Home Blog Page 189

නම් තැබිය හැකි “නමක් නැති හිතවතෙක්”

0

නිර්මාණකරුවෙක් කියන්නේ ජීවිත විවච්ඡේදකයෙක්. බොහෝ ආධුනික නිර්මාණකරුවන් සිය අනුභූතින් මහා සමාජයකින් සොයා යද්දි, සියුම් නිරීක්ෂණයක් සහිත ජීවිත විවච්ඡේදක නිර්මාණකරුවෙක් අනුභූතින් සොයා ගන්නේ මිනිස් ජීවිත වල සියුම් තැන්වලින්. ඒ සියුම් අත්දැකීම් පුලුල් ජීවන අරුතක් සහිත නිර්මාණයක් බවට පෙරලන්නට ඔවුන් සමත්. මෙහිදී කවියා විශේෂයි. එයට හේතුව ඉතාමක් කෙටි අවකාශයක සියුම් ජීවන අත්දැකීම පුලුල් සමාජ දැක්මක් සහිතව ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු හෝ ඇය සමත්විය යුතු වෙනවා.එය හැමවිටම අභියෝගයක්. මේ සුවිශේෂ කාරනය විසින් පැනෙන අවකාශීය ඉඩ තුල චේත්‍යා විදානපතිරණ නවක කිවිඳියගේ “නමක් නැති හිතවතෙක්” කාව්‍ය සංග්‍රහය ස්ථානගත කරන්න කැමතියි.

චේත්‍යා ගේ මුලු කෘතිය පුරාම දැකි හැකි පොදු සාම්‍යය වන්නේ ජීවිතයේ ශෝකී ඉම් ඉසව් ඇය සිය අන්වීක්ෂික නෙත යොමු කිරීම. එමතු නොව ඇය එම නිරීක්ෂණයන්ගෙන් හඳුනාගන්නේ වෙනත් නිර්මාණකරුවෙකුට පවා ආගන්තුක ජීවන ලක්ෂණයන්. ඉන් නොනැවතී ඇය එය ව්‍යාංගාර්ථවත් කරන්නේ තමා අවට භෞතික පාරිසරික ලෝකයේ සමාන නිශ්චිතයන් සොයා ගනිමින්. නවක කිවිඳියක ලෙස ඇය පෙන්වන මේ සුබ ලකුණ ඉතාම ප්‍රබල බවයි අපට වැටහෙන්නේ.

නොසැලී සුළඟ මැඩ ගෙන
නොනිවී අවට එළි කොට
තනියෙන් ම දරාගෙන
කෙලින් සිටිනා අතරම
උණු වී ටිකෙන් ටික
කඳුළු වැගිරී අවසන
දැවී කෙළවර විය යුතුය
ඉටිපන්දම.
(ඉරණම – පිටුව 20)

ඇය මේ පද කිහිපය තුල අපට පවසන පුලුල් ජීවන දහම විමසන්න. අප විසින් ගෙවනු ලබන්නේ කොන්ත්‍රාත්මය ජීවිතයක්. උපභෝග පරිභෝග භාණ්ඩීකරණයට මුලු දිවිය පුරා වෙහෙස වෙනවාට වඩා, සිය කෙටි ජීවිතය තුල තවන් දැවී වුව අනුනගේ ජීවිත එළිය කළයුතු බව ඇය පවසන අපූරුව අප ඉහතින් සඳහන් කළ සියුම් නිරීක්ෂණමය ගුණයක්.
කල්ප කාලාන්තරයකට පසුවත්
මල් වඩම් වල කපුරු සුවඳක්
ගලාවිත් අතීතේ තැනකින්
නාස්පුඩු හා හුස්ම සිර කරයි

මානවයා සිය ජීවන සන්නිවේදනය සිදුකරගන්නේ පංචේන්ද්‍රියන් ආශ්‍රය කරගෙන. එසේ එක් ඉන්ද්‍රියක් වන නාසය භාවිතා කරමින් ඔවුන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරනවා. ඒවා මතකයේ තැන්පත් වී ඇති තර ජීවිතයේ කිසියම්ම මොහොතක සංකේතීය ලෙස අහඹු මතුවීමක් සිදුකර අපගේ නොස්ටැල්ජියානු මතක අවදිකරනවා.
චිතකයන් ගිනිගත් නමුත්
ගින්නටත් ඔරොත්තු දෙන මතක
හිතේ පැලපදියම්ව
සිහි කැඳවුම් ගෙන එයි

” ගින්නටත් ඔරොත්තු දෙන මතක” අපූරු කාව්‍යාත්මක යෙදුමක්. සමහර ගැඹුරු ජීවන මතකයන් තුල දැඩි බව එහෙමයි. ඇය කවිය අවසන් කරන්නේ ජීවිතයේ ශෝකාකූල බව අපූරු පරිසර කැන්වසයක් මත සිතුවම් කරමින්.
දිගු කඳුළු වැස්සකින් අනතුරුව
ඉඳ හිට පිපෙන බිම් මලක්
සංවේග ප්‍රාප්ත ව
බිමට නැඹුරු වුණු මුහුණින් සිටියි
(සංවේගයෙන් දැනුම් දීමයි – පිටුව 21)

චේත්‍යා ගේ සමස්ථ කවිකම තුලම ඇය ජීවිතය දෙස බලන උපේක්ෂාභරිත, සානුකම්පික, සාංදෘෂ්ඨිකවාදී දැක්ම අඩු වැඩි වශයෙන් සෑම කවියකින්ම මතු වෙනවා. එය ඇගේ කාව්‍ය කෘතියේ මහා පෙදු ගුණාකාරය බවට පත්ව ඇතැයි අප පවසන්නේ එබැවින්.

තැනෙක ඇය මිනිස් හදවත කලබල නගරයකට සමාන කරයි. එය ඉතාමත් නව්‍ය සැවැන්දරාමුල් සුවඳ විහිදෙන කාව්‍යාත්මක යෙදුමක්. මෙවැනි නවමු උපමා රූපක සොයායන්නට නවක කවි කිවිඳියන් උත්සාහ කරන සැමවිටම ඔවුන්ගේ නිර්මාණයන් ගේ අනුභූතිය නැවුම් නොවුනත් වහාම අපූර්වත්වයකින් එසෙවී තැබෙනවා.

ලේ නහර ඔබ මොබ දිවෙන
මංසන්ධි පැටලී එතෙන
කඩිසරව ජීවිතේ ගලන
කලබල නගරයක් එතන
(හදවතකි එතන – පිටුව 25)

“අහසක් හදමු හවසක”, “අනුනාද නැගෙන මොහොත”, “ඒකචාරී”, “නොදන්නා දේවල්” වැනි නිර්මාණ තුල චේත්‍යා විදානපතිරණ කිවිඳියගේ බලාපොරොත්තු සහගත ජීවන දැක්මද හඳුනාගත හැකියි. ඒ දර්ශනය තුල ඇත්තේ හුදු ආත්මාර්ථකාමී ‘මාවයි මගේ බිරිඳයි රැකුණොත් මදිද’ පන්නයේ දැක්මක් නොවේ. එය සර්වව්‍යාපී (Comprehensive) දැක්මක්.
චේත්‍යා සිය කෘතිය නම් කරන “නමක් නැති හිතවතෙක්” නිර්මාණය අපූරුවන්නේ එයින් උපදින ප්‍රේමය පිළිබඳ සැබෑ දැක්ම නිසා.
බෙදා නොගෙන ම හදේ නිවහන
මගේ සිහිනය බෙදාගන්නා
ජීවිතේ හැම උදෑසනකම
ආදරේ මල් පොකුරු ගේනා
නමක් නැති හිතවතෙක් උන්නා

මෙහිදී ඇය පවසන්නේ ප්‍රේමය වනාහී භෞතිකව බෙදා වැටකොටු ගසා වෙන්කරගත හැකි දෙයක් නොවන බව. ඇය පවසන්නේ අඩුම වශයෙන් ප්‍රේමය යන අතිමනරම් මානව හැඟීමට නමක් තැබිය යුතු හෝ නමකින් සංකේතීයව ඇමතිය නොයුතු බවයි.

තටු සලා යන කිරිල්ලක සේ
පියාඹන්නට මලට හිතුණා
ඉගිල්ලී යන හදවතක් හිමි
මලට අත්තටු දෙකක් ගේනා
නමක් නැති හිතවතෙක් උන්නා

ආදරය, ප්‍රේමය යනු දොරගුළු ලා බලෙන් රඳවා ගතයුතු දෙයක් නොව ඉගිල යන්නට දොරකවුළු හැර තබා සියාපත් සවිමත් නැත්නම් සවිමත් පියාපත් ලබා දී නිදහස් කළයුතු දෙයක් බව ඇය පවසන අපූරුව කිවිඳියක ලෙස ඇය ගැන විසල් බලාපොරොත්තු පහන් ටැඹ දල්වනා කාරණයක්.

ඇය සිය කවිය අවසන් කරන්නේ නිදහස් ප්‍රේමයේ ඇති විචිත්‍රත්වය අපූරු ලෙස පැහැදිලි කරමින්.
එකට එක් වී බෙදාගනු බැරි
සැබෑ වෙන්නැති හීන තිබුණා
සිනා සී කාලය නවත්වා
දුරින් හිඳගෙන බලා ඉන්නා
නමක් නැති හිතවතෙක් උන්නා.
(නමක් නැති හිතවතෙක් – පිටුව 36)
ප්‍රේමයට කවුරුන් හෝ විසින් නමක් දෙනවා වෙනුවට නිර්නාමිකව තැබෙන්නට හැරීම මොනතරම් පුළුල් ජීවන සෞන්දර්යයක් ගොඩ නගන කාරණයන් ද?
චේත්‍යා විදානපතිරණ කිවිඳියගේ “නමක් නැති හිතවතෙක්” කාව්‍ය සංග්‍රහයේ දැකිය හැකි පොදු ලක්ෂණය වූ ජීවිතයේ සියුම් තැන් සැතකින් කැන එහි ඇති ශෝකී සුන්දරත්වය සොයා ගැනීම බව වුවත් එයි මදක් බැහැර වෙන කවක් ද එහි හමුවෙනවා.
අපට හුරුපුරුදු “ගම්පෙරලියේ ” ජිනදාස තමන්ට දාව නන්දාට ලැබෙන දරුවාගේ වින්නඹුකම කරන කාන්තාවට ලියන පණිවිඩයක් ලෙසයි ඇය එය නිර්මාණය කරන්නේ.
ගරා වැටී ගිය මහ ගෙදර
බිත්තියට කණ තියා අහන්න
දරු සෙනෙහෙ නිසා ආ
හීල්ලුම් හඬවල් ඇරෙන්න
පරණ කුල මල කතන්දර
එහි තියෙනවා ද බලන්න

දරුවෙක් උපදින මොහොතේම ඒ දරුවාට ජාතියක්, ආගමක්, කුලයක් හෝ වෙනත් නාමකරණයක් නැහැ. ඒ උපදින්නේ මිනිස් දරුවෙක්. ඒ දරුවා උපතේ දීම මිය යාමෙන් අනතුරු හිස උදුම්මවාගත් කුලමල කිසිවක් ඇත්තේ නැහැ ඇත්තේ වේදනා කෙඳුරුම් පමණයි. මේ පොදු ජීවන සත්‍යය අවබෝධ කරගන්නා ජිනදාස වින්නඹු අම්මාට පණිවිඩයක් දෙනවා.

දැන් නුඹට විතරයි පුළුවන්
අපව මේ අනතුරෙන් මුදන්න
කවදාක හරි ඉඩක් ලැබුණොත්
අතීතෙට පිය නගන්න
මතක් කරලා පෙකෙණි වැල
ඔය අලුත් කතුරෙන් කපන්න.
(ජිනදාසගෙන් වින්නඹු අම්මාට – පිටුව 52)

චේත්‍යා විදානපතිරණ යනු අපූරු සුක්ෂමතා ගුණයක් සහිත කිවිඳියක බව ඇය සිය කුළුඳුල් කාව්‍ය එකතුවෙන්ම රසික සමාජයට ඒතතු ගන්වන්න සමත්. එය නවක කවි කිවිඳියකට නොමැති ගුණයක්. මේ නිසාම ඇගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “නමක් නැති හිතවතෙක්” වුවත්, ඇය නමක් තබන්නට හැකි කිවිඳියක් බව උස් හඬින් කියා සිටින්නට පසුබට වියයුතු නෑ.

කපිල එම්. ගමගේ

පාපන්දු ආයතනය බලධාරීයෙක් යටතට

පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර මුතුමාල පත්කර තිබේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ අනුදැනුම මත නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පසුගිය අගහරුවාදා (4) සිට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළග නිලවරණය පැවැත්වෙන තුරු එහි නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ අනුර මුතුමාලය.

පසුගිය ජනවාරි (14) දා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා පත්විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටද අධිකරණය කටයුතු කළේය.

නිළවරණයෙන් පසුව ඇති වූ අර්බුධකාරී තත්වයත් සමග පාපන්දු සම්මේලනයේ සියළු වැඩ කටයුතු අඩාල වුණු අතර නිලවරණයේදී ජේ ශ්‍රී රංගාට සහාය වුණු පිරිස් පසුව තනතුරු වලින් ඉල්ලා අස්විය.

මේවනවිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය මේවනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිය.

සබැඳි පුවත්

“සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි.”

0
  මෙි 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාමිප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත. දූවිලිවලින් ගහණ හකුරු පැහැති කඳු වළල්ලකින් වසාගත් මෙි කුඩා ගමෙි පවත්වාගෙන ගොවිපළකි. මෙම ගොවිපළ අයිතිකාරයන් දෙපළ වන්නේ ෆිල් සහ ජෝර්ජ් යන සහෝරයන් ය. එකිනෙකට වෙනස් වුනු ගතිපැවතුමි සහ හැසිරීමිවලින් ගහණ මෙි සහෝදරයන් දෙපළ අතර බාලයා වූ 'ජෝර්ජ්' උගත් සහ ශිෂ්ටසමිපන්න ලෙස හැසිරෙන මහත්මා චරිතයක් ප්‍රකට කරන චරිතයකි. පිළිවෙලකට හඳින පළඳින සමාජශීලි පුද්ගලයෙකි. අනෙකා වන වැඩිමහල් සහෝදරයා වන 'ෆිල්' යනු ජෝර්ජ්ට හාත්පසින් වෙනස් වූ ඉතාමත් අපිරිසිදු ආකාරයෙන් ජීවත් වන ගුප්ත රළු චරිතයකි. ෆිල් වහා කිපෙනසුළු ය. මෙි කඳුකරයේ රජ කරන්නේ ෆිල්ගේ ආධිපත්‍යයයි. ෆිල්ගේ ජීවිතය සමිපූර්ණයෙන්ම අපිළිවෙලට සැදුණ එකකි. ෆිල්ගේ ජීවිතය සැඟව ඇත්තේ නැසී ගිය ඔහුගේ මිතුරා ද, ජීවිත සඟයා වූ ද 'බ්‍රොන්කෝ හෙන්රි' සහ ඔහුගේ අශ්ව සැදලය තුළ පමණී. ෆිල් විසින් එම සැදලය ශුද්ධ වස්තුවක් ලෙස සළකා එය සමඟ ගනුදෙනු කරයි.

ගම්මානයට යාබදව වෙසෙන වැන්දඹු කාන්තාවක් වන ‘රෝස්’ නගරයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන අතර ඇයට වයස අවුරුදු 18ක පමණ පීටර් නමි පුතෙකු සිටී. ⁣රෝස් සමඟ ජෝර්ජ් විවාහ වන අතර ඊට තම සහෝදරයා වන ෆිල් කැමති වන්නේ නැත. ෆිල් විසින් සැමවිටම රෝස්ට චෝදනා කරන්නේ දේපළ, මුදල්වලට කෑදරකමින් ජෝර්ජ් රවටා විවාහ කරගත් බවයි. මෙතැන් පටන් නිහඬ ජීවිතයක් ගත කළ ෆිල්ගේ ජීවිතය විශාල ප්‍රවාහයකට හසු වෙයි. මෙතෙක් ෆිල් සහ ජෝර්ජ් පමණක් ගත කළ සාමකාමී ජීවිතය සඳහා රෝස්ගේ ආගමනයත් සමඟ විශාල ගැටුමකට මුල පුරයි. මෙි 2021 වසරේ ඇකඩමි සමිමාන උළෙලේ දී සමිමාන පිට සම්මාන ලැබූ “The Power Of the dog” හොලිවුඩි චිත්‍රපටයේ කතා සාරංශයයි.

පවුල නමැති සාධකය සැමවිටම ගැටුමිවලින් පිරී පවතින ආයතනයකි. මානුෂ සබඳතා අති සංකීර්ණ ය. අනෙකා තේරුම් ගැනීම ඉතා අපහසු ය. ෆිල් සහ පීටර් යනු එවැනි චරිතයෝ ය. ෆිල් සිතන්නේ තම ආධිපත්‍යය මුලිනුපුටා දමන්නට පැමිණි බලවෙිගය රෝස් බවයි. ෆිල්ගේ බැල්ම(Gaze) සැමවිටම රෝස් දෙස පවති. නමුත් රෝස් ෆිල්ගේ සෙවණැල්ලට පවා බියෙන් ජීවත් වන්නකි. ඇය ෆිල්ගේ ඉදිරියටවත් පැමිණෙන්නට අකැමැති වෙි. නමුත් රෝස්ගේ පුත් ‘පීටර්’ ෆිල්ට බිය නැත. පීටර් බුද්ධිමත් ය. ඔහු ෆිල්ගේ ආශාවන් සහ ගතිපැවතුමි මොනවාද? යන්න හොඳාකාරවම දනී. ආධිපත්‍යය දැරූ ෆිල්ගේ ආත්මය පීටර් නමැති තීක්ෂණ බුද්ධියෙන් හෙබි කෙසඟ සිරුරක් ඇති තරැණයා ඉදිරියේ දිය වී යයි. පීටර් විසින් ෆිල්ගේ ආත්මය මරාදමන්නේ තම මව වෙනුවෙනි. ෆිල් නමැති සුනඛයාගේ ආධිපත්‍යයෙන් තම මව වු රෝස් බේරාගන්නා පීටර් බලය තහවුරු කර ගනී. එතෙකින් කඳුකරයේ බල අරගලය නිමාවට පත් වෙි.

බුද්ධිමය කලමිබනයකට හසු කරමින්ද, භාවමය ප්‍රකමිපනයට හසු කළ “The Power Of the dog” ගණයේ චිත්‍රපටයක් නරඹන්නට මනා සංයමයක් තිබිය යුතු ය. චිත්‍රපටය බෙහෙවින් මන්දගාමී ය. නමුත් රිද්මය අලංකාර ය. මනහර වූ සිනමාත්මක රූප සමුදායකින් සමන්විත චිත්‍රපටය තුළ රූපමය වංකගිරියක අප අතරමං වෙයි. ආශාව(Desire) වෙනුවෙන් අනෙකා මර්දනය කිරීමෙි මනෝමූලික ක්‍රියාදාමය නිරූපණය කිරීම සිනමාත්මකව විශිෂ්ට වෙි. චිත්‍රපටය විසින් අතිශය සංකීර්ණ හා ගැඹුරු සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නටත් උනන්දු වෙති. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරනු පිණිස වෙහෙසෙ ඇත. “The Power Of the dog” නරඹන්නට මා ඔබට බලකරන්නේ වෙන කිසිවක් නිසා නොව මනුෂ්‍ය ආත්මය අවබෝධ කර ගැනීමට එක් මෙවලමක් ලෙස භාවිතා කරන ලෙස නිර්දේශයත්, විධානයත් සපයමින්.

-මලින්ත විතානගේ

නව ත්‍රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහා ය !

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණ ලෙස පෙන්වා දෙනු ලබන්නේ, අරගල යුගයේ අවුල්සහගත තත්ත්වයෙන් යථාතත්ත්වයට පත්කිරීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් රටට ලබාදුන් විශාලතම ණය මුදල ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි.

ජනාධිපතිවරයා එම කාර්යයට සුදුසුම පුද්ගලයා බවටත් ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවටත් වන පණිවිඩය සංසරණය වෙමින් පවතී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල රටට පැමිණ වැඩි කල් යන්නට මත්තෙන්, පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ අතර, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ද පහත දමනු ලැබීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනප්‍රිය නොවන ආර්ථික අභියෝග භාර ගනිමින් සිටී. මෙහිදී ජනාධිපතිවරයා තමන් විසින් කළ යුතු දේ කිරීමට පසුබට නොවන ආකාරය ද දක්නට ලැබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ මැතිවරණ සම්බන්ධයෙන් මුනිවත රකින්නට එක් හේතුවක් වන්නේ, ජනාධිපතිවරයා දුෂ්කර කාර්යයන් සමඟ කටයුතු කරන ආකාරයට විරුද්ධ වීමට අකමැති නිසා යැයි අනුමාන කළ හැකිය. ඛණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සහ ඉන්ධන බෙදා හැරීම සඳහා හමුදාව කැඳවීම, ආණ්ඩුව විසින් තමන් සිදුකළ යුතු යැයි විශ්වාස කරන දේ නොනැවතී සිදුකරන බවට සළකුණකි. මීට අමතරව, වැඩවර්ජන ක්‍රියාමාර්ගයේ නායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා ඇත. එසේම වර්ජක සේවකයන් මැසිවිලි නඟන්නේ හමුදාව විසින් තමන්ට වැඩ කරන ලෙස බල කරන බවටය.

අකාර්යක්ෂමතාව, සේවක අතිරික්තය සහ දූෂණය හේතුවෙන් පසුගිය දශක කිහිපය තිස්සේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම සමඟ ද ආණ්ඩුව ඉදිරියට යමින් සිටී. ආණ්ඩුවේ මෙම මුලපිරීම, රජයේ භාණ්ඩාගාරයේ මුදල් නාස්තිකාර ලෙස ඉවතට ගලායෑම වැලැක්වීමට මෙන්ම, ජාතික වත්කම්වල ඵලදායිතාව ඉහළ නැංවීමට මගක් ලෙස සමාජයේ ඇතැම් කොටස්වල පැසසුමට ලක්ව ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පවා පෞද්ගලිකකරණය කළ පසු වැඩි ලාභයක් උපයනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේවෙතත් මෙම පෞද්ගලිකකරණය අභ්‍යන්තර ගනුදෙනු හරහා සිදුවනු වෙනුවට, තරඟකාරී ලංසු තැබීමේ පදනම මත සිදුවන බවට සහතික විය යුතුය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කර ඇති පරිදි, දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසි හරහාද බොහෝ දේ අපේක්ෂා කෙරී ඇත.

වෙනත් ලෝකයක්

අනෙක් අතට, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහය, එනම් ඒවායේ කාර්ය මණ්ඩලය අඩු කිරීම, මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ ගොදුරු බවට පත්වන්නන් අතර දැඩි කනස්සල්ලට හේතුවී තිබේ. ආර්ථිකය තුලනය කිරීම සඳහා යැයි පැවසෙන මෙම ක්‍රියාවලියේදී, රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන් විශාල සංඛ්‍යාවක් ඉවත්කෙරෙනු ඇත. ඔවුන් මෙතෙක් ලබමින් සිටි ත්‍යාගශීලී අතිකාල ගෙවීම් වැනි දෑ වෙනුවට, ඔවුන්ට රැකියාවෙන් ඉවත්වීමට සිදුවනු ඇත. යම් ජීවන තත්ත්වයකට හුරුවී සිටින තම පවුල් නඩත්තු කරන්නේ කෙසේදැයි ඔවුන් නිතැතින්ම කනස්සල්ලට පත්වීම වැලැක්විය නොහැකිය. මේ අතර,මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සමාජ ආරක්ෂණ දායකත්වය වෙනුවෙන් රජය වෙන්කරනු ලබන කොටසේ ප්‍රමාණවත්භාවය පිළිබඳවද සැක මතුව ඇත. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල එම දායකත්වය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක් වන විට, මෙරට එම ප්‍රතිශතය සියයට 0.6 ක් පමණකි.

පසුගිය වසරේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් මිල දෙගුණ තෙගුණ වීමත් සමඟ සිදු වූ ආර්ථිකයේ කඩාවැටීම රටේ සෑම ජන කොටසකටම බලපෑ අතර, එහි වැඩි බලපෑම එල්ලවූයේ වඩා දුප්පත් ජනතාවටය. එය මිලියන ගණනක් මිනිසුන් දරිද්‍රතාවට ඇද දැමීය. පසුගිය වසර තුන තුළ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පිරිසගේ සැළකිවයුතු  වර්ධනයක් පවතින බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත. 2019 දී මිලියන 03 කට ආසන්න ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් රැඳී සිටි අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී එම සංඛ්‍යාව මිලියන 9.6 දක්වා, එනම් ජනගහණයෙන් සියයට 42 කට වඩා වැඩි වී තිබේ. ජනගහණයෙන් සියයට 70කට පමණ තමන් ලබාගන්නා ආහාර ප්‍රමාණ අඩුකිරීමට සිදුවී ඇති බවද අධ්‍යයනවලින් හෙළි වී තිබේ. තමන්ට අවශ්‍ය වෛද්‍ය සේවා සහ ඖෂධ ලබාගැනීමට නොහැකිව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මාධ්‍ය වාර්තා පළවී ඇත.

රටේ සෑම තරාතිරමකම මිනිසුන් සිය දහස් ගණනක් ආණ්ඩුවට එරෙහිව කොළඹ සහ වෙනත් තැන්වල විරෝධතා දැක්වීමට පෙළඹවූයේ මෙම මංමුලාසහගත තත්වයයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමට වෙහෙස මහන්සි වන පිරිස වූ නමුත්, එම අනාගතය හදිසියේම ඔවුන්ගෙන් උදුරාගෙන තිබිණි. ත්‍රිරෝද රථ රියැදුරකු වරක් මාහට පැවසූ ආකාරයට, ඔහුගේ දරුවන් තිදෙනාට දිනපතා පාසල් රැගෙන යෑමට බිස්කට් පැකැට්ටුවක් සහ කිරි පැකැට්ටුවක් ලබාදීම පුරුද්දක් කරගෙන සිටි නමුත්, දැන් එය සිදුකිරීමට නොහැකි ඇයිද යන්න කුඩාම දරුවන් දෙදෙනාට පැහැදිලි කරදීමේ හැකියාවක් නොමැතිවී තිබේ.

ගැටෙන ලෝක

අද ශ්‍රී ලංකාව තුළ ලෝක දෙකක ජීවත් වන මිනිස්සු සිටිති. එක් පිරිසක් රැල්ලට නැග ඉහළට යෑමට සමත් වන අතර, අනෙක් පිරිස යටි ප්‍රවාහයට හසු වී පහළට ඇද වැවෙමින් සිටිති. ආර්ථික වර්ධනයේ ඇන්ජිම ලෙස පෞද්ගලික අංශයට වැඩි සම්පත් සැපයීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල රජයට සහාය දක්වමින් සිටී. 2025 දක්වා නව දේපල, ධන සහ උරුම බදු ඔස්සේ ඔවුන් දිගු කාලින සැලසුම් සකස්කර ඇත. කෙසේවෙතත්, ක්ෂණිකව ගෙවිය යුතු බදු බැරකර ඇත්තේ දුප්පතුන් වෙතය. ඔවුන්ට ගෙවීමට සිදුව ඇත්තේ, සෘජු බදුවලට වඩා, රජයට වැඩි බදු ආදායමක් ලැබෙන වක්‍ර බදු ය. බොහෝ නව බදු ආදායම් රැස්කෙරෙන්නේ, 2022 මැයි මාසයේදී සියයට 08 සිට 12 දක්වා සහ සැප්තැම්බර් මාසයේදී සියයට 15 දක්වා ඉහළ නංවන ලද, අගය එකතු කළ බදු (VAT) මගිනි. වැට් බද්ද ධනවතුන්ට සහ දුප්පතුන්ට එක හා සමානව බලපාන නමුත්, දෙවැනි කණ්ඩායමේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරනු ලබයි.

ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවටත්, තමන් සමග එක්වීමට විපක්ෂයේ දේශපාලනඥයන් පෙළ ගැසෙමින් සිටින බවටත් ආණ්ඩුව විසින් සිදුකරන ප්‍රබල සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව තිබේ. දරිද්‍රතා මට්ටමට ඉහළින් සිටින සහ වර්තමාන මිල ගණන් දරාගැනීමට හැකියාව ඇති අයට මෙය උනන්දුවක් ඇතිකරවන කාරණයක් විය හැකිය. එහෙත් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින පිරිස යථාර්ථය දනිති. වඩාත් නරක බව දන්නා පුද්ගලයන් සම්බන්ධයෙන්, ඔවුන් වඩා හොඳ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ කොතෙක් ප්‍රචාරණයන් ගෙනගියද, ඔවුන්ට එය ඒත්තු ගැන්විය නොහැක. විදුලි මිල ඉහළ දැමීම, සමානුපාතිකව ධනවත්ම පිරිසට වඩා දුප්පත්ම පිරිස මත වැඩි පීඩනයක් එල්ලකර ඇත. එහිදී, පහළම ස්ථරයේ සිටින පිරිසට, ඔවුන් පෙර ගෙවූවාට වඩා තුන් හතර ගුණයකින් වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර, ඉහළ ස්ථරය නියෝජනය කරන පිරිස ගෙවන්නේ දෙගුණයක් පමණකි. මෑතකදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉතා සැළකිව යුතු මුදලකින් අඩු වූ නමුත්, එම සහනය දුප්පතුනට අවශ්‍ය කෙරෙන ඉන්ධන වර්ගය වන භූමිතෙල් සඳහා නොවීය. ආර්ථික පිරමීඩයේ පතුලේ සිටින අයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ, එසේ නොකරන්නේ නම්, කඩිනමින් මැතිවරණ පවත්වා ආණ්ඩුව ඉවත්ව යෑම බව අමුතුවෙන් කිව යුතු නැත.

තම ප්‍රමුඛතාවය ආර්ථිකය නඟා සිටුවීම මිස මැතිවරණ පැවැත්වීම නොවන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා නැවත නැවතත් අවධාරණය කර ඇත. මැතිවරණයකදී විරෝධතා ඡන්ද හිම පතනයක් ලෙස තමන්ට දැඩි ලෙස පහර දිය හැකි බවත්, තම පාලනය තවදුරටත් නීත්‍යනුකූල නොවන බවත් ආණ්ඩුව දනී. බොහෝ විවේචනයට ලක්ව ඇති, තවමත් කෙටුම්පත් ස්වරූපයෙන් පවතින ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරමින්, නව නීතියක් ලෙස ගෙනැවිත් තම බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරයි. ජාතික ආරක්‍ෂාව සඳහා යැයි ප්‍රකාශ කෙරෙන මෙම යෝජිත නීතිය කෙටුම්පත් කර ඇත්තේ අරගලයෙන් පසුවය. එමගින් ආණ්ඩුව විවේචනය කිරීම හෝ ඊට එරෙහිව පෙළගැසීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දැක්විය හැකි පරිදි පුළුල් ලෙස අර්ථකථනය කර ඇත. ඕනෑම පොලිස් නිලධාරියකුට හෝ ආරක්ෂක හමුදා නිලධාරියකුට, යම් පුද්ගලයකු සහ එම පුද්ගලයා සාමාජිකත්වය දරන සමස්ත කණ්ඩායමක් හෝ සංවිධානයක් අත්අඩංගුවට ගැනීමට මෙමගින් බලය ලබාදී ඇත.

මේවා දෙලොව ගැටීමට නියමිත බවට, පෙර දැකගත හැකි අසුබ නිමිති ය. මෙහිදී ඇත්තෙන්ම ජාතික අවශ්‍යතාවයට වඩා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ ආත්මාරක්ෂාව බව පැහැදිලි ය. එසේම ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ යුක්තිසහගත ආඛ්‍යානයක් රැගෙන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අත්තනෝමතික පාලනයකින් ප්‍රතිස්ථාපනය කෙරෙමින් පවතින බවද දැකගත හැකිය.

ජෙහාන් පෙරේරා

ගෝඨාභයට, යෝෂිතට නැතත් ; ජීවන වියදම ඉහළ දැමීමට එරෙහි ජාතික ජන බලවේගයේ විරෝධතාවට සහභාගි වූ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් !

අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ පැවති විරෝධතාවකට සහභාගි වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න thetime.lk වෙත පැවසුවේ සිය පොලිස් කොට්ඨාසයට අයත් වෙල්ලාවලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු ජාතික ජන බලවේගය මගින් සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වී ඇති බවයි. ඔහු එහිදී ක්‍රියාකාරී ලෙස කටයුතු කර ඇති බවත්, ඒ පිළිබඳ තමන් යටතේ කලවන්චිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කළ මූලික විමර්ශනයෙන් පසු වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකරනු ලබන්නේ මඩකලපුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බව ද පැවසීය.

ඊයේ (05) මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර, අදාළ විරෝධතාව පවත්වා ඇත්තේ පසුගිය 26දා ය. ජීවන වියදම බරපතළ ලෙස ඉහළ යෑමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.

‘අදාළ නෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ පොලිස් නිලධාරීන්ට ඇති වෘත්තීය අයිතිවාසිකම් සීමාසහිත බවයි. ජාතික ජන බලවේගයේ රැස්වීම් සම්බන්ධයෙන් මෙන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ රැස්වීම් සම්බන්ධයෙන් ද මේ ආකාරයට පියවර ගන්නේදැයි විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම පියවර ගැනීමේදී පක්ෂය හෝ කණ්ඩායම අදාළ නොවන බවයි.

එසේ මීට පෙර ආණ්ඩු පක්ෂයට අදාළ රැස්වීම්වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන ඇත්දැයි විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි සිදුවීම් පිළිබඳ මතකයක් මේ මොහොතේ තමන්ට නැති බවයි. මෙය අදාළ වන්නේ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් බව ද ඔහු පැවසීය.

මේ අතර ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, එක් නිලධාරියෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද විභාග වේ.

අයිතිවාසිකම් ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ රජයෙන් ගිනි අවියක් නිකුත් කර ඇති, එනම් සන්නද්ධ අංශයක සාමාජිකයෙකුට වෘත්තීය අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (8) යටතේ දැක්වෙන බවයි.

ව්‍යවස්ථාවේ 15(8)

’12 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවෙන්, 13 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට, පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ රටේ යථාපැවැත්ම බාර ව සිටින වෙනත් හමුදාවල සාමාජිකයන්ට අදාළ වීමේදී එම අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද, ඔවුන්ගේ කාර්යයන් යථාපරිදි ඉටුකරවා ගැනීම සහ ඔවුන් අතර විනය පවත්වාගැනීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව ය.’

උදාහරණ ?

කෙසේ වෙතත් නීතිවේදීන් අවධාරණය කරන්නේ මෙහි 12(1) ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සඳහන් වුවද, නීතිය ඉදිරියේ සියල්ලන් සමාන විය යුතුය යන ලෝකයේ පිළිගත් මූලධර්මය මත පදනම් ව මානව හිමිකම් කොමිසම ඉදිරියට ගොස් සාධාරණයක් ඉටුකරවා ගැනීමේ දුෂ්කර අවස්ථාවක් සම්බන්ධයෙන් ද යම් අදහසක් පළකළ හැකි බවයි.

2010 ජනාධිපතිවරණ කාලයේදී සහ 2014 පළාත් සභා මැතිවරණ කාලයේදී එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් උදය ගම්මන්පිලගේ මැතිවරණ වේදිකා ඇමතීම, 2010 ජනාධිපතිවරණ කාලයේදී නාවික හමුදා නිල ඇඳුමෙන් යෝෂිත රාජපක්ෂ මාතලේ ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවක අදහස් පළකිරීම වැනි උදාහරණ එවැනි අවස්ථාවලට උදාහරණ වේ. මෙම පොලිස් නිලධාරියාගේ සිදුවීම සහ එම උදාහරණවල තරමක වෙනසක් ඇතත්, සමස්තයක් ලෙස ගැනීමේදී එම උදාහරණ සාධාරණ තර්කයක් ගොඩනැගීම සඳහා වැදගත් බව ද නීතිවේදීහු පෙන්වා දෙති.

චහල් මාලිව පසුකරයි !

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන කේන් විලියම්සන්ට මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු රකිමින් සිටියදී විලියම්සන් දණහිසේ අබාධයකට ලක්වූ අතර, ඔහු ඉදිරි දින කිහිපය තුළදී ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත ය.

සුපර් කිංග්ස් ඉනිමේ 13 වැනි පන්දුවාරයේදී උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී විලියම්සන් ආබාධයට ලක්විය.

විලියම්සන් එක්දින තරග 161කදී ශතක 13ක් සමඟින් 47.83ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින අතර ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නොහැකි වීම නවසීලන්තයට විශාල පාඩුවක් වනු ඇත.

සිය ආබාධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කේන් විලියම්සන් පවසා සිටියේ තමන් සුවය ලැබීමට යම් කාලයක් ගතවනු ඇති බවත් එහෙත් හැකි ඉක්මනින් නැවත පිටියට පැමිණීමට කළ හැකි සෑම දෙයක්ම කරන්නෙමි.” යනුවෙනි.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහල් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඊයේ (5) සමත් විය.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 50 කට එක් කඩුල්ලක් දවා ගනිමිනි.

චහල් අයි.පී.එල් තරග 133 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 171 කි.

වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානය මෙතෙක් හිමි කර ගෙන සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගයි.

මාලිංග තරග 122 කදී කඩුලු 170 ක් බිද හෙලා තිබුණු අතර මේ වනවිට ඔහුට හිමිව ඇත්තේ වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානයයි.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේ තරග 161 කදී කඩුලු 183 ක් බිද හෙලූ ඩ්වේයන් බ්‍රාවෝය.

මෘදුම වචන හරහා ගැඹුරුතම නිල අල්ලන ‘සිම්පල් සයිමන්’

0

සිම්පල් සයිමන්- විෂ්ණු වාසු

සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන් ගත්තත් විෂ්ණු වාසු තමන්ගේ දිවි සැරියෙ දශක හයක කාලයෙන් සැලකිය යුතු කොටසක පා සටහන් අපට ඉදිරිපත් කරන්න තෝර ගන්නෙ තමන් සිම්පල් සයිමන් කෙනෙක් කියන හැඳින්වීමත් සමග.

හැබැයි විෂ්ණු තමන් ගැන මොන නාමකරණයක් යෙදුවත් විෂ්ණු සිම්පල්ද කැපිටල්ද කියල අපි දන්නව. ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් වන ඔහු සැහැල්ලු පියවරින් බරට අඩි කඩන මිනිහෙක්. මෘදුම වචන හරහා ගැඹුරුතම නිල අල්ලන වෙදෙක්. ඉතාම සියුම් හැඟීම් අතර සැනෙන් දෙනෙත් තෙත් වෙන සංවේදී මිනිසෙක්. රසවතෙක්, යහපත් මිතුරෙක්, සුහද යාත්‍රිකයෙක්.ඉතින් ඔහු තමන්ගෙ දිවි සැරියෙ පරිච්ඡේද දිග හරිනව. ඒත් අපට ඒ පරිච්ඡේද අතරෙ හමුවෙන්නෙ තමන්ගේ සාර්ථකත්වය සොයා ගිය මිනිසෙකුගේ කතාව නෙවෙයි. බොහෝ අය තම ජීවිත කතාව ලියන්න ගත්තහම අපට දැකගන්න ලැබෙන්නේ මම, මම, මම, මම විතරමයි. ඒත් විෂ්ණුගේ කතාව තුළ අපට විෂ්ණු වෙනුවට දීර්ඝ චාරිකාවක අසිරිය හමුවෙනව. ලංකාවෙන් පිටවෙලා තමන්ගෙ අනාගතය සොයා යන ගැටවරයෙකු ඉන්දීය සමාජයේ කුල ධූරාවලිය තුළ ඉහලම කුලයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනීම ලබමින් සංගීතඥයෙකු බවට පත්වීමේ සිහිනයක පිහිනනව. අසීරුතම අවස්ථාවක ඔහුට ඉහල කුලයෙන්ම සැබෑ පීතෘ කෙනකුත් හමුවෙනව. ඒ ඔහුගෙ ජීවිතයේ හැරීම් ලක්ෂයක්.

විෂ්ණුගේ ජීවිත අන්දරය අපට දායාද කරන වැදගත් පාර්ශව කිහිපයක් තියෙනව. ඉන් පළමුවැන්න මිනිසකු තම අරමුණ තෝරාගැනීම ගැන. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය කලාව ඉගෙන ගන්න වාද්දුවෙ ඉඳල හොරණට මාරු වෙනව. විෂ්ණු සංගීතය සොයා ගෙන ඉන්දියානු සාගරයෙන් එහාට පනිනවා. අතීතයේ එක්තරා දවසක මමයි විෂ්ණුයි රචීන්ද්‍ර ගුරුගෙගෙ තැන ධර්මසිරි ගැන කෙරුණ වාර්තා වැඩ සටහනක් නරඹනව. එහි අධ්‍යක්ෂකත් එක්ක. එදා මට විෂ්ණු තුල ඉන්න සිනමාකරුවා හමුවෙනව. විෂ්ණුගෙ කතාව එක් අතකින් ඝටම් වාදකයෙකු ලෙස සිය ප්‍රවීනත්වය වර්ධනය කරගන්න තැත් දරන තරුණයෙකුගේ අදිටන්සහගත ප්‍රයාණය විෂ්ණු වාසු කියන නම ලංකාවෙදි අපට නම් දරන බොහෝ සංගීතඥයන් අතරෙ හමුවෙන්නෙ නෑ. ඔහු නිහඬව වැඩ කරන, කරපු, ගෞරවය පසුපස හඹා නොගිය, සැම විටම අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට ඉඩදීල තමුන් ස්වේච්ඡාවෙන් පසුපසට වෙලා ඉන්න ඉතාම සුන්දර නිහතමානී මිනිසෙක්. ඒ අතරම සංගීත ක්ෂේත්‍රය වගේම වාර්තා සිනමාව තුළත් තමුන්ගෙ වැඩ කොටස කරමින් ඉන්න කෙනෙක්. ඔහුගේ වාර්තා සිනමාව ගැන වෙනම කතා කළ යුතුයි. ඒ වගේම ඔහු ඒ ගැනත් වෙනම ලිවිය යුතුයි කියල මං විශ්වාස කරනව.

විෂ්නුගේ දිවි සැරියෙ වැදගත්ම කොටසක් වෙන්නෙ ඉන්දියාව තුළ සමාජ කුල ධූරාවලියෙ ඉහලම තට්ටුවෙ වැජඹෙන්න අවස්ථාව ලැබිලත් ඔහු ඉතාම සීරුවෙන් එහි පහලම තට්ටුවේ ජීවිතය සොයා යන්නට දරන උත්සාහය. එය එක්තරා ආකාරයකට තමන් කුලයෙන් නෙරපා හරින්නට වුව තුඩු දෙන තරමේ හිතුවක්කාරකමක්. ඒත් විෂ්ණු ඒ හිතුවක්කාරකම සහ නිර්භීතකම භාවිතා කරනව. ඒ ගමන තුළ ඔහු අපට ඉන්දියාවෙ කුළ පද්ධති මෙන්ම සමාජයෙන් ගර්හිත සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළු බොහෝ ස්ථරයන් සමග මුහු වෙනව. ඒ මුහුවීම අපට ගෙනෙන තොරතුරු ඉතා වැදගත්. ඒවා කිසිවක් ශාස්ත්‍රීය නිබන්ධ නෙවෙයි. ඒත් මේ සමාජය බෙදා වෙන් කරන සීමා ඉරි ගැන පිලිකුලක් වගේම එසේ පිලිකෙව් කරනු ලබන මිනිසුන් තුළ වන වටිනාකම් මෙන්ම ඔවුන් තුළ වන දක්ෂතා, සහ ඔවුන් ඒ පීඩිත සමාජය තුළ සිය දිවිය සමග ඔට්ටු වෙන ආකාරය වටහා ගන්න ඒ ලියවීම් හොඳටම සෑහෙනව.

විෂ්ණු ඉතා හොඳ නිරීක්ෂකයෙක්. ඒ නිරීක්ෂණ ආපසු කරදාසියට ගැනීමේදී සියුම් උපහාසයක් වගේම සංවේදී භාෂාවක් හරහා ඔහු සාර්ථක ලියවිල්ලක් නිර්මාණය කරනව. ඔහුගේ කතාව රසවත්ව කියවාගෙන යන්න අපට ඉඩ ලැබෙන්නෙ ඒ සිත් ඇදගන්නා මුව දෙකොනට සිනහවක් කැන්දන තානය. ඒත් ඒ තානය තුළ විටින් විට මතුවෙන්නෙ සමාජයේ පීඩිත මිනිසාගේ වේදනාව. විෂ්ණු හට සිය මුළු දිවියම මෙසේ විවිධාකාරයෙන් පීඩාවට ලක් වන පීඩිතයා වෙනුවෙන් නිහඩවම වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඇත්තේ තමන් පැටි වියෙහිදී ලද කටුක අත්දැකීම් වගේම තම යොවුන් වියේ ඉන්දියාවේදී ලද මේ විපුල අත්දැකීම් තමයි. මෙහිදී විශේෂත්වය වෙන්නෙ ඔහු තම අත්දැකීම් හරහා සමාජයට වෛර කරන සහ පුද්ගලික් ආර්ථික සමෘද්ධිය හොයන නරුමයෙක් නොවී සැබෑ මානව ප්‍රේමියෙක් වීම. ඒ නිසාමයි අදත් අපට විෂ්ණුව නොයෙක් අරගල බිම් වල හමුවෙන්නෙ. ඒ වගේම සිය කැමරාවත් අරන් වියලි කර්කෂ උතුරු බිමේ වැල්ලට යටව යන ජීවිත සොයා යන වාර්තා සිනමාකරුවෙක් හමුවෙන්නෙ.

විෂ්ණුගෙ කතාව තුළ කියවෙන ඉතාම වැදගත් කාරණාවක් තියෙනව. ඒ තමයි ඉන්දීය ගුරුකුලවාසී ජීවිතයේ විශේෂත්වය. සියල්ල මුදලින් තක්සේරු කරන වර්තමානයක ඒක ටිකක් පිස්සු භාවිතාවක් කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඒත් ඔවුන් පවත්වාගෙන එන ඒ සම්ප්‍රදාය ඇතුලෙ තිබන වටිනාකම් එහෙම ලේසියෙන් හලන්න බෑ. කිසියම් ශිල්පයක් ප්‍රගුණ කරන්න යන කෙනකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍යම වටිනාකම් මොනවද, ඒවා කෙනකු තුළට කාවද්දන්නෙ කොහොමද කියල මේ කතාව කියවන විට වටහ ගන්න පුළුවන්. ගුරුවරයා තම ශිල්පය තවෙකකුට දෙන්නෙ ඔහු ඒ සඳහා සුදුසු සහ සූදානම් කියල හොඳටම තහවුරු වුනහම. ඒ වගේම ඒ තහවුරුව ලබා දෙන්න සිසුවාටත් බොරු කරල බෑ. ඔහු තම ජීවිත අරමුණ ඒක බව ඉතා පැහැදිලිව සනාථ කරන්න ඕනැ. පොදු තරග විභාගයක් තියල එහෙමත් නැත්නම් උපාධිධාරී පදනමෙන් රස්සා දුන්න කියල ගුරුවරයෙක් තනන්න බෑ කියල අපේ අධ්‍යාපන ලොක්කො වටහා නොගන්න තාක් අපේ සිසු පරපුරට අනාගතයක් නැත්තෙත් ඒකමයි. ගුරුවරයෙක් කියනුනේ සාගරයක්. ඒ සාගරය වෙනුවට හීන් දිය පහරවල පිහිට පතන්න යාම නිසා අද අපේ අධ්‍යාපනයට වෙලා තියෙන හානිය ඉතා විශාලයි.

විෂ්ණු තම සුදුසුකම තහවුරු කරන්න විඳපු දුක දැක්කහම මට ඒ හා සමාන තවත් අත්දැකීමක් මතක් වුනා. ඒ මගේ හිතවතියකගෙ නංගි. ඇයත් ඉන්දියාවට යනව. ඇගේ ගුරුජී ඇයට එන්න කියල පංතියෙන් පිට රඳවනව. ඇතුලෙ ඔහු තම සිසුන් එක්ක පුහුණුවීම් වල යෙදෙනව. මෙහෙම ටික දවසක් යද්දි ඇය පංතියෙන් පිට ඉන්න ගමන් තමන්ට ඇහෙන පාඩම් පුහුනු වෙනව. ගුරුජි විටින් විට බලල යනව. මාස කිහිපයකට පස්සෙ එක දවසක ඔහු ඇවිත් ඇයට පාඩම් අරඹමු කියනව. ඇය පසු දවසක තමහන්ව මේ තරම් රස්තියාදු කළේ ඇයි කියල අහනව. ‘ඒ ඔබ මේ ශිල්පය හදාරන්න අවශ්‍ය ඉවසීමෙන් යුක්තද කියල බලන්න.“ ඒ තමයි උත්තරේ.

මම මේ සටහන ලියන වෙලාවෙ සමහර විට විෂ්ණු තම පුහුණුවීම් වල යෙදෙනව ඇති. නැතිනම් භාවනාවක වෙන්නත් පුළුවනි. ඒත් නැත්නම් තම කැමරාවත් අරගෙන බැහැරක යනව ඇති. ඒ කොතන ගියත් ඔහු අපි කාටවත් පැහැරගන්න බැරි සැහැල්ලුවක් විඳින බව මං දන්නව. ඒ තමයි ඔහු මෙතෙක් ලද අස්වැන්නේ පලය. විෂ්ණු ළඟ තියෙන කතා සරිත් සාගරයෙන් බිඳක් සිම්පල් සයිමන් තුළ තියෙන්නෙ. ඉතිරි කොටස ලියන එකත් බාර ඔහුටමයි. ඔහු මේ ලියවිල්ල හරහා තමන් තුළ ලේඛණයේ ඇති සුරුකම මනාව පෙන්වනව.

විෂ්ණු හමුවෙන වෙලාවලදි ඔහු සමුගන්නෙ අත් දෙක බැඳලා ආචාර කරමින්. මං ඒ වෙලාවට කරන්නෙ ඔහුගෙ අත් දෙකත් අල්ලගෙන ඔහුව තදින් වැළඳ ගන්න එක. ඒ ශරීර කූඩුව ඇතුලෙ තියෙන සැහැල්ලුව මට ඒ වෙලාවට දැනෙනව කියලයි මට හිතෙන්නෙ.

සිම්පල් නැති සයිමන්, විෂ්ණු ඉතිරි ටිකත් මේ විධිහටම නොසැලී අදිමු. ජය!

චූලානන්ද සමරනායක

නීතිපති පරාජය කළ නිව් ඩයමන්ඩ් සහ නීතිපතිගේ වංගුවට මැදි වූ එක්ස්ප්‍රස් පර්ල් : සිංගප්පූරු සංචාරවලට ඩොලර් මිලියන 5ක ණයකුත් හොයාගෙන !

නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළ නඩුවේදී මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ නඩුව පැවරීම ද දිගින්-දිගටම ප්‍රමාද කොට නැව් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක වාසියක් අත්කරදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට සැක මතු වේ.

එසේ ම ඕස්ට්‍රේලියානු නීති උපදේශක සමාගමක උපදෙස් මත මීට අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීමේ උත්සාහය ද බරපතළ සැකයට තුදුදෙන්නකි. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ණය මුදලක් ලබාගැනීමට ද මේ වන විට සැලසුම් සකස් කර තිබේ. නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙන්වා දෙන්නේ මෙම නඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිමත් සමුද්‍රීය නීති පද්ධතියක් ලංකාවේ පවතින බවයි.

දින 44ක් පමණයි !

පරිසර යුක්ති කේන්ද්‍රය නියෝජනය කරන නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි කටයුතු මගින් තවත් දින 44කදී මෙම නඩුව පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වන්දි මුදලක් රටට අහිමි විය හැකි බවයි. එනම් මෙරට නීතියට අනුව මෙවැනි වන්දි නඩුවක් වසර 2ක් තුළ පැවරිය යුතුය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට අදාළ වන්දි ලබාගැනීමට නඩු පැවරීමේ වසර 2ක කාලය ලබන මැයි 19දා අවසන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව ?

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නඩුවට අදාළ පූර්ව වන්දි ඇස්තමේන්තුව පවා නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙතෙක් විධිමත් ලෙස සකස් කර නැති බවයි. එසේ ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මීට අදාළ ව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති වාර්තාව, මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකු බාරයට පත්කොට හෝ එය අධ්‍යයනයට රජයේ නීතිඥවරයෙකු පත්කොට හෝ නොමැති බව ද අදාළ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාපිත පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම වාර්තාව සහ ඊට අදාළ වැදගත් ලේඛන නඩුව පැවරීමටත් පෙර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගමේ නියෝජිතයන්ට ලබාදීමේ උත්සහයක් සම්බන්ධයෙන් ද අනාවරණය වී තිබේ. මෙම අනාවරණය වීම නිසා එය තාවකාලිකව වැලකී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් !

2021 මැයි 19දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණියේය. එය මැයි 25 දින පුපුරා ගියේය. ජුනි 02 දින කොළඹ වරායෙන් නාවික සැතපුම් 9ක් දුරට නැව ඇදගෙන යනු ලැබිණි. එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders) නම් සිංගප්පුරු සමාගමකට අයත් මෙම නැව මගින් ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ අනතුර, ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර ලෙස හැඳින්වේ.

විනාශයේ තරම

මෙම බරපතළ අනතුර පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය නෞකාවේ තිබූ අන්තර්ගතය පිළිබඳ මෙසේ සඳහන් කරයි.

‘එම නෞකාවේ තිබූ බහාලුම් 1,486ක් අතරින් 81ක පරිසරයට ඉතා අහිතකර සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබූ අතර, බහාලුම් 349ක තිබූ මෙට්‍රික් ටොන් 9,700ක් වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6,700ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනිගනිමින්, විශේෂයෙන් ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කිලෝමීටර් 750ක මුහුදු ප්‍රදෙශයකත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ද මුහුදු හා වෙරළ සම්පත් ද, අප්‍රිකාවේ සෝමාලියාව දක්වා ද සමුද්‍ර දූෂණය සිදුකරන ලදි.

එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් සහ සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළුවලින් වැසී යන සේ දූෂණය වුවත්, නැව නිසා සිදු වූ මුළු දූෂණයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවාගෙන තිබිණි. මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න භාණ්ඩවලින් නැවත එකතු කරගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 1,762ක් පමණි.’

වගකීම

මේ නිසා 2021 ජුනි 30 වන විට තල්මසුන් අටදෙනෙක්, කැස්බෑවුන් 417ක්, ඩොල්පින් මසුන් 48ක් සහ සමුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබිණි. පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ මෙම මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදුව නැති බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සත්‍ය තොරතුරු සඟවන බවත් ය.

නිව් ඩයමන්ඩ් !

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් මුහුදේ දී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගත්තේ 2020 සැප්තැම්බර් 03දා ය. ග්‍රීක සමාගමකට අයත් මේ නැව, දිගින් මීටර් 330ක් වූ අතර, ඒ තුළ බොරතෙල් ටොන් 2,70,000ක් ක්වේට් සිට ඉන්දියාව වෙත ගෙනයමින් තිබිණි. එහි ගින්න සැප්තැම්බර් 03දා නැවේ යන්ත්‍රාගාරය තුළ හටගත් අතර, එය මුළුමනින්ම නිවා දමන්නට හැකිවූයේ සැප්තැම්බර් 11දා ය.
සිද්ධිය නිසා තෙල් කාන්දුවීමක් සිදුවූ අතර, එය, නැවේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා තිබූ තෙල් මිස ගබඩා ටැංකි තුළ තිබූ තෙල් නොවන බව ප්‍රකාශ විය. ඉන්පසුව මෙම නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන ලද අතර, පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ගොස් තෙල් තොගය ගොඩබා තිබේ.
එසේම මෙම ගින්න නිවීම වෙනුවෙන් වැයවූ මුදල ලෙස ප්‍රකාශිත රුපියල් මිලියන 441, එම නැව අයත් සමාගම මගින් ගෙවන ලදි.

නීතිය

මේ සඳහා බලපවත්නා නීතිය වන්නේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත ය.
මේ පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් මෙන්ම සිවිල් නඩුවක් ද පැවරිය හැකි වේ. මේ පිළිබඳව අපරාධ නඩු පැවරීම කළ හැක්කේ පනතේ 26 වන වගන්තිය යටතේ ය. එසේම සිවිල් නඩුවක් පැවරීමට අදාළ ප්‍රතිපාදන පනතේ 34 වන වගන්‍තියේ දක්වා තිබේ.
මේ නැව් අනතුර වලක්වා ගැනීමට නිසි පරිදි කටයුතු නොකිරීම යන කරුණ පාදක කර ගනිමින් නැවේ කපිතාන්වරයාට එරෙහිව අපරාධ නඩුවක් පවරන ලදි. ඔහු ඊට වරද පිළිගත් අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 12ක දඩයක් නියම කෙරිණි. ඔහු එය ගෙවා තිබිණි.

මිලියන 3,480 ?

නමුත් පරිසර හානියට අදාළ ව තක්සේරු කෙරුණු රුපියල් මිලියන 3,480ක මුදල නැව් සමාගමෙන් ගෙව්වේ නැත. පනතේ 34 වන වගන්තිය යටතේ පවරනු ලබන සිවිල් නඩුවක් හරහා ශ්‍රී ලංකාව මෙම මුදල අයකර ගත යුතුය. නඩුව පැවරිය යුතු බලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවයි. එම නඩුව පැවරීම ප්‍රමාද කරමින් සිට, කෙසේ හෝ නියමිත කාලය අවසාන වන දින නඩුව පැවරිණි.

නීතිපති ම තමයි !

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE), 2022 මාර්තු මාසයේ අනාවරණය වූයේ අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා තිබෙන බවයි. සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ කටයුතු සිදුකිරීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට (Marine Environment Protection Authority – MEPA) පැවරී තිබුණත්, නඩු පැවරීමේ බලය පනතේ 50 වගන්තියට අනුව පැවරී තිබෙන්නේ නීතිපතිවරයා වෙත ය.
එම නිසා මේ නඩුව ගොනුකළ යුත්තේ නීතිපතිවරයා විසිනි.

අධිකරණ ඇමති නිහඬයි !

නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වන මෙම හැසිරීම සම්බන්ධයෙන් විමසීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.

පරෙවි කුළුනේ (Sunlight Tower) හිමිකරු සන්ලයිට් (Sunlight) සබන් නිර්මාතෘ

0

මෙම දර්ශන ඡායාරූප ගත කලේ හිරු එළිය පැහැදිලි නොවූ ශීත සෟතුවේ අවසන් සති කිහිපයේ හවසකය. ඡායාරූප වල වර්ණ සංස්කරණය මෙම භූමි දර්ශනය හා බැඳුනු ඓතිහාසික කතාව ස්මරණය වීම අරමුණු කරගත්තේය. නරඹන්නාගේ මනස තුල අතීතය සහ වර්තමානය අතර පාලමක් එම වර්ණ සංකලනය විසින් නිර්මාණය කරනු ලබයි.

මෙම ඡායාරූප කතාවේ කොනක, ලාංකිකයන් නොදන්නා එහෙත් විෂේශයෙන්ම ශ්‍රී ලාංකික ජන ජීවිත හා සන්නාම වශයෙන් බැඳුනු කොටසක් ඇත. මෙම ලියවිල්ල කියවා හමාර වන විට ලාංකික ඔබට, එන්ගලන්තයේ ලැන්කෂෙයාර් පුදේශයේ ඇති මෙම හුදකලා තැන හුරුපුරුදු ලෙස පෙනෙනු ඇත.

මෙම ඡායාරූප අතර ඇති කූළුණ මගේ මගේ කතාවේ වස්තුබීජය වන අතර මාතෘකාව ලෙස Sunlight Tower යනුවෙන් මා යොදා ඇත්තේ ඇයිදැයි පසුව වැටහෙනු ඇත. එම කුළුණ 1905 සහ 1909 අතර ඉදිකරන ලද Lookout Tower යනුවෙන් හැඳින්වූ අතර පසු කලෙක පරෙවි කුළුණ යනුවෙන් හඳුන්වන්නට ගත්තේය. මෙය ලිවර් සාමිවරයා විසින් තනවා නිම කර ඔහුගේ බිරිඳ එලිසබෙත් එලන්ට උපන්දින තෑග්ගක් ලෙස පිරිනමන ලද්දකි. මෙම ගොඩනැගිල්ල සහ ඒ අවට ⁣වන රිවින්ටන් උද්‍යානය තෝමස් මවුසන්, උද්‍යාන නිර්මාණකරු සහ භූ දර්ශන නිර්මාණ ශිල්පියා විසින් සැළසුම් කර ඇත. භූ දර්ශනවල උස් කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීම ඔහුගේ ශෛලිය වූ අතර ගොඩනැගිල්ලට පසුබිම් වූ රිවින්ග්ටන් ටෙරස් උද්‍යානයේ ඉතාලි කොටසද එවැන්නකි.

ගොඩනැගිල්ලේ, පටු වංගු සහිත ගල් පඩිපෙළකින් සම්බන්ධ කර ඇති තට්ටු හතරක් ඇත. ඉහළ මහලේ ගිනි උදුනක් සහ චිමිනි සහිත කුඩා වාඩි වී සිටි කාමරයක් විය. මෙම ඉහළ කාමරයේ Elizabeth Ellen ගේ විනෝදාස්වාදය සඳහා මැහුම් උපකරණ සහ සංගීත භාණ්ඩ සවි කර ඇති බව විශ්වාස කෙරේ. පරෙවි කුළුණ අවට ගම්බද ප්‍රදේශයේ ඇත්තේ දර්ශනීය දසුනකි. එම නිසා ගොඩනැගිල්ලේ ජනේල බටහිර දෙසට නොව උතුරට, නැගෙනහිරට සහ දකුණට මුහුණලා ලැන්කෂයර් තැනිතලාවේ සහ වෙරළ තීරයේ වඩාත් දර්ශනීය දසුන් දැකීමට සලස්වා ඇත. මෙයින් අපට පවසන්නේ පරෙවි කුළුණ සැලසුම් කර ඇත්තේ භූමි දර්ශන දෙස බැලීමට මිස ආරක්ෂක කටයුතු සඳහා නොවන බවය. අලංකාර සිලින්ඩරාකාර පඩිපෙළ සිත් සිත්ගන්නා සුළුය. එන්ගලන්තයේ බොහෝ බලකොටු සහ පැරණි මාළිගා ගොඩනැගිලිවල දක්ෂිණාවර්තව නැගී එන පඩිපෙළ ඇත, එබැවින් දකුණත් කඩුසටන් කරුවන්ට ඔවුන් නගින විට / බැස යන විට සටන් කළ හැකිය. පරෙවි කුළුණ කිසි විටෙකත් යුධ ආරක්ෂාව සඳහා යොදා නොගත් අතර පඩිපෙළ ඉහළට නැඟෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය. මේ අනුව මෙම කුළුණ සෞන්දර්ය විඳීමට සහ චිත්ත ප්‍රීතිය පිනිස නිමකරවූවක් බව තහවුරු කල හැක.

මෙම පරෙවි කුළුණ හෙවත් Lookout Tower, වර්ග සැතුපුම් 3.5 පමණ ප්‍රමාණයක පලාතක් පුරා පැතිර අඩි දහසක පමණ උසක් දක්වා විහිද ගිය රිවින්ටන් උද්‍යානයේ උච්ඡස්ථානය පමණකි. ඒ දක්වා උද්‍යානය හරහා ඇති දුෂ්කර මාර්ග සෞන්දර්යාත්මක ආශ්වාදයක් සහිත අත්දැකීමක් ගෙන දෙයි. එම මාවත් ගල් පඩි ,දිය පාරවල් ගලා යන ගල්තලා, කුඩා දිය ඇලි උඩින් තනා ඇති කොළ පැහැති පෙඳ පිරුනු පැරණි පාලම්, මඩ වගුරු, වයෝවෟද්ධ ගස්, දිය වෑහෙන ගල් ගුහා, ජලතටාක සහ පැරණි ගෟහ නිර්මාණ අතරින් වැටී ඇත. ඒ සියල්ල අවසානයේ කඳු මුදුන වෙත පැමිනි පසු අප ඉදිරියේ දිස් වන්නේ පරෙවි කුළුණ සහ අංශක 180 ක් පුරා විහිදුනු ලැන්කශෙයාර් තැනිතලාවය. පැහැදිලි අහසක් සහිත දිනයක නම් තැනිතලාව හරහා සැතපුම් 60 ක පමණ දුරින් වන අයර්ලන්ත මුහුද වුවද දැකිය හැකිය. ලැන්කශෙයාර් පුදේශයේ මෙම ස්ථානය තම බිරිඳට තෑගි කිරීමට විළියම් හෙස්කට් ලිවර් සාමිවරයා තෝරා ගැනීම පුදුමයට කරුණක් නොවන බව එම ස්ථානයට ගිය විට අවබෝධවේ.

ලැන්කශෙයාර්හි බෝල්ටන් පෙදෙසේ හැදුනු වැඩුනු විළියම් හෙස්කට් ලිවර් බ්‍රිතාන්‍ය ධනකුවේරයකු බව මේ වන විටත් ඔබට අවබෝධව ඇති. 1851 දී ඉපදුන ඔහු දරුවන් හත් දෙනෙකු සහිත ජේම්ස් ලිවර් පවුලේ වැඩිමහල් දරුවාය. වයස අවුරුදු පහලොවේදී ඔහු සිය පියාගේ ග්‍රොසරි ව්‍යාපාරයට හවුල් විය. පසුව, 1884 දී ඔහු තම සහෝදරයා ජේම්ස් ඩාර්සි ලිවර් සමග එකතුව ලිවර් සහොදරයෝ සමාගම ආරම්භ කරමින් ලෝකයේ විශාලතම සබන් නිශ්පාදන ව්‍යාපාරය ආරම්භ කලේය. ඒ සඳහා ඔහු මෙම ලියුම් කරු අද ජීවත් වන ලිවර්පූල් නගරයට ආසන්න වොරින්ටන්හි කාර්මික ප්‍රදේශයේ සන්ලයිට් සබන් නිෂ්පාදනාගාරය ආරම්භ කළේය. වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වූ අතර, 1884 දී විරල් සහ චෙශායාර් ගම් දෙකට අතර මැද මර්සි ගඟ අසබඩ බිම් තීරුවක ලිවර් සහෝදරයන් විසින් නව කර්මාන්ත ශාලාවක් ඉදිකර එය “පෝට් සන්ලයිට්” (Port Sunlight) යයි නම් කලේය. එසේම කාර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශයේ සැළසුම් සහගත අලංකාර ගෟහනිර්මාණයෙන් සහ උද්‍යානයන් සහිත ගම්මානයක් තම සේවකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. බ්‍රිතාන්‍යයේ තම සේවකයන්ගේ සුභ සිද්ධිය පිළිබඳව වැඩිම අවධානය යොමුකරන සමාගම බවට ලිවර් සමාගම පිළිගැනේ. 1930 වන විට සමාගමේ සේවක සංඛ්‍යාව 250,000 ක් විය. මේ ලිපිය ආරම්භයේදී මා සඳහන් කල පරිදි පරෙවි කුළුණ මුලින්ම ලාංකික ජන ජීවිත හා සම්බන්ධ වන්නට පටන් ගන්නේ මෙම සන්ලයිට් Sunlight සබන් නිර්මාතෘ පරෙවි කුළුනේ හිමිකරුද වීමෙනි. එයට අමතරව ලිවර් සහෝදරයන්ගේ මුල් යුගයේ සබන් සන්නාමයන් වන “ලයිෆ්බොයි” (Lifebuoy), ලක්ස් (Lux) සහ “විම්” (Vim) තවමත් ශ්‍රී ලාංකික ජන ජීවිත වල මතක සටහන් බව නිසැකය.

සටහන සහ ඡායාරූප –

අනුරුද්ධ ලොකුහපුආරච්චි

සිනමාවට අදාළ ජීවිතයෙන් අර්ධයක් වියසිදුරු

0

කොහොමටත් සිදුවන්නේ විය සිදුරට ඇස තබා බලන්නට ය. වියසිදුරට ඇස තබා සිදුර සහිත කලාපයට හේත්තු වී සිදුර තුළින් බලන්නටත් පුළුවන. නැතහොත් ඊට හේත්තු නොවී දුරස්ව සිදුර තුළින් බලන්නටත් පුළුවන.

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් විසින් නිර්මාණය කළ වියසිදුරු චිත්‍රපටය නැරඹිය යුත්තේ වියසිදුර සහිත කලාපයට හේත්තු නොවී,ඉන් ඈත්වී සිදුර වෙත ඇස යොමු කිරීමෙන් යැයි සිතේ. එවිට කිසිවක් බදා වැළඳ ගැනීමකින් තොරව නිර්මාණය දැක්ක හැකිය.

චිත්‍රපටය ඇරඹීමට පෙර මෙවැනි අදහසක් මතු කෙරෙන වාක්‍යයක් තිරයේ දිස්වෙයි. මෙම නිර්මාණය නැරඹීමේදී ඔබට අප කවුරුත් අත්විඳ ඇති සමහර නිර්මාණ අභ්‍යාසයන් මතකයට නැගෙන්නට පුළුවන. ඉන් තොර අලුත් දේවල් බොහෝ විට තිබිය නොහැකිය.

එම ප්‍රකාශය පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එය තමන්ගේ නිර්මාණයේ සීමිතකම් ආවරණය කර ගැනීමට කරන ප්‍රකාශයක් නොවිය යුතු බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි ඇතුළු ඔහුගේ ශිෂ්‍ය සගයන්ට කිව යුතුය.

මෙම චිත්‍රපටය මුහණපා ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ තේමාත්මකව ඔවුන් අලුත් විෂය ප්‍රදේශයක් ගවේෂණය කිරීමෙන් වැළකී සිටීමය. දඩයමේ ජයනාත් ක්‍රෘර පෙම්වතාගේ චරිතය සෑහෙන දුරට සම්පූර්ණ කර ඇති තත්වයක් තුළ තවත් එවැනි චරිතයක් ගොඩ නගන විට තේමාත්මකව නව සිනමා ප්‍රයානයක් වෙත අලුත් නිර්මාණකරුවකු ගමන් කළ යුතුව ඇත. වියසිදුරු තේමාව ඉතා සරල කාරණයක් ද? එය සමස්ත සමාජයම වසා ගත් කාරණයක් නම් තේමාව ප්‍රශ්නයක් හැටියට බරපතළ නැතැයි කිව නොහැකිය. ඕනෑම ගැහැනියක් සහ පිරිමියෙක් තමන් ප්‍රසිද්ධ විවාහයක් හා අප්‍රසිද්ධ ස්ත්‍රී පුරුෂ සබඳතාවක් නඩත්තු කරනවා නම් හා එය ඛේදනීය අත්දැකීමක් බවට පරිවර්තනය වනවා නම්, ඔව් නිසැකවම ප්‍රශ්නය බරපතළ යැයි කිව හැකිය. ඒ ආකාරයට කෝවිඩ් වසංගතයත් බරපතලය. ඉදින් අප සිනමාව ඔස්සේ සොයා යා යුත්තේ වසංගතයේ හා අතිරේක ප්‍රේමයේ හුදු බරපතලකම නොව ඒවා මතු යෙන් සිනමාවට අවශ්‍ය ජීවිතය සොයා ගැනීමටය. මන්ද සිනමාවට වඩා ජීවිතය විශාල බැවින් සිනමාවෙන් සෑම විටම සොයන්නට සිදුවන්නේ ජීවිතය වන හෙයිනි.

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වියසිදුරු මංගල දර්ශනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. ඔහු හංසවිලක් නිර්මාණය කළේ වයස අවුරුදු විසිගණන්වල අග්ගිස්සේ සිටියදීය. එය ඒ මොහොතේ සිනමා කැරැල්ලකි. විවාහක පිරිමියා වෙනත් ස්ත්‍රියක් සමග ප්‍රේම ලෝකයකට ඇතුළු වීමත්, ඊට රාජ්‍ය යාන්ත්‍රණයේ නියෝජිතයා හැටියට පොලිසිය අතපෙවීමත් කෙබඳු ප්‍රශ්නයක්ද? මේ කාරණය පිළිබඳ සාකච්ඡාව හංස විලක් හරහා ඒ මොහොතේ ධර්මසිරි විවෘත මේසයකට කැඳවා තිබුණි. රංජිත්ලාල් නිම්වළල්ල චිත්‍රපටය නිර්මාණය කරන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටියදී ය. ඊට තිබුණේ ලිංගික තේමාවකි. ජිනේ නමැති චරිතය මැදි වූයේ ආදරය හා ලිංගිකත්වය අතර ප්‍රශ්නයකට ය. ඒ 1970 දීය. එම චිත්‍රපටය වැඩිකාලයක් ප්‍රදර්ශනය නොවුණත් අධ්‍යක්ෂවරයකුගේ ප්‍රථම සිනමා නිර්මාණය වශයෙන් එය කැපී පෙනෙන මැදිහත්වීමක් වූයේය. අප කියන්නේ ප්‍රභාත් අගම්පොඩි සහ සිසුන් රංජිත්ලාල් සහ ධර්මසිරි ඉක්මවිය යුතුය යන්න නොවේ. සමාන්තරව ගතහොත් තේමාත්මකව නව්‍ය විය යුතුය යන්නය.

වියසිදුරු චිත්‍රපටයේ හිරන්ත විවාහක, ධනවත් තරුණයෙකි. ඔහු ටානියා නමැති තරුණිය ඇසුරු කරයි. ඔහු සහ ඇය ගමනක් යද්දී අතරමගදී රිය අනතුරක් සිදුවෙයි. තවත් තරුණ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වීම මෙම සිනමා ප්‍රයානයට ප්‍රස්තුත වෙයි. කේන්ද්‍රීය සිදුවීම් දෙකක් මෙහි දක්නා ලැබෙයි. එකක් රිය අනතුරින් පසු අනතුරට පත් තැනැත්තා ගඟට දැමීමෙන් චේතනාන්විතවම මිනිස් ඝාතනයකට හිරන්ත චුදිතයා වීමය. අනෙක ටානියා ඝාතනය කිරීමය. මේ සිදුවීම් දෙක සිදුවීම් ලෙස පවතිනවා විනා ඒ සිදුවීම් මගින් විවෘත වෙන ජීවිත අරුත් සහිත නව්‍ය සිනමැතික අර්ථ සාධනයකට දොරක් තිබේද?

ඉහත ඝාතන සිදුවීම් දෙක ගැනම හිරන්ත කියන විදිහ හා ඒවා හෙළිදරව් වන විදිහ මගින් හිරන්තගේ හා ටානියාගේ රංගයේ අභ්‍යන්තර ද්විරූපතාවක් මතුවෙයි. එහෙත් සංදර්භීය වශයෙන් මෙහි දිශානතීන් මතු කරන්නේ ඒකරූපීවය. රංගයේ ද්විරූපතාව ඔස්සේ බලන විට අනතුරට ලක් වූ තැනැත්තා පිළිබඳ පශ්චාත් මරණීය චේතනාවකින් මේ දෙදෙනාම ක්‍රියා කරන බව පෙනේ. එහෙත් එය එසේ නොවන බව සාධනය කෙරෙන්නේ ටානියා මියගිය පුද්ගලයා පිළිබඳ අනුකම්පක භග්න ස්වරයෙන් කතාකිරීම මතු නොව මරණකරුගේ පියාට වන්දි මුදලක් දීම නොසෑහෙතත් එවැනි අංශුමාත්‍ර හෘදයාංගම බවකින් හෝ ක්‍රියා කරන බව පසක් කැරෙන තත්ත්වය තුළය. හිරන්ත සහ ටානියා අතර අවසාන ජවනිකාව හෙවත් ඔහු විසින් ඇය ක්‍රෘර ලෙස ඝාතනය කිරීම, රළු පිරිමියා සහ අහිංසක ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික චිත්‍රය ඒ විදිහටම ස්ථිර කරයි. මේ අවසානයට එවැනි ඒකරූපීය අවසානයක් නොගෙනෙන්නේ නම් කුමක් විය හැකිද? සමහරවිට එසේනම් පොලිස් ප්‍රධානියෙක් තමන් පොලිසියේ බව හඳුන්වා දී අන්ත සාම්ප්‍රදායික, ඒකමානී අවසානයක් මේ චිත්‍රපටියට ලැබෙන්නේ නැත.

හිරන්ත සැඟවී සිටින ස්ථානයට එන අල්විස් නමැති නීතිවේදියා ගේ භූමිකාව මේ චිත්‍රපටය තුළ ස්ථානගත වෙන්නේ කෙබඳු තැනකද? ඔහුගේ චරිතය විමසීමේදී අල්විස් යනු නීතිඥයෙක් ද, නැතහොත් එම වේශයෙන් එන රහස් පරීක්ෂකයෙක් ද? යන ප්‍රශ්නය පැන නගී. ඔහු රහස් පරීක්ෂකයෙක් යයි නොසිතීම ට තුඩුදෙන කාරණය වන්නේ ඔහු සිටින තැන ම හිරන්ත ගේ පියා විසින් නීතිඥයෙකු එවූ බව දුරකථනයෙන් පැවසීම නිසාය. අනෙක් අතට හිරන්ත ගේ පියා නීතිඥයෙකු ලෙස රහස් නිලධාරියෙකුට රැවටෙන්නට විදියක් ද නැත. මන්ද ඔහු වැනි කෙනෙකු තම පුත්‍රයා සම්බන්ධ මෙවැනි බරපතළ කාරණයකට එවන්නේ තමන් හොඳින් දන්නා අයකු මිස නොදන්නා කෙනෙකු නොවේ. එය මෙසේත් විය හැකිය.

මෙම සිදුවීමේ ක්‍රෘරත්වය සලකා බලා නීතිඥයා රහස් පරීක්ෂකයෙකු ගේ කාර්යය කරන්නට ඇතැයිද සිතිය හැකිය. සිදුවූයේ කුමක් වුවත් මේ සියලු සිදුවීම් වලට දෘෂ්ටිමය වශයෙන් බහුමානිත අරුත් සපයන ආස්ථානයක සිනමා සලකුණ තබන්නට ප්‍රභාත් අගම්පොඩි ඇතුළු පිරිසට හැකි වුණි නම් වියසිදුරු වෙසෙස් නිර්මාණයක් බවට පත් වෙන්නට ඉඩ තිබුණි.

ප්‍රස්තුතය සාම්ප්‍රදායික වනවානම් අනිවාර්යෙන්ම එහි දෘෂ්ටිය හා ආකෘතියත් සාම්ප්‍රදායික නම් එමගින් ගෙන දෙන ප්‍රතිඵල අල්පය. පවුල කේන්ද්‍රීය ප්‍රශ්න හා ලිංගික තේමාවන් පරණ වන්නේ නැත. එහෙත් පවුල පිළිබඳ ප්‍රශ්නය නිර්මාණකරුවා ආරෝපණය කර ගන්නා ආකාරය විසින් ප්‍රස්තුතය අලුත් විදිහකට දැකීමට සහෘදයා පොළඹවයි. නිම්වළල්ල සහ හංස විලක් අද ඒ ආකාරයට කිරීම මගින් ප්‍රේක්ෂාවට නවතාවක් ශේෂ නොවේ. එයම කරනවා නම් ඊට අන්තර්ගතමය හා ආකෘතිකමය වශයෙන් වෙනත් තානයක් ලබා දිය යුතුමය. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයේදී බස්රියක් ඇතුළත සමස්ත සමාජයේ හරස් කැපුමක් ජීවිතය දක්වා ්ප්‍රවර්තනය කරන ආකාරය ආසන්න උදාහරණයට ගත හැකිය. නැවත පෙන්වන්නේ දඩයම නම් ශ්‍රී ලංකාවට ඕනෑ දඩයම වෙනත් රූපික හා අන්තර්ගතමය අරුතකින් කියවා ගැනීමට ය.

මෙම චිත්‍රපටයට දායක වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිසුන් අතගසා ඇත්තේ සුවිශේෂ කර්තව්‍යයකටය. මේ සා අසීරු වැඩකට අත ගසන්නට වර්තමාන සිසුහු කල්පනා නොකරති. නිසැකවම ඔවුනට අනාගතවාදී ගුරු පිරිසකගේ මගපෙන්වීම ලැබී තිබෙන බව මෙම නිර්මාණයෙන් පෙනී යයි. මෙතරම් මහන්සි වන්නට අකමැති ගුරු-ශිෂ්‍ය ලෝකයක ඔවුන් වියසිදුරු වෙනුවෙන් දක්වා ඇති කැපවීම ප්‍රශස්තය. පැසසුම් කටයුතු ය. සැබැවින්ම ඔවුන්ගේ සැබෑ හැකියාවන් හා චින්තන විලාසය දැකගත හැකි වන්නේ ඔවුන් කරන ඊළඟ නිර්මාණයෙනි.

    විමලනාත් වීරරත්න