දරුවන්ගේ අත් අල්ලාගෙන ඔවුන්ගේ ලෝකය හැඩවැඩ කළ සොඳුරුතමයා – ජයරත්න සමරසේකර

Share post:

‘කිවියාණ කව් මහිම
පසිඳ දැන රස මැවූ
ඇදුරාණ බාල විය
අකුරු කිරි කර පෙවූ
සොයුරාණ මා හැඳින
නිබඳ අත්වැල සැදූ
මිතුරාණ බිතු රුවක
වූ මෙමට නිරතුරූ….’

(කිරිමදුවැල්/කුමාර අලගියවන්න 1993)

1993 සැප්තැම්බරයේදී මා ලියා පළ කළ ‘කිරිමදුවැල්’ කාව්‍ය ග්‍රන්ථයේ පිදුමේ මා එලෙස සටහන් කළේ 1985 වර්ෂයේදී පමණ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේදී මට මුල් වරට හමුව පසුකලෙක මගේ සාහිත්‍ය ජීවිතයට සුබවාදී බලපෑම් රැසක් සිදුකළ මගේ සිංහල හා චිත්‍රකලා ගුරුතුමා වූ සම්මානනීය ළමාකතා රචක නැසීගිය ජයරත්න සමරසේකර සූරීන් වෙනුවෙනි.

1940.10.12 දින සියනෑ කෝරළේ රදාවානේදී උපන් ජයරත්න මුදියන්සේලාගේ සමරසේකර හෙවත් ජයරත්න සමරසේකර රදාවාන මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කොට නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවෙන් පසු ශිෂ්‍ය ගුරුවරයෙක් ලෙස ස්වකීය දුෂ්කර සේවය මාදුරුඔය පාසලකින් නිමකොට යළි කිරිඳිවැලට එන්නේ 1970 දශකයේ මුල් භාගයේදීය.

1977 දේශපාලන කුණාටුවට හසුව මඩකලපුව එරාවුර් සිංහල මහා විද්‍යාලයට ගසාගෙන යන ඔහු 1983 දී නැවත කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණෙන්නේ සුවිසල් අත්දැකීම් සම්භාරයක් කරපින්නාගෙනය.

ස්වකීය ගුරු ජීවිතයේ මුල් අඩෙහිම සාහිත්‍යය නිර්මාණ කාර්යයට අතගැසූ ඔහු ‘සිහින ලොවක වල්මත්වී, ළිහිණි විලාපය, රුවැති ළඳක්’ වැනි ජනප්‍රිය නවකතා ත්‍රිත්වයේ කතුවරයා විය.

‘කවි කොළය’ නම් ජනප්‍රිය කුඩා කවි පත්‍රිකාව සංස්කරණ කරමින් එස්.ජී.පුංචිහේවා, ඩබ්ලියු.ඒ.අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, පියසේන කහඳගමගේ, සෙනරත් ගොන්සල්කෝරාළ, දෙනගම සිරිවර්ධන, ජයනාත් ගුණවර්ධන, ජයවඩුවිතාන, පරාක්‍රම කොඩිතුවක්කු, සුනිලා විජේසිංහ වැනි එදා ආධුනිකයින් වූ වර්තමාන ප්‍රවීණයින්ට අත්වැල සපයා දුන්නේය.

අනතුරුව ජයරත්න සමරසේකරයන්ගේ දෙවැනි සාහිත්‍යය උත්පත්තිය වූයේ 1986 දී පළ කළ ‘කිරිපුංචා හා අලි පැංචා’ නම් ළමා කතාවෙන්ය.
එතැන් සිට 2004.12.15 දින සිදුවූ ඔහුගේ අභාවය දක්වා ‘රාස්සිගේ කැවුම් මල්ල, හඳපානේ මාළු හොරා, ඇතින්නගේ දඬුවම, කමතෙ ගෙදර ළමයි, සුරංගනා කතන්දර, කිරිමාමා, බඩගිනි පුතා, සේසත්හාමිගේ නිධානය, මලක් පිපිලා, හරි කලබල මඟුල් ගෙදර, සිත්තර මාමා හා තුවක්කුකාරයා, සඳමාලිගෙ පූසි පැටියා’ ආදී දරුවන් වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ළමා කතා, ළමා නවකතා හා ළමා කවි ගීත කතන්දර සිය ගණනකි.

1989 දී මුල් වරට හොඳම ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් ඔහු ඉන්පසු එවැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන පහක් හෝ හයක් හිමිකර ගත්තේ සැබෑ ප්‍රතිභාවට කිහිලිකරු අනවශ්‍යය බව ප්‍රදර්ශනය කරමිනි.

‘ශෝකාන්තයේ රාත්‍රිය’ නමින් කවි පොතක් මෙන්ම ‘සඳගිරි පාමුළ, අවරගිර සමයම’ යන නවකතාද ‘මනමේ බිසව හා සඳ කිඳුරිය’ යන කෙටිකතා පොතද ලියා පළ කළ ජයරත්න සමරසේකරයන් ‘වෙස් මුහුණ, රන්කැටි පුතා, දෙගම්බඩ රජා, වීදුරු කන්දෙ වීරයා’ යන යොවුන් සාහිත්‍ය කෘතීන්වල කර්තෘවරයායි.
එමෙන්ම ‘විජය’ ළමා පුවත්පතේ කතන්දර පොතක් ලෙස සැකසූ චිත්‍රකතාවද එහි මුල් පිටුවද වසර ගණනාවක් තිස්සේ හැඩවුණේ ඔහුගේ තෙලි තුඩෙනි.
‘දිවයින’ පුවත්පත වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ළමා කවි කතාව 80 දශකයේ ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද අතිශයින්ම ජනප්‍රිය විය.
ඔහුගේ නිර්මාණ වූ ‘සේසත්හාමිගේ නිධානය’ සහ ‘ඇතින්නගේ දඬුවම’ ඔහුගේම තිර රචනයෙන් රූපවාහිනී නාට්‍යය ලෙස නිෂ්පාදනය වූ අතර ඔහු ලියූ ළමා ගී හා සින්දු ගණනාවක් ළමා ගීත ලෙස නිෂ්පාදනය විය.

එසේම 1979 දී රත්න ශ්‍රී විජේසිංහගේ කුළුඳුල් කාව්‍ය කෘතිය වූ ‘බිය නොවන් අය්යන්ඩි’ පොතට පිටකවරයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය පොත් පිටකවර කලාවටත් නව මානයක් හඳුන්වා දුන් ජයරත්න සමරසේකර ලංකාවේ බොහෝ ප්‍රවීණ ලේඛකයින්ට පොත් පිටකවර නිර්මාණය කළේය.
එසේම මගේ කාව්‍ය කෘතී සියල්ලටමත් ළමා සාහිත්‍යය කෘතීන් බොහෝ ගණනකටත් අපූරු පිටකවර නිර්මාණය කරදුන්නේ ඔහුය.
ශිෂ්‍යවරයෙක් ලෙස 1985 දී ඔහු සමීපයට පැමිණ 2004 වසරේ ඔහු මිය යන අවස්ථාව දක්වා වූ ඒ එකුන් විසි වසර තුළ ඔහු මා සැලකූවේ ඔහුගේ ළබැඳි මිතුරෙකු ලෙසය. එහෙත් අදටත් ඔහු මගේ ගුරුවරයාය, වැඩිමහළු සහෝදරයාය.

සමහරවිට හදිසියේ අහිමිව ගිය ඔහුගේ සෙනෙහස මට දැනුත් දැනෙන්නේ මගේ පියා අහිමි වූ වැනි ලෙසය. ඔහුගේ වියෝවෙන් එකුන් විසි වසරක් ගෙවී ඇති අදත් ඔහුගේ අඩුව එලෙස මගේ හදවත පාරවන්නේය. නොකල්හි සිදුවූ ඔහුගේ වියෝවෙන් පසු මා හුදෙකලා වූවාක් වැනි හැඟුමකින් මේ ලියන දැනුත් මගේ හදවත දැඩි ලෙස රිදුම් දෙමින් තිබේ.

මා පමණක් නොව ඔහුගේ අදරබර බිරිඳ ‘නන්දා’ සහ ‘වතික හා දමිත’ දෙපුතුන් මෙන්ම ‘සචිත්‍රා’ දියණිය ඇතුළු පවුලේ අය මෙන්ම ‘සංහිඳ’ සහෘදයින් සැවොම හැඟුම්බර හදවතින් තවමත් නෙතු කඳුළු පිසලමින් බලා සිටින්නේ ඔහුගෙන් හිස්වූ ‘නුගේහේනවත්ත’ දෙසය.

මා දන්නා පරිදි මිතුරන්ගේ හොඳම මිතුරා ඔහුය. නෑයන්ගේ හොඳම නෑයා ඔහුය. සැපටත් වඩා දුකේදී ඔහු අප හැමට විසල් නුග තුරක්සේ සෙවණ දුන්නේය.
ජයරත්න සමරසේකර සූරීන් යම්හෙයකින් ජීවතුන් අතර සිටියා නම් හරියටම අද (2023.10.12) ඔහුගේ අසූ තුන් වෙනි උපන් දිනයයි.
ඉතින් ‘සංහිඳේ’ ආදරණීය ගුරුතුමනි, අපි නැවත කවදා හෝ ‘බට පඳුර යට ගෙපිළ’ මතදී හමුවෙමු.
එතෙක් ඔබට ආයුබෝවන්.

කුමාර අලගියවන්න

2023.10.12

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...