ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණ ලෙස පෙන්වා දෙනු ලබන්නේ, අරගල යුගයේ අවුල්සහගත තත්ත්වයෙන් යථාතත්ත්වයට පත්කිරීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් රටට ලබාදුන් විශාලතම ණය මුදල ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි.
ජනාධිපතිවරයා එම කාර්යයට සුදුසුම පුද්ගලයා බවටත් ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවටත් වන පණිවිඩය සංසරණය වෙමින් පවතී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල රටට පැමිණ වැඩි කල් යන්නට මත්තෙන්, පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ අතර, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ද පහත දමනු ලැබීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනප්‍රිය නොවන ආර්ථික අභියෝග භාර ගනිමින් සිටී. මෙහිදී ජනාධිපතිවරයා තමන් විසින් කළ යුතු දේ කිරීමට පසුබට නොවන ආකාරය ද දක්නට ලැබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ මැතිවරණ සම්බන්ධයෙන් මුනිවත රකින්නට එක් හේතුවක් වන්නේ, ජනාධිපතිවරයා දුෂ්කර කාර්යයන් සමඟ කටයුතු කරන ආකාරයට විරුද්ධ වීමට අකමැති නිසා යැයි අනුමාන කළ හැකිය. ඛණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සහ ඉන්ධන බෙදා හැරීම සඳහා හමුදාව කැඳවීම, ආණ්ඩුව විසින් තමන් සිදුකළ යුතු යැයි විශ්වාස කරන දේ නොනැවතී සිදුකරන බවට සළකුණකි. මීට අමතරව, වැඩවර්ජන ක්‍රියාමාර්ගයේ නායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා ඇත. එසේම වර්ජක සේවකයන් මැසිවිලි නඟන්නේ හමුදාව විසින් තමන්ට වැඩ කරන ලෙස බල කරන බවටය.
අකාර්යක්ෂමතාව, සේවක අතිරික්තය සහ දූෂණය හේතුවෙන් පසුගිය දශක කිහිපය තිස්සේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම සමඟ ද ආණ්ඩුව ඉදිරියට යමින් සිටී. ආණ්ඩුවේ මෙම මුලපිරීම, රජයේ භාණ්ඩාගාරයේ මුදල් නාස්තිකාර ලෙස ඉවතට ගලායෑම වැලැක්වීමට මෙන්ම, ජාතික වත්කම්වල ඵලදායිතාව ඉහළ නැංවීමට මගක් ලෙස සමාජයේ ඇතැම් කොටස්වල පැසසුමට ලක්ව ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පවා පෞද්ගලිකකරණය කළ පසු වැඩි ලාභයක් උපයනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේවෙතත් මෙම පෞද්ගලිකකරණය අභ්‍යන්තර ගනුදෙනු හරහා සිදුවනු වෙනුවට, තරඟකාරී ලංසු තැබීමේ පදනම මත සිදුවන බවට සහතික විය යුතුය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කර ඇති පරිදි, දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසි හරහාද බොහෝ දේ අපේක්ෂා කෙරී ඇත.
වෙනත් ලෝකයක්
අනෙක් අතට, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහය, එනම් ඒවායේ කාර්ය මණ්ඩලය අඩු කිරීම, මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ ගොදුරු බවට පත්වන්නන් අතර දැඩි කනස්සල්ලට හේතුවී තිබේ. ආර්ථිකය තුලනය කිරීම සඳහා යැයි පැවසෙන මෙම ක්‍රියාවලියේදී, රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන් විශාල සංඛ්‍යාවක් ඉවත්කෙරෙනු ඇත. ඔවුන් මෙතෙක් ලබමින් සිටි ත්‍යාගශීලී අතිකාල ගෙවීම් වැනි දෑ වෙනුවට, ඔවුන්ට රැකියාවෙන් ඉවත්වීමට සිදුවනු ඇත. යම් ජීවන තත්ත්වයකට හුරුවී සිටින තම පවුල් නඩත්තු කරන්නේ කෙසේදැයි ඔවුන් නිතැතින්ම කනස්සල්ලට පත්වීම වැලැක්විය නොහැකිය. මේ අතර,මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සමාජ ආරක්ෂණ දායකත්වය වෙනුවෙන් රජය වෙන්කරනු ලබන කොටසේ ප්‍රමාණවත්භාවය පිළිබඳවද සැක මතුව ඇත. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල එම දායකත්වය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක් වන විට, මෙරට එම ප්‍රතිශතය සියයට 0.6 ක් පමණකි.
පසුගිය වසරේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් මිල දෙගුණ තෙගුණ වීමත් සමඟ සිදු වූ ආර්ථිකයේ කඩාවැටීම රටේ සෑම ජන කොටසකටම බලපෑ අතර, එහි වැඩි බලපෑම එල්ලවූයේ වඩා දුප්පත් ජනතාවටය. එය මිලියන ගණනක් මිනිසුන් දරිද්‍රතාවට ඇද දැමීය. පසුගිය වසර තුන තුළ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පිරිසගේ සැළකිවයුතු වර්ධනයක් පවතින බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත. 2019 දී මිලියන 03 කට ආසන්න ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් රැඳී සිටි අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී එම සංඛ්‍යාව මිලියන 9.6 දක්වා, එනම් ජනගහණයෙන් සියයට 42 කට වඩා වැඩි වී තිබේ. ජනගහණයෙන් සියයට 70කට පමණ තමන් ලබාගන්නා ආහාර ප්‍රමාණ අඩුකිරීමට සිදුවී ඇති බවද අධ්‍යයනවලින් හෙළි වී තිබේ. තමන්ට අවශ්‍ය වෛද්‍ය සේවා සහ ඖෂධ ලබාගැනීමට නොහැකිව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මාධ්‍ය වාර්තා පළවී ඇත.
රටේ සෑම තරාතිරමකම මිනිසුන් සිය දහස් ගණනක් ආණ්ඩුවට එරෙහිව කොළඹ සහ වෙනත් තැන්වල විරෝධතා දැක්වීමට පෙළඹවූයේ මෙම මංමුලාසහගත තත්වයයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමට වෙහෙස මහන්සි වන පිරිස වූ නමුත්, එම අනාගතය හදිසියේම ඔවුන්ගෙන් උදුරාගෙන තිබිණි. ත්‍රිරෝද රථ රියැදුරකු වරක් මාහට පැවසූ ආකාරයට, ඔහුගේ දරුවන් තිදෙනාට දිනපතා පාසල් රැගෙන යෑමට බිස්කට් පැකැට්ටුවක් සහ කිරි පැකැට්ටුවක් ලබාදීම පුරුද්දක් කරගෙන සිටි නමුත්, දැන් එය සිදුකිරීමට නොහැකි ඇයිද යන්න කුඩාම දරුවන් දෙදෙනාට පැහැදිලි කරදීමේ හැකියාවක් නොමැතිවී තිබේ.
ගැටෙන ලෝක
අද ශ්‍රී ලංකාව තුළ ලෝක දෙකක ජීවත් වන මිනිස්සු සිටිති. එක් පිරිසක් රැල්ලට නැග ඉහළට යෑමට සමත් වන අතර, අනෙක් පිරිස යටි ප්‍රවාහයට හසු වී පහළට ඇද වැවෙමින් සිටිති. ආර්ථික වර්ධනයේ ඇන්ජිම ලෙස පෞද්ගලික අංශයට වැඩි සම්පත් සැපයීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල රජයට සහාය දක්වමින් සිටී. 2025 දක්වා නව දේපල, ධන සහ උරුම බදු ඔස්සේ ඔවුන් දිගු කාලින සැලසුම් සකස්කර ඇත. කෙසේවෙතත්, ක්ෂණිකව ගෙවිය යුතු බදු බැරකර ඇත්තේ දුප්පතුන් වෙතය. ඔවුන්ට ගෙවීමට සිදුව ඇත්තේ, සෘජු බදුවලට වඩා, රජයට වැඩි බදු ආදායමක් ලැබෙන වක්‍ර බදු ය. බොහෝ නව බදු ආදායම් රැස්කෙරෙන්නේ, 2022 මැයි මාසයේදී සියයට 08 සිට 12 දක්වා සහ සැප්තැම්බර් මාසයේදී සියයට 15 දක්වා ඉහළ නංවන ලද, අගය එකතු කළ බදු (VAT) මගිනි. වැට් බද්ද ධනවතුන්ට සහ දුප්පතුන්ට එක හා සමානව බලපාන නමුත්, දෙවැනි කණ්ඩායමේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරනු ලබයි.
ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවටත්, තමන් සමග එක්වීමට විපක්ෂයේ දේශපාලනඥයන් පෙළ ගැසෙමින් සිටින බවටත් ආණ්ඩුව විසින් සිදුකරන ප්‍රබල සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව තිබේ. දරිද්‍රතා මට්ටමට ඉහළින් සිටින සහ වර්තමාන මිල ගණන් දරාගැනීමට හැකියාව ඇති අයට මෙය උනන්දුවක් ඇතිකරවන කාරණයක් විය හැකිය. එහෙත් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින පිරිස යථාර්ථය දනිති. වඩාත් නරක බව දන්නා පුද්ගලයන් සම්බන්ධයෙන්, ඔවුන් වඩා හොඳ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ කොතෙක් ප්‍රචාරණයන් ගෙනගියද, ඔවුන්ට එය ඒත්තු ගැන්විය නොහැක. විදුලි මිල ඉහළ දැමීම, සමානුපාතිකව ධනවත්ම පිරිසට වඩා දුප්පත්ම පිරිස මත වැඩි පීඩනයක් එල්ලකර ඇත. එහිදී, පහළම ස්ථරයේ සිටින පිරිසට, ඔවුන් පෙර ගෙවූවාට වඩා තුන් හතර ගුණයකින් වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර, ඉහළ ස්ථරය නියෝජනය කරන පිරිස ගෙවන්නේ දෙගුණයක් පමණකි. මෑතකදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉතා සැළකිව යුතු මුදලකින් අඩු වූ නමුත්, එම සහනය දුප්පතුනට අවශ්‍ය කෙරෙන ඉන්ධන වර්ගය වන භූමිතෙල් සඳහා නොවීය. ආර්ථික පිරමීඩයේ පතුලේ සිටින අයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ, එසේ නොකරන්නේ නම්, කඩිනමින් මැතිවරණ පවත්වා ආණ්ඩුව ඉවත්ව යෑම බව අමුතුවෙන් කිව යුතු නැත.
තම ප්‍රමුඛතාවය ආර්ථිකය නඟා සිටුවීම මිස මැතිවරණ පැවැත්වීම නොවන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා නැවත නැවතත් අවධාරණය කර ඇත. මැතිවරණයකදී විරෝධතා ඡන්ද හිම පතනයක් ලෙස තමන්ට දැඩි ලෙස පහර දිය හැකි බවත්, තම පාලනය තවදුරටත් නීත්‍යනුකූල නොවන බවත් ආණ්ඩුව දනී. බොහෝ විවේචනයට ලක්ව ඇති, තවමත් කෙටුම්පත් ස්වරූපයෙන් පවතින ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරමින්, නව නීතියක් ලෙස ගෙනැවිත් තම බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරයි. ජාතික ආරක්ෂාව සඳහා යැයි ප්‍රකාශ කෙරෙන මෙම යෝජිත නීතිය කෙටුම්පත් කර ඇත්තේ අරගලයෙන් පසුවය. එමගින් ආණ්ඩුව විවේචනය කිරීම හෝ ඊට එරෙහිව පෙළගැසීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දැක්විය හැකි පරිදි පුළුල් ලෙස අර්ථකථනය කර ඇත. ඕනෑම පොලිස් නිලධාරියකුට හෝ ආරක්ෂක හමුදා නිලධාරියකුට, යම් පුද්ගලයකු සහ එම පුද්ගලයා සාමාජිකත්වය දරන සමස්ත කණ්ඩායමක් හෝ සංවිධානයක් අත්අඩංගුවට ගැනීමට මෙමගින් බලය ලබාදී ඇත.
මේවා දෙලොව ගැටීමට නියමිත බවට, පෙර දැකගත හැකි අසුබ නිමිති ය. මෙහිදී ඇත්තෙන්ම ජාතික අවශ්‍යතාවයට වඩා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ ආත්මාරක්ෂාව බව පැහැදිලි ය. එසේම ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ යුක්තිසහගත ආඛ්‍යානයක් රැගෙන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අත්තනෝමතික පාලනයකින් ප්‍රතිස්ථාපනය කෙරෙමින් පවතින බවද දැකගත හැකිය.
ජෙහාන් පෙරේරා