ගේ – සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි මව පියා අභියාචනාධිකරණයට

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු ලෙස හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

මීට පෙර සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

තම දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය.

නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සබැඳි පුවත්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !