එවන හැම ඩොලර් එකකම ඉරණම අපි ඉන්ටර්නෙට් එකට දානවා – අනුර කුමාර දිසානායක

Share post:

රටට එවන සෑම ඩොලරයක් ම ආයෝජනය කරන ආකාරය ජාතික ජන බලවේග ආණ්ඩුවකදී අන්තර්ජාලයට එකතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය.

අද (12) ඉතාලියේ, නාපොලි නගරයේදී ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයන් රටට එවන සෑම ඩොලරයක ම වගකීම තහවුරු කරන බවයි.

එහිදී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

විනාශකාරී අන්තයක්

‘ඉතාලියේ සිටින ඔබ ලංකාව සුන්දර රටක් වේ යැයි ප්‍රාර්ථනයකින් කටයුතු කරන බව අපි දන්නවා. මෙයට පෙර අප සමග කටයුතු කළ අයත්, වෙනත් දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධවී කටයුතු කළ අයත් විශාල පිරිසක් මෙතැන සිටින බව මම දන්නවා. අපේ රට ගමන් කරමින් තිබෙන මාවතින් වෙනස් කළ යුතුයි කියන එක අපි සෑමදෙනෙක්ම දන්නවා. මේ මාවතේ ඉදිරිය විනාශකාරී අන්තයක් මිස සුබදායක එකක් නොවෙයි. අපේ රටේ දැන් පවතින අර්බුදය ආර්ථිකයට ලඝු කරන්න බොහෝ අය උත්සාහ කරනවා. නමුත් එහි පතුලේ තිබෙන්නේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතියත් ආර්ථිකයත් දෙකම එකට ගෙන වෙනස් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය බාරගන්න සූදානම්.


ඇත්ත පාර්ලිමේන්තුවක්

මම ලංකාවෙන් පිටත් වුණේ අයවැය විවාදය අවසන්වීමත් සමග. පාර්ලිමේන්තුවේ මේ අයවැය ජයග්‍රහණය කළත්, රට තුළ, ජනතාව අතර එය ජයග්‍රහණය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ජනතාවගේ ඇත්ත මතය නොවෙයි. එවැනි පාර්ලිමේන්තුවක් වෙනුවට ජනතාවගේ ඇත්ත මතය, වුවමනාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. මේ අයවැය ලේඛනය අනුව ලබන අවුරුද්දේ මුළු වියදම රුපියල් කෝටි ලක්ෂ අටයි. ආසන්න වශයෙන් කෝටි ලක්ෂ පහක් ණය ගන්නවා. ඒකෙන් කියන්නේ රජයේ වියදම්වලට ප්‍රමාණවත් ආදායම් භාණ්ඩාගාරයට නොලැබෙන බවයි. කෝටි ලක්ෂ අටෙන් කෝටි දෙලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ලබාගෙන තිබෙන ණය පොලිය ගෙවන්න. කෝටි ලක්ෂ දෙකක් වියදම් කරන්නේ ණය වාරික ගෙවන්න. මුළු වියදම කෝටි ලක්ෂ අටක් වෙනකොට කෝටි හාරලක්ෂ විසිදහසක් වියදම් කරන්නේ ණය වාරික සහ පොලිය ගෙවන්න. 2022 ආණ්ඩුවේ මුළු ආදායම කෝටි ලක්ෂ දෙකයි.


අප්‍රේල් 12 – කළු දිනයක්

රටක ආරක්ෂාව රඳා පවතින්නේ ඒ රට කොතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මත. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ආරක්ෂාව, අභිමානය, රඳා පවතින්නේ නැහැ. බංගලාදේශයේ අගමැතිනිය කියන්නේ ලංකාව වැටුණු තැනට බංගලාදේශය වැටෙන්න දෙන්නේ නැහැ කියලා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියන්නේ ලංකාව ණය අරගෙන  සිදුවූ විපත කෙන්යාවට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. රටක් බංකොලොත් වීම පිළිබඳව ජාත්‍යන්තර නිදර්ශනවලට ගන්නේ ලංකාව. අපිට අභිමානයක් ලෝකය හමුවේ නැහැ. අද සිදුවී තිබෙන්නේ එළඹෙන වසරේ ණය වාරික සහ පොලී ගෙවන්නවත් ආදායමක් භාණ්ඩාගාරයට නොලැබීමයි. ආණ්ඩුවේ ආදායම ට්‍රි‍ලියන 03ක් වෙනකොට ණය වාරිකය සහ පොලිය ගෙවන්න ට්‍රිලියන 4.2ක් වියදම් වෙනවා. වසරකට ණය පොලී සහ වාරික ගෙවන්න තරම්වත් ආදායමක් නැති තත්වයට මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ පාලකයන් විසින් ඇදදමා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැන ලියනකොට 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් බුන්වත් භාවයට පත්වුණු බව ප්‍රකාශ කළ කළු දිනයක් බවට පත්වෙනවා.

අපි මිනිස්සුද?


ලෝකයේ ගොඩක් රටවලට තිබෙන සම්පත්වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් අපට තිබියෙදී මේ තත්වයට ඇදදමනු ලැබ තිබෙනවා. මේ සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකි ජනතාවක් රටේ ඉන්නවා. මෙගාවොට් විසිදාහක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මන්නාරමේ තිබෙනවා. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වෙන්නේ රුපියල් 1.38යි. මේ සෑම දෙයක්ම තිබිලත් ණය ගෙවාගන්න බැරි රටක් බවට පත්කර තිබෙනවා. භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගන්න බැරිවී තිබෙනවා. ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙලෙනවා. කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටෙමින් තිබෙනවා. රට හැරයන පිරිස වේගයෙන් වැඩිවෙනවා. වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, බැංකුවල ඉහළ කළමනාකරුවන්, සහ සියලු වෘත්තිකයන් රට හැර යනවා. මේ තත්වය ඇතිවුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. මේ තත්වය අපේ රටේ පාලකයන් විසින් රටට ඇතිකරන ලද තත්වයක්. ඕමාන් රටේදී අපේ සොහොයුරියන්, දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසියේ විකුණන තත්වයට වහල් වෙන්දේසිය වගේ ඇදදමා තිබෙනවා. ඩුබායි රටේ සංචාරක වීසා මත ගිය හතළිස් දාහක් දෙනා හවුහරණක් නැතිව සිටිනවා. මේ තත්වය ඉදිරියට ගලාගෙන යන්න දෙනවාද? නැත්නම් වෙනස් කරනවාද? අපි මිනිස්සු නම් මේ විදිහට තව අඟලක්වත් ඉස්සරහට යන්න නොදිය යුතුයි.

උතුරන ගිණුම්

රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් කොල්ලකා තිබෙනවා. මේ කණ්ඩායමේ ඉහළින්ම දේශපාලනඥයන් ඉන්නවා. ඩීල් දාන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කණ්ඩායමක් ඉන්නවා. මාධ්‍ය හිමිකාරයන් පිරිසකුත් ඉන්නවා. ඡන්දවලදී නාගයින් මවන්නේ ඔවුන්. පොලීසියේ අසූඅටදාහකින් පනහක් වගේ ඉහළ පිරිසක් වගේම 2500ක් පමණ ඉන්න පරිපාලන සේවයේ ඉතා කුඩා පිරිසක් නීතිය පසිඳලන තැනත් ඉතා කුඩා පිරිසක් දූෂිත වළල්ලේ ඉන්නනවා. මේ කුඩා වළල්ල පළවා හැර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න අපි ක්‍රියා කළ යුතුයි. කෝවිඩ් වසංගතය අවස්ථාවේ අපේ රටට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් කොල්ලකන්න පුළුවන් චෞර වළල්ලක් ඉන්නේ. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ ඔවුන්. අපි සියලු දෙනා එකතු වී මේ චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි. දෙපිරිසක් විදිහට බෙදී සිටින මේ පක්ෂ දෙකක් නැහැ. ඔවුන් එක පෙරමුණක්. පසුගිය ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික නොවෙන දේශපාලකයෙක් යුද්ධය නිම කිරීමට දායක වුණු අයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවෙන් ඡන්දය දෙන්න ඉතාලියේ සිට ගිය පිරිසකුත් ඉන්නවා. සෑමදෙනෙක්ම බලාපොරොත්තු වුණේ රට ගොඩගැනීම වෙත සුබවාදී ආකල්පයන්.



සමීප ම පුද්ගලයා

මහ බැංකු මංකොල්ලය සිදු කළ හම්බන්තොට වරාය වික්ක රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ගෝඨාභයට ඡන්දය දුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වැරදිකරුවන් දඬුවම් කරන්න රනිල් වික්‍රමසිංහ පළවා හැර ගෝඨාභයට ඡන්දය දන්නා. නමුත් දැන් සිද්ධ වෙලා තිබෙන්නේ ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා වශයෙන් පාලනය ලබාදීමයි. මේ දෙගොල්ල එකම පිරිසක් බව තහවුරු කරන්න ඕනෑවටත් වැඩිය කරුණු තිබෙනවා. මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා පලවා හැර පොහොට්ටුවට ඡන්දය දුන්නත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පාලකයා බවට පත්කර ගත්තා. ඕනෑම කෙනෙක් අසීරුම තත්වයකට පත්වුණු අවස්ථාවක උදවු ඉල්ලන්නේ සමීපතම පුද්ගලයන්ගෙන්. රාජපක්ෂලා අමාරුවේ වැටුණු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඒ හැමදෙනාම බේරා ගත්තා. ඒගොල්ලෝ එකම කණ්ඩායමක් හැටියට ඉන්න අතරේ අපේ පංතියේ ජනතාව බෙදී රණ්ඩු වෙනවා. නමුත් ඒ ගොල්ලෝ කවදාවත්ම නොබෙදී සිංහල, දෙමළ, මුස්ලිම් හැටියට වගේම ආගම් හැටියට බෙදා වෙන්කරමින් තිබෙනවා. නමුත් අපි සියලු දෙනා එක කණ්ඩායමකට එකතු වී ඔවුන් පළවා හැරිය යුතුයි.

ඊළඟ විරුවා කවුද ?


 
රටේ සියලු සම්පත් විකුණා දමමින් අතීතයේ ක්‍රියාකළා වගේම අයවැය මගිනුත් තවදුරටත් විකුණන්න යෝජනා කරනවා.විශාල ලාභයක් ඉපයූ ලභයක් ඉපයූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ඒ යටතේ තිබෙන ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම එකටම විකුණන්න ලෑස්ති වෙනවා. ගිය අවුරුද්දේ මිලියන 13,844ක් ලාභ ලැබූ ටෙලිකොම් සමාගම විකුණන්න ලෑස්ති වෙනවා. බලාගාර ටික විකුණන්න සූදානම් වෙනවා. මේ බලාගාර ටික ගන්න මිනිහා පළවෙනි මොහොතේ සිට ලාභ ලබනවා. මේ විකිණීමේ ආර්ථික, දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. විහාරමහාදේවී, දුටුගැමුණු, රට රැක්ක විරුවා, වගේ නම්වලින් පෙනී සිටි අයට රැවටුණු කාලය අවසන් කළ යුතුයි. ජනතාව පළවා හැරි රනිල් වික්‍රමසිංහ, සියල්ල දන්නා ලෙස පෙනී සිටින සජිත් වගේ අයට තවදුරටත් ජනතාව රැවටිය නොහැකියි. නීතිඥ සංවිධාන, අපේ ආරක්ෂක සංවිධාන, ලංකාවේ ඇත්ත ව්‍යවසායකයින් හඳුන්වාදීම් ජනවාරි මාසයේදී සිදුකරනවා. රටට සිදුවී තිබෙන විනාශය පිළිබඳ අවබෝධයකින් යුතු පිරිස එකතු වී රට ගොඩනැගීමට පෙළගැස්වීමයි දේශපාලනය කියනේනේ. ජාතික ජන බලවේගය රටට සිදුවී තිබෙන විනාශය ගැන ඒ විනාශයේ දිග පළල ගැන එයින් ගොඩඒමේ මාවත ගැන ජනතාව සමග සංවාදයේ යෙදෙනවා. මේ කාර්යයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.



‘හැම ඩොලරයටම වගකියනවා’

ව්‍යවසායකයා, ධීවරයා, කුඩා කර්මාන්තකරුවා වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඒකාබද්ධ වුණු යාන්ත්‍රණයකින් කෙටි කාලයක් තුළ රට ගොඩනැඟීම කළ හැකියි. විදෙස්ගත ලාංකිකයින් උපයාගෙන තිබෙන ධනය රට ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කරන්න සියලු පහසුකම් දෙන ආර්ථික වෙනස්කම් ජාතික ජන බලවේගය සිදුකරනවා. අපිට ක්ෂණිකව අවශ්‍ය ඩොලර් ලබාගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වාසවන්ත පාලනයක් අපි බිහිකරනවා. ඔබ රටට එවන හැම ඩොලරයක්ම ආයෝජනය ආකාරය අන්තර්ජාලයට එකතු කරනවා. දැන් ඔබ යවන ඩොලර්වලට ඔවුන් ලෝකයේ තිබෙන හොඳම වාහන පාවිච්චි කරනවා. අපේ පාලනයක් තුළ ඔබ යවන හැම ඩොලරයකටම වගකීමක් තහවුරු කරනවා. මේ මූලික වෙනස්කම් කරමින් රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට පැවරී තිබෙන කාර්යභාරය වෙනුවෙන් අපි හැමදෙනාම අත්වැල් බැඳගනිමු.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...