චින්තක සමන් හේරත්ගේ කවියක් මට මුලින් ම රසවිඳින්නට ලැබුණේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිසා ය. අලුත් හොඳ කවියක් මුහුණු පොතින් හෝ පොතකින් හමු වූ විට නිර්ලෝභී ලෙස එය රසික පර්ෂද වෙත හඳුන්වා දීම ඔහුගේ සිරිතකි. ඒ අනුව හාවා ඇවිත් අහසින් පහළට බැහැලා කවිය මට ද සමීප විය. සඳ දෙස බලා සතුටු වන්නටවත් ඉඩක් නැති දරුවන් ශිෂ්‍යත්ව මළපුඩුවෙන් සිරකොට ඇති අන්දම මෙහි කියවුණත් මෙකව කවියාගේ අදහස් හා මත කිසිවක් නොකියන සෞන්දර්ය වස්තුවක් බවට පත් කෙරෙන නිර්මාණයක් වී තිබීම විශේෂත්වයකි.මේ වන විට වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ලියූ තවත් විශේෂ කවියක් මගේ සිත්පැහැර ගෙන තිබිණ. මාර්ටින් වික්‍රමසිංහ සමාධිය අසල හිඳ මඩොල්දූවේ ජින්නා ඇතුළු චරිත සිහිපත් කරන දරුවකු අමතා අම්මා ප්‍රකාශ කරන්නේ ශිෂ්‍යත්වයට වුවමනා කරන භාණ්ඩ තිබෙන්නේ කෞතුකාගාරයේ බැවින් එතෙන්ට යන ලෙස ය. නිවුන්හැල්ලගේ කවි ගැන කළ කතා බහකදී මේ කවිය ගැන කතා කළ මා ඉන්පසු පාසල්වල බොහෝ සාහිත්‍ය වැඩසටහන්වලදී එම කවියත් චින්තක සමන්ගේ කවියත් සාකච්ඡාවට ගෙන ඇත. ඉදිරියෙහි ද එසේ වනු නිසැක ය.
මේ ප්‍රවේශය චින්තක සමන් හේරත්ගේ අලුත් කවි පොත වන “මා තුළ ම වැඩුණේ ද අන් යමකු” කවි එකතුව පිළිබඳ රසික සටහනක් තැබීම පිණිස ය. කාව්‍ය රසිකයකු හැටියට චින්තකගේ නිර්මාණ මට හමුවී වසර පහ නොඉක්මවයි.කාලය අනුව බැලූ කල ඔහු නූතන ම කවියෙකි.ඔහු ලියූ හිතාදර දළඹුවනි(2018)සහ වැහි වැටෙන දවස්(2020)කෘති දෙක ම ජාතික මට්ටමේ ඇගයීම්වලට ලක්විය. වැහි වැටෙන දවස් එයින් විශේෂිත ය. මෙහි අත්පිටපත කියවා කවියා සමග කතා කිරීමේ වාසනාව ද මට ලැබිණ.එය මට සොඳුරු අත්දැකීමකි . “කුමන ප්‍රතිහාර්යක් ද මේ?කොහෙන් ආපු කවියක් ද මේ? එක්තරා සාන්දෑවක පටු නූස් මේසයක් දෙපස හිඳගෙන මධු මිහිර සමග සාමීචියෙහි යෙදුණ අවස්ථාවක පුංචි සිරුරකින් ද ඉහළ කවිකමකින් ද යුතු මේ අපූරු මිනිසා දෙස බලාගෙන මම කල්පනා කළෙමි.
පලපුරුදු විචාරකයකු නොවන, රසිකයකු වන මා අතරමං කරන එහෙත් අපූරු සෞන්දර්ය ප්‍රවාහයක ගිල්වන කාව්‍ය චින්තා සහිත මේ කුඩා මිනිසාට මම ආදරය කරන්නට පටන්ගතිමි.
ඒ ආදරය තව පොහොසත් කරන සුන්දර වස්තුවක් දැන් මා දෑතෙහි ය.ඒ වස්තුව “මා තුළ වැඩුණේ ද අන් යමකු”කවි සමුච්චයයි.
ගැඹුරු වින්දනයක් ලැබුව ද පෙදෙන් පෙද විමසන්නට තරම් මගේ සාහිත්‍ය ධාරිතාව ප්‍රමාණවත් නොවන කවි දෙක තුනක් ද මෙහි වෙයි.මහද පිරුවටයෙන් ආවරණය කර ඒ රන්කරඬු කිහිපය මොහොතකට ඈතින් තබා මෑතින් සිට කවක් දෙකක් පරිස්සමින් උපුටා ගනිමි.මේ කවියා මොන තරම් පරිස්සමින් මේ කවි නිමවන්නට ඇති ද යන ගෞරවය ද ඔහුට පුදමිනි.
කවියේ මාතෘකාව මල් සහ කොළ..
පැරණි අල්මාරියේ පහළ ම තට්ටුවේ අදත්
තිබේ දුවගේ විද්‍යා සටහන් පොත් රැසක්
පොඩි උන් සමග කලබලේ ඇවිදින් ගියත්
ඇය නොදනී මේ විද්‍යා පොත් ගැන කිසිත්
පිරිමදිමි මෘදුව විද්‍යා පොතක පිටවැසුම
මතුවෙයි ඇගේ නම ලියූ කුඩා ඉස්ටිකර
මේ දැන් ලියා අවසන් කළා වැනි ය
නොවියළුණු තීන්ත සහ අත් අකුරු
ඇතැම් පිටු මත විද්‍යා නියමයන් අතර
වියළි මල් සහ කොළ කිහිපයක් හමුවේ
සමනලුන් ගෙන්වා පරීක්ෂාවට ලක් කළ ද
මනිපත්‍ර කීල වෙන්කර හඳුනාගන්නට බැරිවේ
දුව නිතර ආගිය මග දෙපස එකල
මල්පත් දරා සැරසුණු තුරුවැල් තවම
ඇයි මෙහි ලියා ඇති විද්‍යා නියමයන් අනුව
අලුත්මල් සරසවා ඇති එමග දෙපස
අඩුම කුඩුමත් අතින් එල්ලාන එන කල
දුව දකීවිද ඒ තුරුවැල් මල් සහ පල?
මෙහි කථකයා දැවටී දැවටී සැනසුමක් ලබන්නේ තම දියණිය කුඩා කල භාවිත කළ පතපොත ඇසුරේය.එහි අපූරු ස්මරණ ඇත.පොත් අතර සුරැකිව ඇති
පැරණි පුෂ්ප ද හමුවේ. මලෙහි කොටස් හඳුනාගන්නට බැරිවුව ද ඒ මලක්මය. දරුවන්ද අඩුම කුඩුමද සමග හදිසියේ ඇවිත් යන දියණිය ඒ මල මෙන් ම හඳුනාගත හැකි වුවත් ඇගේ ලෝකයෙහි දැන් ඒ මල් මතක නොදැනේ. මහා කවි ඇලෙක් සැන්ඩර් පුෂ්කින්ගේ කවියක් සිහිපත් වෙයි. ඉපැරණි පොතක පිටු අතර මලක ශේෂ හමුවේ. එහි සුවඳ ද ඇත. කථකයා පැණ කිහිපයක් අසයි,තමාගෙන් ම.
මේ මල තැබුවේ කව් ද?
ජීවතුන් අතර ඇති ද?
මේ කවියෙහි කථකයාගේ දියණිය මල තැබූ පුද්ගලයා ය. ඉඳහිට හෝ දෑස මානයට පැමිණෙයි. කථකයා වයෝවෘද්ධ බව හැගේ. තනිකම ද දැනේ. තනිය මකන්නේ කුඩා කල සිට නිවසෙහි දැවටුණ දරුවන් පරිහරණය කළ දෑය. හුදෙකලාවේ සෝකීරාවය නිදන්ව ඇති කවියකි. මල් සහ කොළ හැළුණ ද මග දෙපස තවමත් මල් පිපෙන පිපෙන බව කවියා කියයි. එහෙත් අඩුමකුඩුම රැගෙන ඇවිත් යන දියනියට ඒවා පෙනෙනවාද යන්න සැකසහිත ය. ඉගෙනුම ලබා දරුවන් ලබා ජීවන යුද්ධයක පැටලී සිටින දරුවන්ගේ ලෝකයත් හුදෙකලාව සහ අතීත ස්මරණ උරුම වූ වැඩිහිටියන්ගේ ලෝකයත් අතර මහා වෙනසකි.
ජිනදාසගෙන් කවියක් මා සිත්ගත් තවත් කවියකි.
(පරගොඩ විහාරයෙහිදී වන්දනාකරුවන් බුදුන් වඳිමින් සිටින අතරතුර නන්දා පිරිසෙන් වෙන්වී බුදුගෙයි සිතුවම් නරඹමින් ගොස් සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය දැක්වෙන සිතුවම දෙස බලා ජිනදාස ගැන මතකයන් ආවර්ජනය කරමින් සිටියි_ගම්පෙරළිය}
අරුණලු කැරලි වැටුණම සිංහල රටට
කවුළුව තුළින් හිනැහෙයි තුරුලිය හැඩට
කෝකිල හැඬුම වස්සානය නිම බවට
මම මේ ලියන අවසන් කවිය ද නුඹට
මහගෙයි උළු යටින් අරුණලු ගලනවද
නිදිගැට කඩනවා තේ උණු කරනවද
ඉපැරණි මතක එකිනෙක පටලැවෙනවද
තාමත් පියල් මට ඉඳහිට බණිනවද
මඳනල සුසුම් වැද තැවි තැවි දිවා රැයේ
තුරුපත් සැලී නද දෙන වන සිතාරයේ
මිහිදුම් මතක සළු හිරිකඩ දුමාරයේ
සිතුවම් බැලූවෙද පරගොඩ විහාරයේ
තැන තැන අකීකරු සිතුවිලි තරු රන්දා
ඒ මැද නිහඬ මුනිවත පිරුවෙකි චන්ද්‍රා
කහටක් හිතේ කවදත් නොතිබුණ හින්දා
ගම්පෙරළියේ මං සුළු චරිතෙකි නන්දා
ගම්පෙරළිය නවකතාවෙහි පරගොඩ වන්දනාව නන්දාගේ දිවියෙහි කඩඉම සලකුණු කරන අවස්ථාවයි.පියල්ගේ අරමුණ සපලවීම සහ ජිනදාසගේ පරාජය සටහන් වන තැනයි.බිඳවැටෙන මහගෙදර සහ ගොඩනැගෙන අලුත් ලොවෙහි ජිනදාස සුළු චරිතයක් වන්නේ හිතේ කහටක් නොතිබීමෙන් යැයි ජිනදාසගේ මුවින් පිටවීම අනුවේදනීයයි.
මහගෙදර ප්‍රකට අප්‍රකට කවීන් අතින් ප්‍රතිරචනය වී කවි ගණනාවක් බිහිවිය.එයින් මුලින් ම අවධානය දිනාගත්තේ රත්න ශ්‍රී විජේසිංහ ලියූ ජිනදාස සිංහලේ යයි කවියයි.
දෙවැන්න නන්දන වීරසිංහ ලියූ වළව්වට වැසි ඇවිත් කවියයි.සන්දර්භ දෙකක ලියැවුණු කවි දෙකක් හෙයින් එම ඓතිහාසික තත්ත්වයන් සමග සාකච්ඡා කරනු විනා දෙකින් කෝකද වඩා හොඳ යන්න සාකච්ඡා කිරීම යුක්ති යුක්ත නොවේ.මේ තෙවැනි කවියයි.මෙය කියවා ගත හැක්කේද කවියෙහි ඇතුළාන්තයෙන් එන තෙරපීම අනුව නව සන්දර්භයක පිහිටුවමිනි.
රූපකය කාව්‍යයේ ජීවය යැයි බොරිස් පැස්ටර්නැක් කවියා කීය.අල්පෝක්තිය ද කවියෙහි ජීවය බවට පත්වන අවස්ථා ඇත.චින්තක සමන් ලියූ තනිව ආ ගමනක් එබඳු කවකි.රංචු නොගැසී තනිව ගිරිතරණය කළ මිනිසකුගේ උදානය එහි වෙයි.කවියෙහි පසු අඩ දක්වමි.
අලුයම අඳුර පිසලමින්
සිය කුඩා අත්තටුවලින්
විහඟෙක් නැගේ එක් වරම
හිස් අහස වෙත තනියෙන්
අවාරය යැයි නම්කොට
කිසිවකුත් නාවද මෙදෙසට
අනත් දුර පෙදෙක සිට
අරුණාලෝකය පැමිණෙයි
මිහිදුම් පටල වියැකෙයි
තනිව පියාඹන විහඟා සහ අනත් දුරක සිට සුපුරුදු ලෙස පැමිණෙන අරුණාලෝකය සංස්කෘතික ඇසින් නොබලා ප්‍රකෘති නෙතින් ලෝකය දැකීමේ ආරාධනාවක් වැන්න.
දැන් ඉතින් අර පිරුවටයක දවටා බැතියෙන් දුරින් තැබූ එක කරඬුවක් බයෙන් මෙන් ගනිමි.
එක්තරා වැඩිහිටි යුවළක් මැයෙන් ඒ කව නම්කර ඇත.
අප නිවස පසුකොට
කඳු පෙදෙසකට ඇවිද යන
මුහුණුවත් හරියකට දැක නැති
එක්තරා වැඩිහිටි යුවළකි
මිහිදුමක් වන් සාරිය
අවපැහැ වෙතත් තරමක්
සුදු සමන් මල් වැලකින්
බැඳී තිබුණා එය වට
එවන් කඳුකර පෙදෙසෙහි
තානායමක් හැරුණු විට
අන් නිවහනක් පිළිබඳ
අසා තිබුණේ නැත අප
අප කුඩා බලු පැටවාද
උන් හා ඉතා කුලුපගව
කඳු මාවතෙහි දිව ගොස්
යළි හැරී ආවා අප වෙත
ඉකුත් දවසක අත් හළ
සදාතන වූ මිහිරක්
එමඟ දෙපස ඇත්දැයි
සොයද්දී උන් තවමත්
හදිසියේ යමක් සිහිවූ
අය මෙන් මඳක් නැවතී
අප යොවුන් නිවහන දෙසත්
බලා සිටියා මොහොතක්.
නූතන සිංහල කවියෙහි ගම්භිර මොහොත එළඹ ඇතැයි සිතෙන්නේ මෙහෙම කවි හමුවන විටය.අපේ ප්‍රමුඛ කවීන් අතින් ද ලියැවුණු බොහෝ කවි අතර ඉඳහිට හමුවන මෙවැනි කාව්‍ය ස්මරණ සනාතනික වටිනාකමකින් යුක්ත ය.
මේ කවිය කියවන විට ඇන්ටන් චෙකෝෆ්ගේ බල්ලා කැටුව යන කාන්තාව නම් අනගි නිර්මාණයද සිතට එයි. වෘද්ධතර හදවත්හි රමණීය ප්‍රේම සුගන්ධය ද ඉරිතළා වැහැරෙන රූපකාය අමතක කර ක්ෂය වෙමින් පවතින ජීවනාස්වාදය සොයා යන වේදාකාරී හැඟීම ද දැනේ.
මේ කවියෙහි පරිසරය චිත්‍රණය කර ඇත්තේ පියවි ලොව සහ මායා ලොව අතර බෙදුම් කඩනයක් නොහැඟෙන ලෙසය.කඳුකර පරිසරය,පැරණි තානායම,මිහිඳුම වන් සාරිය,අහිමි වෙමින් පවතින එහෙත් අල්ලා ගන්නට වෙර දරන ජීවන සුඛය පිළිබඳ වාක් චිත්‍රයකි.බඳ වටා එතුණු සුදු සමන් මල් වැල එහි ශෝචනීයත්වයද හඟවයි.මේ අය මොහොතකට දකින්නේ යොවුන් නිවහනයි.කවියෙහි කූටප්‍රාප්තිය එය වෙයි.
අප කවියාගේ විශිෂ්ටත්වය දැනෙන්නේ මෙබඳු කවිවලය.වැහි වැටෙන දවස් කෘතියෙහි ද මෙබඳු කවි කිහිපයක් ඇතුළත් වෙයි.
ලී පොරොව සහ රන් පොරොව මා දුරින් තබාගෙන හෙමිහිට ඇතුළුවන්නට උත්සාහ කරන තවත් කවි කරඬුවකි.
සිංහල කෙටිකතාවෙහි සංකේතීය කෙටිකතා මාලාවකින් නව මානයක් ගෙනා මදුරසිංහ ගුණතිලකගේ තාප පටලය සහ මායා යානය යනාදී කෘති ද සිහියට එයි.
කැදැල්ලක් තනන්නට හදන යුවළක අතින් ලී පොරොව ගඟට වැටේ.ඒ වෙනුවට ඔවුන්ට හිමිවන්නේ දිය දෙබෑ කරගෙන පැමිණි දෙවියකු දෙන රන් පොරොවකි.එහෙත් බිරිය එය බාරගන්නේ නැතිවූ පොරොව හැටියටය.කැදැල්ල ඉදිවෙයි.දරුමල්ලෝද තනති
කවිය අවසන මෙසේ ය.
ඔබ තුටින් ඉපිලෙන විට
අප දුවා දරුවන්ද සමගින්
තාමත් ඇතැම් දිනවල
පැරණි ඉවුරට ඇවිදින්
එදා නැති වූ ලී පොරොව
සොයනවා මම තනියෙන්.
කවියෙහි කථකයා සමග මම ද ඒ ලී පොරොව සොයන්නෙක් බවට පත් වෙමි. ඒ තරමට කවිය හා බැඳෙයි.
අතුරුදන් වූ මාළුවාද කරඬුවක් බඳු කවියකි.
මේ කෘතියෙහි ඇතුළත් යාපනයේ සරුංගල් සැණකෙළිය කවිය ඔස්සේ මකර රුව සහිත සරුංගලයක්,සිඟිත්තෙක්,සහ සිප්පි කටු අතරින් විසල් සමාජ කැටපතක් විදාරණය කරයි.
රසිකයකු හැටියට මගේ වින්දනයට බාධා වූ අවස්ථා ද මේ ඇතැම් කවිවල නැත්තේ ම නොවේ.
උමං මාරුවක් කවිය එවැන්නකි. උමං මාර්ගය නව සංස්කෘතික නිමැවුමකි.
එහි අභ්‍යන්තරය මෙසේය.
සම් පදම්කොට නිමවූ
වාද්‍ය භාණ්ඩ සැල්වල
දෙවිවරුන්ගේ රූ අසල
ඇටකටුවලින් නිමවූ
විසිතුරු භාණ්ඩ තබා ඇත
ශිෂ්ටාචාරයෙහි සලකුණුවල ස්වභාවය එයයි.
කවියා මැදිහත් වන තැනක් මෙහි වෙයි.
පරෙවියන් වවුලන් ලගින
වසුරු අපුලක් හමා එන
දිවා කල අත්හැර දැමූ
සන්ධ්‍යා කුරුලු උයනක්ද?
කවිය අවසන් වන්නේ බර ගමන්මලු ඔසවාගෙන ඇතුළතින් පිටතට මිනිසුන් එන්නේ නව ශිෂ්ටාචාරයකට පිවිසෙන්න්නාක් මෙන් යැයි කවියා කියයි.ඒ කවියෙහි පරිසමාප්තියයි.කවිය මැදදී කවියාගේ ප්‍රශ්න කිරීම කවියට අනුචිත බරක් යැයි හැඟෙයි.එසේ හැඟෙන්නේ මා නමැති රසිකයාටය.වෙනත් රසිකයකුට එසේ නොපෙනෙන්නටද ඉඩ ඇත.
ඉදින් මේ කවි ගැන උඩින් පල්ලෙන් කීම කවියාට මෙන්ම කවියටද කරන අසාධාරණයකි.චින්තකගේ කවි ඇසුරු කරන විට මතු වන චින්තන ප්‍රවාහයෙන් ඇබින්දකි මේ….මේ කවි කෙතරම් මට සමීප වන්නේ ද යත් දැං ඉතින් චින්තකගේ රූපකාය නොදුටුවත් මට කම් නැත.ඇත්තට ම