‘අතීතෙට ගිහින් මට දෙයක් වෙනස් කරන්න සිද්ධ වුණොත් මං මේ කෙටිකතා පොත පළකරන්න හිතන්නෙවත් නැහැ’ යි, ‘මේ කතා හොඳ නැහැ හරි නෑ’ යි කියලා කියවන්නාගෙ ඔලුවට නන්ස්ටොප් බලපෑම් කළ ලේඛකයෙක්ගෙ අදහස් ඔලුවෙන් ඉවත්කරලා මගෙ ස්වාධීන අදහස් දක්වන්න පුලුවන් මට්ටමට ‘අයිස් කැට වැටෙන කාලය’ කියවන්න මට ටික කාලයක් ගතවුණා. පොත පළකරලා අවසන් නිසා දැන් එය කියැවීමේ සහ විවරණය කිරීමේ අයිතිය පාඨකය සතුයි. ලේඛකයා තෘප්තිමත් නොවුණත් කියවන්නාට අල්ලලා ගිය කතා ලෝකේ නැතුවා නෙමේ. තරිඳු ශ්‍රී ලොකුගමගේ මුල්කාලෙ ලිව්ව කෙටිකතා සංග්‍රහය මං කියවන්න ගන්නෙ, ඔහුගෙ නවකතා දෙක ම කියවලත් කාලෙකට පස්සෙ.
‘වෙල්කම් ටු තායිලන්ඩ්’, සංචාරක සටහන් ආකාරය ද සහිත කතාවක්, තායිලන්තය ගැන විස්තර ඇතුළත්. නමුත් සංචාරය ඇතුළෙ ප්‍රේම කතාවකුත් තියෙනවා. ඒනිසා එක අතකින් එක ම තේමාවෙ ආඛ්‍යානය සමබරව සමාන්තරව උප ආඛ්‍යාන දෙකකින් ගලායනවා. මේක ටිකක් ගී ද මෝපසාං, ඇලන් පෝ වගේ අබිරහසක්, කුතුහලයක් ඇතුළත් කරනවා පාඨකයට හඹායන්න. නමුත් මං කැමතියි එක චරිතයක් අරන්, කථකය හෝ තරුණියව හෝ පැතලිව නොකියවා චරිතය නිරූපණයට තව පය තිබ්බා නම්. මේ කතාව අවසන් කරද්දි තායි තරුණිය ‘වෙල්කම් ටු තායිලන්ඩ් කියල’ ඔහුට එන්න දොර අරින මොහොත කියවන්නාව පීක් එකට ගෙනියන මොහොතක්. චෙකොෆ්ගෙ චෙරිවත්ත අවසානෙ පොරොවෙන් ගස් කපන සද්දෙ ඒ මොහොතෙදි අපිට ඇහෙන්න ගන්නව.
“I don’t think so” කතාව, භාෂා ටුවිස්ට් එකක් විදියට අක්කත් මල්ලිත් එකිනෙකාට මාරුවෙන් මාරුවට කතාකරමින් එක ම දෙබස කියමින් කියවන්නා නිශ්චිත විරාම සහ හිතන්න ඉඩ තියන කෙටිකතාවක්. හැම විරාමයකදි ම කෙටිකතාවෙ නම ඇහෙනව දෙන්නගෙන් එක් කෙනෙක් කියන දෙයක් විදියට.එතනින් එහාට ඒ කොටස අවසන්, ඊළග කොටස පටන්ගන්නවා. මේ විදියට මුලු කතාවම ගෙනියනව.මංජුල වෙඩිවර්ධනගෙ ‘ශුද්ධ වූ ජුදාස්’ පොතේ ‘ගීතයක ඉතිරි අඩ’ කෙටිකතාවෙ තරුණයත් තරුණියත් දෙන්නා අතර මේ විදියට ම කතාවෙ පීක් එක පෙන්වන විරාම හඟවන තැන්වලදි හුවමාරු වන දෙබසක් තියෙනවා,
“කවදද දෙන්නෙ
– අද හෙට ම”
අනෙක් එක, මේ කතාව කියන්නෙ මුලින් මල්ලිගෙ කෝණෙන්(උත්තම පුරුෂ දෘෂ්ටියෙන්)- ඉන්පස්සෙ අක්කගෙ කෝණෙන්(ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන්), ඉන් පස්සෙ අක්ක බැඳපු පිරිමියාගෙ කෝණෙන් (උත්තම පුරුෂ දෘෂ්ටියෙන්) සහ ආයෙත් මල්ලිගෙ කෝණෙන්(උත්තම පුරුෂ දෘෂ්‍ටියෙන්). රියුනොසුකෙ අකුතගවගෙ ‘ලැහැබකදි’ කතාව මතක් කරන මේ ක්‍රමයට මං ප්‍රියයි. කතාවෙ සිදුවීම් තෝරගැනීමෙදී බොහෝවෙලාවට උච්චතම අවස්ථා වෙත කතුවරයා යනවා.
“අක්කා ගියාය. පසුගිය මාස හතරහමාරක දුක් වේදනා ද, ඉදිරි ජීවිත කාලයක සංතාප ද රැගෙන අක්කා ඇවිත් ගියාය”
හඳගමගේ කෙටිකතාවක එන වැකියක් මට මේ ටෝන් එක මතක් කරනවා.
“සුමනදාස ගෙදර පැමිණියේය. ගෞරවාන්විතව ගෙදර පැමිණියේය. වම් පාදය එහෙම් පිටින් ම අහිමි කරනු ලැබ සිටිය ද වීරයෙකු සේ ගෙදර පැමිණියේය”
බස් රථයේ වියපත් පිරිමියාත් මල්ලීත්, මට ඉඟිකළේ ජීවිතේ වියපත් කාලයට මල්ලි ගියායින් පස්සෙ කන්නාඩිය ඉස්සරහට ගිහින් තමන්ගෙන් අහන ප්‍රශ්නයක් වගේ. කොහොම නමුත් මේ කතාව තවත් දිගුකරලා, චරිතවලට තව පණ දීලා, මහන්සියක් අරන් තව වවන්න පුලුවන් බවයි මගේ අදහස.
‘මූදුකරයේ ආදරණීය වෙණ වයන්නිය’ කතාව ජේසු උපන් දා සිදුවීම එක්ක දැරියක මුහුකරල කියන කතාවක්. තටු කපා දාන තාත්තා, නැගිටිනකල් බලන් ඉන්න මුහුද, වෙන ම විදියට කියවගන්න පුලුවන්. මට වෙඩිවර්ධනගෙ ‘ගිමන් හරින්නා සහ අශ්ව හිස’ කතාවෙ ඔහුගෙ නිර්භය පරිකල්පනය මේ කතාවෙදි මතක් වෙනවා. කතාව ගලායන ටෝන් එක අවසානයට යද්දි කනපිට හැරිලා පට පට ගාලා වෙනස්වෙලා, වෙන ම කතාවක් එක්ක මූට්ටුකළා වගේ දැනෙනවා. සංගීඥයා, කලාකරුවා, නර්තන ශිල්පියා, ලේඛකයා සහ සිටුවරයා අතරින් ආර්ථිකය ස්ථාවර කරගෙන ජීවිතේට යහතින් මුහුණදීලා ඉන්නෙ අන්තිමේ සිටුවරයා විතරයි කීම, ලේඛයගෙ උපහාසමය හඬින් මට ඇහෙනවා,
‘කලාකාරයො..උන් හුළඟ වගේ ජීවිත ඇතුළට ගහගෙන එනවා’
ඉහතින් කිව්වෙ මං වඩාත් ආස කළ කතා කීපයයි.’පෙනහලු පිළිකාවක් අපේක්ෂාවෙන්’ සහ ‘අයිස්කැට වැටෙන කාලය’, ‘ඔයිල් පැල්ලම’ සහ ‘වයර් පොටේ’ පෙරපුහුණු බිමක ලකුණු පෙන්වන කතා දෙකක්. වාහන සහ ආදර සබඳතා මේ දෙකටම පොදුයි. ‘ඈ මිය ගියාය’, ‘පේරේස් සහ සුරංගනාව’, ‘සමාවෙන්න ත්‍රිවේන්ද්‍රම්’ විවිධ විෂයක කෙටිකතා. ඒවගේම විරාම සහිතව කොටස් වශයෙන් යන, ප්‍රමාණයෙන් දිග කතා. හැබැයි මං කැමති ලක්ෂණ ඒවයෙත් තියෙනවා.
පොදුවේ මේ කෙටිකතාවල ආඛ්‍යාන වෙනස්කම්, අත් හදාබැලීම් සහ කතා රසය නොනැසීම මගේ හිත්ගත්තා. එක චරිතයක් තෝරාගෙන චරිතෙ සිරස්ව තව කිඳාබහින්න ලේඛකයාට උත්සාහ කරන්න පුලුවන්. මේ කතාවල සිදුවීම්වලින් ඉක් ඉක්මනින් එකක් අනෙකට පිවිසෙන ස්වභාවය අලුත් දෙයක් මට. ‘අයිස් කැට’ වැටුණත් ‘අව්ව පෑව්ව’ත් අතට ගත්ත පෑන බිම තියන්න එපා කියන යෝජනාව කරමින් සටහන නිමාකරන්නම් !