ගෝඨාභයට, යෝෂිතට නැතත් ; ජීවන වියදම ඉහළ දැමීමට එරෙහි ජාතික ජන බලවේගයේ විරෝධතාවට සහභාගි වූ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් !

Share post:

අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ පැවති විරෝධතාවකට සහභාගි වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න thetime.lk වෙත පැවසුවේ සිය පොලිස් කොට්ඨාසයට අයත් වෙල්ලාවලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු ජාතික ජන බලවේගය මගින් සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වී ඇති බවයි. ඔහු එහිදී ක්‍රියාකාරී ලෙස කටයුතු කර ඇති බවත්, ඒ පිළිබඳ තමන් යටතේ කලවන්චිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කළ මූලික විමර්ශනයෙන් පසු වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකරනු ලබන්නේ මඩකලපුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බව ද පැවසීය.

ඊයේ (05) මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර, අදාළ විරෝධතාව පවත්වා ඇත්තේ පසුගිය 26දා ය. ජීවන වියදම බරපතළ ලෙස ඉහළ යෑමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.

‘අදාළ නෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ පොලිස් නිලධාරීන්ට ඇති වෘත්තීය අයිතිවාසිකම් සීමාසහිත බවයි. ජාතික ජන බලවේගයේ රැස්වීම් සම්බන්ධයෙන් මෙන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ රැස්වීම් සම්බන්ධයෙන් ද මේ ආකාරයට පියවර ගන්නේදැයි විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම පියවර ගැනීමේදී පක්ෂය හෝ කණ්ඩායම අදාළ නොවන බවයි.

එසේ මීට පෙර ආණ්ඩු පක්ෂයට අදාළ රැස්වීම්වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන ඇත්දැයි විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි සිදුවීම් පිළිබඳ මතකයක් මේ මොහොතේ තමන්ට නැති බවයි. මෙය අදාළ වන්නේ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් බව ද ඔහු පැවසීය.

මේ අතර ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, එක් නිලධාරියෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද විභාග වේ.

අයිතිවාසිකම් ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ රජයෙන් ගිනි අවියක් නිකුත් කර ඇති, එනම් සන්නද්ධ අංශයක සාමාජිකයෙකුට වෘත්තීය අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (8) යටතේ දැක්වෙන බවයි.

ව්‍යවස්ථාවේ 15(8)

’12 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවෙන්, 13 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට, පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ රටේ යථාපැවැත්ම බාර ව සිටින වෙනත් හමුදාවල සාමාජිකයන්ට අදාළ වීමේදී එම අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද, ඔවුන්ගේ කාර්යයන් යථාපරිදි ඉටුකරවා ගැනීම සහ ඔවුන් අතර විනය පවත්වාගැනීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව ය.’

උදාහරණ ?

කෙසේ වෙතත් නීතිවේදීන් අවධාරණය කරන්නේ මෙහි 12(1) ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සඳහන් වුවද, නීතිය ඉදිරියේ සියල්ලන් සමාන විය යුතුය යන ලෝකයේ පිළිගත් මූලධර්මය මත පදනම් ව මානව හිමිකම් කොමිසම ඉදිරියට ගොස් සාධාරණයක් ඉටුකරවා ගැනීමේ දුෂ්කර අවස්ථාවක් සම්බන්ධයෙන් ද යම් අදහසක් පළකළ හැකි බවයි.

2010 ජනාධිපතිවරණ කාලයේදී සහ 2014 පළාත් සභා මැතිවරණ කාලයේදී එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් උදය ගම්මන්පිලගේ මැතිවරණ වේදිකා ඇමතීම, 2010 ජනාධිපතිවරණ කාලයේදී නාවික හමුදා නිල ඇඳුමෙන් යෝෂිත රාජපක්ෂ මාතලේ ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවක අදහස් පළකිරීම වැනි උදාහරණ එවැනි අවස්ථාවලට උදාහරණ වේ. මෙම පොලිස් නිලධාරියාගේ සිදුවීම සහ එම උදාහරණවල තරමක වෙනසක් ඇතත්, සමස්තයක් ලෙස ගැනීමේදී එම උදාහරණ සාධාරණ තර්කයක් ගොඩනැගීම සඳහා වැදගත් බව ද නීතිවේදීහු පෙන්වා දෙති.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...