කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ, කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

Share post:

සිරි ගුණසිංහ හා රුව දෑසෙහි වැදෙන
හැමවිට මගේ මතකය ඈතට ඇදෙන
අදටත් එදා මෙන් ඔහු හද තුළ රැඳෙන
ඇත තුන් වතාවක් හමුවී අප දෙදෙන

වෙසෙනා අතරතුර මහැදුරු කැනඩාවේ
ඉදහිට නිවාඩුවකට මව්රට ආවේ
ඉන් එක වතාවක ” හමුවෙමු” මම කීවේ
පළවෙනි වරට එහෙමයි අපි හමුවූවේ

හමුවුණු වෙලේ සිට ඇහුවෙම නොයෙක් පැන
ඒ හැම එකකටම ඔහු උත්තරත් දෙන
හාරාඅවුස්සන මාගේ විදිය මැන
සමහර තැනකදී හයියෙන් හිනාවුණ

ගැන්සිය ගැහුණු අය නම් ගින්දර වැනියේ
කදිමයි ප්‍රොඩක්ෂන් ටික එම කොම්පැනියේ
එදවස ඇකඩමික් බර අවි බලඇණියේ
කොහොමද සර් මතකය පේරාදෙණියේ

පෑමට ශිල්ප නොයෙකුත් තරමින් සවියේ
සෙබලෙක් තමයි දන්නේ තතු තම අවියේ
කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ
කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

කදිමට හවුල් කරගෙන හුරුපුරුදු නඩේ
එක් එක්කෙනාගෙන් අරගෙන නියම හැඩේ
සිනමාවට ඇවිත් ඔබ කළ එකම වැඩේ
අදටත් චිත්‍රපටි අතරින් හොදම ගොඩේ

තම රංඟනය අරගෙන නිති නිසි බරට
පසු කාලයක මරු නිළියක් වුණු මෙරට
කැමරාවකට හසුකර පළවෙනි වරට
කොහොමද ස්වර්ණ ගත්තේ සත්සමුදුරට

ඩී.බී. ඔබේසේකර ඇල්විටිගලලා
සේකර අමරදේවල ගී රස නෙලලා
එඩ්මන්ඩ් සිරිල් දෙනවක වැනි අය අලලා
ඇතිවුණෙ ප්‍රේමයක් සත්සමුදුර බලලා

කැන්නා ඔහුගෙ දිවි තතු අතොරක් නැතුව
ලොකු ඉතිහාසයක් ඇත ප්‍රොෆෙසර් සතුව
රසවත් කතා එද්දි ටික ටික මතුව
ඔහු හඬ උස් පහත් කළෙ මතකම ඇතුව

තුන්වෙනි දිනයි ඒ අතරින් හොද දවස
පැය දෙක තුනක් ගත කළෙ අප එම නිවස
ඔහු ඇරයුමෙන් නිවුණා විතකින් පවස
මතකම හවස් මැද එය නම් මරු හවස

නැත්නම් හදිසියක් යළි හනිකටම යන
බොමු අපි විස්කි චුට්ටක් තව වෙලා ගෙන
ඒ ඇරයුමට මගෙ හිත මල් පිපී එන
මේවට ඉතිං හේතුව පෙර කරපු පින

ඉතිහාසයේ මෙහෙමත් අප ඇත හැසිරී
එක්තැන් කළ යුතුයි මෙම මතකය විසිරී
හමුවුණු චරිත අතරින් අගයෙන් සසිරී
ලිව්වේ මෙලෙස සිරි ඇසුරක සිරි අසිරී

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...