“කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න” ‘එල්ලංගාව’ – රංජිත් මල්ලියාවඩු

Share post:

උදෑසන කියපු ගමන් අපි ඒ දකින්නෙ සාහිත්‍යමය ඇසකින්. ඒක සුන්දරත්වය මුහු වෙච්ච පරිකල්පිත යාමයක්. කොහේ හිටියත් උදය කියපු ගමන් අපිට අර කුමාරතුංග මුනිදාස ශූරීන් ලියූ ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් කියන කවිය වගේ මතක් වෙන්නෙම කුරුලු කූජන, ළා හිරු රැස්, කෙතට යන ගොවීන්, කිරි කොකුන් වගේ පාසල් ළමුන්, ඔය වගේ විවිධ අලංකාරවත් සංකේත. ඒ ලස්සන උදය අද අපි බොහෝ දෙනකුට නෑ. ඒත් අපි අර අපේ ළමා කාලෙ මොන තරම් හිඟ පාඩු වලින් පිරුණත් ඒක තමයි ලස්සනම කියනව වගේ උදය ගැනත් සෞන්දර්යය මුසු වුන සිත්තමක් මවනව.

රංජිත් මල්ලියාවඩු තමන්ගෙ නවතම කවි එකතුවෙදි අපේ ඒ සුන්දර අරුණෝදය කීතු කරල දානව. ඒ වෙනුවට ඔහු අපිට ගොරහැඩි උදයක් අරගෙන ඇවිත් මේං බලාපල්ලා තොපේ උදැහැන කියල පෙන්නව. ඒ අපි සරමෙන්, රෑ ගවුමෙන් මිදිලා දවසේ යුද්දය අරඹන කටුක උදැහැන. තවත් එහි සුන්දරත්වයක් ඉතුරු වෙලා නෑ. යන්තර පිරිතෙ, චූන් පාන් වෑන් එකේ, දේශපාලකයන් ඇතුළු සකලවිධ කුණකටුවන්ගේ විෂ අරගෙන සාලෙට කඩා පනින මාධ්‍ය වැසිකිලි යන මේ සියල්ලම අපේ උදැහැන කාබාසීනියා කරල ඉවරයි. රංජිත් අපට උදෑසන ගේන්නෙ ඕල්කොට් මාවතේ ඉඳල. ඕල්කොට් නම පවා අපූරු සංකේතයක්. බොදු පුනරුදය, ජාතිකත්වය ආදී නොයෙක් දේවල් ගැන කෙරෙන සිහිපත් කිරීමක් ඒ නම පිටුපස තියෙනව. ඒත් අද ඕල්කොට් බලා ඉන්න තැන ඉඳල ඉදිරියට මෙන්ම පිටුපසටත් ඇත්තෙ ගරා වැටෙන ලෝකයක් විතරයි. රංජිත් මේ සිත්තම් කරන්නෙ ඒ නාගරික උදය.

නිදි ගැට කඩද්දී කාකයො බෝ මළුවේ
බෙඩ් ටී එක ගනියි ඉස්ටේසම කොටුවේ
දත කට මදියි සල්පිල කිරි සුදු සුදුවේ
එළි වෙලා එන්න වේලාවයි අලුවේ

බෝ මළුවෙ නිදි ගැට කඩන කාකයො කියන යෙදුමම විවිධාර්ථ මතු කරනව. රංජිත් කොටුව ආසන්න කලාපය උදාහරණයන් ලෙස අරගෙන අපේ ජීවිතවල අඳුරු අරුණෝදයේ ගොරහැඩි බව සිහිපත් කරනව.

සාරිබාරි සුදු කරපටි පැලැන්දෝ
උජාරුවට ආවත් ලෙස රජින්දෝ
නාට්ටාමිලා නොවෙතැයි කියම්දෝ
පොකැට්ටුවට එබුණොත් උන් දිළින්දෝ

හචි නො කි හමුව නම් කවිය තුළ රංජිත් උත්සාහ කරන්නෙ බොන්සායි කලාව පිවිසුමක් කරගෙන දැවැන්තයන් පවා තනි තනිව කුරුව යන සැටි විමසුමට ලක් කරන්න. බොන්සායි කලාව තුළ යෝධ තුරු ලෙස වැවෙන්න උරුම ඇති තුරු කුරුමිට්ටන් බවට පත් කරනු ලබනව. ඒ ආකාරයටම මිනිසුනුත් කොයි තරම් කුරුමිටි බවට පත් කරනු ලබනවද.

එහෙත් ගලිවර පුඟුලන්
කේවල සිරගෙවල්වල
කුරුමිට්ටන්ද වනු
කිකලෙක අසා නැති

නාරතී යෙහෙළිය මම හිතාදර ලංකා නමින් වන කවිය ගීත සාහිත්යසය ඇතුළු නොයෙක් කලාපයන් තුළ විවිධ අලංකාරයන් හරහා ලොව උතුම් රට වශයෙන් ඔසවා තබනා දූපතක යථාර්තය සිහි කරන නිර්මාණයක්. අපේ වර්තමානය යනුම දෙදහස් පන්සිය වසක විභූතිය පුනරැච්ඡාරනය කරමින් අන්ත දිළිඳුකමේ ගෙවෙන හෝරාවක්. ඒ දිළිඳුකම යනු ආර්ථික පමණක් නෙවෙයි. ආකල්පමය ආදී වශයෙන් විවිධ අංශ වලට දැඩිව බලපාන දිළිඳුකමක්.

කියමුව මතක බණ අපි
සිය සියක් වස් කල් වුව
අරිප්පුව මුතු අගනුවර
මහ සෙනග රැස් බැඳි
තෙමසක් පුරාවට
රැගත් සැණකෙළි සිරි

ඒ දේශය ගැන මතකය අතීතකාමී ආවර්ජනයකි.

පුරාජේරුව- නොස්ටැල්ජිකය
මුතු අතර මුතු සෙවූ
ක්ලියෝපැට්රාගෙ කිරුළද
සැරසූ මුතු මතකය

මේ එවන් මතකයක වර්තමාන අස්වැන්නයි.

ගරා වැටිලාය කීවද
ඩෙරික් මන්දිරය
පෙඩ්රික් නෝත් පරපුර
තවමත් යෙහෙන් පසුවන
ඈවර කරන තුරු
මුතු බෙල්ලන්ගෙ දේශය

මේ කවිය සමග පාඨකයා අපේ ඉතිහාසයෙහිද චාරිකාවක යෙදෙන්නේ නම් ඒ ඉතිහාසය සහ අයි එම් එෆ් ගැලවුම්කරුවා එනතුරු පහන පිරිමදිනා ඇලඩින්ලාගේ නිරුවත දකින්නට ඔහුට ඉඩ ලැබෙනු ඇත.

ධනවාදී වේවා සමාජවාදී වේවා සංවර්ධන ඉලක්ක පසුපස හඹා යාම තුළින් ලෝකයට ඉතුරු වූවේ අසමතුලිත පරිසරයක ගොදුරු බවට පත් ලෝකයක් පමණි. මධ්ය ම ආසියාව හරහා ගලා බැසි අමු දාර්යා නදිය හරස් කර කාන්තාර අස්වද්දන්නට සෝවියට් රජය ගත් තීරණය ඉතුරු කළේ රළ නගන දිය පිරි අරාල් මුහුද වියළි තටාකයක් බවට පත් කරමිනි. එක් අතෙකින් මේ අරාල් මුහුදේ සිඳී යාම මිනිස් වර්ගයාගේ තරගය හමුවේ ඔවුන්ගේ ජීවය සිඳී යාමකට සමානය. රංජිත් මළ මුහුද කරා සිය කවිය දිග හරින්නේ පරිසර විනාශයක තතු හරහා මිනිසාට තම ජීවිතය සහ අරමුණු වගකීම් ගැන සියුම් ලෙස සිහිපත් කරමිනි.

මේ අපේ වර්තමාන දිවිය පත්ව ඇති ඛේදය කවියා දකින ආකාරයයි. පර්චස් දහයක බිම් කට්ටියක අපේ ජීවිතය සිර කරන්නට අප තීරණය කරන මොහොත යනුම අප ජීවිතය අත්හැර පරඬැලක පැවැත්ම තෝරා ගන්නා මොහොතයි.

හරිතාගාර ගේ දොර පර්චස් දහය
මැගසින් බන්ධනාගාරයෙ අතු ඉතිය
විදුලිය ගෑස් අත ළඟ වුව නළ ජලය
නන්දන උයන වූ හැටි නොදනිමි සකිය

සිංහල වෙල්ඩින් වැඩපොළ නමින් එන කවිය උත්ප්රාොසය මෙන්ම උපහාසයද නොඅඩුව කැටි කරගත් කවියකි. එහි කවියා පිළිබඳ විමසුම කලාව සාහිත්යො මෙන්ම මිනිස් ආකල්ප ගැනද සියුම්ව සිතන්නට කරනා පෙළඹවීමකි.

සතර සකැති සුවැති රියක්
දුරබණුවක් හිමි කරගත්
සිටිනවාද එක කවියෙක්
ඇහුවලු දවසක් උතුමෙක්
එ පඬි වදන මගෙ බිරියට
මහ බලගතු මිසයිලයක්

ලෝකය යනු බලවත් සුළුතරයකගේ අභිලාෂයන් වෙනුවෙන් අපමණ මිනිස් ජීවිත උකසට තැබෙනා දං ගෙඩියක් පමණි. අප නිදහස් යයි සිතා උන්නද අපේ ජීවිත තීරණය වනුයේ අප සිහිනෙනුදු නොසිතන සාකච්ඡා මේස වලය. ඒ මේස වල සාකච්ඡා වලදී ගන්නා තීරණ හමුවේ ජාති ආගම් ආදී සෑම බෙදුම් රේඛාවක්ම නොතකා මිහිදන් වනුයේ මිනිසා මය.

නිධන් කෙරුණේ මිහි ගැබ
ගල් අඟුරු තෙල් නිධි ලෙද
පිටවෙන්නේ ලාවා ලෙස
ලොකු කුඩා ගිනි කඳුවල
උපදින්නෙ මීදුම වී
උස් නූස් කඳු හෙල් මැද
එසේ සැතපුණු උන්ගේ
පපු කුහරවල ගින්දර

රංජිත් කවියෙහි බස ගැන වෙසෙසින්ම සැලකිලිමත් වන්නෙකි. ඔහුගේ බස සංයමයෙන් පිරී ඇති අතර සියුම් ලෙස අදහස් පල කිරීමට තරම් ඔහු බස හැසිරවීමේ ලා දක්ෂය. ඒ කවි ආවේගාත්මක නොවේ. ඕලාරිකද නොවේ. ඒ වෙනුවට ඔහු සිය කවිය හරහා බුද්ධිමත් එළඹුමක් යෝජනා කරයි. එසේම ඔහුගේ කවි යනු දුර නුබ ගැබෙහි දිදුලන තරුවක් නොවේ. එය වෙසෙසින්ම අයිති මේ මහ පොලව සහ එහි වසන මිනිසාටමය.

නෙලුම් පොකුණේ සවස ගැවසෙන
චොපර් එකකින් රෑ ගෙදර යන
අයට නොලියන ලද මගේ කවි

මේ රංජිත් සිය කවිය ගැන පවසන ආකාරයයි. ඉදින් ඔබත් කවිය හරහා රංජිත් කියවීමට උත්සාහ දරන්න.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...