පොලිස්පති දේශබන්දු – අසත්‍ය ප්‍රචාරයක් : ව්‍යවස්ථාදායක සභාවත් රැස්වී නෑ : සඳුදාට සේවා දිගුවක් ගැන යෝජනාවක් !

Share post:

නව පොලිස්පති ධුරයට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කෙරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් thetime.lk වෙත තහවුරු කළේය.

මීළඟ පොලිස්පතිවරයා කවුද යන්න හෝ වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අදහසක් පැවසීය නොහැකි වුවත්, මෙතෙක් කිසිවකු ඒ සඳහා නම් කර නැති බව සඳහන් කළ හැකි යැයි ද ඔහු පැවසීය.

මාධ්‍ය මෙහෙයුම

අද (17) උදෑසන සිට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ධුරයට නම් කර ඇති බවයි. වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න ලබන 26දා විශ්‍රාම යෑමට නියමිත ය.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන කරන්නේ ඔහුට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් 20දා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වනු ඇති බවයි.

ව්‍යවස්ථාදායක සභාව

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වූ විට නව පොලිස්පතිවරයා නම් කොට, පත්කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යැවීමේ වගකීම පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව වෙත ය. එම සභාවේ සාමාජිකයෙකුගෙන් thetime.lk කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ පොලිස්පති ධුරයට අදාළ තීරණයක් ගැනීම සඳහා මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව රැස් නොවූ බවයි. එහි සභාපති, කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ වන විට විදේශගත ව සිටින බව ද වාර්තා වේ.

නීති තර්ක

වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් නීති තර්ක කිහිපයක් ද මතු වී තිබේ. ඊට හේතුව 21 වැනි සංශෝධනයට අනුව රාජ්‍ය සේවකයෙකුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට සේවා දිගුවක් ලබාදිය හැකිද යන්න ය.

පාස්කු ප්‍රහාරය !

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟ ජ්‍යෙෂ්ඨතමයා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කර තිබේ.

ඊළඟට ජ්‍යෙෂ්ඨ ලයිස්තුවේ සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක ය. මෙම නිලධාරීන් දෙදෙනාට ම අදාළ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද නිර්දේශ කර ඇත. ඒ අතරින් දේශබන්දු තෙන්නකෝන් පසුගිය මැයි 09දා සිදු කළ ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ද චූදිතයෙකු වන අතර, ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වී තිබේ.

මේ සියලු නිලධාරීන් සේවය කරන්නේ වර්තමාන පොලිස්පතිවරයා යටතේ ය. එම නිසා අදාළ චෝදනා බහුතරයකගෙන් ඔහුට ද ගැලවිය නොහැක.

පිටින් කෙනෙක් ?

එසේ ම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ මතු වී ඇති බරපතළ අප්‍රසාදය හේතුවෙන් දෙපාර්තමේන්තුවට පිටස්තර පුද්ගලයෙකු මෙම ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී ඇති බවත්, ඒ සඳහා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහගේ නම අදාළ පාර්ශ්ව විසින් යෝජනා කර ඇති බවත් මීට පෙර අප විසින් වාර්තා කෙරිණි.

වජිර අබේවර්ධන ?

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ප්‍රකට වජිර අබේවර්ධන දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව ද වාර්තා වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...