මොහොමඩ් නාබි ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්, ඊට බෝම්බ පිරුණු රටක් ඔසවා ගෙන ඉහලටම පැමිණි ගමන පමනක් ප්‍රමාණවත්

Share post:

ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය සමග තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.

ඒ සමගම ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ සිහිනයත් අවසන් වුණා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක් පරදා, ඇෆ්ගනිස්තානය ලබනා ජයක් ඉතිහාසයේදි හැඳින්වුනේ පෙරලිකාර එහෙම නැත්නම් ‘අප්සෙට්’ (Upset) එකක් විදියට.

නමුත් මේ තරගයේ ප්‍රතිඵලය කිසිදු රසිකයෙක්, විචාරකයෙක් ‘අප්සෙට්’ එකක් කියලා හැඳින්වූවේ නැහැ.

ඉන් පෙනෙන්නේ ඇෆ්ගනිස්තානයට අද ක්‍රිකට් ලෝකයේ හිමිව තිබෙනා පිළිගැනීමයි.
ඔවුන් තවදුරටත් ‘කුඩා’ , ‘දුර්වල’ කණ්ඩායමක් නොවෙයි.
ඔවුන් ප්‍රබලතම කණ්ඩායම් අතර සිටිනා රටක්.

ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය පැමිණි මේ ගමනේ පුදුම සහගත තැන් බොහෝමයි.
ඇෆ්ගනිස්තානයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සහ හිටපු නායක මොහොමඩ් නාබි ඊයේ ක්‍රීඩා කළේ සිය 153 වන එක්දින තරගය.
මේ තරග 153 තුල ඔහු රටවල් 43ක් පරාජය කර තිබෙනවා.

එය ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලඟා වීමට අපහසු නොම්මරයක්.
නාබි රටවල් 43 ක් පරාජය කිරීමේ කතාව තුලම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම ලියවෙලා තියෙනවා.
ඇෆ්ගනිස්තානය ඉතිහාසය පුරාවටම යුද්ධ වලින් බැට කෑ රටක්.

ඇෆ්ගනිස්තානය සෝවියට් දේශය සහ ඇමෙරිකාව යන ගෝලිය බල කඳවුරු දෙකෙන්ම ආක්‍රමණයට ලක් වූ රටක්.
මොහොමඩ් නාබි ඇතුලු බොහෝ ඇෆ්ගන් ක්‍රීඩකයො සිය ළමා කාලයේ දිනක් හෝ සරණාගත කඳවුරු වල ගෙවලා තියෙනවා.
ඔවුන් මුලින්ම පිත්ත, පන්දුව අතට ගන්නේ සරණාගත කඳවුරු වලදීමයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයක් හැදෙන්නේ 1995 වසරේ පාකිස්තානයේ දි.
ඔවුන්ට ICC අර්ධ සාමාජිකත්වයක් හෝ (Affiliate membership) හිමි වුණේ 2001 වසරේ දි.
එයත් පාකිස්තාන මැදිහත් වීමකින් හිමි වූ වරප්‍රසාද නොමැති හඳුනාගැනීමක් පමණයි.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භයේ සිටම මොහොමඩ් නාබි එහි පුරුකක් වුණා.

මුල්ම කාලයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර මොහොමඩ් නාබි සහ ඔහුට සරණාගත කඳවුරකදී හමු වූ මිතුරන් සිටියා.
මොහොමඩ් ශෂාඩ්, ඇස්ගර් ඇෆ්ගන්, ශපූර් සද්රන් ආදී ක්‍රීඩකයන් ඉන් කිහිපදෙනෙක්.

නාබි ලා එකතු වෙලා හදාගත්තු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සැබැවින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා.
ඔවුන්ට ක්‍රීඩා උපකරණ තිබුණේ නැහැ.

ඔවුන් පිති, පන්දු ඇතුලු ක්‍රීඩා උපකරණ පකිස්තානයේ සිටි ඔවුන්ගේ මිතුරන්ගෙන් ණයට ඉල්ලා ගත්තා.
ඔවුන් පිති, හිස් සහ පා ආවරණ මාරු කරමින් ක්‍රීඩා කළා.
ඔවුන්ට පුහුණුවීමට ක්‍රීඩා පිටි තිබුණේ නැහැ.

යුද්ධය සහ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට ක්‍රීඩා කිරීමට හෝ රටෙහි සිටි දක්ෂයන් සොයා යෑමට නිදහසක් හෝ ඉඩක් තිබුණේ නැහැ.
වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි වන පුහුණුව, වැටුප්, ක්‍රීඩා උපකරණ, පෝෂ්‍යදායි ආහාර මේ කිසිවක් ඔවුන්ට තිබුණේ නැහැ.
අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හෝ නොතිබූ, බෝර්ඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඉතාම දුගී එකක් වුණා.
මුල් කාලයේ ඇෆ්ගන් පිතිකරුවෙකු දැවී යද්දී, ඊළගට පැමිණෙන පිතිකරුවාට ඔහු සතු ක්‍රීඩා උපකරණ ගලවා ලබා දෙමින් ක්‍රීඩා කළ යුගයක් ද ඔවුන් පසු කළා.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ඇතැම් දෑ ඔවුන් සතුව අඩු නොමැතිව තිබුණා.
ඔවුන්ගේ කැපවීම, ක්‍රීඩාවට ඇති ආදරය සහ දේශප්‍රේමීත්වය උපරිම වුණා.
ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මුල්ම කාලයේ පකිස්තානයට ගිහින් එරට පලමු පෙල තරග ක්‍රීඩා කළා.
ඉන්පසුව ඔවුන්ට අයි.සී.සී අර්ධ සාමාජික රටවල් සමග තරග ලැබුණා.

ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසිද්ධ නොමැති යුරෝපයේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් සමග ඔවුන් ක්‍රීඩා කළා.
මොහොමඩ් නාබි පරාජය කළ රටවල් 43 අතර බහුතරය එම රටවල්.
මේ සියලූම දුෂ්කරතා මැද වූවත්, ඔවුන්ගේ දක්ෂතාවය ක්‍රිකට් ලෝකයට සැඟවීමට නොහැකි වුණා.
ඔවුන් දිගින් දිගටම ඔවුන්ට හිමි වූ ප්‍රතිවාදීන් පරාජය කළා.
තෙවන ලීගයේ සිට දෙවන ලීගයට සුදුසුකම් ලැබූවා.

දෙවන මට්ටමේ ප්‍රබල රටවල් පරාජය කළ ඔවුන් 2009 දී අයි.සී.සී එක්දින සාමාජිකත්වය දිනා ගත්තා.
ඒ මොහොතේත් මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හිටියා.
එතැන් පටන් අයි.සී.සී පූර්ණ සාමාජික රටවල්, සීමිත ඕවර තරග වලදී පරාජය කළ ඔවුන්, 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සමාජිකත්වය සහ ටෙස්ට් වරම් දිනාගත්තා.
ඒ මොහොතේ මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා වුණා.
වසර කිහිපයකට පසු අද ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක්.
ශ්‍රී ලංකාව වැනි ඉතිහාසයක් සහිත රටක් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අසමත් වෙද්දී, ඔවුන් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබුවා.
2024 ශූරයන්ගේ කුසලානය (Champions Trophy) සදහා තෝරා ගන්නේ ලෝක කුසලානයේ පළමු රටවල් අට පමණයි.
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශයට ඉහළින් සිටිමින් ඔවුන් එයට සුදුසුකම් ලබා ගනීවි.

ඊයේ (30) ජයග්‍රහණයත් සමග ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටත්, ඔවුන්ට වැඩි ඉඩක් විවර වුණා.
ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය වැනි ප්‍රබල රටක් පරදා ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තත්, ක්‍රිකට් ලෝකය පුදුම වෙන එකක් නැහැ.
2001 වසරේ අර්ධ සාමාජිකත්වය ලැබූ දුප්පත් ක්‍රිකට් පාලක මණ්ඩලයක සිට,
සරණාගත කඳවුරු වලින් අහුලා ගත් ක්‍රීඩකයන්ගෙන් සැඳුම් ලත් කණ්ඩායමක සිට,
ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ පැමිණ තිබෙන ගමන අපූරුයි.
ඒ ගමන පුරාවට නිත්‍ය සාමාජිකයෙක් වූ මොහොමඩ් නාබි ත් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වී හමාරයි.
ඒ සඳහා ඔහුට දත්ත, වාර්තා අවශ්‍ය නැහැ. බෝම්බ පිරුණු මාවතක රටක් ඔසවා ගෙන ඉහලටම පැමිණි ගමන පමනක් ප්‍රමාණවත්.

ඉරේෂාන් සිරිවර්ධන

2024- 10 -31

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...