මාධ්‍යවේදී කීත් නොයාර් අපරාධය : යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්ට ඇමෙරිකාවෙන් තහනමක් !

Share post:

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීමට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රභාත් බුලත්වත්ත පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

එල්ල වී ඇති වධහිංසා චෝදනා හේතුවෙන් ඔහුට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් විසින් ඊයේ (10) මේ බව නිවේදනය කෙරිණි.

හැඳින්වීම

2008 මැයි මාසයේදී මාධ්‍යවේදී කීත් නොයාර්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, වධහිංසා කිරීම, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම යන කරුණු පදනම් කරගනිමින්, ඊට වගකිවයුතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වී ඇති යුද හමුදා බුද්ධි අංශය යටතේ පාලනය වූ ට්‍රිපොලි කඳවුර බාර ව සිටි ප්‍රභාත් බුලත්වත්ත යනුවෙන් අදාළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිලධාරියා ව හඳුන්වා ඇත.

ගෝඨා සලකයි

මෙම සිදුවීමට අදාළ කාලයේදී මේජර්වරයෙකු ලෙස සේවය කළ ප්‍රභාත් බුලත්වත්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු නැවත සේවයේ පිහිටවූ අතර, ලුතිනන් කර්නල් නිලයට උසස් කෙරිණි.

මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවන් ලෙස අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇත්තේ යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට  සහ ප්‍රභාත් බුලත්වත්තට එරෙහිව ය.

කීත් නොයාර් !

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් දරුණු ලෙස පහර දෙන්නේ ඔහු තම‘සෙන්පති’ ආරක්ෂක ලිපිය මගින් යුද්ධය සම්බන්ධයෙන් ලියන ලද කරුණු නිසා ය. එක් නිශ්චිත දුරකතන ඇමතුමක් ඒ මොහොතේ නොපැමිණියේ නම්, ඒ ඇමතුම එන්නට ප‍්‍රමාද වූයේ නම් කීත් තවදුරටත් ජීවතුන් අතර නොසිටින්නට ද ඉඩ තිබිණි.

මේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇති කරුණු ය.

*

‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ව සිටි මාධ්‍යවේදී කීත් ලෙරෝයි නොයාර් මහතා ව, ඔහු පදිංචි ව සිටි අංක 52, වෛද්‍ය පාර, දෙහිවල නිවස ඉදිරිපිටදී 2008 මැයි 22වැනි දින පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී….. නිවසට පැමිණ කාර් රථයෙන් බැස ගේට්ටුව විවෘත කරන අවස්ථාවේ දී සුදු පාට වෑන් රථයකින් බැස පැමිණි අය පිස්තෝල සහ පොලුවලින් පහර දුන් බවත්….. ඔවුන් ඔහු ව වෑන් රථයකට දමාගත් බවත්, එහිදී ඇස් බැඳ දෑත් පිටුපසට තබා හෑන්ඩ්කප් දැමූ බවත්, රුපියල් 2,000ක් තිබූ පර්ස් එක ද ලබාගත් බවත්, රන් පවුමක පමණ මුද්ද පිස්තෝලයෙන් ගැසූ කෙනා ගත් බවත් ….. වෑන් රථය තුළදී ද පහර දී ඇති අතර, පැයක පමණ කාලයක් ගමන් කර නැවත බැස්සවූ බවත්, අත් විලංගුවලට හරහට පොල්ලක් දමා පොල්ලෙන් උස්සාගෙන ගිය බවත්, ලොකු කාමර සහිත නිවසකට ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දුන් බවත් ….. එල්ටීටීඊ එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියා විමසූ බවත්, උඹට පත්තරේ දමන්න තොරතුරු දෙන්නේ කවුද යනුවෙන් විමසූ බවත්, ඉන්පසුව එතැනට කෝල් එකක් ලද බවත්, ඉන්පසුව දුරකතනයට කතා කළ කෙනා තමන් ළඟට ඇවිත් ඇඳුම් ඇඳගන්නා ලෙසත්, මඩ හෝදාගන්නා ලෙසත් පැවසූ බවත් ….. ඉන්පසුව නැවත වෑන්රථයක නංවාගෙන ඇස් බැඳ රැගෙන ඇවිත් තැනකට දමා මේක කාට හරි කියලා තිබුණොත් මරනවා යනුවෙන් තර්ජනය කර මුදාහැර ඇත.

*

‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතා හා රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ සභාපති වූ ක‍්‍රිෂාන්ත කුරේ විසින් ….. දරන දුරකතනයෙන් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබාගත්තත්, එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ….. දරන දුරකතනයට කතා කොට ‘මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්’ බව පවසා ඇත. එහිදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ‘මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්’ යනුවෙන් පවසා ඇත.

පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පවසා ඇත්තේ ‘ඔතැනට දැන් සීසීඩි එකේ ඩිරෙක්ටර් (කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ) එනවා. එයා ඕක බලයි’ යනුවෙන් දැනුම් දී තිබේ.

*

….. එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතා කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන් මහතාගෙන් විස්තර විමසා ඇති අතර, එහිදී අනුර සේනානායක මහතා විසින් පවසා ඇත්තේ ‘ඔය මනුෂ්‍යයා පැය දෙකකින් විතර එයි. මම  ඕකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා’ යනුවෙනි.

*

ලලිත් අලහකෝන් මහතා විසින් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු සිදු වූ දුරකතන සංවාදයන් පිළිබඳව විමර්ශන පවත්වන ලදි.

දුරකතන සංවාද

1. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ….. දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න භාවිතා කළ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකතනයෙන් රාත‍්‍රී 11.39 ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.

2. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවත්.

3. ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිතා කළ ….. දරන දුරකතනයෙන් රාත‍්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.

4. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ….. අංක දරන  දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත‍්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර, ට්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)

5. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ට්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ ….. අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...