හයිකු කවි කලාවේ මහා මුනිවරයා –“මත්සුයි බෂෝ”

Share post:

මත්සුයි බෂෝගේ පුරෝගාමීත්වයෙන් වර්ධනය වී අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ හයිකු කවිය ( Hiku Poem ) ලෝකයට නව්‍ය වූ අත්දැකීමක් වූයේ ය. ලෝකයේ බොහෝ කවියන් මෙන්ම කාව්‍ය රසිකයෝ ද ( ජපන් ) හයිකු කවිය මුලු හදවතින්ම වැළඳ ගත්හ. එය එතෙක් ලොවෙහි පැවති පිළිගත් කාව්‍ය සම්ප්‍රදායට නව්‍ය ආකරයක් එක් කළේය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම, ලෝකයේ බොහෝ කවිහු හයිකු කවි ආරෙන් කවි ලිවීමට පටන් ගත්හ. ඒ හයිකු කවියේ සුවිශේෂී ජීව ගුණය හා ආධ්‍යාත්මික චින්තනය නිසා ය.

හයිකු කවියේ පුරෝගාමියා වූ මත්සුයි බෂෝ යනු කවරකුද ? අපි ඔහුගේ දිවිපවත පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු .
මත්සුයි බෂෝ ( Matsho Basho 1644 – 1694 ) සොබාදහමෙන් අගතැන්පත් කදුකර පෙදෙසක් වූ උඑනෝ ( Ueno ) හි දී මෙලොව එළිය දුටුවේ ය. මත්සුයි මුනෙෆුසා ( Matsuo Munefusa ) ඔහුගේ සැබෑ නාමය විය. එනමුත් ඔහු ජපානය පුරාත් ලොව පුරාත් ඉමහත් ප්‍රසිද්ධයට සේම ගෞරවාදරයට පාත්‍ර වූයේ “බෂෝ” යන නාමයෙනි.

බෂෝ දිවිගෙවූ යුගය වූ කලී ජපානයේ යුග බෙදීමට අනුව එඩෝ යුගය ( Edo Period 1603 – 1868 ) විය .
බෂෝ හයිකු කවි කලාවේ මහා මුනිවරයා වශයෙන් ඉමහත් ගෞරවාදරයෙන් එදා මෙදාතුර පිළිගැනේ. මෙය තවත් ආකාරයකින් සදහන් කරන්නේ නම් ඔහු එදෝ යුගයේ ජපන් හයිකු සම්ප්‍රදායේ මුනිවරයා ලෙස හැදින්වෙන අතර හයිකු කාව්‍ය ප්‍රබන්ධකරණයට වඩ වඩාත් ප්‍රචලිත වූයේ ඔහුගේ ආගමනත් සමගිනි.

බෂෝගේ ළමා විය හා තරුණ විය කෙබඳුද ?

බෂෝ කුඩා සංදියේ ජීවත් වූයේ ක්යොතෝ ( Kyoto ) හා ඉසේ ( lse ) යන ප්‍රධාන නගර දෙකට මැදිව පිහිටි ඉගා ( Iga ) නැමති පලාතේ ය. ඔහුගේ පියා ජපාන් ඉතිහාසයේ සුවිශේෂී හා ඉපැරණි සටන් කුලකයක් වන සමුරායි ( Samurai ) කුලයට අයත් සමුරායිවරයකු වූයේ ය. එකල්හි රළදවරුන්ගේ පාලනයට හා අණසකට යටත් වූ ඔවුන්ගේ පවුල්වල තත්වය සමකාලීන සමාජ බැදීම් රාශියකට කොටුවී තිබුණි.

1666 දී පමණ ඉගා පලාතේ විසූ ප්‍රධාන ප්‍රාදේශීය නායකයාගේ ඝාතනය තරුණ බෂෝගේ ( මුනෙෆුසා ) ජීවිතය කිසියම් වූ වෙනසකට ලක් කළ කාරණාවක් විය .

මෙම අවස්ථාව බෂෝ තමා හා තම පවුලේ උදවිය වෙළා දමා තිබුණු රදල බැමිවලින් මිදී වෙනත් පලාතකට පලායන්නට උපයෝගී කරගත්තේ ය.

[ මෙතැන් සිට පුරා වසර හයක් පමණ ගතවනතුරු එනම්, ක්‍රි.ව 1666 – 1772 දක්වා කාලය තුළ ඔහුගේ ජීවිත පිළිබඳව කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් හමුනොවේ. ඒ පිළිබඳව විශේෂයෙන්ම විමර්ශනය කළ යුතු වන්නේ ය. ]
1675 දී බෂෝ විසින් ඉගා ප්‍රදේශයේ දිවිගෙවූ පාරම්පරික කවියන් පිළිබඳව විස්තර සටහනක් ලියා දක්වන ලදි.
ඔහුට 1675 දී නිෂියමා සොයිං ( Nishiyama Soin ) නැමති එකල්හි එදෝ ( Edo ) පලාතේ ප්‍රකට කවියකු මුණ ගැසී තිබේ. මෙම හමුවීම බෂෝගේ හයිකු කාව්‍යකරණය මුවහත් කරගැනීම බෙහෙවින් උපකාරී වූ බව කියැවේ.

මත්සුයි බෂෝගේ හයිකු කාව්‍යකරණය හා ඔහු විසින් පිහිටුවන ලද ගුරුකුලය කෙබඳුද ?

1676 දී තෝසෙයි ( Tosei ) යන ආරූඪ නාමයෙන් බෂෝ තම සහෝදර කවියන් වූ යමගුචි සෝදා ( Yamaguchi Soda ) ඇතුළු සෙසු කවියන් කීපදෙනෙකු සමගින් එක්ව එදෝ රෙයොජින් – ෂු ( Edo Ryogin – Shu – 1676 ) නැමති කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේ ය.

1677 – 1680 යන කාලවකවානුව තුළ එදෝ ( Edo ) නගරයේ ජල පාලක මණ්ඩලයේ සහකාර ජලපාලකය වශයෙන් බෂෝ කටයුතු කරන ලද බව කියැවේ. මෙකල් ඔහුට ෂින්ටෝ ආගමේ භික්ෂූන් වහන්සේලා කීපදෙනෙකුම ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කිරීමටත් ඔවුන් වැඩවිසූ ආරාමවලට යෑමත් අවස්ථාව උදාවූ බව කියැවේ.

එඩෝ නගරය පිළිබඳව රචිත ඔහුගේ අපූරු හයිකු කවි කීපයක්ම වේ. ඉන් කවි දෙකක් උදාහරණයක් වශයෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරමි.

එඩෝහි පුරාවස්තු
ෆුජී සුළඟින් නිසල වෙයි
අවාන මත

After ten autumns
In Edo , my mind
Points back to it
As my native place

1680 දී බෂෝ තම සිසුන් පිරිසක් සමගින් එක්ව තෝසෙයි මොංතෙයි දොකුං ක්සෙං ( Tosei Montei Dokugin Nijikkasen – 1680 ) නැමති හයිකු කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේ ය.මෙය හයිකු කාව්‍යය සංග්‍රහයක් වශයෙන් අතිශයින්ම වැදගත් වන අතර මෙමගින් බෂෝ ගුරුකුලයේ ආරම්භ සනිටුහන් වීම සීදුවිය . මෙම පසුකලෙක ෂෝමොං ( Shomon ) ගුරුකුලය නොඑසේනම් බෂෝ ගුරුකුලය වශයෙන් ප්‍රකට විය.

1680 දී බෂෝගේ ශිෂ්‍යයකු වූ ධනවත් පරපුරකින් පැවත එන එදෝ ප්‍රදේශයේ එක්තරා වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලද ස්ංපු ( Sanpu ) නැමැත්තා විසින් ඔහුට එදෝ ප්‍රදේශයේම ස්ථිරව වාසය කරනු පිණිස නිවසක් තනා දෙන ලද්දේ ය. ඉක්බිතිව එම නිවසට ස්ථිර වාසය සදහා පැමිණි බෂෝ තම නිවස ඉදිරිපිට කෙසෙල් පැලයක් සිටුවන ලදි. එතැන් පටන් එම නිවස “කෙසෙල් අසපුව” ( Basho – Tossei ) යන නමින් කා අතරත් ජනප්‍රිය විය. මෙතැන් පටන් මුනෙෆුෂා නාමය ඉවත් කොට ඔහු බෂෝ යන නාමය තම ස්ථිර නාමය වශයෙන් භාවිතා කරන ලදි.

මෙම නිවස පිළිබඳව සදහන් ඔහුගේ හයිකු කවියක් වේ. එය මෙසේ ය.

නව වසර – බෂෝ – තොසෙයි
අසපුව
හයිකු සමගින් ගමු ගුමුවක් ..!!

( Basho යන ජපන් වචනයේ තේරුම වනුයේ කෙසෙල් ගස යන්නයි. ජපානයේ කෙසෙල් ගස වූ කලී තරමක් දුර්ලභ ශාඛයක් වන්නේ ය. )

බෂෝ කෙසෙල් ගසට බෙහෙවින් ආදරය කළ බව පෙනේ. ජපානයේ පවත්නා ශීත දේශගුණික තත්වයක් නිසා සාමාන්‍යයෙන් කෙසෙල් ගස්වල ඵල ( කෙසෙල් කැන් ) හට නොගනී. එපමණක්ද නොව ඔවුනට කෙසෙල් කඳෙන්ද කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව පෙනේ. එනමුත් ජපන් ජාතිකයන් එහි විශාල පත්‍රවලින් ගිම්හාන සමයේ දී සෙවණ ලබා ගැනීමට බෙහෙවින් ප්‍රිය වූ බව කියැවේ. සොබාදහම මහත් සේ ආදරය කළ සේම සොබාදහමේ අසිරිය තම හයිකු කාව්‍යකරණය පිණිස ඉතා ඉහලින්ම යොදාගත් බෂෝද කෙසෙල් ගසේ සෙවණට බෙහෙවින් ප්‍රියකරන්නට ඇතැයි කියා අපට අනුමාන කළ හැකියි.
කෙසෙල් ගස සම්බන්ධ කර රචිත ඔහුගේ හයිකු කවි කීපයක් වේ. ඉන් කවියකි මේ.

කුණාටුව බෂෝ ගස සොලවයි
මුළු රැය පුරාම
මගේ බේසම වැස්සෙන් දෝංකාර දෙයි

බෂෝගේ ජීවිතය ඉතා සරල විය . ඔහුගේ ජීවිතය එක තැනක නොරැදුණු සංචාරක ජීවිතයක් වූයේ ය. මෙමගින් ඔහු වඩ වඩාත්ම සොබා දහමින් කුල්මත්ව තම ආධ්‍යාත්මික ජීවිතයත් තම හයිකු කාව්‍යකරණයත් වඩ වඩාත්
පෝෂණය කරගත්තේ ය. බෂෝ විවිධ ප්‍රදේශයන්හි සැරිසරත්ම ඔහුගේ ෂෝමොං ( Shomon ) ගුරුකුලයේ ව්‍යාප්තිය ද ක්‍රම ක්‍රමයෙන් සිදුවිය . මෙමගින් ඔහු වටා සැලකිය යුතු ශිෂ්‍යයන් ( අනුගාමිකයන් ) පිරිසක් ද එක්රැස් වූ බව කියැවේ. සැබවින්ම බොෂෝ නාමය හා ඔහුගේ ෂෝමොං ගරුකුලය ජපානය තුළ කිසියම් දුරකට ප්‍රසිද්ධ වන්නේ ද මෙම යුගයේ දී බව පෙනේ. මෙකල්හි බෂෝ සංචාරය කරන ලද්දේ ජපානයේ බටහිර ප්‍රදේශය පිහිටි නාගසාකි ( Nagasaki ) සිට උතුරු ප්‍රදේශයේ පිහිටි සෙන්දයි ( Sendai ) දක්වා බව ඔහුගේ චාරිකා සටහන් ඇතුළත් The Narrow Road To The Deep North And Other Travel Sketchs by Matsuo Basho – 1966 ( Translated by Nobuyuki Yuasa ) කෘතියට අනුව පැහැදිලි වේ.
බෂෝගේ සංචාර පිළිබඳව රචිත හයිකු කවි කීපයක්ම දැකිය හැකිය. ඉන් එක් උදාහරණයක් මේ.

සංචාරයෙන් වෙහෙසට පත්ව
මම නවාතැන්පොළක් බලමි
ආ … මල් වැලක්

1683 දී ෂමණ බෂෝගේ කෙසෙල් ආරාමය යන නමින් ප්‍රකට නිවස හදිස්සියේ ඇතිවූ ගින්නකින් විනාශ වී ගිය බව කියැවේ. ඉක්බිතිව ඔහු තාවකාලිකව ක්යි ( Kai ) ප්‍රදේශයේ ජීවත් වූ තම ශිෂ්‍යයකුගේ නිවසේ කලක් ජීවත් විය .කාලයක් සමගින් ඔහු එදෝ ප්‍රදේශයට පැමිණෙන්නේ ගින්නෙන් විනාශ වූ තම නිවහන යලිදු ගොඩ නැගීමටය .
1685 ශීත සෘතුවේදී තම මවගේ සොහොන පීහිටි උඑනෝ ( Ueno ) ප්‍රදේශයට පැමිණෙන හෙතෙම එතැනින් නගෝයා ( Nagoya ) ප්‍රදේශයට පැමිණ එහිදී තම ශිෂ්‍යයකුගේ නිවසේ වාසය කරන අතරතුර දී ක්සෙං / සිසිරයේ දින( Kasen ) යන හයිකු කාව්‍යය සංග්‍රහය ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම හයිකු කාව්‍යයේ එන කවියකින් උඑනෝ ප්‍රදේශයේ පිහිටි තම මවගේ සොහොන පිළිබඳව කියැවේ.එය මෙසේ ය.

සොහොන් බිම බලමින්
සුදු හිස් නැමෙයි
වේවැල්වලට ඉහළින්

[ මතු සැබැඳේ ]

[මෙම ලිපිය මා දන්නා තරමින් මත්සුයි බෂෝ හා ඔහුගේ දිවිපවත පිළිබඳව ඉතා සවිස්තරාත්මකව රචනා වෙන මෙරට පළමු ලිපිය විය හැකිය. එබැවින් මෙම ලිපිය උපුටා ගත්තාට කම් නැත . එනමුත් ලිපිය අවභාවිතා කිරීමෙන් වළකින මෙන් මෙත් සිතින් දන්නවා සිටිමි. ]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

මත්සුයි බෂෝගේ අත් අකුරු සහිත මූලාශ්‍ර

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...