Home Blog Page 217

සත්‍යය සඟවන්නේ කවුද? : සැකකරුවන් ඝාතනය ගැන පොලිසියේ කරුණු සැකසහිතයි – මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

0

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීමට අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සැකසහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් අවධාරණය කර තිබේ.

මේ නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යෑමේදී පළායෑමට උත්සාහ කිරීම නිසා පොලිස් වෙඩිපහරවලින් මරණයට පත්වීම වැලැක්වීමට මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කරන ලද්දේ 2008/398 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ තීන්දුවක් ප්‍රකාශයට පත්කරමිනි. කොළඹ – 10, මාලිගාවත්තේ පදිංචි මොහම්මද් රෂීඩ් ෆාතිමා ශර්මිලා විසින් ගොනුකර තිබූ පෙත්සමකට අදාළ ව මෙම තීන්දුව පසුගිය 03දා ලබාදෙන ලදි. බුවනෙක අලුවිහාරේ, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඒකමතිකව මෙහි තීන්දුව ලබාදුන්හ. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ දිව්‍යා මෑස්කරන් මෙහි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනීසිටියේය.

කොම්පඥ්ඥවීදිය පොලිස් ස්ථානයේ සැරයන් කේ. ඩබ්ලිව්. ජී. නිශාන්ත, කොස්තාපල් සිද්ධික්, සැරයන් කරුණාතිලක, පොලිස් පරීක්ෂක කේ.එන්.සී.පී. කළුආරච්චි, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

පළායෑමට උත්සාහ දැරීම

පෙත්සමේ සඳහන් පළමු සහ සිව්වැනි වගඋත්තරකරුවන් විසින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමග  2008 වසරේ සැප්තැම්බර් 02දා පස්වරු 1ට පමණ මොහම්මද් නිසාර් මොහොමඩ් ඉර්ෆාන් අත්අඩංගුවට ගෙන ඇත. ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, මිනීමැරීමට උත්සාහ කිරීම, මිනිමරුමකට සම්බන්ධ වීම සහ මංකොල්ලයකට අදාළ චෝදනා ඔහුට එරෙහිව එල්ල කර තිබේ.

අත්අඩංගුවේදී ඔහු ඝාතනය වී තිබේ. පළායෑමට උත්සාහ දැරීමේදී සැකකරුට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කතාවයි.

සැකසහිත බව

මේ පිළිබඳ බරපතළ සැකයක් මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුවේ සඳහන් කරන්නේ මාංචු දමා සිටි සැකකරු සමග ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටියදී පළායෑමට තැත් කළ බවත්, එහිදී ආත්මාරක්ෂාවට වෙඩි පහර 02ක් එල්ල කර ඇති බවත් පොලිසිය පාර්ශ්වයෙන් පැවසීම සැකයට හේතුවන බවයි. එසේ ම මෙවැනි අවස්ථාවක පිරිස සමග සසඳන විට ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බව සඳහන් කිරීම පිළිගත නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.

12(1) සහ 13(4)

එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන වගන්තිය සහ 13(4) සඳහන් නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූල ව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය යන වගන්තියත් මෙහිදී බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

මෙම අයිතිවාසිකම් ඇතුළු ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සහ එහි ආයතන බැඳී සිටින බව ද මෙම තීන්දුවේ විශේෂයෙන් අවධාරණය කර තිබේ.

වන්දි නියෝගයක්

මේ නිසා පෙත්සම්කාරියට වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 475,000ක් සහ රජයේ මුදලින් රුපියල් 250,000ක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්

මේ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 13දා වැදගත් ප්‍රකාශයක් සිදුකරන ලදි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයත් නොමග යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක මතු වන බවයි. අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි සැකකරු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සමග පොරබදා පළායෑමට උත්සාහ දැරූ බවට පොලිසිය මගින් වාර්තා කර ඇති තොරතුරුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය පහරදීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබීමත් යන කරුණු සැලකීමේදී ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර තිබිණි.

මහේස්ත්‍රාත් වගකීම

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.

එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

වගකිවයුත්තා කවුද?

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී, පොරබැදීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

තීන්දුව ලැබෙන තුරු නිවැරදිකරුවෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ඇය අවධාරණය කරයි.

යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන කථිකාචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.

අභියාචනා අවස්ථා කුමකටද?

සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.

නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.

රජයේ වගකීම ?

මෙම පොලිස් අත්අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් ද කරුණු සඳහන් කර තිබේ. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.

මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත්, සිය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණි.

අරගලකරුවන් බාර දුන් මුදල් පිළිබඳ අධිකරණ නියෝගය : සීඅයිඩිය ගෝඨාභයගේ ගෙදරට ගොස් පැය 03ක් ප්‍රශ්න කරයි !

0

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ, ඔහු දැනට පදිංචි නිවසට ගොස් ය. මෙම ප්‍රකාශය පැය 03කට ආසන්න කාලයක් සටහන් කරගෙන තිබේ. මෙම මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝග කෙරිණි.

මේ අතර මෙම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ පසුගිය 13දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එදින ය, ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබගන්නා ලෙස අධිකරණය නියෝග කළේ.

‘ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දුරකථන වාර්තා අවශ්‍යයි

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

දරුණු භූ කම්පනයෙන් තුර්කිය සහ සිරියාව කැළඹෙයි – ගලවා ගැනීමේ මෙහෙයුම්වලටත් බාධා

0

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ අද (සඳුදා 06) උදෑසන ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේ වනවිට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට වේලාවෙන් අළුයම 04:17 ගැසියන්ටෙප් නගරය ආසන්නයේ ඇති වූ මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ අංශක 7.8 ක ප්‍රබලත්වයෙක් සිදුව තිබිණි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව ඇති බවයි.

එය කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) පමණ දුරකට විසිරී ගොස් ඇත.

භූ කම්පන මාලාවක්!

එමෙන්ම පළමු භූ කම්පනය සිදුවී පැය 12 කට පමණ පසුව තරම්ම විශාල වූ තවත් කම්පනයක් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකාංක 7.5 ලෙස සඳහන්ව තිබිණි.

එය කහරමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේ කේන්ද්‍රෙකාට ගෙන සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම භූ කම්පනයෙන් තුර්කියේ ප්‍රධාන නගර 10 කට බලපෑම් සිදුව තිබූ අතර සිරියාව, සයිප්‍රසය, ජොර්දානය ,ලෙබනනය ,ජොර්ජියා ඇතුළු රටවල් රැසකට ද ඉන් බලපෑම් එල්ල වී ඇත.

සරණාගතයින් කබලෙන් ලිපට

විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙකු යුද්ධය පවතින කලාපයක් වන උතුරු සිරියාවේ සිටින අතර, මිලියන ගණනක් සරණාගතයින් සිරියානු-තුර්කි දේශසීමා දෙපස කඳවුරු ලා ජීවත් වුණි.

එහි තත්වයන් පිළිබඳ මේ වන විටත් වාර්තා වී නොමැති අතර කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වල තත්ත්වය මීටත් වඩා දරුණු විය හැකි බවට විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇති බොහෝ ගොඩනැඟිලි සුන්බුන් බවට පත්ව ඇත. විදෙස් වාර්තා පවසන්නේ භූකම්පයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

භූ කම්පනයත් සමග කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් සිරවී සිටින පිරිස් බේරා ගැනීම මුදා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.

මේ දරුණු අනතුර හේතුවෙන් වසර 2000කට වැඩි ඉතිහාසයක් සහිත ලෝක ප්‍රසිද්ධ ගැසියන්ටෙප් මන්දිරය සහ එහි ආරක්ෂිත පවුරට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වේ. එසේම භූ කම්පනය සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ සිටි ඝානා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියන් අට්සු පිළිබඳ තොරතුරක් මේ දක්වා වාර්තා නෙවන බවද මාධ්‍ය වාර්තා කරයි.

1939 මහා භූ කම්පනය

මින් පෙර 1939 වර්ෂයේදීත් රික්ටර් මාපාංක 7.8 ක භූ කම්පනයක් තුර්කියේදී සිදුවූ අතර එය සැලකෙන්නේ මේ දක්වා තුර්කියේ සිදුවූ දරුණුතම භූ කම්පනය ලෙසින් ය. ඊසාන දිග තුර්කියේ ප්‍රදේශ කිහිපයකට මෙම භූ කම්පනය නිසා බරපතල හානි සිදුවිය. එකල වාර්තාවූ ආකාරයට එම භූමි කම්පාව හේතුවෙන් තුර්කි වැසියන් 30,000කට වැඩි පිරිසක් මියගිය බව සඳහන් වේ.

මෙයින් නැගෙනහිර තුර්කියේ නගර වන ඉර්සින්කන්, සිවාස්,ටින්සෙලි, බින්ගෝල් වැනි ප්‍රදේශවලට සිදුවූ හානිය ඉතා ඉහළය.

99 අගෝස්තු භූ කම්පනය

එසේම 1999 වර්ෂයේ අගෝස්තු මාසයේදී බටහිර තුර්කියේ ඉස්මිත් ප්‍රදේශයේද දරුණු භූමි කම්පා තත්වයක් වාර්තා විය. රිකිටර් මාපකයේ අංශක 7.4ක් ලෙස වාර්තාවූ මෙම භූ කම්පනය හේතුවෙන් තුර්කි වැසියන් 17,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

T20 කාන්තා ලෝක කුසලානය : පළමු පුහුණු තරගයෙන් ලංකාවට ලකුණු 2ක ජයක්

කාන්තා ක්‍රිකට් T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරාජයට පත් කරමින් ලකුණු දෙකක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 149ක් රැස් කළේය.

එහිදී හසිතා සමරවික්‍රම ලකුණු 56 රැස් කල අතර ආබාධයකට ලක්ව ඇයට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

විශ්මි ගුණරත්න පන්දු 34 කට මුහුණ දෙමින් ලකුණු 36ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් අයර්ලන්ත පිලෙහි ගැබී ලෙවිස් ලකුණු 38 ක් රැස් කළේ පන්දු 24 කට මුහුණ දෙමිනි.

එමෙන්ම ආර්ලේන් කෙලී ලකුණු 30 ක් රැස් කළ අතර නායිකා ලෝරා ඩෙලනිට ලබා ගත හැකි වූ පන්දු 23 කදී ලකුණු 21පමණි.

ඇයට දුවන විට දැවී යාමකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ පන්දු 19.5 කදී සියල්ලන් දැවී ලකුණු 147 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ඔෂාධි රණසිංහ, ඉනෝකා රණවීර කඩුලු 03 බැගින් දවා ගත් අතර සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හානි අතර කඩුලු 1 බැගිනි බෙදී ගියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් පිල සමග එළඹෙන 08 වැනිදා කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතය.

විදුලි කප්පාදුව : ලංකා ගුරු සේවා සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

0

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ඒ එම පෙත්සම අද (06) සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ ලැබූ අවස්ථාවේදීය.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස් ජනරාල්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණය විසින් නියම කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් විසින් එම පෙත්සම ගොනුකර තිබුණු අතර පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබා දුන් බවය.

එම ප්‍රතිඥාව කඩකරමින් වගඋත්තරකරුවන් විදුලි බලය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් අදාල පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ගොනුකළ පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 8 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඒ අදාල පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

සබැඳි පුවත්

උ.පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව : මණ්ඩලයෙන් ප්‍රතිඥාවක් : හදිසියි, කල්දාන්න බෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

උ. පෙළ සිසුන් වෙනුවෙන් HRCSL ශ්‍රේෂ්ඨාධිකරණයට

පරිසරය හිලව් කොට ණය ගැනීමේ ගිවිසුමකට හෙට අත්සන් තබයි : රටට අරමුදල් ලබාගැනීම අපේ අරමුණයි – පරිසර අමාත්‍යංශ ලේකම්

0

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (Debt for Nature) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් හෙට (07) ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) අතර අත්සන් කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වර්තමානයේ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බෑන් කි-මූන් (Ban Ki-Moon) අද (06) උදෑසන ලංකාවට පැමිණියේ ද මේ අවස්ථාවට සහභාගි වීම ඇතුළු සාකච්ඡා කිහිපයක් සඳහා ය.

‘හෙට අත්සන් කරනවා’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පරිසර අමාත්‍යංශයේ ලේකම් මෙන්ම ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු වන වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුමට හෙට දිනයේදී ලංකාව පාර්ශ්වයෙන් තමන් සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය පාර්ශවයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් (Frank Rijsberman) අත්සන් කරන බවයි. මෙම ගිවිසුම මගින් පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ අරමුදල් ලබාගැනීම, විකල්ප බලශක්ති ප්‍රවර්ධනය සහ නව තාක්ෂණික ක්‍රම මගින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා සහාය ලබාගැනීම ඇතුළු අරමුණු රැසක් ඉටුකරගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් අප කළ විමසීමේදී අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

සිදුවන්නේ කුමක්ද ?

මෙසේ පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීමේ මුවාවෙන් මෙරට පරිසර පද්ධති පාලනය විදෙස් රටවලට ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු දිගින්-දිගටම අනාවරණය කළහ. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී අප කළ විමසීමේදී පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා එවැනි සාකච්ඡාවක් පවතින බව තහවුරු කළේය. එහෙත් එය මුදල් අමාත්‍යංශය ඇතුළු වෙනත් රජයේ ආයතනවල කඹ ඇදීම් නිසා ප්‍රමාදවෙමින් තිබෙන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

03දා නොකී දේ

පසුගිය 03දා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ පරිසරවේදීන් පිරිසක් අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මුණගැසුණු අතර, එහිදී ද ඔහු මෙවැනි සාකච්ඡාවක් පවතින බව පමණක් සඳහන් කර තිබිණි.

කොහොමහරි ණය ?

කෙසේ වෙතත් ලෝක බැංකුවේ Ecosystem Conservation and Management Project – ESCAMP ව්‍යාපෘතිය මගින් සිදු කළ සිංහරාජ වනාන්තර සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මගින් සිදු වූ වනාන්තර විනාශය පිළිබඳව පෙන්වා දෙන පරිසරවේදීහු, ලෝකයේ මෙවැනි ව්‍යාපෘති මගින් සිදු කළ වනාන්තර විනාශයන් සහ ජෛව මංකොල්ල පිළිබඳව කිසිදු අවධානයක් නොමැතිව මෙවැනි ගිවිසුම් මගින් ණය මුදල් ලබාගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරති.

සබැඳි පුවත්

ටිරාන් අලස් – ඩයනා ගමගේ සහ දර්ශන හඳුන්ගොඩ : භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මාධ්‍යවේදීන්ට අදාළ නැද්ද ?

0

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස්ට සහ රාජ්‍ය ඇමති ඩයනා ගමගේට චෝදනා එල්ල වන වංචා – දූෂණ රැසක් සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපොළේදී අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගිනි. ඩුබායිහි සිට ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අද දහවල් 12ට ඔහු කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මේ ආකාරයට යූටියුබ් ඔස්සේ අදහස් ප්‍රකාශ කළ විශාල පිරිසක් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීම පසුගිය කාලයේ සිදු විය. ඒ අතරින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එසේ අත්අඩංගුවට ගත සේපාල් අමරසිංහ තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2021 වසරේදී අත්අඩංගුවට ගත් දෙමළ මාධ්‍ය යූටියුබ් ක්‍රියාකාරීන් දෙදෙනෙකු මෑතකදී නිදහස් කෙරිණි.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට ආණ්ඩුව දිගින්-දිගටම කටයුතු කරමින් සිටින අතර, දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගන්නා ලද නිශ්චිත චෝදනාව මෙතෙක් අනාවරණය වී නැත. මේ සම්බන්ධයෙන් විමසීමට අප කළ උත්සාහය ද අසාර්ථක වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස්පතිවරයා සහභාගි වන විශේෂ රැස්වීමකට සහභාගි වී සිටින බව ඔහුගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරියා දැනුම් දුන් නිසා ය.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.


ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)

දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.

විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)


රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)

දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.

අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) ( ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි දී වැඩිදුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.
(The right to support or to criticize the governments and political parites, policies and programmes is fundamental to the democratic way of life,and the freedom of speech and expression is one which cannot be denied without violaring those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.)

‘වැනීසියේ බණ්ඩාර’ සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්

0

සංස්කෘතික උද්ධච්චභාවය කියන්නෙ සනීප කරන්න ටිකක් කල්ගත වන රෝගී තත්ත්වයක්. ජාතිය, ආගම, ප්‍රදේශය විතරක් නෙමේ තමන් ඉගෙන ගත්ත පාසලත් කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාධිය පැතිර යමින් තියෙනවා. සංස්කෘතික වශයෙන් සුරතාන්තයට පත් නොවීම තමයි මේකෙ රෝග නිධානය. අධ්‍යාපනය, ආගම , කලාව සහ ජනමාධ්‍ය තමයි මේ රෝගය පැතිරවීමේ වාහකයො බවට පත් වෙලා තියෙන්නෙ. සංස්කෘතික සුරතාන්තය අහිමි ජනතාවකගෙ විලාපය අපිට හතර අතින් ඇහෙනවා. මෙහෙම තත්ත්වයකදි තමන්ගෙ සංස්කෘතික අනෙකා දිහා හෙලන්නෙම වෛරී බැල්මක්. දූපත්වාසීන් අතර මේ රෝගය බෝවීමෙ වේගය වැඩියි. හැබැයි මේ ලෙඩේ උත්සන්න වෙන්න වෙන්න සමාජයක් ගමන් කරන්නෙ ම්ලේච්ඡත්වය පැත්තට. මේ රෝගය යම් පමණකට හරි සුව කර ගන්න පුළුවන් ඔසුවක් තමයි ප්‍රබන්ධ සාහිත්‍ය. ශමෙල් ජයකොඩි කියන්නෙ කාලයක් තිස්සෙ සංස්කෘතික අනෙකත්වය පාඨකයට දැක ගන්න සලස්වන පරිකල්පනීය මෙහෙයුමක නිරතවෙමින් ඉන්න නවකතාකාරියක්. ඇමෙරිකා, කුමර කොබෙයි සහ මගේ චිකාගෝ හදවත වගේම ඇගේ අලුත්ම නවකතාව වන වැනීසියේ බණ්ඩාරත් සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්.

මේ නවකතාවේ ප්‍රධාන චරිතය ලංකාවේ ඉඳලා ඉතාලියට සංක්‍රමණය වන තරුණයෙක්. ඔහුගේ නම බණ්ඩාර. ( මේ නමෙත් තියෙන්නෙ උත්ප්‍රාසාත්මක හැඟවුමක්) දූපතක ඉඳලා මහාද්වීපයකට සිද්ධ වෙන මේ සංක්‍රමණය තුළ සංස්කෘතික විවිධත්වයේ සහ සංකීර්ණත්වයේ අසිරිය නිරාවරණය වෙන්නෙ සාරවත් කතිකාමය රිද්මයකින්. ගෘහනිර්මාණය, කලාව වගේම මාෆියා කල්ලි ඉතාලි ජීවිතයේ අවියෝජනීය අංග බවට පත් වෙන හැටිත් ශමෙල් අපූරුවට කතාව ඇතුළට ගේනවා.
හැබැයි කතුවරිය තමන්ගෙ කතන්දරය ඉදිරිපත් කරන්නෙ සරල රේඛීය ආඛ්‍යානයකින්. පාඨකයා වල්මත් කරන, නන්නත්තාර කරන, අතරමං කරන අතුරු මාවත් වගේම කැළෑ පාරවල් ඒ ආඛ්‍යාන රටාවෙ දකින්න ලැබෙන්නෙ නෑ. හරියට අධිවේගි මාර්ගයක යනව වගේ. ඒ හින්දා පාඨකයට පඨිතයත් එක්ක පොරබදන්න තියෙන අවකාශය අඩුයි. ශමෙල් තේමාත්මකයටයි කතන්දරයටයි දක්වන අවධානය ප්‍රබන්ධ තාක්ෂණයට නොදැක්වීම ඒකට හේතුව වෙන්න ඇති. මේ ප්‍රබන්ධ තාක්ෂණයෙ අඩුව නිසා ඇයට සිද්ධ වෙනවා උපදේශාත්මක දෙබස්වල පිහිට පතන්න. කතන්දරය වටිනාකම එකතු කළ කතාවක් (Value added story) වෙතට ඔසවා තියෙන්න පුළුවන් වෙන්නෙ මේ ප්‍රබන්ධ තාක්ෂණයෙ උපකාරයෙන්.

මොනව වුණත් , හුඟක් සිංහල නවකතාකරුවන් සංස්කෘතික නූල කඩා ගන්න බයේ දඟලද්දි ශමෙල් ගොඩනගන මේ තේමාත්මක කතිකාව දූපත්මය චින්තනය මහාද්වීපික චින්තනයක් දක්වා ව්‍යාප්ත කරන්න නිසැක ලෙසම බලපාන බව නම් කියන්න පුළුවන් .

උදිත අලහකෝන්

ලංකා බැංකුවේ LC ප්‍රශ්නයක් – ගල්අඟුරු ගෙන්වීමේ ඉන්දුනීසියා උත්සාහයත් අසාර්ථකයි : අප්‍රේල් මාසය තෙක් ප්‍රශ්නයක් නෑ – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

0

ඉන්දුනීසියාවේ සමාගමකින් හදිසි මිලදීගැනීමක් ලෙස ගල්අඟුරු මිලදීගැනීමේ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ ලංකා ගල්අඟුරු සමාගම මෙම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප වීමයි.

‘ප්‍රශ්නයක් තියෙනවා’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කරන්නේ ගැටළුවක් ඇති බවත්, එය විසඳාගැනීමට උත්සාහ දරමින් සිටින බවත් ය. කෙසේ වෙතත් පෙබරවාරි සහ මාර්තු මාසවල ගල්අඟුරු අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත්, බරපතළ ගැටළුව මතුවන්නේ අප්‍රේල් මාසයේ මුල සිට බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

කැබිනට් තීරණය

පසුගිය වසර අවසානයේ ගල්අඟුරු ටෙන්ඩරයකට අදාළ කටයුතු අසාර්ථක වීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් මීට අදාළ තීරණයක් ගනු ලැබිණි. ඒ, ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720,000ක් ආනයනය කිරීමේ සියලු වගකීම් ලංකා ගල්අඟුරු සමාගමට පැවරීමයි. ඒ අනුව ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ඒකාබද්ධ මිලදීගැනීමක් ලෙස මෙම ගල්අඟුරු තොගය මිලදීගැනීමට සමාගම කටයුතු කරමින් සිටි බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා බැංකුව පිළිබඳ ගැටළුවක්

එහෙත් ඊට අදාළ ණයවරපත් (LC – Letter of credit) විවෘත කරගැනීම දිගටම ගැටළුවක් ව පැවතිණි. මාස 6ක කාලයක් සඳහා ණයවර ලිපිවලට ගල්අඟුරු සැපයීමට අදාළ ඉන්දුනීසියා සමාගම එකඟ වී ඇත. එය ලංකා බැංකුව මගින් සිදුකිරීමට අපේක්ෂා කළ ද, ඉන්දුනීසියාවේ අරිස්ටා මිත්‍රා බැංකුව (Arista Mitra’s bank) ලංකා බැංකුවේ එම ණයවරපත් පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

UAE සහ හොන්ග්කොන්ග්

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Haris Australia Pvt Ltd and Coral Energy DMCCසහ හොන්ග්කොන්ග්හි Combasst Industry Development Co. Ltd. සම්බන්ධයෙන් ද මෙම ගනුදෙනුව සඳහා සලකා බලමින් සිටී. එහෙත් හොන්ග්කොන්ග් සමාගම පිළිබඳව ද විශ්වාසය තැබිය නොහැකි බව සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරොච්චෝලේ ?

පවතින වර්ෂා තත්ත්වය ලබන මාසය වන විට අවසන් වනු ඇති බවත්, අප්‍රේල් මාසය වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය උපරිම ධාරිතාවට ළඟා නොවුණහොත් බරපතළ විදුලි අර්බුදයක් උද්ගත වනු ඇති බවත් විදුලිබල මණ්ඩලය පාර්ශ්වයෙන් පවසයි. එහෙත් ලංකා ගල්අඟුරු සමාගම අපේක්ෂා කරන ආකාරයට රුපියල් සැපයීමේ හැකියාවක් ද නොමැති බව විදුලිබල මණ්ඩලය එම සමාගමට දැනුම් දී තිබේ.

ඊයේ මාධ්‍ය හමුව

මේ අතර ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සඳහන් කර තිබුණේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බවයි.

ඉදිරි සතිය වෙනුවෙන් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බව ද ඔහු එහිදී සඳහන් කර තිබිණි.

‘සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවකට ඇවිල්ලා. එම එකඟතාව තමයි නැව්ගත කිරීමේදී සීයට 30ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩබෑමේදී ඉතිරි සීයට 70 මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕනෙ වුණා.’

රුපියල් බිලියන 1.35ක මුදලක සීයට 30ක ගෙවීමක් අපි කළා එක නැවකට. හැබැයි අපිට තව නැව් දෙකකට ගෙවීමට තිබුණා. එම ගාස්තු දෙක නියමව තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ ගිය සුමානෙ. නමුත් අපිට මේ වනවිටත් ඒක ගෙවන්න වුණේ නෑ. මොකද ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මුදල් අවශ්‍යතාව සැපිරීමට අපොහොසත් වුණ නිසා.’

ලක්විජය ගල්අගුරු බලාගාරය වෙතින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ගල්අඟුරු නැව් 03කට ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක් හෙවත් රුපියල් බිලියන 4.56ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත ලිපියක් ද යොමුකර තිබිණි.

මම සාම්ප්‍රදායික කතාවක් කරන්නෙ නෑ : අපිට අහිමි වූ නිදහස දිනාගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඊයේ (04) ජාතිය අමතමිනි.

රට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධව සහ ඉන් ගොඩ ඒම සඳහා ගත යුතු පියවර සම්බන්ධව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

මම අද පවත්වන්නේ සම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙමෙයි. මම කතා කරන්නේ අද අපිට අහිමි වී තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. අද අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මින් පෙර මෙවැනි බරපතළ තත්ත්වයකට අපි මුහුණ දී නැහැ. අපිට එහෙම වුණේ ඇයි. අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වරද පටවන්න බැහැ. අපි මුල සිටම වරද්ද ගත්තා.

නිදහසින් පස්සේ අපි බෙදුනා. සැකය වෛරය ඇතිවෙන තෙක්ම බෙදුනා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අයව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා. දේශපාලනයේදී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කිව්ව දේශපාලකයින්ව ජනතාව ප්‍රතික්ෂේප කළා. රටේ සැබෑ තත්ත්වය පෙන්වාදී පිළියම් සොයන අයට තැනක් ලැබුණේ නැහැ.

අපි පොරොන්දු දේශපාලනයක සිර වුණා. අපිට අයිති නැති ණයට ගත්තු සම්පත් මත යැපුනා. වැඩි වැඩියෙන් ණය ගත්තා. රැකියා, උපකරණ, මුදල් බෙදුවා. අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න. දරුවෙක් පාසලට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න වගේ පුද්ගලික වාසි බලාගෙන අපි වැඩ කළා.

අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් බලය ලබාගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බකර ගන්න. අපි පොරොන්දුවලට හිර වුණා. අපි සටන් පාඨවලට හිර වුණා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටුකිරීම සඳහා වැඩි වැඩියෙන් ණය ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙමෙයි. අපි බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා.

සිංගප්පූරුව ගොඩනගන හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙහෙම කිව්වා. ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල්තැන දීපු නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් සිංගප්පූරුවත් අද විනාශයි.

ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. නමුත් මම ඒකට කැමති නැහැ. අමාරුයි, වේදනාකාරී, දුෂ්කරයි.. නමුත් ඒ තුවාලය අපි හොඳකර ගමු. වේදනාව කෙටි කාලයකට වින්ඳොත් තුවාලය නිට්ටාවටම සුව කරගනන්න පුළුවන්.

සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න බැහැ. සැබෑ ආර්ථික නිදහසක් ලබා ගන්න නම් අපිට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරාවලෙන් ගොඩ එන්න අපිට තිබෙන්නේ එකම එක ඉනිමඟයි. දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉනිමඟ ඇදලා පැත්තකට දැම්මොත් අපිට රටක් නැහැ. හෙටකුත් නැහැ.

මේ අවුරුද්දේ මුල් මාස 06 පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල්ඇතිවම කිව්වා. අකමැත්තෙන් වුවත් ඊට මුහුණ දෙන්න අපිට සිදුවෙනවා. රට වෙනුවෙන් ඒක විඳගන්න අපිට සිදුවෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ විශාල පිරිසක් දුගී භාවයෙන් මිදී මධ්‍යම පන්තිය වෙත පිවිසියත් මේ රට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි බිමක් බවට පත්වී තිබෙනවා.

වැඩබිම්වල උරෙන් උ ගැටිය යුතු තරුණයින් විදේශගතවීම සඳහා පෝලීම්වල තෙරපෙන හැටි මම දකිනවා. අපි එය වෙනස් කළ යුතුයි. එසේ නම් අපි මේ ආර්ථිකය නවීකරණය කර ලෝකයට විවාත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන්ව සදාතනික යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන පක්ෂ කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බලාපොරොත්තුවෙන් සිටි සිස්ටම් චේන්ජ් වෙනසයි. ඒ සඳහා මාගේ රජය නව ප්‍රතිසංස්කරණ මාවතකට යොමුවී තිබෙනවා. ඒ වෙනුවෙන් ගනු බලන තීරණ යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබුවද අපිට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපිට ඒ පිළිවෙත අනුගමනය කළ යුතුව තිබෙනවා.

මේ අර්බුදය ජය ගන්න නම් පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන්ම දායක විය යුතුයි. රටට අවශ්‍ය මූලික පියවර සහ පදනම දැන් සකස් කර අවසන්.

IMF සහාය ලබාගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අපි සාර්ථකව අවසන් කරගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් විතරක් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි සමස්ත ක්‍රමයේම වෙනසක් සිදුකළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රනය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැලපෙන විදියට වෙනස් කළ යුතුයි. ඒ වෙනස අපිටත් රටටත් දැනෙන යහපත් එකක් විය යුතුයි.

අලුත් ක්‍රමවේදය තුළ තරුණ සහ කාන්තාවන්ගේ නියෝජනය සඳහාත් වැඩි ඉඩක් ලබාදිය යුතුයි. මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පනත් ගණනාවක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. උතුරු නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටලු ගැන කඩිනම් පියවර ගත යුතුයි. ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කළා. ඉඩම් මුදාහැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අපි ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

මා මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්නේ නැහැ. රෝග නිදානයට පිළියම් කිරීමට. එය දුෂ්කරයි. අසීරුයි. ජනාධිපති ධුරයට පත්වූ දා පටන් මට ගන්න වුණු තීරණ බොහෝමයක් ජනප්‍රිය තීරණ නෙමෙයි. නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිඳු පුද්ගලයෙකු තෙල් පෝලිම්වල මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. කවුරු කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමග එක්වී මෙම නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.

එකමුතුව ඉදිරියට ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදා කරගන්න පුළුවන්. අනාගතයට අලුත් රටක් නිර්මාණය කිරීම අපි සැමගේ වගකීම. ඒ වෙනුවෙන් එක්වෙන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර 25 සඳහා අපි සකස් කර ඇති සැලසුම් සමගින් අපි එක්සත් ගමනක් යමු. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද මේ ගමනට උර දිය යුතුයි.