Home Blog Page 206

ඡන්දෙට බය කවුද?, මෙය සුවිශේෂ මැතිවරණයක් වුණේ ඇයි?

0

පළාත් පාලන ඡන්දය දින නියමයක් නැතිව කල්දමන්න සිදුවන බව නිවේදනය කළේ මැතිවරණ කොමිෂන් සභාව තමයි.
ඡන්ද පත්‍රිකා නියම වෙලාවට මුද්‍රණයකරල දෙන්න බෑ කිව්වෙ – මුළින සල්ලි දෙන්නැත්නම් ගහන්න බෑ කිව්වෙ, ඊට පස්සේ පොලිස් ආරක්ෂාව නැත්නම් ගහන්න බෑ කිව්වේ – රජයේ මුද්‍රණාලයාධිපතිවරිය තමයි.

ඡන්දය පවත්වන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වෙලාවේ ලබාදෙන්න බෑ කියලා වේලාසනින්ම කිව්වේ මහා භාණ්ඩාගාරය තමයි.

ඒත් ඇත්තටම මේ තියන්න හදපු ඡන්දය කල්දාන්න ලොකුම වුවමනාව තිබුණේ වෙන කාටවත් නෙවෙයි රනිල්ට.
ඔහු ඒකට ගහපු ප්‍රජාතන්ත්‍ර විරෝධී, නිර්ලජ්ජිත උපක්‍රමවල එළියට පෙනෙන ප්‍රතිඵල දෙක තුනක් විතරයි ඔය ඉහතින් කියැවිලා තියෙන්නේ.

රනිල් ඇයි බය?

රනිල් ඇයි මේ තියන්න ගිය ඡන්දෙට බය?
උත්තරේ හරි සරලයි.

රනිල් හිතුවා, මේ ඡන්දය තිබ්බොත්, මෙතෙක් රටේ පාලන බලය දරපු පැලැන්තියෙන් ඒ බලය ඉතිහාසයේ පළමු වතාවට ගිලිහිලා යාමේ රැල්ලක් පටන්ගනී කියලා.

තමන් කොහෙත්ම කැමැති නැති පිරිසක් රටේ පාලනය බලය අල්ලාගැනීමේ කිසියම්ම අවදානමක් ඒ එක්ක නිර්මාණය වෙයි කියලා.

පහුගිය සියවස් තුන්කාලම මේ රටේ පාලන බලය දරපු පැලැන්තියේ ‘අවසාන සුජාත සහ සම්භාව්‍ය පුරුක’ එයා කියලා තමයි එයා අදහන්නේ. එහෙම ඉඳලත් කාලයක් තිස්සෙ පැරදි පැරදි හිටපු තමන්, අහම්බෙන් ලත් ඔටුන්නක් දාගෙන ඉන්දැද්දීම ඒ බල විපර්යාසය සිදුවෙයි කියන එක රනිල්ට තර්කානුකූලව, දේශපාලනිකව හිතන්න මතන්න දෙයක් නෙවෙයි. මාරාන්තික භීතියක්‍.

එහෙම වුණොත් රටේ මහජනයා හමුවේ නෙවෙයි, හුදෙක් තමන්ගේ ‘ප්‍රභූ පාලක පැලැන්තිය’ හමුවේ තමන් මහා අසාර්ථක මිනිහෙක් විතරක් නෙවෙයි පැලැන්තියම පාවාදුන්නෙකුත් වෙයි කියන ‘පන්තිමය භීතිය’ තමයි රනිල්ට තිබුණේ.
වෙන අමුතු න්‍යායික කතන්දර, ආර්ථික තර්කන අරවා මේවා මොකුත්ම ඕනෑ නෑ. නිරුවත් සත්‍යය ඕක තමයි.

කල් යයිද? නොතියයිද?

ඇත්තටම නම් සිද්දවෙන්න ඉඩ තියෙන්නේ, මේ කියන පළාත් පාලන ඡන්දය හුදෙක් කල්දැමීම නෙවෙයි, මේ අර්බුදකාරී වටපිටාව ඇතුළේ පැවැත්වෙන පළමු ඡන්දය එය බවට පත්නොවීම යි. ඒ වෙනුවට රනිල් වඩා කැමැතිවෙන්නේ ජනාධිපතිවරණයකට, ඒ බැරිනම් අඩුම තරමේ මහමැතිවරණයකටවත් පාරකපාගන්න යි.

ඒත් මේ පවත්වන්න ගිය පළාත් පාලන ඡන්දය ලංකාවේ මෑතකාලීන දේශපාලන ප්‍රවණතාත් එක්ක ‘සක්‍රිය මහජන සහභාගීත්වය සහිත ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාදාමයක්’ කියන අරුතින් ඉතාම වැදගත්, සංධිස්ථානීය එකක් වීමට නියමිතව තිබුණා කියන එකයි අපේ අදහස.

ඒ නිසාම ඒ ගැන යම් යම් දේවල් ලියා තියන්න අවශ්‍යයි කියලා හිතුණා. මේ එහි පළමු උත්සාහය.
ඡන්දය නොපැවැත්වීම

‍මහජනයා සතු අදහස් ප්‍රකාශකිරීමේ අයිතියේ උල්ලංඝනයක් ලෙස…

මහජනයා සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන අපි කොතෙකුත් කතාකරනවානේ!
ඒත් මේ අයිතිය ප්‍රායෝගිකව පවතින්නෙ කොහොමද කියන එක ගැන බලවත් සීමාකම් තියෙනවා.
හරි, අයිතිය තියෙනවා. ඒත් කොහෙද, කොහොමද, කාත් එක්කද අදහස් ප්‍රකාශ කරන්නේ? කවුද ඒවා අහන්නේ. කාටද ඒවයින් වැඩක් තියෙන්නේ. මේ කියන්නේ ළිං ළඟ, බෝක්කු උඩ හරි, කැන්ටින්වල, බාර්වල හරි දොඩව දොඩව ඉන්න තියෙන අයිතියක් ගැන නෙවෙයි නේ!

හැබැයි මහජන ඡන්දයක් කියන්නෙ සියලු ඡන්දබලය හිමි වැඩිහිටියන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවලින් ඉහළම එකක්.

ඡන්දයකදී ඡන්දදායකයාගෙන් ප්‍රකාශවන්නේ ඔවුන්ගේ ‘නිදහස්’ අදහසමද? මේගැන කෙස්පලමින් තර්ක කරන්න පුළුවන්. ඡන්දයට බලහත්කාරී හා ප්‍රචණ්ඩ බලපෑම් කිරීමේ ඉඳලා අල්ලස් දීම දක්වා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ඇතුළේම නඩත්තුවෙන විවිධාකාර විකෘතිවලින් ඡන්දයකදී නිදහස් අදහස් ප්‍රකාශවීම කියන එක දූෂිත වනබවට තර්ක කරන්න පුළුවන්.
ඒත් පවතින ක්‍රමය ඇතුළෙ සියලු ජනයාගේ අදහස් නෛතික රාමුවක් ඇතුළෙ ප්‍රසිද්ධියේ ප්‍රකාශවීමට ලැබෙන ඊට වඩා අවස්ථාවක් ඇත්තෙත් නෑ.

එහෙම ගත්තාම ඡන්දයක් විවිධ උප්පරවැට්ටි දාලා නොතියා ඉන්නවා කියන්නේ අනෙක් සියලු උල්ලංඝනයන් අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් නැතිකිරීමක්.

සුවිශේෂ මැතිවරණයක් වුණේ ඇයි?

පවත්වන්න ගිය පළාත් පාලන මැතිවරණය ඒ අර්ථයෙන් මෑත ඉතිහාසයේ එළැඹුණු එවැනි ‘මහජනයාගේ අදහස් ප්‍රජාතාන්ත්‍රීයව ප්‍රකාශවීමට’ ඉඩලැබෙන අවස්ථාවලින් ඉතාම සුවිශේෂ එකක් වෙමිනුයි තිබුණේ.
ආසන්නම හේතුව තමයි, කවදාවත් වීදිසටන්වලට නොආපු සමාජ ස්ථරයනුත් ඇතුළු පොදුජන බලවේග එකට එකතුවුණු ‘ජන අරගලය’ නමින් හැඳින්වෙන ක්‍රියාදාමයෙන් පස්සෙ රටේ මහජනයාට තමන්ගේ මතය සාමූහිකව ප්‍රකාශ කරන්න ලැබෙන පළමු ප්‍රජාතන්ත්‍රීය අවස්ථාව මෙය වීම.‍

ඉතිහාසයේ බොහෝ ඡන්ද අවස්ථාවලට වඩා මේක වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසා.
මුලින්ම, ‘ජන අරගලය’ විසින් බහුතර ජනතාවකට තමන්ගේ අදහස එළිපිට නිදහසේ කියන්න එතෙක් නොතිබුණු තරමේ දැවැන්ත හයියක් එන්නත් කර තිබීම. මේකේ සුවිශේෂී ප්‍රකාශමානයක් වෙන්නේ වසර දෙක හමාරකට කලින් ‘රට රකින අපේ විරුවා’ කියලා කවි සින්දු පදබැඳගෙන උස්සං ආපු අසමත් පාලකයාට ‘මූසලයා ගෙදර පල!’ කියලා ප්‍රසිද්ධියේ කියන්න මිනිස්සුන්ට හයියක් ඇතිකළ අවස්ථාව.

දෙවනුව, කාලාන්තරයක් තිස්සේ අසමත්, දූෂිත, වගකීම් විරහිත, රැවටිලිකාර පාලක පැලැන්තිය විසින් ක්‍රමක්‍රමයෙන් රට තල්ලුකරගෙන ආපු ආර්ථික ආගාධයේ පතුලටම මේ වෙනකොට රට වැටී තිබීම. කන්ඩ නැතිවුණාම, කන්ඩ දෙයක් ගන්න සල්ලි නැතිවුණාම, සල්ලි තියෙන එකාටත් ගන්ඩ බඩු නැතිවුණාම කෙලින්ම පහර වදින්නේ බඩට!
ඔළුවට ආමන්ත්‍රණය කරනවට වඩා පපුවට ආමන්ත්‍රණය කරන එක ලංකා දේශපාලනයේ ‘ප්‍රේමකතා කලාව’ නම්, ඔළුවට තබා පපුවටත් නෙමෙයි, කෙලින්ම බඩටම ආමන්ත්‍රණය කිරීම ඒකෙ ‘කාමකතා කලාව’ වුණාම, බඩට උපරිමයෙන් පහර වැදුණාම යටිබඩ ගිනිගන්න ජනකායක් නොසිටින්නට හේතුවක් නෑනේ!‍

තුන්වනුව, මෙයින් අවුරුද්දකට අඩු ඉතිහාස කාලයක් ඇතුළෙ මහපාරේ දෝරගලා ගිය තමන්ගෙ විරෝධයයි, සටන්කාමී ශක්තියයි ඵල සහිත කූටප්‍රාප්ති අවසානයකට ආවෙ නෑ කියන අතෘප්තියේ, ඒතට සහභාගී වුණු, ඒකෙන් උත්තේජනයක් ලබපු වගේම ඒ දිහා ධනාත්මකව, සාවධානව බලාගෙන හිටපු බහුතරයක් ගැලී සිටීම. ඒ ඇවිලිච්ච සටන දැන් ඉතින් පාරවල් දිග නෙවෙයි, බැලට්ටුවෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරන පිරිස අතිවිශාල බව බැලූ බැල්මටම වුණත් පෙනෙනවා.‍

මේ සියලු කරුණු ගත්තාම, පාලන බලය අල්ලාගෙන ඉන්න කට්ටියට මේ තියන්නට නියමිත ඡන්දය මහා භීතිකාවක් වීම පුදුමයක් නෙවෙයි.

ඒ භීතියෙන් වැඩිපුරම තැතිගෙන ඉන්නේ, පාර්ලිමේන්තු අසුනක්වත් ඡන්දයෙන් දිනාගන්න බැරිතරම් පාතාලෙකට තමන්ගේ පක්ෂය ඇදදමපු, තමන්ගෙම පාර්ලිමේන්තු අසුනවත් රැකගන්න බැරිවුණු, ජාතික ලයිස්තුවේ එකම එක මන්ත්‍රීකම අරගෙන පාර්ලිමේන්තු ආපු, පාරට බැහැපු ජනතා බලවේගය හේතුවෙන් හිස්වුණු අගමැති කමට චෞරසහායකත්වයේ අනුහසිනුයි, ඒ හේතුවෙන්ම හිස්වෙච්ච ජනාධිපතිකමට මිනිස්සුන්ගෙ විරෝධයට පාත්‍රවුණු පාර්ලිමේන්තුවෙ ඉන්න වැඩිදෙනෙකුගෙ ‘අරුම පුදුම ඡන්දෙනුයි’ පත්වුණු රනිල් හැර වෙන කවුද!

ඉතින් කඳුළුගෑස් ගහල නෙවෙයි, අතපය කඩලා, හිරගෙවලුත් පුරවලා, වෙඩිත් තියලා හරි මේ ඡන්දෙ නොතියා ඉන්න තමයි රනිල්ට ඕනෑ‍.

සනත් බාලසුරිය

අනුර ඇතුළු 26කට අධිකරණ නියෝගයක්

0

මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පැවැත්වීමට නියමිත විරෝධතාවය ඉලක්ක කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු 26 දෙනෙකුට, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වමින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා ඉහත සඳහන් ප්‍රදේශ ඇතුළු කොටුව පොලිසිය විසින් නම් කරන ලද මාර්ග වලට උද්ඝෝෂකයින්ට ඇතුළු විය නොහැක.

කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේය.

එම තහනම් නියෝගය අනුර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ.ඩී ලාල්කාන්ත, හරිනි අමරසූරිය ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇත.

1-1

පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ (2022-23) ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූ ඉන්දික තේනුවර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉන්දික තේනුවර පසුගිය ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ දී සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී ජේ.ශ්‍රී රංගා ට සහය පළ කරමින් එම පාර්ශ්වයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකි.

වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇතිවු කළකිරීම් හේතුවෙන් ඔහු මෙලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති පාපන්දු සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව පත්ව මේ වනවිට මාස එකහමාරක් වන ආසන්න කාලයක් ගෙවමින් තිබුණත් කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් මෙතෙක් ආරම්භ නොකිරීම ගැන චෝදනා එල්ල වේ.

විශේෂයෙන්ම පාපන්දු ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකාලාපය හෙළා දකිමින් ලිපියක් යොමු කිරීමට මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු, පසුගියදා පියවර ගෙන තිබුණි.

එහෙත් ඊට මෙතෙක් වත්මන් සභාපති ජේ ශ්‍රී රංගා ප්‍රතිචාර දක්වා නැතැයිද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.

කෙසේවෙතත් උද්ගතවී තිබෙන ගැටළු හමුවේ පැවැති නිලවරණයේ දී ශ්‍රී රංගාට ප්‍රබලයන් ගණනාවක් ඉදිරියේදී රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් රිට් පෙත්සමක් ගොනුකිරීමටද කටයුතු කළේය.

සබැඳි පුවත්

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතය.

පසුගිය 23 වැනිදා ඉන්දියානු පිල සහ ඔස්ට්‍රේලියානු පිල අතර පැවැති ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ලකුණු 05 පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ගත්තේය.

කෙප් ටවුන්හිදී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 6කින් පරාජය කරමින් දකුණු අප්‍රිකාව මේ තරගයට එක් වූ අතර, දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වූ පළමු තරගය ලකුණු 03කින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජයට පත්වුවද ඔවුන් අවසන් තරගය දක්වා පැමිණීම කැපී පෙනිණි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් මුහුණදුන් දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති අතර එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවන් පරදා ලකුණු 65ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

කෙසේවෙතත් පසුගිය 18 වැනිදා පැවැති තරගාවලියේ 15 වැනි තරගය ඔස්ට්‍රේලියානු පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පැවැති අතර එහිදී දකුණු අප්‍රිකාව පරදා පන්දු 21 ක් ඉතිරිව තිබියදී කඩුලු 06 ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිණි.

ඔස්ට්‍රේලියාව අඛණ්ඩව මේ තරගයට පිවිසි 7 වැනි අවස්ථාව මෙය වන අතර ඉන් පෙර අවස්ථා 6න් 5කදී ශූරතාව දිනා ගෙන තිබේ.

හයිකු කවි කලාවේ මහා මුනිවරයා –“මත්සුයි බෂෝ”

0

මත්සුයි බෂෝගේ පුරෝගාමීත්වයෙන් වර්ධනය වී අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ හයිකු කවිය ( Hiku Poem ) ලෝකයට නව්‍ය වූ අත්දැකීමක් වූයේ ය. ලෝකයේ බොහෝ කවියන් මෙන්ම කාව්‍ය රසිකයෝ ද ( ජපන් ) හයිකු කවිය මුලු හදවතින්ම වැළඳ ගත්හ. එය එතෙක් ලොවෙහි පැවති පිළිගත් කාව්‍ය සම්ප්‍රදායට නව්‍ය ආකරයක් එක් කළේය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම, ලෝකයේ බොහෝ කවිහු හයිකු කවි ආරෙන් කවි ලිවීමට පටන් ගත්හ. ඒ හයිකු කවියේ සුවිශේෂී ජීව ගුණය හා ආධ්‍යාත්මික චින්තනය නිසා ය.

හයිකු කවියේ පුරෝගාමියා වූ මත්සුයි බෂෝ යනු කවරකුද ? අපි ඔහුගේ දිවිපවත පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු .
මත්සුයි බෂෝ ( Matsho Basho 1644 – 1694 ) සොබාදහමෙන් අගතැන්පත් කදුකර පෙදෙසක් වූ උඑනෝ ( Ueno ) හි දී මෙලොව එළිය දුටුවේ ය. මත්සුයි මුනෙෆුසා ( Matsuo Munefusa ) ඔහුගේ සැබෑ නාමය විය. එනමුත් ඔහු ජපානය පුරාත් ලොව පුරාත් ඉමහත් ප්‍රසිද්ධයට සේම ගෞරවාදරයට පාත්‍ර වූයේ “බෂෝ” යන නාමයෙනි.

බෂෝ දිවිගෙවූ යුගය වූ කලී ජපානයේ යුග බෙදීමට අනුව එඩෝ යුගය ( Edo Period 1603 – 1868 ) විය .
බෂෝ හයිකු කවි කලාවේ මහා මුනිවරයා වශයෙන් ඉමහත් ගෞරවාදරයෙන් එදා මෙදාතුර පිළිගැනේ. මෙය තවත් ආකාරයකින් සදහන් කරන්නේ නම් ඔහු එදෝ යුගයේ ජපන් හයිකු සම්ප්‍රදායේ මුනිවරයා ලෙස හැදින්වෙන අතර හයිකු කාව්‍ය ප්‍රබන්ධකරණයට වඩ වඩාත් ප්‍රචලිත වූයේ ඔහුගේ ආගමනත් සමගිනි.

බෂෝගේ ළමා විය හා තරුණ විය කෙබඳුද ?

බෂෝ කුඩා සංදියේ ජීවත් වූයේ ක්යොතෝ ( Kyoto ) හා ඉසේ ( lse ) යන ප්‍රධාන නගර දෙකට මැදිව පිහිටි ඉගා ( Iga ) නැමති පලාතේ ය. ඔහුගේ පියා ජපාන් ඉතිහාසයේ සුවිශේෂී හා ඉපැරණි සටන් කුලකයක් වන සමුරායි ( Samurai ) කුලයට අයත් සමුරායිවරයකු වූයේ ය. එකල්හි රළදවරුන්ගේ පාලනයට හා අණසකට යටත් වූ ඔවුන්ගේ පවුල්වල තත්වය සමකාලීන සමාජ බැදීම් රාශියකට කොටුවී තිබුණි.

1666 දී පමණ ඉගා පලාතේ විසූ ප්‍රධාන ප්‍රාදේශීය නායකයාගේ ඝාතනය තරුණ බෂෝගේ ( මුනෙෆුසා ) ජීවිතය කිසියම් වූ වෙනසකට ලක් කළ කාරණාවක් විය .

මෙම අවස්ථාව බෂෝ තමා හා තම පවුලේ උදවිය වෙළා දමා තිබුණු රදල බැමිවලින් මිදී වෙනත් පලාතකට පලායන්නට උපයෝගී කරගත්තේ ය.

[ මෙතැන් සිට පුරා වසර හයක් පමණ ගතවනතුරු එනම්, ක්‍රි.ව 1666 – 1772 දක්වා කාලය තුළ ඔහුගේ ජීවිත පිළිබඳව කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් හමුනොවේ. ඒ පිළිබඳව විශේෂයෙන්ම විමර්ශනය කළ යුතු වන්නේ ය. ]
1675 දී බෂෝ විසින් ඉගා ප්‍රදේශයේ දිවිගෙවූ පාරම්පරික කවියන් පිළිබඳව විස්තර සටහනක් ලියා දක්වන ලදි.
ඔහුට 1675 දී නිෂියමා සොයිං ( Nishiyama Soin ) නැමති එකල්හි එදෝ ( Edo ) පලාතේ ප්‍රකට කවියකු මුණ ගැසී තිබේ. මෙම හමුවීම බෂෝගේ හයිකු කාව්‍යකරණය මුවහත් කරගැනීම බෙහෙවින් උපකාරී වූ බව කියැවේ.

මත්සුයි බෂෝගේ හයිකු කාව්‍යකරණය හා ඔහු විසින් පිහිටුවන ලද ගුරුකුලය කෙබඳුද ?

1676 දී තෝසෙයි ( Tosei ) යන ආරූඪ නාමයෙන් බෂෝ තම සහෝදර කවියන් වූ යමගුචි සෝදා ( Yamaguchi Soda ) ඇතුළු සෙසු කවියන් කීපදෙනෙකු සමගින් එක්ව එදෝ රෙයොජින් – ෂු ( Edo Ryogin – Shu – 1676 ) නැමති කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේ ය.

1677 – 1680 යන කාලවකවානුව තුළ එදෝ ( Edo ) නගරයේ ජල පාලක මණ්ඩලයේ සහකාර ජලපාලකය වශයෙන් බෂෝ කටයුතු කරන ලද බව කියැවේ. මෙකල් ඔහුට ෂින්ටෝ ආගමේ භික්ෂූන් වහන්සේලා කීපදෙනෙකුම ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කිරීමටත් ඔවුන් වැඩවිසූ ආරාමවලට යෑමත් අවස්ථාව උදාවූ බව කියැවේ.

එඩෝ නගරය පිළිබඳව රචිත ඔහුගේ අපූරු හයිකු කවි කීපයක්ම වේ. ඉන් කවි දෙකක් උදාහරණයක් වශයෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරමි.

එඩෝහි පුරාවස්තු
ෆුජී සුළඟින් නිසල වෙයි
අවාන මත

After ten autumns
In Edo , my mind
Points back to it
As my native place

1680 දී බෂෝ තම සිසුන් පිරිසක් සමගින් එක්ව තෝසෙයි මොංතෙයි දොකුං ක්සෙං ( Tosei Montei Dokugin Nijikkasen – 1680 ) නැමති හයිකු කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේ ය.මෙය හයිකු කාව්‍යය සංග්‍රහයක් වශයෙන් අතිශයින්ම වැදගත් වන අතර මෙමගින් බෂෝ ගුරුකුලයේ ආරම්භ සනිටුහන් වීම සීදුවිය . මෙම පසුකලෙක ෂෝමොං ( Shomon ) ගුරුකුලය නොඑසේනම් බෂෝ ගුරුකුලය වශයෙන් ප්‍රකට විය.

1680 දී බෂෝගේ ශිෂ්‍යයකු වූ ධනවත් පරපුරකින් පැවත එන එදෝ ප්‍රදේශයේ එක්තරා වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලද ස්ංපු ( Sanpu ) නැමැත්තා විසින් ඔහුට එදෝ ප්‍රදේශයේම ස්ථිරව වාසය කරනු පිණිස නිවසක් තනා දෙන ලද්දේ ය. ඉක්බිතිව එම නිවසට ස්ථිර වාසය සදහා පැමිණි බෂෝ තම නිවස ඉදිරිපිට කෙසෙල් පැලයක් සිටුවන ලදි. එතැන් පටන් එම නිවස “කෙසෙල් අසපුව” ( Basho – Tossei ) යන නමින් කා අතරත් ජනප්‍රිය විය. මෙතැන් පටන් මුනෙෆුෂා නාමය ඉවත් කොට ඔහු බෂෝ යන නාමය තම ස්ථිර නාමය වශයෙන් භාවිතා කරන ලදි.

මෙම නිවස පිළිබඳව සදහන් ඔහුගේ හයිකු කවියක් වේ. එය මෙසේ ය.

නව වසර – බෂෝ – තොසෙයි
අසපුව
හයිකු සමගින් ගමු ගුමුවක් ..!!

( Basho යන ජපන් වචනයේ තේරුම වනුයේ කෙසෙල් ගස යන්නයි. ජපානයේ කෙසෙල් ගස වූ කලී තරමක් දුර්ලභ ශාඛයක් වන්නේ ය. )

බෂෝ කෙසෙල් ගසට බෙහෙවින් ආදරය කළ බව පෙනේ. ජපානයේ පවත්නා ශීත දේශගුණික තත්වයක් නිසා සාමාන්‍යයෙන් කෙසෙල් ගස්වල ඵල ( කෙසෙල් කැන් ) හට නොගනී. එපමණක්ද නොව ඔවුනට කෙසෙල් කඳෙන්ද කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව පෙනේ. එනමුත් ජපන් ජාතිකයන් එහි විශාල පත්‍රවලින් ගිම්හාන සමයේ දී සෙවණ ලබා ගැනීමට බෙහෙවින් ප්‍රිය වූ බව කියැවේ. සොබාදහම මහත් සේ ආදරය කළ සේම සොබාදහමේ අසිරිය තම හයිකු කාව්‍යකරණය පිණිස ඉතා ඉහලින්ම යොදාගත් බෂෝද කෙසෙල් ගසේ සෙවණට බෙහෙවින් ප්‍රියකරන්නට ඇතැයි කියා අපට අනුමාන කළ හැකියි.
කෙසෙල් ගස සම්බන්ධ කර රචිත ඔහුගේ හයිකු කවි කීපයක් වේ. ඉන් කවියකි මේ.

කුණාටුව බෂෝ ගස සොලවයි
මුළු රැය පුරාම
මගේ බේසම වැස්සෙන් දෝංකාර දෙයි

බෂෝගේ ජීවිතය ඉතා සරල විය . ඔහුගේ ජීවිතය එක තැනක නොරැදුණු සංචාරක ජීවිතයක් වූයේ ය. මෙමගින් ඔහු වඩ වඩාත්ම සොබා දහමින් කුල්මත්ව තම ආධ්‍යාත්මික ජීවිතයත් තම හයිකු කාව්‍යකරණයත් වඩ වඩාත්
පෝෂණය කරගත්තේ ය. බෂෝ විවිධ ප්‍රදේශයන්හි සැරිසරත්ම ඔහුගේ ෂෝමොං ( Shomon ) ගුරුකුලයේ ව්‍යාප්තිය ද ක්‍රම ක්‍රමයෙන් සිදුවිය . මෙමගින් ඔහු වටා සැලකිය යුතු ශිෂ්‍යයන් ( අනුගාමිකයන් ) පිරිසක් ද එක්රැස් වූ බව කියැවේ. සැබවින්ම බොෂෝ නාමය හා ඔහුගේ ෂෝමොං ගරුකුලය ජපානය තුළ කිසියම් දුරකට ප්‍රසිද්ධ වන්නේ ද මෙම යුගයේ දී බව පෙනේ. මෙකල්හි බෂෝ සංචාරය කරන ලද්දේ ජපානයේ බටහිර ප්‍රදේශය පිහිටි නාගසාකි ( Nagasaki ) සිට උතුරු ප්‍රදේශයේ පිහිටි සෙන්දයි ( Sendai ) දක්වා බව ඔහුගේ චාරිකා සටහන් ඇතුළත් The Narrow Road To The Deep North And Other Travel Sketchs by Matsuo Basho – 1966 ( Translated by Nobuyuki Yuasa ) කෘතියට අනුව පැහැදිලි වේ.
බෂෝගේ සංචාර පිළිබඳව රචිත හයිකු කවි කීපයක්ම දැකිය හැකිය. ඉන් එක් උදාහරණයක් මේ.

සංචාරයෙන් වෙහෙසට පත්ව
මම නවාතැන්පොළක් බලමි
ආ … මල් වැලක්

1683 දී ෂමණ බෂෝගේ කෙසෙල් ආරාමය යන නමින් ප්‍රකට නිවස හදිස්සියේ ඇතිවූ ගින්නකින් විනාශ වී ගිය බව කියැවේ. ඉක්බිතිව ඔහු තාවකාලිකව ක්යි ( Kai ) ප්‍රදේශයේ ජීවත් වූ තම ශිෂ්‍යයකුගේ නිවසේ කලක් ජීවත් විය .කාලයක් සමගින් ඔහු එදෝ ප්‍රදේශයට පැමිණෙන්නේ ගින්නෙන් විනාශ වූ තම නිවහන යලිදු ගොඩ නැගීමටය .
1685 ශීත සෘතුවේදී තම මවගේ සොහොන පීහිටි උඑනෝ ( Ueno ) ප්‍රදේශයට පැමිණෙන හෙතෙම එතැනින් නගෝයා ( Nagoya ) ප්‍රදේශයට පැමිණ එහිදී තම ශිෂ්‍යයකුගේ නිවසේ වාසය කරන අතරතුර දී ක්සෙං / සිසිරයේ දින( Kasen ) යන හයිකු කාව්‍යය සංග්‍රහය ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම හයිකු කාව්‍යයේ එන කවියකින් උඑනෝ ප්‍රදේශයේ පිහිටි තම මවගේ සොහොන පිළිබඳව කියැවේ.එය මෙසේ ය.

සොහොන් බිම බලමින්
සුදු හිස් නැමෙයි
වේවැල්වලට ඉහළින්

[ මතු සැබැඳේ ]

[මෙම ලිපිය මා දන්නා තරමින් මත්සුයි බෂෝ හා ඔහුගේ දිවිපවත පිළිබඳව ඉතා සවිස්තරාත්මකව රචනා වෙන මෙරට පළමු ලිපිය විය හැකිය. එබැවින් මෙම ලිපිය උපුටා ගත්තාට කම් නැත . එනමුත් ලිපිය අවභාවිතා කිරීමෙන් වළකින මෙන් මෙත් සිතින් දන්නවා සිටිමි. ]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

මත්සුයි බෂෝගේ අත් අකුරු සහිත මූලාශ්‍ර

තුර්කියෙන් පසු ඉන්දියාවේ භූ කම්පන අවදානමක් : කොළඹට බලපෑම්? : වසර 02කට පෙරත් අත්දැකීමක් !  

0

ඉන්දීය භූ විද්‍යාඥයන් අනාවැකි පළකරන ආකාරයට රිච්ටර් මාපකයේ ඒකක 8ක අගයක් සහිත භූමිකම්පාවක් එරට සිදුවුවහොත්, එහි බලපෑම අනිවාර්යෙන්ම කොළඹ නගරයට දැනෙනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

වසර 02කට පෙර ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත කලාපයේ සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 5ක අගයකින් යුත් භූකම්පනය ද කොළඹ නගරයට දැනුණු බව මහාචාර්යවරයා සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙසේ අනාවැකි පළකළ ආකාරයට ම ලෝකය පුරා භූ කම්පන සිදු වී නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

හින්දුස්තාන් ටයිම්ස් වාර්තාව

හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ 35,000කට අධික පිරිසක් මරණයට පත්වූ තුර්කියෙන් සහ සිරියාවෙන් පසු බරපතළ භූ කම්පන අවදානමක් ඉන්දියානු සාගරය වෙත පැමිණෙමින් තිබෙන බවයි.

ප්‍රකට භූ විද්‍යා පර්යේෂකයෙකු වන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් (Frank Hoogerbeets) උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනය සම්බන්ධයෙන් ඊට දින 03කට පෙර ඔහු අනාවැකි පළකර තිබූ බවයි.

ඉන්දියානු උප මහාද්වීපය ආශ්‍රිත කලාපයේ මීළඟ බරපතළ භූ කම්පනය ඇති විය හැකි බවත්, පාකිස්තානු – ඇෆ්ගනිස්තානු සහ ඉන්දීය කලාපය මීළඟ අවදානමට මුහුණ දිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ෆ්‍රෑන්ක්ගේ මතය පිළිබඳව අදහස් දක්වන තවත් භූ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ භූ කම්පන සම්බන්ධයෙන් මෙසේ නිශ්චිත තොරතුරු සඳහන් කිරීම ප්‍රයෝගික නොවන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය

ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මේ ආකාරයට භූ කම්පන පිළිබඳව අනාවැකි පළකිරීම එතරම් සාර්ථක නොවන බවයි. එහෙත් දීර්ඝ කාලීන අධ්‍යයන මගින් සහ ස්වභාවික වෙනස්කම් මගින් ඉදිරිපත් කරන තොරතුරු සාපේක්ෂව සාර්ථක වූ අවස්ථා සම්බන්ධයෙන් ද එම ආයතනය කරුණු ඉදිරිපත් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ චීනය භූ කම්පන සම්බන්ධයෙන් ස්වභාවික වෙනස්කම් සහ සතුන්ගේ හැසිරීම් මත අනාවැකි පළකිරීම මීට උදාහරණ ලෙස දැක්විය හැකි බවයි. පසුගිය ජනවාරි 29දා චීනයේ සිදු වූ භූ කම්පනය පිළිබඳ එරට පළකළ අනාවැකි තරමක් සාර්ථක වී තිබිණි. එම අනාවැකිවල නිශ්චිත දිනයක් නැතත්, භූ කම්පනයක් සිදු විය හැකි බව සඳහන් විය.

ලංකාවේ තත්ත්වය

පසුගිය දිනවල බුත්තල ආශ්‍රිත ප්‍රදේශයේ රිච්ටර් පරිමාණයේ ඒකක 3ට ආසන්න භූ කම්පන කිහිපයක් මෙරට ද සිදු විය. ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් සඳහන් කර නැතත්, විද්‍යාඥයන් විසින් ඒ පිළිබඳ ගවේෂණය කරමින් සිටින බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය මාධ්‍ය වෙත සඳහන් කළේය. ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටියේ වෙනස්කම් මීට හේතු විය හැකි බවත්, එය දීර්ඝ කාලයක සිට සිදුවෙමින් පවතින්නක් බවත් විද්‍යාඥයෝ  මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.

මන්ත්‍රීවරු 225ම කිව්වත් ඡන්දය කල්දාන්න රනිල්ට බෑ : කොමිසම වැරදි නම් උසාවි යන්න පුළුවන් – අනුර : තීරණය 03දා – කොමිසම

0

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැතිවරණය සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම්, එය අධිකරණය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් බව ද ඔහු සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව නීත්‍යනුකූල නොවන ආකාරයට කටයුතු කර තිබේ නම්, ජනාධිපතිවරයාට අධිකරණයට ගොස් ඊට අදාළ තීන්දුවක් ලබාගත හැකි බව ද අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටී.

‘ජනවාරි පස්වැනිදා මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කළා. කොමිසම නාමයෝජනා සහ ඇප මුදල් බාරගත්තා. ජනවාරි 21 වැනිදා මැතිවරණ දිනය සහ තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත්කළා. මැතිවරණ කොමිසම කියන්නෙ මේ සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලයි සහ නිත්‍යනුකූලයි කියලා. නියමිත පරිදි ගැසට් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බොරු කිව්වෙ තමන්ගේ වැඩේ කරගන්න.’

ඡන්දෙ කල්දාන්න ඉල්ලුවද?

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මැතිවරණය කල්දමන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ද පෙරේදා (23) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් 225ම ලිඛිතව ඉල්ලා සිටියත්, මැතිවරණය කල්දැමීමේ බලය ජනාධිපතිවරයාට නොමැති බවයි. ඒ පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බව ද ඔහු සඳහන් කළේය.

අධිකරණයෙන් බාධාවක් නෑ !

අධිකරණය මගින් මැතිවරණයට කිසිදු බාධාවක් එල්ල කර නැති බව ද අවධාරණය කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමන පරාජයට පත්කිරීමට ඉදිරියට එන ලෙස සියලු දේශපාලන පක්ෂ ප්‍රමුඛ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොමිසමේ නිවේදනය !

පවතින තත්ත්වය යටතේ පාලනය කළ නොහැකි හේතු මත මාර්තු 09දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත්, එම මැතිවරණය පවත්වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ලබන 03දා දැනුම් දෙන බවත් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

සජිත්ගේ සහෝදරියගෙන් අනුරට එන්තරවාසියක් : මේක 2017 අවසන් වූ නඩුවක් – දුලාංජලී ජයකොඩි

0

තමන්ට අපහාසයක් සිදු වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

දුලාංජලී ජයකොඩි යනු සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරියයි.

2017 වසරේ සිදු වූ බව පැවසෙන මූල්‍ය ගනුදෙනුවකට අදාළ ව අනුර කුමාර දිසානායක විසින් පසුගිය දිනෙක ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු කළ ප්‍රකාශයකට අදාළ ව මෙම එන්තරවාසිය යොමුකර තිබේ. ජනාධිපති නීතිඥ ෆර්මන් ජේ. කාසිම් මගින් පසුගිය 22දා මෙම එන්තරවාසිය යොමුකර ඇත.

ව්‍යාපාරික ගනුදෙනුවකට අදාළ ව මුදල් ගෙවීමක් සිදුකිරීමේදී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත බාරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2017 මැයි 22දා මහාධිකරණයේදී වරද පිළිගෙන තිබුණු බවත්, ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයාගේ නැගණියට රුපියල් මිලියන 2ක වන්දියක් ලැබුණු බවත්, එසේ තිබියදී අනුර කුමාර දිසානායක විසින් එම චෝදනාව තමන්ට බැර කර ඇති බවත් අදාළ එන්තරවාසියේ සඳහන් වේ. එහි නඩු අංකය වන්නේ HC/8378/15 බව ද එහි දැක්වේ.

මාර්තු 31 විශ්‍රාම යයිද? : පොලිස්පතිගේ ඇඳිරි නීතියට එරෙහි තවත් පෙත්සමක් ඉදිරියට !

0

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අනීතික ලෙස පනවන ලද ඇඳිරි නීතියට එරෙහි තවත් පෙත්සමක් සලකා බැලීමෙන් පසු, එය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

2022 ජූලි 08 රාත්‍රියේ සිට 09දා දක්වා මෙසේ තමන්ට නොමැති බලයක් භාවිත කරමින් පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලදි. මෙම නියෝගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාව පිළිබඳ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු 12(1), 14(1)(අ), 14(1)(ආ), 14(1)(ඇ) අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ පෙත්සමේ දැක්වේ.

තිෂ්‍ය වේරගොඩ, ප්‍රතාප් වැලිකුඹුර, ඩිලාන් නාලක, යසංග සේනාධීර, චමෝදි විජේවීර යන නීතිඥවරුන්, නීතිඥ අසාත් ලෙබ්බේ විසින් ගොනුකරන ලද SC/FR/269/2022 දරන මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිට ඇත. ලබන ඔක්තෝබර් 09දා මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිත ය.

තවත් පෙත්සමක් !

පොලිස්පති චන්දන වික්‍රමරත්න පැනවූ මෙම ඇඳිරි නීතිය නීතිවිරෝධී බව සඳහන් කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන තරිඳු උඩුවරගෙදර සහ තරිඳු ජයවර්ධන ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කෙරිණි. කිසිදු නීතිමය පසුබිමක් නොමැතිව ජූලි 08දා ඇඳිරි නීතිය පැනවීමටත්, ඒ හරහා කොළඹ පැවති විරෝධයකට ජනතාව සහභාගී වීම සීමා කිරීමටත් කටයුතු කිරීම පිළිබඳ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන විසින් මෙම පෙත්සම් සලකා බලා එම නඩුව ඉදිරියට ගෙනයෑමට තීන්දු කළේය. ඒ අනුව එම පෙත්සම ද ඔක්තෝබර් 9දා සිට විභාගයට ගැනීමට නියමිත ය.

ජූලි 08

2022 ජූලි 08දා රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව නිවේදනයක් මගින් නිවේදනය කළ බවත්, එමගින් එම ප්‍රදේශවල ගමන් කිරීම නතර කර නිවෙස්වලට වී සිටින ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් නතර කරන ලෙස එමගින් උපදෙස් දී ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.

පසුදින උදෑසන 06ට ඇඳිරිනීතිය ඉවත් කරන බව නිවේදනය කළ බව ද, ඇඳිරිනීතිය පනවන නිවේදනයේ නොතිබුණු ගම්පහ කොට්ඨාසය ඉවත් කිරීමේ නිවේදනයේ සඳහන් වූ බව ද, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී, අත්තනෝමතික සහ නීතිමය පදනමක් නැති ක්‍රියාවක් බව ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

යටි අරමුණක්

මෙය ද්වේශසහගතව යටි අරමුණක් ඇතිව බලය අනිසි ලෙස භාවිත කිරීමක් බව සඳහන් කර ඇති පෙත්සම්කරුවන්, ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව අධිකරණ නියෝගයක් මගින් තහනම් කිරීමට නොහැකි වූ තැන බලය අවභාවිත කරමින් ඒ සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය වැලැක්වීමේ අරමුණෙන් මෙය සිදු කර ඇති බව ද පෙන්වා දෙයි.

පළමු වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීති විරෝධී ඇඳිරිනීතිය නිසා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා පවා නතර කර දැමූ බවත්, එමඟින් පුරවැසියන් අපහසුතාවට පත්වූ බවත්, ජනමාධ්‍යවේදීන් ලෙස තමන් පවා එමගින් අපහසුතාවට පත්වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

නීත්‍යනුකූල ඇඳිරි නීතිය

මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය ප්‍රකාරව ඇඳිරි නීතිය පැනවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මහජන ආරක්ෂක පනතේ විධිවිධානවලට පටහැනිව අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ වෙනත් පුද්ගලයෙකු පනවනු ලබන කිසිදු හදිසි නීති තත්ත්වයක් හෝ කිසිදු ඇඳිරි නීති තත්ත්වයක් නීතිමය වශයෙන් වලංගු නැත.

පොලිස්පතිට බෑ

පොලිස්පතිවරයාට ‘පොලිස් ඇඳිරි නීතිය’ යනුවෙන් ඇඳිරි නීති තත්ත්වයක් පැනවීමට මහජන ආරක්ෂක පනතින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හෝ පොලිස් ආඥා පනතින් හෝ බලයක් ලැබෙන්නේ නැත.

ඉහත නීතිමය තත්ත්වය තුළ වලංගු නොමැති ඇඳිරි නීතියක් කඩකිරීම නීතිය ඉදිරියේ වරදක් නොවන බවත්, එසේම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

පොලිස්පතිගේ විශ්‍රාමය ?

මේ අතර පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය ලබන මාර්තු 31දායින් අවසන් වීමට නියමිත ය. ඔහු මේ වන විට සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකට රහසකි.

චන්දන වික්‍රමරත්න මෙරට 35 වැනි පොලිස්පතිවරයා ය.

කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ, කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

0

සිරි ගුණසිංහ හා රුව දෑසෙහි වැදෙන
හැමවිට මගේ මතකය ඈතට ඇදෙන
අදටත් එදා මෙන් ඔහු හද තුළ රැඳෙන
ඇත තුන් වතාවක් හමුවී අප දෙදෙන

වෙසෙනා අතරතුර මහැදුරු කැනඩාවේ
ඉදහිට නිවාඩුවකට මව්රට ආවේ
ඉන් එක වතාවක ” හමුවෙමු” මම කීවේ
පළවෙනි වරට එහෙමයි අපි හමුවූවේ

හමුවුණු වෙලේ සිට ඇහුවෙම නොයෙක් පැන
ඒ හැම එකකටම ඔහු උත්තරත් දෙන
හාරාඅවුස්සන මාගේ විදිය මැන
සමහර තැනකදී හයියෙන් හිනාවුණ

ගැන්සිය ගැහුණු අය නම් ගින්දර වැනියේ
කදිමයි ප්‍රොඩක්ෂන් ටික එම කොම්පැනියේ
එදවස ඇකඩමික් බර අවි බලඇණියේ
කොහොමද සර් මතකය පේරාදෙණියේ

පෑමට ශිල්ප නොයෙකුත් තරමින් සවියේ
සෙබලෙක් තමයි දන්නේ තතු තම අවියේ
කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ
කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

කදිමට හවුල් කරගෙන හුරුපුරුදු නඩේ
එක් එක්කෙනාගෙන් අරගෙන නියම හැඩේ
සිනමාවට ඇවිත් ඔබ කළ එකම වැඩේ
අදටත් චිත්‍රපටි අතරින් හොදම ගොඩේ

තම රංඟනය අරගෙන නිති නිසි බරට
පසු කාලයක මරු නිළියක් වුණු මෙරට
කැමරාවකට හසුකර පළවෙනි වරට
කොහොමද ස්වර්ණ ගත්තේ සත්සමුදුරට

ඩී.බී. ඔබේසේකර ඇල්විටිගලලා
සේකර අමරදේවල ගී රස නෙලලා
එඩ්මන්ඩ් සිරිල් දෙනවක වැනි අය අලලා
ඇතිවුණෙ ප්‍රේමයක් සත්සමුදුර බලලා

කැන්නා ඔහුගෙ දිවි තතු අතොරක් නැතුව
ලොකු ඉතිහාසයක් ඇත ප්‍රොෆෙසර් සතුව
රසවත් කතා එද්දි ටික ටික මතුව
ඔහු හඬ උස් පහත් කළෙ මතකම ඇතුව

තුන්වෙනි දිනයි ඒ අතරින් හොද දවස
පැය දෙක තුනක් ගත කළෙ අප එම නිවස
ඔහු ඇරයුමෙන් නිවුණා විතකින් පවස
මතකම හවස් මැද එය නම් මරු හවස

නැත්නම් හදිසියක් යළි හනිකටම යන
බොමු අපි විස්කි චුට්ටක් තව වෙලා ගෙන
ඒ ඇරයුමට මගෙ හිත මල් පිපී එන
මේවට ඉතිං හේතුව පෙර කරපු පින

ඉතිහාසයේ මෙහෙමත් අප ඇත හැසිරී
එක්තැන් කළ යුතුයි මෙම මතකය විසිරී
හමුවුණු චරිත අතරින් අගයෙන් සසිරී
ලිව්වේ මෙලෙස සිරි ඇසුරක සිරි අසිරී

ප්‍රියන්ත කොඩිප්පිලි