රට බේරගන්න අවස්ථාවක් එනවා කියලා ඡන්දය දාපු අපි සහ බංග්ලාදේශය

Share post:

මේ පින්තූරයේ කතාව මං කියන්න ඕන නෑනේ, මේ වෙද්දි හැමෝම දන්නවා. ඒත් පොඩි හැඳින්වීමක් කරන්නම් මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා.
දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්.

බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ.

හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා.

1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත්‍ වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා.
ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා..

හරි අපි ආයෙත් බංගලි දේශය පැත්‍තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක.

මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්.

එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව ව‍ගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා.
මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා.

බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

කොරෝනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා.

2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩො. බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම ඇ.ඩො. බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය?
අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ.

අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා.
බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා. ඒත් අපි?

අපි මොකද මෙච්චර කල් කළේ? කරපු දේ තමා රට බේරගන්න අවස්ථාවක් එනවා කියලා ඡන්දය දාපු එකනේ නැද්ද…

සංජේ රණවක

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...