මිනිසුන් හිඟයි ඇසුරට උඹලගෙ පන්නේ – මැරිලත් ආදරේ ඒ හින්දයි තෙන්නේ

423

අපි එක්වුණා අද උඹ සිහි කරන්නට
සිදුවිය හැමට උඹ නැති බව දරන්නට
ළග නැතිවුණත් අප හා සැරිසරන්නට
අපෙ හිත්වලින් බෑ ඔය නම මරන්නට

ඉස්සර රසිකයෙකි මම උඹගේ දරුණු
කිව්වේ පසුව උඹ මගෙ කවි ගැන කරුණු
ඒ කෙටි ඇසුර කදිමයි නෙක රස පිරුණු
අප දෙදෙනෙක්ය අද අපටම මගහැරණු

තිබුණේ රංඟනය පිළිබඳ බේස්ය
දිව්වේ නැත්තෙ උඹ එනමුත් රේස්ය
රසවන්තයෙක් ලෙස දිවියම ටේස්ය
අපිටත් වඩා දන්නේ එය ග්‍රේස්ය

කොස්තා දෙහිපිටිය විජයල සමග පතී
ආතල් ගන්නවද කට්ටිය එකට එතී
අපි දන්නැද්ද එක්වුණු තැන තියෙන ගතී
උඹලට නෙවෙයි දුක අපටයි උඹල නැතී

ඉන්නා ටිකේ දිය හැකි හැම රස දුන්නේ
සමහරු නැතත් ඒ ගැන දන්නෝ දන්නේ
මිනිසුන් හිඟයි ඇසුරට උඹලගෙ පන්නේ
මැරිලත් ආදරේ ඒ හින්දයි තෙන්නේ

ප්‍රියන්ත කොඩිප්පිලි