රුධිර පරීක්ෂණ ලිපිය ගැන විමර්ශනයක් : කාටවත් මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

Share post:

ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල ලෙස සැලකෙන කාසල් වීදියේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ නතර කිරීම සහ ඊට අදාළ ව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන විසින් යොමුකරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අද (17) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවා ඇත්තේ අභ්‍යන්තර ලේඛන පිටතට යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම වෙනුවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සහ වෛද්‍ය අජිත් දන්තනාරායන සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, ඔවුන් රැස්වීම්වල බව පවසමින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදි.

මෙම රැස්වීම සඳහා කාසල් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය උදුලා විදානගේ ඇතුළු පිරිසක් ද කැඳවා තිබේ.

සත්‍ය ලිපියක්

යොමු අංක GRM/B/14/2022 යටතේ පසුගිය 14දා කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් යොමුකරන ලද ‘රෝහල් රසායනාගාරය තුළ FBC පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නතර කිරීම’ සම්බන්ධයෙන් වන ලිපියක් මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එය සත්‍ය ලිපියක් බව අප කළ විමර්ශනයක් මගින් අනාවරණය කර ගැනිණි.

රෝහලේ සේවයේ නියුතු සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රධාන හෙද නිලධාරිනියන්, ඒකක බාර හෙද නිලධාරිනියන් වෙත යොමුකර තිබූ මෙම ලිපියේ මෙසේ සඳහන් වේ.

‘මෙම රෝහල් රසායනාගාරය තුළ FBC පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතික්‍රියක සපයාගැනීමේ ගැටළුවක් මත අදාළ පරීක්ෂණය රෝහල් රසායනාගාරය තුළ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මින් කාරුණිකව දැනුම් දෙමි.
අදාළ පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන තෙක් FBC පරීක්ෂණය සඳහා වන රුධිර සාම්පල රෝහල් රසායනාගාරය වෙත යොමුනොකරන ලෙස ද වැඩිදුරටත් සඳහන් කර සිටිමි.’

මෙම ලිපියේ පිටපත් ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කාර්මික විද්‍යාඥ වෙත ද යොමු කර ඇත.

වෛද්‍ය චමල්ගේ වැඩ තහනම

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ අවස්ථා රැසක් පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. එහි ආසන්නතම සිදුවීම වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 80ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව හෙළිදරව් කරමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ (MCPA) සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමයි. එය සිදුකර තිබුණේ පසුගිය නොවැම්බර් 03දා ය.

වරද අධ්‍යක්ෂ පිටින් යවයි

මීට පෙර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇති වූ ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා වෛද්‍ය සැපයුම් අංශයට යොමුකළ අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍යවල පළවීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්විණි. ඉන්පසු අමාත්‍යංශය පාර්ශ්වයෙන් මාධ්‍ය වෙත පැවසුවේ නියමිත පරිදි ඖෂධ ඇනවුම් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කර නැති බවත්, එහි සම්පුර්ණ වගකීම අධ්‍යක්ෂවරයා බාරගත යුතු බවත් ය.
කරාපිටිය රෝහලේ ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ද මෙවැනි ම ගැටළුවක් මතු විය.

‘මැරෙන්න දෙන්නෙ නෑ’

මෙම ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් හිඟය සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක් පහත පළ වේ.

‘අනෙක් පෝලිම් වගේම ඖෂධ හිඟය කියන්නෙත් විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමක් හදපු කතාවක් කියලද ආණ්ඩුව පාර්ශ්වය කියන්නෙ ඇමැතිතුමා…?

මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මුලින්ම පිළිගන්න ඕනෙ. හැබැයි මට විෂය බාර ඇමැතිවරයා විදිහට එක කාරණයක් පැහැදිලිව කියන්න පුළුවන්, කවුරුවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ. ඒ වගකීම මට ගන්න පුළුවන්.

ඒ කියන්නෙ ඇති තරම් බෙහෙත් තියෙනවා …?

නෑ. ඒකයි මං කිව්වෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපි අසීරු තත්ත්වයකට ගන්න වෙනම බෙහෙත් වෙන්කරලා තියෙනවා. හැබැයි ඉස්සර තිබුණු නිදහස මේ වෙනකොට නෑ. ඉස්සර නම් අපිට ගැටළුවක් නැතුව රෝහලකට මාස දෙකකට-තුනකට බෙහෙත් දෙන්න පුළුවන්. දැන් අපිට ඒක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.’

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...