වරක් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ක්ලැරන්ස් විජයවර්ධන අනුස්මරණ වැඩසටහනකට පැමිණි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නායකයෙක් ක්ලැරන්ස් ගේ සංගීත ආරය පිළිබඳ මෙසේ පැවසුවේය .
“ක්ලැරන්ස් ගේ සින්දු අරගෙන බැලුවම අපිට පේන්න තියෙන්නෙ ඒවා බොහොම සරළ කෝඩ්ස් කිහිපයකින් නිර්මාණය වෙලා තියෙන්නෙ. උදාහරණයක් විදියට අපි ගමු ‘මලට බඹරෙකු සේ ‘ . ( ඔහු බොක්ස් ගිටාරය ගෙන එහි ආරම්භක සංගීත ඛණ්ඩය වාදනය කර පෙන්වයි.) . පේනවා නේද මේක මේ බොහොම සරළ කෝඩ්ස් ටිකකින් නිර්මාණය කරල තියෙන්නෙ.ඒක තමයි ක්ලැරන්ස් ගේ සංගීතයේ විශේෂත්වය.”
ඔහුගේ ප්‍රකාශය හමුවේ ඒ මොහොතේම මම කල්පනාවකට වැටුණෙමි. ඔහුගේ ප්‍රකාශය න්‍යායාත්මකව නිවැරදිය. එසේනම් එම සරළ කෝඩ්ස් සියල්ල ක්ලැරන්ස් ගේ අභාවයත් සමගම මෙලොවින් අතුරුදහන් වීද ?? ඔහුගේ සමුගැනීමත් සමගම ඒ සරළ සුගම ගීත කලාව ට නැවතීමේ තිත තැබුණේ ඇයි??. එම විග්‍රහය සිදුකල සංගීත කණ්ඩායම් නායකයා ද විවිධ ගීත ගණනාවක් ම ඉදිරිපත් කර තිබුණද ඒවා රසිකයන් ක්ලැරන්ස් ගේ ගීත තරම් ආගමක් කරනොගන්නේ ඇයි ?? ඔය තරම් සරළ කෝඩ්ස් වාදනය ඔහුට සිදුකරන්නට නොහැකි නිසාද ??
ඇත්තවශයෙන්ම පැවසිය යුතු කරුණ නම් ගිටාර් වාදනය කල හැකි ලක්‍ෂ ගණනක පිරිසක් සිටියද ගිටාරයේ හදවත සොයාගත් කෙනෙක් වීනම් ඒ දුර්ලභ කරුණකි. ක්ලැරන්ස් විජයවර්ධන යනු එසේ ගිටාරයේ හදවත සොයාගත් සුවිශේෂී සංගීත වේදියෙකි. ඔහුගේ ගිටාරයේ තත් අපගේ හදවත් හා සුසර වී අනුනාදය වීම ක්ලැරන්ස් ගේ ගීත කලාව ශ්‍රාවකයින්ගේ හදවත් තුල කිදාබැසීමට හේතුව ලෙස මම දකිමි. නික්මගොස් වසර විසිහයක් ගතවුවද ක්ලැරන්ස් ” කොපිකල හැක- සමකල නොහැක ” තත්වයට පත්ව ඇත්තේ එබැවිනි .
දයාබර ක්ලැරන්ස්
නික්ම ගොස් විසිහයක්- ගතවුණේ සසරක් (1996-12-13~2022-12-13)
ජයශංඛ කරුණාරත්න
කණ්ඩායම් නද නුඹයි සදාතන දිවියක රස ඳුන.
සැලෙන ගිටාරය
රඳවා මුසු වුනු
සොඳුරු සෙනේ බර
මද නල අතරින්
සිප එන සුළඟට
රසික දනන් හද
මෝහනයන් කළ
හද සුවපත් කොට
සංගීතය නම්
කණ්ඩායම් නද
නුඹයි සදාතන
දිවියක රස ඳුන..
1996 වසරෙහි අදවන් දිනෙක අහිමිව ගිය සදාතනික ගී හඬ..