‘වැනීසියේ බණ්ඩාර’ සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්

Share post:

සංස්කෘතික උද්ධච්චභාවය කියන්නෙ සනීප කරන්න ටිකක් කල්ගත වන රෝගී තත්ත්වයක්. ජාතිය, ආගම, ප්‍රදේශය විතරක් නෙමේ තමන් ඉගෙන ගත්ත පාසලත් කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාධිය පැතිර යමින් තියෙනවා. සංස්කෘතික වශයෙන් සුරතාන්තයට පත් නොවීම තමයි මේකෙ රෝග නිධානය. අධ්‍යාපනය, ආගම , කලාව සහ ජනමාධ්‍ය තමයි මේ රෝගය පැතිරවීමේ වාහකයො බවට පත් වෙලා තියෙන්නෙ. සංස්කෘතික සුරතාන්තය අහිමි ජනතාවකගෙ විලාපය අපිට හතර අතින් ඇහෙනවා. මෙහෙම තත්ත්වයකදි තමන්ගෙ සංස්කෘතික අනෙකා දිහා හෙලන්නෙම වෛරී බැල්මක්. දූපත්වාසීන් අතර මේ රෝගය බෝවීමෙ වේගය වැඩියි. හැබැයි මේ ලෙඩේ උත්සන්න වෙන්න වෙන්න සමාජයක් ගමන් කරන්නෙ ම්ලේච්ඡත්වය පැත්තට. මේ රෝගය යම් පමණකට හරි සුව කර ගන්න පුළුවන් ඔසුවක් තමයි ප්‍රබන්ධ සාහිත්‍ය. ශමෙල් ජයකොඩි කියන්නෙ කාලයක් තිස්සෙ සංස්කෘතික අනෙකත්වය පාඨකයට දැක ගන්න සලස්වන පරිකල්පනීය මෙහෙයුමක නිරතවෙමින් ඉන්න නවකතාකාරියක්. ඇමෙරිකා, කුමර කොබෙයි සහ මගේ චිකාගෝ හදවත වගේම ඇගේ අලුත්ම නවකතාව වන වැනීසියේ බණ්ඩාරත් සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්.

මේ නවකතාවේ ප්‍රධාන චරිතය ලංකාවේ ඉඳලා ඉතාලියට සංක්‍රමණය වන තරුණයෙක්. ඔහුගේ නම බණ්ඩාර. ( මේ නමෙත් තියෙන්නෙ උත්ප්‍රාසාත්මක හැඟවුමක්) දූපතක ඉඳලා මහාද්වීපයකට සිද්ධ වෙන මේ සංක්‍රමණය තුළ සංස්කෘතික විවිධත්වයේ සහ සංකීර්ණත්වයේ අසිරිය නිරාවරණය වෙන්නෙ සාරවත් කතිකාමය රිද්මයකින්. ගෘහනිර්මාණය, කලාව වගේම මාෆියා කල්ලි ඉතාලි ජීවිතයේ අවියෝජනීය අංග බවට පත් වෙන හැටිත් ශමෙල් අපූරුවට කතාව ඇතුළට ගේනවා.
හැබැයි කතුවරිය තමන්ගෙ කතන්දරය ඉදිරිපත් කරන්නෙ සරල රේඛීය ආඛ්‍යානයකින්. පාඨකයා වල්මත් කරන, නන්නත්තාර කරන, අතරමං කරන අතුරු මාවත් වගේම කැළෑ පාරවල් ඒ ආඛ්‍යාන රටාවෙ දකින්න ලැබෙන්නෙ නෑ. හරියට අධිවේගි මාර්ගයක යනව වගේ. ඒ හින්දා පාඨකයට පඨිතයත් එක්ක පොරබදන්න තියෙන අවකාශය අඩුයි. ශමෙල් තේමාත්මකයටයි කතන්දරයටයි දක්වන අවධානය ප්‍රබන්ධ තාක්ෂණයට නොදැක්වීම ඒකට හේතුව වෙන්න ඇති. මේ ප්‍රබන්ධ තාක්ෂණයෙ අඩුව නිසා ඇයට සිද්ධ වෙනවා උපදේශාත්මක දෙබස්වල පිහිට පතන්න. කතන්දරය වටිනාකම එකතු කළ කතාවක් (Value added story) වෙතට ඔසවා තියෙන්න පුළුවන් වෙන්නෙ මේ ප්‍රබන්ධ තාක්ෂණයෙ උපකාරයෙන්.

මොනව වුණත් , හුඟක් සිංහල නවකතාකරුවන් සංස්කෘතික නූල කඩා ගන්න බයේ දඟලද්දි ශමෙල් ගොඩනගන මේ තේමාත්මක කතිකාව දූපත්මය චින්තනය මහාද්වීපික චින්තනයක් දක්වා ව්‍යාප්ත කරන්න නිසැක ලෙසම බලපාන බව නම් කියන්න පුළුවන් .

උදිත අලහකෝන්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...