Home Blog Page 243

එලෝන් මස්ක්ගේ අධිරාජ්‍ය බිඳ වැටෙයි!!

0

Bloomberg Billionaires Index හී නවතම වාර්තාව අනුව Total Net Worth එක ඇ.ඩො. බිලියන 171ක වටිනාකමක් තබා ගනිමින් Bernard Arnault නම් ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයා ලෝකයේ ලොකුම සල්ලිකාරයා කියන නාමය තමන් සතු කරගන්නවා.

Louis Vuitton කියන ලෝකයේ විශාලතම Fashions සහ cosmetics නිෂ්පාදන සමාගමේ අයිතිකාරයා තමා මේ විදිහට ලෝකයේ ලොකුම සල්ලි කාරයා බවට පත්වන්නේ.

එතකොට දැනුමට දෙයක් දාලා තියාගන්න Bloomberg අනුව ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ 05දෙනා ගත්තොත් එතනින් 03 ක් Tech Industry එකේ. ඒ තුන්දෙනා තමා එලෝන් මස්ක් (02) සහ ජෙෆ් බේසොස් (04) කියන්නේ, ⁣බිල් ගේට්ස් (05).
එතකොට එක්කෙනෙක් යටිතල පහසුකම්, භාණ්ඩ කියන කාණ්ඩයේ ඉන්නේ ලෝකයේ තෙවන විශාලතම ධනවතා ගෞතම් අදානි..

ඒ වගේම Fashion and Retail කියන කාණ්ඩයෙන් ඉදිරියෙන් ඉන්න එකම කෙනා ඒ කිව්වේ අඩුම මුල් දසදෙනා අතර ඉන්න කෙනා Bernard Arnault විතරයි.
හැබැයි දැන් ඔහු ලෝකයේ ලොකුම සල්ලි කාරයා.

ඉතින් එලෝන් මස්ක්ගේ කවදාවත්ම ළඟා වෙන්න බැරි වෙයි කියලා ගොඩාක් අය හිතපු තැනට Fashion අලෙවි කරන්නෙකු ආවේ ඔය විදිහට.

ඉතින් Musk ට පුළුවන් වුණොත් Twitter එක උඩුයටිකුරු කරලා දැනට තියෙන පාඩුව නැති කරලා එතනින් ආදායම් උපයන විදිහේ දෙයක් කරන්න, මේ ලැයිස්තුව එදාට එක් ක්ෂණයකින් වෙනස් වෙයි..!!

Elon Musk

සංජේ රණවක

රට බේරගන්න අවස්ථාවක් එනවා කියලා ඡන්දය දාපු අපි සහ බංග්ලාදේශය

0

මේ පින්තූරයේ කතාව මං කියන්න ඕන නෑනේ, මේ වෙද්දි හැමෝම දන්නවා. ඒත් පොඩි හැඳින්වීමක් කරන්නම් මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා.
දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්.

බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ.

හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා.

1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත්‍ වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා.
ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා..

හරි අපි ආයෙත් බංගලි දේශය පැත්‍තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක.

මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්.

එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව ව‍ගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා.
මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා.

බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

කොරෝනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා.

2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩො. බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම ඇ.ඩො. බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය?
අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ.

අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා.
බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා. ඒත් අපි?

අපි මොකද මෙච්චර කල් කළේ? කරපු දේ තමා රට බේරගන්න අවස්ථාවක් එනවා කියලා ඡන්දය දාපු එකනේ නැද්ද…

සංජේ රණවක

සංසාරය වෙන අන් යමක් ද

0

චෛතසික විදුලිය
හිතට හෙන ගසයි
සමාධිගත මොහොත
අචාචික අර්ථයෙන් එලිය ලබයි

සිතිවිලි චක්‍රය
මැරි මැරී උපදියි
පවත්නා නිමේෂය
ජීවිතය යැයි කියයි

අන්ධකාරය අතර
ගිනි පෙනෙල්ල කරකවයි
නො කැඩුණු එලියේ
කැඩුණු ජීවිතය නො පෙනෙයි

ඉහළට නැගෙන පඩි
තැනක නතර වෙයි
මට මා හමු වන්න
විරාමයක් ඉල්ලයි

තෘප්තියක අවසානය
ලබා නො දෙන පරිභෝජනය
මකුළු දැළක පටලයි
අඩු වැඩි මම ද මගෙ සිත ද
ඔබ වගේමයි

සංසාරය වෙන අන් යමක් ද
මේ දුවන තරඟයයි
සංහිඳක් නැති මහ මගේ
සමාධියටත් හෙන ගසයි

චෛතසික විදුලිය
හිතට හෙන ගසයි
සමාධිගත මොහොත
අචාචික අර්ථයෙන් එලිය ලබයි

මතු භව නො වන
මේ මොහොත සංසාරයයි
නැග බැස යන හිරු ද
තරු එලි අතර සඳැති අඳුර ද

උදය ආර්. තෙන්නකෝන්

‘බෝ දෑ නික්මෙති’ දෙසැම්බර් 15 ජාතික පුස්තකාලයේදී

0

” අල්පෙනෙත්තක් වැටුණත්
ඇහෙනවා අන්තර්ජාලයට!”
” චීන්නුත් ගමේ යන අවුරුද්ද!!!”

ඉතින් සරත්චන්ද්‍ර වල්පොලගේ පළමු කවි පොත ‘බෝ දෑ නික්මෙති’ “දොරට වඩිනවා” 2022 දෙසැම්බර් 15 හවස 2.30 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී!

ඉන්නිසය :-කේ.කේ. සමන් කුමාර (සර්පයා)
කංචුකය :-මො.ල‌. සෙනවිරත්න
කර්තෘගේ සිතුවම :-ඔසඳ ඖචිත වල්පොල
ප්‍රකාශනය :-ඇස්.ගොඩගේ සහ සමාගම

අවුරුදු දා කොළඹදී

ඉඳිකටුවක් වැටුණටත්
කොළඹ පොළොවට
ඇහෙනවා අන්තර්ජාලයට

සීතල ගතේ නැත
ගින්දර නිවී ඇත
කොළඹ මාකට් එකට
ඉන්ටවල් ලැබී ඇත

කොළඹ
චයිනීස් රෙස්ටුරන්ට් පවා
වසා දමා
චීන්නුත් ගමේ යන අවුරුද්ද

පාන් නැති නිසා
අවුරුදදාට කොළඹ
කේක් කනවා මිස
වෙන කුමක් කරන්නද?

හැමතැනම එකක් ඇත
වසා ඇත වසා ඇත

අවුරුදුදාට
කොළඹ හැරදා
ගමේ ගිය ඇත්තෝ
යළි කොළඹ එනකං
බලා හිඳිමි මම

සොහොන් පිට්ටනියක වගේ
පාළු මූසල ගතිය නැතිවේවි
මගේ ගම කොළඹ
යළි පණ ලබා නැගිටීවි

  • සරත්චන්ද්‍ර වල්පොල

SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව සහ විශිෂ්ඨතා ඇගයීම් සම්මාන ප්‍රධානය

0

ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business – ICSDB) පසුගිය දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ දී සාර්ථකව පවත්වනු ලැබීය. මෙහිදී සුවිශේෂී දක්ෂතාවයන් දැක්වූ පර්යේෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයින් සඳහා ICSDB විශිෂ්ඨතා සම්මාන රැසක්ද ප්‍රධානය කරනු ලැබිණි.

‘Towards digital sustainability’ යන තේමාව යටතේ දෙදිනක් පුරා පැවති මෙම සමුළුවෙහි සමාරම්භක සම්මන්ත්‍රණය හරහා ලොව පුරා සිටින පර්යේෂකයන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ සොයාගැනීම්, භාවිතයන්, සහ අභියෝග පිළිබඳව මත අදහස් සහභාගී වූ ප්‍රේක්ෂක පිරිස සමඟ හුවමාරු කර ගැනීමට ද හැකි විය.

මෙම සමුළුව මෙහෙයවනු ලැබූ ප්‍රධාන කථික මණ්ඩලය, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ (Exeter University) මහාචාර්ය ජෝන් බෙසන්ට්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය ජයිදීප් ප්‍රභූ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හි මහාචාර්ය මුතූ ද සිල්වා යන කීර්තිමත් විද්වතුන් පිරිසකගෙන් සමන්විත විය. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සහ මාලඹේ පිහිටි SLIIT ආයතන ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්විය.

මෙම සමුළුව විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ සහ පුහුණු කළමනාකරුවන්ගේ මෙන්ම මෙරටේ හා විදේශ පර්යේෂකයන්ගේ ද සුවිශේෂී ආකර්ෂණයට ලක් වූ අතර එහිදී ඔවුන් තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර යන තේමාව යටතේ විෂය ක්ෂේත්‍ර රැසක ඔවුන්ගේ දැනුම, සාර්ථක ජයග්‍රහණ සහ පර්යේෂණවල ප්‍රතිඵල හුවමාරු කර ගනු ලැබීය.

සම්මන්ත්‍රණය පිළිබඳව සිය අදහස් පල කරමින් SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා සඳහන් කළේ ඉදිරි වසරවලදී ICSDB සමුළුව, ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රවණතාවයන් වර්ධනය සඳහා නායකත්වයක් ලබා දෙන සහ බලාපොරොත්තු ඇති කරවන සමුළුවක් බවට පත්වන බවය. මෙහි සෑම අංශයකම පැවති ගුණාත්මක බව අතින් බැලූ විට එය වෙනස් වූ නව මානයක් සහිත අමතක නොවන සම්මන්ත්‍රණයක් වූ බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

2022 ICSDB විශිෂ්ඨතා සම්මාන ප්‍රධානය දෙසැම්බර් මස 01 දා පැවති අතර එහිදී දක්ෂතාවය (Ingenuity), අඛණ්ඩතාව (Continuity), විෂය ක්ෂේත්‍රය (Scope), යෙදවීම සහ ප්‍රතිලාභ (Deployment and Benefits) යන ICSDB දර්ශකයෙහි පවතින නිර්ණායකයන් යටතේ ඩිජිටල් ව්‍යාපාර ආරම්භ කර එය විවිධ පාර්ශවකරුවන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලාංකේය ව්‍යවසායන් රන්, රිදී සහ ලෝකඩ යන කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කෙරිණි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ කළමනාකරුවන්, නියෝජිතයින් සහ විද්වතුන් ඇතුළු ප්‍රවීන විනිශ්ච මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා පත්කර ගන්නා ලදි. මෙම සමුළුවෙහි දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත දේශනය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබීය.

ICSDB සමුළුව සඳහා සහය දක්වමින් සම්පත් බැංකුව ප්‍රධාන අනුග්‍රාහක හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලැබූ අතර Enadoc ඩිජිටල් නවෝත්පාදන සහකරු ලෙසත්, CodeGen International, Siam City Cement යන ආයතන රන් කාණ්ඩය යටතේ අනුග්‍රාහක භවතුන් වශයෙන් සහ CIMA Sri Lanka සහ Unitech Labs යන ආයතන රිදී කාණ්ඩයේ අනුග්‍රාහක භවතුන් ලෙසත් කටයුතු කරනු ලැබීය. Emerald ප්‍රකාශන ශාස්ත්‍රීය සහකරු ලෙස කටයුතු කළේය.

1999 වසරේ දී ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර එම ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් මේ වන විට වැඩිම ශිෂ්‍ය පිරිසක් සිටින විශ්වවිද්‍යාලය වීම ද විශේෂත්වයකි. එම ශිෂ්‍ය ප්‍රජාව සඳහා SLIIT විසින් පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, නීතිය, ආගන්තුක සත්කාර වැනි විෂයයන් රැසක උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. ඉහළ මට්ටමේ ශ්‍රේණිගත සඟරාවල පළවන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ පවත්වාගෙන යන සබඳතාවයන් සහ ගුණාත්මක උපාධිධාරීන්ගේ සාර්ථකත්වයන් තුළින් කලාපීය වශයෙන් අත්කර ගනු ලබන කීර්තිය මෙන්ම දැනුමක් සහිත විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට SLIIT දරන උත්සාහය මීට ප්‍රබලව සාක්ෂි සපයනු ඇත.

මෙසී පාපන්දු පිටියට සමුදෙයි

FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව සුප්‍රකට පාපන්දු තරුව ලියනල් මෙසී තහවුරු කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 18 වැනිදා ප්‍රංශය හෝ මොරොක්කෝව සමග පැවැත්වෙන අවසන් මහා තරඟය මෙසීගේ පාපන්දු දිවියේ අවසන් තරඟය වන බවට සහතික ය.

ජූලියන් අල්වාරෙස් විසින් ක්‍රොඒෂියාවට එරෙහිව ලබා ගත් ගෝල දෙක සහ දඩුවම් පහරකින් තමන් ලබාගත් ගෝලය තම කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන යාමට සමත්වූ බව පවසයි. තරඟය පුරාවටම තමන්ගේ සුපුරුදු දස්කම් පෙන්වමින් ඉතාම කඩිසරව සහ උපක්‍රමශීලීව පන්දුව ප්‍රතිවිරුද්ධ දැල වෙත ගෙනයන්නට මෙසී සමත්කම් දැක්වූහ.

ආර්ජන්ටිනාවේ මාධ්‍ය ආයතනයක් වන Diario Deportivo Ole වෙත මෙසී පවසා තිබුණේ, ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩාකරමින් තමන්ට විශ්‍රාම ගැනීමට හැකිවීම පිළිබඳ බොහෙවින්ම සතුටු වන බවයි.

35 හැවිරිදි මෙසී සිය පස්වන ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ඩියාගෝ මැරඩෝනා සහ ජේවියර් මැෂෙරානෝ අභිබවා යමිනි. එමෙන්ම කටාර් ලෝක කුසලාන තරඟාවලියේදී ඔහු ලබාගත් පස්වැනි ගෝලය සමග එතෙක් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තාව තබා තිබූ ගාබ්‍රියෙල් බැටිස්ටුටා ඉක්මවා යන්නට මෙසී සමත්වුණේ ගෝල 11ක් වාර්තා කරමින් ය.

ඒ අනුව ලෝක කුසලානයක් ජයග්‍රහනය කිරීමට මෙසීට ලැබෙන අවසන් අවස්ථාව මෙය වේ. 2014 වසරේ බ්‍රසීලයේදී පැවැති ලෝක කුසලානය තරගාවලියේදී ජර්මනිය හමුවේ පරාජයට පත්වීමත් සමග ඔහුට ලෝක කුසලාන අනුශූරයෙකු ලෙස සෑහීමකට පත් වීමට සිදුවිය.

මෙසී, ස්පාඤ්ඤ ලීග් ශූරතා 10ක්, ප්‍රංශයේ දී තවත් ජයග්‍රහණයක්, චැම්පියන්ස් ලීග් හතරක්, 2021 දී කෝපා ඇමරිකා, සහ සෑම වසරකම ලොව හොඳම ක්‍රීඩකයාට පිරිනමනු ලබන වාර්තාගත බැලොන් ඩෝර් (Ballon d’Or) සම්මාන හතක් දිනා ගැනීමට සමත්වී තිබේ.

කැබිනට් අනුමැතියෙන් පාසල් සිසුන්ට භාවනා වැඩසටහනක් : 400 නමකට 25,000 බැගින් රුපියල් කෝටියක දානයක් !

0

සති පාසල පදනම මගින් ක්‍රියාත්මක කරන ‘සති පාසල වැඩසටහන’ සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

‘අධ්‍යාපන අමාත්‍යංශය සහ සති පාසල නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සති පාසල පදනම ඒකාබද්ධව සතිමත් බව පිහිටුවීම වැඩසටහන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.’

මීට අදාළ නියමු වැඩසටහන ලබන ජනවාරි 04දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන්පසු සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනක ම පෙරවරු 7.30 සිට 7.40 දක්වා මෙම වැඩසටහන සියලුම සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

නොසිතූ ප්‍රතිඵල

මෙම වැඩසටහනේ නිර්මාතෘ, මීතිරිගල නිස්සරණ සේනාසනයේ අධිපති උඩඊරියගම ධම්මජීව හිමියන් පවසන්නේ දහම් පාසල් දරුවන් මූලික කරගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සියලුම පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි. පන්ති කාමරයේදී දරුවන්ට සිහියෙන් සිටීමට ඉගැන්වීම මෙහි පරමාර්ථය බවත්, තමන් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිට රහසින් කොට මෙහි ප්‍රතිඵල ලද බවත් උන්වහන්සේ පවසයි. මෙයින් නොසිතූ ප්‍රතිඵල ලැබෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

බලධාරීන් කියන්නේ මොනවාද?

මෙම වැඩසටහන පාසල් සඳහා නිර්දේශ කිරීමට පෙර, ඒ පිළිබඳ පර්යේෂණයක් කළේ ද, එය සමස්ත සිසුන්ට හඳුන්වා දීම කළ හැකිද යන කරුණු සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධ කර ගැනීමට thetime.lk ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) හේමන්ත ප්‍රේමතිලක ඇමතීම වඩා සුදුසු බවත් ය.   

 

හෙට කියන්නම්

ඒ අනුව අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලකගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ හෙට (15) මෙය නිල වශයෙන් සියලුම මාධ්‍ය වෙත දැනුම් දෙන බවයි. අදාළ ව්‍යාපෘතිය විද්‍යා පීඨ මට්ටමෙන් මේ වනවිටත් අත්හදා බලා ඇති බවත්, එහෙත් එය නිල වශයෙන් නොවන බවත් අප කළ විමසීම්වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේය. අදාළ කැබිනට් පත්‍රිකාව තමන්ට මෙතෙක් නොලැබුණු බවත්, එය අතට ගෙන හෙට දිනයේ අදහස් පළකිරීම වඩාත් සුදුසු බවත් ඔහු වැඩිදුරටත් අප කළ විමසීමේදී සඳහන් කළේය.

සියලුම සිසුන්ට සුදුසු ද?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපනඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යාපෘතියක් පාසල්වල සියලුම සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බවයි. එය තෝරාගත් සිසුන් කොටසකට, ඔවුන්ගේ කැමැත්ත මත ක්‍රියාත්මක කිරීම කළ හැකි වුවත්, ඒ සඳහා ද දීර්ඝ කාලීන පර්යේෂණයක් අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.

පාසලේ කාර්යය

මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකු වන චාල්ස් දයානන්ද පවසන්නේ පාසල කළ යුත්තේ දරුවා තුළ නිදහස් චින්තනයක් ගොඩනැගීම බවයි. එවැනි චින්තනයක් ගොඩනැගීමෙන් පසු තමන් අනුගමනය කළ යුතු ආධ්‍යාත්මික මාර්ග හෝ වෙනත් ක්‍රියාමාර්ග දරුවා විසින් තීරණය කරනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

අම්පාරෙන් කතාවක් – කෝටියක දානයක්

මේ අතර කැබිනට් මණ්ඩලය මගින් මෙවැනි ව්‍යාපෘතියක් අනුමත කළ සතියේ ම පාසල් ඉලක්ක කරගෙන සිදුකරන තවත් ව්‍යාපෘතියක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයෙන් thetime.lk වෙත වාර්තා විය.

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකෙරෙන සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරන දිනයේ ස්වාමීන් වහන්සේලා 400 නමකට, එක් නමකට රුපියල් 25,000ක වටිනාකමකින් යුත් දානයක් ලබාදීමට සැලසුම් කර ඇත. ‘නැගෙනහිර පළාතේ අම්පාර – මඩකලපුව දෙදිසාවේ බොහෝදෙනෙකුට බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කරවීම වස් මුහුදු මට්ටමේ සිට අඩි 232ක් උසැති මහා ගල් තලාවක අඩි 75ක් උසැතිව නිර්මාණය වන මෙම ප්‍රතිමාව සඳහා ඔබ සැමට දායක විය හැක’ යනුවෙන් සඳහන් කරමින් මීට අදාළ ආධාර පත්‍රයක් එම ප්‍රදේශයේ පාසල් සහ අනෙකුත් සියලු ආයතන අතර බෙදාහරිමින් සිටින බව අප වෙත වාර්තා විය.

එහි සම්පූර්ණ පිටපතක් ද අප සතු ය.

දස කෝටියක්

බුද්ධංගල සමාධි ප්‍රතිමා නිර්මාණ දායක සභාවේ ලේකම් ටී.එම්. පොඩිනිලමේගේ අත්සනින් මෙය බෙදාහරිනු ලබයි. එහි මෙසේ සඳහන් වේ.

‘මේ බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයෙහි සියලු වැඩ කටයුතු සඳහා රුපියල් දස කෝටියක් පමණ වියදම් වී ඇත. එය සම්බුදු සසුනට පූජා කිරීම 2023 මාර්තු 02 දින සිදුකිරීමට නියමිත ය. 2023 පෙබරවාරි 27 දින සිට තුන් දින පිරිත් දේශනා, සත් දින පුද පූජා, ධර්ම දේශනා, නැගෙනහිර පළාත් වාසී මහා සංඝ රත්නය 400 නමක් විෂයෙහි දානමය පූජා…. එක් හිමි නමකගේ වියදම රුපියල් 25,000ක් වන අතර….’

දැනුවත් නෑ – පාසල්වල බෑ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. පුල්ලෙයිනායගම් පැවසුවේ එවැනි මුදල් එකතු කිරීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නැති බවයි. කෙසේ වෙතත් පාසල් තුළ එවැනි මුදල් එකතු කිරීම් සඳහා ඉඩක් නොමැති බව ද අධ්‍යක්ෂවරිය පැවසීය.

මේ දානය පිළිබඳව thetime.lk විමසීමට බුද්ධංගල නායක හිමියන් වන දීඝවාපියේ සුසීම හිමියන් මෙසේ පිළිතුරු දුන්නේය.

‘පාසල්වල කියන්නෙ දරුවන්ගෙන් මුදල් එකතු කරන්න වැඩසටහනක් නෑ. ගුරුවරුන්ට තමයි දායක සභා මහත්තුරුන්ගේ පැත්තෙන් දැනුම් දීලා තියෙන්නෙ යම් මුදල් දායකත්වයක් ලබාදෙන්න කියල. මේක ලොකු වියදමක් යන වැඩසටහනක්නෙ. ඒකයි.’

ලංකාවේ මන්දපෝෂණය

මේ අතර මෙරට ජනගහනයෙන් මිලියන 06 – 7.5 අතර පිරිසක් මන්දපෝෂණයෙන් පිඩාවිඳින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබිණි. ඒ, ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර සංවාදයකට සහභාගිවෙමිනි.

මෙහිදී රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංවාදයට සහභාගි වූ ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාවට සහාය වන ලෙස ද ඉල්ලීමක් කර ඇත. මෙම සංවාදය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහ විවිධ රටවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී තිබේ.

යුනිසෙෆ් සංවිධානය සහ ලෝක ආහාර සංවිධානය ද පෙන්වා දෙන්නේ ලංකාවේ ළමා මන්දපෝෂණය සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි.

පාසල් ආහාර වේලත් නවතී !

දුෂ්කර පාසල් සඳහා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ දිනපතා ලබාදුන් උදෑසන සහ දිවා ආහාර වේල මේ වන විට බොහෝ පාසල්වල නතර කර තිබේ. ඊට හේතු වී ඇත්තේ රජයෙන් ඊට අදාළ මුදල් නොලැබීමයි. මේ නිසා පාසල් මට්ටමෙන් මව්පියන්ගෙන් මුදල් එකතු කොට සතියකට එක දිනක් ප්‍රථමික අංශයේ සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

අරගල භූමියෙන් එලවූ චූදිතයාගේ කරේ ත්‍රස්ත විමර්ශනය එල්ලෙයි : මොකුත් කියන්න බෑ – බස් ගැමුණු

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හිරකිරීම සඳහා, අත්තනෝමතික ලෙස මුදල් එකතු කිරීමේ චෝදනාව මත ගෝල්ෆේස් අරගල භූමියෙන් පලවාහරින ලද අයෙකු යොදාගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇතැයි  නීතිවේදීහු අනාවරණය කරති.

ඊයේ (13) මීට අදාළ නඩුව අවසන් වීමෙන් පසු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකට ව සිටින මෝටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබාදී ඇති ප්‍රකාශයක් හේතුවෙන් වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබාගෙන සිටින බවයි.

‘අපි සාමකාමීයි’

එම සාක්ෂියට අනුව ගෝල්ෆේස් භූමියේ ආරම්භ කළ අරගලය, ඔහු ඇතුළු පිරිස විසින් මුල් කාලයේ ඉතා සාමකාමී ලෙස පවත්වාගෙන ආවද, පෙරටුගාමී සමාජවාදී  පක්ෂය  සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එය බලෙන් පැහැරගෙන විනාශකාරී ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කර ඇත. මෙම සාක්ෂිය මත පදනම් ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වසන්ත මුදලිගේට ඇප ලබාදීම වලක්වමින් සිටී.

ඊයේ ඔහු ව ලබන ජනවාරි 17දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දින 116ක්

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ වන විට දින 116ක් සිර කර ඇත. ඒ අතරින් දින 89ක් අධිකරණයට හෝ ඉදිරිපත් නොකර අනීතික ව රඳවාගෙන සිටියේය. වහාම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත වසන්ත මුදලිගේව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහුට එරෙහිව මේ වන විට පවතින අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (13) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.

පහත පළවන්නේ එම නිවේදනයයි.

(උපුටා ගැනීම ආරම්භය)

දින 116ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව නීතිපති නිර්දේශ ලබාදීම සඳහා එම නඩුව 12/12 දින අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදි.

විමර්ශන අවසන් නෑ

එහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටියේය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ තවමත් මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන නිසා වසන්ත මුදලිගේ සඳහා ඇප ලබාදීම නිර්දේශ කළ නොහැකි බවයි.

හිතාමතා ප්‍රමාද කරනවා

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ නීතිපති උපදෙස් නොමැතිව අධිකරණයට ඇප දිය නොහැකි නිසා විමර්ශන සිතාමතා ප්‍රමාද කරන බවයි. එසේම වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සඳහන් කර ඇති චෝදනා මේ වන විටත් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වෙනත් උසාවිවල විභාග වන බැවින්, මෙම නඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් ඉවත් කර, අධිකරණයට ඇප දීමේ බලය පවතින බව සඳහන් කළහ.

ඒ සඳහා ඇපෑලක් යොමුකිරීමට දිනයක් ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්තුමිය 12/13 දිනය ලබාදෙන ලදි.

චෝදනා නෑ

ඒ අනුව 13 දින නැවත මෙම නඩුව කැඳවූ අතර, එහිදී මෙම නඩුව සම්බන්ධව ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් නඩු පැවරීමට කිසිදු චෝදනාවක් නොමැති බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ තවමත් විමර්ශන අවසන් නොමැති බවයි.

මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

එහිදී මහේස්ත්‍රාත්තුමිය මාස 04ක් රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන අවසන් කිරීමට නොහැකි වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ අතර, අරගලයට විශාල ප්‍රමාණයක් සම්බන්ධ වුවත් වසන්ත මුදලිගේ පමණක් කොටුකර පහර දීම යුක්ති සහගත නොවන බවත් සඳහන් කළාය.

බස් ගැමුණුත් ඇවිත්

එහිදී නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් සඳහන් කළේ මෝටිවේෂන් අප්පච්චි නම් පුද්ගලයෙකු හා ගැමුණු විජේරත්න යන අය වසන්ත මුදලිගේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට ප්‍රකාශ ලබාදී ඇති බවයි.

හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න

දිගින් දිගටම ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්තුමිය වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් 2023 ජනවාරි 17 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කරන ලදි. තවදුරටත් මහේස්ත්‍රාත්තුමිය ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් ජනවාරි 17ට පෙර පරීක්ෂණ අවසන් කර ඇප ලබාදීමට කටයුතු කරන ලෙසයි.

කායික හා මානසික වධහිංසා

මෙම නඩුව සම්බන්ධව උපදෙස් දෙන සහකාර පොලිස් අධිකාරි රත්නායක විසින් වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමිට කායික හා මානසික වධහිංසා ලබාදීම සම්බන්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, මීට පෙර ද ඔහු වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් යම් කාලයක් පොලිස් සේවයෙන් ඉවත් කළ පුද්ගලයෙකි. මෝටිවේෂන් අප්පච්චි යනු අරගලය භාවිතා කර මුදල් ගැරීම නිසා අරගල භූමියෙන් එළවා දැමූ පුද්ගලයෙකි. බස් ගැමුණු යනු රනිල්ගේ ගෙදර වහල්කම් කරන දාසයෙකි. එවැනි ආණ්ඩුවේ නිවට හෙන්චයියන් යොදාගෙන ප්‍රකාශ ලබාගනිමින් කිසිදු සාක්ෂියක් නොමැතිව වසන්ත මුදලිගේ සිරකර තැබීමේ ආණ්ඩුවේ බියගුළු කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. ඒ සඳහා රටක් ලෙස අපි එකට එක්වෙමු. අරගලය ජය ගමු.’

(උපුටා ගැනීම අවසන්)

පිළිතුරු නෑ

මෙම මෝටිවේෂන් අප්පච්චි නමින් තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් අරගල භූමියට පහසුකම් සැපයීමට යනුවෙන් සඳහන් කරමින් විදේශ රටවල් රැසකින් විශාල මුදලක් එකතු කර ඇති බවට චෝදනා එල්ල විය. ඊට අදාළ රිසිට්පත් ඇතුළු සාක්ෂි ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට තමන් ව එයින් ඉවත් කර ගැනීමට අවශ්‍ය වී ඇති බවයි. එහෙත් ඔහු අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළකර තිබුණේ නැත.

මාධ්‍යයට කියන්න බෑ

මේ සම්බන්ධයෙන් thetime.lk පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබඳ කිසිවක් මාධ්‍යයට පැවසිය නොහැකි බවයි.

සබැඳි පුවත්

ක්‍රොඒෂියා මැච් එකට කලින්

0

අද 2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි අවසන් පූර්ව වටය පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේ මැච් එක කොච්චර තීරණාත්මක එකක් ද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. අද මැච් එකේ ගේම් ප්ලෑන් එක මෙන්න මේ විදිහට වෙයි කියලා හිතෙනවා.

ක්‍රොඒෂියාව ගහන්නේ බ්ලොක් එකක් දාගෙන. හැබැයි වැරදියට හිතන්න එපා. මේක මොරොක්කෝව දානවා වගේ ලෝ බ්ලොක් එකක් නෙමෙයි. ක්‍රොඒෂියාව බ්ලොක් එක දාන්නේ ග්‍රවුන්ඩ් එකේ මිඩ් සහ හාෆ් මිඩ් වගේ. ඒ කියන්නේ ඔය උඩ කියපු තැන් වල බෝලේ තියාගෙන ඉන්නවා. වැඩිය ඇටෑක් කරන්නෙත් නෑ. බ්‍රසීල මැච් එකේදි 115 වෙනි විනාඩිය වෙනකන්ම ක්‍රොඒෂියාව ඔන් ටාගට් ශොට් එකක් වත් ගැහුවේ නෑ.

ක්‍රොඒෂියා වල සෙන්ටර් බැක් දෙකම සෑහෙන්න උසයි. මේ උස සෙන්ටර් බැක් දෙකට ක්‍රොස් කරලා ගහන එක නම් අමාරුයි. හැබැයි ක්‍රොඒෂියා ඩිෆෙන්ස් එකට ගහන්න පුළුවන් හොඳට කපලා ගහන ඇටෑක් එකකට. අන්න ඒක නිසා ඈන්හෙල් ඩි මරියා ස්ටාට් කිරීම ආජන්ටිනාව පැත්තෙන් මාරම වැදගත් වෙනවා.

දෙවනි කෑල්ල තමයි මාසෙලෝ බ්‍රොසොවිච් සහ ලුකා මොඩ්රිච් කියන අය. බ්‍රොසොවිච් මේ තරගාවලිය පුරාවටම සෑහෙන ග්‍රවුන්ඩ් එකක් කවර් කරනවා. ඩිෆෙන්ස් කරන්න, ඇටෑක් එකට එන්න බ්‍රොසොවිච් ට පුළුවන්. මොඩ්රිච් ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නෑ නේ. මිනිහා තමයි ක්‍රොඒෂියා ටීම් එකේ හාට් එක. හැමැතැනම දුවනවා. ඇටෑක්, ඩිෆෙන්ස් මේ ඕනිම දේකට මොඩ්රිච් ලෑස්තියි. බ්‍රොසොවිච් මොඩ්රිච් දෙන්නා මේ මැච් එකේදි පට්ටම ඇණයක් වෙනවා.
ඇටෑක් එකේ නම් ක්‍රැමරිච්, පෙරිසිච් ක්‍රියේටිව් ගහන කොවසිච් මේ තුන් දෙනාම බුරුතු පිටින් යුරෝප් ක්ලබ් ෆුට්බෝල් වල එක්ස්පීරියන්ස් ගත්ත ඩයල්ස්. ක්‍රොඒෂියාව කවුන්ටර් ඇටෑක් කරද්දි හරි නිකම් ඇටෑක් එකකදි හරි හොඳටම සෙට් වෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා අවුරුදු ගානක් එකම කෝච් යටතේ ක්‍රීඩා කරන එක.

ආජන්ටිනාව පැත්තෙන් විශාලම පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි මාකස් ඇකුනා ට මේ මැච් එක ගහන්න බැරි වෙන එක. ලෙෆ්ට් එකෙන් ගහන තලියෆිකෝ ව සත පහකට ශුවර් කරන්න බෑ. ගොන්සාලෝ මොන්සියාල් ටත් ඩබල් යෙලෝ නිසා ගහන්න වෙන්නෙ නෑ. මොලීනා ට ගොඩක් වෙලාවට ෆුල් මැච් එකම ගහන්න වෙයි. මේ හේතුව හින්දා ආජන්ටිනා ෆුල් බැක්ස් දෙදරලා ගිහින් තියෙන්නේ

මට හිතෙන්නේ සෑහෙන මැච් එකක් යයි. කවුරුත් බලාපොරොත්තු නොවෙන රිසාල්ට් එකක් ලැබෙයි කියලා හිත කියනවා. මේ මැච් එක Extra Time වත් Penalties වත් යන්නෙ නැතුව නවත්තගන්න එක ආජන්ටිනාවට වාසි වෙයි. මොකද ක්‍රොඒෂියාව කියන්නේ Extra Time සහ Penalty ස්පෙෂලිස්ට් ලා. අනිවාර්යයෙන්ම ඒ වෙනකන් ඇදුනොත් මේ මැච් එක දිනන්න 99% ක විතර අවස්ථාවක් ක්‍රොඒෂියාව ට තියෙනවා.

කාටහරි හිතෙනවා නම් ක්‍රොඒෂියාව ඉන්නෙ අවුට් ඔෆ් ෆෝම්, මේ World Cup එකෙන් තමා ආයේ ෆෝම් වුණේ කියලා එහෙම නෑ හොඳේ. මේ පාර නේෂන්ස් එකේ A ඩිවිෂන් සෙමි ෆයිනල් එන්න World Cup එකට කලින්ම ක්‍රොඒෂියාව ට පුළුවන් වුණා. නිකම් නෙමෙයි ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය හිටපු ගෲප් එකෙන් ටොප් වෙලා. ඒක හින්දා ක්‍රොඒෂියාව කියන්නේ පුදුම විදිහට බලාපොරොත්තු නොවෙන දස්කම් දක්වන්න පුළුවන් ටීම් එකක්. ආජන්ටිනාව ට පොඩ්ඩක් වත් ලේසි නෑ. අමතක කරන්න එපා ක්‍රොඒෂියාව අන්තිම 2018 ලෝක කුසලානෙදි ආජන්ටිනාවට ගෝල් 3-0 ක් විදිහට ගැහුවා. බලමු!

ශමින්ද ජයරත්න

නික්මගොස් විසිහයක්- ගතවුණේ සසරක්..

0

වරක් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ක්ලැරන්ස් විජයවර්ධන අනුස්මරණ වැඩසටහනකට පැමිණි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නායකයෙක් ක්ලැරන්ස් ගේ සංගීත ආරය පිළිබඳ මෙසේ පැවසුවේය .

“ක්ලැරන්ස් ගේ සින්දු අරගෙන බැලුවම අපිට පේන්න තියෙන්නෙ ඒවා බොහොම සරළ කෝඩ්ස් කිහිපයකින් නිර්මාණය වෙලා තියෙන්නෙ. උදාහරණයක් විදියට අපි ගමු ‘මලට බඹරෙකු සේ ‘ . ( ඔහු බොක්ස් ගිටාරය ගෙන එහි ආරම්භක සංගීත ඛණ්ඩය වාදනය කර පෙන්වයි.) . පේනවා නේද මේක මේ බොහොම සරළ කෝඩ්ස් ටිකකින් නිර්මාණය කරල තියෙන්නෙ.ඒක තමයි ක්ලැරන්ස් ගේ සංගීතයේ විශේෂත්වය.”

ඔහුගේ ප්‍රකාශය හමුවේ ඒ මොහොතේම මම කල්පනාවකට වැටුණෙමි. ඔහුගේ ප්‍රකාශය න්‍යායාත්මකව නිවැරදිය. එසේනම් එම සරළ කෝඩ්ස් සියල්ල ක්ලැරන්ස් ගේ අභාවයත් සමගම මෙලොවින් අතුරුදහන් වීද ?? ඔහුගේ සමුගැනීමත් සමගම ඒ සරළ සුගම ගීත කලාව ට නැවතීමේ තිත තැබුණේ ඇයි??. එම විග්‍රහය සිදුකල සංගීත කණ්ඩායම් නායකයා ද විවිධ ගීත ගණනාවක් ම ඉදිරිපත් කර තිබුණද ඒවා රසිකයන් ක්ලැරන්ස් ගේ ගීත තරම් ආගමක් කරනොගන්නේ ඇයි ?? ඔය තරම් සරළ කෝඩ්ස් වාදනය ඔහුට සිදුකරන්නට නොහැකි නිසාද ??

ඇත්තවශයෙන්ම පැවසිය යුතු කරුණ නම් ගිටාර් වාදනය කල හැකි ලක්‍ෂ ගණනක පිරිසක් සිටියද ගිටාරයේ හදවත සොයාගත් කෙනෙක් වීනම් ඒ දුර්ලභ කරුණකි. ක්ලැරන්ස් විජයවර්ධන යනු එසේ ගිටාරයේ හදවත සොයාගත් සුවිශේෂී සංගීත වේදියෙකි. ඔහුගේ ගිටාරයේ තත් අපගේ හදවත් හා සුසර වී අනුනාදය වීම ක්ලැරන්ස් ගේ ගීත කලාව ශ්‍රාවකයින්ගේ හදවත් තුල කිදාබැසීමට හේතුව ලෙස මම දකිමි. නික්මගොස් වසර විසිහයක් ගතවුවද ක්ලැරන්ස් ” කොපිකල හැක- සමකල නොහැක ” තත්වයට පත්ව ඇත්තේ එබැවිනි .
දයාබර ක්ලැරන්ස්

නික්ම ගොස් විසිහයක්- ගතවුණේ සසරක් (1996-12-13~2022-12-13)

ජයශංඛ කරුණාරත්න

කණ්ඩායම් නද නුඹයි සදාතන දිවියක රස ඳුන.

සැලෙන ගිටාරය
රඳවා මුසු වුනු
සොඳුරු සෙනේ බර
මද නල අතරින්
සිප එන සුළඟට
රසික දනන් හද
මෝහනයන් කළ
හද සුවපත් කොට
සංගීතය නම්
කණ්ඩායම් නද
නුඹයි සදාතන
දිවියක රස ඳුන..

1996 වසරෙහි අදවන් දිනෙක අහිමිව ගිය සදාතනික ගී හඬ..

නලින් හේමන්ත