ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ නමින් සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ සංක්‍ෂිප්ත සංවාදයකි.
මංජුල වෙඩිවර්ධන වරක් එක තැනක කියනව ඔහු කවියටත් වඩා කවියෙ හිස එහෙම නැත්නම් මාතෘකාව ගැන හිතන බවත්, පොතක් නාමකරණයට ලක් කිරීම ගැන සෑහෙන්න කල්පනා කරන බවත්. මටත් ඔබේ ග්‍රන්ථ නාමකරණ ඇතුළෙ එහෙම සුවිශේෂීබවක් දැනෙනව. නිකං නම් ටික මතක් කළොත්, සඳක් නැතිවෙන්න ඉඩ ඇත – වැඩියෙන්ම වැරදුණේ කවියන්ට – කොළඹට කියන්නෙ බොරැල්ලට – බුදු වෙන්නවත් අත අරින් නෑ ! අපි එතැනින් කතාව පටන් ගමු. ඔබ ඔබේ කවි නාමකරණ ගැන කොපමණ සැලකිලිමත්ද?
මං පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපි මේ කාලෙ ලියමින් ඉන්න කවියෙ ආකෘතියත් එක්ක බලනකොට කවියක මාතෘකාව තීරණාත්මක යි කියන එක.මොකද, අපි මේ වෙලාවෙ ලියමින් ඉන්නෙ මුක්තක වගේ කාව්‍ය ප්‍රවර්ගයක්.ඒ කියන්නෙ එක කවියකින් අර්ථය සම්පාදනය කරන කවියක් තමයි අපි බහුලව ලියමින් ඉන්නෙ.හැබැයි ඒවා සීගිරියෙ හම්බ වෙන මුක්තකවලටත් වඩා වෙනස් ජාතියක්.
අන්න එතකොට කවියෙ මාතෘකාව තීරණාත්මක යි.කොළඹ යුගයෙ ඉඳන් තමයි මේ තත්ත්වය සෑහෙන්න දකින්න ලැබෙන්නෙ.වෙඩ්ඩා විතරක් නෙවෙයි මේ වෙලාවෙ කවිය බරපතළ ලෙස සලකන බොහෝ දෙනෙක් ඒ ගැන ඉතා ම සවිඤ්ඤාණකව කල්පනා කරන බව පේන්න තියෙනවා.මගේ අලුත් කවි පොතේ කවියක් තියෙනවා ඒකෙ දි මං මාතෘකාව කියවන්න කියන්නෙ කවිය කියවලා ඉවර වෙලා.අද දවසේ කවියා තමන්ගෙ කවියෙන් කියන්න හදන තේමාත්මකය ඉඟි කරන තැන තමයි මාතෘකාව කියන්නෙ.
පොත් නාමකරණය කරද්දි නම් මං මූලික වශයෙන් කල්පනා කරන්නෙ පොතේ සමස්තය ම නො වුණත් ඒ කාලෙ මං කවි ලියන මූඩ් එක සංකේතාත්මක වෙන නමක් යොදන එක ගැන.හැබැයි මගේ පොත්වල නම්වලට සමහර ප්‍රවීණ කවියො නම් එතරම් කැමති නෑ කියලා මාත් එක්ක කියලා තියෙනවා.ඒවගෙ පොඩි අපරිණත රැඩිකල් ගතියක් තියෙනවා කියල යි ඒ අය කියන්නෙ.ඒත් ඉතිං ඒ මගේ විදිය.
‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ ළඟට එන්න කලින් මං කැමතියි කලින් පොත් කීපය ගැන යමක් අහන්න. දැන් ආපහු හැරිල ඒ පොත් දිහා බලද්දි ඔබට මොකද හිතෙන්නෙ?
කාලයක් කවියත් එක්ක පොරබදපු කෙනෙක් විදියට මං පළමු වෙනි පොත කරපු වෙලාවෙ කවිය ගැන කල්පනා කරපු විදිය මේ වෙනකොට සෑහෙන්න වෙනස් වෙලා කියලා මට හිතෙනවා.මුල් යුගයේ මගේ කවිවල තිබුණු අමු ගතිය දැන් නැති වෙලා කියලා ගොඩක් දෙනෙක් මාත් එක්ක කියලා තියෙනවා. විශේෂයෙන් ම ” කොළඹට කියන්නෙ බොරැල්ලට ” ලියන කාලෙ වෙනකොට මම කවිය සම්බන්ධයෙන් හිතන විදිය සෑහෙන්න වෙනස් වෙන්න ගත්තා.ඒ පොත ජනගත වෙන දවසෙත් මං ඒක කිව්වා.
ඒකට බලපාන්නෙ මගේ වටේ හිටිය මිතුරු විචාරකයන්ගෙ මැදිහත් වීම. ” ක යන්න වි යන්න “, බූපති,අමරකීර්ති,මහේෂ් වගේ අය මට ගෙනාපු විවේචන සහ විචාර මං ඉතා ම ආදරයෙන් මගේ ඇතුළට ගත්තා කියලා මම හිතනවා.
හැබැයි සමහරු තාම මගේ අමු කවියට කැමති යි.දැන් නම් ආයෙ උත්සාහ කළත් ඒ කවිය ලියන්න බැරි වෙයි.ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා.
මා ඔබ ප්‍රශ්න කරන මේ මොහොතෙ අප දෙදෙනාම අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයට රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුලු වෙලා. ඊට කලින් කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිදුවුණු සිදුවීම් අපි දැක්ක. මුළු රටම ඛේදවාචකයක්. ණය ගෙවාගන්න බැරුව පවුල් පිටින් සියදිවි නසාගන්නව. අම්මලා ළමයි එක්ක ගඟේ, මුහුදේ පනිනව. මේ සමස්ථ චිත්‍රය ඇතුළෙ ඔබ ඔබේ අලුත් කවි පොත ස්ථානගත කරන්නෙ කොතැනටද, කොහොමද?
මගේ පළමු වෙනි කවි පොතේ නමින් මම ඉඟි කළේ මේ වගේ මොහොතක් ගැන තමයි.” සඳක් නැති වෙන්න ඉඩ ඇත “. මේ උදා වෙලා තියෙන්නෙ එහෙම කාලයක්.ඒ වගේ කාලෙක මනුෂ්‍යයෙකුත් වෙලා කවියෙකුත් වෙලා ඉපදිලා පෞද්ගලිකවාදී ආත්මීය කවියක් ලියලා තෘප්තිමත් වෙන්න මට නම් බෑ.
මං ආත්මය කියලා එකක් විශ්වාස කරන්නෙ නෑ.මං විශ්වාස කරන්නෙ හෘද සාක්ෂිය.ඒ හෘද සාක්ෂිය මේ ලෝකයත් එක්ක මේ මිනිස්සුත් එක්ක සම්බන්ධ කරන්න යි මට ඕන.මේ වෙලාවෙ ජීවත් වීම කියන ක්‍රියාව කරන මිනිස්සු අතරේ ඇවිද යමින් මීට වඩා ආලෝකවත්,සංස්කෘතික ජීවිතයක් ගත කරන්න ඔව්න් ඇතුළෙ ලාලසාවක් දල්වන්න යි මං කවි ලියන්නෙ.අද දවසේ මගේ කවිය ස්ථානගත කරන්න මං කැමති එහෙම.
මේ මොහොතෙ කවියෙ සහ සාහිත්‍යයෙ කාර්යභාරය කුමක් විය යුතුද?
සාහිත්‍ය කලා ව්‍යාපාරයන්ගෙ කාර්යභාරය ගැන ආඥා පනවන්න මම දැන් කැමති නෑ.ඒ වෙනුවට මම දැන් කරන්නෙ මගේ විශ්වාසය වෙනුවෙන් ලියන එක.කවිය මෙසේ විය යුතුය,මෙසේ විය යුතුය ආදී ලෙස දැක්වීම වෙනුවට මං හිතන්නෙ මේ මොහොතේ මගේ වැඩ කොටස ඇත්තට ම කරන එක වැදගත් කියලා.මං හිතන්නෙ මගේ අලුත් කවි පොත මං මේ වෙලාවෙ කවි ලියමින් ඉන්නෙ ඇයි, කියන එක ගැන සාක්ෂි සටහනක් වේවි.ඒක නිසා අපි ඒක මගේ කවි කියවන සහෘදයන්ට තීරණය කරන්න ඉඩ දෙමු.
ඔබේත්, ඔබට පෙරත්, ඔබට පසුත් ලියන කියවන පරම්පරා ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
මට කලින් කවි ලියපු පරම්පරාව අද දවසේ සිංහල කවිය මේ තත්ත්වයට ගේන්න දැනුවත් ව හරි නො දැනුවත් ව හරි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියන එක යි මගේ තක්සේරුව.විමලරත්න කුමාරගම,ජී.බී.,සිරි ගුනසිංහ,අමරසේකර,පරාක්‍රම,ආරියවංශ,ලාල් හෑගොඩ,නන්දන වගේ කවීන් සිංහල කවියේ අන්තර්ගතමය හා ස්වරූපමය සංවර්ධනය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස, ලංකාව මේ වෙලාවෙ කවිය තියෙන උසස් තැන විෂයෙහි තීරණාත්මකව බලපාලා තියෙනවා.
ඒ අතින් ජී.බී.,සිරි ගුනසිංහ,අමරසේකර තීරණාත්මක යි.ඒ තුන් දෙනා ම අනාගත සිංහල කවිය ගැන බරපතළ වෙච්ච කවියො.එයාලට තිබ්බා එයාලගෙන් පස්සෙ කවිය ගැන වගකීමක්.70න් පස්සෙ කවියො වැඩ කළේ ඒ ගොල්ල හදල දුන්න භූමියේ මිසක් මහගම සේකරගෙ භූමියෙ නෙවෙයි.සිංහල කවිය රැකුණෙ ඒ නිසා.
මං හිතන්නෙ අපේ පරම්පරාවෙන් සහ අපෙන් පස්සෙ පරම්පරාවෙන් දැන් ඉල්ලා සිටින්නෙ අලුත් ජී.බී.කෙනෙක්;සිරි ගුනසිංහ කෙනෙක්;අමරසේකර කෙනෙක්. එහෙම නැත්නම් මේ තුන් දෙනා ම කළවම් කර ගත්ත කෙනෙක්.
අලුත් පොත සහෘදගත කිරීම සඳහා වැඩක් සංවිධානය වන බව දැනගන්නට ලැබුණා. ඒ වැඩේ ගැන සහ එදාට සිද්ධ වෙන්නෙ මොනවද කියල සඳහනක් කරමින් අපි දැනට අපේ සංවාදය මෙතැනින් ඉවර කරමු?
ඔව්, වැඩේ සිද්ධ වෙන්නෙ මාර්තු 29.සවස 2.00ට.කන්තලේ දි.එදාට සුනිල් විජේසිරිවර්ධන,වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කියන සහෘදයින්ගෙ දේශන දෙකක් තියෙනවා.සහභාගී වෙන ඕන ම කෙනෙකුට මගේ ගානෙ පොඩි ත්‍යාගයක් දෙනවා.ඒ තමයි තමන් කැමති කවර හෝ කවියක් ඒ සභාවෙ දි එයාට කියවන්න ඉඩ දෙන එක.