නිර්මාණකරුවෙක් කියන්නේ ජීවිත විවච්ඡේදකයෙක්. බොහෝ ආධුනික නිර්මාණකරුවන් සිය අනුභූතින් මහා සමාජයකින් සොයා යද්දි, සියුම් නිරීක්ෂණයක් සහිත ජීවිත විවච්ඡේදක නිර්මාණකරුවෙක් අනුභූතින් සොයා ගන්නේ මිනිස් ජීවිත වල සියුම් තැන්වලින්. ඒ සියුම් අත්දැකීම් පුලුල් ජීවන අරුතක් සහිත නිර්මාණයක් බවට පෙරලන්නට ඔවුන් සමත්. මෙහිදී කවියා විශේෂයි. එයට හේතුව ඉතාමක් කෙටි අවකාශයක සියුම් ජීවන අත්දැකීම පුලුල් සමාජ දැක්මක් සහිතව ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු හෝ ඇය සමත්විය යුතු වෙනවා.එය හැමවිටම අභියෝගයක්. මේ සුවිශේෂ කාරනය විසින් පැනෙන අවකාශීය ඉඩ තුල චේත්‍යා විදානපතිරණ නවක කිවිඳියගේ “නමක් නැති හිතවතෙක්” කාව්‍ය සංග්‍රහය ස්ථානගත කරන්න කැමතියි.
චේත්‍යා ගේ මුලු කෘතිය පුරාම දැකි හැකි පොදු සාම්‍යය වන්නේ ජීවිතයේ ශෝකී ඉම් ඉසව් ඇය සිය අන්වීක්ෂික නෙත යොමු කිරීම. එමතු නොව ඇය එම නිරීක්ෂණයන්ගෙන් හඳුනාගන්නේ වෙනත් නිර්මාණකරුවෙකුට පවා ආගන්තුක ජීවන ලක්ෂණයන්. ඉන් නොනැවතී ඇය එය ව්‍යාංගාර්ථවත් කරන්නේ තමා අවට භෞතික පාරිසරික ලෝකයේ සමාන නිශ්චිතයන් සොයා ගනිමින්. නවක කිවිඳියක ලෙස ඇය පෙන්වන මේ සුබ ලකුණ ඉතාම ප්‍රබල බවයි අපට වැටහෙන්නේ.
නොසැලී සුළඟ මැඩ ගෙන
නොනිවී අවට එළි කොට
තනියෙන් ම දරාගෙන
කෙලින් සිටිනා අතරම
උණු වී ටිකෙන් ටික
කඳුළු වැගිරී අවසන
දැවී කෙළවර විය යුතුය
ඉටිපන්දම.
(ඉරණම – පිටුව 20)
ඇය මේ පද කිහිපය තුල අපට පවසන පුලුල් ජීවන දහම විමසන්න. අප විසින් ගෙවනු ලබන්නේ කොන්ත්‍රාත්මය ජීවිතයක්. උපභෝග පරිභෝග භාණ්ඩීකරණයට මුලු දිවිය පුරා වෙහෙස වෙනවාට වඩා, සිය කෙටි ජීවිතය තුල තවන් දැවී වුව අනුනගේ ජීවිත එළිය කළයුතු බව ඇය පවසන අපූරුව අප ඉහතින් සඳහන් කළ සියුම් නිරීක්ෂණමය ගුණයක්.
කල්ප කාලාන්තරයකට පසුවත්
මල් වඩම් වල කපුරු සුවඳක්
ගලාවිත් අතීතේ තැනකින්
නාස්පුඩු හා හුස්ම සිර කරයි
මානවයා සිය ජීවන සන්නිවේදනය සිදුකරගන්නේ පංචේන්ද්‍රියන් ආශ්‍රය කරගෙන. එසේ එක් ඉන්ද්‍රියක් වන නාසය භාවිතා කරමින් ඔවුන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරනවා. ඒවා මතකයේ තැන්පත් වී ඇති තර ජීවිතයේ කිසියම්ම මොහොතක සංකේතීය ලෙස අහඹු මතුවීමක් සිදුකර අපගේ නොස්ටැල්ජියානු මතක අවදිකරනවා.
චිතකයන් ගිනිගත් නමුත්
ගින්නටත් ඔරොත්තු දෙන මතක
හිතේ පැලපදියම්ව
සිහි කැඳවුම් ගෙන එයි
” ගින්නටත් ඔරොත්තු දෙන මතක” අපූරු කාව්‍යාත්මක යෙදුමක්. සමහර ගැඹුරු ජීවන මතකයන් තුල දැඩි බව එහෙමයි. ඇය කවිය අවසන් කරන්නේ ජීවිතයේ ශෝකාකූල බව අපූරු පරිසර කැන්වසයක් මත සිතුවම් කරමින්.
දිගු කඳුළු වැස්සකින් අනතුරුව
ඉඳ හිට පිපෙන බිම් මලක්
සංවේග ප්‍රාප්ත ව
බිමට නැඹුරු වුණු මුහුණින් සිටියි
(සංවේගයෙන් දැනුම් දීමයි – පිටුව 21)
චේත්‍යා ගේ සමස්ථ කවිකම තුලම ඇය ජීවිතය දෙස බලන උපේක්ෂාභරිත, සානුකම්පික, සාංදෘෂ්ඨිකවාදී දැක්ම අඩු වැඩි වශයෙන් සෑම කවියකින්ම මතු වෙනවා. එය ඇගේ කාව්‍ය කෘතියේ මහා පෙදු ගුණාකාරය බවට පත්ව ඇතැයි අප පවසන්නේ එබැවින්.
තැනෙක ඇය මිනිස් හදවත කලබල නගරයකට සමාන කරයි. එය ඉතාමත් නව්‍ය සැවැන්දරාමුල් සුවඳ විහිදෙන කාව්‍යාත්මක යෙදුමක්. මෙවැනි නවමු උපමා රූපක සොයායන්නට නවක කවි කිවිඳියන් උත්සාහ කරන සැමවිටම ඔවුන්ගේ නිර්මාණයන් ගේ අනුභූතිය නැවුම් නොවුනත් වහාම අපූර්වත්වයකින් එසෙවී තැබෙනවා.
ලේ නහර ඔබ මොබ දිවෙන
මංසන්ධි පැටලී එතෙන
කඩිසරව ජීවිතේ ගලන
කලබල නගරයක් එතන
(හදවතකි එතන – පිටුව 25)
“අහසක් හදමු හවසක”, “අනුනාද නැගෙන මොහොත”, “ඒකචාරී”, “නොදන්නා දේවල්” වැනි නිර්මාණ තුල චේත්‍යා විදානපතිරණ කිවිඳියගේ බලාපොරොත්තු සහගත ජීවන දැක්මද හඳුනාගත හැකියි. ඒ දර්ශනය තුල ඇත්තේ හුදු ආත්මාර්ථකාමී ‘මාවයි මගේ බිරිඳයි රැකුණොත් මදිද’ පන්නයේ දැක්මක් නොවේ. එය සර්වව්‍යාපී (Comprehensive) දැක්මක්.
චේත්‍යා සිය කෘතිය නම් කරන “නමක් නැති හිතවතෙක්” නිර්මාණය අපූරුවන්නේ එයින් උපදින ප්‍රේමය පිළිබඳ සැබෑ දැක්ම නිසා.
බෙදා නොගෙන ම හදේ නිවහන
මගේ සිහිනය බෙදාගන්නා
ජීවිතේ හැම උදෑසනකම
ආදරේ මල් පොකුරු ගේනා
නමක් නැති හිතවතෙක් උන්නා
මෙහිදී ඇය පවසන්නේ ප්‍රේමය වනාහී භෞතිකව බෙදා වැටකොටු ගසා වෙන්කරගත හැකි දෙයක් නොවන බව. ඇය පවසන්නේ අඩුම වශයෙන් ප්‍රේමය යන අතිමනරම් මානව හැඟීමට නමක් තැබිය යුතු හෝ නමකින් සංකේතීයව ඇමතිය නොයුතු බවයි.
තටු සලා යන කිරිල්ලක සේ
පියාඹන්නට මලට හිතුණා
ඉගිල්ලී යන හදවතක් හිමි
මලට අත්තටු දෙකක් ගේනා
නමක් නැති හිතවතෙක් උන්නා
ආදරය, ප්‍රේමය යනු දොරගුළු ලා බලෙන් රඳවා ගතයුතු දෙයක් නොව ඉගිල යන්නට දොරකවුළු හැර තබා සියාපත් සවිමත් නැත්නම් සවිමත් පියාපත් ලබා දී නිදහස් කළයුතු දෙයක් බව ඇය පවසන අපූරුව කිවිඳියක ලෙස ඇය ගැන විසල් බලාපොරොත්තු පහන් ටැඹ දල්වනා කාරණයක්.
ඇය සිය කවිය අවසන් කරන්නේ නිදහස් ප්‍රේමයේ ඇති විචිත්‍රත්වය අපූරු ලෙස පැහැදිලි කරමින්.
එකට එක් වී බෙදාගනු බැරි
සැබෑ වෙන්නැති හීන තිබුණා
සිනා සී කාලය නවත්වා
දුරින් හිඳගෙන බලා ඉන්නා
නමක් නැති හිතවතෙක් උන්නා.
(නමක් නැති හිතවතෙක් – පිටුව 36)
ප්‍රේමයට කවුරුන් හෝ විසින් නමක් දෙනවා වෙනුවට නිර්නාමිකව තැබෙන්නට හැරීම මොනතරම් පුළුල් ජීවන සෞන්දර්යයක් ගොඩ නගන කාරණයන් ද?
චේත්‍යා විදානපතිරණ කිවිඳියගේ “නමක් නැති හිතවතෙක්” කාව්‍ය සංග්‍රහයේ දැකිය හැකි පොදු ලක්ෂණය වූ ජීවිතයේ සියුම් තැන් සැතකින් කැන එහි ඇති ශෝකී සුන්දරත්වය සොයා ගැනීම බව වුවත් එයි මදක් බැහැර වෙන කවක් ද එහි හමුවෙනවා.
අපට හුරුපුරුදු “ගම්පෙරලියේ ” ජිනදාස තමන්ට දාව නන්දාට ලැබෙන දරුවාගේ වින්නඹුකම කරන කාන්තාවට ලියන පණිවිඩයක් ලෙසයි ඇය එය නිර්මාණය කරන්නේ.
ගරා වැටී ගිය මහ ගෙදර
බිත්තියට කණ තියා අහන්න
දරු සෙනෙහෙ නිසා ආ
හීල්ලුම් හඬවල් ඇරෙන්න
පරණ කුල මල කතන්දර
එහි තියෙනවා ද බලන්න
දරුවෙක් උපදින මොහොතේම ඒ දරුවාට ජාතියක්, ආගමක්, කුලයක් හෝ වෙනත් නාමකරණයක් නැහැ. ඒ උපදින්නේ මිනිස් දරුවෙක්. ඒ දරුවා උපතේ දීම මිය යාමෙන් අනතුරු හිස උදුම්මවාගත් කුලමල කිසිවක් ඇත්තේ නැහැ ඇත්තේ වේදනා කෙඳුරුම් පමණයි. මේ පොදු ජීවන සත්‍යය අවබෝධ කරගන්නා ජිනදාස වින්නඹු අම්මාට පණිවිඩයක් දෙනවා.
දැන් නුඹට විතරයි පුළුවන්
අපව මේ අනතුරෙන් මුදන්න
කවදාක හරි ඉඩක් ලැබුණොත්
අතීතෙට පිය නගන්න
මතක් කරලා පෙකෙණි වැල
ඔය අලුත් කතුරෙන් කපන්න.
(ජිනදාසගෙන් වින්නඹු අම්මාට – පිටුව 52)
චේත්‍යා විදානපතිරණ යනු අපූරු සුක්ෂමතා ගුණයක් සහිත කිවිඳියක බව ඇය සිය කුළුඳුල් කාව්‍ය එකතුවෙන්ම රසික සමාජයට ඒතතු ගන්වන්න සමත්. එය නවක කවි කිවිඳියකට නොමැති ගුණයක්. මේ නිසාම ඇගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “නමක් නැති හිතවතෙක්” වුවත්, ඇය නමක් තබන්නට හැකි කිවිඳියක් බව උස් හඬින් කියා සිටින්නට පසුබට වියයුතු නෑ.