පරිසරය හිලව් කොට ණය ගැනීමේ ගිවිසුමකට හෙට අත්සන් තබයි : රටට අරමුදල් ලබාගැනීම අපේ අරමුණයි – පරිසර අමාත්‍යංශ ලේකම්

Share post:

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (Debt for Nature) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් හෙට (07) ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) අතර අත්සන් කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වර්තමානයේ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බෑන් කි-මූන් (Ban Ki-Moon) අද (06) උදෑසන ලංකාවට පැමිණියේ ද මේ අවස්ථාවට සහභාගි වීම ඇතුළු සාකච්ඡා කිහිපයක් සඳහා ය.

‘හෙට අත්සන් කරනවා’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පරිසර අමාත්‍යංශයේ ලේකම් මෙන්ම ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු වන වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුමට හෙට දිනයේදී ලංකාව පාර්ශ්වයෙන් තමන් සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය පාර්ශවයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් (Frank Rijsberman) අත්සන් කරන බවයි. මෙම ගිවිසුම මගින් පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ අරමුදල් ලබාගැනීම, විකල්ප බලශක්ති ප්‍රවර්ධනය සහ නව තාක්ෂණික ක්‍රම මගින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා සහාය ලබාගැනීම ඇතුළු අරමුණු රැසක් ඉටුකරගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් අප කළ විමසීමේදී අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

සිදුවන්නේ කුමක්ද ?

මෙසේ පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීමේ මුවාවෙන් මෙරට පරිසර පද්ධති පාලනය විදෙස් රටවලට ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු දිගින්-දිගටම අනාවරණය කළහ. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී අප කළ විමසීමේදී පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා එවැනි සාකච්ඡාවක් පවතින බව තහවුරු කළේය. එහෙත් එය මුදල් අමාත්‍යංශය ඇතුළු වෙනත් රජයේ ආයතනවල කඹ ඇදීම් නිසා ප්‍රමාදවෙමින් තිබෙන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

03දා නොකී දේ

පසුගිය 03දා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ පරිසරවේදීන් පිරිසක් අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මුණගැසුණු අතර, එහිදී ද ඔහු මෙවැනි සාකච්ඡාවක් පවතින බව පමණක් සඳහන් කර තිබිණි.

කොහොමහරි ණය ?

කෙසේ වෙතත් ලෝක බැංකුවේ Ecosystem Conservation and Management Project – ESCAMP ව්‍යාපෘතිය මගින් සිදු කළ සිංහරාජ වනාන්තර සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මගින් සිදු වූ වනාන්තර විනාශය පිළිබඳව පෙන්වා දෙන පරිසරවේදීහු, ලෝකයේ මෙවැනි ව්‍යාපෘති මගින් සිදු කළ වනාන්තර විනාශයන් සහ ජෛව මංකොල්ල පිළිබඳව කිසිදු අවධානයක් නොමැතිව මෙවැනි ගිවිසුම් මගින් ණය මුදල් ලබාගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරති.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...