IMF තොවිලයට බෙර ගහන අය-වැයක්!

Share post:

ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයේ තව දුරටත් ගිලෙමින් තිබෙන වටපිටාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 අය-වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පොදුවේ ගත්කල දීර්ඝකාලීනව ආර්ථික, සමාජ සහ දේශපාලනික අර්බුදවලින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සලසනවා වෙනුවට, තවදුරටත් ජනතාව මත බරපටවන අය-වැයක් බවට චෝදනා දැනටමත් එල්ලවී තිබේ.

පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ශ්‍රී ලංකා රජය සිදුකල සාකච්ඡාවලදී ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවට සහය ලබාදීම සඳහා වසර 4ක් සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ප්‍රතිපාදනයක් සිදුකරන බවට ප්‍රකාශ කලහ. එහිදී ඔවුන් ඉදිරිපත්කළ යෝජනා සියල්ලෙහිම සාරාංශය ගත්කල ලංකාවේ වර්තමානයේ පවතින දූෂණය, වංචා සහ ආර්ථික අවදානමෙන් ගැලවීමට නම් දැනෙන මට්ටමේ ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණයන් අවශ්‍ය බවට ඉඟිකිරීමෙන් නොව සෘජුවම සඳහන් කර ඇත.

ආර්ථික අවදානම

ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු මෙන්ම මෙරට මහ බැංකුවේ තත්කාලීන වාර්තා පරිශීලනය කරන ඕනෑම අයෙක්ට මෙරට උද්ධමනය වසර පුරාම 60% ඉක්මවන තත්වයක පැවතීම මෙන්ම, විදේශ සංචිත බිඳවැටීම, විදුලි කප්පාදු, තෙල් හිඟකම සහ රජයේ දුර්වල තීන්දු තීරණ නිසා අහිමිවුණු සෘජු සහ වක්‍රාකාර විදේශ ආයෝජන වැනි කරුණු මත රටේ ආර්ථික වර්ධන වේගය 10%කට වැඩි ප්‍රමාණයකින් පහත බසිනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

එසේම රට තුල ආනයන සීමාකිරීම සහ අපනයන හෝ දේශීය පරිභෝජනයන් උදෙසාවන නිෂ්පාදනයන් සඳහාද දිරිගැන්වීම් නොමැති වටපිටාවක, සාර්ව ආර්ථික අර්බුද තවදුරටත් තීව්‍ර වන බවක් පෙනෙන්නට ඇත. රජය එවැනි අර්බුදයන්ට පිළිතුරු සැපයීමට 2023 අය-වැය යෝජනා දායක වනු ඇති බව කීවත්, හුදෙක්ම මේ අය-වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිගැනීමේ මූලිකම අදියර බවට සහතිකයෙන්ම පිළිගත හැකිය.

IMF නාඩි ඇල්ලීම

ලෝකයේ රටවල් ගණනාවක ආර්ථික අර්බුදයක් පැවතියද ලංකාවේ පවතින අර්බුදය ඊට වඩා වෙනස් කරුණු නිසා ඇතිවූවක් බව අමුතුවෙන් තර්ක කළ යුතු නැත. එයට හේතුව මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට ආසන්න දශක කිහිපයේ පාලනයේ පැවති ආන්ඩු ඉතා විශාල දායකත්වයක් ලබාදුන්නා සේම එකී අර්බුදය නිසා රට හිඟාකන තැනට පත්කිරීමේ සම්පූර්ණ වගකීම පවැති ගෝඨාභය රාජපක්ෂ පාලනය සහ වර්තමාන රනිල් වික්‍රමසිංහ- රාජපක්ෂ පාලනය විසින් භාරගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු හුදෙක්ම ආර්ථික මුහුණුවරක්ගත් දේශපාලන සංවිධානයක් බවත්, රටක ආර්ථික අර්බුදයක නාඩි අල්ලන්නට ඔවුන් ඉතාමත් දක්ෂ බවත් ලෝක දේශපාලනය ගැන දන්නා කෙනෙක්ට අමුතු කතාවක් නොවේය.

මෙරට අර්බුදය පාලකයන්ගේ අනවබෝධය නිසා ඇතිවූවක් බව කිසිසේත්ම පිළිගත නොහැකිය. මෙකී හැදෙන්නට මෙන්ම, අර්බුදය දරුණුවන්නට අවශ්‍ය පෝෂණය මෙරට පාලකයන් විසින් උපක්‍රමශීලීව නිර්මාණයකල බවට සාක්ෂි තිබේ. ගෝලීය වසංගතයකින් පීඩි විඳින්මින් ආර්ථිිකය හැකිලෙමින් තිබෙන වටපිටාවක නින්දෙන් අවදිවී පොහොර තහනම් කිරීම වැනි තීන්දු තීරණ හුදෙක්ම ආකාස්මික ඒවා නොව මෙරට ආර්ථිකය වට්ටන්නට හිතා මතාම සිදුකරන ලද ඒවා බවට සාධාරණ සැකයක් ඇත.

ඒ නිසා එවැනි නාඩි අල්ලන්නට සමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික අර්බුදය මෙන්ම වර්ධනය වන බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවේ ඉල්ලීම අනුව මූල්‍ය සහයට මැදිහත්වූ බව පෙනේනනට තිබුණ ද ඔවුන්ගේ යෝජනාවල ඇති උපක්‍රමශීලී සැලසුම් අධ්‍යයනය කළවිට ආර්ථික අර්බුදය හමුවේ මෙරට සෛවරීත්වය පවත්වාගෙන යා නොහැකි තැනට කරුණු සිද්ධවෙමින් පවතී.

ඉල්ලුමට සැපයුම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකයේ සහ මූලික ප්‍රතිපත්තිවල වෙනසක් අපේක්ෂා කරයි. සැකයකින් තොරව එවැනිම ඉල්ලිම් මෙරට බහුතරයක් ජනතාව විසින් ද සිදුකරමින් තිබේ. ෆිස්කල් ප්‍රතිපත්තිය බලගැන්වීම වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ බදු ව්‍යූහයේ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබේ.

එසේම, ආර්ථිකයේ ඉහළ කාර්යභාරයකට හේතුවන බලශක්ති කේන්ද්‍රකරගත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීම හෙවත් පුද්ගලික හිමිකම යටතට ගැනීමේ යෝජනා එන්නේ බොහෝ කාලයක සිටය. එසේම සමාජ සුබ සාධන කප්පාදුව වැනි යෝජනා ද ඉදිරියෙන්ම තිබේ.

2023 අයවැය යෝජනා සලකා බලන විට රාජ්‍ය ව්‍යවසානයන් පුද්ගලීකරණයට සෘජුවම යෝජනා කර ඇති බවත් ඒවා කෙරෙන්නේ කෙසේද යන්න පැහැදිලි කර නැත. විශේෂයෙන්ම පාඩුලබන රාජ්‍ය ව්‍යවසායන් ආර්ථිකමය ලාභයක් ලැබීමට හිමිකම වෙනස් කිරීම මිස වෙනත් යෝජනාවක් ඔවුන් ලඟ නැත.

පොදුවේ බදු සහ අයවීම් වර්ධනය කරගැනීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම මිසක ඒ මත රටේ ජනතාව මත පැටවෙන බර කොතරම්ද යන්න මෙන්ම එයින් සිදුවිය හැකි සමාජමය පරිහාණිය ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොදුජන පෙරමුණු ආන්ඩුවට කිසිඳු තැකීමක් නැත.බොහෝවිට සෘජු බදු ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට ඉලක්ක කරනවා වෙනුවට නැවත නැවත වක්‍ර බදු හරහා ජනතාවගේ අන්තිම හුස්ම පොද දක්වාම උරාගන්නා තැනට රජයක් පත්වීම මෙවැනි අර්බුදයකදී ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකිය.

ණය මිස අන් මගක් නැත?

හුදෙක් ජාත්‍යන්තර අරමුදල ඇතුළු බොහෝ සංවිධාන සහ රටවල් පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉතා දැඩි කොන්දේසී සහ යෝජනා මත ණය ලබාදීමට එකඟ වූවද ඒ තුලින් මෙරට ආර්ථිකයේ සහ දේශපාලන ධාරාවේ පාලනය තමන් සන්තකයට ගන්නවා මිසක සැබෑ ලෙසම තිරසාර සංවර්ධනයකට සත් පරමාර්ථයෙන් දායකවෙන බවක් පෙනෙන්නට නැත.

ස්වදේශීය ආර්ථීකය දියුණු කිරීම වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශීය නිෂ්පාදන යාන්ත්‍රණයේ ඵලදායිතාවය වර්ධනය, මූල්‍ය සහ නීති පද්ධතියේ ප්‍රතිපත්තිමය වෙනසකට අවශ්‍ය සාධනීය දෑත් දිගුකිරීමක ඡායාවක් පෙනෙන්නට නැත. ඒ නිසාම එකී ණය හෝ ප්‍රතිපාදන ඉලක්ක කරගෙන ඒවාට ගැලපෙන ලෙස තීන්දු තීරණ ගන්නවා ඇරෙන්නට මැදිහත්වීමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් හෝ ආන්ඩුවෙන් බලාපොරොත්තුවිය නොහැකිය. ඒ මන්දයත් ඔවුන් ඉතිහාසයේ සිය භාවිතාවෙන් ඊට වඩා යහපත් මැදිහත්වීමක් පෙන්වා නැති නිසාවෙනි.

ඒ නිසා රනිල්ගේ භාෂාවෙන් ඉදිරි කාලය මෙරට ජනතාවට බදු බරින් ඉතා දුෂ්කර කාලසීමාවක් වනවා නියතය. එසේම දේශපාලනිකව රටේ ජනතාවගේ බහුතරයකගේ විශ්වාසය සහ අපේක්ෂාව හිමි ආන්ඩුවක් බිහිවීමකින් තොරව වඩා යහපත් ආර්ථිකයක් වෙත ගමන් කිරීමද සිහිනයක් පමණකි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...