ජැෆ්නා කිංග්ස් LPL වාර්තා අලුත් කරමින් සුපිරි ජයක් ලබයි

Share post:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ඊයේ (11 වැනිදා) යාපනය කිංග්ස් සහ දඹුල්ල අවුරා පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති අතර එය ලකුණු 51 කින් ජය ගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ අවුරා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ජැෆ්නා පිලට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 240 ක් ලබාගනිමින් මෙතෙක් එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 35 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 30 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් රැස් කළ අතර ඔහු ගුර්බාස් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

ධනංජය ද සිල්වා පන්දු 12 කදී ලකුණු 19 ක් රැස් කළ අතර ඔහු ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 38 ක් රැස් කළේ පන්දු 22 කට මුහුණ දෙමිනි.

ෂොයිබ් මලික් පන්දු 15 කට මුහුණ දෙමින් ලකුණු 32 රැස් කළ අතර මලික් සහ සධීර එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 12 ක් රැස් කළේය.

අවුරා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත් අතර ප්‍රමොද් මධුෂාන් සහ දුෂාන් හේමන්ත අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අවුරා පිලට ලකුණු 241 ක දැවැන්ත අභියෝගයක් එල්ල වූ අතර ඔවුන්ට පන්දු වාර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි.

කෙසේවෙතත් වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස් කළේය.

එමෙන්ම භානුක රාජපක්ෂ පන්දු 31 කදී ලකුණු 38 ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සමන්විත විය.

ශෙවෝන් ඩැනියෙල් ලකුණු 29 ක් රවිඳු ප්‍රනාන්දු ලකුණු 19 ක් රැස් කළේ පන්දු 13කට මුහණ දෙමිණි.

ජැෆ්නා පිල වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු නිලකුණු පන්දු වාරයක්ද සමගින් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වුණු අතර සුමින්ද ලක්ෂාන් කඩුලු දෙකක්ද,ධනංජයද සිල්වා සහ දිල්ෂාන් මධුෂංක කඩුලු 1 බැගින්ද දවා ගත්තේය.

පන්දු 35 කදී ලකුණු 73 ක් ලබා ගත් රමනුල්ලා ගුරුබාස් තරගයේ වීරයා ලෙස තේරී පත්විය.

මේ වනවිට ජැෆ්නා පිල තරග 4කට මුහුණු දී තිබෙන අතර ඉන් තුනක් ජය ගත්තේය. ඔවුන් පසුගිය 10 වැනිදා කැන්ඩි පිල හා පැවැති තරගය කඩුලු 3කින් පරාජයට පත්වුණු අතර මේ වනවිට දඹුල්ල අවුරා පිල තරග 3කට මුහුණ දුන් අතර එම තරග තුනම පරාජයට පත්වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...