දුමින්දගෙන් බේරෙන්න දෙවැනි විශේෂඥ වෛද්‍යවරයාත් ඉල්ලයි : අවසාන තීරණය අපිට ගන්න බෑ – බන්ධනාගාර කොමසාරිස්

Share post:

ජනාධිපති සමාව අත්හිටුවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබියදී, මාස 06ක් තිස්සේ දිගටම රෝහල්ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රතිකාර කිරීමේ වගකීමෙන් නිදහස් කරන ලෙස දෙවැනි විශේෂඥ වෛද්‍යවරයා ද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. ඉන්පසු ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කෙරිණි.

මෙම ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම පසුගිය මැයි 31දා විභාගයට ගැනුණු අතර, එහිදී දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.

ජුනි 01 දින ඔහු හදිසි රෝගී තත්ත්වයක් බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු විය.

‘වගකීම ගන්න බෑ’

ඉන්පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම දැරූ විශේෂඥ වෛද්‍යවරයා එයින් තමන් ඉවත් කරන ලෙස ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව දෙවනුව ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී ඇති හර්ද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ද මීට දින දෙකකට පෙර අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බවයි.

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මෙවැනි විත්තිකරුවෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දිගටම අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය. මේ හේතුව නිසා මෙසේ වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කිරීමෙන් ඉවත් වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ ම එය වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ සැකයක් ද මතුකරන්නකි.

පෞද්ගලික ආරක්ෂකයන් ?

ජුනි 01 දින සිට ඔහු තවමත් ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 03 – පළමු පන්තියේ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී. මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාර නිලධාරීන්ට අමතරව ඔහු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද මෙහි තබාගෙන සිටින බවයි.

‘අපිට කරන්න දෙයක් නෑ’

අධිකරණ නියෝගයෙන් පසු ඔහුගේ වගකීම දරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. එහි කොමසාරිස් චන්දන එකනායකගෙන් thetime.lk මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව කටයුතු කිරීම තම දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.

අධිකරණය දැනුවත් ද?

අද (18) වෙළෙඳපොළට නිකුත් වූ ‘අනිද්දා’ පුවත්පතේ සඳහන් වූයේ දුමින්ද සිල්වා මෙසේ දීර්ඝ කාලයක් රෝහලේ රැඳී සිටීම සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කොමසාරිස්වරයා සඳහන් කළේ වෛද්‍ය නිර්දේශ බන්ධනාගාරය හරහා අධිකරණයට දිගටම දැනුම් දෙන බවයි.

ගෙවන වාට්ටුව

ඔහු බන්ධනාගාර රෝහලේ හෝ ජාතික රෝහලේ ප්‍රතිකාර නොලබා, ගෙවීමේ පදනම මත ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ එය වෛද්‍යවරුන් තීරණය කළ යුතු කරුණක් බවයි.

නීතිය සමාන ද?

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ මෙය බරපතළ කරුණක් බවයි. වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වීමෙන් පසු, අධිකරණ නියෝගයක් මගින් එය වලක්වා එම රැඳවියා ජාතික රෝහලට ඇතුළත් කළ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

එවැනි නීතිමය තත්ත්වයන් තිබුණද, එස්.බී.දිසානායක, ප්‍රේමලාල් ජයසේකර වැනි රැඳවියන් ද මෙසේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගත් බව ඔහු සිහිපත් කළේය.

වෛද්‍ය ආචාරධර්ම?

මෙමගින් සිරකරුවන්ට සමානව සැලකුම් ලැබීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වුවද, මෙහිදී වෛද්‍ය වෘත්තිකයන්ට ඇති අභිමත බලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය රැඳවියන් සීය ගණනක් පෙනඩෝල් පෙත්තක් හෝ නොලබමින් බරපතළ ලෙස පීඩා විඳින තත්ත්වයක මෙවැනි කරුණු අසන්නට ලැබීම අතිශය කණගාටුවට කරුණක් බව ද ඔහු අවධාරණය කළේය. මෙහිදී දුමින්ද සිල්වා සම්බන්ධ තනි සම්පුර්ණ වගකීම දරනු ලබන්නේ ඔහුට ප්‍රතිකාර කිරීමේ වගකීම පැවරී තිබෙන වෛද්‍යවරයා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...