ලංකා බැංකුවේ LC ප්‍රශ්නයක් – ගල්අඟුරු ගෙන්වීමේ ඉන්දුනීසියා උත්සාහයත් අසාර්ථකයි : අප්‍රේල් මාසය තෙක් ප්‍රශ්නයක් නෑ – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

Share post:

ඉන්දුනීසියාවේ සමාගමකින් හදිසි මිලදීගැනීමක් ලෙස ගල්අඟුරු මිලදීගැනීමේ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ ලංකා ගල්අඟුරු සමාගම මෙම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප වීමයි.

‘ප්‍රශ්නයක් තියෙනවා’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කරන්නේ ගැටළුවක් ඇති බවත්, එය විසඳාගැනීමට උත්සාහ දරමින් සිටින බවත් ය. කෙසේ වෙතත් පෙබරවාරි සහ මාර්තු මාසවල ගල්අඟුරු අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත්, බරපතළ ගැටළුව මතුවන්නේ අප්‍රේල් මාසයේ මුල සිට බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

කැබිනට් තීරණය

පසුගිය වසර අවසානයේ ගල්අඟුරු ටෙන්ඩරයකට අදාළ කටයුතු අසාර්ථක වීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් මීට අදාළ තීරණයක් ගනු ලැබිණි. ඒ, ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720,000ක් ආනයනය කිරීමේ සියලු වගකීම් ලංකා ගල්අඟුරු සමාගමට පැවරීමයි. ඒ අනුව ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ඒකාබද්ධ මිලදීගැනීමක් ලෙස මෙම ගල්අඟුරු තොගය මිලදීගැනීමට සමාගම කටයුතු කරමින් සිටි බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා බැංකුව පිළිබඳ ගැටළුවක්

එහෙත් ඊට අදාළ ණයවරපත් (LC – Letter of credit) විවෘත කරගැනීම දිගටම ගැටළුවක් ව පැවතිණි. මාස 6ක කාලයක් සඳහා ණයවර ලිපිවලට ගල්අඟුරු සැපයීමට අදාළ ඉන්දුනීසියා සමාගම එකඟ වී ඇත. එය ලංකා බැංකුව මගින් සිදුකිරීමට අපේක්ෂා කළ ද, ඉන්දුනීසියාවේ අරිස්ටා මිත්‍රා බැංකුව (Arista Mitra’s bank) ලංකා බැංකුවේ එම ණයවරපත් පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

UAE සහ හොන්ග්කොන්ග්

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Haris Australia Pvt Ltd and Coral Energy DMCCසහ හොන්ග්කොන්ග්හි Combasst Industry Development Co. Ltd. සම්බන්ධයෙන් ද මෙම ගනුදෙනුව සඳහා සලකා බලමින් සිටී. එහෙත් හොන්ග්කොන්ග් සමාගම පිළිබඳව ද විශ්වාසය තැබිය නොහැකි බව සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරොච්චෝලේ ?

පවතින වර්ෂා තත්ත්වය ලබන මාසය වන විට අවසන් වනු ඇති බවත්, අප්‍රේල් මාසය වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය උපරිම ධාරිතාවට ළඟා නොවුණහොත් බරපතළ විදුලි අර්බුදයක් උද්ගත වනු ඇති බවත් විදුලිබල මණ්ඩලය පාර්ශ්වයෙන් පවසයි. එහෙත් ලංකා ගල්අඟුරු සමාගම අපේක්ෂා කරන ආකාරයට රුපියල් සැපයීමේ හැකියාවක් ද නොමැති බව විදුලිබල මණ්ඩලය එම සමාගමට දැනුම් දී තිබේ.

ඊයේ මාධ්‍ය හමුව

මේ අතර ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සඳහන් කර තිබුණේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බවයි.

ඉදිරි සතිය වෙනුවෙන් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බව ද ඔහු එහිදී සඳහන් කර තිබිණි.

‘සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවකට ඇවිල්ලා. එම එකඟතාව තමයි නැව්ගත කිරීමේදී සීයට 30ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩබෑමේදී ඉතිරි සීයට 70 මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕනෙ වුණා.’

රුපියල් බිලියන 1.35ක මුදලක සීයට 30ක ගෙවීමක් අපි කළා එක නැවකට. හැබැයි අපිට තව නැව් දෙකකට ගෙවීමට තිබුණා. එම ගාස්තු දෙක නියමව තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ ගිය සුමානෙ. නමුත් අපිට මේ වනවිටත් ඒක ගෙවන්න වුණේ නෑ. මොකද ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මුදල් අවශ්‍යතාව සැපිරීමට අපොහොසත් වුණ නිසා.’

ලක්විජය ගල්අගුරු බලාගාරය වෙතින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ගල්අඟුරු නැව් 03කට ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක් හෙවත් රුපියල් බිලියන 4.56ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත ලිපියක් ද යොමුකර තිබිණි.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...