පරෙවි කුළුනේ (Sunlight Tower) හිමිකරු සන්ලයිට් (Sunlight) සබන් නිර්මාතෘ

Share post:

මෙම දර්ශන ඡායාරූප ගත කලේ හිරු එළිය පැහැදිලි නොවූ ශීත සෟතුවේ අවසන් සති කිහිපයේ හවසකය. ඡායාරූප වල වර්ණ සංස්කරණය මෙම භූමි දර්ශනය හා බැඳුනු ඓතිහාසික කතාව ස්මරණය වීම අරමුණු කරගත්තේය. නරඹන්නාගේ මනස තුල අතීතය සහ වර්තමානය අතර පාලමක් එම වර්ණ සංකලනය විසින් නිර්මාණය කරනු ලබයි.

මෙම ඡායාරූප කතාවේ කොනක, ලාංකිකයන් නොදන්නා එහෙත් විෂේශයෙන්ම ශ්‍රී ලාංකික ජන ජීවිත හා සන්නාම වශයෙන් බැඳුනු කොටසක් ඇත. මෙම ලියවිල්ල කියවා හමාර වන විට ලාංකික ඔබට, එන්ගලන්තයේ ලැන්කෂෙයාර් පුදේශයේ ඇති මෙම හුදකලා තැන හුරුපුරුදු ලෙස පෙනෙනු ඇත.

මෙම ඡායාරූප අතර ඇති කූළුණ මගේ මගේ කතාවේ වස්තුබීජය වන අතර මාතෘකාව ලෙස Sunlight Tower යනුවෙන් මා යොදා ඇත්තේ ඇයිදැයි පසුව වැටහෙනු ඇත. එම කුළුණ 1905 සහ 1909 අතර ඉදිකරන ලද Lookout Tower යනුවෙන් හැඳින්වූ අතර පසු කලෙක පරෙවි කුළුණ යනුවෙන් හඳුන්වන්නට ගත්තේය. මෙය ලිවර් සාමිවරයා විසින් තනවා නිම කර ඔහුගේ බිරිඳ එලිසබෙත් එලන්ට උපන්දින තෑග්ගක් ලෙස පිරිනමන ලද්දකි. මෙම ගොඩනැගිල්ල සහ ඒ අවට ⁣වන රිවින්ටන් උද්‍යානය තෝමස් මවුසන්, උද්‍යාන නිර්මාණකරු සහ භූ දර්ශන නිර්මාණ ශිල්පියා විසින් සැළසුම් කර ඇත. භූ දර්ශනවල උස් කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීම ඔහුගේ ශෛලිය වූ අතර ගොඩනැගිල්ලට පසුබිම් වූ රිවින්ග්ටන් ටෙරස් උද්‍යානයේ ඉතාලි කොටසද එවැන්නකි.

ගොඩනැගිල්ලේ, පටු වංගු සහිත ගල් පඩිපෙළකින් සම්බන්ධ කර ඇති තට්ටු හතරක් ඇත. ඉහළ මහලේ ගිනි උදුනක් සහ චිමිනි සහිත කුඩා වාඩි වී සිටි කාමරයක් විය. මෙම ඉහළ කාමරයේ Elizabeth Ellen ගේ විනෝදාස්වාදය සඳහා මැහුම් උපකරණ සහ සංගීත භාණ්ඩ සවි කර ඇති බව විශ්වාස කෙරේ. පරෙවි කුළුණ අවට ගම්බද ප්‍රදේශයේ ඇත්තේ දර්ශනීය දසුනකි. එම නිසා ගොඩනැගිල්ලේ ජනේල බටහිර දෙසට නොව උතුරට, නැගෙනහිරට සහ දකුණට මුහුණලා ලැන්කෂයර් තැනිතලාවේ සහ වෙරළ තීරයේ වඩාත් දර්ශනීය දසුන් දැකීමට සලස්වා ඇත. මෙයින් අපට පවසන්නේ පරෙවි කුළුණ සැලසුම් කර ඇත්තේ භූමි දර්ශන දෙස බැලීමට මිස ආරක්ෂක කටයුතු සඳහා නොවන බවය. අලංකාර සිලින්ඩරාකාර පඩිපෙළ සිත් සිත්ගන්නා සුළුය. එන්ගලන්තයේ බොහෝ බලකොටු සහ පැරණි මාළිගා ගොඩනැගිලිවල දක්ෂිණාවර්තව නැගී එන පඩිපෙළ ඇත, එබැවින් දකුණත් කඩුසටන් කරුවන්ට ඔවුන් නගින විට / බැස යන විට සටන් කළ හැකිය. පරෙවි කුළුණ කිසි විටෙකත් යුධ ආරක්ෂාව සඳහා යොදා නොගත් අතර පඩිපෙළ ඉහළට නැඟෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය. මේ අනුව මෙම කුළුණ සෞන්දර්ය විඳීමට සහ චිත්ත ප්‍රීතිය පිනිස නිමකරවූවක් බව තහවුරු කල හැක.

මෙම පරෙවි කුළුණ හෙවත් Lookout Tower, වර්ග සැතුපුම් 3.5 පමණ ප්‍රමාණයක පලාතක් පුරා පැතිර අඩි දහසක පමණ උසක් දක්වා විහිද ගිය රිවින්ටන් උද්‍යානයේ උච්ඡස්ථානය පමණකි. ඒ දක්වා උද්‍යානය හරහා ඇති දුෂ්කර මාර්ග සෞන්දර්යාත්මක ආශ්වාදයක් සහිත අත්දැකීමක් ගෙන දෙයි. එම මාවත් ගල් පඩි ,දිය පාරවල් ගලා යන ගල්තලා, කුඩා දිය ඇලි උඩින් තනා ඇති කොළ පැහැති පෙඳ පිරුනු පැරණි පාලම්, මඩ වගුරු, වයෝවෟද්ධ ගස්, දිය වෑහෙන ගල් ගුහා, ජලතටාක සහ පැරණි ගෟහ නිර්මාණ අතරින් වැටී ඇත. ඒ සියල්ල අවසානයේ කඳු මුදුන වෙත පැමිනි පසු අප ඉදිරියේ දිස් වන්නේ පරෙවි කුළුණ සහ අංශක 180 ක් පුරා විහිදුනු ලැන්කශෙයාර් තැනිතලාවය. පැහැදිලි අහසක් සහිත දිනයක නම් තැනිතලාව හරහා සැතපුම් 60 ක පමණ දුරින් වන අයර්ලන්ත මුහුද වුවද දැකිය හැකිය. ලැන්කශෙයාර් පුදේශයේ මෙම ස්ථානය තම බිරිඳට තෑගි කිරීමට විළියම් හෙස්කට් ලිවර් සාමිවරයා තෝරා ගැනීම පුදුමයට කරුණක් නොවන බව එම ස්ථානයට ගිය විට අවබෝධවේ.

ලැන්කශෙයාර්හි බෝල්ටන් පෙදෙසේ හැදුනු වැඩුනු විළියම් හෙස්කට් ලිවර් බ්‍රිතාන්‍ය ධනකුවේරයකු බව මේ වන විටත් ඔබට අවබෝධව ඇති. 1851 දී ඉපදුන ඔහු දරුවන් හත් දෙනෙකු සහිත ජේම්ස් ලිවර් පවුලේ වැඩිමහල් දරුවාය. වයස අවුරුදු පහලොවේදී ඔහු සිය පියාගේ ග්‍රොසරි ව්‍යාපාරයට හවුල් විය. පසුව, 1884 දී ඔහු තම සහෝදරයා ජේම්ස් ඩාර්සි ලිවර් සමග එකතුව ලිවර් සහොදරයෝ සමාගම ආරම්භ කරමින් ලෝකයේ විශාලතම සබන් නිශ්පාදන ව්‍යාපාරය ආරම්භ කලේය. ඒ සඳහා ඔහු මෙම ලියුම් කරු අද ජීවත් වන ලිවර්පූල් නගරයට ආසන්න වොරින්ටන්හි කාර්මික ප්‍රදේශයේ සන්ලයිට් සබන් නිෂ්පාදනාගාරය ආරම්භ කළේය. වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වූ අතර, 1884 දී විරල් සහ චෙශායාර් ගම් දෙකට අතර මැද මර්සි ගඟ අසබඩ බිම් තීරුවක ලිවර් සහෝදරයන් විසින් නව කර්මාන්ත ශාලාවක් ඉදිකර එය “පෝට් සන්ලයිට්” (Port Sunlight) යයි නම් කලේය. එසේම කාර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශයේ සැළසුම් සහගත අලංකාර ගෟහනිර්මාණයෙන් සහ උද්‍යානයන් සහිත ගම්මානයක් තම සේවකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. බ්‍රිතාන්‍යයේ තම සේවකයන්ගේ සුභ සිද්ධිය පිළිබඳව වැඩිම අවධානය යොමුකරන සමාගම බවට ලිවර් සමාගම පිළිගැනේ. 1930 වන විට සමාගමේ සේවක සංඛ්‍යාව 250,000 ක් විය. මේ ලිපිය ආරම්භයේදී මා සඳහන් කල පරිදි පරෙවි කුළුණ මුලින්ම ලාංකික ජන ජීවිත හා සම්බන්ධ වන්නට පටන් ගන්නේ මෙම සන්ලයිට් Sunlight සබන් නිර්මාතෘ පරෙවි කුළුනේ හිමිකරුද වීමෙනි. එයට අමතරව ලිවර් සහෝදරයන්ගේ මුල් යුගයේ සබන් සන්නාමයන් වන “ලයිෆ්බොයි” (Lifebuoy), ලක්ස් (Lux) සහ “විම්” (Vim) තවමත් ශ්‍රී ලාංකික ජන ජීවිත වල මතක සටහන් බව නිසැකය.

සටහන සහ ඡායාරූප –

අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...