පළාත් පාලන ඡන්දය දින නියමයක් නැතිව කල්දමන්න සිදුවන බව නිවේදනය කළේ මැතිවරණ කොමිෂන් සභාව තමයි.
ඡන්ද පත්‍රිකා නියම වෙලාවට මුද්‍රණයකරල දෙන්න බෑ කිව්වෙ – මුළින සල්ලි දෙන්නැත්නම් ගහන්න බෑ කිව්වෙ, ඊට පස්සේ පොලිස් ආරක්ෂාව නැත්නම් ගහන්න බෑ කිව්වේ – රජයේ මුද්‍රණාලයාධිපතිවරිය තමයි.
ඡන්දය පවත්වන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වෙලාවේ ලබාදෙන්න බෑ කියලා වේලාසනින්ම කිව්වේ මහා භාණ්ඩාගාරය තමයි.
ඒත් ඇත්තටම මේ තියන්න හදපු ඡන්දය කල්දාන්න ලොකුම වුවමනාව තිබුණේ වෙන කාටවත් නෙවෙයි රනිල්ට.
ඔහු ඒකට ගහපු ප්‍රජාතන්ත්‍ර විරෝධී, නිර්ලජ්ජිත උපක්‍රමවල එළියට පෙනෙන ප්‍රතිඵල දෙක තුනක් විතරයි ඔය ඉහතින් කියැවිලා තියෙන්නේ.
රනිල් ඇයි බය?
රනිල් ඇයි මේ තියන්න ගිය ඡන්දෙට බය?
උත්තරේ හරි සරලයි.
රනිල් හිතුවා, මේ ඡන්දය තිබ්බොත්, මෙතෙක් රටේ පාලන බලය දරපු පැලැන්තියෙන් ඒ බලය ඉතිහාසයේ පළමු වතාවට ගිලිහිලා යාමේ රැල්ලක් පටන්ගනී කියලා.
තමන් කොහෙත්ම කැමැති නැති පිරිසක් රටේ පාලනය බලය අල්ලාගැනීමේ කිසියම්ම අවදානමක් ඒ එක්ක නිර්මාණය වෙයි කියලා.
පහුගිය සියවස් තුන්කාලම මේ රටේ පාලන බලය දරපු පැලැන්තියේ ‘අවසාන සුජාත සහ සම්භාව්‍ය පුරුක’ එයා කියලා තමයි එයා අදහන්නේ. එහෙම ඉඳලත් කාලයක් තිස්සෙ පැරදි පැරදි හිටපු තමන්, අහම්බෙන් ලත් ඔටුන්නක් දාගෙන ඉන්දැද්දීම ඒ බල විපර්යාසය සිදුවෙයි කියන එක රනිල්ට තර්කානුකූලව, දේශපාලනිකව හිතන්න මතන්න දෙයක් නෙවෙයි. මාරාන්තික භීතියක්.
එහෙම වුණොත් රටේ මහජනයා හමුවේ නෙවෙයි, හුදෙක් තමන්ගේ ‘ප්‍රභූ පාලක පැලැන්තිය’ හමුවේ තමන් මහා අසාර්ථක මිනිහෙක් විතරක් නෙවෙයි පැලැන්තියම පාවාදුන්නෙකුත් වෙයි කියන ‘පන්තිමය භීතිය’ තමයි රනිල්ට තිබුණේ.
වෙන අමුතු න්‍යායික කතන්දර, ආර්ථික තර්කන අරවා මේවා මොකුත්ම ඕනෑ නෑ. නිරුවත් සත්‍යය ඕක තමයි.
කල් යයිද? නොතියයිද?
ඇත්තටම නම් සිද්දවෙන්න ඉඩ තියෙන්නේ, මේ කියන පළාත් පාලන ඡන්දය හුදෙක් කල්දැමීම නෙවෙයි, මේ අර්බුදකාරී වටපිටාව ඇතුළේ පැවැත්වෙන පළමු ඡන්දය එය බවට පත්නොවීම යි. ඒ වෙනුවට රනිල් වඩා කැමැතිවෙන්නේ ජනාධිපතිවරණයකට, ඒ බැරිනම් අඩුම තරමේ මහමැතිවරණයකටවත් පාරකපාගන්න යි.
ඒත් මේ පවත්වන්න ගිය පළාත් පාලන ඡන්දය ලංකාවේ මෑතකාලීන දේශපාලන ප්‍රවණතාත් එක්ක ‘සක්‍රිය මහජන සහභාගීත්වය සහිත ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාදාමයක්’ කියන අරුතින් ඉතාම වැදගත්, සංධිස්ථානීය එකක් වීමට නියමිතව තිබුණා කියන එකයි අපේ අදහස.
ඒ නිසාම ඒ ගැන යම් යම් දේවල් ලියා තියන්න අවශ්‍යයි කියලා හිතුණා. මේ එහි පළමු උත්සාහය.
ඡන්දය නොපැවැත්වීම
මහජනයා සතු අදහස් ප්‍රකාශකිරීමේ අයිතියේ උල්ලංඝනයක් ලෙස…
මහජනයා සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන අපි කොතෙකුත් කතාකරනවානේ!
ඒත් මේ අයිතිය ප්‍රායෝගිකව පවතින්නෙ කොහොමද කියන එක ගැන බලවත් සීමාකම් තියෙනවා.
හරි, අයිතිය තියෙනවා. ඒත් කොහෙද, කොහොමද, කාත් එක්කද අදහස් ප්‍රකාශ කරන්නේ? කවුද ඒවා අහන්නේ. කාටද ඒවයින් වැඩක් තියෙන්නේ. මේ කියන්නේ ළිං ළඟ, බෝක්කු උඩ හරි, කැන්ටින්වල, බාර්වල හරි දොඩව දොඩව ඉන්න තියෙන අයිතියක් ගැන නෙවෙයි නේ!
හැබැයි මහජන ඡන්දයක් කියන්නෙ සියලු ඡන්දබලය හිමි වැඩිහිටියන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවලින් ඉහළම එකක්.
ඡන්දයකදී ඡන්දදායකයාගෙන් ප්‍රකාශවන්නේ ඔවුන්ගේ ‘නිදහස්’ අදහසමද? මේගැන කෙස්පලමින් තර්ක කරන්න පුළුවන්. ඡන්දයට බලහත්කාරී හා ප්‍රචණ්ඩ බලපෑම් කිරීමේ ඉඳලා අල්ලස් දීම දක්වා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ඇතුළේම නඩත්තුවෙන විවිධාකාර විකෘතිවලින් ඡන්දයකදී නිදහස් අදහස් ප්‍රකාශවීම කියන එක දූෂිත වනබවට තර්ක කරන්න පුළුවන්.
ඒත් පවතින ක්‍රමය ඇතුළෙ සියලු ජනයාගේ අදහස් නෛතික රාමුවක් ඇතුළෙ ප්‍රසිද්ධියේ ප්‍රකාශවීමට ලැබෙන ඊට වඩා අවස්ථාවක් ඇත්තෙත් නෑ.
එහෙම ගත්තාම ඡන්දයක් විවිධ උප්පරවැට්ටි දාලා නොතියා ඉන්නවා කියන්නේ අනෙක් සියලු උල්ලංඝනයන් අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් නැතිකිරීමක්.
සුවිශේෂ මැතිවරණයක් වුණේ ඇයි?
පවත්වන්න ගිය පළාත් පාලන මැතිවරණය ඒ අර්ථයෙන් මෑත ඉතිහාසයේ එළැඹුණු එවැනි ‘මහජනයාගේ අදහස් ප්‍රජාතාන්ත්‍රීයව ප්‍රකාශවීමට’ ඉඩලැබෙන අවස්ථාවලින් ඉතාම සුවිශේෂ එකක් වෙමිනුයි තිබුණේ.
ආසන්නම හේතුව තමයි, කවදාවත් වීදිසටන්වලට නොආපු සමාජ ස්ථරයනුත් ඇතුළු පොදුජන බලවේග එකට එකතුවුණු ‘ජන අරගලය’ නමින් හැඳින්වෙන ක්‍රියාදාමයෙන් පස්සෙ රටේ මහජනයාට තමන්ගේ මතය සාමූහිකව ප්‍රකාශ කරන්න ලැබෙන පළමු ප්‍රජාතන්ත්‍රීය අවස්ථාව මෙය වීම.
ඉතිහාසයේ බොහෝ ඡන්ද අවස්ථාවලට වඩා මේක වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසා.
මුලින්ම, ‘ජන අරගලය’ විසින් බහුතර ජනතාවකට තමන්ගේ අදහස එළිපිට නිදහසේ කියන්න එතෙක් නොතිබුණු තරමේ දැවැන්ත හයියක් එන්නත් කර තිබීම. මේකේ සුවිශේෂී ප්‍රකාශමානයක් වෙන්නේ වසර දෙක හමාරකට කලින් ‘රට රකින අපේ විරුවා’ කියලා කවි සින්දු පදබැඳගෙන උස්සං ආපු අසමත් පාලකයාට ‘මූසලයා ගෙදර පල!’ කියලා ප්‍රසිද්ධියේ කියන්න මිනිස්සුන්ට හයියක් ඇතිකළ අවස්ථාව.
දෙවනුව, කාලාන්තරයක් තිස්සේ අසමත්, දූෂිත, වගකීම් විරහිත, රැවටිලිකාර පාලක පැලැන්තිය විසින් ක්‍රමක්‍රමයෙන් රට තල්ලුකරගෙන ආපු ආර්ථික ආගාධයේ පතුලටම මේ වෙනකොට රට වැටී තිබීම. කන්ඩ නැතිවුණාම, කන්ඩ දෙයක් ගන්න සල්ලි නැතිවුණාම, සල්ලි තියෙන එකාටත් ගන්ඩ බඩු නැතිවුණාම කෙලින්ම පහර වදින්නේ බඩට!
ඔළුවට ආමන්ත්‍රණය කරනවට වඩා පපුවට ආමන්ත්‍රණය කරන එක ලංකා දේශපාලනයේ ‘ප්‍රේමකතා කලාව’ නම්, ඔළුවට තබා පපුවටත් නෙමෙයි, කෙලින්ම බඩටම ආමන්ත්‍රණය කිරීම ඒකෙ ‘කාමකතා කලාව’ වුණාම, බඩට උපරිමයෙන් පහර වැදුණාම යටිබඩ ගිනිගන්න ජනකායක් නොසිටින්නට හේතුවක් නෑනේ!
තුන්වනුව, මෙයින් අවුරුද්දකට අඩු ඉතිහාස කාලයක් ඇතුළෙ මහපාරේ දෝරගලා ගිය තමන්ගෙ විරෝධයයි, සටන්කාමී ශක්තියයි ඵල සහිත කූටප්‍රාප්ති අවසානයකට ආවෙ නෑ කියන අතෘප්තියේ, ඒතට සහභාගී වුණු, ඒකෙන් උත්තේජනයක් ලබපු වගේම ඒ දිහා ධනාත්මකව, සාවධානව බලාගෙන හිටපු බහුතරයක් ගැලී සිටීම. ඒ ඇවිලිච්ච සටන දැන් ඉතින් පාරවල් දිග නෙවෙයි, බැලට්ටුවෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරන පිරිස අතිවිශාල බව බැලූ බැල්මටම වුණත් පෙනෙනවා.
මේ සියලු කරුණු ගත්තාම, පාලන බලය අල්ලාගෙන ඉන්න කට්ටියට මේ තියන්නට නියමිත ඡන්දය මහා භීතිකාවක් වීම පුදුමයක් නෙවෙයි.
ඒ භීතියෙන් වැඩිපුරම තැතිගෙන ඉන්නේ, පාර්ලිමේන්තු අසුනක්වත් ඡන්දයෙන් දිනාගන්න බැරිතරම් පාතාලෙකට තමන්ගේ පක්ෂය ඇදදමපු, තමන්ගෙම පාර්ලිමේන්තු අසුනවත් රැකගන්න බැරිවුණු, ජාතික ලයිස්තුවේ එකම එක මන්ත්‍රීකම අරගෙන පාර්ලිමේන්තු ආපු, පාරට බැහැපු ජනතා බලවේගය හේතුවෙන් හිස්වුණු අගමැති කමට චෞරසහායකත්වයේ අනුහසිනුයි, ඒ හේතුවෙන්ම හිස්වෙච්ච ජනාධිපතිකමට මිනිස්සුන්ගෙ විරෝධයට පාත්‍රවුණු පාර්ලිමේන්තුවෙ ඉන්න වැඩිදෙනෙකුගෙ ‘අරුම පුදුම ඡන්දෙනුයි’ පත්වුණු රනිල් හැර වෙන කවුද!
ඉතින් කඳුළුගෑස් ගහල නෙවෙයි, අතපය කඩලා, හිරගෙවලුත් පුරවලා, වෙඩිත් තියලා හරි මේ ඡන්දෙ නොතියා ඉන්න තමයි රනිල්ට ඕනෑ.