Home Blog Page 244

පොත් ගුල් සහ පොත් සාප්පු කියන්නෙ ජීවිතය සදහටම වෙනස් කරන තැන් – කේරී මාර්

0

පැරිසියේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පොත් සාප්පුවේ නිර්මාතෘවරිය සිල්වියා බීච් සහ ඇයගේ පොත් සාප්පුව, ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර,
1919 වසරේ ඇමරිකානු ජාතික තරුණ සිල්වියා බීච් පැරිසියේ නිහඬ වීදියක ශේක්ෂිපියර් සහ සමාගම(Shakespeare and Company ) නමින් පොත් සාප්පුවක් විවෘත කරන විට, ඇයත් ඇයගේ අලුත් පොත් සාප්පුවත් සාහිත්‍ය ලෝකයේ මහා මෙහෙවරකට උර දෙනු ඇතැයි නිකමටවත් ඇය සිතන්නට නැත.

ශේක්ෂිපියර් සහ සමාගම නම් ආයතනය පොත් සාප්පුවකට සහ බැහැර දෙන පුස්තකාලයකට වඩා වැඩි යමක් වීය. පළමු ලෝක යුද්ධය සමයේ Lost Generation ලෙස හැඳින්වුනු ප්‍රකට සාහිත්‍යවේදීන්ට එය තමන්ගේ දෙවැනි නිවහන බවට පත් වීය. (එකල පළමු ලෝක යුද්ධය සමයේ තම රටින් බැහැරව ප්‍රංශයේ, විශේෂයෙන් පැරිසියේ ජීවත් වූ ඇමරිකානු සහ යුරෝපීය සාහිත්‍යධරයන් හැඳින්වීමට Lost Generation නම් යෙදුම යොදා ගන්නා ලදි. මෙය ප්‍රථම වරට භාවිතයට ගනු ලැබුවේ ඇමරිකානු සාහිත්‍යවේදිනියක වන ගර්ට්රූඩ් ස්ටේන් විසිනි. ඉන් අනතුරුව එම හැඳින්වීමට අයත් ප්‍රකට ලේඛකයෙක් වුනු අර්නස්ට් හෙමින්ග් වේ විසින් එම යෙදුම ඔහුගේ කෘතියක් තුළ ද භාවිතයට ගන්නා ලදි.) එසේ “අතරමං වුණු පරපුරට” අයත් වූ සහ ශේක්ෂිපියර් සහ සමාගම සිය දෙවැනි නිවහන කරගත් ප්‍රකට ලේඛකයන් අතරේ අර්නස්ට් හෙමින්ග්වේ, ගර්ට්රූඩ් ස්ටේන්, ජේම්ස් ජොයිස්, එස්‍රා පවුන්ඩ්, ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්, ටී. එස් එලියට් ප්‍රධාන තැනක් ගනිති.

ඒ අනුව එම පොත් සාප්පුව, විසිවැනි සියවසේ සාහිත්‍යයික දැවැන්තයින් පිරිසකට එකිනෙකා මුණ ගැසීමට, එකට ගැවසීමට, එක්ව වැඩ කිරීමට සහ සිය මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට ඉඩ සලසා දුන් ඓතිහාසික වටිනාකමින් යුත් වැදගත් ස්ථානයක් බවට පත් වූයේය. එම මිත්‍ර සබඳතා අතරින් පොත් සාප්පුවේ අයිතිකාරිය සිල්වියා බීච් සහ අයර්ලන්ත ලේඛක ජේම්ස් ජොයිස් අතර ඇති වුණු මිත්‍රශීලි සබඳතාව සාහිත්‍ය ලෝකයට දැවැන්ත මෙහෙවරක් සිදු වීමට ඉඩ සලසා දුන්නේය. ජේම්ස් ‍ජොයිස් ඔහුගේ කීර්තිමත් නිර්මාණය” යුලිසිස් (Ulysses) ලියා අවසන් කිරීමට වෙර වීරිය දරන විට, සිල්වියා ඔහුගේ එම නිර්මාණ කටයුතු පහසුවෙන් කරගෙන යාමට තම පොත් සාප්පුව තුළ ඉඩ ලබා දුන්නාය. එසේම එම නවකතාව තහනමට ලක් වීමේ තර්ජනයට මුහුණ පාමින් සිටියදී ඇය ඉතාමත් දැඩි අවදානමක් ගෙන එම කෘතිය ශේක්ෂ්පියර් සහ සමාගම යටතේ මුද්‍රණය කිරීමට ද ඉදිරිපත් වූවාය.

නමුත් එම ශතවර්ෂයේ වඩාත්ම කුප්‍රකට මෙන්ම බලපෑම් සහගත කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ සාර්ථකත්වය සේම අපකීර්තිය ද පැමිණුනේ එයට නියමිත ගෙවීමක්ද සමඟය. ඇය මහත් සේ ආදරය කළ පොත් සාප්පුවේ අනාගතය අවදානමකට ලක් වන්නට පටන් ගත්තේ යූලිසිස් කෘතියේ සාර්ථකත්වය විසින් අනෙක් පොත් ප්‍රකාශකයන්ව ජොයිස්ගෙන් ඈත් කොට තැබූ නිසාය. එසේම පැරිසියට ආක්‍රමණික හමුදා ඇතුළු වන විට සහ, රටින් බැහැරව ජිවත් වූ ඇයගේ ඇමරිකානු මිතුරන් නැවතත් ඇමරිකාව බලා යන විට ඇය මහත් ආදරයෙන් රැක ගත් මිත්‍ර සබඳකම් පරීක්ෂණයට ලක් වූයේය. ඇය වඩාත් වේදනාකාරී පෞද්ගලික සහ මූල්‍යම අර්බූදයන් තුල ගිලෙන විට සිල්වියා නම්, දිවිහිමියෙන් තමන් සිදු කළ යුතු කාර්යය භාරයන් න‍ොසැලී ඉටු කළ ගැහැණියට ශේක්ෂිපියර් සහ සමාගම නම් පොත් සාප්පුව තුළ වූ සැබෑ අර්ථය කුමක්දැයි තීරණය කිරීමට ද සිදු වනු ඇත.

ඉහතින් සඳහන් වූයේ ඇමරිකානු ජාතික ලේඛිකාවක වන කෙරී මාර් විසින් රචිත, සාහිත්‍ය ‍ලෝකයේ ඓතිහාසික සිදුවීම් අළලා ලියැවුණු සාහිත්‍ය කෘතියක් වුණු The Paris Bookseller නම් කෘතිය පිළිබඳ කෙරී මාර් ගේ පුද්ගලික වෙබ් අඩවියේ පළවුනු කෙටිසටහනකි. ඉහත සටහනේ දැක්වෙන පරිදි එම කෘතියට මූලිකවම පාදක වී ඇත්තේ, පළමු ලෝක යුද්ධය සමයේ, ඇමරිකා එක්සත්ජනපදයේ සිට පැමිණි සිල්වියා බීච් නම් තරුණිය විසින් ප්‍රංශයේ පැරිස් නුවර පවත්වා ගෙන ගිය ඉංග්‍රීසි භාෂා පොත් සාප්පුවක් සහ එම ස්ථානයේ ගැවුසුණු, එහි පොත් පරිශිලනය කළ ලේඛක ප්‍රජාව වටා ගෙතුණු සිදුවීම් මාලාවකි.
සිල්වියා බීච්

“සිල්වියාට තිබුණෙ ප්‍රභාවත්, තියුණු පෙනුමක් ඇති මුහුණක්. කුඩා සතෙකුගේ වැනි ප්‍රාණවත්, කුඩා කෙල්ලකගේ වැනි ප්‍රීතිමත් දුඹුරුවන් ඇස් දෙකක්.” හෙමින්ග්වේ ඔහුගේ මතක සටහන් වල සිල්වියා ගැන එසේ ලියා තැබුවේය. “ ඇය කරුණාවන්තය, ප්‍රීතිමත්ය, සිත්ගන්නා සුුළුය, ඇය විහිළු කරන්නටත් ඕප දූප කියවන්නටත් ප්‍රියතාවක් දැක්වූවාය. මින් පෙර ඇය තරම් වෙන කිසිවෙක් මට මෙතරම් ප්‍රියමනාප වී නැත.”

සිල්වියා බීච් චරිතය එකල ඇයගේ පොත් සාප්පුවේ ගැවසුනු බොහෝ ලේඛකයන්ගේ මතක සටහන් ලියැවුණු කෘති තුළ මිහිරි මතකයක් ලෙස සඳහන් වී ඇත. ඉන් විශේෂ තැනක් ගන්නේ අර්නස්ට් හෙමින්ග්වේ ගේ A Moveable Feast නම් මතක සටහන් ඇතුළත් කෘතියයි.

හෙමින්ග්වේ පළමුවරට ඇයගේ පොත් සාප්පුවට ගොඩ වැදුන විට ඇය ඔහු වෙත පළ කළ විශ්වාසය නිසා ඔහු තරමක් පුදුමයට පත් වූයේය. ඔහුට පොත් සාප්පුවේ බිල ගෙවාගත නොහැකි වූ නමුත්, ඇය ඔහුගේ දෑත් පොත් වලින් පුරවා නැවත පැමිණි විටෙක බිල ගෙවන්නැයි පවසා ඇත. ප්‍රංශයේ ඉංග්‍රීසි ‍පොත් විරල වූ කාලෙක හෙමින්ග්වේ මෙන්ම ඉංග්‍රීසියෙන් කියවන බොහොමක් ලේඛකයන් තමන් කැමති ඉංග්‍රිසි කෘති වල ඇසුර ලැබුවේ, සිල්වියාගේ පොත් සාප්පුවට ස්තූතිවන්ත වෙන්නටය. එය පොත් සාප්පුවක් හෝ පොත් ගුලක් පමණක් නොව එහි යන එන බොහෝ ලේඛකයන්ට තැපැල් කන්තෝරුවකි, අවශ්‍ය විට ණය ආධාර දෙන බැංකුවකි, පැරසියේ සබඳකම් සහ නවාතැන්පොළවල් සොයාදෙන ස්වේඡ්චා ආයතනයකි, නවාතැන් පහසුකම් ඇති හෝටලයකි. ඒ සියල්නටම වඩා ඔවුන්ට තම ලේඛණ කාර්යයේ නිද‍හසේ කළ හැකි සමකාලින ලේඛකයන් සහ කලාකරුවන් මුණ ගැසී ඔවුන් හා කතා බහ කළ හැකි නිදහස් තිප්පලකි. කෙරී මාර් තරුණ ලේඛිකාවගේ The Paris Bookseller නම් ඓතිහාසික නවකතාවට වස්තු බීජය වී ඇත්තේ එවන් අසිරිමත් කාර්යයක් කළ සිල්වියා බීච් නම් නිර්භිත ගැහැණියගේ ජීවිතය සහ ඇයගේ පොත් සාප්පුවයි.

කෙරී මාර් මින් පෙරThe Kennedy Debutante සහ The Girl in White Gloves; A Novel of Grace Kelly නම් නවකතා දෙකක් ලියා පළ කර ඇත. ඇය The Paris Bookseller කෘතිය ‍මේ වසරේ (2022) ජනවාරි මස නිකුත් කළ වහාම එම කෘතිය ඇමරිකා එකසත්ජනපදයේ වඩාත්ම හොඳින් විකිණෙන පොත් ලැයිස්තුවකට ද ඇතුළත් වී තිබුණි. පහතින් දැක්වෙන්නේ ඇය සමඟ කරන ලද සංවාද කිහිපයක දී ඇය දැක්වූ අදහස් සම්මුචයකි.

අතරමං වුණු පරපු‍රේ( Lost Generation )සාමාජකයෝ කවුද? ඔවුනට ඒ පොත් සාප්පුව වැදගත් වුනේ ඇයි?

Lost Generation කියන හැඳින්වීම ප්‍රසිද්ධියට පත් වුනේ අර්නස්ට් හෙමින්වේ ගේ නවකතාවක් වන The Sun Also Rises නම් කෘතිය තුළින්, ඒත් ඒ වදන මුලින්ම භාවිතා ‍කලේ ‍ගර්ට්රූට් ස්‍ටේන් විසින්. එතැන් පටන් පළමු ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසු, ඇමරිකාවේ ඉඳන් යුරෝපයට, විශේෂයෙන් පැරිසියට පැමිණි ඇමරිකානුවන් හැඳින්වීමට මේ වදන යොදා ගත්තා.
ඉතින් තමන්ගේ රටෙන් බැහැර ජිවත්වෙන මේ අයට ශේක්ෂපියර් සහ සමාගම තම නිවෙසින් බැහැරව තියෙන තමන්ගේ තවත් නිවෙසක් බවට පත් වුණා. එම පොත් සාප්පුව තමන්ගේ මව් භාෂාවෙන් ලියැවුණු පොත් විතරක් නොවෙයි ඔවුනට සොයා දුන්නේ, එක වගේ සිතන, කියවන, සංචාරය කරන ඒ වගේම පළමු ලෝක යුද්ධය ඉතිරි කල අළු දූලි මතින්, ඔවුන්ගේම ප්‍රගතිශීලි ක්‍රමවලට ලෝකය නැවත ගොඩනඟන්න, එකිනෙකාගෙන් ඈත් නොවන්න අධිෂ්ඨාන කොට ගෙන සිටි ඔවුන්වද එකිනෙකාට සොයා දුන්නා.

සිල්වියා බීච් සහ ජේම්ස් ජොයිස් අතර තිබුනේ මොන වගේ සම්බන්ධයක් ද?

සිල්වියා සහ ජේම්ස් ජොයිස් අතර පැවතුනේ භාෂාවට, සාහිත්‍යයට සහ පැරිසියට තිබුනු ආදරය මත පදනම් වුණු ගැඹුරු මිත්‍රත්වයක්. ඔවුන් දෙදෙනා පොත් සාප්පුවේදි වගේම කෝපි සැල් වල දී වචන සම්බන්ධ විනෝද ක්‍රීඩාවල නිරත වුනා. ඔවුන් එකිනෙකා වෙත තදින් බැඳුනේ යුලිසිස් කෘතිය ප්‍රකාශනය තහනම් වීමට එරෙහිවයි. එහෙත් මුදල් සහ ව්‍යාපාරය ඔවුන්ගේ මිත්‍ර සබඳතාව මඳක් සසල කළ අතරම එය ඔවුන් අතර විවිධ මත හේද ඇති වීමටත් හේතුවක් වුවා. ඒත් සිල්වියා තම මුළු ජීවිත කාලයම පුරාම ජෝයිස් ගේ කෞෂළ්‍යය පිළිබඳ අගය කළා.

ඇඩ්‍රියන් මොනියෙර් කියන්නෙ කවුද?

ඇඩ්‍රියන් මොනියෙර් කියන්නෙ සිල්වියාගේ ජීවිතයේ හොඳම දශක දෙකක කාලයක් පුරා සිටි ආදරවන්තිය සහ ජීවිත කාලයක් පුරා සිටි හොඳම මිතුරිය. ඇය සතුව La Maison des Amis des Livres නමින් පැරිසියෙ ප්‍රංශ භාෂා පොත් සාප්පුවක් සහ බැහැර දෙන පුස්තකාලයක් තිබුනා, ඇය තමයි සිල්වියාට ශේක්ෂිපියර් සහ සමාගම පොත් සාප්පුව ආරම්භ කරන්න මූලිකවම ආභාෂය සැපයූවේ. ඇය ලේඛිකාවක්, ප්‍රකාශන ආයතනයක හිමිකාරියක්,පරිවර්තිකාවක් සහ අතිදක්ෂ සාහිත්‍ය සත්කාරිකාවක්, ඒ වගේම ඇය හොඳ රසවතියක්. ඇයගේ පොත් සාප්පුවද පැරිසියේ බොහිමීයානු බුද්ධිමතුන් ගැවසෙන වැදගත් තිප්පලක් වුනා.

කොහොමද ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය පැරිසියේ තිබුණු සිල්වියාගේ පොත් සාප්පුවට බලපෑවේ?

මම දන්නා තරමින් ඇමරිකවේ නීතිය පැරිසියේ ඉන්න සිල්වියාට බලපෑවේ නැහැ, ඒ නිසා තමයි ඇමරිකාවේ තහනම් වුණු ජේම්ස් ජොයිස් ගේ යුලිසිස් කෘතිය ඇයට ප්‍රංශයේ සිට ප්‍රකාශයට පත් කරන්න හැකි වුනේ. ඇමරිකාවේ ජීවත්වන පාඨකයන් ද ඒ පොත කියවීමට කැමැත්තෙන් සිටි නිසා සිල්වියාට සිදුවුනා හොරෙන් පොත ඇමරිකාවට ඇතුළු කරන ක්‍රම හොයා ගන්න.යු ලිසිස් කෘතිය ඇමරිකාවට හොර රහසේ ඇතුළු කිරීමට ගත් උත්සාහයන් නැවත සිහිපත් කරන විට, සිනා පහළවන තරමේ සිදුවීම් එහි ති‍බෙනවා. එවකට තරුණ ලේඛක සහ ජනමාධ්‍යවේදී අර්නස්ට් හෙමින්වේ සම්බන්ධ වී එම කෘතිය ඇමරිකාවට හ‍ොර රහසේ යැවූ ආකාරය ද එවැනි සිනා උපදවන කතාවක්.

ඔබ කොහොමද ජේම්ස් ජොයිස් සහ සිල්වියා බීච් අතර සිදුවන දෙබස් ප්‍රතිනිර්මාණය කලේ?

මට කරන්න සිදුවුනු පළමු දෙය තමයි හිලරි මැන්ටල් ගේ විස්මිත රූපකය සිහියට නඟා ගන්න එක, ඓතිහාසික නවකතාවක් කියන්නේ කාලයන්ගේ, ස්ථානයන්ගේ සහ මිනිසුන්ගේ ඡායාරූපී ආකෘතියක් නොවේ කියන කතාව. එය අතහැරුනු පින්සල් පහරවලින් කරන සිතුවමකට වඩාත්ම සමාන වෙනවා. ඒ නිසා The Paris Bookseller කෘතියේ එන ජේම්ස් ජොයිස් සහ සිල්වියා බීච් කියන්නේ මගේ අර්ථ නිරූපණයන් සහ මගේ චරිත, ඒවා සැබෑ චරිත නොවෙයි. ඒත් මම ඔවුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න උත්සාහ ලා ඔවුන්ගේ ජීවිත කතා, ලිපි සහ සිල්වියා සම්බන්ධයෙන් නම් ඇයගේ මතක සටහන් කියැවීමේන්. මම උත්සාහ කලා ඔවුන්ව ස්ථානගත කරන්න ඔවුන් සැබෑවටම අත්දැකපු ස්ථානවල සහ සිදුවීම් තුළ. මම නිතරම මගෙන්ම විමසන්නට වූනා, මේ සැබෑ ජීවිතයේ නිමේෂය තුළ සිල්වියාට කුමක් දැනේවිද? ඇය කුමක් කියනු ඇද්ද? ඇය කුමක් නොකියනු ඇද්ද? වගේ දේවල්.

ඓතිහාසික නවකතාවක් ලිවීම කුමන ආකාරයේ අත්දැකීමක්ද?

එය ඉතාමත් සිත්ගන්නා සුළුයි වගේම දුෂ්කරයි. ඒ වගේම මිහිපිට ජීවත්වූ සැබෑ ගැහැණියකගේ ජිවිතය පදනම් වූ චරිතාපදානමය ‍ඓතිහාසික කතාන්දරයක් විසින් ඇතිකරන ආතතිය සැබවින්ම ප්‍රතිඵල ගෙන දෙන්නක්.
අනික් පැත්තෙන් මට ලොකු උවමනාවක් තිබුනා සිල්වියා බීච් ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මොකද ඇය ඉතාමත් පුදුම එළවන සුලු ජීවිතයක් ගත කල කාන්තාවක් නිසා. මම ඒ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ කළා, මට සහතික වශයෙන්ම ඇයගේ හඬ මේ කෘතිය තුළ රැව් දෙන්න මට අවශ්‍යව තිබුණා, ඒ ‍වගේම ජේම්ස් ජොයිස් සහ අර්නස්ට් හෙමින්වේ වැනි අනෙක් චරිතත්. ඒ වගේම මේ කෘතිය පිළිබඳ අනෙක් පස යථාර්තයත් මගේ ඔළුව ඇතුලෙ වැඩ කළා, ඒ මේක නවකතාවක් කියන කාරණය. සිල්වියාගේ, ජොයිස් ගේ සහ හෙමින්වේ ගේ චරිත අර්ථ නිරූපණය කරන එක අවශ්‍ය දෙයක්. ඉතින් මට දැනුනා සැබෑවේ සහ අරුත් ගැන්වීම අතර ඇති ආතතිය මට තදින් අල්ලා ගන්න සිද්ධ‍ වෙනවා කියන එක. මා ප්‍රතිනිර්මාණය කල ජෙම්ස් ජොයිස් සහ සිල්වියා බීච් කියන චරිත මේ නවකතාවම වෙන කෙනෙක් ලීවොත් ඒවා එකිනෙකට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.

ඔබ මේ කෘතියට ලීවීමට සූදානම් වීම සඳහා විශේෂයෙන් කියවූ පොත් මොනවාද?

සිල්වියා බීච් විසින්ම ලියන ලද මතක සටහන් ඇතුළත් Shakespeare and Company නම් කෘතිය. ඇය ඉතාමත් සිත්ගන්නා සුළු ලේඛිකාවක්. මම එය ප්‍රථමවරට කියවූයේ පාසල් කාලයේ, මට එය කියවද්දි සිතුනා ඇය මොනතරම් අපූරු ජීවිතයක් ගත කළ කාන්තාවක් ද කියන එක. මම නැවත කියවූ පොතක් තමයි හෙමින්වේ ගේ A Moveable Feast නම් කෘතිය. ඉන්පසු මම ගොඩක් උවමනාවෙන් කියවූ අනෙක් පොත ඇමන්ඩා වේල් ගේ Everybody Was So Young නම් කෘතිය, එහි කියැවෙනවා ඒ කාලේ පැරිසියේ ජීවත්වුනු කැපී පෙනුනු සාරා සහ ජෙරල්ඩ් මර්ෆි යුවළ ගැන.

ඔබ මේ කෘතිය සඳහා පැරිසිය පිළිබඳ මොනවද කියෙව්වේ?

මම පැරිසියට ගියා! මම “1921 ග්‍රීෂ්ම සෘතුවේ දී ජේම්ස් ජොයිස්, යුලිසිස් ලියන විට මෙහි නැවතී සිටියේය’ සඳහන් වුණු ගොඩනැඟිල්ලක තමයි නැවතුනේ. ඉතින් ජොයිස් එහි ජීවත් වූ සැටි වටපිටාට රසවින්ද සැටි මම සිතින් මවා ගත්තා. එතැනින් පොඩ්ඩක් එහා තිබුනේ හෙමින්වේ පැරසියේ මුලින්ම නවාතැන් ගෙන සිටි නිවස්නය. පොත සඳහා පර්යේෂණ කරන විට මම එවැනි අසිරිමත් අත්දැකීම් ලැබුවා.

ඔබගේ කෘතියෙන් පාඨකයන් කුමක් උකහා ගනු ඇද්දැයි ඔබ අපේක්ෂා කරන්නේද?

The Paris Bookseller කෘතිය සම්බන්ධයෙන් මට මූලික අපේක්ෂාවන් දෙකක් තියෙනවා. පළමු වැනි අපේක්ෂාව තමයි පාඨකයාට වැටහෙන්න ඕනෙ, විසිවැනි සිය‍වසේ සාහිත්‍ය ලෝකයේ වෙනසක් කරන්න සිල්වියාගේ අරුම පුදුම කලාකාමී මෙහෙවර, ඒ කියන්නේ ශේක්ෂිපියර් සහ සමාගම ‍හේතුභූත වුවාය කියන එක. වෙන කිසිවෙකුට ධෛර්යයක් නොමැති වූ මො‍හොතක ඇය යුලිසීස් මුද්‍රණය කිරීමට අත ගැසුවා. ඇය තමන්ගේ මතය සහ අරමුණ දැඩිව විශ්වාස කලා පමණක් නොව ඇය තුළම වූ බිය වගේම, ඇයට මෙන් දැක්මක් සහ එඩිතරබවක් නොමැති බලසම්පන්න නීතිඥයන්, විනිශ්චයකාරවරුන් සහ ප්‍රකාශකයන් නොතකා හරමින් ඇය ඒ අරමුණ නොබියව හඹා ගියා. ඇය අප සියල්ලන්ටම හොඳ ආදර්ශයක්.

ශේක්ෂිපියර් සහ සමාගම හරහා පාඨකයන්ට මට ඒත්තු ගන්වන්න අවශ්‍ය වූ අනෙක් කාරණය තමයි, අසල්වාසී කලාකරුවන් ලේඛකයන් මුණ ගැසෙන ස්ථානයක් ලෙස, සාහිත්‍යයික මතිමතාන්තර බිහිවෙන කේන්ද්‍රස්ථානයක් ලෙස, කියවීමේ ක්‍රියාව සඳහා අවශ්‍ය සහයෝගී ජාලයක් නිර්මාණය වෙන ස්ථානයක් ලෙස පොත් සාප්පු සහ පොත් ගුල් මොන තරම් වැදගත් ද කියන එක.මම අපේක්ෂා කරනවා, සාහිත්‍යයික සහ කලා අනුග්‍රාහකයන් අතට ඔවුන් සොයන ආකාරයේ පොතක් ඔවුන්ගේ අතට පත් කිරීමේ ආඩම්බරය අත්පත් කර ගන්නා සිල්වියා බීච් වැනි ශූර පොත් සාප්පු හිමිකාරියන් වැන්නවුන් සිටින ප්‍රාදේශීය පොත් සාප්පු සහ පොත් ගුල් සොයා යෑමට මේ කෘතිය විසින් පාඨකයාව පොළඹවයි කියලා. එවැනි ස්ථාන තමයි ඔවුන්ගේ ජිවිත සදහටම වෙනස් කරන්න ඉඩ ඇති ස්ථාන.

(අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකයේ පළ වුණු ලිපියක්)

සුභාෂිණී චතුරිකා

“බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත!”

කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන – එකම විදිහෙ වංගු තියෙන – එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි. කලාව ගොඩක් වෙලාවට පිටකොටුව වගේ. සීටීබී බස්, ප්‍රයිවට් බස්, කාර්, වෑන්, ලොරි, මෝට සයිකල්, අත් කරත්ත, ටිපර් වාගේම කන්ටේනරුත් යනවා.

ප්‍රබුද්ධ, පීචං කියලා කොටු ගහලා – ගොටු ගහලා – අටු හදලා – පුටු කඩපු කලාව ගැන පිටු ගණන් විදග්ධ – විචාර – ආචාර – සමාචාර ලියැවෙන කාලෙක, අනෙක් පැත්තෙන් කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව ගැන කතා කළ යුතු අය ජාතිය, ආගම ඇදගෙන දිය උඩින් ගින්දර ගෙනියන කාලෙක, සාමයෙ සලකුණ වෙච්ච පරවියාව හදන්නෙත් ගහ ගනිමින්, බැණ ගනිමින් කියලා කිව්ව නිහාල් අපට හලාල්.

ඔව් අපි මේ කතා කරන්න යන්නේ නිහාල් නෙල්සන් කියන අපූරු ගායකයා ගැන. නිකම්ම නිකං වචන ටිකක් ගළපගෙන පේළි දෙකක් ගයන්න පුළුවන් අය මයික් එක බදාගෙන ඉන්න මේ කාලේ නිහාල් නෙල්සන් කියලා කියන්නෙ කවුරුත් නොදන්නවා වුණාට සප්ත ස්වරයෙ හතර මායිම අඳුරගෙන ගායකයෙක්, තනු නිර්මාපකයෙක්, සංගීතඥයෙක් හැටියටත් අප්‍රසිද්ධියේ වැඩ කරපු, ප්‍රසිද්ධිය පස්සෙ නොගියපු, අහන් ඉන්න පුළුවන් සින්දු කියපු අපේ කාලයේ මනුස්සයෙක් නිසා අපි ඔහු ගැන ලියනවා.

එක්දාස් නවසිය හැටතුනේ මාර්තු මාසෙ තිස් එක් වැනිදා පෙරවරු එකොළහයි විස්සට ගුවන් විදුලියෙ සිංහල සේවයෙ ගීතයක් ප්‍රචාරය වෙනවා. වැඩසටහන ඉදිරිපත් කළේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය ගැන කතා කරද්දි මඟ හැරලා යන්න කොහෙත්ම බැරි අතිදක්ෂයෙක් වෙච්ච කරුණාරත්න අබේසේකර. මේ කියන ගීතය සංගීතවත් කළේ ආර්. ඒ. චන්ද්‍රසේන. ලිව්වේ (අද) මීගහවෙල සුමනශාන්ත හැටියට පැවිදි වෙලා ඉන්න (එදා) සරත් මුණසිංහ කියන ගීත රචකයා.

අදටත් කොයි පරම්පරාවේ කොයි සාදෙක දි වුණත් කොයි කවුරුත් එකතු වෙලා – මිතුරු වෙලා – සතුටු වෙලා ගායනා කරන; “ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්, මං ආස කරන මැණික් කැටේ නිල්” කියාගෙන කූඩුවේ දොර ඇරගෙන සංගීත අඹරෙ පියාඹන්න පටන් ගත්ත මේ කුරුල්ලව එක එක ජාතියේ කූඩුවල දාලා – කොටු කරලා – ගහලා – වහලා පැත්තකින් තියන්න හුඟක් කට්ටිය උත්සාහ කළත් මඟක් නැති වුණේ එයාලටම මිසක් නිහාල් නෙල්සන්ට නෙවෙයි.

කනක් ගාව අඟක් ඇවිත් හුඟක් අය ප්‍රශ්න හදා ගත්තට ඉමක් කොනක් නැති සංගීත සාගරේ ගොඩක් තැන්වල කරක් ගහපු නිහාල්, පහක් දහයක් පහළොවක් විස්සක් නෙවෙයි තුන්සිය හැටපහේ ඔරිජිනල් අවුරුදුවලින් පනහක්ම සින්දු කිව්වා කියලා ඉතිහාසගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න මේ වගේ සටහනක් ලියන්න ලැබීම අපෙත් වාසනාවක්.

එක පාරක්, ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා “අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද” වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. “මෙහෙමයි, වියත් වහර – ජන වහර – පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ” අන්න ඒ කියපු පුර වහර පාවිච්චි කරලා මනහර – සුන්දර – පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් කියලා අපි කිව්වොත් කවුරු මොනවා කියන්ඩද?

හේමසිරි හල්පිට, එයාගෙ ගීත රචනා ජීවිතේට උපත දෙන්නේ නිහාල් නෙල්සන්ගෙ ළඟ ඉඳන් ලියපු ලාල් තේනබදු සංගීතවත් කරපු ‘ගුණෙ අයියගෙ කාමරේ’ හෙවත් ‘සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ’ ගීතයෙන්. මනුෂ්‍යත්වය ගැන හතර වටෙන් දුක හිතෙන කතා ඇහෙද්දි අපට හිතෙනවා; මොන තරම් කල්ලකඩත්ත දිවි පෙවෙතක් ගත කරත් ගුණෙ අයියා ඇත්තටම ගුණ යහපත් මිනිහෙක් නේද කියලා. ප්‍රතිපත්ති රැක්කොත් විපත්ති සිද්ධ වෙයි කියලා ගොඩක් අය හිතද්දි ගුණෙ අයියට ප්‍රතිපත්තියක් තිබ්බා.

… කොත නම් කොත කුරුසවලට මගෙ ළඟ ඉඩ නැත කොයි කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත – බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත…

නිහාල් නෙල්සනුත් එහෙමයි. කොත නම් කොත. කුරුස නම් කුරුස. අතට සින්දුව ලියපු කොළේ ආවම කොළේ තියෙන දේ ඇලේට නොකිය, කොළේ තියෙන දේ තමන්ට ගැළපෙන විදිහට නිලේ බලල වෙනස් කරලා කියපු, කියන්න බැරි නම් කෝටියක් දුන්නත් “සොරි මචං, ඔය විදිහට නම් කියන්න බෑ…” කියලා කෙළින් කියපු ගායකයෙක් තමයි නිහාල්.

ඔහුට තිබුණෙ සමාජය දිහා බලන්න ඔහුගෙම දෘෂ්ටි කෝණයක්. සමාජයේ තැන නොතැන නැතුව පවතින රොඩු – බොඩු අඩු – පාඩුවලට අඬවන්නෙ නැතුව රිදවන්න පුළුවන් විදිහෙ සින්දු තමයි ඔහු හැමදාම තෝර ගන්නේ. … උඩ කරණම් බිම කරණම් ගහන පරෙවියා වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරෙවියා ගහ ගනිමින් බැණ ගනිමින් හදන පරෙවියා සාමයෙ සලකුණලු පරෙවියා…. කියලා සාමයෙ සලකුණ ගැන වෙනස් අදහසක් කියන ඔහු චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ පද රචනාව ඔස්සේ තමන්ම සංගීතවත් කරපු ‘සල්ලි මිටි ගණන්’ සින්දුවෙන් මෙහෙමත් කියනවා.

…ඉල්ලුවෙ කලාබර හත කරුමෙට පෙරළුණේ නැත – ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඉල්ලුවා පොරව හාරත නියමෙට පෙරළිලා ඇත – සන්තෝෂයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වතගොත හරියට ජෙමා හිතවත – කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත – ගහන එවුන්ටයි හතේ හත…

නව ලිබරල් ධනවාදෙ ආර්ථීකේ කියන්නෙ සූදුවක්. ධනපති පන්තියෙ ජෙමාලා තෝම එකතු කරගත්තම පීඩිත පන්තියෙ අපි ෆුල් සුද්දයි කියන බරපතළ දේශපාලන යථාර්ථය මේ ගීතයෙන් ප්‍රකාශ වෙනවා කියලා අපි කිව්වොත් ‘විදග්ධ’ විචාරක මහත්වරුන්ට තරහ යයිද මන්ද?

අද රාවතාවත්ත රෝමානු කතෝලික පර්ෂද විද්‍යාලය කියලා හඳුන්වන – එදා නිර්දෝෂ මරියා පාඨශාලාව කියලා හඳුන්වපු ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් මඟුල් ගෙදරක සින්දු කියනවා දැකපු ඒ.ජේ. කරීම් ගායන ශිල්පියා, ඒ පොඩි කොල්ලව ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට හඳුන්වා දෙද්දි; “කවදා හරි දවසක මේ කොල්ලා කැසට්පට එකසිය දොළහක් ගහන ගායකයෙක් වෙයි” කියලා හිතුවද නැද්ද අපි දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ සින්දු කන්දරාව මැද්දෙ තියෙන, කොලින්ස් අලුත්ගේ ලියපු ‘කරුණා සුවඳ තවරාලූ’ පද පෙළෙන් තමන්ම සංගීතවත් කරලා ගයපු ගීතය විසින් නිහාල් නෙල්සන්ව කොච්චර වටිනා ගායකයෙක් බවට පත් කරනු ලබනවාද කියලා හිතා ගන්න එක එච්චර අමාරුත් නැහැ.

ගුවන් විදුලියෙන් සිනමා තිරයටත් හඬ දුන්නු නිහාල් නෙල්සන් පුංචි තිරයට ආවේ නැති එක නම් ඔහුගෙයි අපෙයි හැමෝගෙම වාසනාවක් කියලා නොලිව්වොත් වැරැද්දක් වෙනවා.
මාතෘකාවෙන් කියපු විදිහටම මේ ලිව්වේ පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙකින් පංගුවක් විතරයි. එක එක ජාතියෙ ගුරු කුල – කුලක – ආකෘතිවල ඉඳන් තමන්ගෙ කොටුවෙන් පිට ඉන්න එකාට කැපිල්ල දාන කොයි කාටත් අපට කියන්න තියෙන්නේ අවුරුදු පනහක් තිස්සේ කොන්ද කෙළින් තියන් සින්දු කියන නිහාල් නෙල්සන් නමැති අසාමාන්‍ය ගායකයාගේ මුවින් ගැයෙන මේ වචනම තමයි…….

බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත !

  • විමල් කැටිපෙආරච්චි
    (2013.03.09 ජනරළ පුවත්පතට ලියන ලද ලිපියකි.)

මිනිසුන් හිඟයි ඇසුරට උඹලගෙ පන්නේ – මැරිලත් ආදරේ ඒ හින්දයි තෙන්නේ

0

අපි එක්වුණා අද උඹ සිහි කරන්නට
සිදුවිය හැමට උඹ නැති බව දරන්නට
ළග නැතිවුණත් අප හා සැරිසරන්නට
අපෙ හිත්වලින් බෑ ඔය නම මරන්නට

ඉස්සර රසිකයෙකි මම උඹගේ දරුණු
කිව්වේ පසුව උඹ මගෙ කවි ගැන කරුණු
ඒ කෙටි ඇසුර කදිමයි නෙක රස පිරුණු
අප දෙදෙනෙක්ය අද අපටම මගහැරණු

තිබුණේ රංඟනය පිළිබඳ බේස්ය
දිව්වේ නැත්තෙ උඹ එනමුත් රේස්ය
රසවන්තයෙක් ලෙස දිවියම ටේස්ය
අපිටත් වඩා දන්නේ එය ග්‍රේස්ය

කොස්තා දෙහිපිටිය විජයල සමග පතී
ආතල් ගන්නවද කට්ටිය එකට එතී
අපි දන්නැද්ද එක්වුණු තැන තියෙන ගතී
උඹලට නෙවෙයි දුක අපටයි උඹල නැතී

ඉන්නා ටිකේ දිය හැකි හැම රස දුන්නේ
සමහරු නැතත් ඒ ගැන දන්නෝ දන්නේ
මිනිසුන් හිඟයි ඇසුරට උඹලගෙ පන්නේ
මැරිලත් ආදරේ ඒ හින්දයි තෙන්නේ

ප්‍රියන්ත කොඩිප්පිලි

වැදගත් උපදෙස් අනුගමනය කරන්න : සජිත් ප්ලේටෝ ගිය පාරේ යයි !

0

‘ප්ලේටෝ කියන දාර්ශනිකයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ඔබේ කැඩුණු සපත්තුව සාදාගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු සාදන්නා. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයා. එහෙත් සියලු කලාවන් අතරින් උසස් ම කලාව වන පාලන කලාව සඳහා ඔබ තෝරාගන්නේ අදක්ෂ කපටි රැළක්. මිත්‍රවරුනි, ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් යෝජනා කරනවා රට ගෙඩනගන දක්ෂ, හපන්කම් තියෙන කණ්ඩායමක් අපි මේ රටට පත්කරගමු කියලා.’

ඊයේ (11) බොරැල්ල, කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ පොදුජන අරගලය සමගි ජන බලවේගය අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩනගන විප්ලවය ක්‍රියාත්මක කරන බවයි.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද සඳහන් කළේය.

‘පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ-තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනීසිටිනවා විතරක් නෙමෙයි, ජනතාවගේ දුක් කඳුළු මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නුදුරු අනාගතයේදී මේ රට ගොඩගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස මෙහිදී යළිත් ඒකමතිකව තොරගැනුණු අතර, සමගි ජන බලවේගයේ සභාපති ලෙස සරත් ෆොන්සේකා පත් විය. රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත්, හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්කෙරිණි. එහි ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක පත්විය.

එවන හැම ඩොලර් එකකම ඉරණම අපි ඉන්ටර්නෙට් එකට දානවා – අනුර කුමාර දිසානායක

0

රටට එවන සෑම ඩොලරයක් ම ආයෝජනය කරන ආකාරය ජාතික ජන බලවේග ආණ්ඩුවකදී අන්තර්ජාලයට එකතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය.

අද (12) ඉතාලියේ, නාපොලි නගරයේදී ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයන් රටට එවන සෑම ඩොලරයක ම වගකීම තහවුරු කරන බවයි.

එහිදී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

විනාශකාරී අන්තයක්

‘ඉතාලියේ සිටින ඔබ ලංකාව සුන්දර රටක් වේ යැයි ප්‍රාර්ථනයකින් කටයුතු කරන බව අපි දන්නවා. මෙයට පෙර අප සමග කටයුතු කළ අයත්, වෙනත් දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධවී කටයුතු කළ අයත් විශාල පිරිසක් මෙතැන සිටින බව මම දන්නවා. අපේ රට ගමන් කරමින් තිබෙන මාවතින් වෙනස් කළ යුතුයි කියන එක අපි සෑමදෙනෙක්ම දන්නවා. මේ මාවතේ ඉදිරිය විනාශකාරී අන්තයක් මිස සුබදායක එකක් නොවෙයි. අපේ රටේ දැන් පවතින අර්බුදය ආර්ථිකයට ලඝු කරන්න බොහෝ අය උත්සාහ කරනවා. නමුත් එහි පතුලේ තිබෙන්නේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතියත් ආර්ථිකයත් දෙකම එකට ගෙන වෙනස් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය බාරගන්න සූදානම්.


ඇත්ත පාර්ලිමේන්තුවක්

මම ලංකාවෙන් පිටත් වුණේ අයවැය විවාදය අවසන්වීමත් සමග. පාර්ලිමේන්තුවේ මේ අයවැය ජයග්‍රහණය කළත්, රට තුළ, ජනතාව අතර එය ජයග්‍රහණය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ජනතාවගේ ඇත්ත මතය නොවෙයි. එවැනි පාර්ලිමේන්තුවක් වෙනුවට ජනතාවගේ ඇත්ත මතය, වුවමනාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. මේ අයවැය ලේඛනය අනුව ලබන අවුරුද්දේ මුළු වියදම රුපියල් කෝටි ලක්ෂ අටයි. ආසන්න වශයෙන් කෝටි ලක්ෂ පහක් ණය ගන්නවා. ඒකෙන් කියන්නේ රජයේ වියදම්වලට ප්‍රමාණවත් ආදායම් භාණ්ඩාගාරයට නොලැබෙන බවයි. කෝටි ලක්ෂ අටෙන් කෝටි දෙලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ලබාගෙන තිබෙන ණය පොලිය ගෙවන්න. කෝටි ලක්ෂ දෙකක් වියදම් කරන්නේ ණය වාරික ගෙවන්න. මුළු වියදම කෝටි ලක්ෂ අටක් වෙනකොට කෝටි හාරලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ණය වාරික සහ පොලිය ගෙවන්න. 2022 ආණ්ඩුවේ මුළු ආදායම කෝටි ලක්ෂ දෙකයි.


අප්‍රේල් 12 – කළු දිනයක්

රටක ආරක්ෂාව රඳා පවතින්නේ ඒ රට කොතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මත. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ආරක්ෂාව, අභිමානය, රඳා පවතින්නේ නැහැ. බංගලාදේශයේ අගමැතිනිය කියන්නේ ලංකාව වැටුණු තැනට බංගලාදේශය වැටෙන්න දෙන්නේ නැහැ කියලා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියන්නේ ලංකාව ණය අරගෙන  සිදුවූ විපත කෙන්යාවට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. රටක් බංකොලොත් වීම පිළිබඳව ජාත්‍යන්තර නිදර්ශනවලට ගන්නේ ලංකාව. අපිට අභිමානයක් ලෝකය හමුවේ නැහැ. අද සිදුවී තිබෙන්නේ එළඹෙන වසරේ ණය වාරික සහ පොලී ගෙවන්නවත් ආදායමක් භාණ්ඩාගාරයට නොලැබීමයි. ආණ්ඩුවේ ආදායම ට්‍රි‍ලියන 03ක් වෙනකොට ණය වාරිකය සහ පොලිය ගෙවන්න ට්‍රිලියන 4.2ක් වියදම් වෙනවා. වසරකට ණය පොලී සහ වාරික ගෙවන්න තරම්වත් ආදායමක් නැති තත්වයට මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ පාලකයන් විසින් ඇදදමා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැන ලියනකොට 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් බුන්වත් භාවයට පත්වුණු බව ප්‍රකාශ කළ කළු දිනයක් බවට පත්වෙනවා.

අපි මිනිස්සුද?


ලෝකයේ ගොඩක් රටවලට තිබෙන සම්පත්වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් අපට තිබියෙදී මේ තත්වයට ඇදදමනු ලැබ තිබෙනවා. මේ සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකි ජනතාවක් රටේ ඉන්නවා. මෙගාවොට් විසිදාහක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මන්නාරමේ තිබෙනවා. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වෙන්නේ රුපියල් 1.38යි. මේ සෑම දෙයක්ම තිබිලත් ණය ගෙවාගන්න බැරි රටක් බවට පත්කර තිබෙනවා. භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගන්න බැරිවී තිබෙනවා. ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙලෙනවා. කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටෙමින් තිබෙනවා. රට හැරයන පිරිස වේගයෙන් වැඩිවෙනවා. වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, බැංකුවල ඉහළ කළමනාකරුවන්, සහ සියලු වෘත්තිකයන් රට හැර යනවා. මේ තත්වය ඇතිවුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. මේ තත්වය අපේ රටේ පාලකයන් විසින් රටට ඇතිකරන ලද තත්වයක්. ඕමාන් රටේදී අපේ සොහොයුරියන්, දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසියේ විකුණන තත්වයට වහල් වෙන්දේසිය වගේ ඇදදමා තිබෙනවා. ඩුබායි රටේ සංචාරක වීසා මත ගිය හතළිස් දාහක් දෙනා හවුහරණක් නැතිව සිටිනවා. මේ තත්වය ඉදිරියට ගලාගෙන යන්න දෙනවාද? නැත්නම් වෙනස් කරනවාද? අපි මිනිස්සු නම් මේ විදිහට තව අඟලක්වත් ඉස්සරහට යන්න නොදිය යුතුයි.

උතුරන ගිණුම්

රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් කොල්ලකා තිබෙනවා. මේ කණ්ඩායමේ ඉහළින්ම දේශපාලනඥයන් ඉන්නවා. ඩීල් දාන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කණ්ඩායමක් ඉන්නවා. මාධ්‍ය හිමිකාරයන් පිරිසකුත් ඉන්නවා. ඡන්දවලදී නාගයින් මවන්නේ ඔවුන්. පොලීසියේ අසූඅටදාහකින් පනහක් වගේ ඉහළ පිරිසක් වගේම 2500ක් පමණ ඉන්න පරිපාලන සේවයේ ඉතා කුඩා පිරිසක් නීතිය පසිඳලන තැනත් ඉතා කුඩා පිරිසක් දූෂිත වළල්ලේ ඉන්නනවා. මේ කුඩා වළල්ල පළවා හැර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න අපි ක්‍රියා කළ යුතුයි. කෝවිඩ් වසංගතය අවස්ථාවේ අපේ රටට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් කොල්ලකන්න පුළුවන් චෞර වළල්ලක් ඉන්නේ. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ ඔවුන්. අපි සියලු දෙනා එකතු වී මේ චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි. දෙපිරිසක් විදිහට බෙදී සිටින මේ පක්ෂ දෙකක් නැහැ. ඔවුන් එක පෙරමුණක්. පසුගිය ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික නොවෙන දේශපාලකයෙක් යුද්ධය නිම කිරීමට දායක වුණු අයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවෙන් ඡන්දය දෙන්න ඉතාලියේ සිට ගිය පිරිසකුත් ඉන්නවා. සෑමදෙනෙක්ම බලාපොරොත්තු වුණේ රට ගොඩගැනීම වෙත සුබවාදී ආකල්පයන්.



සමීප ම පුද්ගලයා

මහ බැංකු මංකොල්ලය සිදු කළ හම්බන්තොට වරාය වික්ක රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ගෝඨාභයට ඡන්දය දුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වැරදිකරුවන් දඬුවම් කරන්න රනිල් වික්‍රමසිංහ පළවා හැර ගෝඨාභයට ඡන්දය දන්නා. නමුත් දැන් සිද්ධ වෙලා තිබෙන්නේ ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා වශයෙන් පාලනය ලබාදීමයි. මේ දෙගොල්ල එකම පිරිසක් බව තහවුරු කරන්න ඕනෑවටත් වැඩිය කරුණු තිබෙනවා. මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා පලවා හැර පොහොට්ටුවට ඡන්දය දුන්නත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පාලකයා බවට පත්කර ගත්තා. ඕනෑම කෙනෙක් අසීරුම තත්වයකට පත්වුණු අවස්ථාවක උදවු ඉල්ලන්නේ සමීපතම පුද්ගලයන්ගෙන්. රාජපක්ෂලා අමාරුවේ වැටුණු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඒ හැමදෙනාම බේරා ගත්තා. ඒගොල්ලෝ එකම කණ්ඩායමක් හැටියට ඉන්න අතරේ අපේ පංතියේ ජනතාව බෙදී රණ්ඩු වෙනවා. නමුත් ඒ ගොල්ලෝ කවදාවත්ම නොබෙදී සිංහල, දෙමළ, මුස්ලිම් හැටියට වගේම ආගම් හැටියට බෙදා වෙන්කරමින් තිබෙනවා. නමුත් අපි සියලු දෙනා එක කණ්ඩායමකට එකතු වී ඔවුන් පළවා හැරිය යුතුයි.

ඊළඟ විරුවා කවුද ?


 
රටේ සියලු සම්පත් විකුණා දමමින් අතීතයේ ක්‍රියාකළා වගේම අයවැය මගිනුත් තවදුරටත් විකුණන්න යෝජනා කරනවා.විශාල ලාභයක් ඉපයූ ලභයක් ඉපයූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ඒ යටතේ තිබෙන ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම එකටම විකුණන්න ලෑස්ති වෙනවා. ගිය අවුරුද්දේ මිලියන 13,844ක් ලාභ ලැබූ ටෙලිකොම් සමාගම විකුණන්න ලෑස්ති වෙනවා. බලාගාර ටික විකුණන්න සූදානම් වෙනවා. මේ බලාගාර ටික ගන්න මිනිහා පළවෙනි මොහොතේ සිට ලාභ ලබනවා. මේ විකිණීමේ ආර්ථික, දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. විහාරමහාදේවී, දුටුගැමුණු, රට රැක්ක විරුවා, වගේ නම්වලින් පෙනී සිටි අයට රැවටුණු කාලය අවසන් කළ යුතුයි. ජනතාව පළවා හැරි රනිල් වික්‍රමසිංහ, සියල්ල දන්නා ලෙස පෙනී සිටින සජිත් වගේ අයට තවදුරටත් ජනතාව රැවටිය නොහැකියි. නීතිඥ සංවිධාන, අපේ ආරක්ෂක සංවිධාන, ලංකාවේ ඇත්ත ව්‍යවසායකයින් හඳුන්වාදීම් ජනවාරි මාසයේදී සිදුකරනවා. රටට සිදුවී තිබෙන විනාශය පිළිබඳ අවබෝධයකින් යුතු පිරිස එකතු වී රට ගොඩනැගීමට පෙළගැස්වීමයි දේශපාලනය කියනේනේ. ජාතික ජන බලවේගය රටට සිදුවී තිබෙන විනාශය ගැන ඒ විනාශයේ දිග පළල ගැන එයින් ගොඩඒමේ මාවත ගැන ජනතාව සමග සංවාදයේ යෙදෙනවා. මේ කාර්යයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.



‘හැම ඩොලරයටම වගකියනවා’

ව්‍යවසායකයා, ධීවරයා, කුඩා කර්මාන්තකරුවා වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඒකාබද්ධ වුණු යාන්ත්‍රණයකින් කෙටි කාලයක් තුළ රට ගොඩනැඟීම කළ හැකියි. විදෙස්ගත ලාංකිකයින් උපයාගෙන තිබෙන ධනය රට ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කරන්න සියලු පහසුකම් දෙන ආර්ථික වෙනස්කම් ජාතික ජන බලවේගය සිදුකරනවා. අපිට ක්ෂණිකව අවශ්‍ය ඩොලර් ලබාගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වාසවන්ත පාලනයක් අපි බිහිකරනවා. ඔබ රටට එවන හැම ඩොලරයක්ම ආයෝජනය ආකාරය අන්තර්ජාලයට එකතු කරනවා. දැන් ඔබ යවන ඩොලර්වලට ඔවුන් ලෝකයේ තිබෙන හොඳම වාහන පාවිච්චි කරනවා. අපේ පාලනයක් තුළ ඔබ යවන හැම ඩොලරයකටම වගකීමක් තහවුරු කරනවා. මේ මූලික වෙනස්කම් කරමින් රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට පැවරී තිබෙන කාර්යභාරය වෙනුවෙන් අපි හැමදෙනාම අත්වැල් බැඳගනිමු.

මර්දනය : නීතිපති උපදෙස් නෑ – වසන්ත යළි රිමාන්ඩ් !

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු වසන්ත ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත අද (12) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකරන ලද චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ, දින 89ක් රැඳවුම් නියෝග යටතේ සිරකර තැබිණි. මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන දින 114කි.

ගෝල්ෆේස් අරගලයට අදාළ ව වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ඉකුත් අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර, නීතිපති උපදෙස් මත පසුගිය නොවැම්බර් 23දා ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

සබැඳි පුවත්

ජැෆ්නා කිංග්ස් LPL වාර්තා අලුත් කරමින් සුපිරි ජයක් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ඊයේ (11 වැනිදා) යාපනය කිංග්ස් සහ දඹුල්ල අවුරා පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති අතර එය ලකුණු 51 කින් ජය ගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ අවුරා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ජැෆ්නා පිලට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 240 ක් ලබාගනිමින් මෙතෙක් එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 35 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 30 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් රැස් කළ අතර ඔහු ගුර්බාස් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

ධනංජය ද සිල්වා පන්දු 12 කදී ලකුණු 19 ක් රැස් කළ අතර ඔහු ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 38 ක් රැස් කළේ පන්දු 22 කට මුහුණ දෙමිනි.

ෂොයිබ් මලික් පන්දු 15 කට මුහුණ දෙමින් ලකුණු 32 රැස් කළ අතර මලික් සහ සධීර එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 12 ක් රැස් කළේය.

අවුරා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත් අතර ප්‍රමොද් මධුෂාන් සහ දුෂාන් හේමන්ත අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අවුරා පිලට ලකුණු 241 ක දැවැන්ත අභියෝගයක් එල්ල වූ අතර ඔවුන්ට පන්දු වාර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි.

කෙසේවෙතත් වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස් කළේය.

එමෙන්ම භානුක රාජපක්ෂ පන්දු 31 කදී ලකුණු 38 ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සමන්විත විය.

ශෙවෝන් ඩැනියෙල් ලකුණු 29 ක් රවිඳු ප්‍රනාන්දු ලකුණු 19 ක් රැස් කළේ පන්දු 13කට මුහණ දෙමිණි.

ජැෆ්නා පිල වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු නිලකුණු පන්දු වාරයක්ද සමගින් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වුණු අතර සුමින්ද ලක්ෂාන් කඩුලු දෙකක්ද,ධනංජයද සිල්වා සහ දිල්ෂාන් මධුෂංක කඩුලු 1 බැගින්ද දවා ගත්තේය.

පන්දු 35 කදී ලකුණු 73 ක් ලබා ගත් රමනුල්ලා ගුරුබාස් තරගයේ වීරයා ලෙස තේරී පත්විය.

මේ වනවිට ජැෆ්නා පිල තරග 4කට මුහුණු දී තිබෙන අතර ඉන් තුනක් ජය ගත්තේය. ඔවුන් පසුගිය 10 වැනිදා කැන්ඩි පිල හා පැවැති තරගය කඩුලු 3කින් පරාජයට පත්වුණු අතර මේ වනවිට දඹුල්ල අවුරා පිල තරග 3කට මුහුණ දුන් අතර එම තරග තුනම පරාජයට පත්වී තිබේ.

‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ විදර්ශනාවක්

0

“එක වසරේ ගුරුවරු ඇදේට ලියන අකුරු වලට හරි නොදමා, ඒ පුංචි ළමයින්ට ‘බෝල අකුරු’ ලියන්න බල කරනවාලු. ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවම, ඇද අකුරු වලට හරි දාල තිබුණොත් පරීෂක වරු ඇවිත් ගුරුවරුන්ට දොස් කියනවාලු. ඉතින් මේ විදුහල්පතිනිය අහනවා ‘පහ හය පන්ති වලින් උඩට ගියාම මොන ළමයද බෝල අකුරු ලියන්නෙ? ඇයි මේ පුංචි ළමා හිත් වලට ඔය තරම් වද දෙන්නෙ?”

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද විශ්වවිද්‍යාලය යනු කුමක්ද කියන පොත කියවන්න පටන් ගත්තේ ඒ පොත මගෙ අතට ලැබුණු සැණින්ම; ලංකාවෙන් මිලට ගත්ත පොත් වගේම බුකර් සම්මාන පවා හම්බ වූණු පොතත් පැත්තකට කරලා දාලා. ඒ පොත කියවලා ඉවර වෙලා ඒ ගැන විචාරයක් ලියන්න ගියාම මට ඒක පාරටම මතක් වුණේ ඔන්න ඔය කතාව. එතෙන්ට අපි පස්සේ එමු, දැං බලමු මොකක්ද මේ පොත කියලා.

මෙවැනි පර්යේෂණ ග්‍රන්ථ අපේ රටේ දුලබ බවත්, මෙම කෘතිය එම අඩුව පිරවීමට ඉදිරිපත් වීමක් ලෙස මේ පොතේම සඳහන් වෙන අතර, මා දකින්නේ මේ පොත වනාහී අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ විදර්ශනාවක් ලෙසටයි. අපේ රටේ විදර්ශනා භාවනා මධ්‍යස්ථාන ටොන් ගාණක් තිබුණත්, විදර්ශනාවට හුරු නොවීමේ ගතියක් අපේ සමස්ත ප්‍රජාවේම ජාන වලටම බද්ධ වී තිබෙන්නාවු සංදර්භයක, මේ පටිසෝතගාමී පියවර ප්‍රසංසාත්මක එකක්.

අපේ රටේ ක්‍රියාත්මක වන ‘නිදහස් අධ්‍යාපනය’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් හෙවත් ලිබරල් අධ්‍යාපනයක් ද නොඑසේනම් රාමුගත කොටුවක හිරවුණු අධ්‍යාපන ක්‍රමයක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් එකී විදර්ශනාත්මක කෝණයේ ඇති වැදගත්කම පෙන්වා දීම මේ පොත සන්නිවේදනය කරන පොදු පණිවුඩය යි. නිදහස් යනු free නම් වූ මූල්‍යමය අර්ථය නොව එය liberal නම් වූ දාර්ශනික අදහස යන්න අධ්‍යයනය ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලුම ක්ෂේත්‍ර වල උදවිය අවබොධ කර ගතයුතු දෙයක් නිසයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම අයට මේ පොත වැදගත් වන්නේ.
මා මේ පොතේ තදින්ම ආලම්බනය කළ කරුණු අතරින් වැදගත්ම කරුණු කීපයක් පමණක් ගෙන හැර පාන්නම්. ඒවා අතර, මේ පොතේ මුල්ම උද්ධෘතය දක්වා ඇත්තේ මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමියන්ගේ ප්‍රකාශයයි. උන් වහන්සේ 1960 දී කරුණු ඉදිරිපත් කර ඇත්තේ කාලාම සූත්‍රය ට අනුව වන අතර, මූලික වශයෙන්ම විශ්ව විද්‍යාලය වනාහි අන්ධ විශ්වාසයට හා භක්තිවාදයට පහර ගසන, නොබියව ප්‍රශ්න කරන ප්‍රජාවක් බිහිකරන නිකේතනයක් විය යුතුය යන කරුණයි. අද එය එය ඉටුවී ඇත් ද? මෙම පොතේ පිටු අතර එම විදර්ශනාව මනාව සිදුවී ඇත.

ලංකාවේ ගුරු පුහුණුවක් සඳහා යම් දායකත්වයක් මගෙන් විමසු අවස්ථාවේ මවිසින් ඔවුන්ට දුන් උපදෙස් මාලාවේ පළමු අංකය ලංකාවේ ගුරුවරු සියලු දෙනාට කාලාම සුත්‍රයේ හරය තම වෘත්තියට අනුගත කරගන්නා අයුරු පුහුණු කළයුතු බවයි. එහෙත් එය අද කෙරෙන්නේ කොහි ද?

ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍යය බවට ආයාචනය ඉදිරිපත් කළ මහාචාර්ය අරුනාචලම් රාමනාදන් බලාපොරොත්තු වූ විශ්වවිද්‍යාලය නම් කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වල කොපි පිටපත් නොවිය යුතු එකක් මෙන්ම, වෘත්තීය නිපුණත්වය, මුදල් ඉපැයීම සහ සැප පහසු ජීවිතයක් ලබාදීම අරමුණු කරගත් එකක් ද නොව්‍රි යුතුය. ඒ වෙනුවට ඔහු බලාපොරොත්තු වූයේ ශ්‍රී ලාංකික සමාජයට සහ සංස්කෘතික සංදර්භයට සංවේදී, ප්‍රඥාවන්ත පුරවැසියෙක් බිහිකිරීම දායක වන ප්‍රඥාව පෝෂණය කරන නිකේතනයක් බව අද ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනාට අමතකව ගොස් ඇති බවට අමරකීර්ති මහතාගේ විදර්ශනා ඥානයට වැටහී ගොස් ඇත.

එසේම එකී මූලික සාකච්ඡා වලට සහභාගී වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාද ප්‍රකාශ කර ඇත්තේ, එවකට ඉංග්‍රීසි ජාතිකයන් විසින් ස්ථාපනය කරතිබූ පෙරදිග කාලා ශිල්ප, භාෂා සහ සාහිත්‍ය නොසලකා හරින ලද අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඒවා මතුකර පොහෙණි කරන විශ්ව විද්‍යාල පද්ධතිය ක් පිහිටු වීමේ අවශ්‍යතාව යයි. එයද මතකයෙන් ගිලිහී ගොස් ඇති බවට මේ පොත දෙස් දෙයි.

මුල සිටම, මෙවැනි සාකල්‍ය වාදී නිදහස් කාරක අරමුණු පදනම් කරගෙන පිහිටවු විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙස මෙම පොත සිදුකරන විදර්ශනාව ඉතාමත්ම විශ්ලේෂණාත්මක එකකි. ලෝකයේ අනෙකුත් රටවල විශ්ව විද්‍යාල එකී අරමුණු ඒ ඒ සන්දර්භයක් තුළ පොහොණි කරගෙන වඩාත් නිදහස් කාරකව, සාකල්‍යය සන්දර්භ සහිතව පවත්වාගෙන යන උදාහරණ කීපයක් සවිස්තරාත්මකව සහ අපේ රටේ විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව විමර්ශනය කරයි.
සාකල්‍ය යනු ජීවිතය අංශ කොටස්වලට නොබෙදා ඒ දෙස පරිපූර්ණව බැලීමයි;
( Holistic vs sectoral)

සාකල්‍ය අධ්‍යාපනික සන්දර්භය පෙරදිගට ආධුනික වූ එකක් නොවේ. අනාදිමත් කාලයක සිට තක්සලාව, නාලන්දාව ඇතුළු පෙරදිග අධ්‍යාපන ආයතන එහි සිසුන්ට ඉගැන්විය යුතු සියලු කලා ශිල්ප හා විද්‍යා උගන්වන නිකේතනව පැවති අතර, ලංකාවේ පැවති පිරිවෙන් ද ඒ සියල්ලෙන් පරිපූර්ණ මධ්‍යස්ථානව පැවත ඇත. ඒවායේ තිබුණු එකම අඩුව ඒවා ඉගැනීම පුරුෂලිංගිකයන්ට පමණක් සීමා වී තිබීමයි. ක්ෂේත්‍ර වලට බෙදීමක් එවායේ නොවීය.

එක්තරා විශ්ව විද්‍යාලයක ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ නාමාවලිය අතරට බුද්ධ දර්ශනය පදනම් කරගත් එකදු ග්‍රන්ථයක් වත් ඇතුළත්ව නැත. මෙයට හේතුව සෙවීම සඳහා අපේ විශ්ව විද්‍යාල පර්යේෂණ කර තිබේද? ඇත්ත වශයෙන්ම මේ සිදුවී ඇති සෝදාපාළුවට වග කිව යුතු කවුද? සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කර ඇති ඔහුගේ න්‍යාය ධර්ම අතික්‍රමණය කරන ධර්ම විග්‍රහ කොතෙක් නම් බෞද්ධ දාර්ශනික හරයේ තිබේද? ඒවා විශ්ව ලෝකය තුළ ඉදිරියට නොගැනීමට හේතු කවරේද?

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි හෝ මහාචාර්ය අරුනාචලම් බලාපොරොත්තු අපේ දේ සහමුලින්ම අමතක කර අපි අපරදිග කරගසාගෙන සිටීම හරිද යන ප්‍රශ්නය ද මෙම විදර්ශනාව තුළ මම දකිනවා.

එහෙත් අපේ විශ්ව විද්‍යාල තුළ ඇති අංශ බෙදීම සහ ඒවායේ තිබූ ආර්ථික සහ තානාන්තර ආදී පටු අරමුණු ගැන කෙරෙන විශ්ලේෂණය තුළින් මනාව විවරණය වන්නේ අපේ රටේ විශ්ව විද්‍යාල තුළින් මෙය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබීමේ ඛේදවාචකය යි.

මේ ගිලිහී යාම තුළින් බිහිවූ පුරවැසි ප්‍රජාවට මාද ඇතුළත් වන අතර, අපි අද අපව පොහෙණි කරනු ලැබූ බටහිර සංදර්භයයේ පිවිසුම් දොරටුව අසල ඇති ගන්ධබ්බ පාරාදීසයේ සාමාජිකයන්ව අපේ යටගියාව අභිනන්දනය කරමින් සිටිමු. අපෙන් පසු පරම්පරාව පෙරදිග උරුමයන් ගෙන් සම්පූර්ණයෙන්ම මිදී, බටහිර වෘත්තීය සහ ලිබරල්වාදී ආර්ථික සන්දර්භය තුළට ප්‍රාදූර්භුත වී එහි ඇතුළතට වැටී ගෙවන්නේද සම්පූර්ණයෙන්ම ගන්ධබ්බ දිවි පෙවෙතක් බව ඔවුන් ම නොදැන සිටීම එම ඛේදවාචකයේ බැරැරුම් ම අවස්ථාවයි.

අද විශ්ව විද්‍යාලය තුළ ස්වාභාවික විද්‍යා, මානව ශාස්ත්‍ර සහ නිදහස් කලා යන විශ්ව පථයන් එකිනෙකින් දුරස්ථව පවතිනවා පමණක් නොව, ඒවායින් පිටවන පුරවැසියන් ද එකිනෙකාට එදිරිවාදිකම් කරමින්, සමච්චල් සහ උස්පහත් කොට සලකමින් එයම සමාජය තුළ අර්බුදකාරී තත්වයන්ට පත්කිරීමට ද දායකව ඇත.

අවසානයේ මෙම පොත, නිදහස් කාරක අධ්‍යාපනය විශ්වවිද්‍යාල තුළ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉතාමත් ප්‍රායෝගික නිර්දේශ සහ නිගමන සමූහයක් ඉදිරිපත් කරයි. එහෙත් මගේ ප්‍රශ්නය ඒ නිගමන සහ නිර්දේශ වලට පමණක් මේ විශ්ව විද්‍යාලය නිදහස් කළ හැකි ද?
විශ්ව විද්‍යාලය තුළ නිදහස් කාරක අධ්‍යාපනයක් පොහොණි කිරීමට එහි බීජ වැපිරිය යුතුයි නේද? එම බීජ වපුරන කෙත පිහිටියේ කොහි ද ?
දැං අපි යමු මේ රචනාවේ මුලට. අකුරු බෝල කරගත නොහී හඬ හඬා ගෙදර යන දරුවන් සිටින පාසැලේ පැළ කරන බීජ වපුරන ඒ විදුහල්පතිනියගේ මැසිවිල්ල අප දුටුවා ද? ඒ බීජ වපුරන කෙත පිහිටියේ කොහිද? බීජ කොහිද? ජල සම්පාදනය කොහිද? විදර්ශනාව තව දුරටත් විසරණය කළ යුතු ඒ කෙත පිළිබඳව අවධානය යොමු කළ යුතුයි නේද?

ගුරු අභ්‍යාස විද්‍යාල, අධ්‍යාපන පරිපාලන සේවය ගුරුවරු, පාසැල් පද්ධතිය, මේ සමස්තය නම් ඒ කෙත නොවේද? මෙම බීජ නොහදා පොහොණි කරන්නේ මොනවාද?

මම පූංචි සන්දර්භ දෙකක් ගන්නම්. කැනඩාවේ විශ්වවිද්‍යාල වලට සුදුසු කම් ලැබීම සඳහා සෑම සිසුවෙක් ම ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු ස්වාභාවික විද්‍යා, physical education, සමාජ විද්‍යා, තාක්ෂණ, නිදහස් කලා වලට ගැනෙන විෂයයන් ඇතුළු ‘සාකල්‍ය විශය ධාරාව’ ක් grade 12 දක්වා හදාරා සමත් විය යුතුය.
එහෙත් ලංකාවේ සාකල්‍ය විෂය ධාරාවේ අවශ්‍යතාවය ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. අපි මෙය මතක් කරගමු . 1971 වන තෙක්ම මෙම සාකල්‍ය විෂය ධාරාවේ අවශ්‍යතාවය තිබුනේ අටවැනි පන්තිය දක්වා පමණි. එතැනින් පසු සිසුන් විද්‍යා කලා වාණිජ ලොස බෙදී විෂය ධාරාව පටු වී සාකල්‍යත්වය හීනව යයි. එකල උසස් පෙළ සඳහා සිසුන් විෂය හතරකට පමණක් සීමා කර තිබුණි.

1971 උස පිම්මක් පනිමින් එය සාකල්‍ය විෂය ධාරාව 10 වැනි ශ්‍රේණිය දක්වා දීර්ඝ කළ අතර අවුරුදු 52 ක් ඇතුළතම එහි වී ඇති වෙනස අබැටකි. සමාජ ආර්ථික සන්දර්භය තුළ ඇතිවී ඇති වෙනසට සමාන්තරව මේ වෙනස අබැටකටත් නැති තරම්ය. මේ ගැන අපි ආඩම්බර වෙමුද? එසේම ආර්ථික සන්දර්භය තුළට ගාල් වී තරගකාරීව විභාග වලට කොටුකර ඇති දරුවන් තුළ පිරිසිදු බීජ වැපිරීමක් නොමැතිව විශ්වවිද්‍යාල තුළ ප්‍රඥාව පොහොණි කරන්නෙ කෙසේද?
එසේ නම් මේ පොතේ දෙවැනි අදියර යා යුත්තේ සමස්ත අධ්‍යාපන කෙතම, අර බෝල අකුරු ලියන්නත් කලින් මොන්ටිසෝරිය ද ඇතුළත් ‘කෙත’ අස්සැද්දවීම කියන තැන සිට ය යන්න මගේ අදහසයි.

එහි පෙරමුණ ගත යුත්තේ ද ඔබ වැනි විශ්වවිද්‍යාලයේ සබුද්ධික ආචාර්ය මහාචාර්ය වරුමයි. ඔබලා ඒ කර්තව්‍යට උරදෙනු ඇතැයි යන්න මගේ අපේක්ෂාවයි.

සුමනා විජේරත්න

අති විශිෂ්ටයන් හඩා වැළපුන ආධුනිකයන් සතුටෙන් මුසපත් වන ශෝකයේ සහ ප්‍රීීතියේ සැනකෙලිය

0

එකම මොහොතක විශිෂ්ටයෝ හඩා වැළ‍පෙන ආධුනිකයෝ කොක් හඩලා සිනහසෙන එය සදාකාලික නොවන ජය ගැනද සදාකාලික නොවන පරාජය ගැනද පාඩම් උගන්නවන අසිරිමත් සැනකෙලියකි. එය කෙටියෙන් නම් කරන්නේ FIFA ලෙසය සැනකෙලියේ දක්ෂතම දෙපා තවා නළවා රනින් සරසන අතර එම දෙපා ලොව ඉහළම ලන්සුවට විකිණෙන එය වෙළදපොලක්ද වන්නේය..

2022 FIFA ලෝක පාපන්දු ක්‍රීඩාව හැරවුම් ලක්ෂ කිහිපයකින් චමත්කාරජනක වෙනසක් කල අතර අප්‍රිකානු මහද්වීපය පාපන්දු ලෝකයේ දැවන්තයෙකු ලෙස දැවැන්තයන් අතරට පැමිණවීම ඉන් ප්‍රධානය. එහි පෙරහුරුව එතෙක් බ්‍රසීලය ජයනොගත් අප්‍රිකානු මහද්වීපයක් වෙනුවට බ්‍රසීලය ජයගත් මහද්වීපයක් බවට පත්කල කැමරූන් රාජ්‍යයට හිමිවිය යුතුය.

මොරෙක්කෝව යනු ගැහැණියව ඉස්ලාම් ආගමේ දැඩි නීති රීතිවලින් සිරකල රටක් වුවද මොරාක්කෝවේ පාපන්දු කලමනාකරු සිය ඉතිහාසගත කර්තව්‍ය ඉටු කරමින් තම කණ්ඩායමේ සියලු පාපන්දු ක්‍රීඩකයන්ගේ මව්වරු, බිරින්දෑවරු සහ ඔවුනගේ දරුවන් ද කටාර් ක්‍රීඩා පිටියට ගෙන ආවේය. අප්‍රිකානුවෝ වෙන කාටත් වඩා තම පවුලේ ඔල්වරසන් හඩට ආශාක්ත බව හේ දැනසිටියේය.
අහා ! එහි ප්‍රතිපල කෙබදුද ?
අප්‍රිකානු මහද්වීපයේ ඉහලින්ම සිටින මෙම උතුරු අප්‍රිකානු ජාතිය, කැනඩාව ගෝල 2-1 කින් පරාජය කරමින් කිසිවෙක් නොසිතූ ආකාරයට ලෝක කුසලාන අවසන් 16 ට තේරී පත් විය. ඔවුහු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පරාජය කලෙ‍් සුපිරි බෙල්ජියම වන අතර එය මොනතරම් බෙල්ජියමට වේදනාවක් වුවේද යත් බොහෝ බෙල්ජියම් නගරවල කුපිත වු ජනතාව තම රටේම වාහනවලට ගිනිතැබුහ.

අවසන් අර්ධ පූර්ණ වටයේ මේ කුඩා ජාතිය පරාජය කළේ කිනම් මිනිසෙක්වද කිනම් රටක්ද ? තමන්ගේ රට, පිට පිට පස්වතාවක් world cup තරඟාවලි සඳහා කැඳවාගෙන ඒමට සමත්වුණු ක්‍රිස්ටියානා රොනල්ඩෝ ඇතුලු පෘතුගලයයි. රෙනාල්ඩෝ යනු පාපන්දු ලෝකයේ නුතන දෙවියාය. ලොව ඉහළම මිලකට සිය දෙපා විකිණිය හැකි මිනිසාය. මේ කුඩා ජාතියේ ජයග්‍රහණයෙන් පසු මෙරොක්කෝ ක්‍රීඩකයකුගේ පෙම්වතිය වූ සුලෙයිමානා, අල් ජසීරාව නාලිකාවල හරි ලස්සන කතාවක් කියා තිබිනි.
‘‘“අපි සඳට ඉහළින් පමණක් නොව, බලන්න අපි එයද ඉක්මවා ගියෙමු අපේ කුඩා ජාතියට මෙය ඇදහිය නොහැකි ජයග්‍රහණයකි‘‘

අවසන් පුර්ව වටයට ඒමට සිහින දකිමින් සිටි ඒ ශ්‍රේෂ්ඨ බ්‍රසීලියානු ක්‍රීඩක නේමර් ගේ සිහිනය ක්‍රොඒසියාවට නායකත්වය දුන් ලූකා මොඩ්රික් ඩැහැ ගත්තේය. බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්ත සත පහකට මායිම් නොකල ලූකා මොඩිරික් යනු කවරෙක්ද ? ඔහුට අවුරුදු 06 ක් වනවිට ලූකාගේ සීයා වෙඩි තබා මැරෑ පසු සිය මව හා පියා සමග ගම අතෑර දා පලාගිය විවිධ සරණාගත කදවුරුවල හැදී වැඩී උස් මහත් වුයෙකි. මිහිරි බටනලා වාදන වෙනුවට ලූකා ඇසුවේ කණ අද්දරන් පපුරායන ග්‍රෙනේඩ් පිපිරුම් ශබ්දයයි. දැන් ඒ සරණාගත මිනිසා, ඔහු ක්‍රොඒෂියාව වයස 37 දී 2022 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට රැගෙන ගොස් ඇත.
මොන තරම් ආශ්වාදජනක කතාවක්ද!
2022 ලෝක කුසලාන සදහා නැවත කටාර් පිටියට නොඑන බවට සහතික කල හැකි ලෝක දැවැන්තයන් දෙදෙනෙක් මේ වනවිට සිටිති ඒ බ්‍රසීලයේ නේමාර් හා පෘතුගාලයේ ක්‍රිස්ටීයා‍නෝ රොනාල්ඩෝය ! තව එක දැවැන්තයෙක් සිනහවෙමින් තවමත් ලෝක පාපන්දුව අතැතිව ඉතිරිව සිටී හේ ලයනල් මෙසීය. 2022 ලෝක පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන්ම සවුදියට පරාජය වීමෙන් ආජන්ටිනාව හඩවමින් තමාද හැඩූ ලයනල් මෙසී. ඔව් ! ඔහු තවමත් සිය ආජන්ටියානු සිහිනය උරමත දරා කටාර් පාපන්දු පිටියේ පසෙක බලා සිටී.

උපාලි ජයසිංහ

මාධ්‍යවේදී කීත් නොයාර් අපරාධය : යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්ට ඇමෙරිකාවෙන් තහනමක් !

0

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීමට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රභාත් බුලත්වත්ත පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

එල්ල වී ඇති වධහිංසා චෝදනා හේතුවෙන් ඔහුට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් විසින් ඊයේ (10) මේ බව නිවේදනය කෙරිණි.

හැඳින්වීම

2008 මැයි මාසයේදී මාධ්‍යවේදී කීත් නොයාර්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, වධහිංසා කිරීම, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම යන කරුණු පදනම් කරගනිමින්, ඊට වගකිවයුතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වී ඇති යුද හමුදා බුද්ධි අංශය යටතේ පාලනය වූ ට්‍රිපොලි කඳවුර බාර ව සිටි ප්‍රභාත් බුලත්වත්ත යනුවෙන් අදාළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිලධාරියා ව හඳුන්වා ඇත.

ගෝඨා සලකයි

මෙම සිදුවීමට අදාළ කාලයේදී මේජර්වරයෙකු ලෙස සේවය කළ ප්‍රභාත් බුලත්වත්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු නැවත සේවයේ පිහිටවූ අතර, ලුතිනන් කර්නල් නිලයට උසස් කෙරිණි.

මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවන් ලෙස අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇත්තේ යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට  සහ ප්‍රභාත් බුලත්වත්තට එරෙහිව ය.

කීත් නොයාර් !

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් දරුණු ලෙස පහර දෙන්නේ ඔහු තම‘සෙන්පති’ ආරක්ෂක ලිපිය මගින් යුද්ධය සම්බන්ධයෙන් ලියන ලද කරුණු නිසා ය. එක් නිශ්චිත දුරකතන ඇමතුමක් ඒ මොහොතේ නොපැමිණියේ නම්, ඒ ඇමතුම එන්නට ප‍්‍රමාද වූයේ නම් කීත් තවදුරටත් ජීවතුන් අතර නොසිටින්නට ද ඉඩ තිබිණි.

මේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇති කරුණු ය.

*

‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ව සිටි මාධ්‍යවේදී කීත් ලෙරෝයි නොයාර් මහතා ව, ඔහු පදිංචි ව සිටි අංක 52, වෛද්‍ය පාර, දෙහිවල නිවස ඉදිරිපිටදී 2008 මැයි 22වැනි දින පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී….. නිවසට පැමිණ කාර් රථයෙන් බැස ගේට්ටුව විවෘත කරන අවස්ථාවේ දී සුදු පාට වෑන් රථයකින් බැස පැමිණි අය පිස්තෝල සහ පොලුවලින් පහර දුන් බවත්….. ඔවුන් ඔහු ව වෑන් රථයකට දමාගත් බවත්, එහිදී ඇස් බැඳ දෑත් පිටුපසට තබා හෑන්ඩ්කප් දැමූ බවත්, රුපියල් 2,000ක් තිබූ පර්ස් එක ද ලබාගත් බවත්, රන් පවුමක පමණ මුද්ද පිස්තෝලයෙන් ගැසූ කෙනා ගත් බවත් ….. වෑන් රථය තුළදී ද පහර දී ඇති අතර, පැයක පමණ කාලයක් ගමන් කර නැවත බැස්සවූ බවත්, අත් විලංගුවලට හරහට පොල්ලක් දමා පොල්ලෙන් උස්සාගෙන ගිය බවත්, ලොකු කාමර සහිත නිවසකට ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දුන් බවත් ….. එල්ටීටීඊ එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියා විමසූ බවත්, උඹට පත්තරේ දමන්න තොරතුරු දෙන්නේ කවුද යනුවෙන් විමසූ බවත්, ඉන්පසුව එතැනට කෝල් එකක් ලද බවත්, ඉන්පසුව දුරකතනයට කතා කළ කෙනා තමන් ළඟට ඇවිත් ඇඳුම් ඇඳගන්නා ලෙසත්, මඩ හෝදාගන්නා ලෙසත් පැවසූ බවත් ….. ඉන්පසුව නැවත වෑන්රථයක නංවාගෙන ඇස් බැඳ රැගෙන ඇවිත් තැනකට දමා මේක කාට හරි කියලා තිබුණොත් මරනවා යනුවෙන් තර්ජනය කර මුදාහැර ඇත.

*

‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතා හා රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ සභාපති වූ ක‍්‍රිෂාන්ත කුරේ විසින් ….. දරන දුරකතනයෙන් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබාගත්තත්, එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ….. දරන දුරකතනයට කතා කොට ‘මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්’ බව පවසා ඇත. එහිදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ‘මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්’ යනුවෙන් පවසා ඇත.

පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පවසා ඇත්තේ ‘ඔතැනට දැන් සීසීඩි එකේ ඩිරෙක්ටර් (කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ) එනවා. එයා ඕක බලයි’ යනුවෙන් දැනුම් දී තිබේ.

*

….. එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතා කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන් මහතාගෙන් විස්තර විමසා ඇති අතර, එහිදී අනුර සේනානායක මහතා විසින් පවසා ඇත්තේ ‘ඔය මනුෂ්‍යයා පැය දෙකකින් විතර එයි. මම  ඕකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා’ යනුවෙනි.

*

ලලිත් අලහකෝන් මහතා විසින් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු සිදු වූ දුරකතන සංවාදයන් පිළිබඳව විමර්ශන පවත්වන ලදි.

දුරකතන සංවාද

1. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ….. දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න භාවිතා කළ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකතනයෙන් රාත‍්‍රී 11.39 ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.

2. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවත්.

3. ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිතා කළ ….. දරන දුරකතනයෙන් රාත‍්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.

4. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ….. අංක දරන  දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර, ට්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)

5. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.)