Home Blog Page 256

IMF තොවිලයට බෙර ගහන අය-වැයක්!

0

ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයේ තව දුරටත් ගිලෙමින් තිබෙන වටපිටාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 අය-වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පොදුවේ ගත්කල දීර්ඝකාලීනව ආර්ථික, සමාජ සහ දේශපාලනික අර්බුදවලින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සලසනවා වෙනුවට, තවදුරටත් ජනතාව මත බරපටවන අය-වැයක් බවට චෝදනා දැනටමත් එල්ලවී තිබේ.

පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ශ්‍රී ලංකා රජය සිදුකල සාකච්ඡාවලදී ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවට සහය ලබාදීම සඳහා වසර 4ක් සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ප්‍රතිපාදනයක් සිදුකරන බවට ප්‍රකාශ කලහ. එහිදී ඔවුන් ඉදිරිපත්කළ යෝජනා සියල්ලෙහිම සාරාංශය ගත්කල ලංකාවේ වර්තමානයේ පවතින දූෂණය, වංචා සහ ආර්ථික අවදානමෙන් ගැලවීමට නම් දැනෙන මට්ටමේ ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණයන් අවශ්‍ය බවට ඉඟිකිරීමෙන් නොව සෘජුවම සඳහන් කර ඇත.

ආර්ථික අවදානම

ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු මෙන්ම මෙරට මහ බැංකුවේ තත්කාලීන වාර්තා පරිශීලනය කරන ඕනෑම අයෙක්ට මෙරට උද්ධමනය වසර පුරාම 60% ඉක්මවන තත්වයක පැවතීම මෙන්ම, විදේශ සංචිත බිඳවැටීම, විදුලි කප්පාදු, තෙල් හිඟකම සහ රජයේ දුර්වල තීන්දු තීරණ නිසා අහිමිවුණු සෘජු සහ වක්‍රාකාර විදේශ ආයෝජන වැනි කරුණු මත රටේ ආර්ථික වර්ධන වේගය 10%කට වැඩි ප්‍රමාණයකින් පහත බසිනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

එසේම රට තුල ආනයන සීමාකිරීම සහ අපනයන හෝ දේශීය පරිභෝජනයන් උදෙසාවන නිෂ්පාදනයන් සඳහාද දිරිගැන්වීම් නොමැති වටපිටාවක, සාර්ව ආර්ථික අර්බුද තවදුරටත් තීව්‍ර වන බවක් පෙනෙන්නට ඇත. රජය එවැනි අර්බුදයන්ට පිළිතුරු සැපයීමට 2023 අය-වැය යෝජනා දායක වනු ඇති බව කීවත්, හුදෙක්ම මේ අය-වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිගැනීමේ මූලිකම අදියර බවට සහතිකයෙන්ම පිළිගත හැකිය.

IMF නාඩි ඇල්ලීම

ලෝකයේ රටවල් ගණනාවක ආර්ථික අර්බුදයක් පැවතියද ලංකාවේ පවතින අර්බුදය ඊට වඩා වෙනස් කරුණු නිසා ඇතිවූවක් බව අමුතුවෙන් තර්ක කළ යුතු නැත. එයට හේතුව මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට ආසන්න දශක කිහිපයේ පාලනයේ පැවති ආන්ඩු ඉතා විශාල දායකත්වයක් ලබාදුන්නා සේම එකී අර්බුදය නිසා රට හිඟාකන තැනට පත්කිරීමේ සම්පූර්ණ වගකීම පවැති ගෝඨාභය රාජපක්ෂ පාලනය සහ වර්තමාන රනිල් වික්‍රමසිංහ- රාජපක්ෂ පාලනය විසින් භාරගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු හුදෙක්ම ආර්ථික මුහුණුවරක්ගත් දේශපාලන සංවිධානයක් බවත්, රටක ආර්ථික අර්බුදයක නාඩි අල්ලන්නට ඔවුන් ඉතාමත් දක්ෂ බවත් ලෝක දේශපාලනය ගැන දන්නා කෙනෙක්ට අමුතු කතාවක් නොවේය.

මෙරට අර්බුදය පාලකයන්ගේ අනවබෝධය නිසා ඇතිවූවක් බව කිසිසේත්ම පිළිගත නොහැකිය. මෙකී හැදෙන්නට මෙන්ම, අර්බුදය දරුණුවන්නට අවශ්‍ය පෝෂණය මෙරට පාලකයන් විසින් උපක්‍රමශීලීව නිර්මාණයකල බවට සාක්ෂි තිබේ. ගෝලීය වසංගතයකින් පීඩි විඳින්මින් ආර්ථිිකය හැකිලෙමින් තිබෙන වටපිටාවක නින්දෙන් අවදිවී පොහොර තහනම් කිරීම වැනි තීන්දු තීරණ හුදෙක්ම ආකාස්මික ඒවා නොව මෙරට ආර්ථිකය වට්ටන්නට හිතා මතාම සිදුකරන ලද ඒවා බවට සාධාරණ සැකයක් ඇත.

ඒ නිසා එවැනි නාඩි අල්ලන්නට සමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික අර්බුදය මෙන්ම වර්ධනය වන බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවේ ඉල්ලීම අනුව මූල්‍ය සහයට මැදිහත්වූ බව පෙනේනනට තිබුණ ද ඔවුන්ගේ යෝජනාවල ඇති උපක්‍රමශීලී සැලසුම් අධ්‍යයනය කළවිට ආර්ථික අර්බුදය හමුවේ මෙරට සෛවරීත්වය පවත්වාගෙන යා නොහැකි තැනට කරුණු සිද්ධවෙමින් පවතී.

ඉල්ලුමට සැපයුම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකයේ සහ මූලික ප්‍රතිපත්තිවල වෙනසක් අපේක්ෂා කරයි. සැකයකින් තොරව එවැනිම ඉල්ලිම් මෙරට බහුතරයක් ජනතාව විසින් ද සිදුකරමින් තිබේ. ෆිස්කල් ප්‍රතිපත්තිය බලගැන්වීම වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ බදු ව්‍යූහයේ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබේ.

එසේම, ආර්ථිකයේ ඉහළ කාර්යභාරයකට හේතුවන බලශක්ති කේන්ද්‍රකරගත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීම හෙවත් පුද්ගලික හිමිකම යටතට ගැනීමේ යෝජනා එන්නේ බොහෝ කාලයක සිටය. එසේම සමාජ සුබ සාධන කප්පාදුව වැනි යෝජනා ද ඉදිරියෙන්ම තිබේ.

2023 අයවැය යෝජනා සලකා බලන විට රාජ්‍ය ව්‍යවසානයන් පුද්ගලීකරණයට සෘජුවම යෝජනා කර ඇති බවත් ඒවා කෙරෙන්නේ කෙසේද යන්න පැහැදිලි කර නැත. විශේෂයෙන්ම පාඩුලබන රාජ්‍ය ව්‍යවසායන් ආර්ථිකමය ලාභයක් ලැබීමට හිමිකම වෙනස් කිරීම මිස වෙනත් යෝජනාවක් ඔවුන් ලඟ නැත.

පොදුවේ බදු සහ අයවීම් වර්ධනය කරගැනීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම මිසක ඒ මත රටේ ජනතාව මත පැටවෙන බර කොතරම්ද යන්න මෙන්ම එයින් සිදුවිය හැකි සමාජමය පරිහාණිය ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොදුජන පෙරමුණු ආන්ඩුවට කිසිඳු තැකීමක් නැත.බොහෝවිට සෘජු බදු ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට ඉලක්ක කරනවා වෙනුවට නැවත නැවත වක්‍ර බදු හරහා ජනතාවගේ අන්තිම හුස්ම පොද දක්වාම උරාගන්නා තැනට රජයක් පත්වීම මෙවැනි අර්බුදයකදී ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකිය.

ණය මිස අන් මගක් නැත?

හුදෙක් ජාත්‍යන්තර අරමුදල ඇතුළු බොහෝ සංවිධාන සහ රටවල් පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉතා දැඩි කොන්දේසී සහ යෝජනා මත ණය ලබාදීමට එකඟ වූවද ඒ තුලින් මෙරට ආර්ථිකයේ සහ දේශපාලන ධාරාවේ පාලනය තමන් සන්තකයට ගන්නවා මිසක සැබෑ ලෙසම තිරසාර සංවර්ධනයකට සත් පරමාර්ථයෙන් දායකවෙන බවක් පෙනෙන්නට නැත.

ස්වදේශීය ආර්ථීකය දියුණු කිරීම වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශීය නිෂ්පාදන යාන්ත්‍රණයේ ඵලදායිතාවය වර්ධනය, මූල්‍ය සහ නීති පද්ධතියේ ප්‍රතිපත්තිමය වෙනසකට අවශ්‍ය සාධනීය දෑත් දිගුකිරීමක ඡායාවක් පෙනෙන්නට නැත. ඒ නිසාම එකී ණය හෝ ප්‍රතිපාදන ඉලක්ක කරගෙන ඒවාට ගැලපෙන ලෙස තීන්දු තීරණ ගන්නවා ඇරෙන්නට මැදිහත්වීමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් හෝ ආන්ඩුවෙන් බලාපොරොත්තුවිය නොහැකිය. ඒ මන්දයත් ඔවුන් ඉතිහාසයේ සිය භාවිතාවෙන් ඊට වඩා යහපත් මැදිහත්වීමක් පෙන්වා නැති නිසාවෙනි.

ඒ නිසා රනිල්ගේ භාෂාවෙන් ඉදිරි කාලය මෙරට ජනතාවට බදු බරින් ඉතා දුෂ්කර කාලසීමාවක් වනවා නියතය. එසේම දේශපාලනිකව රටේ ජනතාවගේ බහුතරයකගේ විශ්වාසය සහ අපේක්ෂාව හිමි ආන්ඩුවක් බිහිවීමකින් තොරව වඩා යහපත් ආර්ථිකයක් වෙත ගමන් කිරීමද සිහිනයක් පමණකි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

දුමින්දගෙන් බේරෙන්න දෙවැනි විශේෂඥ වෛද්‍යවරයාත් ඉල්ලයි : අවසාන තීරණය අපිට ගන්න බෑ – බන්ධනාගාර කොමසාරිස්

0

ජනාධිපති සමාව අත්හිටුවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබියදී, මාස 06ක් තිස්සේ දිගටම රෝහල්ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රතිකාර කිරීමේ වගකීමෙන් නිදහස් කරන ලෙස දෙවැනි විශේෂඥ වෛද්‍යවරයා ද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. ඉන්පසු ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කෙරිණි.

මෙම ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම පසුගිය මැයි 31දා විභාගයට ගැනුණු අතර, එහිදී දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.

ජුනි 01 දින ඔහු හදිසි රෝගී තත්ත්වයක් බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු විය.

‘වගකීම ගන්න බෑ’

ඉන්පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම දැරූ විශේෂඥ වෛද්‍යවරයා එයින් තමන් ඉවත් කරන ලෙස ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව දෙවනුව ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී ඇති හර්ද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ද මීට දින දෙකකට පෙර අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බවයි.

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මෙවැනි විත්තිකරුවෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දිගටම අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය. මේ හේතුව නිසා මෙසේ වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කිරීමෙන් ඉවත් වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ ම එය වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ සැකයක් ද මතුකරන්නකි.

පෞද්ගලික ආරක්ෂකයන් ?

ජුනි 01 දින සිට ඔහු තවමත් ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 03 – පළමු පන්තියේ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී. මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාර නිලධාරීන්ට අමතරව ඔහු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද මෙහි තබාගෙන සිටින බවයි.

‘අපිට කරන්න දෙයක් නෑ’

අධිකරණ නියෝගයෙන් පසු ඔහුගේ වගකීම දරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. එහි කොමසාරිස් චන්දන එකනායකගෙන් thetime.lk මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කටයුතු කිරීම තම දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.

අධිකරණය දැනුවත් ද?

අද (18) වෙළෙඳපොළට නිකුත් වූ ‘අනිද්දා’ පුවත්පතේ සඳහන් වූයේ දුමින්ද සිල්වා මෙසේ දීර්ඝ කාලයක් රෝහලේ රැඳී සිටීම සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කොමසාරිස්වරයා සඳහන් කළේ වෛද්‍ය නිර්දේශ බන්ධනාගාරය හරහා අධිකරණයට දිගටම දැනුම් දෙන බවයි.

ගෙවන වාට්ටුව

ඔහු බන්ධනාගාර රෝහලේ හෝ ජාතික රෝහලේ ප්‍රතිකාර නොලබා, ගෙවීමේ පදනම මත ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ එය වෛද්‍යවරුන් තීරණය කළ යුතු කරුණක් බවයි.

නීතිය සමාන ද?

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ මෙය බරපතළ කරුණක් බවයි. වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වීමෙන් පසු, අධිකරණ නියෝගයක් මගින් එය වලක්වා එම රැඳවියා ජාතික රෝහලට ඇතුළත් කළ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

එවැනි නීතිමය තත්ත්වයන් තිබුණද, එස්.බී.දිසානායක, ප්‍රේමලාල් ජයසේකර වැනි රැඳවියන් ද මෙසේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගත් බව ඔහු සිහිපත් කළේය.

වෛද්‍ය ආචාරධර්ම?

මෙමගින් සිරකරුවන්ට සමානව සැලකුම් ලැබීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වුවද, මෙහිදී වෛද්‍ය වෘත්තිකයන්ට ඇති අභිමත බලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය රැඳවියන් සීය ගණනක් පෙනඩෝල් පෙත්තක් හෝ නොලබමින් බරපතළ ලෙස පීඩා විඳින තත්ත්වයක මෙවැනි කරුණු අසන්නට ලැබීම අතිශය කණගාටුවට කරුණක් බව ද ඔහු අවධාරණය කළේය. මෙහිදී දුමින්ද සිල්වා සම්බන්ධ තනි සම්පුර්ණ වගකීම දරනු ලබන්නේ ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී තිබෙන වෛද්‍යවරයා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

තිලංගට කෝටි 2 1/2ක් වන්දි ගෙවන්නැයි අර්ජුනට නියෝග

0

මීට වසර 19 කට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමන්ට අපකිර්තියක් සිදුවුණා යැයි පවසමින් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එරෙහිව පැවරූ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එය සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ඊයේ (නොවැ. 17) නියෝග කළේ ය.

අර්ජුන රණතුංග කළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට අගතියක් හා අපහාසයක් සිදුව ඇති බව කරුණු සලකා බැලීමෙන් තහවුරු වන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළහ.

අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග හා තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

හිටපු ක්‍රිකට් නායක හා හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග 2003 වසරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ටෙලිකොම් සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරක් දැරීමට තමා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා තිලංග සුමතිපාල විසින් නඩුවක් ගොනු කර තිබිණි.

පැමිණිලිකාර තිලංග සුමතිපාල වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන හා තනුජ මීගහවත්ත, විජිත මීගහවත්ත යන නීතිඥවරුන් පෙනී සිටි අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අතුල හේරත් පෙනී සිටියේ ය.

චන්ද්‍රිකාට තෑගි දුන් ඇතා කන්දේ විහාරයේදී හිංසනයට : තායිලන්ත තානාපති තදින් සිටී !

0

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට තායිලන්ත රජයෙන් ත්‍යාගයක් ලෙස ලබාදුන් ඇතෙකු වහාම ආපසු සිය රටට යැවිය යුතු බව මෙරට තායිලන්ත තානාපති පෝජ් හර්න්පෝල් අවධාරණය කර තිබේ.

මුතුරාජා නම් මෙම ඇතා, අලුත්ගම කන්දේ විහාරයට ලබාදී තිබිණි. එම ඇතාට අවශ්‍ය පහසුකම් නිසිපරිදි නොලැබීම නිසා දැඩි රෝගී තත්ත්වයට පත්ව ඇත.

මේ බව වාර්තා වීමෙන් පසු තායිලන්ත තානාපතිවරයා එහි ගොස් තිබේ.

යන්තම් ශේප් !

ඇතාගේ තත්ත්වය දුටු ඔහු, වහාම තායිලන්ත රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ඇතා ආපසු ගෙන්වාගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බව පෙන්වා දී ඇත. ඒ බව මෙරට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයට ද දැනුම් දීමට තානාපතිවරයා කටයුතු කර තිබේ.

ඉන්පසු එම අමාත්‍යංශ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් සහ විෂය බාර ඇමති මහින්ද අමරවීර තානාපතිවරයා සමග සාකච්ඡා කොට, අදාළ ඇතා දෙහිවල සත්වෝද්‍යානයට බාරදීමට කටයුතු කර ඇත. තානාපතිවරයා පෞද්ගලිකව ම සත්වෝද්‍යානයට ද ගොස් ඇතා පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී දැනට ලබාදී ඇති ප්‍රතිකාර පිළිබඳ සෑහීමට පත්ව ඇත.

ඇතා බාරව සිටි පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද තානාපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කොට ඇත.

ආගමික ස්ථාන උදාහරණ

මීට පෙර කෝට්ටේ රජමහා විහාරය බාරයේ සිටි ඇතෙකු සහ අලියෙකු බරපතළ හිංසනයට ලක්වීමෙන් පසු මියගොස් තිබිණි.

එසේම මාතර, දෙවුන්දර දේවාලය බාරයේ සිටි කළණ නම් ඇත් පැටවා ද එසේ හිංසනයට ලක්වෙමින් සිටින බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු, බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම ඇත් පැටවා රිදියගම සෆාරි උද්‍යානයට බාරදීමට කටයුතු කරන ලදි. ඒ සඳහා සක්‍රීය ව මැදිහත් වූයේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ය.

කැබිනට් හිංසනය

මේ අතර මීට පෙර පැවති ආණ්ඩුව අලි-ඇතුන් සම්බන්ධයෙන් ගත් අත්තනෝමතික කැබිනට් තීන්දුවක් ඒ ආකාරයට ම ක්‍රියාත්මක කිරීමට වර්තමාන ආණ්ඩුව ද කටයුතු කළේය. ඒ පුද්ගලික බාරයේ සිටියදී අත්අඩංගුවට ගෙන රජයේ බාරයට පත් කර සිටි හීලෑ අලි-ඇතුන් 49 දෙනෙකු සම්බන්ධයෙනි.

ඒ අතරින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව බාරයේ සිටි අලි-ඇතුන් 30 දෙනෙකු නිදහස් කිරීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි. පරිසරවේදීන්ගේ බලවත් විරෝධය හේතුවෙන් එය ක්‍රියාත්මක වීම කල් ගියද, එය සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමට නොහැකි විය.

හිංසනයට එකමුතු වීම

වර්තමාන ජනාධිපති, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන හා වයඹ සංවර්ධන එවකට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු එවකට ඇමති ජෝන් අමරතුංග විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබිණි.

‘ඔයිල් පැල්ලමේ’, ‘වයර් පොටේ’ පෙර පුහුණුබිම හෙවත් ‘අයිස්කැට වැටෙන කාලය’

0

‘අතීතෙට ගිහින් මට දෙයක් වෙනස් කරන්න සිද්ධ වුණොත් මං මේ කෙටිකතා පොත පළකරන්න හිතන්නෙවත් නැහැ’ යි, ‘මේ කතා හොඳ නැහැ හරි නෑ’ යි කියලා කියවන්නාගෙ ඔලුවට නන්ස්ටොප් බලපෑම් කළ ලේඛකයෙක්ගෙ අදහස් ඔලුවෙන් ඉවත්කරලා මගෙ ස්වාධීන අදහස් දක්වන්න පුලුවන් මට්ටමට ‘අයිස් කැට වැටෙන කාලය’ කියවන්න මට ටික කාලයක් ගතවුණා. පොත පළකරලා අවසන් නිසා දැන් එය කියැවීමේ සහ විවරණය කිරීමේ අයිතිය පාඨකය සතුයි. ලේඛකයා තෘප්තිමත් නොවුණත් කියවන්නාට අල්ලලා ගිය කතා ලෝකේ නැතුවා නෙමේ. තරිඳු ශ්‍රී ලොකුගමගේ මුල්කාලෙ ලිව්ව කෙටිකතා සංග්‍රහය මං කියවන්න ගන්නෙ, ඔහුගෙ නවකතා දෙක ම කියවලත් කාලෙකට පස්සෙ.

‘වෙල්කම් ටු තායිලන්ඩ්’, සංචාරක සටහන් ආකාරය ද සහිත කතාවක්, තායිලන්තය ගැන විස්තර ඇතුළත්. නමුත් සංචාරය ඇතුළෙ ප්‍රේම කතාවකුත් තියෙනවා. ඒනිසා එක අතකින් එක ම තේමාවෙ ආඛ්‍යානය සමබරව සමාන්තරව උප ආඛ්‍යාන දෙකකින් ගලායනවා. මේක ටිකක් ගී ද මෝපසාං, ඇලන් පෝ වගේ අබිරහසක්, කුතුහලයක් ඇතුළත් කරනවා පාඨකයට හඹායන්න. නමුත් මං කැමතියි එක චරිතයක් අරන්, කථකය හෝ තරුණියව හෝ පැතලිව නොකියවා චරිතය නිරූපණයට තව පය තිබ්බා නම්. මේ කතාව අවසන් කරද්දි තායි තරුණිය ‘වෙල්කම් ටු තායිලන්ඩ් කියල’ ඔහුට එන්න දොර අරින මොහොත කියවන්නාව පීක් එකට ගෙනියන මොහොතක්. චෙකොෆ්ගෙ චෙරිවත්ත අවසානෙ පොරොවෙන් ගස් කපන සද්දෙ ඒ මොහොතෙදි අපිට ඇහෙන්න ගන්නව.

“I don’t think so” කතාව, භාෂා ටුවිස්ට් එකක් විදියට අක්කත් මල්ලිත් එකිනෙකාට මාරුවෙන් මාරුවට කතාකරමින් එක ම දෙබස කියමින් කියවන්නා නිශ්චිත විරාම සහ හිතන්න ඉඩ තියන කෙටිකතාවක්. හැම විරාමයකදි ම කෙටිකතාවෙ නම ඇහෙනව දෙන්නගෙන් එක් කෙනෙක් කියන දෙයක් විදියට.එතනින් එහාට ඒ කොටස අවසන්, ඊළග කොටස පටන්ගන්නවා. මේ විදියට මුලු කතාවම ගෙනියනව.මංජුල වෙඩිවර්ධනගෙ ‘ශුද්ධ වූ ජුදාස්’ පොතේ ‘ගීතයක ඉතිරි අඩ’ කෙටිකතාවෙ තරුණයත් තරුණියත් දෙන්නා අතර මේ විදියට ම කතාවෙ පීක් එක පෙන්වන විරාම හඟවන තැන්වලදි හුවමාරු වන දෙබසක් තියෙනවා,
“කවදද දෙන්නෙ

– අද හෙට ම”
අනෙක් එක, මේ කතාව කියන්නෙ මුලින් මල්ලිගෙ කෝණෙන්(උත්තම පුරුෂ දෘෂ්ටියෙන්)- ඉන්පස්සෙ අක්කගෙ කෝණෙන්(ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන්), ඉන් පස්සෙ අක්ක බැඳපු පිරිමියාගෙ කෝණෙන් (උත්තම පුරුෂ දෘෂ්ටියෙන්) සහ ආයෙත් මල්ලිගෙ කෝණෙන්(උත්තම පුරුෂ දෘෂ්‍ටියෙන්). රියුනොසුකෙ අකුතගවගෙ ‘ලැහැබකදි’ කතාව මතක් කරන මේ ක්‍රමයට මං ප්‍රියයි. කතාවෙ සිදුවීම් තෝරගැනීමෙදී බොහෝවෙලාවට උච්චතම අවස්ථා වෙත කතුවරයා යනවා.
“අක්කා ගියාය. පසුගිය මාස හතරහමාරක දුක් වේදනා ද, ඉදිරි ජීවිත කාලයක සංතාප ද රැගෙන අක්කා ඇවිත් ගියාය”
හඳගමගේ කෙටිකතාවක එන වැකියක් මට මේ ටෝන් එක මතක් කරනවා.
“සුමනදාස ගෙදර පැමිණියේය. ගෞරවාන්විතව ගෙදර පැමිණියේය. වම් පාදය එහෙම් පිටින් ම අහිමි කරනු ලැබ සිටිය ද වීරයෙකු සේ ගෙදර පැමිණියේය”

බස් රථයේ වියපත් පිරිමියාත් මල්ලීත්, මට ඉඟිකළේ ජීවිතේ වියපත් කාලයට මල්ලි ගියායින් පස්සෙ කන්නාඩිය ඉස්සරහට ගිහින් තමන්ගෙන් අහන ප්‍රශ්නයක් වගේ. කොහොම නමුත් මේ කතාව තවත් දිගුකරලා, චරිතවලට තව පණ දීලා, මහන්සියක් අරන් තව වවන්න පුලුවන් බවයි මගේ අදහස.

‘මූදුකරයේ ආදරණීය වෙණ වයන්නිය’ කතාව ජේසු උපන් දා සිදුවීම එක්ක දැරියක මුහුකරල කියන කතාවක්. තටු කපා දාන තාත්තා, නැගිටිනකල් බලන් ඉන්න මුහුද, වෙන ම විදියට කියවගන්න පුලුවන්. මට වෙඩිවර්ධනගෙ ‘ගිමන් හරින්නා සහ අශ්ව හිස’ කතාවෙ ඔහුගෙ නිර්භය පරිකල්පනය මේ කතාවෙදි මතක් වෙනවා. කතාව ගලායන ටෝන් එක අවසානයට යද්දි කනපිට හැරිලා පට පට ගාලා වෙනස්වෙලා, වෙන ම කතාවක් එක්ක මූට්ටුකළා වගේ දැනෙනවා. සංගීඥයා, කලාකරුවා, නර්තන ශිල්පියා, ලේඛකයා සහ සිටුවරයා අතරින් ආර්ථිකය ස්ථාවර කරගෙන ජීවිතේට යහතින් මුහුණදීලා ඉන්නෙ අන්තිමේ සිටුවරයා විතරයි කීම, ලේඛයගෙ උපහාසමය හඬින් මට ඇහෙනවා,
‘කලාකාරයො..උන් හුළඟ වගේ ජීවිත ඇතුළට ගහගෙන එනවා’

ඉහතින් කිව්වෙ මං වඩාත් ආස කළ කතා කීපයයි.’පෙනහලු පිළිකාවක් අපේක්ෂාවෙන්’ සහ ‘අයිස්කැට වැටෙන කාලය’, ‘ඔයිල් පැල්ලම’ සහ ‘වයර් පොටේ’ පෙරපුහුණු බිමක ලකුණු පෙන්වන කතා දෙකක්. වාහන සහ ආදර සබඳතා මේ දෙකටම පොදුයි. ‘ඈ මිය ගියාය’, ‘පේරේස් සහ සුරංගනාව’, ‘සමාවෙන්න ත්‍රිවේන්ද්‍රම්’ විවිධ විෂයක කෙටිකතා. ඒවගේම විරාම සහිතව කොටස් වශයෙන් යන, ප්‍රමාණයෙන් දිග කතා. හැබැයි මං කැමති ලක්ෂණ ඒවයෙත් තියෙනවා.
පොදුවේ මේ කෙටිකතාවල ආඛ්‍යාන වෙනස්කම්, අත් හදාබැලීම් සහ කතා රසය නොනැසීම මගේ හිත්ගත්තා. එක චරිතයක් තෝරාගෙන චරිතෙ සිරස්ව තව කිඳාබහින්න ලේඛකයාට උත්සාහ කරන්න පුලුවන්. මේ කතාවල සිදුවීම්වලින් ඉක් ඉක්මනින් එකක් අනෙකට පිවිසෙන ස්වභාවය අලුත් දෙයක් මට. ‘අයිස් කැට’ වැටුණත් ‘අව්ව පෑව්ව’ත් අතට ගත්ත පෑන බිම තියන්න එපා කියන යෝජනාව කරමින් සටහන නිමාකරන්නම් !

ඩිල්ශානි චතුරිකා දාබරේ

වසන්ත – සිරිධම්ම හිමි රිමාන්ඩ් : නීතිපති උපදෙස් තවම නෑ !

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සැකකරුවන්ට අදාළ නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඔවුන් බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව thetime.lk මීට පෙර සඳහන් කළ ආකාරයට ඔවුන්ට එරෙහි රඳවා තබාගැනීමේ නියෝගය අවසන් වී තිබේ.

සබැඳි පුවත්

රැඳවුම් නියෝග දීර්ඝ නොකරයි : මුදලිගේ – සිරිධම්ම හිමි ත්‍රස්තවාදී චෝදනා දිගටම ?

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නිකුත් කර තිබෙන රඳවා තබාගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරනු ඇතැයි වාර්තා වේ.

මෙම රැඳවුම් නියෝග හෙට (18) දිනෙන් අවසන් වේ.

නීතිපතිට වාර්තාවක්

කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔවුන්ට එල්ල කර ඇති චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිත බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සකස් කළ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

හෙටත් අධිකරණයට

හෙට (18) වසන්ත මුදලිගේ යළිත් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මීට පෙර පසුගිය 14 දින ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය.

ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකෙරුණු අතර, එය තාක්ෂණික හේතුවක් මත කල් දැමිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

පසුගිය 10දා වසන්ත මුදලිගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරුන් නියෝග කළේ වහාම ඔහු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි. මෙහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥ පිරිසක් අධිකරණයේ පෙනීසිටියේය.

එම නියෝගයට අනුව 14දා ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී හඳුනාගැනීමේ පෙරට්ටු කිහිපයකට ඉදිරිපත් කළ යුතු යැයි පවසමින් ඔහුගේ මුහුණ ආවරණය කොට අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා විසින් එම හඳුනාගැනීමේ පෙරට්ටුවලට අදාළ නඩු මොනවාදැයි විමසීමේදී, එබඳු කිසිදු නඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීන් සමත් වූයේ නැත.

පොලිසියේ උපක්‍රම

එහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවද, ඔහුව තවදුරටත් කෙසේ හෝ රක්ෂිත භාරයේ තබාගැනීමේ අරමුණින් මෙබඳු කූඨ උපක්‍රම පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

තාවකාලික පනතක්

1979 වර්ෂයේදී එවකට පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරන ලද්දේ තාවකාලික පනත් කෙටුම්පතක් වශයෙනි. නමුත් ඒ තාවකාලික පනත අද දක්වාම වසර 43 ක කාලයක් අපගේ නීති පද්ධතිය තුළ, මර්දනය සඳහා ම රඳවාගෙන සිටින බවට පැවති සියලු ආණ්ඩුවලට චෝදනා එල්ල විය.

ව්‍යවස්ථා විරෝධීයි !

ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධ ප්‍රතිපාදනවලට පටහැනි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම සැකකරුවෙකුට ම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට සහ නඩු නැතුව දීර්ඝ කාලයක් රඳවාගැනීම ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වධහිංසාවන්ගෙන් සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් වැළකීමේ නිදහසට මෙය පටහැනි බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

රුධිර පරීක්ෂණ ලිපිය ගැන විමර්ශනයක් : කාටවත් මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

0

ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල ලෙස සැලකෙන කාසල් වීදියේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ නතර කිරීම සහ ඊට අදාළ ව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන විසින් යොමුකරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අද (17) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවා ඇත්තේ අභ්‍යන්තර ලේඛන පිටතට යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම වෙනුවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සහ වෛද්‍ය අජිත් දන්තනාරායන සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, ඔවුන් රැස්වීම්වල බව පවසමින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදි.

මෙම රැස්වීම සඳහා කාසල් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය උදුලා විදානගේ ඇතුළු පිරිසක් ද කැඳවා තිබේ.

සත්‍ය ලිපියක්

යොමු අංක GRM/B/14/2022 යටතේ පසුගිය 14දා කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් යොමුකරන ලද ‘රෝහල් රසායනාගාරය තුළ FBC පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නතර කිරීම’ සම්බන්ධයෙන් වන ලිපියක් මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එය සත්‍ය ලිපියක් බව අප කළ විමර්ශනයක් මගින් අනාවරණය කර ගැනිණි.

රෝහලේ සේවයේ නියුතු සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රධාන හෙද නිලධාරිනියන්, ඒකක බාර හෙද නිලධාරිනියන් වෙත යොමුකර තිබූ මෙම ලිපියේ මෙසේ සඳහන් වේ.

‘මෙම රෝහල් රසායනාගාරය තුළ FBC පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතික්‍රියක සපයාගැනීමේ ගැටළුවක් මත අදාළ පරීක්ෂණය රෝහල් රසායනාගාරය තුළ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මින් කාරුණිකව දැනුම් දෙමි.
අදාළ පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන තෙක් FBC පරීක්ෂණය සඳහා වන රුධිර සාම්පල රෝහල් රසායනාගාරය වෙත යොමුනොකරන ලෙස ද වැඩිදුරටත් සඳහන් කර සිටිමි.’

මෙම ලිපියේ පිටපත් ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කාර්මික විද්‍යාඥ වෙත ද යොමු කර ඇත.

වෛද්‍ය චමල්ගේ වැඩ තහනම

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ අවස්ථා රැසක් පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. එහි ආසන්නතම සිදුවීම වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 80ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව හෙළිදරව් කරමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ (MCPA) සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමයි. එය සිදුකර තිබුණේ පසුගිය නොවැම්බර් 03දා ය.

වරද අධ්‍යක්ෂ පිටින් යවයි

මීට පෙර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇති වූ ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා වෛද්‍ය සැපයුම් අංශයට යොමුකළ අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍යවල පළවීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්විණි. ඉන්පසු අමාත්‍යංශය පාර්ශ්වයෙන් මාධ්‍ය වෙත පැවසුවේ නියමිත පරිදි ඖෂධ ඇනවුම් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කර නැති බවත්, එහි සම්පුර්ණ වගකීම අධ්‍යක්ෂවරයා බාරගත යුතු බවත් ය.
කරාපිටිය රෝහලේ ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ද මෙවැනි ම ගැටළුවක් මතු විය.

‘මැරෙන්න දෙන්නෙ නෑ’

මෙම ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් හිඟය සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක් පහත පළ වේ.

‘අනෙක් පෝලිම් වගේම ඖෂධ හිඟය කියන්නෙත් විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමක් හදපු කතාවක් කියලද ආණ්ඩුව පාර්ශ්වය කියන්නෙ ඇමැතිතුමා…?

මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මුලින්ම පිළිගන්න ඕනෙ. හැබැයි මට විෂය බාර ඇමැතිවරයා විදිහට එක කාරණයක් පැහැදිලිව කියන්න පුළුවන්, කවුරුවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ. ඒ වගකීම මට ගන්න පුළුවන්.

ඒ කියන්නෙ ඇති තරම් බෙහෙත් තියෙනවා …?

නෑ. ඒකයි මං කිව්වෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපි අසීරු තත්ත්වයකට ගන්න වෙනම බෙහෙත් වෙන්කරලා තියෙනවා. හැබැයි ඉස්සර තිබුණු නිදහස මේ වෙනකොට නෑ. ඉස්සර නම් අපිට ගැටළුවක් නැතුව රෝහලකට මාස දෙකකට-තුනකට බෙහෙත් දෙන්න පුළුවන්. දැන් අපිට ඒක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.’

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

0

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති විරෝධී උත්සාහයක නිරත වේ. රාජ්‍ය නිලධාරීන් සමඟ එක් ව මෙම කඳුවැටිය අවට ජීවත් වන ජනතාව භීතියට පත් කර පාරිසරික අණ පනත් උල්ලංඝණය කර දේශපාලන බලය හා ව්‍යාපාරික බලය භාවිත කර මෙම කඳුවැටිය බලහත්කාරයෙන් ලබා ගැනීමට මෙම සමාගම උත්සාහ
ගනිමින් සිටී. මේ තත්ත්වය තවදුරටත් සනාථ වන්නේ පසුගිය දා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විසින් වන සංරක්ෂණ ජනරාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා ලංවා සිමෙන්ති සමාගමේ නියෝජිතයන් පිරිසක් කැඳවා මෙම කඳුවැටියේ ඉඩම් කෙසේ හෝ සමාගමට ලබා දීමට ගන්නා සැලැසුම් සහගත උත්සාහයත් සමඟ ය. මීට අමතර ව හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස වන රක්ෂිතයට අයත් අක්කර 10 ක භූමියක් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලංවා සිමෙන්ති සමාගමට ලබා දීමට නීති විරෝධී අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ විසින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත ලබා දී තිබේ. ඒ සඳහා ලංවා සිමෙන්ති සමාගමෙන් විශාල මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇති බවට වාර්තා වේ. මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන සමාගමක් ගල්බොක්කයාය කඳුවැටියේ කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ගන්නා උත්සාහයේ දී නීත්‍යානුකූල ව කටයුතු කරන බවට විශ්වාස කළ නොහැකි ය.

නීති විරෝධී ව ගවේෂණ බලපත්‍ර ලබා දීම

ගල්බොක්කයාය කඳුවැටියේ කැල්සයිට් ඛණිජ කැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් මගින් ඛණිජ ගවේෂණ බලපත්‍රයක් මෙම සමාගම මගින් ලබා ගෙන තිබෙන බවට තහවුරු වී තිබේ. EL/419 දරන මෙම බලපත්‍රය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමිනි. මේ නිසා එය නීති විරෝධී බලපත්‍රයක් වේ. සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයක ඛණිජ ගවේෂණය සඳහා එම දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොර ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට ඛණිජ ගවේෂණ බලපත්‍රයක් අභිමත බලය භාවිත කර ලබා දීමේ හැකියාවක් නැත. එබැවින් මෙම බලපත්‍රය අල්ලස් ලබා දීම මත හෝ වෙනත් බලපෑමක් මත ලබා ගෙන ඇති බව තහවුරු වේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ක්‍රියාත්මක වන 1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ මූලික අර්ථනිරූපනයේ සඳහන් වන්නේ ඛණිජ ද්‍රව්‍ය ගවේෂණය කිරීම, පතල් කැනීම, ඛණිජ ප්‍රවාහනය කිරීම, සකස් කිරීම, වෙළඳාම් කිරීම හෝ අපනයනය කිරීම විධිමත් කිරීම අරමුණු කර ගෙන මෙම පනත නීති ගත කර ඇති බව ය.

මෙම පනතේ 28(1) උප වගන්තියේ සඳහන් වන ආකාරයට ඛණිජ ද්‍රව්‍ය කැණීම, ගවේෂණය, ප්‍රවාහනය, වෙළඳාම, ගබඩා කිරීම හා අපනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. 2009 අංක 66 දරන පනතින් අවසන් වරට සංශෝධිත පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 63 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව ඛණිජ ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීමේ දී එවන් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 50,000 ත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. එම වරද නැවත නැවත සිදු කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ 20 ත් අතර දඩයකට හෝ වසර 2ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැක.

මේ ආකාරයෙන් නීති රීති පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතට ඇතුළත් කර ඇත්තේ ඉතා දැඩි පරික්ෂාවක් හා විධිමත් ක්‍රමවේදයක් යටතේ, තිරසර භාවිත සංකල්පය පදනම් කර ගෙන ඛණිජ කැනීම් නියාමනය කිරීම සඳහා ය. එසේ තිබිය දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යයන පදනම් කර ගෙන ලංවා සමාගමට සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට සුදුසු කැනීම් භූමි ලබා දීම වෙනුවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂා කර ඇති වනාන්තර ප්‍රදේශ විනාශ කර ඛණිජ කැනීමට අවශ්‍ය ගවේෂණ කටයුතු සඳහා ලංවා සමාගමට බලපත්‍ර ලබා දීම ඉතා ම හානි කර ක්‍රියාවකි. මෙම ඛණිජ ගවේෂණ බලපත්‍රය ලංවා සමාගමට ලබා දීමට ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය සඳහා බහුල ව භාවිත වන අවසාධිත හුණු ගල් වෙනුවට විපරීත පාෂාණයක් වන ඩොලමයිට් නැතහොත් කැල්සයිට් ලබා ගැනීමට හේතු විමසීම හෝ සිදු කර නොමැත. එපමණක් නොව කිසිදු ශක්‍යතා ඇගයීමකින් තොර ව මෙම සමාගම සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක කර්මාන්තශාලා වස්ථාපිත නොකර හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්තශාලාව ස්ථාපිත කර දේශපාලන හා මුදල් බලය භාවිත කරමින් සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට ක්‍රියාත්මක වීම ද සොයා බැලිය යුතු කරුණකි. නමුත් මේ පිළිබඳ ව කිසිදු අවධානයකින් තොර ව සමාගමේ මුදල් බලයට යට වී සිටින නිලධාරීන් විසින් ඛණිජ ගවේෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ලංවා සිමෙන්ති සමාගම වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන්

මෙම නීති විරෝධී ගවේෂණ බලපත්‍රය යටතේ ක්ෂේත්‍ර කැනීම් සිදු කරන අවස්ථාවේ දී කඳුවැටිය අවට ගම්මානවල ජීවත් වන ජනතාව ඊට විරුද්ධ ව කටයුතු කළ අවස්ථාවේ දී ලංවා සිමෙන්ති සමාගමේ සාමාන්‍යාධිකාරී නුවන් ජයසූරිය විසින් සාවද්‍ය පැමිණිල්ලක් පෙලීසියට යොමු කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට ගම්වැසියන් විසින් රාජකාරී කටයුතු සඳහා බාධා කළ බව යි. පෞද්ගලික සමාගමක සේවකයකු මේ ආකාරයෙන් රාජකාරියට බාධා කළ බවට පොලීසියේ පැමිණිල්ලක් කිරීමෙන් පෙනී යන්නේ සමාගම සතු මූල්‍ය බලය භාවිත කර පොලීසිය ඇතුළු සියලු ආයතන තම ග්‍රහනයට නතු කර ගෙන ඇති බව ය. මෙම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් සිදු කරන විමර්ශනවල දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා විසින් පොලීසියට දැනුම් දී ඇත්තේ තම ආයතනයේ නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීමක් සිදු වී නොමැති අතර එවන් පැමිණිල්ලක් තම ආයතනයේ නිලධාරීන් විසින් පොලීසියට යොමු කර නොමැති බව ය. නමුත් ලංවා සිමෙන්ති සමාගමේ සාමාන්‍යාධිකාරී නුවන් ජයසූරිය විසින් යොමු කළ සාවද්‍ය පොලිස් පැමිණිල්ලට අනුව උඩවලව පොලීසියේ පොලිස් ස්ථානාධිපති එම්. එස්. දයාසිරි ගේ මෙහෙයවීම යටතේ ගල්බොක්කයාය කඳුවැටිය අවට ගම්මානවල ජීවත් වන තරුණයන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. සමහර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් ගම්මානයට පැමිණි අවස්ථාවේ දී ඔවුන් අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ අවස්ථාවල දී එම පුද්ගලයන්ට අයත් යතුරුපැදි පොලීසිය භාරයට ගෙන තිබේ.

මෙය සාවද්‍ය පැමිණිල්ලක් බවට ලිඛිත සාක්ෂි තිබිය දී ලංවා සිමෙන්ති සමාගමේ සාමාන්‍යාධිකාරී නුවන් ජයසූරිය අත්අඩංගුවට ගැනීම වෙනුවට තම අයිතිවාසිකම් වෙනුවෙන් හා රටේ සම්පත්වල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ තරුණයන්ව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. ලංවා සිමෙන්ති සමාගම විසින් උඩවලව පොලිස් ස්ථානාධිපති ඇතුළු ඉහළ නිලධාරීන් බොහොමයකට අල්ලස් ලබා දීම මත මෙය සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එසේ නොමැති නම් මෙවන් තත්ත්වයක් ඇති විය නොහැකි ය. මේ නිසා මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු ව ඇත. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රසංග උදයකාන්ත ද ලංවා සිමෙන්ති සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බවට තහවුරු කිරීමට සාදක පවතී. ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර, වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් බදු පදනම මත සමාගමකට ලබා දීමට තමන් වෙත පැවරීමට කටයුතු කරන ලෙස ය.

මීට අමතර ව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී කීර්ති ගමගේ විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ඛණිජ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගල්බොක්කයාය කඳුවැටියේ පෙට්ටිගල කන්ඳ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් වෙත පැවරීමට කටයුතු කරන ලෙස ය. පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් මේ ආකාරයෙන් සමාගමකට වනාන්තර ඉඩම් ලබා දීමට ප්‍රාදේශීය ලේකම් හා ඉඩම් කොමසාරිස් ජනරාල් කිසිදු බියකින් තොර ව ලිඛිත ඉල්ලීම් කර ඇත්තේ දේශපාලන බලය හා ලංවා සිමෙන්ති සමාගමේ මුදල් බලය මත බව ඉතා ම පැහැදිලිය. නීතියේ ආධිපත්‍යය පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ඇති රටක මෙවැනි දෑ සිදු වූයේ කෙසේ ද යන්න පුදුමයට කරුණකි. අප ගේ බදු මුදල්වලින් වැටුප් ලබමින් ජනතාව ගේ පොදු සම්පත් ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන් විසින් මේ ආකාරයෙන් කටයුතු කිරීම විමතියට කරුණකි. නමුත් මේ නීති විරෝධී ක්‍රියාවලට එරෙහි ව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ විගනකාධිපති දෙපාර්තමේන්තුවේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු ඉදිරිපත් වී නොතිබීම කණගාටුවට කරුණකි.

ගල්බොක්කයාය කන්දේ පාරිසරික හා සමාජයීය වැදගත්කම

ලංවා සමාගමේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට උත්සාහ කරන ගල්බොක්කයාය කඳුවැටිය සංඛපාල කඳුවැටිය හා සම්බන්ධ සුවිශේෂී වනාන්තර පද්ධතියකි. මෙය ප්‍රධාන කඳු 4 කින් සමන්විත වේ. එනම් පහන්වැටිය ගල, මිනීමරුයාය, පෙට්ටිගල කන්ඳ හා නයිගල වශයෙනි. මෙම කඳුවැටියෙන් ගලා යන දියදහරාවන් සියල්ල වලවේ ගගේ ජල පෝෂක අතු ගංගාවන් වේ. මීගහ ආර, කාරඩි ආර හා කරමැටි ආර මෙම කඳුවැටියෙන් ආරම්භ වේ. කාරඩි ආරේ ජලයෙන් පුහුල්යාය වැව, පනහඩුව වැව හා ඇමිටිල්ලන්කැටිය වැව පෝෂණය වේ. මෙම වැව් මගින් කුඹුරු අක්කර 250 කට පමණ ජලය සැපයෙන අතර කාරඩි ආරේ ජලය අවසානයේ උඩවලව ජලාශයට එක් වේ. මීගහ ආර හා කරමැටි ආර ද එකට එක් වී උඩවලව ජලාශයට ජලය සැපයයි. මෙම කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා යන ගල්බොක්කයාය දොළ හරස් කර ජලය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතිය මගින් කොළඹගෙ ආර හා වැල්ලෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් පවුල් 2000 කට පමණ පානීය ජලය සපයයි. මෙම කඳුවැටිය හා සම්බන්ධ උල්පත – තිත්තවැල්පත පානීය ජල ව්‍යාපෘතියෙන් හිගුරණ උල්පත, තිත්තවැල්පත, කරවිලයාය හා පුහුල්යාය යන ගම්මානවල පවුල් 1500 කට පමණ පානීය ජලය ලබා දෙයි. මීට අමතර ව මෙම කඳුවැටිය හා සම්බන්ධ වැල්ලෑව පානීය ජල ව්‍යාපෘතියන් විශාල ගොවි පවුල් සංඛ්‍යාවකට පානීය ජලය සපයයි. මෙම කඳුවැටිය වටා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට අයත් ගම්මාන 6 ක් පමණ පිහිටා තිබේ. තිත්තවැල්පත ග්‍රාම නිලධාරී වසමට අයත් උල්පත, තිත්තවැල්පත හා කොස්වැටිය යන ගම්මාන සහ පනහඩුව ග්‍රාම නිලධාරී වසමට අයත් ලයිට්පාර, පුහුල්යාය හා කරමැටි ආර ගම්මාන කඳුවැටිය වටා පිහිටා තිබේ.

මෙම කඳුවැටිය අවට ගම්මානවල ජීවත් වන ගොවි ජනතාව කඳුවැටියෙන් ගලා එන ජලයෙන් හා වර්ෂා ජලයෙන් හේන් ගොවිතැන්වල නිරත වේ. එළවලු ඇතුළු බෝග වර්ග රැසක් මෙම ප්‍රදේශයේ වගා කෙරෙන අතර ඒ සියල්ල මේ කඳුවැටියේ සුරක්ෂිතතාව මත රදා පවතී. ගල්බොක්කයාය කඳුවැටියේ විශේෂිත වනාන්තර පරිසර පද්ධති කිහිපයක් දැක ගත හැකි ය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වියළි පතන ,තෘණ භූමි හා ගංගාශ්‍රිත වනාන්තරවලින් මෙම කඳුවැටිය වැසී පවතී. සංඛපාල කඳුවැටිය හා මේ ආශ්‍රිත ප්‍රදේශයේ මෙතෙක් විද්‍යාත්මක ව නාමකරණයට ලක් නොකළ මුළු ලොවින් ම මෙම ප්‍රදේශයේ පමණක් ජීවත් වන දිවාසැරි හූනන් විශේෂයක් සොයා ගැනීමට උරග විද්‍යාඥ සමීර සුරන්ජන් කරුණාරත්නට හැකි වී ඇත. එය මෙම කඳුවැටි පද්ධතියේ සුවිශේෂත්වයකි.

මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ වන අලු කෑදැත්තා (Grey Hornbill) හීන් කොට්ටෝරුවා (Small Barbet) හිස කළු කොණ්ඩයා (Black – capped Bulbul) වැනි පක්ෂීන් මෙන් ම නේවාසික වනාන්තරවාසී පක්ෂීන් වන ගෝමර කෑරලා (Yellow – Fronted Pied Woodpecker) වන පොල්කිච්චා(Ceylon Shama) හිස කළු පදුරු දෙමලිච්චා (Black – fronted Babbler) රන් නලල් ගිරා කුරුල්ලා (Gold – Fronted Chlorosis) වැනි පක්ෂි විශේෂ වාර්තා වේ. ඉතා ම කෙටි කාලයක් තුළ මෙම ලියුම්කරු විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පක්ෂි විශේෂ 72 ක් හා සමනල විශේෂ 53 ක් මෙම කඳුවැටියෙන් වාර්තා කිරීමට හැකි වී ඇත. මේ නිසා මෙම කඳුවැටි පද්ධතිය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු අතර ඒ තුළින් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම ඉතා හොදින් අවබෝධ කර ගත හැකි ය. මෙවන් සුවිශේෂී කඳුවැටියක්, අවට ජීවත් වන ජනතාව හා එහි ජෛව ප්‍රජාව අවතැන් කර සමාගමක අවශ්‍යතා මත විනාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු නැත. එහි පවතින මිල කළ නොහැකි පාරිසරික, ජෛව විද්‍යාත්මක හා සමාජ ආර්ථික වටිනාකම් හේතුවෙන් අණ පනත් කිහිපයක් යටතේ ආරක්ෂාව හිමි ව ඇත. මේ වන විට ලංවා සමාගම විසින් මෙම කඳුවැටි පද්ධතියේ ආරක්ෂාව තහවුරු කර ඇති මෙරට ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ඛණිජ ගවේෂණයට හා ඛණිජ කැනීමට සූදානම් වේ.

ලංවා සමාගමෙන් උල්ලංඝනය කරන අණ පනත්

ලංවා සමාගමේ කැල්සයිට් ඛණිජ කැනීම් ව්‍යාපෘතියට යොදා ගැනීමට සැලැසුම් කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ප්‍රදේශයක් බැවින් 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥා පනත අදාළ වේ. මෙම පනතේ 20 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තර, රක්ෂිත වනාන්තර හා ගම්බද වනාන්තර හැර වෙනත් රජයේ වනාන්තර සඳහා ආරක්ෂාව ලබා දී තිබේ. පනතේ 20(1) උප වගන්තියේ රජයට අයත් වෙනත් වනයක තහනම් ක්‍රියා දක්වා තිබේ. ගස් ගපා හෙළි කිරීම, දියපහරවල් අවහිර කිරීම, ගල් කැඩීම හෝ ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ සන්තකයේ තබා ගැනීම, එළි කිරීම, දැව හෙළිම, ප්‍රවාහනය කිරීම, තාවකාලික හෝ ස්ථිර ඉදිකිරීම් කිරීම හෝ ඒවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ. එවන් තහනම් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව වනාන්තරයට සිදු කළ හානිය සම්බන්ධයෙන් අධිකරණය විසින් තක්සේරු කළ වන්දි මුදලක් දඩයක් ලෙස ගෙවීමට ද සිදු වේ. පනතේ 20(2) උප වගන්තියට අනුව රජයට අයත් වෙනත් වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය.

පනතේ 49 වන වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීම වැළැක්වීම සඳහා සෑම වන නිලධාරියෙකු ම හා පොලිස් නිලධාරියෙකු ම මැදිහත් වීම කළ යුතු ය. පනතේ 49අ උප වගන්තියට අනුව වන අපරාධ වැළැක්වීම සඳහා කටයුතු කරන නිලධාරියකුට තර්ජනය කිරීම, බාධා කිරීම, බිය වැද්දීම, පහර දීම වරදක් වන අතර එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 3 ත් 7 ත් අතර බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 50000 ත් එක් ලක්ෂ පනස් දහසත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. පනතේ 48(1) උප වගන්තියට අනුව මෙම වැරදි වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වරදක් ලෙස දක්වා ඇත. මෙවන් නීතිමය තත්ත්වයන් යටතේ මෙම කඳුවැටිය පාලනය වන්නේ එහි පවතින මිල කළ නොහැකි වටිනාකම් හේතුවෙනි. මෙම නීති උල්ලංඝනය කිරීමට හෝ එම නීති ක්‍රියාත්මක කිරීමෙන් මඟ හැර සිටීමට කිසිදු නිලධාරියකුට හැකියාවක් නැත. මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතින් ද මෙම වනාන්තරයට ආරක්ෂාව හිමි ව තිබේ.

මෙම පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. මෙම කැල්සයිට් ඛණිජ කැනීමේ ව්‍යාපෘතියේ දී අක්කර 256 කට නැතහොත් හෙන්ටයාර 100 කට වඩා වැඩි වනාන්තර ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට සිදු වනු ඇත. එබැවින් මෙම නීතිමය තත්ත්වය අදාළ වේ. එපමණක් නොව මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන ලෙස මීටර 25 කට වඩා ගැඹුරු ප්‍රදේශවල ඛණිජ කැනීම් කිරීම, හෙක්ටයාර 10 කට වඩා වැඩි ප්‍රදේශයක ඛණිජ කැනීම් කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය.

මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම පාරිසරික අණ පනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ද මෙම කැනීම් ව්‍යාපෘතියට අදාළ වේ. මෙම ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවූ භූමි ප්‍රදේශ එළි කිරීම, ගල්, බොරළු හෝ පස් නිස්සාරනය සඳහා පතල් කැනීම හෝ ගල් කැඩීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් කිසිදු අනුමැතියකින් තොර ව මෙම ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට ලංවා සමාගම උත්සාහ කරමින් සිටී. ලංවා සමාගමේ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ලබා ගැනීමට මෙම කඳුවැටිය භාවිත කිරීමට ප්‍රථම වෙනත් විකල්ප පිළිබඳ ව පළමු ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් ව කොන්දේසි සහිත අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉඩම් අත් පත් කර ගැනීම සිදු කළ හැකි ය.

නමුත් මෙම ව්‍යාපෘතියේ දී සිදු කරමින් පවතින්නේ වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත ඇතුළු අණ පනත් උල්ලංඝනය කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් කටයුතු කිරීම ය. ශක්‍යතා අධ්‍යයනයට ද ප්‍රථම ලංවා සමාගමට ඉඩම් පවරා දීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් නීති විරෝධී උත්සාහයක නිරත වේ. ඊට එරෙහි ව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම යන වගන්ති යටතේ දඩුවම් කළ හැකි ය.

ලංවා සමාගමෙන් ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

මෙරට ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝය කරමින් ලංවා සමාගම ගල්බොක්කයාය කඳුවැටිය විනාශ කිරීමට උත්සාහ කරද්දී ඊට එරෙහි වන ජනතාව රාජකාරියට බාධා කරන පුද්ගලයන් බවට පත් කර ඔවුන් මෙම කඳුවැටිය ආරක්ෂා කර ගැනීමට ගන්නා වෙහෙස මැඩපැවැත්වීමට සමාගමේ ආර්ථික හා දේශපාලන බලය භාවිත කර රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දී උත්සාහ කරමින් සිටී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14), උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා
කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කිරීමට බැදී සිටී. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් උඩවලව පොලිස් ස්ථානාධිපති හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට කිසිදු බලයක් නොමැත. මෙරට ක්‍රියාත්මක අණ පනත් උල්ලංඝනය කරමින් ස්වාභාවික සම්පත් විනාශ කිරීමට ක්‍රියාත්මක වන ඕනෑ ම පුද්ගලයකුට හෝ සමාගමකට හෝ රාජ්‍ය ආයතනයකට එරෙහි ව කටයුතු කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සෑම පුරවැසියෙකුට ම ලබා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදය යටතේ ම දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 28(ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම බව සඳහන් වේ.
එම යුතුකම ඉටු කරන පුද්ගලයකු රාජකාරියට බාධා කරන පුද්ගලයකු ලෙස අත් අඩංගුවට ගැනීමේ කිසිදු බලයක්පො ලිස් නිලධාරීන්ට නොමැත. ඒ අනුව ගල්බොක්කයාය කඳුවැටිය ලංවා සමාගමෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරණ සෑම ගම් වැසියෙකු ම ඉටු කරන්නේ මෙම යුතුකම ය. ලංවා සමාගම රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක් ව ගල්බොක්කයාය කදුවැටිය විනාශ කිරීමට ගන්නා
උත්සාහය මැඩ පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම් වන රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාගමේ නිදහස භාවිත කිරීමට සෑම පුරවැසියෙකුට ම අයිතිය ඇත.

ඒ සඳහා බාධා කිරීමට ද කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නැත. එපමණක් නොව ගල්බොක්කයාය කඳුවැටිය අවට ගම්මානවල ජීවත් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් වන නීත්‍යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ අයිතියට හෝ අභිමත ස්ථානයක වාසය කිරීමේ අයිතියට බාධා වන ආකාරයෙන් ලංවා සමාගමට කැල්සයිට් ඛණිජ කැනීමට අවස්ථාව ලබා දීමට කිසිදු රාජ්‍ය ආයතනයකට ද නොහැකි ය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවේ දැක්වෙනනීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවට සඳහන් අයිතිවාසිකම් ජනතාවට අහිමි කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් කරුණු කීපයක් අවධානයට ලක් කිරීම ද වැදගත් වේ. 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම මානව අයිතිවාසිකම් පිළිපැදීමට බැදී සිටී. මෙම ප්‍රකාශනයේ 1 වැනි වගන්තිය අනුව රටක ජීවත්වන සියලු ම මිනිසුන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් අතින් සමානව පවතී. 6 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස සෑම අතින් ම සැලකුම් ලැබීමට සෑම කෙනෙකුට ම අයිතිය ඇත. එපමණක් නොව 7 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන වෙති. නමුත් මේ සියල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, පොලිස් දෙපාර්තමේන්තුව හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විසින් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර තිබේ.

මහජන භාර නෛතික සිද්ධාන්තය උල්ලංඝනය කිරීම

පාරිසරික නීතියේ ප්‍රධාන සිද්ධාන්තයක් වන මහජන භාර සංකල්පය උල්ලංඝනය කරමින් ලංවා සමාගමට කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ගල්බොක්කයාය කඳුවැටිය ලබා දීමට සූදානම් වේ. මෙම සිද්ධාන්තය පදනම් කර ගෙන ජාත්‍යන්තර ව පිළි ගන්නා නඩු තීන්දු ද ලබා ගෙන ඇත. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ විභාග වූ හංගේරියාවට එදිරි ව ස්ලෝවැකියාව නඩුව හෙවත් දනුබේ නඩුවට අදාළ තීන්දුව 1997 සැප්තැම්බර් මස 25 වන දින ලබා දෙමින් විනිසුරු සී. ජී වීරමන්ත්‍රි මහතා විසින් මිහින්තලයට මිහිදු හිමි වැඩම කළ මොහොතේ දේවානම්පියතිස්ස රජුට කළ දේශනාවක් අධිකරණයේ දී මුලින් ම පූර්වාදර්ශ කර ගන්නා ලදී. එනම් “මහරජ මේ පොළොවෙහි සිටින සියලු මනුෂ්‍යයන්ටද, සතා සිව්පාවුන්ට ද, අහසේ සිටින කුරුල්ලන්ට ද මිහිතලය මත ජීවත් වීමට ද, කැමති තැනකට යාමට ඒමට ද සමාන අයිතියක් ඇත. මෙම භූමිය අයිති වන්නේ මෙහි වෙසෙන මනුෂ්‍යයන්ට හා සත්වයින්ට ය. එබැවින් ඔබ මෙම භූමියේ අයිතිකරු නොව භාරකරු පමණි. මෙම මහජන භාර සිද්ධාන්තයට අනුව ආණ්ඩුවකට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමේ අයිතියක් නැත. මෙම සිද්ධාන්තය ජාත්‍යන්තර නඩු තීන්දුවල දී පමණක් නොව මෙරට නඩු තීන්දුවල දී ද භාවිත කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 884/99 දරන බුලංකුලම එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නඩුව හෙවත් එප්පාවල පොස්පේට් නිධිය ෆ්‍රීපෝට් මැක්මොරාන් සමාගමට විකිණීම වැළැක්වීමට අදාළ නඩුවේ තීන්දුවට අනුව, ආණ්ඩුවක් යනු රටේ තාවකාලික භාරකරුවකු පමණි. ඔහු රටේ අයිතිකරුවා නොවේ. එවන් ආණ්ඩුවකට රටේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමට අයිතියක් නැත. ඒ සඳහා වන නීති සම්පාදනය කිරීමට ද අයිතියක් නැත, ඊට හේතුව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය මත රාජ්‍යයක්
ගොඩනගන්නේ ජනතාවගේ ඡන්ද බලය භාවිතා කර ජනතාව සතු විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය රාජ්‍යය වෙත ලබා දීමෙනි.

නමුත් රජයක් ගොඩ නැගීමේ දී ජනතාව සතු මූලික අයිතිවාසිකම් රජයට පැවරීම සිදු නොකරයි. මේ නිසා ජනතාව සතු භූමියට ඇති අයිතිය, පොදු භාවිත සම්පත් වලට ඇති අයිතිය, ස්වාභාවික සම්පත් වලට ප්‍රවිශ්ඨ වීමට ඇති අයිතිය, ජලයට ඇති අයිතිය රාජයකට අහිමි කළ නොහැකි ය. ඒ පිළිබඳ ව ජනතාවගෙන් නොවිමසා රජයකට තීන්දු තීරණ ගත නොහැක. රජයේ ඉඩම් අයිතිය යන්නෙන් පිළිබිඹු කරන්නේ රටේ ඉඩම් අයිතිය ජනතාව සතු බව ය. ජනතාව සතු එම ඉඩම් බෙදා දිය යුත්තේ ඉඩම් හිමිකම නොමැති සැබෑ සුදුස්සන් තෝරා ගැනීමෙනි. රජයේ පරමාර්ථය විය යුත්තේ මහජන යහපත හා රටේ සංවර්ධනය මිස ඉඩම් හෝ ස්වාභාවික සම්පත් වෙළදාම නොවිය යුතු ය. ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට සමාගමක අවශ්‍යතාවන් වෙනුවෙන් ජනතාව හා ස්වාභාවික පරිසරය අවතැන් කිරීමට, විනාශ කිරීමට තීන්දු තීරණ ගත නොහැකි ය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එම්. සී මේතා එදිරිව කමලනාත් නඩුවේ දී විනිසුරු කුල්දීප් සිං විසින් 1996 දෙසැම්බර් 13 වන දින නඩු තීන්දුව ලබා දෙමින් සඳහන් කරන්නේ භූමිය රෝම නීතියට අනුව පොදු දේපලක් බවත් ඉංග්‍රිසි නීතියට අනුව රාජ්‍ය පරමාධිපත්‍යයට අයත් දේපල බවත් ඒවා පොදු කාර්යකට හැර පෞද්ගලික කාර්යයකට පැවරිය නොහැකි බවත් ය. මේ සියල්ල මහජන භාර සිද්ධාන්තය මත ලබා දුන් නඩු තීන්දු ය. ඒ සියල්ල උල්ලංඝනය කර කිසිදු රාජ්‍ය නිලධාරියකුට රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීමට සමාගමක් වෙත පැවරීමට තීන්දු තීරණ ගත නොහැකි ය.

ස්වාභාවික සම්පත් තිරසර භාවිත ය අහිමි කිරීම

පරිසර සංරක්ෂණය හා කළනාකරණයේ දී වැදගත් වන ප්‍රධාන මූලධර්මය වන්නේ තිරසර සංවර්ධන මූලධර්මයයි. මෙය ඛණිජ සම්පත් භාවිතයේ දී ද ප්‍රධාන වේ. ආර්ථික සංවර්ධනය හා පාරිසරික ස්ථාවරත්වය පිළිබඳ ගැටලු සම්බන්ධ කිරීමේ උත්සහයක් ලෙස 1987 වසරේ දී බෲඩ්ලන්ඩ් කොමිසම විසින් සකස් කළ අපේ පොදු අනාගතය පිළිබඳ වාර්තාවේ තිරසර සංවර්ධනය යන්න අර්ථකතනය කර ඇත්තේ අනාගත පරපුරට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට බලපෑම් නොවන ආකාරයෙන් වර්තමාන අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම ලෙස ය.

මෙම වාර්තාවෙන් පසුව 1992 දී පැවති ජාත්‍යන්තර රියෝ සමුළුවෙන් පසුව තිරසර සංවර්ධනය හා තිරසර භාවිතය යන්න ජාත්‍යන්තර ව පිළිගත් පරිසර නීති මූලධර්මයක් විය. ඒ මත පදනම් ව පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත ද නීති ගත ව ඇත. මෙම තත්ත්වයන් උල්ලංඝනය කර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට කටයුතු කළ නොහැක. ලංවා සමාගමට ගල්බොක්කයාය කඳුවැටිය කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා දීම වැනි වැරදි තීන්දු මත, 2015 සැප්තැම්බර් 25 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගත් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමට හෝ රටක් ලෙස අපට නොහැකි වනු ඇත. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතුරින් 6 වන ඉලක්කය වන සැමට ජලය තහවුරු කිරීම හා ඒවා චිරස්ථායී ලෙස කළමනාකරණය, 15 වන ඉලක්කය වන පරිසර පද්ධති සුරක්‍ෂිත කිරීම, ප්‍රතිසංස්ථාපනය කිරීම, දරාගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර කළමනාකරණය සහ ඉඩම් හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම මෙම වැරදි තීන්දු තුළින් යථාර්තයක් කර ගත නොහැකි ය.

පාර්ලිමේන්තුවේ සම්මත කළ 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත හුදු ලේඛණයක් පමණක් බවට මෙම වැරදි තීරණ නිසා පත් වනු ඇත. මේ සියල්ල අප ගේ අවධානයට ලක් විය යුතු ය. නීතියේ ආධිපත්‍යය බිඳ දමමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය බිඳ දමමින්, ජනතාව ගේ මූලික අයිතිවාසිකම් අහිමි කරමින් ස්වාභාවික පරිසර පද්ධති සහ ඒ හා බැඳුණු ජෛව පද්ධතිය විනාශ කරමින් ලංවා සමාගමට ගල්බොක්කයාය කඳුවැටිය කැල්සයිට් ඛණිජ කැනීමට ලබා දීමට එරෙහි ව කටයුතු කිරීම සෑම පුරවැසියකු ගේ ම වගකීමකි.

නිර්මාණී අනාගත මිනිසෙක්

0

නිර්මාණි සහෝදරියගේ අවමංගල්‍ය උත්සවයේදී ගල්කන්දේ හාමුදුරුවෝ නිර්මාණිව හැදින්වූයේ අනාගතයට අයිති මනුශ්‍යයෙක් කියලයි. ඒ ගොල්ෆේස් අරගලය තුළ සහ නාගරික ජනාවාස තුළ ඇයගේ ක්‍රියාකාරකම් මතක් කරමින්.
අපට ඉහළින් ඇති තැනකින්, විද්වත් මණ්ඩලයකින්, පක්ෂයකින් හෝ ආයතනයකින් අප කරා තීරණ ගලා ගෙන ඒම පැරණි ලෝකයේ භාවිතාවක්. අළුත් ලෝකයකට යාමට නම් අප අතරම ඇතිවන සංවාද තුළින්, සම්බන්ධකම් තුලින් සහ අත්දැකීම් තුලින් නිර්මාණයවන නව භාවිතාවක් අපට අවශ්‍යයි.

ගල්කන්දේ හාමුදුරුවෝ නිර්මාණී තුළ දැක්කේ එවැනි භාවිතාවක්.

නිර්මාණීගේ අවමංගල්‍ය සභාවේදී බොහේ දෙනෙක් නිර්මාණී වෙනුවෙන් කළ හැකි විශාලතම ගෞරවය ලෙස හැදින්වූයේ නිර්මාණීගේ විශ්වාසයන් ඉදිරියට ගෙන යාමයි. ඇය ප්‍රාර්ථනා කළ ලෝකය නිර්මාණය කිරීමට වෙහෙසීමයි. මේක එක පැත්තකින් ටිකක් ජනප්‍රිය කතාවක්.

ඒත් බොහෝ විට සිදු වෙන්න ඉඩ තියෙන්නේ නිර්මාණී ගමන් කළ මාර්ගය නිර්මාණීගේම විශාල පිළිමයකින් හරස් වී ඒ මාර්ගය කැලෑවට වැහිල යාමයි. මේක විශාල අභියෝගයක්. පිළිම මගහැර මාර්ගය සොයාගන යාම.
නිර්මාණී සම්බන්ධයෙන් ගල්කන්දේ හාමුදුරුවෝ ඉදිරිපත්කර අදහස් හරහා මතකයට එන්නේ Barefoot Economy සහ මනුශ්‍ය පරිමාණ සංවර්ධනය කියන අදහස් ඉදිරිපත් කළ මැන්ශ්රෙඩ් මැක්ස්නීෆ් කියන කීර්තිමත් මහාචාර්යවරයා.
ඔහු ඔහුගේ අතීත අත්දැකීමක් මෙහෙම විස්තර කරණව.

“ මේක සිදුවුවේ මම පේරු රටේ සියේරා කියන ස්වදේශික ඇමෙරිකානු ගමක සිටියදීයි. ඒක හරිම කැත දවසක්. මුළු දවසම වහිනව. මම පැල්පතක් ලග හිටගන ඉන්නව. මට ඉදිරියෙන් මඩ ගොඩක තවත් මිනිහෙක් හිටගෙන ඉන්නව.
ඔහු කොට, කෙට්ටු, බඩගින්නෙන් පෙළෙන, රැකියාවක් නැති, ළමයි පස් දෙනෙකුයි, භාර්යාවකුයි, ආච්චි කෙනෙකුයි ඉන්න දුප්පතෙක්. මම බර්කලේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු, බර්ක්ලේහි උගන්වන, බර්කලේ විශ්වවිද්‍යාලයේ වැදගත් මහාචාර්ය කෙනෙක්.

අපි දෙන්නා වැස්සේ එකිනෙකා දිහා බලාගෙන ඉන්නව.

ඒ අතරේ එකපාරටම මට වැටහුනා මේ වගේ තත්වයක සිටින කෙනෙකුට කියන්න මට කිසිම ආකාරයක සංගත දෙයක් නැහැ නේද කියල. ආර්ථික විද්‍යාඥයකු ලෙස මා සතු සම්පූර්ණ භාශාව සම්පූර්ණයෙන් එතනදි වැඩකට නැති දෙයක්.
අපි දළ ජාතික නිශ්පාදනය සියයට පහකින් ඉහළට ගිහිල්ල තිබෙනව. ඒක නිසා ඔබ සතුටු විය යුතුයි කියල මම ඔහුට කිව යුතුද?

ඒ හැම දෙයක්ම විකාර රූපීයි.

මැක්ස්නීෆ් කියන විදියට පොලොවේ ක්‍රියාත්මකවන ආර්ථිකය අවබෝධකර ගැනීමට අපි මහපොළවට, මඩට බැසිය යුතුය.
ඒත් අප අද ලංකාවේ අත්දකිමින් ඉන්නේ මොනවාද? මේ අර්බුදය ඇති කරන්න පාර කපපු අය, මේ අර්බුදයෙන් වැඩි බලපෑමකට ලක් නොවුනු අය ආර්ථිකය ගොඩගන්නා ආකාරය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙනව. ආර්තික අර්බුදයෙන් කෙලින්ම බැටකන මිනිස්සු ඉනට අත්දෙක තියාගෙන බලාගෙන ඉන්නව. අරබුදයට ලක් වෙන්නේ කවුරුවත්. අර්බුදයෙන් ගොඩයන්නේ වෙන කවුරුවත්.

අපි මෙතෙක් ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්ති තමයි මේ ආර්ථික අර්බුදයට පාර කපල තියෙන්නේ. ඒක හුදු ඒව ක්‍රියාත්මක කරපු පුද්ගලයින්ගේ වරදක් පමණක් නෙමෙයි. ආර්ථික ප්‍රතිපත්ති කොහොමටත් පොළොවට එන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හරහා තමයි. හොද ප්‍රතිපත්ති නරක මිනිස්සු කියල හදන බෙදීම ව්‍යාජයක්. ප්‍රතිපත්ති පොළවට ගෙනෙද්දි විකෘර්ති වෙනවනම් ඒක ප්‍රතිපත්තිවලත් ගැටළුවක්.

අපිට ආර්ථිකය ගැන නව දැක්මක් අවශ්‍යයි. නව ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒව අහසින් හෝ අමුතු විශිෂ්ඨ මිනිසුන්ගේ ඔළු තුලින් අප කරා එන්නේ නැහැ. ඒවා නිර්මාණය වන්නේ මේ අර්බුදය තුළ ගිලී සිටින, එම අර්බුදයෙන් බැටකන, එම අර්බුදයෙන් එළියට එන්නට පොරබදන මිනිසුන් තුළින්මයි. විසදුම් අවශ්‍යනම් ගමන් කළ යුත්තේ ඔවුන් අතරටයි.
නිර්මාණී ගත් මඟ එයයි. ගල්කන්දේ හාමුදුරුවෝ කියන ආකාරයට නිර්මාණී අනාගතයට අයිති මිනිසෙක් වන්නේ ඒ අරුතින්.
පිළිම මගහරිමු. මාර්ගය සොයා යමු.

බුද්ධික බණ්ඩාර