කැබිනට් අනුමැතියෙන් පාසල් සිසුන්ට භාවනා වැඩසටහනක් : 400 නමකට 25,000 බැගින් රුපියල් කෝටියක දානයක් !

Share post:

සති පාසල පදනම මගින් ක්‍රියාත්මක කරන ‘සති පාසල වැඩසටහන’ සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

‘අධ්‍යාපන අමාත්‍යංශය සහ සති පාසල නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සති පාසල පදනම ඒකාබද්ධව සතිමත් බව පිහිටුවීම වැඩසටහන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.’

මීට අදාළ නියමු වැඩසටහන ලබන ජනවාරි 04දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන්පසු සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනක ම පෙරවරු 7.30 සිට 7.40 දක්වා මෙම වැඩසටහන සියලුම සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

නොසිතූ ප්‍රතිඵල

මෙම වැඩසටහනේ නිර්මාතෘ, මීතිරිගල නිස්සරණ සේනාසනයේ අධිපති උඩඊරියගම ධම්මජීව හිමියන් පවසන්නේ දහම් පාසල් දරුවන් මූලික කරගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සියලුම පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි. පන්ති කාමරයේදී දරුවන්ට සිහියෙන් සිටීමට ඉගැන්වීම මෙහි පරමාර්ථය බවත්, තමන් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිට රහසින් කොට මෙහි ප්‍රතිඵල ලද බවත් උන්වහන්සේ පවසයි. මෙයින් නොසිතූ ප්‍රතිඵල ලැබෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

බලධාරීන් කියන්නේ මොනවාද?

මෙම වැඩසටහන පාසල් සඳහා නිර්දේශ කිරීමට පෙර, ඒ පිළිබඳ පර්යේෂණයක් කළේ ද, එය සමස්ත සිසුන්ට හඳුන්වා දීම කළ හැකිද යන කරුණු සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධ කර ගැනීමට thetime.lk ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) හේමන්ත ප්‍රේමතිලක ඇමතීම වඩා සුදුසු බවත් ය.   

 

හෙට කියන්නම්

ඒ අනුව අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලකගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ හෙට (15) මෙය නිල වශයෙන් සියලුම මාධ්‍ය වෙත දැනුම් දෙන බවයි. අදාළ ව්‍යාපෘතිය විද්‍යා පීඨ මට්ටමෙන් මේ වනවිටත් අත්හදා බලා ඇති බවත්, එහෙත් එය නිල වශයෙන් නොවන බවත් අප කළ විමසීම්වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේය. අදාළ කැබිනට් පත්‍රිකාව තමන්ට මෙතෙක් නොලැබුණු බවත්, එය අතට ගෙන හෙට දිනයේ අදහස් පළකිරීම වඩාත් සුදුසු බවත් ඔහු වැඩිදුරටත් අප කළ විමසීමේදී සඳහන් කළේය.

සියලුම සිසුන්ට සුදුසු ද?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපනඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යාපෘතියක් පාසල්වල සියලුම සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බවයි. එය තෝරාගත් සිසුන් කොටසකට, ඔවුන්ගේ කැමැත්ත මත ක්‍රියාත්මක කිරීම කළ හැකි වුවත්, ඒ සඳහා ද දීර්ඝ කාලීන පර්යේෂණයක් අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.

පාසලේ කාර්යය

මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකු වන චාල්ස් දයානන්ද පවසන්නේ පාසල කළ යුත්තේ දරුවා තුළ නිදහස් චින්තනයක් ගොඩනැගීම බවයි. එවැනි චින්තනයක් ගොඩනැගීමෙන් පසු තමන් අනුගමනය කළ යුතු ආධ්‍යාත්මික මාර්ග හෝ වෙනත් ක්‍රියාමාර්ග දරුවා විසින් තීරණය කරනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

අම්පාරෙන් කතාවක් – කෝටියක දානයක්

මේ අතර කැබිනට් මණ්ඩලය මගින් මෙවැනි ව්‍යාපෘතියක් අනුමත කළ සතියේ ම පාසල් ඉලක්ක කරගෙන සිදුකරන තවත් ව්‍යාපෘතියක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයෙන් thetime.lk වෙත වාර්තා විය.

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකෙරෙන සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරන දිනයේ ස්වාමීන් වහන්සේලා 400 නමකට, එක් නමකට රුපියල් 25,000ක වටිනාකමකින් යුත් දානයක් ලබාදීමට සැලසුම් කර ඇත. ‘නැගෙනහිර පළාතේ අම්පාර – මඩකලපුව දෙදිසාවේ බොහෝදෙනෙකුට බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කරවීම වස් මුහුදු මට්ටමේ සිට අඩි 232ක් උසැති මහා ගල් තලාවක අඩි 75ක් උසැතිව නිර්මාණය වන මෙම ප්‍රතිමාව සඳහා ඔබ සැමට දායක විය හැක’ යනුවෙන් සඳහන් කරමින් මීට අදාළ ආධාර පත්‍රයක් එම ප්‍රදේශයේ පාසල් සහ අනෙකුත් සියලු ආයතන අතර බෙදාහරිමින් සිටින බව අප වෙත වාර්තා විය.

එහි සම්පූර්ණ පිටපතක් ද අප සතු ය.

දස කෝටියක්

බුද්ධංගල සමාධි ප්‍රතිමා නිර්මාණ දායක සභාවේ ලේකම් ටී.එම්. පොඩිනිලමේගේ අත්සනින් මෙය බෙදාහරිනු ලබයි. එහි මෙසේ සඳහන් වේ.

‘මේ බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයෙහි සියලු වැඩ කටයුතු සඳහා රුපියල් දස කෝටියක් පමණ වියදම් වී ඇත. එය සම්බුදු සසුනට පූජා කිරීම 2023 මාර්තු 02 දින සිදුකිරීමට නියමිත ය. 2023 පෙබරවාරි 27 දින සිට තුන් දින පිරිත් දේශනා, සත් දින පුද පූජා, ධර්ම දේශනා, නැගෙනහිර පළාත් වාසී මහා සංඝ රත්නය 400 නමක් විෂයෙහි දානමය පූජා…. එක් හිමි නමකගේ වියදම රුපියල් 25,000ක් වන අතර….’

දැනුවත් නෑ – පාසල්වල බෑ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. පුල්ලෙයිනායගම් පැවසුවේ එවැනි මුදල් එකතු කිරීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නැති බවයි. කෙසේ වෙතත් පාසල් තුළ එවැනි මුදල් එකතු කිරීම් සඳහා ඉඩක් නොමැති බව ද අධ්‍යක්ෂවරිය පැවසීය.

මේ දානය පිළිබඳව thetime.lk විමසීමට බුද්ධංගල නායක හිමියන් වන දීඝවාපියේ සුසීම හිමියන් මෙසේ පිළිතුරු දුන්නේය.

‘පාසල්වල කියන්නෙ දරුවන්ගෙන් මුදල් එකතු කරන්න වැඩසටහනක් නෑ. ගුරුවරුන්ට තමයි දායක සභා මහත්තුරුන්ගේ පැත්තෙන් දැනුම් දීලා තියෙන්නෙ යම් මුදල් දායකත්වයක් ලබාදෙන්න කියල. මේක ලොකු වියදමක් යන වැඩසටහනක්නෙ. ඒකයි.’

ලංකාවේ මන්දපෝෂණය

මේ අතර මෙරට ජනගහනයෙන් මිලියන 06 – 7.5 අතර පිරිසක් මන්දපෝෂණයෙන් පිඩාවිඳින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබිණි. ඒ, ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර සංවාදයකට සහභාගිවෙමිනි.

මෙහිදී රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංවාදයට සහභාගි වූ ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාවට සහාය වන ලෙස ද ඉල්ලීමක් කර ඇත. මෙම සංවාදය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහ විවිධ රටවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී තිබේ.

යුනිසෙෆ් සංවිධානය සහ ලෝක ආහාර සංවිධානය ද පෙන්වා දෙන්නේ ලංකාවේ ළමා මන්දපෝෂණය සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි.

පාසල් ආහාර වේලත් නවතී !

දුෂ්කර පාසල් සඳහා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ දිනපතා ලබාදුන් උදෑසන සහ දිවා ආහාර වේල මේ වන විට බොහෝ පාසල්වල නතර කර තිබේ. ඊට හේතු වී ඇත්තේ රජයෙන් ඊට අදාළ මුදල් නොලැබීමයි. මේ නිසා පාසල් මට්ටමෙන් මව්පියන්ගෙන් මුදල් එකතු කොට සතියකට එක දිනක් ප්‍රථමික අංශයේ සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...