නාලිකා මාරු කරමින් ප්‍රවෘත්ති නරඹමි. පුවත්පත් පිටු පෙරළමි. මිතුරෙක් මගක හමුවී වචන කීපයකින් මග හරියි. මහා බලහත් කාරයක් සිදුවෙමින් පවතී.
එහෙත් එය අපට අලුත් දෙයක් නොවේ. විවිධ අරගල වලට ඛේදවාචක වලට සමාජයක් ලෙස මූහුණ දී අනතුරුව එවැන්නක් සිදුනොවූ ලෙස දෛනික ජීවිතය ඇරඹීමට අපි පුරුදුව සිටිමු.
අවුරුදු 30 ක ජන ඝාතක වියරු යුද්ධයකින් පසු අප එයට හේතු කාරක අමතක කර, අහිමුවූවන්ගේ වේදනාව නොදුටු සේ , දැවැන්ත මර්දනයක සපත්තු සළකුනු මකාදමා ,ඊට හේතු පාදක වූ දුක්ඛ දෝමනස්සයන් දරාගෙන නැවත දෛනික ජීවිතයට එළඹ තිබේ. ආර්ථික , සාමාජීය නිදහස ඝාතනය කළ , ඒකාධිපති වියරුවට එරෙහිව සිදුවූ ,ගෝල්ෆේස් ජන අරගලය ලෙයින් යකඩින් මර්දනය කල විටද අප එහි උණුසුම මැකීයාමටත් පළමුව එය දරාගෙන දෛනික ජීවිතය ඇරඹීමට ගිවිසගෙන තිබේ. මේ මොහෝතේදී සුජිත් රත්නායකගේ අර්බුදය හා අරගලය දෘෂ්‍යකලා ප්‍රදර්ශනය , හිත හදාගෙන ගෝල්ෆේස් අරගලය නොවූවා සේ එදිනෙදා කටයුතු කරන මිනිස්සුන්ට කියන්නේ කුමක්ද ? ජනමාධ්‍ය ප්‍රමුඛ ආණ්ඩුව මේ ඔඩු දුවපු සැරව ගලන අපේ සමාජ තුවාලය ප්ලාස්ටර් බදාමයකින් වසා දමමින් සිටී. එය අපේ තුවාලයයි. ඒ තුවාලය එක අතකින් ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් විදේශ ආධාර හිඟමනේ යයි. අනිත් අතින් අපට අපේ වේදනාව කඳුල අමතක කර ජීවිතය අල්ලාගෙන ඉන්නට ආණ්ඩුව අපට බලකරයි. මේ වටපිටාවතුල අජිත් ප්ලාස්ටරය කපා කවුළුවක් විවර කර තුවාලය මේ යයි පෙන්වා සිටී.
මට ගෝල්ෆේස් අරගලය බොහෝ අවස්ථාවල මතක්වෙන්නේ සුජිත් හරහාය. එයට මා කුමක් කරන්නද?. අද වන විට කලාකරුවන් ජනතාවට මතක් වන්නේ ඔවුන්ගේ මාස්ටර් පීස් හරහා නොවේ. පිරිමි නම් ඔවුන්ගේ මාංශ පේශි වර්ධනය කල සිරුර, කාන්තාවක් නම් විලාසිතාව , විශ්ව විද්‍යාලයක තනතුර , නවීන මෝටර් රථය ආදී ධනය බලය ආදී සංකේත හරහාය. පස්චාත් නූතන කතිකාව යයි හඳුන්වා දෙන මේ තත්වය තුල කලාකරුවන් පමණක් නොව ආචාර්ය , මහාචාර්ය වරුන්, දේශපාලකයන් තුළද තමන්ගේ විශය පිළිබඳව සාරය අහිමි වී ඒ වෙනුවට ප්‍රාග්ධනයෙන් ගොඩනගන සංකේත වටිනාකම් පිළිබඳව කාරණා මතුවන කාලයකි. මෙබඳු සමයක , කෙනෙකු විශය පිළිබඳව කළ නිර්මාණ තමන්ගේ කලා අනන්‍යතාව සේ ගත් කලාකරුවෙකුට පෙරකී විශය පිළිබඳව සාරය අහිමි කරගත් “ක්ෂේත්‍රයේ තරඟකරුවන්”ගෙන් චෝදනා එල්ලවේ. මර්දනය එල්ලවේ.
සුජිත්ටත් තමන්ගේ ක්ෂෙත්‍රයේ චිත්‍ර ශිල්පීන්ගේ කුහක, ඊර්ෂ්‍යා පරවශ අවමාන කිරීම් එල්ලවීම අහම්බයක් නොවේ. සුජිත්ගේ සිත්තර අනන්‍යතාව මතුවන්නේ සමාජය ඔහුට අභිමුඛ වීම අනුවය. ඔහුට මේ ඇත්ත සමාජය අභිමුඛ වන්නේ වේදනාව, ශෝකය, හිංසනය , විකෘතිය, මර්දනය වැනි සමාජ අර්ථයන් ඔස්සේය. එය මේ සමාජ යාථාර්තයයි. ඒ යථාර්ථය වසා විසිතුරු සළුවක් වියන එක සුජිත් බාරගන්නේ නැත.
මෙවර සුජිත් ඉදිරිපත් කරන දෘෂ්‍ය කලා නිර්මාණ ” ලස්සන ” පිළිබඳව අර්බුදයට මුහුණ දෙන්නේ එහෙයිනි. ඒ නිර්මාණ ඒ අරුතින් ලස්සන නැත. වර්ණවත් නැත. පෙම්වතියක අතගෙන කොකා කෝලා උගුරක් විඳිමින් සරන්නට ආට් ගැලරියක් ඔහු නිර්මාණය කර නැත.
දෘෂ්‍ය කලා නිර්මාණයට පසුබිම් වන වස්තු විශයේ පරිසරය ප්‍රදර්ශනා ගාරය තුල ව්‍යුහයක් ලෙස නිර්මාණය කිරීමට ඔහු කලාගාරය යොදා ගනියි. අඛණ්ඩ ජන ඝාතක යුද්ධ , ජන අරගල මර්දනය කිරීම්, හිංසනය, මේ සියල්ල හා බැඳුණු දුප්පත් කම දරා සිටින සමාජයක එබඳු කලා සෞන්දර්ය මොහොතවල් බිහිවිය හැකිද?
සුජිත් යුගයේ යථාර්ථය නිර්මාණය කරන “අරගලයේ කලාකරුවා” ලෙස ජනතාව හඳුන්වන්නේ එහෙයිනි. නැතුව සුජිත් අරගලයේ නේවාසිකව සිටීම යන සරළ අරුතින් නොවේ. සුජිත් ගේ බුරුසු පහරට අප ගොදුරු වන්නෙ එහෙයිනි. ඔහු ආර්ට් ගැලරියට යකඩ ගෙනාවේ එහෙයිනි. ඒ හිර මැදිරියේ දොර, බන්ධනාගාර රථය, කම්බි දැල් ඔහු කලාගාරයට ගෙනාවේ එහෙයිනි.
ගෝල්ෆේස් අරගල බිමේ මේ දෘෂ්‍ය කලා නිර්මාණ කීපය ප්‍රදර්ශනය කරන සිහිවටනයක් ඉදිකලයුත්තේ එහෙයිනි.
තියඩෝර් ඇඩෝර්නෝගේ dictum එක වන ” මානව ඉතිහාසයේ කෘරතර සමූහ ඝාතනයක් වන ජර්මනියේ Auschwitz සිදුවීමට පසු කවි ලිවීම ම්ලේච්ඡයි (barbaric ) යන ප්‍රකාශය සුජිත්ගේ දෘෂ්‍ය කලා ප්‍රතිප්‍රහාරයට ගොදුරු වන නරඹන්නාට නිතැතින්ම සිහිකැඳවයි.
ගෝල්ෆේස් සිදුවීමට අවංක වන කලාකරුවෙකුට අරගලය ගැන ලස්සන චිත්‍ර ඇඳිය නොහැක්කේ එහෙයිනි. අජිත් සෙනෙවිරත්න විසින් ක්ලික් කර ඇති, ආණ්ඩුව විසින් ගිනි තැබූ ගෝල්ෆේස් චිත්‍ර කුටිය දෙස බලාසිටින සුජිත් ගේ අහඹු චායාරූපයේ මුහුණ ඔබට මෙම දෘෂ්‍යකලා කීපය නැරඹීමට හැකි හොඳම කවුළුව වනු ඇත.