මාර්තු 31 විශ්‍රාම යයිද? : පොලිස්පතිගේ ඇඳිරි නීතියට එරෙහි තවත් පෙත්සමක් ඉදිරියට !

Share post:

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අනීතික ලෙස පනවන ලද ඇඳිරි නීතියට එරෙහි තවත් පෙත්සමක් සලකා බැලීමෙන් පසු, එය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

2022 ජූලි 08 රාත්‍රියේ සිට 09දා දක්වා මෙසේ තමන්ට නොමැති බලයක් භාවිත කරමින් පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලදි. මෙම නියෝගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාව පිළිබඳ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු 12(1), 14(1)(අ), 14(1)(ආ), 14(1)(ඇ) අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ පෙත්සමේ දැක්වේ.

තිෂ්‍ය වේරගොඩ, ප්‍රතාප් වැලිකුඹුර, ඩිලාන් නාලක, යසංග සේනාධීර, චමෝදි විජේවීර යන නීතිඥවරුන්, නීතිඥ අසාත් ලෙබ්බේ විසින් ගොනුකරන ලද SC/FR/269/2022 දරන මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිට ඇත. ලබන ඔක්තෝබර් 09දා මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිත ය.

තවත් පෙත්සමක් !

පොලිස්පති චන්දන වික්‍රමරත්න පැනවූ මෙම ඇඳිරි නීතිය නීතිවිරෝධී බව සඳහන් කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන තරිඳු උඩුවරගෙදර සහ තරිඳු ජයවර්ධන ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කෙරිණි. කිසිදු නීතිමය පසුබිමක් නොමැතිව ජූලි 08දා ඇඳිරි නීතිය පැනවීමටත්, ඒ හරහා කොළඹ පැවති විරෝධයකට ජනතාව සහභාගී වීම සීමා කිරීමටත් කටයුතු කිරීම පිළිබඳ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන විසින් මෙම පෙත්සම් සලකා බලා එම නඩුව ඉදිරියට ගෙනයෑමට තීන්දු කළේය. ඒ අනුව එම පෙත්සම ද ඔක්තෝබර් 9දා සිට විභාගයට ගැනීමට නියමිත ය.

ජූලි 08

2022 ජූලි 08දා රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව නිවේදනයක් මගින් නිවේදනය කළ බවත්, එමගින් එම ප්‍රදේශවල ගමන් කිරීම නතර කර නිවෙස්වලට වී සිටින ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් නතර කරන ලෙස එමගින් උපදෙස් දී ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.

පසුදින උදෑසන 06ට ඇඳිරිනීතිය ඉවත් කරන බව නිවේදනය කළ බව ද, ඇඳිරිනීතිය පනවන නිවේදනයේ නොතිබුණු ගම්පහ කොට්ඨාසය ඉවත් කිරීමේ නිවේදනයේ සඳහන් වූ බව ද, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී, අත්තනෝමතික සහ නීතිමය පදනමක් නැති ක්‍රියාවක් බව ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

යටි අරමුණක්

මෙය ද්වේශසහගතව යටි අරමුණක් ඇතිව බලය අනිසි ලෙස භාවිත කිරීමක් බව සඳහන් කර ඇති පෙත්සම්කරුවන්, ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව අධිකරණ නියෝගයක් මගින් තහනම් කිරීමට නොහැකි වූ තැන බලය අවභාවිත කරමින් ඒ සඳහා පුරවැසියන්ගේ සහභාගිත්වය වැලැක්වීමේ අරමුණෙන් මෙය සිදු කර ඇති බව ද පෙන්වා දෙයි.

පළමු වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීති විරෝධී ඇඳිරිනීතිය නිසා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා පවා නතර කර දැමූ බවත්, එමඟින් පුරවැසියන් අපහසුතාවට පත්වූ බවත්, ජනමාධ්‍යවේදීන් ලෙස තමන් පවා එමගින් අපහසුතාවට පත්වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

නීත්‍යනුකූල ඇඳිරි නීතිය

මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය ප්‍රකාරව ඇඳිරි නීතිය පැනවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මහජන ආරක්ෂක පනතේ විධිවිධානවලට පටහැනිව අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ වෙනත් පුද්ගලයෙකු පනවනු ලබන කිසිදු හදිසි නීති තත්ත්වයක් හෝ කිසිදු ඇඳිරි නීති තත්ත්වයක් නීතිමය වශයෙන් වලංගු නැත.

පොලිස්පතිට බෑ

පොලිස්පතිවරයාට ‘පොලිස් ඇඳිරි නීතිය’ යනුවෙන් ඇඳිරි නීති තත්ත්වයක් පැනවීමට මහජන ආරක්ෂක පනතින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හෝ පොලිස් ආඥා පනතින් හෝ බලයක් ලැබෙන්නේ නැත.

ඉහත නීතිමය තත්ත්වය තුළ වලංගු නොමැති ඇඳිරි නීතියක් කඩකිරීම නීතිය ඉදිරියේ වරදක් නොවන බවත්, එසේම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

පොලිස්පතිගේ විශ්‍රාමය ?

මේ අතර පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය ලබන මාර්තු 31දායින් අවසන් වීමට නියමිත ය. ඔහු මේ වන විට සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකට රහසකි.

චන්දන වික්‍රමරත්න මෙරට 35 වැනි පොලිස්පතිවරයා ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...