Home Blog Page 213

රජයේ මුද්‍රණාලයාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳෙව්වේ ඇයි? – සුනිල් හඳුන්නෙත්තිගෙන් බරපතළ ප්‍රශ්නයක් !

0

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ ජනාධිපති මන්දිරයට කැඳවූ බවට වාර්තා වී ඇතැයි ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

එසේ කැඳවූයේ පළාත් පාලන මැතිවරණයට අදාළ ව රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරෙමින් පැවති ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් බලපෑම් කිරීමට බවට සැක මතු වෙතැයි ද ඔහු සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ අද (14) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට මැතිවරණ කොමිසමට කළ දැනුම් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එහිදී මෙසේ ද පැවසීය.

‘රාජ්‍ය නිලධාරියෙක් හැටියට රජයේ මුද්‍රණාලයාධිපතිතුමිය ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ මුළු රටක් ම බලාපොරොත්තුව ඉන්නවා, මේ පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් නියමිත පරිදි පවත්වයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවශ්‍ය කරන අවකාශය ලබාදී තිබෙනවා මැතිවරණ කොමිසමට.

ඒ නිසා දැන් රජයේ මුද්‍රණාලය කළ යුතුව තිබෙන්නේ මැතිවරණ කොමිසමේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීමයි. මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා වන ආකාරයට කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. අපට ආරංචි හැටියට රජයේ මුද්‍රණාලයාධිපතිතුමියව ජනාධිපති මන්දිරයට කැඳවා තිබෙනවා. කැඳවා කරපු බලපෑමක් මෙය. හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් අවසානයේ කියා සිටියා ඔහු ආතතියට ලක්වෙලා තිබුණු බව.

මේ මුද්‍රණාලයාධිපතිතුමියත් එහෙම ආතතියට ලක්වෙලාද දන්නේ නැහැ. ඒ කෙසේ වුවත් එතුමිය වගකිව යුත්තේ මේ රටේ ජනතාවට. එතුමිය පඩි ලබන්නේ මේ රටේ ජනතාවගෙන්. එතුමියට සේවයෙන් ඉවත්වෙන්න වන කාලයකදී, ජනතාව ඉදිරියේ අවමානයට, ලැජ්ජාවට, අපකීර්තියට පත්වෙලා ඉවත් වෙනවට වඩා හොඳයි නීතියට අනුව කටයුතු කිරීම.

මේ මැතිවරණයට වැඩිම වියදම දරා අවසන්. මුද්‍රණ කටයුතු ආරම්භ කර, අතරමැදදී නවත්වනවා කියන්නේ අනිවාර්යයෙන් බලපෑමකට ලක්වෙලා තිබෙනවා. අපි එතුමියට කියනවා බලපෑම්වලට යට නොවී ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා, එතුමිය කැඳවා අනිවාර්යයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. අපි සොයා බැලුවා මුද්‍රණාලයේ අනෙකුත් මුද්‍රණ කටයුතු කිසිවක් නවතා නැහැ. මැතිවරණයට බැලට් පේපර්ස් තිබෙනවා. ප්‍රින්ට් කරන්න විතරයි තිබෙන්නේ. තීන්ත තිබෙනවා. විශේෂ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ අයගේ අමතර දීමනා ගෙවන්නේ පස්සේ. මාසෙ වැටුප කොහොමත් ගෙවනවා. අතිකාල දීමනා ගෙවනවා. එසේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු කිරීම පමණක් නතර වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙතන තිබෙන්නේ බලපෑමක්.’

ඡන්දය : මධ්‍යස්ථාන 1,116කදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම ඇණහිටී !

0

2023 මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල දී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබිණි. එහෙත් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ ඊයේ (13) මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබුණේ මුදල් නොලැබීම නිසා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවයි.

හෙට (15) දින මධ්‍යස්ථාන 1,116 කදී තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට සැලසුම් කර තිබිණි.

උතුරුදිග සිරියාවේ ගලවාගැනීමේ මෙහෙයුම් අසාර්ථකයි : දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කරන්න අවසර

0

තුර්කි – සිරියා භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වලට අනුව ඊයේ (13) සඳුදා වනවිට තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ පුද්ගලයින් 4,614 ක් මිය ගොස් තිබේ.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 කට ආසන්න ජනතාවකට නිවාස අහිමි වී ඇති අතර තුර්කියේ සහ සිරියාවේ 900,000 කට ආසන්න පිරිසකට උණුසුම් ආහාරවල හදිසි අවශ්‍යතාවයක් පවතින බවද එම සංවිධානය පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානි මාර්ටින් ග්‍රිෆිත්ස් පවසන ආකාරයට විපතටපත්වූවන් ගලවා ගැනීමේ වැඩසටහන අවසන් කිරීමට නියමිතව ඇති අතර, එනමුත් උතුරුදිග සිරියාවේ විපතටපත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම් අසාර්ථක බවය.

ඒ නිසා උතුරුදිග සිරියා ජනතාව මෙකී මෙහෙයුම්වලින් අතහැරදැමූ ජනතාව ලෙස පිළිගැනීමට සිදුව ඇති බවය.

මේ අතර මාස තුනක කාලයක් සඳහා තුර්කියේ සිට දේශසීමා හරස් මාර්ග දෙකක් ඔස්සේ සිරියාවට ආධාර ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එකඟ වී ඇත.

එමෙන්ම සිරියාවේ, Hay’et Tahrir al-Sham ආයුධ සන්නද්ධ කැරලිකරුවන්ගේ කණ්ඩායම් සමග ඇති ගැටළු හේතුවෙන්, රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවලින් කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශය වලට ආධාර අත්හිටුවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා සිටී.

සබැඳි පුවත්

ගිහාන් මධුසංකගේ ‘හද තව සුවෙනි සුරුවෙනි’

0

මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක් වීය. ඉන්පසු සිව් පදය, වැඩිලෙස ම විරිතෙහි ම ඇලී ගැලී නොනැඹුරුව, සරල බසෙකින් හනා වනා සුමට කෙරිණි. බටහිර කවීන්ගේ නිර්මාණවල බලපෑමෙන් නව කවි ආකෘති, අනුභූතින් වෙත පිවිසීමෙන් පසුව වුව ද, සිව් පදය වෙනුවෙන් වඩවා ගත් කවි බසක් – ආකෘතියක් නූතන කව්ගමන් මගේදී හමුවෙයි. ඒවායින් ඇතැම්වා භාව කාව්‍යය ලෙසින් වරෙක හඳුන්වා දෙන, ඉංග්‍රීසි බසින් Lyrical Poetry නම් කවි ස්වභාව ගනී. මෑතකාලීනව මෙකව් ආරට නැඹුරුව කව් ලියූ බොහෝ පිරිසක් ඔවුන්ගේ කාව්‍ය ග්‍රන්ථවලදී අපට හමුවේ.

‘හද තව සුවෙනි සුරුවෙනි’ කාව්‍ය සංග්‍රහයේ එන සෙසු කවි අතර, සිව් පද කවිය නැගීසිටින්නේ ද ඉහත කී ලකුණ හේතුවෙනැයි සිතේ.

‘සුදු සිනා තවරගෙන සියොලඟ ම
වෙන කවුද වැනෙන්නේ මේ තරම
ළහිරු රැස් සිඹිද්දී පපු ගැබ ම
පිනි මතින් තව සිනාසෙන අරුම’

‘මුඩු බිම වසා සිටි හඹරල යායට’ නම් කවියෙන් ගත් මේ කවිය, මුඩු බිමක් වසා සිටින, මුඩු බිම පිටතට නොපෙන්වා සිටින, ආවරණයක් වුණු හබරල ගාල වැනුමකි. කවියා, මුල් කවි දෙකෙන් ම කරන්නේ, හබරල ගාලේ ලස්සනින්, මුඩුබිමේ අවලස්සන වසා දැමීමයි. හඹරලගාලේ හොඳකම කියා, එයින් පෝෂණයවන කුඩා ජීවීන්(මිනිසුන්ගෙන් පහර ලබන මියෙන අප්‍රියත්වයට ලක් වූ මීයන් වැනි සතුන් අහර සොයාගන්නා තැන) කියා, දූත වැනුමකදී ලෙසින් දූතයාව මුදුනේ තැබීමයි. නමුත් එය කියන සැටිය මෙළෙකයි. පණ පොවයි. වාග් චිත්‍ර මවයි. මුඩුබිමට නොව හඹරලගාලට අවධානය යොමයි.

එහෙත් කවියේ අවසානයේදී ගිහාන් මධුසංක කරන්නේ කුමක්ද? අර තරම් වැනූ හඹරල ගාල නසා දමන්න සැරසෙන බව කියා සමාවෙන්නැයි ඉල්ලා සිටීමයි. ලස්සන යට ඇති අවලස්සන පෙන්වීමයි. ෆැන්ටසිය පෙන්වා එය කුඩු කර දමා යතාර්ථය පෙන්වීමයි. හඹරල ගාල යට ඇති මුඩුබිම ලෝකයට පෙනෙන්නට හැරීම යුතුදෙයකි. මේ තියෙන්නෙ, හුදෙක් මුඩුබිමක් නොව අප වෙසෙන පොළොව ම නිසා. කවියා දූතයාව මුලදී වනා, අවසානයේදී දූතයාව උස්සා පොළොවේ ගසා ඇත.

ස්වාභාවික වර්ණනයට යන කවියා, ‘වෙල්ලස්සේ සිනිඳු සීතල’ කවිපෙළේදී, කොළඹ දෙවන යුගයේ කව් පැදි වෙතට යළි නැමුණු සෙයකි.

“මැණික් දිදී ගලනා මිණි ගංගාවේ
නිල් ගෙල සලා නිල් කැට පෙරළන්නාවේ…”

“කෝන් ගස් ඉමේ දුවනා මුවන් බලා
නෙත් දුනු දිය අදිද්දී නුඹ හෙළූ පලා
හැලුණේ කොතැන්දැයි විමසා හගිස්සලා
වෙල්ලස්සේ සිනිඳු සීතල අලුත්වෙලා”

නෙත් දුනු දිය ඇදීම් අපට සිහිකරන්නේ, සංදේශ කවිවල දිය කෙළි වැනුමයි. දියේ සිටින ලිය හෙළන බැල්ම, වැනි ම බැල්මක් මේ කෙතේ ඉන්නා ලියත් කවියාට හෙළයි. ඔහු වෙන කතක්(දුවන මුවන්) දෙස බලා සිටි බැවින්, කෙතේ කතගේ බැල්ම ඉවතට යයි. මෙය කවියාට වරයකි. කතුන් දෙදෙනෙකු ඔහු පෙනෙන මානයේ සිටී. එයින් එකෙක් දැන් අහිමිවන්නට යයි. නමුත් එහැඟීම මහ සෝකබරිත එකක් නොවේ. යම් අමුත්‍තක් ඇති එකකි. එබැවිනි, උදේ හිරු රැස් ගැන කීමෙන් පටන්ගත් කවිපෙළ අලුත් වූ සීතලකින් අවසන් වන්නේ. ගිහාන්ගේ බොහෝ කවි අවසානයේදී නිර්මාණයෙන් කියන්නට යන ප්‍රධාන කරුණට පැමිණීම දැකිය හැකියි.

උපහාසයෙන් වැඩුණු බසක් ද ඔහු සතුය. පාලකයන්ගේ බසට, පවත්නා සමාජ ක්‍රමයට එදිරිව, ඔවුන්ව ප්‍රශ්න කරවන තැන් ද මෙහි ඇත. මාසික වැටුප හෝ ඉන් අඩක් රජයට දෙන්නැයි කී අමාත්‍යංශ ලේකම්ට ඔහු දෙසන්නේ, අනුන්ගේ කූඩුවෙ බිජු දාන කොවුලා හෙවත් පරපුටුවා යැයි අමතමිනි. එවිට අර කී ස්නෙහේවන්තබවින් මිදී රුදුව කවියට එළඹෙනු පෙනෙයි.

“කාක කූඩුවල නිතර ම බිජු ලෑම
බෝම වේස ඇති කෝකිල මිතුරාන
බක් මහේ කිමැයි නොබිණුවෙ තියු ගීත
මළ බැඳී තිබුණිදෝ ඔය හොරණෑව?”

මෙහි පැදි ගණනක් වෙයි, සිව්පද කවි ද, සෙසු ආරේ කවි ද වෙයි. ඒවා එකින් එක ගෙන විමසීම දිගු බැවින්, මේ එයින් තෝරාගත් කවි එක තුනක් පමණි. ඔහුගේ කෙටි කවි වෙන ම කියවාගත යුත්තකැයි සිතේ. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ නිරතුරු ඇසුර ලැබීමේ ස්වභාවයත්, එයින් මිදීමට දරන ප්‍රයත්නයත් යන දෙක ම මේ කාව්‍ය සංග්‍රහයේ දී පෙනෙන්නට වීම ද අරුමයකි. එහෙයින් මෙහි ඇතැම් කවි අප ඉහත කී ලකුණු නොදරන ඒවා ලෙස ද පෙනෙන්නට පුළුවන.

කවි පොතෙන් මදකට පිටතට පැමිණියොත්, නිසදැස්, නිදහස්, හයිකු සහ සංයුක්ත කවිවලදී වගාකරගන්නා, දෘෂ්‍යමාන වන එක්තරා බුද්ධිගෝචර බවකින් මිදී, සරල, හෘදවත් බවකින් සිව්පද කවිය ඇමතීම මෙරට කවි ගමන්මගේ දී සිදුවූයේ හදබස හේතුවෙන්ද යන අප සිතේ පහළවූ ගැටලුවක්, ආරියවංශ රණවීර ‘හද බස සහ වෙනත් ලිපි’ කෘතියෙදි ලිපියකදී, අයිඒ.රිචර්ඩ්ස්ගෙ අදහසක් සමඟ සලකා බලයි. ‘බුද්ධිය අමතන බස’ සහ ‘හදවත අමතන බස’ යනුවෙන් අමරසේකර කියනා දෙය, ‘යොමුගත බස/විද්‍යාත්මක බස’ සහ ‘සංවේදනාත්මක බස’ යනුවෙන් රිචර්ඩ්ස් කියන්නේ ඒ අදහසින් ම නොවන බවත් එහි සඳහන්ව එයි. මේ අදහස් දෙක ම විමසන රණවීර, ඇතැම් සැක තැන් දුරලා, යුතු තැන් පිරිසිඳ පත අට සිඳුවා දෙයි. මේ මත හේතුවෙන් විචාරයන්ගෙන් බැට කෑ තැන් ද පෙන්වයි. සිව්පද කවියට භාවිත කළ යුත්තෙ මේ මේ බස යැයිද, පළමුව එය හෘදයට බලපෑම් කර සෙසුව මනසට යායුතුව ඇතැයිද කියා නියමයක් නැති. කෙසේ වුවත්, සෙසු කවිවලට සාපේක්ෂව සිව් පද කවිය භාව තලයක තැබීම සිදුවූයේ මන්ද යන්න තවදුරටත් සෙවිය යුතු කරුණකි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

ඡන්දය තියෙනවද? : දේශපාලන පක්ෂ සමග අද දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා – මැකොස

0

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිත ය.

ලබන 09දා පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ, රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ විසිනි.

ඊයේ (13) මුද්‍රණාලයාධිපති විසින් මේ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත්හිටුවා ඇත.

අද (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදිය යුතු වේ.

ඡන්දය කල්දැමීමේ උත්සාහයට එරෙහිව විපක්ෂය එකතු කරනවා – සමගි ජන බලවේගය

0

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබා නොදී වගකීම් පැහැර හැර ඇති සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, මැතිවරණය කල් දැමීමේ කූඨ ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග එකතු කිරීමටත් සමගි ජන බලවේගය කටයුතු කරන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

මහ ලේකම්වරයාගේ අත්සනින් ඒ පිළිබඳව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

‘මැතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ උන්මත්තක ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක් වෙමු!

ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරලියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි.

ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබේ.

කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීම උදෙසා ආණ්ඩුව දිගින් දිගටම ගත් කූඨ උපක්‍රම එකින් එක නීතිය ඉදිරියේ පරාජය විය.

මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වන අතර, එය උල්ලංඝනය කිරීමට කිසිවකුට බලයක් නැති බව අවධාරණය කළ යුතුය. මැතිවරණ කල් දැමීමේ ආදීනව පිළිබඳව කුප්‍රකට ඉතිහාසගත සිදුවීම් අප රටක් ලෙස අවස්ථා රැසකදී අත්දැක ඇති අතර නැවත ඒ කළු සිදුවීම් වීමට තිබෙන සියලු මාර්ග වසා දැමිය යුතුය. මැතිවරණය කල් දැමීම උදෙසා කුමන්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට අප නොපසුබටව කටයුතු කරන බව දන්වා සිටිම.

එබැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම අයිතිවාසිකම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී තිබේ.

එය මේ මොහොතේ පැහැර හැරිය නොහැකි වගකීමක් වන අතර උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බවද සිහිපත් කරමි.’

හිනාවෙන්න අමාරුම මොහොතක ‘හිනාවෙලා මිනිත්තුවක්’ ගැන

0

ගෙවෙමින් තියෙන්නෙ වේදිකා නාට්‍යයක් නරඹන්න තරම් මානසික ඒකාග්‍රතාවය නැති මොහොතක් උනත් පසුගිය දවසක පුංචි තියෙටර් එකේදි අකිල සපුමල්ගෙ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යය නරඹන්න අවස්ථාවක් ලැබුණා. උදාසීන ලෙස හෝ නිෂ්ක්‍රිය ස්වරූපයෙන් ජීවත් වීම සඳහා වුවත් බරපතළ ප්‍රයත්නයක් දැරිය යුතු නිසාම අප විසින් ගත කරන ලද සංස්කෘතික ජීවිතය අපට අහිමි වෙමින් තියෙද්දි ‘හිනාවෙලා මිනිත්තුවක්’ විදියට නාමකරණය කරපු නාට්‍යයක් නරඹන්න වීම එක්තරා ආකාරයක සරදමක්.

ඒ කොහොම උනත් ‘හිනාවෙලා මිනිත්තුවක්’ ඇතුළෙ පැය ගණන් කල්පනා කරන්න ප්‍රශ්න, කරුණු කීපයක් මතු උනා. අපේ රටේ නිර්මාණ ඇතුළෙ නිතර කතා වෙන තාරුණ්‍යයේ ගැටලු, පන්ති විෂමතාව, ආර්ථික අර්බුදය වගේ කරුණු ටික පැත්තකින් තියලා මේ නාට්‍යයෙන් මතු උන තරමක් වෙනස් මාතෘකාවක් වන ‘දරුවන් හැදීම’ පමණක් මේ කෙටි සටහනට පදනම් කර ගන්නවා.

අපේ රටේ සාතිශය බහුතරයකට ප්‍රේම සම්බන්ධතාවයක ‘පරම’ අරමුණ වෙන්නෙ විවාහය. විවාහයේ ‘පරම’ අරමුණ වෙන්නෙ අනාගත පරම්පරාව බිහිකිරීම. ඒ කියන්නෙ ප්‍රේමයේ අවසාන ඵලදාව විය යුත්තේ දරුවෙකු වැදීමද? ප්‍රශ්නයක්.
දරුවෙකු අවශ්‍යතාවයක් විදියට හඳුන්වන බහුතරය ඒ අවශ්‍යතාවයේ මූලික අරමුණ විදියට හඳුන්වන්නේ වියපත් වෙලා මොකුත් කරගන්න බැරි දවසක ඒ දරුවාගේ රැකවරණය ලබාගැනීම. ඒ කියන්නෙ දරුවො කියන්නෙ ඉන්ෂුරන්ස් එකක්ද? නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක්ද? ඒක ජනප්‍රිය නොවන අදහසක් අරන් එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් අපේ සමාජයේ බහුතරයක් දරුවො හදන්නෙ ඒ අරමුණෙන්.

නමුත් මාතෘත්වය හෝ පීතෘත්වය මුහුකුරා යද්දී ඒ අරමුණ යම් තාක් දුරකට මිස් වෙනවා හෝ මිස් කරගන්නවා. එතකොට දරුවාට සුබ අනාගතයක් නිර්මාණය කිරීම තමන්ගෙ ජීවන අරමුණ බවට පරිවර්තනය කරගන්න පුළුවන්. නමුත් අර මුල්ම අරමුණේ ශේෂ කොටස් තැනින් තැන තියෙන්න බැරි නෑ.

ප්‍රේමය සහ දරුවන් පිළිබඳ මාතෘකාවට ඇලන් බද්‍යු සම්මුඛ කරන්න කැමතියි. බද්‍යු එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක් මත පදනම් වෙලා ලියවුනු ‘ප්‍රේමය පසසනු වස්’ (සිංහල පරිවර්තනය) පොතේ එක තැනක ඔහු මෙහෙම කියනවා.

“ප්‍රේමය සම්බන්ධයෙන් ගත් කල ඔබ නිතර අවශ්‍යයෙන්ම ඔබේ ප්‍රකාශනය ප්‍රති නිර්මාණය කළ යුතුයි. ඔබ ලක්ෂ්‍යය (ප්‍රති) නිර්මාණය කළ යුතුය යනුවෙන් ද ඔබට කිව හැකිය. මම හිතනවා දරුවෙකු යනු, දරුවෙකු ලැබීමේ ආශාව යනු සහ උපත යනු එයයි කියා. ඉතා පැහැදිලිවම ප්‍රේමයට ආධාරක වන ලක්ෂ්‍යයක් ආකාරයෙන් ප්‍රේමයේ ක්‍රියාවලියේ කොටසක් එය විසින් සකස් කරනු ලබනවා.”

බද්‍යුට අනුව දරුවන් කියන්නෙ ප්‍රේමය ඔස්සේ ජීවන ලාලසාව දැල්වීමට ගන්නා උත්සහයේ ප්‍රතිඵලයක්. ඒත් මේ දූපත ඇතුළෙ දරුවෙක් ඔස්සේ ජීවන ලාලසාව දැල්වෙනවා වෙනුවට සිද්ධ වෙන්නෙ නව අවිනිශ්චිතතාවක් ගොඩනැංවෙන එක. නාට්‍යය ඇතුළෙ තරුණයා දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරන්නෙ ඒ අවිනිශ්චිතතාව සම්බන්ධයෙන් තියෙන භීතිකාව එක්ක. ඒ අනුව ඒ තරුණයාගේ සිතිවිල්ල සාධාරණයි.

මේ සියල්ල ඔස්සේ නැවත මතු කරන්න වෙන්නෙ බද්‍යුගෙ ප්‍රකාශයක්. ඔහු වරෙක කියනවා ‘ප්‍රේමය පවතින්නේ අර්බුදයක. එය නැවත ගොඩනැංවිය යුතුයි’ කියලා. තරුණිය විසින් දරුවෙකු වෙනුවෙන් ප්‍රේම කිරීමත් තරුණයා ඒ අරමුණෙන් දුරස්ථකරණය වීමත් ඔවුන් දෙදෙනා විසින් සාමූහිකව ප්‍රේමය නැවත ගොඩනැංවීමට උත්සාහ නොකරන බව ගම්‍ය කරනවා. ඒ ගොඩනොනැංවීම අර්බුදයක්. ප්‍රේමය පවතින්නෙම නැවත නැවත ගොඩනැංවීම මත.

මේ ලියුම්කරු ප්‍රේමය දකින්නෙ දෙදෙනෙකුගේ පැවැත්මේ සංකීර්ණතා අවම කරගන්න අවබෝධාත්මකව සිදු කරන සෞන්දර්යාත්මක ගොඩනැංවීමක් විදියට. ඒ සාමූහිකත්වයේ අර්ථයෙන් ගත්තම ‘ප්‍රේමය කොමියුනිස්ට්වාදියි’ කියලා බද්‍යු කියලා තියෙනවා. කොමියුනිස්ට් නොවන සමාජයක අපිට ප්‍රේමය ඉදිරියේ පමණක් කොමියුනිස්ට්වාදී වෙන්න අමාරුයි. ඒ දුෂ්කරතාවය සෙසු භෞතික හැලහැප්පීම් එක්ක නාට්‍යය ඇතුළෙ අපිට හම්බෙනවා. ප්‍රේමය සහ දරුවන් පිළිබඳ සත්‍ය අන්තර් සම්බන්ධතාවය මඟහරිමින් දරුවන් බිහි කිරීම කියන්නෙ මෙරට සමාජයේ සුලබ වරදක්. ඒක ජීවන හැලහැප්පීම් නිසා අවිඥානිකව සිදුවෙන වරදක්. ඒ වරද මේ සංස්කෘතික පද්ධතිය ඇතුළෙ නිවැරැදි කරගැනීම ලේසි නෑ. නිවැරැදි කරගන්න උත්සාහ කරන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් යටතේ අකිල සපුමල් ‘හිනාවෙලා මිනිත්තුවක්’ ඔස්සේ අරන් එන තේමාත්මකය නැවුම් එකක්. පවතින පද්ධතියේ ප්‍රතිවිරෝධයක්.

අකිල සපුමල් අපිට මිනිත්තුවක් හරි හිනාවෙන්න ආරාධනා කරද්දී Skitzo SL සංගීත කණ්ඩායම ‘හිනාවෙන්නෙ කොහොමද?’ කියන ප්‍රශ්නය මතු කරන ගීයකින් මේ කෙටි සටහන හමාර කරනවා.

“ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක”

(සම්පූර්ණ සිංදුව පහලින් වෙයි)

‘හිනාවෙලා මිනිත්තුවක්’ නරඹද්දි මගේ ළඟම අසුනක ඇලන් බද්‍යු වාඩි වෙලා හිටියා කිව්වත් වරදක් නෑ. හේතුව නාට්‍යයේ දුර්ලභ සිදුවීම් ඔස්සේ බද්‍යු සත්‍යාපනය වන බවක් මට යම් තාක් දුරකට දැණුන නිසා. ඒ නිසයි මේ සටහනේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ නාට්‍යය තරමටම බද්‍යු ගැනත් සඳහන් කෙරුණෙ.

චලක ප්‍රමුදිත ලුණුවිලගේ

ගෝල්ෆේස් සිදුවීමට අවංක වන කලාකරුවෙකුට අරගලය ගැන ලස්සන චිත්‍ර ඇඳිය නොහැක

0

නාලිකා මාරු කරමින් ප්‍රවෘත්ති නරඹමි. පුවත්පත් පිටු පෙරළමි. මිතුරෙක් මගක හමුවී වචන කීපයකින් මග හරියි. මහා බලහත් කාරයක් සිදුවෙමින් පවතී.

එහෙත් එය අපට අලුත් දෙයක් නොවේ. විවිධ අරගල වලට ඛේදවාචක වලට සමාජයක් ලෙස මූහුණ දී අනතුරුව එවැන්නක් සිදුනොවූ ලෙස දෛනික ජීවිතය ඇරඹීමට අපි පුරුදුව සිටිමු.

අවුරුදු 30 ක ජන ඝාතක වියරු යුද්ධයකින් පසු අප එයට හේතු කාරක අමතක කර, අහිමුවූවන්ගේ වේදනාව නොදුටු සේ , දැවැන්ත මර්දනයක සපත්තු සළකුනු මකාදමා ,ඊට හේතු පාදක වූ දුක්ඛ දෝමනස්සයන් දරාගෙන නැවත දෛනික ජීවිතයට එළඹ තිබේ. ආර්ථික , සාමාජීය නිදහස ඝාතනය කළ , ඒකාධිපති වියරුවට එරෙහිව සිදුවූ ,ගෝල්ෆේස් ජන අරගලය ලෙයින් යකඩින් මර්දනය කල විටද අප එහි උණුසුම මැකීයාමටත් පළමුව එය දරාගෙන දෛනික ජීවිතය ඇරඹීමට ගිවිසගෙන තිබේ. මේ මොහෝතේදී සුජිත් රත්නායකගේ අර්බුදය හා අරගලය දෘෂ්‍යකලා ප්‍රදර්ශනය , හිත හදාගෙන ගෝල්ෆේස් අරගලය නොවූවා සේ එදිනෙදා කටයුතු කරන මිනිස්සුන්ට කියන්නේ කුමක්ද ? ජනමාධ්‍ය ප්‍රමුඛ ආණ්ඩුව මේ ඔඩු දුවපු සැරව ගලන අපේ සමාජ තුවාලය ප්ලාස්ටර් බදාමයකින් වසා දමමින් සිටී. එය අපේ තුවාලයයි. ඒ තුවාලය එක අතකින් ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් විදේශ ආධාර හිඟමනේ යයි. අනිත් අතින් අපට අපේ වේදනාව කඳුල අමතක කර ජීවිතය අල්ලාගෙන ඉන්නට ආණ්ඩුව අපට බලකරයි. මේ වටපිටාවතුල අජිත් ප්ලාස්ටරය කපා කවුළුවක් විවර කර තුවාලය මේ යයි පෙන්වා සිටී.

මට ගෝල්ෆේස් අරගලය බොහෝ අවස්ථාවල මතක්වෙන්නේ සුජිත් හරහාය. එයට මා කුමක් කරන්නද?. අද වන විට කලාකරුවන් ජනතාවට මතක් වන්නේ ඔවුන්ගේ මාස්ටර් පීස් හරහා නොවේ. පිරිමි නම් ඔවුන්ගේ මාංශ පේශි වර්ධනය කල සිරුර, කාන්තාවක් නම් විලාසිතාව , විශ්ව විද්‍යාලයක තනතුර , නවීන මෝටර් රථය ආදී ධනය බලය ආදී සංකේත හරහාය. පස්චාත් නූතන කතිකාව යයි හඳුන්වා දෙන මේ තත්වය තුල කලාකරුවන් පමණක් නොව ආචාර්ය , මහාචාර්ය වරුන්, දේශපාලකයන් තුළද තමන්ගේ විශය පිළිබඳව සාරය අහිමි වී ඒ වෙනුවට ප්‍රාග්ධනයෙන් ගොඩනගන සංකේත වටිනාකම් පිළිබඳව කාරණා මතුවන කාලයකි. මෙබඳු සමයක , කෙනෙකු විශය පිළිබඳව කළ නිර්මාණ තමන්ගේ කලා අනන්‍යතාව සේ ගත් කලාකරුවෙකුට පෙරකී විශය පිළිබඳව සාරය අහිමි කරගත් “ක්ෂේත්‍රයේ තරඟකරුවන්”ගෙන් චෝදනා එල්ලවේ. මර්දනය එල්ලවේ.

සුජිත්ටත් තමන්ගේ ක්ෂෙත්‍රයේ චිත්‍ර ශිල්පීන්ගේ කුහක, ඊර්ෂ්‍යා පරවශ අවමාන කිරීම් එල්ලවීම අහම්බයක් නොවේ. සුජිත්ගේ සිත්තර අනන්‍යතාව මතුවන්නේ සමාජය ඔහුට අභිමුඛ වීම අනුවය. ඔහුට මේ ඇත්ත සමාජය අභිමුඛ වන්නේ වේදනාව, ශෝකය, හිංසනය , විකෘතිය, මර්දනය වැනි සමාජ අර්ථයන් ඔස්සේය. එය මේ සමාජ යාථාර්තයයි. ඒ යථාර්ථය වසා විසිතුරු සළුවක් වියන එක සුජිත් බාරගන්නේ නැත.

මෙවර සුජිත් ඉදිරිපත් කරන දෘෂ්‍ය කලා නිර්මාණ ” ලස්සන ” පිළිබඳව අර්බුදයට මුහුණ දෙන්නේ එහෙයිනි. ඒ නිර්මාණ ඒ අරුතින් ලස්සන නැත. වර්ණවත් නැත. පෙම්වතියක අතගෙන කොකා කෝලා උගුරක් විඳිමින් සරන්නට ආට් ගැලරියක් ඔහු නිර්මාණය කර නැත.

දෘෂ්‍ය කලා නිර්මාණයට පසුබිම් වන වස්තු විශයේ පරිසරය ප්‍රදර්ශනා ගාරය තුල ව්‍යුහයක් ලෙස නිර්මාණය කිරීමට ඔහු කලාගාරය යොදා ගනියි. අඛණ්ඩ ජන ඝාතක යුද්ධ , ජන අරගල මර්දනය කිරීම්, හිංසනය, මේ සියල්ල හා බැඳුණු දුප්පත් කම දරා සිටින සමාජයක එබඳු කලා සෞන්දර්ය මොහොතවල් බිහිවිය හැකිද?
සුජිත් යුගයේ යථාර්ථය නිර්මාණය කරන “අරගලයේ කලාකරුවා” ලෙස ජනතාව හඳුන්වන්නේ එහෙයිනි. නැතුව සුජිත් අරගලයේ නේවාසිකව සිටීම යන සරළ අරුතින් නොවේ. සුජිත් ගේ බුරුසු පහරට අප ගොදුරු වන්නෙ එහෙයිනි. ඔහු ආර්ට් ගැලරියට යකඩ ගෙනාවේ එහෙයිනි. ඒ හිර මැදිරියේ දොර, බන්ධනාගාර රථය, කම්බි දැල් ඔහු කලාගාරයට ගෙනාවේ එහෙයිනි.

ගෝල්ෆේස් අරගල බිමේ මේ දෘෂ්‍ය කලා නිර්මාණ කීපය ප්‍රදර්ශනය කරන සිහිවටනයක් ඉදිකලයුත්තේ එහෙයිනි.
තියඩෝර් ඇඩෝර්නෝගේ dictum එක වන ” මානව ඉතිහාසයේ කෘරතර සමූහ ඝාතනයක් වන ජර්මනියේ Auschwitz සිදුවීමට පසු කවි ලිවීම ම්ලේච්ඡයි (barbaric ) යන ප්‍රකාශය සුජිත්ගේ දෘෂ්‍ය කලා ප්‍රතිප්‍රහාරයට ගොදුරු වන නරඹන්නාට නිතැතින්ම සිහිකැඳවයි.

ගෝල්ෆේස් සිදුවීමට අවංක වන කලාකරුවෙකුට අරගලය ගැන ලස්සන චිත්‍ර ඇඳිය නොහැක්කේ එහෙයිනි. අජිත් සෙනෙවිරත්න විසින් ක්ලික් කර ඇති, ආණ්ඩුව විසින් ගිනි තැබූ ගෝල්ෆේස් චිත්‍ර කුටිය දෙස බලාසිටින සුජිත් ගේ අහඹු චායාරූපයේ මුහුණ ඔබට මෙම දෘෂ්‍යකලා කීපය නැරඹීමට හැකි හොඳම කවුළුව වනු ඇත.

ජයන්ත කහටපිටිය
2023/ 02/12

කැඩපත සහ ලොකප්

0

මේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ යන මගේ කලා ප්‍රදර්ශනයේ “කැඩපත සහ ලොකප්“ යන කලා කෘතියේ නිල ඡායාරූපයයි. මෙය ඡායාරූප මාධ්‍ය යෙන් සමාජයට ප්‍රසිද්ධ කිරීම අරබයා ඡායාරූපය යොදා ගන්නවා මිස මෙම කෘතිය ඡායාරූප ෂානරයේ කලා කෘතියක් නොවේ. මෙය අයත් වන්නේ ස්ථාපන කලා ෂානරයටයි.

මෙම කෘතිය මගින් නරඹන්නාද කලා කෘතියේ කොටස්කරුවකු සහ element එකක් කරනු ලබයි. මෙහිදී නරඹන්නා සහ කැඩපත අතර ලොකප් හැගවෙන යකඩ දොරක් වෙයි. නරඹන්නාට සිය ප්‍රතිබිම්මබය පෙනෙන්නේ ඒ හරහා ය. යකඩ දොර ප්‍රේක්ෂකයාට පෙනෙන පරිදි ස්ථාපිත කොට ඇත්තේ දොරගුලු ලන පැත්තට නොවේ. එවිට භෞතිකව තමන් සිරමැදිරියක සිටින සිතිවිල්ල ඇති උනත් කැඩපතින් තමන්ටම පෙනෙන ප්‍රතිබිම්මබය නිසා සිර මැදිරියේ ඇතුලත යන්න නරඹන්නාට මානසිකව දෙපලු වේ. එක අන්තයක් වන්නේ තමන් සිර මැදිරියක ඇතුලත බව කැඩපතින් තමන්ට ම පෙනීමයි. අනෙක තමන් ඇතුලත බව මනසින් පෙනීමයි. කැඩපතින් පෙනෙන කොටස අනපේක්ෂිත තත්වයකි. මේ අනපේක්ෂිත තමන් සමග පේන සිර මැදිරි දොරේ ප්‍රතිබිම්මබය නරඹන්නා සිය ඇතුලාන්ත ගවේෂණයට කැදවන අතර එය අපේ රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ සෑම පාර්ෂවයක ම තමන්ගේ පංගුව ස්වයං පරීක්ෂාවකට කැදවීමටත්, විසදුම වෙනුවට දුෂ්ට මර්දනයේ තත්භාවය හැමෝට ම ස්පර්ෂ කරවිමේ ප්‍රෙයා්ගයක් කිරීමත් තමයි මම කරනු ලැබුවේ.

මෙය කලා ඉතිහාසය තුළ වීදුරු සහ කණ්ණාඩි කලා කෘති සදහා භාවිත කරන ලද පසුබිමට වෙනස් භාවිතාවකි. තමන් ඉදිරියේ තිබෙන භෞතික සිර මැදිරි දොර මනසින් මැකී එහි ප්‍රතිිබිම්භයත් සමග තමන් ප්‍රතිබිම්බගත වීමේ ස්වභාවිකත්වයට අනුරූපව මම මෙය කළෙමි. කැමරාවකින් එම තත්වය කැප්චර් කර ගත නොහැකි ය. එවිට භෞතික සිර මැදිරි දොරත් එහි ප්‍රතිබිම්බයත් යන දෙක ම සමග තමන්ව පෙනේ. ඡායාරූපගත කිරීමේදී එම තත්වය වලක්වමින් දිසාව වෙනස් කරමින් මෙම කෘතිය ඡායාරූපගත කරේ ධනංජය රත්නායකයි. මෙම කෘතියේ දර්පණය මත වින්සන්ට් වැන්ගෝ සිත්තරා විසින් සිය සහෝදරයා වන තියෝ වැංගෝට යවන ලද ලිපියක සටහන් වන ‘‘හෘදය සාක්ෂිය යනු මිනිසාගේ මාලිමාවයි‘‘ යන කියමන උපුටා ස්ටිකර් අකුරු මාධ්‍යෙයන් ඉංග්‍රීසියෙන් අලවා ඇත. මෙහිදී හෘදය සාක්ෂිය යන්න ගාමකත්වයට අදාලව සංයෝග කෙරේ. වැන්ගෝ සියදිවි නසා ගත් සිත්තරෙකි. ඔහු මානසික රෝගියෙකුද වූයේ ය. මානසික අසමතුලිතතාවන්ගෙන් යුක්ත මිනිසුන් පරිභවයට හා පිඩාවට ලක් කිරීමේ ශ්‍රී ලාංකේය කැත පුරුද්දට එරෙහිවද මේ කෘතිය ක්‍රියාමය කෙරේ.

Mirror and lock-up (2023)
කැඩපත සහ ලොකප් / கண்ணாடி மற்றும் பூட்டு
219 x 192 x 899 cm

Mirror, iron, wood, stainless steel, brass, rubber, auto paint, stickers
compounds, canvas, oil paint

ප්‍රදර්ශනය 15 වෙනිදා තෙක් පැවැත්වේ.

සුජිත් රත්නායක

ඡායාරූප – ධනංජය රත්නායක

නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

නව වාර්තා කිහිපයක් තබමින් බංග්ලාදේශය සමග පැවති ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගනිති. ඒ සමග පළමු කාණ්ඩයේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව යි. ඉතිරි තරග දෙකෙන් එකක් ජයගතහොත්, අවසන් පූර්ව තරගවලට පිවිසීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට විවර වෙයි. බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දුවට පහරදී ලකුණු 126 ක් ලබා ගැනීමට සමත්විය. කඩුළු 8 ක් බිඳ වැටිණ. සොබානා මොස්ටරි ලකුණු 29 යි. ඕෂධී රණසිංහ ලකුණු 23 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූවාය. පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුළු 7 කින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මරූෆා අක්තර් ගේ පන්දු යැවීම ඉදිරියේ ලකුණු 25 කදී චමරි අතපත්තු, විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනී දැවී ගියහ. ඉන් විශ්මි හා අනුෂ්කා පිට පිට පන්දු දෙකක දී දවාගැනීමට මරූෆා සමත්වූවාය. ඉන්පසු පිටියේ එක්වූ නිලක්ෂි ද සිල්වා සහ ආරම්භක පිතිකාරිනී හර්ෂිතා මාධවී තරගය ජය වෙත රැගෙන ගියහ. පන්දු 50 කදී නොදැවී ලකුණු 69 ක් හර්ෂිතා රැස් කළාය. හතරේ පහර 8 ක් හා හයේ පහරක් ඇගේ ඉනිමට ඇතුළත් විය. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් T 20 ලෝක කුසලාන තරගාවලියක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. නිලක්ෂි ලකුණු 41 ක් නොදැවී රැස් කළ අතර වැයවූ පන්දු සංඛ්‍යාව 38 කි. ඔවුන් දෙදෙනා අතර තරගය ජය වෙත රැගෙන ගිය සම්බන්ධතාව ලකුණු 104 කි. පන්දු 79 ක් ඊට වැය කෙරිණ. එය T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රි ලංකා කාන්තාවන් ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ හොඳම සම්බන්ධතාවයි. කාන්තා T 20 ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා වූ පළමු ශතක සම්බන්ධතාව ද එයයි.

ආරම්භක පිතිකාරිනී හර්ෂිතා මාධවී තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියාසිටියේ කණ්ඩායමට ප්‍රබල පිතිකාරිනියන් හයදෙනෙකු ඇතුළත් බවයි. ඒ නිසා මුල් කඩුළු අඩු ලකුණු සංඛ්‍යාවකදී බිඳවැටීම ගැටලුවක් නොවීය. කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව දස්කම් දක්වන බවද ඇගේ අදහසයි.

T 20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව තරග දෙකක් පිට පිට ජයගත් පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකාවේ මීලඟ තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. එය ලබන බ්‍රහස්පතින්දා සවස 6:30 ට ආරම්භ වෙයි.

වජිර කැලුම් පෙරේරා