පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීමට අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සැකසහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් අවධාරණය කර තිබේ.
මේ නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යෑමේදී පළායෑමට උත්සාහ කිරීම නිසා පොලිස් වෙඩිපහරවලින් මරණයට පත්වීම වැලැක්වීමට මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කරන ලද්දේ 2008/398 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ තීන්දුවක් ප්‍රකාශයට පත්කරමිනි. කොළඹ – 10, මාලිගාවත්තේ පදිංචි මොහම්මද් රෂීඩ් ෆාතිමා ශර්මිලා විසින් ගොනුකර තිබූ පෙත්සමකට අදාළ ව මෙම තීන්දුව පසුගිය 03දා ලබාදෙන ලදි. බුවනෙක අලුවිහාරේ, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඒකමතිකව මෙහි තීන්දුව ලබාදුන්හ. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ දිව්‍යා මෑස්කරන් මෙහි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනීසිටියේය.
කොම්පඥ්ඥවීදිය පොලිස් ස්ථානයේ සැරයන් කේ. ඩබ්ලිව්. ජී. නිශාන්ත, කොස්තාපල් සිද්ධික්, සැරයන් කරුණාතිලක, පොලිස් පරීක්ෂක කේ.එන්.සී.පී. කළුආරච්චි, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
පළායෑමට උත්සාහ දැරීම
පෙත්සමේ සඳහන් පළමු සහ සිව්වැනි වගඋත්තරකරුවන් විසින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමග 2008 වසරේ සැප්තැම්බර් 02දා පස්වරු 1ට පමණ මොහම්මද් නිසාර් මොහොමඩ් ඉර්ෆාන් අත්අඩංගුවට ගෙන ඇත. ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, මිනීමැරීමට උත්සාහ කිරීම, මිනිමරුමකට සම්බන්ධ වීම සහ මංකොල්ලයකට අදාළ චෝදනා ඔහුට එරෙහිව එල්ල කර තිබේ.
අත්අඩංගුවේදී ඔහු ඝාතනය වී තිබේ. පළායෑමට උත්සාහ දැරීමේදී සැකකරුට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කතාවයි.
සැකසහිත බව
මේ පිළිබඳ බරපතළ සැකයක් මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුවේ සඳහන් කරන්නේ මාංචු දමා සිටි සැකකරු සමග ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටියදී පළායෑමට තැත් කළ බවත්, එහිදී ආත්මාරක්ෂාවට වෙඩි පහර 02ක් එල්ල කර ඇති බවත් පොලිසිය පාර්ශ්වයෙන් පැවසීම සැකයට හේතුවන බවයි. එසේ ම මෙවැනි අවස්ථාවක පිරිස සමග සසඳන විට ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බව සඳහන් කිරීම පිළිගත නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.
12(1) සහ 13(4)
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන වගන්තිය සහ 13(4) සඳහන් නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූල ව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය යන වගන්තියත් මෙහිදී බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
මෙම අයිතිවාසිකම් ඇතුළු ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සහ එහි ආයතන බැඳී සිටින බව ද මෙම තීන්දුවේ විශේෂයෙන් අවධාරණය කර තිබේ.
වන්දි නියෝගයක්
මේ නිසා පෙත්සම්කාරියට වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 475,000ක් සහ රජයේ මුදලින් රුපියල් 250,000ක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්
මේ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 13දා වැදගත් ප්‍රකාශයක් සිදුකරන ලදි.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයත් නොමග යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක මතු වන බවයි. අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි සැකකරු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සමග පොරබදා පළායෑමට උත්සාහ දැරූ බවට පොලිසිය මගින් වාර්තා කර ඇති තොරතුරුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය පහරදීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබීමත් යන කරුණු සැලකීමේදී ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර තිබිණි.
මහේස්ත්‍රාත් වගකීම
පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.
එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.
සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.
වගකිවයුත්තා කවුද?
1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී, පොරබැදීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.
තීන්දුව ලැබෙන තුරු නිවැරදිකරුවෙක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ඇය අවධාරණය කරයි.
යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන කථිකාචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.
අභියාචනා අවස්ථා කුමකටද?
සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.
නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.
රජයේ වගකීම ?
මෙම පොලිස් අත්අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් ද කරුණු සඳහන් කර තිබේ. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.
මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත්, සිය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණි.