හිනාවෙන්න අමාරුම මොහොතක ‘හිනාවෙලා මිනිත්තුවක්’ ගැන

Share post:

ගෙවෙමින් තියෙන්නෙ වේදිකා නාට්‍යයක් නරඹන්න තරම් මානසික ඒකාග්‍රතාවය නැති මොහොතක් උනත් පසුගිය දවසක පුංචි තියෙටර් එකේදි අකිල සපුමල්ගෙ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යය නරඹන්න අවස්ථාවක් ලැබුණා. උදාසීන ලෙස හෝ නිෂ්ක්‍රිය ස්වරූපයෙන් ජීවත් වීම සඳහා වුවත් බරපතළ ප්‍රයත්නයක් දැරිය යුතු නිසාම අප විසින් ගත කරන ලද සංස්කෘතික ජීවිතය අපට අහිමි වෙමින් තියෙද්දි ‘හිනාවෙලා මිනිත්තුවක්’ විදියට නාමකරණය කරපු නාට්‍යයක් නරඹන්න වීම එක්තරා ආකාරයක සරදමක්.

ඒ කොහොම උනත් ‘හිනාවෙලා මිනිත්තුවක්’ ඇතුළෙ පැය ගණන් කල්පනා කරන්න ප්‍රශ්න, කරුණු කීපයක් මතු උනා. අපේ රටේ නිර්මාණ ඇතුළෙ නිතර කතා වෙන තාරුණ්‍යයේ ගැටලු, පන්ති විෂමතාව, ආර්ථික අර්බුදය වගේ කරුණු ටික පැත්තකින් තියලා මේ නාට්‍යයෙන් මතු උන තරමක් වෙනස් මාතෘකාවක් වන ‘දරුවන් හැදීම’ පමණක් මේ කෙටි සටහනට පදනම් කර ගන්නවා.

අපේ රටේ සාතිශය බහුතරයකට ප්‍රේම සම්බන්ධතාවයක ‘පරම’ අරමුණ වෙන්නෙ විවාහය. විවාහයේ ‘පරම’ අරමුණ වෙන්නෙ අනාගත පරම්පරාව බිහිකිරීම. ඒ කියන්නෙ ප්‍රේමයේ අවසාන ඵලදාව විය යුත්තේ දරුවෙකු වැදීමද? ප්‍රශ්නයක්.
දරුවෙකු අවශ්‍යතාවයක් විදියට හඳුන්වන බහුතරය ඒ අවශ්‍යතාවයේ මූලික අරමුණ විදියට හඳුන්වන්නේ වියපත් වෙලා මොකුත් කරගන්න බැරි දවසක ඒ දරුවාගේ රැකවරණය ලබාගැනීම. ඒ කියන්නෙ දරුවො කියන්නෙ ඉන්ෂුරන්ස් එකක්ද? නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක්ද? ඒක ජනප්‍රිය නොවන අදහසක් අරන් එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් අපේ සමාජයේ බහුතරයක් දරුවො හදන්නෙ ඒ අරමුණෙන්.

නමුත් මාතෘත්වය හෝ පීතෘත්වය මුහුකුරා යද්දී ඒ අරමුණ යම් තාක් දුරකට මිස් වෙනවා හෝ මිස් කරගන්නවා. එතකොට දරුවාට සුබ අනාගතයක් නිර්මාණය කිරීම තමන්ගෙ ජීවන අරමුණ බවට පරිවර්තනය කරගන්න පුළුවන්. නමුත් අර මුල්ම අරමුණේ ශේෂ කොටස් තැනින් තැන තියෙන්න බැරි නෑ.

ප්‍රේමය සහ දරුවන් පිළිබඳ මාතෘකාවට ඇලන් බද්‍යු සම්මුඛ කරන්න කැමතියි. බද්‍යු එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක් මත පදනම් වෙලා ලියවුනු ‘ප්‍රේමය පසසනු වස්’ (සිංහල පරිවර්තනය) පොතේ එක තැනක ඔහු මෙහෙම කියනවා.

“ප්‍රේමය සම්බන්ධයෙන් ගත් කල ඔබ නිතර අවශ්‍යයෙන්ම ඔබේ ප්‍රකාශනය ප්‍රති නිර්මාණය කළ යුතුයි. ඔබ ලක්ෂ්‍යය (ප්‍රති) නිර්මාණය කළ යුතුය යනුවෙන් ද ඔබට කිව හැකිය. මම හිතනවා දරුවෙකු යනු, දරුවෙකු ලැබීමේ ආශාව යනු සහ උපත යනු එයයි කියා. ඉතා පැහැදිලිවම ප්‍රේමයට ආධාරක වන ලක්ෂ්‍යයක් ආකාරයෙන් ප්‍රේමයේ ක්‍රියාවලියේ කොටසක් එය විසින් සකස් කරනු ලබනවා.”

බද්‍යුට අනුව දරුවන් කියන්නෙ ප්‍රේමය ඔස්සේ ජීවන ලාලසාව දැල්වීමට ගන්නා උත්සහයේ ප්‍රතිඵලයක්. ඒත් මේ දූපත ඇතුළෙ දරුවෙක් ඔස්සේ ජීවන ලාලසාව දැල්වෙනවා වෙනුවට සිද්ධ වෙන්නෙ නව අවිනිශ්චිතතාවක් ගොඩනැංවෙන එක. නාට්‍යය ඇතුළෙ තරුණයා දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරන්නෙ ඒ අවිනිශ්චිතතාව සම්බන්ධයෙන් තියෙන භීතිකාව එක්ක. ඒ අනුව ඒ තරුණයාගේ සිතිවිල්ල සාධාරණයි.

මේ සියල්ල ඔස්සේ නැවත මතු කරන්න වෙන්නෙ බද්‍යුගෙ ප්‍රකාශයක්. ඔහු වරෙක කියනවා ‘ප්‍රේමය පවතින්නේ අර්බුදයක. එය නැවත ගොඩනැංවිය යුතුයි’ කියලා. තරුණිය විසින් දරුවෙකු වෙනුවෙන් ප්‍රේම කිරීමත් තරුණයා ඒ අරමුණෙන් දුරස්ථකරණය වීමත් ඔවුන් දෙදෙනා විසින් සාමූහිකව ප්‍රේමය නැවත ගොඩනැංවීමට උත්සාහ නොකරන බව ගම්‍ය කරනවා. ඒ ගොඩනොනැංවීම අර්බුදයක්. ප්‍රේමය පවතින්නෙම නැවත නැවත ගොඩනැංවීම මත.

මේ ලියුම්කරු ප්‍රේමය දකින්නෙ දෙදෙනෙකුගේ පැවැත්මේ සංකීර්ණතා අවම කරගන්න අවබෝධාත්මකව සිදු කරන සෞන්දර්යාත්මක ගොඩනැංවීමක් විදියට. ඒ සාමූහිකත්වයේ අර්ථයෙන් ගත්තම ‘ප්‍රේමය කොමියුනිස්ට්වාදියි’ කියලා බද්‍යු කියලා තියෙනවා. කොමියුනිස්ට් නොවන සමාජයක අපිට ප්‍රේමය ඉදිරියේ පමණක් කොමියුනිස්ට්වාදී වෙන්න අමාරුයි. ඒ දුෂ්කරතාවය සෙසු භෞතික හැලහැප්පීම් එක්ක නාට්‍යය ඇතුළෙ අපිට හම්බෙනවා. ප්‍රේමය සහ දරුවන් පිළිබඳ සත්‍ය අන්තර් සම්බන්ධතාවය මඟහරිමින් දරුවන් බිහි කිරීම කියන්නෙ මෙරට සමාජයේ සුලබ වරදක්. ඒක ජීවන හැලහැප්පීම් නිසා අවිඥානිකව සිදුවෙන වරදක්. ඒ වරද මේ සංස්කෘතික පද්ධතිය ඇතුළෙ නිවැරැදි කරගැනීම ලේසි නෑ. නිවැරැදි කරගන්න උත්සාහ කරන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් යටතේ අකිල සපුමල් ‘හිනාවෙලා මිනිත්තුවක්’ ඔස්සේ අරන් එන තේමාත්මකය නැවුම් එකක්. පවතින පද්ධතියේ ප්‍රතිවිරෝධයක්.

අකිල සපුමල් අපිට මිනිත්තුවක් හරි හිනාවෙන්න ආරාධනා කරද්දී Skitzo SL සංගීත කණ්ඩායම ‘හිනාවෙන්නෙ කොහොමද?’ කියන ප්‍රශ්නය මතු කරන ගීයකින් මේ කෙටි සටහන හමාර කරනවා.

“ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක”

(සම්පූර්ණ සිංදුව පහලින් වෙයි)

‘හිනාවෙලා මිනිත්තුවක්’ නරඹද්දි මගේ ළඟම අසුනක ඇලන් බද්‍යු වාඩි වෙලා හිටියා කිව්වත් වරදක් නෑ. හේතුව නාට්‍යයේ දුර්ලභ සිදුවීම් ඔස්සේ බද්‍යු සත්‍යාපනය වන බවක් මට යම් තාක් දුරකට දැණුන නිසා. ඒ නිසයි මේ සටහනේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ නාට්‍යය තරමටම බද්‍යු ගැනත් සඳහන් කෙරුණෙ.

චලක ප්‍රමුදිත ලුණුවිලගේ

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...