නිර්මාණී අනාගත මිනිසෙක්

Share post:

නිර්මාණි සහෝදරියගේ අවමංගල්‍ය උත්සවයේදී ගල්කන්දේ හාමුදුරුවෝ නිර්මාණිව හැදින්වූයේ අනාගතයට අයිති මනුශ්‍යයෙක් කියලයි. ඒ ගොල්ෆේස් අරගලය තුළ සහ නාගරික ජනාවාස තුළ ඇයගේ ක්‍රියාකාරකම් මතක් කරමින්.
අපට ඉහළින් ඇති තැනකින්, විද්වත් මණ්ඩලයකින්, පක්ෂයකින් හෝ ආයතනයකින් අප කරා තීරණ ගලා ගෙන ඒම පැරණි ලෝකයේ භාවිතාවක්. අළුත් ලෝකයකට යාමට නම් අප අතරම ඇතිවන සංවාද තුළින්, සම්බන්ධකම් තුලින් සහ අත්දැකීම් තුලින් නිර්මාණයවන නව භාවිතාවක් අපට අවශ්‍යයි.

ගල්කන්දේ හාමුදුරුවෝ නිර්මාණී තුළ දැක්කේ එවැනි භාවිතාවක්.

නිර්මාණීගේ අවමංගල්‍ය සභාවේදී බොහේ දෙනෙක් නිර්මාණී වෙනුවෙන් කළ හැකි විශාලතම ගෞරවය ලෙස හැදින්වූයේ නිර්මාණීගේ විශ්වාසයන් ඉදිරියට ගෙන යාමයි. ඇය ප්‍රාර්ථනා කළ ලෝකය නිර්මාණය කිරීමට වෙහෙසීමයි. මේක එක පැත්තකින් ටිකක් ජනප්‍රිය කතාවක්.

ඒත් බොහෝ විට සිදු වෙන්න ඉඩ තියෙන්නේ නිර්මාණී ගමන් කළ මාර්ගය නිර්මාණීගේම විශාල පිළිමයකින් හරස් වී ඒ මාර්ගය කැලෑවට වැහිල යාමයි. මේක විශාල අභියෝගයක්. පිළිම මගහැර මාර්ගය සොයාගන යාම.
නිර්මාණී සම්බන්ධයෙන් ගල්කන්දේ හාමුදුරුවෝ ඉදිරිපත්කර අදහස් හරහා මතකයට එන්නේ Barefoot Economy සහ මනුශ්‍ය පරිමාණ සංවර්ධනය කියන අදහස් ඉදිරිපත් කළ මැන්ශ්රෙඩ් මැක්ස්නීෆ් කියන කීර්තිමත් මහාචාර්යවරයා.
ඔහු ඔහුගේ අතීත අත්දැකීමක් මෙහෙම විස්තර කරණව.

“ මේක සිදුවුවේ මම පේරු රටේ සියේරා කියන ස්වදේශික ඇමෙරිකානු ගමක සිටියදීයි. ඒක හරිම කැත දවසක්. මුළු දවසම වහිනව. මම පැල්පතක් ලග හිටගන ඉන්නව. මට ඉදිරියෙන් මඩ ගොඩක තවත් මිනිහෙක් හිටගෙන ඉන්නව.
ඔහු කොට, කෙට්ටු, බඩගින්නෙන් පෙළෙන, රැකියාවක් නැති, ළමයි පස් දෙනෙකුයි, භාර්යාවකුයි, ආච්චි කෙනෙකුයි ඉන්න දුප්පතෙක්. මම බර්කලේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු, බර්ක්ලේහි උගන්වන, බර්කලේ විශ්වවිද්‍යාලයේ වැදගත් මහාචාර්ය කෙනෙක්.

අපි දෙන්නා වැස්සේ එකිනෙකා දිහා බලාගෙන ඉන්නව.

ඒ අතරේ එකපාරටම මට වැටහුනා මේ වගේ තත්වයක සිටින කෙනෙකුට කියන්න මට කිසිම ආකාරයක සංගත දෙයක් නැහැ නේද කියල. ආර්ථික විද්‍යාඥයකු ලෙස මා සතු සම්පූර්ණ භාශාව සම්පූර්ණයෙන් එතනදි වැඩකට නැති දෙයක්.
අපි දළ ජාතික නිශ්පාදනය සියයට පහකින් ඉහළට ගිහිල්ල තිබෙනව. ඒක නිසා ඔබ සතුටු විය යුතුයි කියල මම ඔහුට කිව යුතුද?

ඒ හැම දෙයක්ම විකාර රූපීයි.

මැක්ස්නීෆ් කියන විදියට පොලොවේ ක්‍රියාත්මකවන ආර්ථිකය අවබෝධකර ගැනීමට අපි මහපොළවට, මඩට බැසිය යුතුය.
ඒත් අප අද ලංකාවේ අත්දකිමින් ඉන්නේ මොනවාද? මේ අර්බුදය ඇති කරන්න පාර කපපු අය, මේ අර්බුදයෙන් වැඩි බලපෑමකට ලක් නොවුනු අය ආර්ථිකය ගොඩගන්නා ආකාරය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙනව. ආර්තික අර්බුදයෙන් කෙලින්ම බැටකන මිනිස්සු ඉනට අත්දෙක තියාගෙන බලාගෙන ඉන්නව. අරබුදයට ලක් වෙන්නේ කවුරුවත්. අර්බුදයෙන් ගොඩයන්නේ වෙන කවුරුවත්.

අපි මෙතෙක් ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්ති තමයි මේ ආර්ථික අර්බුදයට පාර කපල තියෙන්නේ. ඒක හුදු ඒව ක්‍රියාත්මක කරපු පුද්ගලයින්ගේ වරදක් පමණක් නෙමෙයි. ආර්ථික ප්‍රතිපත්ති කොහොමටත් පොළොවට එන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හරහා තමයි. හොද ප්‍රතිපත්ති නරක මිනිස්සු කියල හදන බෙදීම ව්‍යාජයක්. ප්‍රතිපත්ති පොළවට ගෙනෙද්දි විකෘර්ති වෙනවනම් ඒක ප්‍රතිපත්තිවලත් ගැටළුවක්.

අපිට ආර්ථිකය ගැන නව දැක්මක් අවශ්‍යයි. නව ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒව අහසින් හෝ අමුතු විශිෂ්ඨ මිනිසුන්ගේ ඔළු තුලින් අප කරා එන්නේ නැහැ. ඒවා නිර්මාණය වන්නේ මේ අර්බුදය තුළ ගිලී සිටින, එම අර්බුදයෙන් බැටකන, එම අර්බුදයෙන් එළියට එන්නට පොරබදන මිනිසුන් තුළින්මයි. විසදුම් අවශ්‍යනම් ගමන් කළ යුත්තේ ඔවුන් අතරටයි.
නිර්මාණී ගත් මඟ එයයි. ගල්කන්දේ හාමුදුරුවෝ කියන ආකාරයට නිර්මාණී අනාගතයට අයිති මිනිසෙක් වන්නේ ඒ අරුතින්.
පිළිම මගහරිමු. මාර්ගය සොයා යමු.

බුද්ධික බණ්ඩාර

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...